Skip to content

පටුනට යන්න

“ඔබේ කැමැත්ත කිරීමට මට උගන්වන්න”

“ඔබේ කැමැත්ත කිරීමට මට උගන්වන්න”

“ඔබේ කැමැත්ත කිරීමට මට උගන්වන්න. මන්ද ඔබ මාගේ දෙවිය.”—ගීතා. 143:10.

1, 2. දෙවි හිතන විදිහට හිතන්න පුරුදු වීම අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද? දාවිත්ගේ ජීවිතය සම්බන්ධයෙන් අපි බලන්නේ මොකක්ද?

තමන් යන්නේ හරි පාරේද කියා දැනගැනීමට මිනිසුන් දැන් චන්ද්‍රිකා තාක්ෂණය යොදාගන්නවා. තැනකට යන්න පුළුවන් හොඳම පාර හොයාගන්න ඒක ලොකු උදව්වක්. ජීවිතයේ වැදගත් තීරණ ගන්න සිදු වෙද්දිත් යෙහෝවා දෙවි අනුමත කරන ‘හරි මඟ’ සොයාගැනීමට ක්‍රමයක් තියෙනවා. (යෙසා. 30:21) ඒ තමයි එම තීරණ ගැන දෙවි හිතන විදිහ දැනගැනීම.

2 දාවිත් එහෙම කළ කෙනෙක්. ඔහු ජීවිත කාලය පුරාම මුළු හදවතින්ම දෙවිගේ කැමැත්ත කළා. (1 රාජා. 11:4) දාවිත්ගේ ජීවිතයේ සිද්ධීන් කිහිපයක් හා ඒවායින් ඉගෙනගන්න පුළුවන් පාඩම් ගැන දැන් බලමු.

දෙවිගේ නම ගැන ආඩම්බරයෙන් කතා කළා

3, 4. (අ) ගොලියත් සමඟ සටන් කරන්න දාවිත් පෙලඹුණු හේතුව මොකක්ද? (ආ) දාවිත් දෙවිගේ නම සැලකුවේ කොහොමද?

3 දාවිත් ගොලියත් එක්ක කළ සටන ගැන හිතන්න. ගොලියත් අඩි නවයහමාරක් විතර උස යෝධයෙක්. (1 සාමු. 17:4) ඔහු යුධායුධවලින් සන්නද්ධව හිටියා. ඒත් දාවිත් කොලු ගැටයෙක්. සටන් කරන්න දාවිත් පෙලඹුණේ ඇයි? ඔහුගේ නිර්භීතකම නිසාද නැත්නම් දෙවි කෙරෙහි තිබුණු විශ්වාසය නිසාද? එවැනි පෙලඹීමක් ඇති වුණේ ඒ ගුණාංග දෙකම නිසයි. නමුත් ප්‍රධානම හේතුව වුණේ දෙවිගේ නමට අගෞරව වෙනවා දකින්න ඔහු අකමැති වීමයි. ඒ වෙලාවේ දාවිත් සෙනඟගෙන් මෙහෙම ඇහුවා. ‘ජීවමාන දෙවිගේ සේනාවට අපහාස කරන්න අර අචර්මච්ඡේදිත පිලිස්තියාට තියෙන අයිතිය මොකක්ද?’—1 සාමු. 17:26.

4 ගොලියත් එක්ක මුහුණට මුහුණ ලා සිටිද්දී දාවිත් කිව්වේ මෙහෙමයි. “නුඹ මා ළඟට එන්නේ කඩුවක්, ලොකු හෙල්ලයක් හා කුඩා හෙල්ලයක් රැගෙනයි. නමුත් මම නුඹ ළඟට එන්නේ නුඹ නින්දා කළ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිගේ නාමයෙන්. ඊශ්‍රායෙල්වරුන්ගේ සේනාවේ දෙවි ඔහුයි.” (1 සාමු. 17:45) දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් තිබුණු හින්දා සද්දන්ත යෝධයාව මරා දමන්න දාවිත්ට අවශ්‍ය වුණේ එක ගලයි. දාවිත් දෙවිගේ නාමය උසස් කර සැලකුවේ ඒ අවස්ථාවේදී විතරක් නෙවෙයි. ජීවිත කාලය පුරාම ඔහු එසේ කළා. ඒ නිසා මුළු ඊශ්‍රායෙල් ජාතියටම ඔහු මෙහෙම දිරිගැන්නුවා. ‘දෙවිගේ ශුද්ධ නාමය ගැන ආඩම්බරයෙන් කතා කරන්න.’—1 ලේකම් 16:8-10 කියවන්න.

5. ගොලියත් කළ නින්දාව හා සමාන මොන වගේ තත්වයන්ට මුහුණ දෙන්න අපිට සිදු වෙයිද?

5 යෙහෝවා දෙවි ඔබේ දෙවි වීම ගැන ඔබ ආඩම්බර වෙනවාද? (යෙරෙ. 9:24) එහෙමනම් ඔබේ නෑයන්, අසල්වාසීන්, මිතුරන් හෝ පාසැලේ යාළුවන් යෙහෝවා දෙවිට හෝ දෙවිගේ සාක්ෂිකරුවන්ට අපහාස කෙරුවොත් ඔබ මොකද කරන්නේ? යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබා ඔහු ගැන භය නැතුව කතා කරනවාද? ‘නිහඬව ඉන්න කාලයක්’ තිබෙන බව ඇත්තයි. ඒත් අපි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හා යේසුස්ගේ අනුගාමිකයන් කියලා කියන්න කිසි විටෙක ලැජ්ජ වෙන්න හොඳ නැහැ. (දේශ. 3:1, 7; මාක් 8:38) කෙනෙක් දෙවිගේ නමට අපහාස කරද්දී අපි කාරුණික හා ඥානවන්ත විය යුතුයි. නමුත් ගොලියත්ගේ නින්දා බස් අහලා ‘භය වුණු’ ඊශ්‍රායෙල්වරු වගේ අපි භය වෙන්නත් හොඳ නැහැ. (1 සාමු. 17:11) ඒ වෙනුවට දෙවිගේ නාමය ගෞරවයට පත් කරන්න අපි ඉදිරිපත් වෙමු. දෙවි මොන වගේ කෙනෙක්ද කියා අනික් අයට කියා දෙන්න අපි කැමතියි. ඒ නිසා අපි බයිබලය යොදාගෙන දෙවිට ළං වීම කොතරම් වැදගත්ද කියා ඔවුන්ට පහදා දෙමු.—යාකො. 4:8.

6. දාවිත් ගොලියත් සමඟ සටන් කළේ මොන හේතුව නිසාද? අපේ චේතනාව විය යුත්තේ මොකක්ද?

6 දාවිත් හා ගොලියත් සම්බන්ධ සිද්ධියෙන් අපිට තවත් වැදගත් පාඩමක් ඉගෙනගන්න පුළුවන්. දාවිත් සටනට යන්න කලින් සෙනඟගෙන් මෙහෙම ඇහුවා. “මේ අචර්මච්ඡේදිතයාව මරලා ඊශ්‍රායෙල්වරුන්ගේ නින්දාව ඉවත් කරන කෙනාට මොනවාද ලැබෙන්නේ?” සෙනඟ කලින් කියා තිබුණු දේ ආපහු කිව්වා. “කවුරු හරි [ගොලියත්] සමඟ සටන් කරලා ඔහුව මරා දැම්මොත් එම තැනැත්තාට ධන සම්භාරයක් දෙන්න රජු පොරොන්දු වෙලා තියෙනවා. රජුගේ දුවවත් ඔහුට විවාහ කරලා දෙන්න පොරොන්දු වෙලා තියෙනවා.” (1 සාමු. 17:25-27) ඒත් දාවිත් සටනට ගියේ තමාට වාසි ප්‍රයෝජන ලබාගැනීමේ අදහසින් නෙවෙයි. ඔහුගේ චේතනාව වුණේ සැබෑ දෙවිව ගෞරවයට පත් කිරීමයි. (1 සාමුවෙල් 17:46, 47 කියවන්න.) අපේ චේතනාව වෙන්න ඕන මොකක්ද? ධන සම්පත් හා තාන්න මාන්න රැස් කරගෙන අපිටම නමක් හදාගැනීමද? නැත්නම් දෙවි කෙරෙහි විශ්වාසය තබා අපේ නමට වඩා දෙවිගේ නම ගැන සිතීමද? (මතෙ. 6:9) අපි දාවිත් වගේ වෙමු. ඔහු කිව්වේ මෙහෙමයි. “ජනයෙනි, මා සමඟ එක්ව යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න. අපි එක්ව ඔහුගේ නාමය ගෞරවයට පත් කරමු.”—ගීතා. 34:3.

7. හොඳ ප්‍රතිචාරයක් නොදක්වන අය එක්ක කතා කිරීමට විශ්වාසයක් ගොඩනඟාගන්න අපිට පුළුවන් කොහොමද?

7 ගොලියත්ට විරුද්ධව සටන් කරන්න දාවිත්ට පුළුවන් වුණේ දෙවි කෙරෙහි තිබුණ දැඩි විශ්වාසය නිසයි. එතරම් විශ්වාසයක් ගොඩනඟා ගන්න ඔහුට හැකි වුණේ එඬේරෙක් හැටියට වැඩ කළ කාලයේදී දෙවි මත රඳා හිටිය හින්දයි. (1 සාමු. 17:34-37) මිනිසුන් හොඳ ප්‍රතිචාරයක් නොදැක්වුවත් අපේ දේවසේවය දිගටම කරගෙන යන්න අපිටත් දැඩි විශ්වාසයක් අවශ්‍යයි. ඒ වගේ විශ්වාසයක් ගොඩ නඟාගන්න නම් දාවිත් වගේ අපිත් එදිනෙදා ජීවිතයේදී යෙහෝවා දෙවි මත රඳා ඉන්න අවශ්‍යයි. උදාහරණයකට බස් එකේ හරි, කෝච්චියේ හරි යද්දී අපි ළඟ ඉඳගෙන ඉන්න අය එක්ක දෙවි ගැන කතා කරන්න අපිට පුළුවන්. ගෙයින් ගෙට සේවයේ යන අතරේදී මඟ තොටේ හමු වන අයටත් ශුභාරංචිය කියන්න අපි අමතක නොකළ යුතුයි.—ක්‍රියා 20:20, 21.

දාවිත් දෙවි මත රඳා සිටියා

8, 9. දාවිත් සාවුල්ව සැලකූ ආකාරයෙන් ඔහු දෙවි මත රඳා සිටි බව ඔප්පු කළේ කොහොමද?

8 දාවිත් දෙවි මත රඳා සිටි බව ඔප්පු වුණු තවත් අවස්ථාවක් බලමු. සාවුල් රජ තුන් පාරක් තමාව මරන්න හැදුවත් දාවිත් පළි නොගෙන පලා ගියා. (1 සාමු. 18:7-11; 19:10) මිනිසුන් 3,000ක් එක්ක දාවිත්ව අල්ලගන්න ගිය සාවුල් දන්නෙම නැතුව ඇතුල් වුණේ දාවිත් සැඟවී සිටි ගුහාවටයි. (1 සාමු. 24:2) අනාගත රජු ලෙස තමාව අභිෂේක කර තිබූ නිසා සාවුල්ව මරා දැම්මත් කමක් නැහැ කියා හිතන්න දාවිත්ට ඉඩ තිබුණා. (1 සාමු. 16:1, 13) මේ වගේ සිතුවිල්ලකට හෝ යාළුවන්ගේ කීමට ඉඩ දුන්නා නම් තමාව මරන්න හදන කෙනාව මරා දමන්න දාවිත්ට අවස්ථාව තිබුණා. ඒත් දාවිත් එහෙම කළේ නැහැ. ඒ වෙනුවට ඔහු මෙහෙම කිව්වා. ‘මම කොහොමද යෙහෝවා දෙවිගේ අභිෂේක ලත් තැනැත්තාට විරුද්ධව මගේ අත ඔසවන්නේ? යෙහෝවා දෙවිත් ඒ වගේ දෙයක් අනුමත කරන්නේ නැහැ කියලා මට විශ්වාසයි.’ (1 සාමුවෙල් 24:4-7 කියවන්න.) සාවුල්ව රජ ලෙස තෝරාගත්තේ දෙවියි. දෙවි විසින්ම ඔහුව අයින් කරන තුරු දාවිත් නීතිය අතට ගත්තේ නැහැ. ඒ අවස්ථාවේදී ඔහු කළේ සාවුල්ගේ සළුවෙන් කෑල්ලක් කපාගැනීම විතරයි. ඉන් ඔහු පෙන්නුවේ සාවුල්ට හානියක් කිරීමේ චේතනාවක් ඔහුට නොතිබුණු බවයි.—1 සාමු. 24:11.

9 දාවිත් සාවුල්ව දුටු අවසන් වතාව ගැනත් හිතන්න. ඒ වතාවෙත් ඔහු දෙවිගේ අභිෂේක ලත් තැනැත්තාට ගරු කළා. දාවිත් අබිෂයි එක්ක සාවුල් හිටිය කඳවුරට ගියා. එවිට රජු සිටියේ හොඳටම නිදාගෙනයි. දෙවි රජුව දාවිත්ගේ අතටම අල්ලලා දුන්නා කියලා කිව්ව අබිෂයි රජුට හෙල්ලයෙන් ඇණ මරා දමන්න අවසර දෙන්න කියලා දාවිත්ගෙන් ඉල්ලුවා. ඒත් දාවිත් ඊට අවසර දුන්නේ නැහැ. (1 සාමු. 26:8-11) දෙවි මත රඳා සිටි නිසාත් දෙවිගේ කැමැත්ත කරන්න කැමති වූ නිසාත් අබිෂයිගේ ඉල්ලීමට දාවිත් යට වුණේ නැහැ. කවුරු මොනවා කිව්වත් මොන පීඩනයක් ආවත් දෙවි අනුමත නොකරන දෙයක් කරන්න දාවිත් කැමති වුණේ නැහැ.

10. අපි මුහුණ දෙන්න ඉඩ තිබෙන්නේ මොන වගේ පීඩනයකටද? ස්ථිරව ඉන්න උපකාර වෙන්නේ මොකක්ද?

10 යම් කාරණයකදී දෙවි හිතන ආකාරය සොයා බලන්න සහාය වෙනවා වෙනුවට තමන් හිතන විදිහට ක්‍රියා කරන්න යාළුවෝ අපිව පොලඹවන්න ඉඩ තිබෙනවා. ඒක ලොකු පීඩනයක්. ඒ වගේ අවස්ථාවකදී ස්ථිරව ඉන්න නම් දෙවි සතුටු වන්නේ මොනවා කළොත්ද කියා දැන සිටින්න අවශ්‍යයි. දෙවිගේ කැමැත්තට අනුව ජීවත් වෙමින් දෙවිව සතුටු කරන්නත් අධිෂ්ඨානයක් තියෙන්න ඕන.

11. දෙවිගේ කැමැත්තට මුල් තැන දීම ගැන දාවිත්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

11 “ඔබේ කැමැත්ත කිරීමට මට උගන්වන්න” කියා දාවිත් යාච්ඤා කළා. (ගීතාවලිය 143:5, 8, 10 කියවන්න.) හිතුමතේට ක්‍රියා කිරීමට හෝ අනුන්ගේ පෙලඹීම උඩ ක්‍රියා කිරීමට හෝ දාවිත් පෙලඹුණේ නැහැ. ඒ වෙනුවට දෙවිගේ කැමැත්ත මොකක්ද කියා ඉගෙනගැනීමට ඔහු කැමති වුණා. ඔහු ‘දෙවිගේ සියලු ක්‍රියා ගැන ගැඹුරින් කල්පනා කළා. දෙවි තම මහත් බලය විදහා කළ දේවල් ගැන මහත් ආශාවකින් කල්පනා කළා.’ අපිට දෙවිගේ කැමැත්ත මොකක්ද කියා දැනගන්න පුළුවන් වෙන්නේ බයිබලය අධ්‍යයනය කිරීමෙන් හා විවිධ අවස්ථාවලදී දෙවි මිනිසුන් සමඟ ක්‍රියා කළ ආකාරය ගැන ගැඹුරින් කල්පනා කිරීමෙනුයි.

දාවිත් ප්‍රතිපත්ති තේරුම්ගත්තා

12, 13. මිනිසුන් තුන්දෙනා ගෙන ආ වතුර දාවිත් බිමට හැළුවේ ඇයි?

12 දාවිත් දෙවිගේ නීති රකින්න කැමැත්තක් දැක්කුවේ ඒ නීතිවලට අදාළ ප්‍රතිපත්ති තේරුම්ගත් නිසයි. ඒක අපිට හොඳ ආදර්ශයක්. එවැනි එක අවස්ථාවක් බලන්න. ‘බෙත්ලෙහෙමට ඇතුල් වන දොරටුව ළඟ තිබුණ පොකුණෙන් වතුර ටිකක් බොන්න’ දාවිත්ට ආශාවක් ඇති වුණා. වතුර ගේන්න බෙත්ලෙහෙමට ගිය තුන්දෙනා පිලිස්තිවරුන්ගේ කඳවුරට කඩාවැද වතුර ගෙනාවා. නමුත් ‘දාවිත් රජ එය බිව්වේ නැහැ.’ ඒ වෙනුවට ‘මම දෙවිට ගරු කරන කෙනෙක්. ඉතින් මේ මිනිස්සු ඔවුන්ගේ ජීවිත පරදුවට තියලා ගෙනාපු මේ වතුර මම කොහොම බොන්නද! මම මේ වතුර බිව්වොත් ඒක හරියට ඔවුන්ගේ ලේ බොනවා වගෙයි’ කියා පැවසූ දාවිත් ‘යෙහෝවා දෙවි ඉදිරියේ එය බිමට වත් කළා.’ (1 ලේක. 11:15-19) ඒ වගේ දෙයක් ඔහු කළේ ඇයි?

13 දෙවිගේ නීතියට අනුව රුධිරය ආහාරයට නොගත යුතු බවත් එය බිමට වත් කළ යුතු බවත් දාවිත් දැනගෙන හිටියා. “ජීවය රැඳී තිබෙන්නේ ලේවල” බවත් දාවිත් දැනගෙන හිටියා. ඒත් වතුර කියන්නේ ලේ නෙමෙයි. එහෙනම් ඔහු ඒ වතුර ප්‍රතික්ෂේප කළේ ඇයි? ඔහු ඒ වතුර සමාන කළේ දිවි පරදුවට තැබූ තුන්දෙනාගේ ලේවලටයි. ඉතින් ඒ වතුර බොනවා කියන්නේ ලේ බොනවා වගෙයි කියලා දාවිත්ට හැඟුණා. වතුර බිමට හැළුවේ ඒ නිසයි. ඉන් පැහැදිලි වෙන්නේ ලේ පිළිබඳ නීතියට අදාළ ප්‍රතිපත්තිය ඔහු හොඳින් තේරුම්ගෙන සිටි බවයි.—ලෙවී. 17:11; ද්වි. 12:23, 24.

14. දෙවි හිතන ආකාරයට හිතන්න දාවිත්ට උපකාර වුණේ මොනවාද?

14 “මාගේ දෙවියනි, ඔබේ කැමැත්ත කිරීමට මම බොහෝ සේ ආශා වෙමි. ඔබේ නීතිය මාගේ සිතෙහි ලියා ඇත” කියා දාවිත් කිව්වා. (ගීතා. 40:8) දෙවිගේ නීතියට දාවිත් කොතරම් ඇලුම් කළාද කියා ඉන් පැහැදිලි වෙනවා. ඔහු දෙවිගේ නීතිය අධ්‍යයනය කළා. ඒ ගැන ගැඹුරින් කල්පනා කළා. යෙහෝවා දෙවි නීති රීති දී තිබෙන්නේ තමන්ගේ යහපතට බව ඔහු විශ්වාස කළා. එමනිසා ඒ නීති දුන්නේ ඇයි කියා තේරුම්ගන්නත් ඔහු වෙහෙසුණා. අපිත් බයිබලය අධ්‍යයනය කරමු. දාවිත් වගේ දෙවිගේ නීති ගැන ගැඹුරින් කල්පනා කරමු. ඒවා අපේ හිතට ගෙන විවිධ අවස්ථාවලදී ඒවා අදාළ කරගෙන දෙවිව සතුටු කිරීමට අදිටන් කරගමු.

15. දෙවිගේ නීතිවලට සලමොන් අගෞරව කළේ කොහොමද?

15 දැන් අපි දාවිත්ගේ පුත් සලමොන් ගැන බලමු. මුලින් ඔහුට දෙවිගේ අනුමැතිය තිබුණා. ඒත් කල් යද්දී ඔහු දෙවිගේ අණපනත්වලට අකීකරු වුණා. ඊශ්‍රායෙල් රජෙක් “බොහෝ ස්ත්‍රීන්ව විවාහ කර නොගත යුතුයි” කියා දෙවි දුන් අණ ඔහු තැකුවේ නැහැ. (ද්වි. 17:17) ඒ මදිවට ඔහු වෙනත් ජාතිවල ස්ත්‍රීන්වත් විවාහ කරගත්තා. ඒ ගැන ඔහු කොහොම හිතුවත් අන්තිමේදී ‘තම භාර්යාවන්ගේ බලපෑම්වලට යටත් වී වෙනත් දෙවිවරුන්ට නමස්කාර කිරීමට පටන්ගත්තා. යෙහෝවා දෙවි පිළිකුල් කළ දේ කළ ඔහු තම පියා වූ දාවිත් මෙන් යෙහෝවා දෙවිට මුළු හදවතින්ම නමස්කාර කළේ නැහැ.’ (1 රාජා. 11:1-6) අපි දෙවිගේ නීති හා ප්‍රතිපත්තිවලට ඇලුම් කිරීම කොතරම් වැදගත්ද! විවාහ වීමට කෙනෙකුව තෝරාගනිද්දී විශේෂයෙන්ම ඒ ගැන සැලකිලිමත් වෙමු.

16. විවාහය ගැන දෙවි දීලා තියෙන නීතිය තේරුම්ගැනීම ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

16 යෙහෝවා දෙවිට නමස්කාර නොකරන කෙනෙක් ආලවන්ත හැඟීම් පාමින් ඔබ කෙරෙහි උනන්දුවක් දක්වනවා කියා සිතන්න. එවැනි අවස්ථාවක ඔබ කටයුතු කරන්නේ කොහොමද? දාවිත් වගේද නැත්නම් සලමොන් වගේද? සැබෑ ක්‍රිස්තියානියෙක් විවාහ වෙන්න තීරණය කරනවා නම් විවාහ කරගන්න කෙනා “අනිවාර්යයෙන්ම ස්වාමීන්ගේ අනුගාමිකයෙකු විය යුතුයි” කියා දෙවි පවසා තිබෙනවා. (1 කොරි. 7:39) ඒ නීතිය දීලා තියෙන්නේ ඇයි කියලා අපි තේරුම්ගන්නවා නම් දෙවිට නමස්කාර නොකරන කෙනෙක් එක්ක විවාහ වෙන්න හිතන්නෙවත් නැහැ. ඒ විතරක් නෙවෙයි එවැනි කෙනෙක් ආලවන්ත හැඟීම් පාන විට ඒවාට කිසිම ඉඩක් දෙන්නෙත් නැහැ.

17. කාමුක දර්ශන නැරඹීමේ උගුලට නොවැටී සිටීමට කරන්න පුළුවන් මොකක්ද?

17 දාවිත් සැමවිටම දෙවිගේ මඟ පෙන්වීම් පැතුවා. අපිත් එහෙම කරමු. කාමුක දර්ශන නැරඹීමට පෙලඹීමක් ඇති වුණොත් ඉන් වැළකී සිටීමට කරන්න පුළුවන් මොකක්ද? මේ බයිබල් පද කියවා එහි ඇති ප්‍රතිපත්ති තේරුම්ගන්න. ඉන්පසු කාමුක දර්ශන නැරඹීම ගැන දෙවිට හැඟෙන ආකාරය තේරුම්ගැනීමට උත්සාහ කරන්න. (ගීතාවලිය 119:37; මතෙව් 5:28, 29; කොලොස්සි 3:5 කියවන්න.) අපි ඒ විදිහට දෙවිගේ උසස් ප්‍රමිති ගැන ගැඹුරින් කල්පනා කරනවා නම් කාමුක දර්ශන නැරඹීමේ උගුලට නොවැටී සිටින්න අපිට පුළුවන්.

හැමවිටම දෙවි හිතන විදිහට හිතන්න

18, 19. (අ) අසම්පූර්ණ වුණත් දෙවිගේ අනුමැතිය ඇතුව දාවිත්ට ඉන්න උපකාර වුණේ මොකක්ද? (ආ) ඔබේ අධිෂ්ඨානය මොකක්ද?

18 දාවිත් ආදර්ශවත් කෙනෙක් වුණත් කිහිප විටක්ම බරපතළ වැරදි කළා. (2 සාමු. 11:2-4, 14, 15, 22-27; 1 ලේක. 21:1, 7) නමුත් ඔහු අවංකවම පසුතැවිලි වෙලා වරද හදාගෙන යෙහෝවා දෙවිගේ කැමැත්තට එකඟව ක්‍රියා කරන්න උත්සාහ කළා. ඒ නිසා දාවිත් “මුළු හදවතින්ම” දෙවි අණ කළ සෑම දෙයකටම එකඟව ජීවත් වුණා කියා කියන්න පුළුවන්.—1 රාජා. 9:4.

19 අපි අසම්පූර්ණ වුණත් දිගටම දෙවිගේ අනුමැතිය ඇතුව ඉන්න පුළුවන්. ඒ සඳහා කරන්න පුළුවන් මොනවාද? දෙවිගේ වචනය උනන්දුවෙන් අධ්‍යයනය කරමු. ඉගෙනගන්න දේ ගැන ගැඹුරින් කල්පනා කරමු. එහි ඇති ප්‍රතිපත්ති හිතට ගෙන තීරණයක් ගන්න සිදු වන විට ඒවා අදාළ කරගනිමු. එහෙම කරනවා නම් එය හරියට දාවිත් වගේ අපි එක් එක් කෙනා ‘ඔබේ කැමැත්ත කිරීමට මට උගන්වන්න’ කියා දෙවිට කියනවා වගෙයි.