Skip to content

පටුනට යන්න

කීකරු වී දෙවිගේ පොරොන්දුවල ඉටු වීම අද්දකින්න

කීකරු වී දෙවිගේ පොරොන්දුවල ඉටු වීම අද්දකින්න

‘තමාට වඩා උතුම් කෙනෙකු නැති නිසා දෙවි තමාගේම නාමයෙන් දිවුරුවා.’—හෙබ්‍රෙ. 6:13.

1. දෙවි තම පොරොන්දු ඉටු කරන බව විශ්වාස කරන්න පුළුවන් ඇයි?

යෙහෝවා දෙවි කවදාවත් බොරු නොකියන සත්‍යතාවේ දෙවියි. (හෙබ්‍රෙ. 6:18; ගීතා. 31:5) ඔහු පවසන දේවල් ඒ විදිහටම ඉටු කරනවා. උදාහරණයකට පොළොව සකස් කළ දවස් හය ගැන සිතන්න. ඒ එක් එක් දවස තුළ කරන්නේ මොනවාද කියා දවස ආරම්භයේදීම දෙවි පැවසුවා. කිවූ විදිහටම ඔහු කළා. හයවෙනි දවස අවසානයේදී ‘දෙවි තමා සෑදූ සියල්ල දෙස බැලූ විට ඒ සියල්ල ඉතා හොඳින් සාදා තිබුණු බව ඔහු දුටුවා.’ (උත්. 1:6, 7, 30, 31) එයින් පැහැදිලි වෙන්නේ දෙවි තම පොරොන්දු හා අරමුණු අනිවාර්යයෙන්ම ඉටු කරන බවයි.—ගණන් කතාව 23:19 කියවන්න.

2. දෙවිගේ විවේක දවස මොකක්ද? දෙවි එම දවසට ආශීර්වාද කර ශුද්ධ දවසක් ලෙස ප්‍රකාශ කළේ ඇයි?

2 සියල්ල නිර්මාණය කළ පසු යෙහෝවා දෙවි හත්වෙනි දවස විවේකය සඳහා වෙන් කළා. හත්වෙනි දවස තුළ දෙවි පොළොවේ කිසිම නිර්මාණයක් කළේ නැහැ. නමුත් ඒ ‘දවසට ආශීර්වාද කර එය ශුද්ධ දවසක් ලෙස ප්‍රකාශ කළා.’ (උත්. 2:2, 3) එය පැය 24ක දවසක් නෙවෙයි දිගු කාලයක්. එය ආරම්භ වුණේ කවදාද කියා බයිබලයේ හරියටම පවසා නැතත් මීට අවුරුදු 6,000කට පමණ පෙර දෙවි මේ පොළොවේ සිදු කළ අවසාන නිර්මාණය වූ ඒවගෙන් පසුව එම දවස ආරම්භ වූ බව අපි දන්නවා. එම දවස තවම අවසන් වී නැහැ. (හෙබ්‍රෙ. 4:9, 10) දෙවිගේ මුල් අරමුණ වුණේ මේ පොළොව පරිපූර්ණ මිනිසුන්ගෙන් පිරි පාරාදීසයක් කිරීමයි. ඒ අරමුණ සම්පූර්ණයෙන් ඉටු වෙන්නේ දහස් අවුරුදු පාලනය අවසන් වූ විටයි. (උත්. 1:27, 28; එළි. 20:6) හත්වෙනි දවසේ ආරම්භයේදීම දෙවි එයට ආශීර්වාද කළ නිසා දෙවිගේ අරමුණ ඒ විදිහටම ඉටු වන බව අපිට නිසැකයි. දෙවි පවසන කිසිම දෙයක් බොරු නොවන නිසා මොන බාධක ආවත් දෙවි මුලින් අරමුණු කළ ලෙසම හත්වෙනි දවස අවසානයේදී දෙවිගේ අරමුණ ඉටු වන බව සහතිකයි.

3. (අ) දෙවිගේ විවේක දවස ආරම්භයේදීම සිදු වුණේ මොකක්ද? (ආ) එම කැරැල්ල නිෂ්ප්‍රභ කරන ආකාරය දෙවි විස්තර කළේ කොහොමද?

3 දෙවිගේ විවේක දවස ආරම්භ වුණායින් පසු සාතන් කැරැල්ලක් දියත් කළා. ඔහුට වුවමනා වුණේ දෙවිට අයිති නමස්කාරය ලබාගන්නයි. මුලින්ම දෙවිට අකීකරු වෙන්න ඔහු ඒවව පෙලඹෙව්වා. (1 තිමෝ. 2:14) ඉන්පසු ඇය ආදම්වත් කැරැල්ලට හවුල් කරගත්තා. (උත්. 3:1-6) දෙවි බොරු කියන බවට සාතන් චෝදනා කළත් තම අරමුණ ඉටු කරන බවට නැවත දිවුරා පොරොන්දු වෙන්න දෙවිට අවශ්‍යතාවක් තිබුණේ නැහැ. ඒ වෙනුවට දෙවි එම කැරැල්ල නිෂ්ප්‍රභ කරන ආකාරය මෙසේ සරලව පැවසුවා. “ඔබ සහ ස්ත්‍රිය අතරද ඔබෙන් පැවත එන්නන් සහ ඇගෙන් පැවත එන තැනැත්තා අතරද මම සතුරුකම් තබන්නෙමි. ඔහු ඔබේ හිස පොඩි කරන්නේය. ඔබ ඔහුගේ විලුඹ පොඩි කරන්නෙහිය.” (උත්. 3:15; එළි. 12:9) එම අනාවැකියේ තේරුම දෙවි හෙළි කළේ කාලයක් ගියාට පසුවයි.

දිවුරුම නීත්‍යනුකූල සහතිකයක්

4, 5. තමාගේ වචනය ස්ථිර කිරීමට ආබ්‍රහම් කළේ මොකක්ද?

4 මිනිසා පරිපූර්ණව සිටි කාලයේදී ඔවුන් සෑම දෙයක්ම කළේ දෙවිට තිබෙන ප්‍රේමය නිසයි. ඔවුන් බොරු කිව්වෙත් නැහැ යමක් කියන විට දිවුරුමක් දෙන්න ඔවුන්ට අවශ්‍ය වුණෙත් නැහැ. නමුත් පව් කළ පසු මිනිසුන් බොරු කියන්න පටන්ගත්තා. වැඩි කල් යන්න කලින් බොරු කීම සාමාන්‍ය දෙයක් වුණා. ඒ නිසා කෙනෙක් කියන දේ ඇත්ත බව නීත්‍යනුකූලව සහතික කිරීමට දිවුරා පවසන්න අවශ්‍ය වුණා.

5 ආබ්‍රහම් අඩුම තරමින් එසේ කළ අවස්ථා තුනක්වත් බයිබලයේ සඳහන් වෙනවා. (උත්. 21:22-24; 24:2-4, 9) ඊට එක් උදාහරණයක් වන්නේ ඒලාම්හි රජ සමඟ පැමිණි සතුරු හමුදාව පරාජය කළ සිද්ධියයි. ඒ අවස්ථාවේදී සාලම්හි සහ සොදොම්හි රජවරුන් ආබ්‍රහම්ව මුණගැසෙන්න ආවා. ‘මහෝත්තම දෙවිගේ පූජකයාද’ සාලම්හි රජුද වූ මෙල්කිසදෙක් සතුරන්ව පරාජය කිරීම ගැන ආබ්‍රහම්ට ස්තුති කර දෙවිට ප්‍රශංසා කළා. (උත්. 14:17-20) පසුව සොදොම්හි රජු තමාගේ සෙනඟව බේරාගැනීම වෙනුවෙන් තෑග්ගක් දෙන්න සූදානම් වූ විට ආබ්‍රහම් මෙසේ කිව්වා. “මගේ අත ඔසවා අහසත් පොළොවත් සෑදූ මහෝත්තම දෙවි වන යෙහෝවාගේ නමින් මෙසේ දිවුරනවා. ‘ආබ්‍රම්ව පොහොසත් කළේ මමයි’ කියා ඔබ නොකියන පිණිස ඔබට අයිති කිසිම දෙයක් මම ගන්නේ නැහැ. නූල් පොටක්වත් පාවහන් පටියක්වත් මම ඔබෙන් ගන්නේ නැහැ.”—උත්. 14:21-23.

ආබ්‍රහම්ට දෙවිගෙන් විශේෂ දිවුරුමක්

6. (අ) ආබ්‍රහම් අපිට තැබූ ආදර්ශය මොකක්ද? (ආ) ආබ්‍රහම්ගේ කීකරුකමෙන් අපිට ලැබෙන ප්‍රයෝජනය මොකක්ද?

6 බොරුව හා පොරොන්දු කඩ කිරීම නිසා පොරොන්දු විශ්වාස නොකිරීමේ නැඹුරුවාවක් මිනිසුන්ට තිබෙනවා. දෙවි ඒ බව හොඳින් දන්නවා. ඒ නිසා අසම්පූර්ණ මිනිසුන්ට තමා දෙන පොරොන්දු විශ්වාස කිරීමට හැකි වීම සඳහා ඔහු ඒවා දිවුරා පවසනවා. එසේ කළ අවස්ථා 40කටත් වඩා බයිබලයේ වාර්තා වී තිබෙනවා. “ජීවමාන දෙවි වන මා පවසන මේ දේ අනිවාර්යයෙන්ම සිදු වන්නේය” කියා පවසා තිබීම ඊට එක් උදාහරණයක්. (එස. 17:16) දිවුරා පොරොන්දු වෙමින් දෙවි ආබ්‍රහම් සමඟ ගිවිසුම් කිහිපයක් ඇති කරගත් බව බයිබලයේ සඳහන් වෙනවා. “පැවත එන තැනැත්තා” එන්නේ තමාගේ පුත් ඊසාක්ගේ පෙළපතින් බව ආබ්‍රහම් දෙවිගේ එම පොරොන්දුවලින් වටහාගත්තා. (උත්. 12:1-3, 7; 13:14-17; 15:5, 18; 21:12) පසුව ඔහුට කොතරම් විශ්වාසයක් තිබෙනවාද කියා බැලීමට ඔහුගේ ආදරණීය එකම පුතාව දවන පූජාවක් ලෙස ඔප්පු කරන්න කියා යෙහෝවා දෙවි පැවසුවා. දෙවි අණ කළ ලෙසම කරන්න ඔහු වහාම ක්‍රියාත්මක වුණා. නමුත් ඊසාක්ව පූජා කරන්න හදනකොටම දේවදූතයෙක් ඔහුව නැවැත්තුවා. ඒ අවස්ථාවේදී දෙවි දිවුරා මේ විශේෂ පොරොන්දුව දුන්නා. “ඔබේ පුත්‍රයාව, ඔබේ එකම පුත්‍රයාව පවා ඔබ මට දෙන්න පසුබට නොවූ නිසා මම මගේම නාමයෙන් මෙසේ දිවුරන්නෙමි. මම ඔබට අනිවාර්යයෙන්ම ආශීර්වාද කරන්නෙමි. මම ඔබෙන් පැවතෙන්නන්ව අහසේ තාරකා මෙන්ද මුහුදු වෙරළේ වැලි මෙන්ද බොහෝ සෙයින් වැඩි කරන්නෙමි. ඔබෙන් පැවත එන තැනැත්තා ඔහුගේ සතුරන්ගේ නුවර අයිති කරගන්නේය. ඔබ මගේ හඬට සවන් දුන් නිසා ඔබෙන් පැවත එන තැනැත්තා මාර්ගයෙන් පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබාගන්නෝය.”—උත්. 22:1-3, 9-12, 15-18.

7, 8. (අ) දෙවි ආබ්‍රහම්ට දිවුරා පොරොන්දු වුණේ ඇයි? (ආ) දෙවි දුන් පොරොන්දුවෙන් ‘වෙනත් බැටළුවන්ට’ ඇති ප්‍රයෝජනය මොකක්ද?

7 තමා දුන් පොරොන්දුව ඉටු වන බවට දෙවි ආබ්‍රහම්ට දිවුරුමක් කළේ ඇයි? එසේ කළේ පැවතෙන තැනැත්තා වන යේසුස් සමඟ පාලනය කරන අභිෂේක ලත් අයට තම අරමුණ වෙනස් නොකරන බව තහවුරු කිරීමටයි. (හෙබ්‍රෙව් 6:13-18 කියවන්න; ගලා. 3:29) ඒ ගැන පාවුල් මෙසේ පැවසුවා. ‘දෙවි කිසි ලෙසකින්වත් බොරු නොකියන බව ක්‍රම දෙකකින් ඔප්පු කළා.’ ඒ ක්‍රම දෙක නම් දෙවි දුන් පොරොන්දුව සහ ඔහු කළ දිවුරුමයි. ඒ ක්‍රම දෙක මාර්ගයෙන් අභිෂේක ලත් අයට ‘මහත් දිරිගැන්වීමක් ලබාගත හැකි අතර තමන් ඉදිරියේ තබා ඇති බලාපොරොත්තුව තදින් අල්ලාගැනීමටත් හැකි වෙනවා.’

8 ආබ්‍රහම්ට දිවුරා දුන් පොරොන්දුවෙන් ආශීර්වාද ලබන්නේ අභිෂේක ලත් අය විතරද? නැහැ. දෙවි පැවසුවේ ‘පොළොවේ සියලු ජාතීන්ට ආශීර්වාද ලැබෙනවා’ කියායි. (උත්. 22:18) යේසුස්ගේ ‘වෙනත් බැටළුවන්’ ඒ සියලු ජාතීන්ට අයිතියි. දෙවි දුන් පොරොන්දු නිසා ඔවුන්ට පාරාදීස පොළොවේ සදහටම ජීවත් වීමේ බලාපොරොත්තුව ඇතුව සිටින්න පුළුවන්. (යොහ. 10:16) අපේ බලාපොරොත්තුව ස්වර්ගයේ ජීවත් වීම වුණත් පොළොවේ ජීවත් වීම වුණත් දිගටම දෙවිට කීකරු වීම අත්‍යවශ්‍යයි.—හෙබ්‍රෙව් 6:11, 12 කියවන්න.

පොරොන්දුව සහතික කරන තවත් දිවුරුම්

9. ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවේ වහලුන් ලෙස සිටි කාලයේදී දෙවි දිවුරා දුන් පොරොන්දුව මොකක්ද?

9 ආබ්‍රහම්ට දුන් පොරොන්දුව ඉටු කරන බවට ඔහුගෙන් පැවතෙන අයට තහවුරු කරමින් දෙවි නැවත දිවුරුමක් කළා. දෙවි එය කළේ ඔවුන් ඊජිප්තුවේ වහලුන් ලෙස සිටි කාලයේදී මෝසෙස් මාර්ගයෙනුයි. (නික්. 6:6-8) පසු කාලයක ඒ දිවුරුම ගැන දෙවි එසකියෙල්ට මෙසේ පැවසුවා. ‘ඊශ්‍රායෙල් ජාතිය තෝරාගත් දවසේදී මම අත ඔසවා දිවුරා ඔවුන්ව ඊජිප්තු දේශයෙන් නිදහස් කර ඔවුන් වෙනුවෙන් විශේෂයෙන්ම තෝරාගත් දේශයකට එනම්, කිරියෙන් පැණියෙන් ඉතිරී යන දේශයකට ගෙන යන බවට පොරොන්දු වුණෙමි.’—එස. 20:5, 6.

10. ඊජිප්තුවෙන් නිදහස් කළ පසු ඊශ්‍රායෙල් ජාතියට දෙවි දුන් පොරොන්දුව මොකක්ද?

10 ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් නිදහස් කළ පසු දෙවි තවත් දිවුරුමක් කළා. “ඔබ මාගේ සෑම වචනයකටම කීකරු වී මා ඔබ සමඟ ඇති කරගන්නා ගිවිසුම රක්ෂා කරනවා නම් සියලු ජාතීන් අතරින් මම ඔබව මාගේ විශේෂ සෙනඟ ලෙස තෝරාගන්නෙමි. මන්ද මේ පොළොවේ අයිතිකරු මමය. ඔබ මට පූජකයන්ගෙන් යුත් රාජ්‍යයක් හා ශුද්ධ ජාතියක් වන්නේය.” (නික්. 19:5, 6) ඉන් අදහස් කළේ ඔවුන් දෙවිට කීකරු වුණොත් ඔවුන්ව මිනිස්වර්ගයාට ආශීර්වාද ගෙනෙන පූජකයන්ගෙන් යුත් රාජ්‍යයක් කරන බවයි. එය එම ජාතියට ලැබුණු විශේෂ ප්‍රස්තාවක්! ‘ඔවුන්ට පොරොන්දුවක් දෙමින් ඔවුන් සමඟ ගිවිසුමක් ඇති කරගත්’ බව පසු කාලයකදී දෙවි සඳහන් කළා.—එස. 16:8.

11. දෙවි ඊශ්‍රායෙල් සෙනඟ සමඟ ගිවිසුම ඇති කළ අවස්ථාවේදී ඊශ්‍රායෙල්වරු ඊට ප්‍රතිචාරය දැක්වුවේ කොහොමද?

11 කීකරු වෙන්න කියා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට බල කළේ නැහැ. නමුත් ඔවුන් සිය කැමැත්තෙන්ම ඉදිරිපත් වී මෙසේ කිව්වා. “යෙහෝවා දෙවි පැවසූ සියල්ල කිරීමට අප සතුටුයි.” (නික්. 19:8) දවස් තුනකට පසු ඊශ්‍රායෙල්වරුන්ට දසපනත හා නික්මයාම 20:22 සිට 23:33 දක්වා සඳහන් අනිකුත් නීති මෝසෙස් මාර්ගයෙන් දැන්නුවා. ඒවා ඇසූ ‘සෙනඟ එක හඬින් යෙහෝවා දෙවි පැවසූ සියල්ල කිරීමට අප සතුටුයි’ කියා පැවසුවා. (නික්. 24:3) ඉන්පසු මෝසෙස් ‘ගිවිසුම සඳහන් ලියවිල්ල’ සකස් කර සෙනඟට ඇසෙන ලෙස නැවතත් කියෙව්වා. තුන්වෙනි වරටත් සෙනඟ මෙසේ පොරොන්දු වුණා. “යෙහෝවා දෙවි පැවසූ සෑම දෙයක්ම ඉටු කරන්න අපි එකඟයි. අපි ඔහුට කීකරු වෙනවා.”—නික්. 24:4, 7, 8.

12. ගිවිසුම ඇති කරගත් පසු දෙවි ඊට ප්‍රතිචාරය දැක්වුවේ කොහොමද? ඊශ්‍රායෙල්වරුන්ගේ ප්‍රතිචාරය මොකක්ද?

12 සෙනඟ සමඟ ගිවිසුම ඇති කරගත් විගස තමාගේ පොරොන්දු ඉටු කරන්න දෙවි පියවර ගත්තා. සැබෑ නමස්කාරයට විශේෂ කූඩාරමක් සූදානම් කර සෙනඟ අතරින් පූජකයන්ව තෝරාගත්තා. පූජකයන්ගේ වගකීම වුණේ සෙනඟ පව් කළ විට දෙවි හා නැවත සමඟි වීමට උපකාර කිරීමයි. සෙනඟ දෙවිට කැප වී සිටියත් ගිවිසුම රැකීමට තමන්ගේ පැත්තෙන් විය යුතු දේවල් කළේ නැහැ. ඔවුන් අකීකරු වුණා. ‘ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණන්ගේ සිතට වේදනා ඇති කළා.’ (ගීතා. 78:41) උදාහරණයකට දෙවිගෙන් තවත් උපදෙස් ලබාගැනීමට මෝසෙස් සීනයි කන්දට ගිය අවස්ථාවේදී සෙනඟ මෝසෙස් පැමිණෙන තුරු ඉවසුවේ නැහැ. ඒ වෙනුවට ඔවුන් රනින් වසු රූපයක් සාදා මෙසේ කිව්වා. “ඊශ්‍රායෙල් ජනයෙනි, මේ තමයි ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනා ඔබේ දෙවි.” (නික්. 32:1, 4) ඉන්පසු ඔවුන් තමන් නමස්කාර කරන්නේ යෙහෝවා දෙවිට කියා පවසමින් ඒ රූපය ඉදිරියේ වැඳ වැටී පුද පූජා පැවැත්තුවා. එය දුටු දෙවි මෝසෙස්ට කිව්වේ මෙහෙමයි. ‘ඔවුන් යා යුතු මාර්ගය මම ඔවුන්ට කියා දුන්නත් ඔවුන් ඉක්මනින්ම ඒ මාර්ගයෙන් ඉවත්ව ගියා.’ (නික්. 32:5, 6, 8) වසර ගණනාවක් පුරා ඊශ්‍රායෙල්වරුන් යෙහෝවා දෙවිට විවිධ භාරයන් වුණත් නැවත නැවතත් ඔවුන් ඒවා කඩ කළා.—ගණන්. 30:2.

තවත් දිවුරුම් දෙකක්

13. දාවිත්ට දෙවි දුන් පොරොන්දුව මොකක්ද? එය පැවත එන තැනැත්තාට අදාළ වෙන්නේ කොහොමද?

13 දෙවි තමාට කීකරු වන ජනයාගේ ප්‍රයෝජනය සඳහා දාවිත් රජුගේ කාලයේදී තවත් දිවුරුම් දෙකක් දුන්නා. ඉන් එකක් නම් ඔබේ සිංහාසනය සදහටම පවතියි කියා දෙවි දිවුරා දාවිත්ට දුන් පොරොන්දුවයි. (ගීතා. 89:35, 36; 132:11, 12) පැවත එන තැනැත්තා දාවිත්ගේ පෙළපතෙන් එන බවත් ඔහුව ‘දාවිත්ගේ පුත්‍රයා’ ලෙස හඳුන්වන බවත් ඉන් අදහස් වුණා. (මතෙ. 1:1; 21:9) ඒ පැවත එන තැනැත්තා තමාට වඩා උතුම් කෙනෙක් වූ යේසුස් නිසා දාවිත් ඔහුව හැඳින්නුවේ ‘මාගේ ස්වාමීන්’ කියායි.—මතෙ. 22:42-44.

14. පැවතෙන තැනැත්තා ගැන දෙවි පොරොන්දු වුණේ මොකක්ද? එය අපට බලපාන්නේ කොහොමද?

14 දෙවෙනි පොරොන්දුව යෙහෝවා දෙවි දාවිත් මාර්ගයෙන්ම ප්‍රකාශ කළා. එම පොරොන්දුවට අනුව පැවත එන තැනැත්තා රජෙක් වගේම උත්තම පූජකයෙක්. දෙවිගේ නීතියට අනුව ඊශ්‍රයෙලයේ රජවරුන්ව පත් කළේ යූදා ගෝත්‍රයෙන්. පූජකයන්ව පත් කළේ ලෙවී ගෝත්‍රයෙන්. ඒ අනුව එක් තැනැත්තෙකුට මේ පදවි දෙකම ලැබීම විශේෂ වරප්‍රසාදයක්. යෙහෝවා දෙවි දාවිත් මාර්ගයෙන් පැවසුවේ මෙයයි. “යෙහෝවා දෙවි මාගේ ස්වාමීන්ට මෙසේ කීවේය. ‘මා ඔබේ සතුරන්ව ඔබේ පා පුටුව ලෙස තබන තුරු මාගේ දකුණු පැත්තේ හිඳගන්න.’ ‘ඔබ මෙල්කිසදෙක් හා සමානව පූජකයෙක් ලෙස සදහටම සේවය කරන්නෙහිය’ කියා යෙහෝවා දෙවි දිවුරා පොරොන්දු වුණේය. ඔහු ඒ ගැන කනගාටු නොවන්නේය.” (ගීතා. 110:1, 4) ඒ පොරොන්දුව දැනටමත් ඉටු වෙමින් තිබෙනවා. පැවත එන තැනැත්තා වන යේසුස් ස්වර්ගයේ රජකම් කරමින් සිටින අතර පසුතැවිලි වන ජනයාට දෙවි හා සමඟි වීමට උත්තම පූජකයා ලෙසත් කටයුතු කරනවා.—හෙබ්‍රෙව් 7:21, 25, 26 කියවන්න.

අලුත් ජාතියක් වූ දෙවිගේ ඊශ්‍රායෙලය

15, 16. (අ) බයිබලයේ සඳහන් වෙන්නේ මොන ඊශ්‍රායෙල් ජාතීන් දෙක ගැනද? අද දෙවිගේ ආශීර්වාදය තිබෙන්නේ ඉන් කාටද? (ආ) දිවුරීම ගැන යේසුස් තම ගෝලයන්ට පැවසුවේ මොකක්ද?

15 යේසුස්ව ප්‍රතික්ෂේප කළ නිසා දෙවි ඊශ්‍රායෙල්වරුන්ව ප්‍රතික්ෂේප කළා. ඒ නිසා ඔවුන්ට “පූජකයන්ගෙන් යුත් රාජ්‍යයක්” වීමේ වරප්‍රසාදය අහිමි වුණා. ඒ ගැන යේසුස් යුදෙව් ආගමික නායකයන්ට කිව්වේ මෙසේයි. ‘දෙවිගේ රාජ්‍යය ඔබෙන් ගෙන රාජ්‍යය වෙනුවෙන් පල උපදවන වෙනත් ජාතියකට එය දෙනු ලබයි.’ (මතෙ. 21:43) යේසුස් මෙහි සඳහන් කරන වෙනත් ජාතිය පිහිටෙව්වේ ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසේදියි. එදා යෙරුසලමේ රැස්ව සිටි ගෝලයන් 120දෙනාට දෙවිගේ බලය ලැබීමත් සමඟ එම අලුත් ජාතියේ මුල්ම සාමාජිකයන් වීමේ ප්‍රස්තාව ලැබුණා. මෙම අලුත් ජාතිය හැඳින්නුවේ “දෙවිගේ ඊශ්‍රායෙලය” ලෙසයි. (ගලා. 6:16) වැඩි කල් යන්න කලින් විවිධ ජාතීන්ට අයත් දහස් ගණන්දෙනා එම අලුත් ජාතියේ සාමාජිකයන් බවට පත් වුණා.

16 ආබ්‍රහම්ගෙන් පැවතෙන ඊශ්‍රායෙල් ජාතිය දෙවිට අකීකරු වුණත් දෙවිගේ ඊශ්‍රායෙලයේ සාමාජිකයන් දිගටම ඔහුට කීකරුව සිටිනවා. යේසුස් මේ පොළොවේ සිටි කාලයේදී මිනිසුන් කිසි වැදගැම්මකට නැති කාරණාවලදී පවා බොරුවට දිවුරුවා. (මතෙ. 23:16-22) ඒ නිසා යේසුස් තම අනුගාමිකයන්ට මෙහෙම කිව්වා. ‘කිසිසේත් නොදිවුරන්න. එසේය කියා කිව යුතු අවස්ථාවලදී එසේය කියාත් නැත කියා කිව යුතු අවස්ථාවලදී නැත කියාත් පැවසීම ප්‍රමාණවත්. මන්ද කෙනෙක් ඊට වැඩි දෙයක් පැවසීමට පෙලඹෙන්නේ දුෂ්ටයාගේ බලපෑම නිසයි.’—මතෙ. 5:34, 37.

යෙහෝවා දෙවිගේ පොරොන්දු අනිවාර්යයෙන්ම ඉටු වෙයි

17. ඊළඟ ලිපියෙන් සාකච්ඡා කරන්නේ මොන ප්‍රශ්නද?

17 යේසුස් පැවසූ දේට අනුව කිසිම අවස්ථාවකදී දිවුරුමක් දෙන එක වැරදිද? ඒ වගේම එසේය කියා කිව යුතු අවස්ථාවේදී එසේය කියන්න කියා යේසුස් පැවසූ දෙයින් අදහස් කරන්නේ මොකක්ද? මේ ප්‍රශ්නවලට පිළිතුරු ඊළඟ ලිපියෙන් සාකච්ඡා කරමු. සැමවිටම මුළු සිතින් දෙවිට කීකරු වීම සඳහා අපි ඉගෙනගත් දේවල් ගැන ගැඹුරින් කල්පනා කරමු. එසේ කරනවා නම් දෙවි, දිවුරා පොරොන්දු වූ සෑම දෙයක්ම ඉටු වන ආකාරය අපිට දැකගන්න පුළුවන්.