Skip to content

පටුනට යන්න

ඔබේ ආකල්පය සභාවට බලපායි

ඔබේ ආකල්පය සභාවට බලපායි

“යහපත් ආකල්පයක් ඇතුව සිටින ඔබ සියලුදෙනාට ස්වාමීන් වන ක්‍රිස්තුස්ගේ මහත් කරුණාව ලැබේවා!”—ෆිලෙ. 25.

1. සභාවන්ට ලියූ ලිපිවල පාවුල් කිහිපවිටක්ම සඳහන් කළේ මොකක්ද?

හොඳ ආකල්පයක් ඇතුව සිටි සහෝදරයන්ට දෙවිගේ හා යේසුස්ගේ අනුමැතිය ලැබෙයි කියා පාවුල් විශ්වාස කළා. ඔහු සභාවන්ට ලියද්දී ඒ බව කිහිපවිටක්ම සඳහන් කළා. උදාහරණයකට ඔහු ගලාතිවරුන්ට ලිව්වේ මෙහෙමයි. “යහපත් ආකල්පයක් ඇතුව සිටින ඔබට අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ මහත් කරුණාව ලැබේවා! ආමෙන්.” (ගලා. 6:18) ‘යහපත් ආකල්පයක් ඇතුව සිටින්න’ කියද්දී ඔහු අදහස් කළේ මොකක්ද?

2, 3. (අ) “ආකල්පය” යන වචනයෙන් අදහස් වෙන්නේ මොකක්ද? (ආ) අපි අසාගත යුතු ප්‍රශ්න මොනවාද?

2 ආකල්පය යන වචනයෙන් අදහස් වෙන්නේ අපි හිතන විදිහයි. අපි හිතන විදිහ අපි කතා කරන දේවලට හා ක්‍රියා කරන ආකාරයට කෙළින්ම බලපානවා. පුද්ගලයෙක් කරුණාවන්ත, සැලකිලිමත්, ත්‍යාගශීලී, සමාව දෙන, “කලබල නොවන” හා ‘තැන්පත් මෘදු ස්වභාවයක්’ ඇති කෙනෙක් වෙන්නේ ඔහුගේ යහපත් ආකල්පය නිසයි. (හිතෝ. 17:27; 1 පේතෘ. 3:4) අනික් අතට කෙනෙක් අන් අයගේ හිත රිද්දන්න, ධන සම්පත්වලට වැඩි ඇල්මක් දක්වන්න, පොඩ්ඩ බැරි වෙද්දී හිත රිද්දගන්න හෝ උපදෙස් පිළි නොගන්න ඉඩ තිබෙනවා. ඒ වගේම කාමුක දේවල් ගැන හිතන අය වගේම කැරලිකාර අයත් ඉන්නවා. ඒකට හේතුව ඔවුන් තුළ නරක ආකල්ප තිබීමයි.

3 ‘යහපත් ආකල්පයක් ඇතුව සිටින්න’ කියා පාවුල් සහෝදරයන්ට දිරිගැන්නුවා. එහෙම ඉන්න පුළුවන් වෙන්නේ යේසුස්ව අනුගමනය කරමින් දෙවිව සතුටු කරන විදිහට ජීවත් වීමෙනුයි. (2 තිමෝ. 4:22; කොලොස්සි 3:9-12 කියවන්න.) ඒ නිසා අපි මෙවැනි ප්‍රශ්න අපෙන්ම අසාගන්න ඕනේ. ‘මට තියෙන්නේ මොන වගේ ආකල්පයක්ද? මීට වඩා හොඳින් දෙවිව සතුටු කරන්න මට පුළුවන් කොහොමද? යහපත් ආකල්පයක් වර්ධනය කරගන්න සභාවේ ඉන්න අයට උදව් කරන්නේ කොහොමද?’ උදාහරණයකට සූර්යකාන්ත මල් යායක් ගැන සිතන්න. එක් එක් මලේ තිබෙන දීප්තිමත් වර්ණය නිසා මල් යායම ලස්සන වෙනවා. ඒ හා සමානව එක් එක් සාමාජිකයා තුළ තිබෙන යහපත් ආකල්ප නිසා මුළු සභාවෙම යහපත් ආකල්පයක් ඇති වෙනවා. ඒ නිසා ‘සභාවේ යහපත් ආකල්පයක් පවත්වගන්න මමත් දායක වෙනවාද’ කියා අපි සිතා බැලිය යුතුයි. එසේ කිරීමට අපි උපරිම වෑයමක් දරන්න ඕනේ. දෙවිව සතුටු කරන ආකල්පයක් ඇතුව ඉන්න පුළුවන් කොහොමද කියලා දැන් අපි බලමු.

ලෝකයේ බලපෑමෙන් වළකින්න

4. “මේ ලෝකයේ සිටින අයගේ බලපෑම” කීමෙන් අදහස් කරන්නේ මොකක්ද?

4 පාවුල් ‘මේ ලෝකයේ සිටින අයගේ බලපෑමට හසු නොවීම’ ගැන කතා කළා. (1 කොරි. 2:12) ඒ බලපෑම මොකක්ද? එෆීස 2:2 කතා කරන්නෙත් ඒ බලපෑම ගැනමයි. “කලක් ඔබ ඔබේ ජීවිතය ගත කළේ මේ සමාජයේ සිටින අය ජීවත් වන ආකාරයටය. ඔබ හසු වී සිටියේ මේ සමාජයේ සිටින මිනිසුන්ට බලපෑම් කරන තැනැත්තාගේ බලපෑමටයි. ඔහුගේ එම බලපෑම අප හුස්ම ගන්නා වාතය මෙන් හාත්පස පැතිර පවතී. දෙවිට අකීකරු සියලුදෙනා එම බලපෑමට හසු වී සිටිති.” එහි සඳහන් කරන බලපෑම වන්නේ මිනිසුන් තුළ තිබෙන නරක ආකල්පයි. ‘මං මොනවද කරන්න ඕන කියලා කවුරුත් මට කියන්න ඕන්නෑ.’ ‘අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්න ඕනේ.’ එවැනි ආකල්ප සාතන්ගේ ලෝකය පුරාම පැතිර තිබෙනවා. ‘දෙවිට අකීකරු සියලුදෙනා සිටින්නේ එම බලපෑමට හසු වෙලයි.’

5. සමහර ඊශ්‍රායෙල්වරුන් තුළ තිබුණේ මොන නරක ආකල්පයද?

5 මෙවැනි ආකල්ප මිනිසුන් තුළ ඇති වෙන්න පටන්ගත්තේ අද ඊයෙක නෙවෙයි. පුරාණයේ ඊශ්‍රායෙල් ජාතියේ පෙරමුණ ගත් අයට විරුද්ධව කෝරා කැරලිගැසුවා. ඔහු විශේෂයෙන්ම පූජකයන් වූ ආරොන් හා ඔහුගේ පුතුන්ට විරුද්ධව දොස් නැඟුවා. සමහරවිට කෝරා ඔවුන්ගේ අඩුපාඩු දකින්න ඇති. මෝසෙස් ඔවුන්ට විශේෂ වරප්‍රසාද දුන්නේ නෑදෑකම් බලලා කියලත් ඔහු හිතන්න ඇති. කෝරා කොහොම හිතුවත් දෙවි හිතන ආකාරයට නම් හිතුවේ නැහැ. දෙවි පත් කළ අයට අගෞරවනීය ලෙස කතා කරමින් ඔහු මෙහෙම කිව්වා. “ඔබ දෙදෙනා විතරක් ඇයි යෙහෝවා දෙවිගේ සෙනඟට වඩා ඉහළින් යන්න හදන්නේ? අපිට දැන් නුඹලාව හොඳටම ඇති වෙලයි තියෙන්නේ.” (ගණන්. 16:3) කෝරා මෙන් දාතාන් හා අබිරාම්ද කැරලිගසමින් මෝසෙස් තමන්ව ‘පාලනය කරන්න හදනවා’ කියා චෝදනා කළා. තමාව හමු වීමට එන්න කියා මෝසෙස් ඔවුන්ට කී විට ඔවුන් උඩඟු ලෙස මෙසේ කියා යැව්වා. “අපි කොහොමටවත් ඔබ ළඟට එන්නේ නැහැ.” (ගණන්. 16:12-14) යෙහෝවා දෙවි මේ කැරලිකාර ආකල්පය කොහෙත්ම අනුමත කළේ නැති නිසා කැරලිගැසූ සියලුදෙනාවම විනාශ කළා.—ගණන්. 16:28-35.

6. මුල් සියවසේ සිටි සමහරුන්ට තිබූ නරක ආකල්පය මොකක්ද? ඊට හේතුව මොකක් විය හැකිද?

6 මුල් සියවසෙත් එවැනි අය හිටියා. සභාවේ ‘තමන්ට ඉහළින් සිටි අයට අගෞරව කළ’ ඔවුන් පෙරමුණ ගත් අයව විවේචනය කළා. (යූද් 8) ලැබී තිබුණු වගකීම් අගේ නොකළ ඔවුන් තමන්ට තවත් වගකීම් ලැබිය යුතුයි කියා සිතන්න ඇති. එතනින් නොනැවතී සභාව වෙනුවෙන් වෙහෙස මහන්සි වී වැඩ කළ අයට අගෞරවයෙන් සලකන්න ඔවුන් අනික් අයවත් පෙලඹුවා.—3 යොහන් 9, 10 කියවන්න.

7. අපි පරෙස්සම් වෙන්න ඕන මොන වගේ ආකල්පයකින්ද?

7 අද සිටින වැඩිමහල්ලනුත් පරිපූර්ණ අය නෙවෙයි. ඔවුන් අතිනුත් දුර්වලකම් වෙනවා. ප්‍රතිඵලයක් විදිහට ඒවා අපිට පෞද්ගලිකව බලපාන්න ඉඩ තිබෙනවා. කොහොමවුණත් කැරලිකාර ආකල්පයක් සභාව තුළ ඇති වෙන්න කිසි ඉඩක් නොතැබිය යුතුයි. ඒ වගේ අවස්ථාවක ‘යුක්තිය ඉටු කරන තුරු’ හෝ ‘ඒ සහෝදරයාව වැඩිමහල්කමෙන් අයින් කරන තුරු’ සටන අත්හරින්නේ නැහැ යන ආකල්පය ඇතුව ක්‍රියා නොකළ යුතුයි. එය සාතන්ගේ ලෝකයේ සිටින මිනිසුන්ගේ ආකල්පයක්! දෙවි පවා වැඩිමහල්ලන් අතින් සිදු වන සමහර සුළු සුළු අඩුපාඩුකම් නොසලකාහරින්න ඉඩ තිබෙන බව අපි මතක තබාගනිමු. අපිටත් පුළුවන්ද එහෙම කරන්න? බරපතළ වැරදි කරන සමහර අය තමන්ට උපකාර කිරීමට පත් කළ වැඩිමහල්ලන් තුළ ඇති යම් අඩුපාඩු නිසා ඔවුන්ගෙන් උපකාර ලබාගන්න කැමති නැහැ. එය හරියට තමන් අකමැති යම් ගුණාංගයක් වෛද්‍යවරයෙකුට තිබෙන නිසා ඔහුගෙන් ප්‍රතිකාර ගැනීම ප්‍රතික්ෂේප කරනවා හා සමානයි.

8. වැඩිමහල්ලන් ගැන හොඳ ආකල්පයක් ඇතුව සිටින්න අපිට උපකාරවත් වෙන බයිබල් පද මොනවාද?

8 “තාරකා හතක්” යේසුස්ගේ “දකුණතෙහි” තිබෙන බව අපි මතක තබාගන්නවා නම් නරක ආකල්පයක් ඇති කරගැනීමෙන් වළකින්න අපිට පුළුවන්. (එළි. 1:16, 20) ඒ තාරකාවලින් මූලිකව නියෝජනය වන්නේ අභිෂේක ලත් වැඩිමහල්ලන්ව වුණත් අනික් සියලුම වැඩිමහල්ලන්වත් ඉන් නියෝජනය වෙනවා. ඒ තාරකා හෙවත් වැඩිමහල්ලන් සිටින්නේ යේසුස්ගේ පාලනය යටතෙයි. සභාවේ හිස වන යේසුස් සභාවල සිටින වැඩිමහල්ලන් කටයුතු කරන්නේ කොහොමද කියලා අපිට වඩා හොඳට දන්නවා. යේසුස්ගේ ‘ඇස් ගිනිසිළු වගේ’ කීමෙන් අදහස් වෙන්නේ සියල්ල තියුණුව දැකීමට ඔහුට හැකි බවයි. (එළි. 1:14) වැඩිමහල්ලෙකුට යම් නිවැරදි කිරීමක් හෝ උපදෙසක් අවශ්‍ය නම් හරි වෙලාවට හරි විදිහට යේසුස් එය ලබා දෙයි. ඒ නිසා යේසුස් එසේ කරන තුරු යේසුස්ගේ දකුණු අතේ සිටින වැඩිමහල්ලන්ට අපි ගෞරව කළ යුතුයි. ඒ ගැන පාවුල් කිව්වේ මෙසේයි. “ඔබ අතරෙහි පෙරමුණ ගෙන ක්‍රියා කරන අයට කීකරු වන්න. එලෙසම ඔවුන්ට යටත් වී සිටින්න. ඔබ එසේ කළොත් ඔවුන්ට තම කාර්යය සුසුම්ලමින් නොව ප්‍රීතියෙන් කිරීමට හැකි වේ. මන්ද ඔබ ගැන ගණන් දිය යුතු අය ලෙස ඔවුහු ඔබ ගැන සෝදිසියෙන් සිටිති. තම කාර්යය සුසුම්ලමින් කිරීමට සිදු වුවහොත් එයින් ඔබට හානියක් සිදු වේ.”—හෙබ්‍රෙ. 13:17.

9. (අ) හික්මවීමක් ලබන කෙනෙක් මොන වගේ ප්‍රතිචාරයක් දක්වන්න ඉඩ තිබෙනවාද? (ආ) හික්මවීමක් ලැබුණොත් කළ හැකි හොඳම දේ මොකක්ද?

9 වැඩිමහල්ලන් කෙනෙක්ව නිවැරදි කරන විට හෝ ඔහුගේ වගකීම් ඉවත් කරන විට ඔහු ඊට ප්‍රතිචාරය දක්වන ආකාරයෙන් ඔහුට තිබෙන්නේ යහපත් ආකල්පයක්ද නැද්ද කියා පැහැදිලි වෙනවා. උදාහරණයකට ප්‍රචණ්ඩකාරී වීඩියෝ ක්‍රීඩාවල යෙදුණු තරුණ සහායක සේවකයෙකුට වැඩිමහල්ලන් කාරුණිකව උපදෙස් දුන්නා. නමුත් ඔහු ඒවා පිළිගත්තේ නැහැ. සහායක සේවකයෙකුට තිබිය යුතු සුදුසුකම් නැති කරගත් නිසා ඔහුට එම වරප්‍රසාදය අහිමි වුණා. (ගීතා. 11:5; 1 තිමෝ. 3:8-10) වැඩිමහල්ලන් ගත් තීරණයට එකඟ නොවූ ඔහු ඔවුන්ට දොස් නඟමින් ශාඛා කාර්යාලයට ලිපි බොහොමයක් ලිව්වා. එසේ ලියන්න කියා සභාවේ අනික් අයව පොලඹවන්නත් උත්සාහ කළා. එවැනි ආකල්පයක් මුළු සභාවෙම සාමයට හානියක්. වැරදි පිළි නොගෙන නිදහසට කරුණු කීමෙන් කාටවත් යහපතක් සිදු වෙන්නේ නැහැ. ඒ වෙනුවට හොඳම දෙය වන්නේ යම් හික්මවීමක් ලැබුණු විට අපේ දුර්වලකම් හඳුනාගෙන ඉක්මනින්ම වරද හදාගැනීමයි.—විලාප ගී 3:28, 29 කියවන්න.

10. (අ) යහපත් ආකල්ප හා නරක ආකල්ප ගැන යාකොබ් පොතෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද? (ආ) දෙවි දෙන ප්‍රඥාවට අනුව ක්‍රියා කරන විට ලැබෙන ප්‍රයෝජනය මොකක්ද?

10 සභාව තුළ තිබිය යුතු යහපත් ආකල්ප වගේම නොතිබිය යුතු නරක ආකල්ප ගැනත් යාකොබ් 3:16-18 දක්වා සඳහන් වී තිබෙනවා. “ඊර්ෂ්‍යාව ඇති විවාදශීලී කෙනෙකු තුළ වියවුලද සියලු ආකාර පිළිකුල් දේවල්ද දක්නට ලැබේ. නමුත් ස්වර්ගයෙන් පැමිණෙන ප්‍රඥාව තිබෙන කෙනෙකු තුළ මුලින්ම දක්නට ලැබෙන්නේ නිර්මලකමය. එසේම ඔහු සාමකාමීය. ඔහු සාධාරණ ලෙස කටයුතු කරන, කීකරු වීමට සූදානම්, දයාවෙන් සහ යහපත් ගතිගුණවලින් පිරී සිටින කෙනෙකි. ඔහු සියලුදෙනාටම එක හා සමානව සලකයි. ඔහු කුහකකමින් තොර මිනිසෙකි. මීට අමතරව සමාදානය ඇති වන අයුරින් ක්‍රියා කරන අය එම සාමකාමී වාතාවරණය තුළ ධර්මිෂ්ඨකම නමැති පල නෙළාගනු ඇත.” දෙවි දෙන ප්‍රඥාවට අනුව අපි ක්‍රියා කරනවා නම් ඔහුව ආදර්ශයට ගන්න අපිට පුළුවන්. එහෙම කරද්දී සභාවේ අනික් අයත් එවැනිම ආකල්පයක් ඇති කරගන්න පෙලඹෙන අතර එය මුළු සභාවෙම එක්සත්කමට දායක වෙනවා.

දෙවිගේ සැලැස්මට ගරු කරන්න

11. (අ) අපිට යහපත් ආකල්පයක් තිබෙනවා නම් අපි නොකරන්නේ මොකක්ද? (ආ) දාවිත්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

11 ‘තම රැළ රැකබලා ගැනීමේ’ වගකීම වැඩිමහල්ලන්ට දී තිබෙන්නේ යෙහෝවා දෙවියි. (ක්‍රියා 20:28; 1 පේතෘ. 5:2) අපි වැඩිමහල්ලන් වුණත් නැතත් දෙවි ඇති කර තිබෙන ඒ සැලැස්මට ගරු කළ යුතුයි. දෙවි ලබා දෙන වරප්‍රසාද හෝ වගකීම් තනතුරු ලෙස සලකන්න එපා. ඒ වගේම අන් අයට ලැබෙන වරප්‍රසාද ගැන ඊර්ෂ්‍යා කරන්නත් එපා. තමා වෙනුවට දාවිත් රජ වෙයි කියා සිතූ මොහොතේ සිට සාවුල් රජ ‘දාවිත් දෙස සැකෙන් බලන්න පටන්ගත්තා.’ (1 සාමු. 18:9) ඒ වැරදි ආකල්පය නිසා දාවිත්ව මරන්නත් ඔහු උත්සාහ කළා. තම රජකම ගැන අනවශ්‍ය ලෙස සිතූ සාවුල් වගේ නොවී අපි දාවිත් වගේ වෙමු. දාවිත් බොහෝ අසාධාරණකම්වලට මුහුණ දුන්නත් දෙවි ඇති කළ සැලැස්මටත් පෙරමුණ ගන්න පත් කළ තැනැත්තාටත් සැමවිටම ගරු කළා.—1 සාමුවෙල් 26:23 කියවන්න.

12. සභාවේ එකමුතුකමට දායක වෙන්න අපිට පුළුවන් කොහොමද?

12 අපි එකිනෙකාට විවිධ මත තිබෙන නිසා සමහරවිට එකිනෙකාගේ සිත රිදවන්න ඉඩ තිබෙනවා. වැඩිමහල් මණ්ඩලයක් තුළ පවා එවැනි දෙයක් සිදු වෙන්න පුළුවන්. ඒ නිසා බයිබලයේ තිබෙන මේ උපදෙස අපි සිතට ගමු. “එකිනෙකාට ගෞරවය පෙන්වීමේදී පෙරමුණ ගන්න.” ඒ වගේම “ඔබ ඉතා ඥානවන්තයි කියා නොසිතන්න.” (රෝම 12:10, 16) එයින් අදහස් කරන්නේ තමන් හිතන විදිහ විතරක් හරියි කියා හැම තිස්සෙම නොසිතිය යුතු බවයි. මොකද යම් කාරණයකදී තව කෙනෙක් දරන අදහස අපේ අදහසට වඩා වෙනස් වූ පමණින් ඒ අදහස වැරදි වෙන්නේ නැහැ. අනික් අය හිතන විදිහ තේරුම්ගන්න අපි උපරිමයෙන් උත්සාහ කරනවා නම් එය සභාවේ එකමුතුකමට දායක වෙනවා.—ෆිලි. 4:5.

13. යම් කාරණයක් ගැන වැඩිමහල්ලන් සමඟ කතා කළ පසු අප කළ යුත්තේ මොකක්ද? බයිබලයේ තිබෙන උදාහරණය මොකක්ද?

13 සභාවේ නිවැරදි කරන්න තිබෙන දෙයක් දැක්කොත් ඒ ගැන වැඩිමහල්ලන්ට කියන එක වැරදියි කියා ඉන් අදහස් වෙනවාද? නැහැ. මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන් බොහෝදෙනෙක් එකඟ නොවූ කාරණයක් ගැන විවාදයක් ඇති වුණා. ඇති වූ විවාදය ගැන සාකච්ඡා කිරීම සඳහා යෙරුසලමේ සිටි නියෝජිතයන් සහ වැඩිමහල්ලන්ව හමු වීමට සහෝදරයන් පාවුල්ව, බානබස්ව සහ තවත් සහෝදරයන් කිහිපදෙනෙකුව එහි යැව්වා. (ක්‍රියා 15:2) පාවුල් ඇතුළු එම කණ්ඩායමට ඒ කාරණය ගැන විවිධ මත තිබුණු බව නිසැකයි. ඔවුන්ගේ අදහස් නියෝජිතයන් සහ වැඩිමහල්ලන්ට ඉදිරිපත් කළ පසු දෙවිගේ මඟ පෙන්වීමෙන් අවසන් තීරණයක් ගත්තා. පාවුල් ඇතුළු කණ්ඩායම එම තීරණය විවේචනය නොකර පිළිගත්තා. ඒ තීරණය ගැන ලිපි මාර්ගයෙන් සභාවන්ට දැනුම් දුන්නාට පසු සභාවන් ‘එයින් දිරිගැන්වීම් ලබා ප්‍රීතිමත් වූ අතර සියලුදෙනාගේ විශ්වාසයත් ශක්තිමත් වුණා.’ (ක්‍රියා 15:31; 16:4, 5) ඒ හා සමානව අදත් යම් කාරණයක් ගැන අපි වැඩිමහල්ලන්ට කිවූ පසු දෙවිගේ උපකාරය ඇතුව ඔවුන් අවශ්‍ය පියවර ගනියි කියා විශ්වාසයෙන් හා ඉවසීමෙන් බලා සිටිමු.

එකිනෙකාට සමාව දෙන්න

14. එකිනෙකා අතර යහපත් ආකල්පයක් පවත්වාගන්න පුළුවන් කොහොමද?

14 අපි එකිනෙකා අතර යහපත් ආකල්පයක් පවත්වාගන්න පුළුවන් එක ක්‍රමයක් නම් එකිනෙකාට සමාව දීමයි. ඒ ගැන පාවුල් මෙහෙම කියනවා. “අන් අය කරන දේ ගැන අමනාපයක් ඇති වීමට සාධාරණ හේතු තිබෙන විටත් ඔවුන් ගැන ඉවසන්න. නිතරම ඔවුන්ට මුළු හදවතින්ම සමාව දෙන්න. යෙහෝවා දෙවි ඔබට මුළු හදවතින්ම සමාව දී තිබෙන ආකාරයටම ඔබත් සමාව දෙන්න.” (කොලො. 3:13) “අමනාපයක් ඇති වීමට සාධාරණ හේතු තිබෙන විට” කියා පාවුල් කිව්වේ අපි එකිනෙකා අතර විටින් විට හිත් අමනාපකම් ඇති වන නිසයි. නමුත් පුංචි පුංචි දේවල් ලොකු කරගෙන සිත රිදවාගැනීමෙන් අපි වැළකිය යුතුයි. එය සභාවේ සාමයට බාධාවක්. ඒ වෙනුවට යෙහෝවා දෙවි මෙන් එකිනෙකාට සමාව දී ඔවුන් සමඟ එක් වී දෙවිට සේවය කරමු.

15. (අ) සමාව දීම ගැන අපිට යෝබ්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද? (ආ) දෙවිව සතුටු කරන ආකල්පයක් ඇතුව ඉන්න යාච්ඤාව උදව් වෙන්නේ කොහොමද?

15 සමාව දීම සම්බන්ධයෙන් යෝබ් හොඳ ආදර්ශයක්. ඔහුව සනසන්න පැමිණි මිත්‍රයන් තුන්දෙනා කී දේවලින් සිදු වුණේ ඔහුගේ හිත බිඳී යෑමයි. නමුත් යෝබ් ඔවුන්ට සමාව දුන්නා. ඔහු එසේ කළේ ‘ඔවුන් වෙනුවෙන් යාච්ඤා කිරීමෙන්.’ (යෝබ් 16:2; 42:10) අන් අය වෙනුවෙන් යාච්ඤා කරන විට ඒ අය ගැන අපි හිතන විදිහ වෙනස් වෙනවා. ඔවුන් ගැන යේසුස් හිතන විදිහ තේරුම්ගන්නත් පහසු වෙනවා. (යොහ. 13:34, 35) ඊට අමතරව අපි දෙවිගේ බලය ඉල්ලා යාච්ඤා කිරීමත් අවශ්‍යයි. (ලූක් 11:13) දෙවිගේ බලය අප තුළ ක්‍රියාත්මක වෙද්දී ක්‍රිස්තියානි ගුණාංග විදහාපාන්න අමාරු වෙන්නේ නැහැ.—ගලාති 5:22, 23 කියවන්න.

යහපත් ආකල්පය සභාවට ආශීර්වාදයක්!

16, 17. ‘යහපත් ආකල්පයක් ඇතුව සිටීම’ ගැන ඔබ ගත් අධිෂ්ඨානය මොකක්ද?

16 අපි එක් එක් කෙනා හොඳ ආකල්පයක් ඇතුව කටයුතු කරන්න වෑයම් කරද්දී ඉන් මුළු සභාවම ප්‍රයෝජන ලබනවා. අපිට තවත් දියුණු විය හැකි පැති ගැන සිතන්න මේ ලිපිය අපිට උපකාර වෙනවා. ඒ නිසා අපේ අඩුපාඩු හදාගන්න දේවවචනයෙන් උපකාර ලැබෙද්දී ඉක්මනින්ම ඒවා හදාගනිමු. (හෙබ්‍රෙ. 4:12) සභාවට හොඳ ආදර්ශයක් වෙන්න කැමැත්තෙන් සිටි පාවුල් නිහතමානීව මෙසේ කිව්වා. “දැනුවත්ව මා අතින් කිසි වරදක් සිදු වී නැති බව මට ස්ථිරයි. මා එසේ සිතුවත් එයින් මා ධර්මිෂ්ඨයෙකු බව ඔප්පු වන්නේ නැත. මන්ද මාව සෝදිසි කර බලන්නේ යෙහෝවා දෙවිය.”—1 කොරි. 4:4.

17 සභාවේ යහපත් ආකල්පයක් තබාගැනීමට එකිනෙකාව දිරිගන්වන්න අපි හැමෝටම පුළුවන්. අපේම මතයේ එල්බගෙන අපි කැමති දේ කළ යුතුයි කියා අනික් අයට බල නොකරමු. ලැබී තිබෙන වරප්‍රසාද නිසා උඩඟු නොවෙමු. ඒ වෙනුවට යෙහෝවා දෙවි මෙන් එකිනෙකාට සමාව දෙමින් ඔවුන්ගේ යහපත ගැනම සිතමු. එවිට සභාවේ එකමුතුකම රැකගන්න අපිට පුළුවන්. (ෆිලි. 4:8) ‘යහපත් ආකල්පයක් ඇතුව සිටිනවා’ නම් යෙහෝවා දෙවි හා යේසුස් අප ගැන සතුටු වන බව නිසැකයි.—ෆිලෙ. 25.