Skip to content

පටුනට යන්න

‘දරුවන්ගේ මුවින්’ දිරිගැන්වීමක්!

‘දරුවන්ගේ මුවින්’ දිරිගැන්වීමක්!

රුසියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය 2009 දෙසැම්බර් මාසයේදී ටැගන්රොග් ප්‍රදේශයේ සිටි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට විරුද්ධව නඩු තීන්දුවක් දුන්නා. සාක්ෂිකරුවන්ගේ ආගමික සංවිධානය තහනම් කළ අතර ඔවුන්ගේ නමස්කාර මධ්‍යස්ථානය රාජසන්තක කළා. ඒ විතරක් නෙවෙයි සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශන 34ක් අන්තවාදියි කියාත් නම් කළා. මේ වාර්තාව සමඟ ටැගන්රොග්හි සාක්ෂිකරුවන්ගේ හා ඔවුන්ගේ දරුවන්ගේ ඡායාරූප සාක්ෂිකරුවන්ගේ වෙබ් අඩවියට ඇතුළත් කර තිබුණා.

මාස කීපයකට පස්සේ රුසියාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පරිපාලන මධ්‍යස්ථානයට පෙට්ටියක් හා ලිපියක් තැපෑලෙන් එවා තිබුණා. එය එවා තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ගැන වාර්තාව දුටු ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයේ සිටින සාක්ෂිකාර පවුලක්. ඒ ලිපියේ ලියා තිබුණේ මෙයයි. “ප්‍රිය සහෝදරයෙනි, අපේ දරුවන් දෙන්නා වන කෝඩි සහ ලැරිස්සා රුසියාවේ ඉන්න අපේ සහෝදරයන් පීඩා මැද විශ්වාසවන්තව ඉන්න විදිහ ගැන දැනගත්තාම ගොඩක් දුක් වුණා. ඒ නිසා ටැගන්රොග්වල ඉන්න සාක්ෂිකාර දරුවන්ට මේ ලියුම් ටිකයි තෑගියි එවන්න ඔවුන්ට හිතුණා. අපේ දරුවෝ දෙන්නා කිව්වා ‘අපි ගොඩක් ඈතින් හිටියත් අපිත් දෙවිට විශ්වාසවන්තව ඉන්නවා. ඒ වගේම අපි එයාලව නිතරම මතක් කරමින් එයාලා ගැන යාච්ඤා කරනවා. අපි එයාලට හුඟක් ආදරෙයි’ කියලා.”

තෑගිබෝග භාරගත් ටැගන්රොග්වල දරුවන් ඕස්ට්‍රේලියාවේ සිටින එම පවුලට ස්තුති කර ලිපි යැව්වා. දරුවන් වුණත් ඔවුන් එකිනෙකාව දිරිගැන්වූ ආකාරය දුටු රුසියාවේ ශාඛා කාර්යාලයේ සේවය කරන සහෝදරයෙක් කෝඩි හා ලැරිස්සාට මෙසේ ලිව්වා. “නොකළ වරදකට දඬුවම් විඳින්න වෙනකොට ඒක වැඩිහිටියන්ට වගේම දරුවන්ටත් ලොකු වේදනාවක්. ටැගන්රොග්වල ඉන්න අපේ සහෝදරයන් කිසි වරදක් කරලා නැහැ. ඒ වුණත් ඔවුන්ගේ නමස්කාර මධ්‍යස්ථානය පවා ඔවුන්ට අහිමි වුණා. ඒ නිසා ඔවුන් ඉන්නේ හුඟක් දුකෙන්. ලෝකේ අනික් කෙළවරේ ඉන්න අය ඔවුන් ගැන හිතනවා කියලා දැනගත්තාම ඒක මොන තරම් දිරිගැන්වීමක්ද! ඔයාලා අපි ගැන හිතලා තෑගිබෝග එව්වට ඔයාලට ගොඩක් ස්තුතියි!”—ගීතා. 8:2.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඇත්තටම ලෝක ව්‍යාප්ත පවුලක්! එකිනෙකා කෙරෙහි තිබෙන අවංක ආදරය නිසයි ජීවිතේ ඕනෑම ප්‍රශ්නයකට වුණත් මුහුණ දෙන්න අපිට ශක්තිය ලැබෙන්නේ. සාක්ෂිකරුවන් තම පොත් පත් මගින් මිනිසුන් අතර වෛරයක් ඇති කරනවා කියා බලධාරීන් චෝදනා කළත් අපේ දරුවන් ජාතිය හා සංස්කෘතිය නොබලා යේසුස්ගේ මේ වදන් සත්‍යය බව ඔප්පු කර තිබෙනවා. යේසුස් පැවසුවේ “ඔබ අතරේ ප්‍රේමය ඇත්නම් ඔබ මගේ ගෝලයන් බව සියලුදෙනාම දැනගනියි” කියායි.—යොහ. 13:35.