Skip to content

පටුනට යන්න

අල්ලස හා දූෂණයට නිමාවක්!

අල්ලස හා දූෂණයට නිමාවක්!

‘යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබා ඔහුගේ මාවතේ දිගටම ගමන් කරන්න. දුෂ්ටයන්ව විනාශ කරන විට ඔබ එය දකින්නෙහිය.’—ගීතාවලිය 37:34.

අල්ලස හා දූෂණය නැති ලොවක් ගැන සිහින මවන දහසකුත් අතරින් ඔබත් කෙනෙක් වෙන්න ඇති. ඒ සිහිනය සැබෑ කරන්න අතීතයේ සිට මිනිස් ආණ්ඩු කොපමණ උත්සාහ කළත් ඔවුන් සාර්ථක වී නැහැ. එය සැබෑ නොවන සිහිනයක්ද? මිනිස්සු අවංකව කටයුතු කරන කාලයක් කවදාවත් ලැබෙන එකක් නැද්ද?

බලාපොරොත්තු අත්හරින්න එපා! බයිබලයේ අපිට සහතික වන්නේ අල්ලස හා දූෂණය නැති ලොවක් ගෙනෙන්න දෙවි මැදිහත් වෙන බවයි. ඔහුගේ රාජ්‍යය මේ පොළොව පාලනය කරද්දී අපි හැමෝගේම සිහිනය සැබෑ වෙනවා. ‘දෙවිගේ රාජ්‍යය පැමිණේවා! ඔහුගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා’ කියා යාච්ඤා කරන්න යේසුස් අපට උනන්දු කළේ ඒ නිසයි.—මතෙව් 6:10.

එම රාජ්‍යයේ පාලකයා වන යේසුස් ගැන බයිබලයේ සඳහන් වන්නේ මෙවැනි දෙයක්. “මන්ද උපකාරය පතා හඬ නඟන දුප්පතාව ඔහු ගලවාගන්නේය. පීඩිතයාවද උපකාරයක් නොමැතිව අන්ත අසරණ වී සිටින්නන්වද ඔහු බේරාගන්නේය. අසරණයාටද දිලින්දාටද ඔහු අනුකම්පා කරන්නේය. දුප්පතුන්ගේ දිවි රැක දෙන්නේය. පීඩාවලින්ද සැහැසික ක්‍රියාවලින්ද ඔහු ඔවුන්ව මුදවාගන්නේය. ඔවුන්ගේ ජීවිත ඔහුට බොහෝ සේ වටින්නේය.” (ගීතාවලිය 72:12-14) අල්ලස හා දූෂණය නිසා පීඩාවට පත් වූ අය ගැනත් යේසුස්ට ඇත්තේ ඉමහත් අනුකම්පාවක්. ඔහු ඒවෙනුවෙන් යමක් කරන බව සහතිකයි!

යේසුස් අල්ලස හා දූෂණය මේ පොළොවෙන් සදහටම තුරන් කර දමනවා. ඔහු එය කරන්නේ අල්ලස හා දූෂණයට මුල් වූ හේතු තුන සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමෙනුයි.

වැරදි කිරීමට අප තුළ ඇති පෙලඹීම

අපට උරුම වී තිබෙන පව්කාර ස්වභාවය නිසා අපි නිතරම පෙලඹෙන්නේ අපි ගැන පමණක් සිතන්න. (රෝම 7:21-23) ඒත් හරි දේ කරන්න පොරබදින අයත් අපි අතරේ ඉන්නවා. යේසුස් අපේ පව්වලට ඔහුගේ ජීවිතයෙන් වන්දි ගෙවූ නිසා අපේ වැරදිවලට දෙවිගෙන් සමාව ලැබෙන බව ඔවුන් දන්නවා. * (1 යොහන් 1:7, 9) ඔවුන්ට දෙවිගේ ආශීර්වාද ලැබෙන බව බයිබලයෙහි සඳහන් මේ දෙයින් පැහැදිලි වෙනවා. “දෙවි මුළු ලෝකයටම කොතරම් ප්‍රේම කළාද කියනවා නම් ඔහු තමාගේ එකම පුත්‍රයාව ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා. එසේ කළේ ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ම විනාශ නොවී ඔවුන්ට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබාගැනීම සඳහායි.”—යොහන් 3:16.

දෙවිගේ රාජ්‍යය මගින් පොළොව පාලනය කරන කාලයේදී දෙවිගේ සේවකයන්ට මවිතකර ආශීර්වාද රැසක් ලැබෙනවා. මිනිසුන්ට උරුම වූ පව්කාර ස්වභාවය ඉවත් කරන දෙවි ඒ කාලයේදී ක්‍රමානුකූලව ඔවුන්ව පරිපූර්ණත්වයට ගෙනෙනවා. (යෙසායා 26:9; 2 පේතෘස් 3:13) ඒ නිසා මිනිසුන් කිසිම වංචනික ක්‍රියාවකට පෙලඹෙන්නේ නැහැ. ඒ වෙනුවට ‘පාපය හා මරණය නිසා දිරාපත් වී යන මිනිස් වර්ගයාට එම ග්‍රහණයෙන් නිදහස් වීමට’ අවස්ථාව ලැබෙනවා.—රෝම 8:20-22.

අවට සිටින මිනිසුන්ගේ බලපෑම

දුප්පත් අසරණ මිනිසුන්ව පාගා දමන බොහෝදෙනෙක් එසේ කිරීමට වෙනත් අයවත් පොලඹවනවා. ඒ වගේ අයට බයිබලයේ මෙසේ අවවාද කරනවා. “දුෂ්ටයා තම දුෂ්ටකම් මුළුමනින්ම අත්හරීවා! කුරිරු තැනැත්තා තම හානිකර සිතුවිලි වෙනස් කරගනීවා!” ඔවුන් තම වැරදි ගැන අවංකව පසුතැවුණොත් දෙවි ‘මුළු හදින්ම සමාව දෙනවා.’—යෙසායා 55:7.

පසුතැවිලි නොවී දිගින් දිගටම වැරදි කරන අයට දෙවි දඬුවම් කරනවා. නමුත් දෙවි මෙවැනි පොරොන්දුවක්ද දී තිබෙනවා. ‘යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබා ඔහුගේ මාවතේ දිගටම ගමන් කරන්න. එවිට දුෂ්ටයන්ව විනාශ කරන විට ඔබ එය දකින්නෙහිය.’ (ගීතාවලිය 37:34) දුෂ්ට මිනිසුන්ව සම්පූර්ණයෙන්ම විනාශ කළ පසුව කිසිම අසාධාරණයක් මේ පොළොවේ සිද්ධ වෙන්නේ නැහැ.

සාතන් නමැති යක්ෂයාගේ මුළාව

අද සිදු වන සෑම අසාධාරණයක් පිටුපසම සිටින්නේ දුෂ්ටයන්ගෙත් දුෂ්ටයා වන යක්ෂයායි. නමුත් ළඟදීම යෙහෝවා දෙවි ඔහුව අක්‍රියාශීලී තත්වයට පත් කරන අතර කාලයාගේ ඇවෑමෙන් ඔහුව සම්පූර්ණයෙන්ම විනාශ කර දමනවා. එවිට කිසිම කෙනෙකුව මුළාවේ දමන්න ඔහුට හැකි වෙන්නේ නැහැ.

ළඟදීම මේ සියලුම අසාධාරණයන් ඉවත් වෙනවා යන සිතුවිල්ල පවා මොන තරම් සැනසීමක්ද! ඒත් ඇත්තටම දෙවිට ඒ දේ කරන්න පුළුවන්ද? එහෙනම් දෙවි ඒ සඳහා මෙතරම් කාලයක් බලා සිටින්නේ ඇයි? ඒ වැදගත් ප්‍රශ්නවලට උත්තර බයිබලයෙන් සොයාගන්න පුළුවන්. * ළඟදීම සිද්ධ වෙන්න යන ඒ මවිතකර දේවල් ගැන ඔබ සොයා බලන්න කැමති නැද්ද?

^ 8 ඡේ. යේසුස්ගේ ජීවිත පූජාව ගැන තවත් විස්තර දැනගැනීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 5වන පරිච්ඡේදය බලන්න.