Skip to content

පටුනට යන්න

නිහතමානී කෙනෙක් වෙන්න

නිහතමානී කෙනෙක් වෙන්න

“ඇත්තෙන්ම උතුම් වන්නේ ඔබ සියලුදෙනා අතරේ නිහතමානීව සේවය කරන තැනැත්තායි.”—ලූක් 9:48.

1, 2. යේසුස් ගෝලයන්ට දුන්න උපදෙස මොකක්ද? ඒ උපදෙස දුන්නේ ඇයි?

ක්‍රිස්තු වර්ෂ 32දී යේසුස් ගලීලයේ ඉන්නකොට ඔහුගේ ගෝලයන් කීපදෙනෙක් අතර වාදයක් ඇති වුණා. ඔවුන් වාද කළේ තමන් අතරේ උතුම්ම තැනැත්තා කවුද කියන එක ගැනයි. ඒ අවස්ථාවේදී යේසුස් ඔවුන්ට දුන්න උපදෙස ගැන ලූක් සඳහන් කළේ මෙහෙමයි. “ඔවුන්ගේ සිතේ තිබෙන දේවල් දැනගෙන සිටි යේසුස් කුඩා දරුවෙකුව තමන් ළඟට කැඳවා, ‘මා නිසා යමෙකු මෙම කුඩා දරුවා මෙන් සිටින කෙනෙකුව පිළිගත්තොත් ඔහු මාවත් පිළිගන්නවා කියා පැවසිය හැකියි. මාව පිළිගන්නා පුද්ගලයා මාව පමණක් නොව මාව එවූ තැනැත්තාවත් පිළිගන්නවා. ඇත්තෙන්ම උතුම් වන්නේ ඔබ සියලුදෙනා අතරේ නිහතමානීව සේවය කරන තැනැත්තායි.’” (ලූක් 9:46-48) යේසුස් ඉවසිලිවන්තව නමුත් ඍජුව ගෝලයන්ට කාවැද්දුවේ ඔවුන් නිහතමානී අය විය යුතු බවයි.

2 යේසුස් ඒ වගේ උපදෙසක් දුන්නේ ඇයි? තමන් අතරේ උතුම් තැනැත්තා කවුද කියන එක ගැන එදා සමාජයේ පැවතුණේ මොන වගේ මතයක්ද? එක පොතක ඒ ගැන කියලා තිබුණේ මෙහෙමයි. “තමන් අතරෙන් කවුද උසස් කියන ප්‍රශ්නය හැමදාම හැම කාරණයකදීම මතු වුණා. කොහොමවුණත් කෙනෙකුට සමාජයේ තිබුණු තත්වය අනුවයි ඔහු උසස් කෙනෙක්ද නැද්ද කියන එක තීරණය වුණේ.” ඇත්තටම යේසුස් ගෝලයන්ට උපදෙස් දුන්නේ එදා හිටිය මිනිසුන්ට වඩා වෙනස් වෙන්න කියලයි.—Theological Dictionary of the New Testament.

3. (අ) නිහතමානී කෙනෙක් මොන වගේද? නිහතමානී වෙන එක ලේසි නැත්තේ ඇයි? (ආ) නිහතමානීව සිටීම ගැන මතු වෙන ප්‍රශ්න මොනවද?

3 සාමාන්‍යයෙන් නිහතමානී කෙනෙක් මොන වගේද? ඔහු තමාගේ සීමාව දන්නවා. තමන් ගැන ඕනෑවට වඩා හිතන්නේ නැහැ. ඔහු යටහත්පහත්. තමන්ට වඩා අනික් කෙනා උසස් කියලා හිතනවා. ඔහු තුළ කිසි ලොකුකමක් දකින්න නැහැ. බොහෝවිට කුඩා දරුවනුත් ඒ වගෙයි. යේසුස් කුඩා දරුවෙකුව උදාහරණයකට ගෙන ඒ වගේ උපදෙසක් දුන්නේ ඒ නිසයි. ඒ උපදෙස එදාට විතරක්නෙවෙයි අදටත් අදාළයි. මිනිසුන් තමන් තුළ තිබෙන උඩඟුකම නිසා නිතරම උත්සාහ කරන්නේ මුල් තැන ගන්නයි. ඊට අමතරව සමාජයෙන් අපිව දිරිගන්වන්නේ අනික් අයව පරදවලා කොහොමහරි ඉහළට එන්න හෝ තමන්ට ඕන දේ කොහොමහරි කරගන්න කියලයි. ඒ නිසා නිහතමානී වෙන එක ලේසි නැහැ. මේ වගේ සමාජයක ඉන්න අපි නිහතමානිකම වර්ධනය කරගන්නේ කොහොමද? ‘නිහතමානීව සේවය කරන කෙනෙක් උතුම් කෙනෙක් වෙන්නේ’ කොහොමද? නිහතමානිකම පෙන්වන්න පුළුවන් පැති මොනවාද?

‘දෙවිගේ ප්‍රඥාවත් දැනුමත් කොතරම් පුළුල්ද!’

4, 5. නිහතමානී වෙන්න අපි තුළ පෙලඹීමක් ඇති කරන එක හේතුවක් මොකක්ද? උදාහරණයක් දෙන්න.

4 දෙවිගේ ශ්‍රේෂ්ඨකමත් එක්ක බලනකොට අපි කවුද? ඒ විදිහට අපිව දෙවි එක්ක සන්සන්දනය කරලා බලන එක නිහතමානී වෙන්න උපකාරයක්. ඇත්තටම ‘දෙවිගේ ප්‍රඥාව කිසිවෙකුට තේරුම්ගන්න බැහැ.’ (යෙසා. 40:28) දෙවි ගැන පාවුල් සඳහන් කළේ මෙහෙමයි. “දෙවි ලබා දෙන ආශීර්වාද කොතරම් ශ්‍රේෂ්ඨද! ඔහුගේ ප්‍රඥාවත් දැනුමත් කොතරම් පුළුල්ද! ඔහු දේවල් තීරණය කරන ආකාරය සහ ඔහු අනුගමනය කරන ක්‍රියාමාර්ග තේරුම්ගැනීම කොතරම් අමාරුද!” (රෝම 11:33) පාවුල් ඒ දේවල් ලිව්වේ මීට අවුරුදු 2,000කට විතර කලින්. එදාට වඩා අද මිනිසුන්ට බොහෝ දේවල් ගැන දැනුම තියෙනවා. ඒත් කොච්චර දැනුම තිබුණත් දෙවිගේ හැකියාවන් හා බලය ගැන සම්පූර්ණයෙන්ම තේරුම්ගන්න මිනිසුන්ට බැහැ. නිහතමානී වෙන්න ඒකම හේතුවක් නෙවෙයිද?

5 දෙවිගේ හැකියාවන් හා බලය ගැන මිනිසුන්ට තේරුම්ගන්න බැරි බව වටහාගත්ත කෙනෙක් තමයි ලියෝ. * ඒ කාරණාව වටහාගැනීම නිහතමානී කෙනෙක් වෙන්න ඔහුට උදව්වක් වුණා. තරුණ කාලෙදී විද්‍යාව ගැනත් විශ්වය ගැනත් ඉගෙනගන්න ඔහුට ලොකු ආසාවක් තිබුණා. ඒ නිසා විශ්වය ගැන තේරුම්ගන්න ඔහු තාරකා භෞතික විද්‍යාව හැදෑරුවා. ඒත් ඒ ගැන ඔහු කිව්වේ මෙහෙමයි. “සොයාගෙන තියෙන විද්‍යාත්මක සිද්ධාන්තවලින් විශ්වය ගැන සම්පූර්ණයෙන්ම තේරුම්ගන්න මිනිස්සුන්ට බැහැ කියලා මගේ අධ්‍යයන කටයුතුවලින් පැහැදිලි වුණා. ඒ නිසා මම නීතිය හදාරන්න පටන්ගත්තා.” පසු කාලයේදී ඔහු දිස්ත්‍රික් විනිසුරුවෙක් බවටත් පසුව ඉහළ උසාවියේ විනිසුරුවෙක් බවටත් පත් වුණා. ඒ අතරතුරේදී ඔහුත් ඔහුගේ බිරිඳත් සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. ඊටපස්සේ බව්තීස්ම වුණා. “දෙවි ගැනත් විශ්වය ගැනත් කොච්චර ඉගෙනගත්තත් තවත් ඉගෙනගන්න තියෙනවා. ඒකෙ ඉවරයක් වෙන්නේ නැහැ” කියලා ලියෝ කියනවා. කොච්චර තාන්න මාන්න තිබුණත් කොච්චර උගත් වුණත් නිහතමානීව කටයුතු කරන්න ලියෝට පුළුවන් වුණේ ඔහු එහෙම හිතුව නිසයි.

6, 7. (අ) නිහතමානිකම සම්බන්ධයෙන් දෙවි අපිට ආදර්ශයක් දීලා තියෙන්නේ කොහොමද? (ආ) දෙවිගේ නිහතමානිකම නිසා කෙනෙක් “උතුම්” කෙනෙක් වෙන්නේ කොහොමද?

6 අපිව නිහතමානී වෙන්න පොලඹවන තවත් හේතුවක් වෙන්නේ යෙහෝවා දෙවිම නිහතමානී කෙනෙක් වීමයි. මේ ගැන ටිකක් හිතන්න. යෙහෝවා දෙවි අපිව සලකන්නේ ‘ඔහුගේ හවුල් වැඩකරුවන් හැටියටයි.’ (1 කොරි. 3:9) විශ්වයේ පාලකයා වෙලත් අපිව තමන්ගේ හවුල් සේවකයන් විදිහට පිළිගන්න තරම් දෙවි නිහතමානියි. බයිබලය යොදාගෙන ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යය දෙවි පවරලා තියෙන්නේ අපිටයි. වර්ධනය දෙන්නේ දෙවි වුණත් ඔහුගේ හවුල් සේවකයන් වීමේ වරප්‍රසාදය ඔහු අපිට භාර දීලා තියෙනවා. (1 කොරි. 3:6, 7) දෙවි ඒ තරම් නිහතමානී කෙනෙක් නිසා ඔහුගේ ආදර්ශය අපිවත් නිහතමානී වෙන්න පොලඹවන්නේ නැද්ද?

7 දෙවිගේ නිහතමානිකම ගැන දාවිත් කිව්වේ “ඔබේ ගැලවීම නමැති පලිහ ඔබ මට දෙන්නෙහිය. ඔබ යටහත්පහත් නිසා මාව උසස් තත්වයකට ගෙනාවෙහිය” කියායි. (2 සාමු. 22:36) දාවිත්ට කීර්තිය හා උසස් තනතුරු ලැබුණේ දෙවි ඒවා නිහතමානීව ඔහුට ලබා දුන්න නිසයි. (ගීතා. 113:5-7) අපි ගැන කියන්න තියෙන්නෙත් ඒ දේම නෙමෙයිද? අපිට තියෙන හොඳ ගුණාංග, හැකියාවන් හා වරප්‍රසාද හැම දෙයක්ම ‘ලැබිලා’ තියෙන්නේ දෙවිගෙනුයි. (1 කොරි. 4:7) නිහතමානී කෙනෙකුව දෙවි සලකන්නේ තමන්ගේ වටිනා සේවකයෙක් හැටියටයි. ඒ නිසා ඒ වගේ කෙනෙකුව දෙවිට ගොඩක් වටිනවා. ඒ කියන්නේ දෙවි ඔහුව උතුම් කෙනෙක් විදිහට සලකනවා කියන එකයි. (ලූක් 9:48) ඒ වගේ වෙන්න අපිට පුළුවන් කොහොමද?

‘නිහතමානී තැනැත්තා උතුම් කෙනෙක්’

8. නිහතමානී කෙනෙකුට දෙවිගේ සංවිධානය ගැන තියෙන්නේ මොන වගේ ආකල්පයක්ද?

8 කෙනෙක් නිහතමානී නම් දෙවිගේ සංවිධානයේ රැඳිලා ඉන්නවා විතරක් නෙවෙයි සංවිධානය එක්ක සහයෝගයෙනුත් වැඩ කරනවා. දැන් අපි සාක්ෂිකාර පවුලක හැදී වැඩුණු පෙට්‍රාගේ අද්දැකීම බලමු. ඇය වැඩ කළේ හිතුමතේටයි. ඒකේ ප්‍රතිඵලයක් හැටියට සභාවෙන් ඈත් වුණා. ඒත් කාලයක් ගියාට පස්සේ ආපහු සභාව එක්ක කිට්ටුවෙන් වැඩ කරන්න පටන්ගත්තා. දැන් ඇය ගොඩක් සතුටින් සභාව එක්ක ඇසුරු කරනවා. ඒ වගේම සංවිධාන සැලැස්මටත් උනන්දුවෙන් සහයෝගය දක්වනවා. එහෙම වෙනස් වුණේ ඇයි? පෙට්‍රා මෙහෙම කියනවා. “යෙහෝවා දෙවිගේ සංවිධානයේ රැඳිලා සතුටින් ඉන්න නම් මට ඕනෙ විදිහට වැඩ කරලා හරියන්නෑ, මං නිහතමානී වෙන්න ඕනෙ කියලා ඉගෙනගත්තා.”

9. නිහතමානී කෙනෙක් දෙවිගෙන් ලැබෙන පෝෂණය සලකන්නේ කොහොමද? ඔහු සංවිධානයට වටිනා පුද්ගලයෙක් වෙන්නේ කොහොමද?

9 නිහතමානී කෙනෙක්ට දෙවි ලබා දෙන පෝෂණය ගොඩක් වටිනවා. ඔහු ඒවා අගය කරන නිසා උනන්දුවෙන් බයිබලය අධ්‍යයනය කරනවා විතරක් නෙමෙයි මුරටැඹ හා පිබිදෙව්! සඟරාත් ගැඹුරින් අධ්‍යයනය කරනවා. අලුතෙන් ලැබෙන හැම පොතක්ම පොත් රාක්කෙට දාන්න කලින් කියවනවා. ඒක සාක්ෂිකරුවන් වැඩිදෙනෙක්ගේ පුරුද්දක්. එහෙම අධ්‍යයනය කරලා නිහතමානීව ඒවා අදාළ කරගනිද්දී දෙවි එක්ක තියෙන අපේ බැඳීම වැඩි වෙනවා. එතකොට දෙවිට පුළුවන් ඔහුගේ සේවය තුළ අපිව වැඩියෙන් යොදවගන්න.—හෙබ්‍රෙ. 5:13, 14.

10. සභාව තුළ නිහතමානීව කටයුතු කරන්න අපිට පුළුවන් කොහොමද?

10 නිහතමානී කෙනෙකුට දෙවි ඉදිරියේ “උතුම්” වෙන්න පුළුවන් තවත් විදිහක් තියෙනවා. හැම සභාවකම දෙවිගේ බලයේ මඟ පෙන්වීමෙන් පත් කරපු වැඩිමහල්ලන් ඉන්නවා. ඔවුන් සභා රැස්වීම්, ක්ෂේත්‍ර සේවය හා සහෝදර සහෝදරියන්ව නිවෙස්වලට ගිහින් දිරිගැන්වීම යනාදිය ගැන සැලසුම් යොදනවා. ඒ සැලසුම්වලට නිහතමානීව සහයෝගය දක්වද්දී සභාවේ ප්‍රීතිය, සාමය හා එකමුතුකම පවත්වගන්න අපි දායක වෙනවා. (හෙබ්‍රෙව් 13:7, 17 කියවන්න.) අනික් අතට ඔබ වැඩිමහල්ලෙක් හෝ සහායක සේවකයෙක් නම් දෙවිගෙන් ලැබුණු ඒ වරප්‍රසාදය නිහතමානීව අගය කරනවාද?

11, 12. දෙවිගේ සංවිධානයට වටින්නේ මොන වගේ අයද? ඒ ඇයි?

11 යේසුස්ගේ කාලයේ හිටපු වැඩිදෙනෙක් කටයුතු කළේ උඩඟු හා ආත්මාර්ථකාමී විදිහටයි. යේසුස්ගේ ‘ගෝලයන් අතරේ පවා තමන්ගෙන් උතුම්ම තැනැත්තා කවුද කියලා වාදයක් ඇති වුණේ’ ඒ නිසයි. (ලූක් 9:46) අද සමාජයත් ඒ වගෙයි. ඒ නිසා සමහරවිට අපිටත් හිතෙන්න පුළුවන් අපි අනික් සාක්ෂිකරුවන්ට හෝ සමාජයේ ඉන්න සමහර අයට වඩා උසස් කියලා. නමුත් ඒ වගේ හැඟීමක් ඇති වුණොත් ඉක්මනින්ම ඒක හිතෙන් ඉවත් කරගන්න. නිහතමානී අය දෙවිටත් ඔහුගේ සංවිධානයටත් ගොඩක් වටිනවා. ඔවුන් අනික් අයට ආදර්ශයක්. නිහතමානී වෙලා දෙවිගේ කැමැත්තට මුල් තැන දෙනකොට අපේ සහෝදර සහෝදරියන්ට ඇසුරු කරන්න පහසු අය බවට අපි පත් වෙනවා.

12 නිහතමානී වීම ගැන යේසුස් දුන්න උපදෙස අපිට ගොඩක් වටිනවා. ඒ නිසා නිහතමානිකම වර්ධනය කරගන්න අපි උත්සාහ කරන්න ඕන. එහෙම කරන්න පුළුවන් පැති තුනක් ගැන දැන් අපි ටිකක් හිතලා බලමු.

නිහතමානී වෙන්න උත්සාහ කරන්න

13, 14. ස්වාමිපුරුෂයාට හා භාර්යාවට නිහතමානීව කටයුතු කරන්න පුළුවන් කොහොමද? එසේ කිරීම ඔවුන්ගේ විවාහයට බලපාන්නේ කොහොමද?

13 විවාහය තුළ. අද ඉන්න හුඟදෙනෙක් හිතන්නේ තමන්ගේ අයිතිවාසිකම් ගැන විතරයි. අනික් කෙනාට මොනවා වුණත් ඔවුන්ට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒත් නිහතමානී කෙනෙක් ක්‍රියා කළ යුතු විදිහ ගැන පාවුල් කිව්වේ මෙහෙමයි. “සමාදානයට දායක වන දේවල්ද එකිනෙකාව ගොඩනංවන දේවල්ද කිරීමට අපි දැඩි උත්සාහයක් දරමු.” (රෝම 14:19) පාවුල් කිව්ව විදිහට කෙනෙක් නිහතමානී නම් ඔහු සාමය පවත්වගන්න හැම අතින්ම වෑයම් කරනවා. විවාහක කෙනෙක්, විශේෂයෙන්ම තමාගේ භාර්යාව හෝ ස්වාමිපුරුෂයා සම්බන්ධයෙන් ඒ ප්‍රතිපත්තිය අදාළ කරගන්නවා.

14 උදාහරණයකට යුවළක් විනෝදෙට කරන්න කැමති දේවල් එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. සමහරවිට පුරුෂයා කැමති ගෙදරට වෙලා විවේක පාඩුවේ පොතක් පතක් කියවන්නයි. ඒත් භාර්යාව කැමති දෙන්නත් එක්ක එකතු වෙලා කොහේ හරි යන්නයි. ඒ වගේ අවස්ථාවක පුරුෂයා භාර්යාව කැමති දේ ගැන හිතලා ඒ දේ කරද්දී භාර්යාව තුළ ඔහු කෙරෙහි මොන තරම් ගෞරවයක් ඇති වෙයිද? අනික් අතට භාර්යාව තමාගේ ආශාව ගැන විතරක් හිතනවා වෙනුවට පුරුෂයාගේ කැමැත්තට ඉඩ දෙනවා නම් ඔහු තුළ ඇය කෙරෙහි කොයි තරම් ආදරයක් ඇති වෙයිද? ස්වාමිපුරුෂයාත් භාර්යාවත් ඒ වගේ නිහතමානී වෙනකොට ඔවුන්ගේ විවාහය කොයි තරම් ශක්තිමත් වෙයිද කියලා හිතලා බලන්න.—ෆිලිප්පි 2:1-4 කියවන්න.

15, 16. ගීතාවලිය 131 දාවිත් අපිට දිරිගැන්නුවේ මොකක් කරන්නද? සභාවේදී එය අදාළ කරගන්න පුළුවන් කොහොමද?

15 සභාවේදී. අද සමාජයේ ඉන්න අයට ඉවසීම නැති තරම්. හුඟදෙනෙක් බලන්නේ තමන්ගේ ආශාව ක්ෂණිකව ඉටු කරගන්නයි. නමුත් අපිට නිහතමානිකම තියෙනවා නම් අපි ඉවසිලිවන්තව දෙවි මත රඳා ඉන්නවා. (ගීතාවලිය 131:1-3 කියවන්න.) දෙවි නිසි කාලයේදී දේවල් ඉටු කරන තුරු අපි සන්සුන්ව හා නිහතමානීව බලාගෙන ඉන්නවා නම් ඒක අපිට ආරක්ෂාවක් වගේම කලබල නොවී ඉන්නත් උදව්වක්. ඊශ්‍රායෙල්වරුන්ට ඉවසීමෙන් දෙවි මත රඳා ඉන්න කියලා දාවිත් ගීතාවලිය 131 සඳහන් කළේ ඒ නිසයි.

16 ඔබ නිහතමානීව දෙවි මත රඳා ඉන්නවා නම් අනවශ්‍ය ලෙස කලබල වෙන්නේ නැහැ. (ගීතා. 42:5) උදාහරණයකට ඔබ “සභාව රැකබලා ගන්නෙකු ලෙස වගකීම් දැරීමට වෑයම් කරන” කෙනෙක් කියලා හිතන්න. ඔබ ‘කැමැත්තෙන් ඉන්නේ යහපත් සේවයක් ඉටු කරන්නයි.’ (1 තිමෝ. 3:1-7) ඒ සඳහා බයිබලයේ ඇති සුදුසුකම් අත් කරගන්න ඔබ ලොකු වෑයමක් දරලත් ඇති. නමුත් ඔබට කලින් අනික් අය ඒ වරප්‍රසාදය ලබනවා කියලා ඔබට පේනවා. ඔබ නිහතමානී කෙනෙක් නම් ඒ වගේ අවස්ථාවකදී දෙවි ඒ වරප්‍රසාදය ඔබට ලබා දෙන තුරු ඔබ ඉවසීමෙන් දෙවි මත රඳා ඉන්නවා. ඒ වගේම එතෙක් ඔබට දෙන ඕනෑම පැවරුමක් ඉටු කරන්නත් ඔබ කැමති වෙනවා.

17, 18. (අ) සමාව ඉල්ලන්නත් සමාව දෙන්නත් අපි ලෑස්ති නම් ලැබෙන ප්‍රයෝජන මොනවාද? (ආ) හිතෝපදේශ 6:1-5 අපිට දිරිගන්වලා තියෙන්නේ මොනවා කරන්නද?

17 ඇසුරු කරද්දී. සමාව ඉල්ලීම දුර්ලභ දෙයක්. නමුත් නිහතමානී කෙනෙක් වරද පිළිගන්නත් සමාව ඉල්ලන්නත් සූදානම්. ඊට අමතරව වෙන කෙනෙක් අතින් වරදක් වුණොත් සමාව දෙන්නත් සූදානම්. උඩඟු අය නිසා දබර හා භේද ඇති වෙන්න පුළුවන්. නමුත් සමාව දෙන අය සභාවේ සාමයට අත හිත දෙනවා.

18 අපිට නිහතමානී වෙන්න පුළුවන් තවත් අවස්ථාවක් ගැන හිතන්න. වළක්වන්න බැරි යම් හේතුවක් නිසා පොරොන්දුවක් ඉටු කරන්න බැරි වුණොත් අපි ඒ ගැන සමාව ඉල්ලන්න ඕන. දුන්න පොරොන්දුවක් ඉටු කරන්න බැරි වෙද්දී අනික් කෙනාට දොස් පවරන්න හේතු තිබුණත් නිහතමානී කෙනෙක් නිදහසට කරුණු කියන්නේ නැතුව තමන්ගේ වරද පිළිගන්නවා.—හිතෝපදේශ 6:1-5 කියවන්න.

19. නිහතමානී වෙන්න අපිට උපකාරවත් වෙන හේතු මොනවද?

19 නිහතමානිකම සහජයෙන් උරුම වෙන ගුණාංගයක් නෙමෙයි. ඒ නිසා නිහතමානී වෙන්න කියා බයිබලයේ දීලා තියෙන උපදෙස අපි ගොඩක් අගේ කරනවා. ඊට අමතරව විශ්වයේ පාලකයා වන යෙහෝවා දෙවි එක්ක අපේ තත්වය සන්සන්දනය කිරීමෙන් හා යෙහෝවා දෙවිගේ නිහතමානිකම ආදර්ශයට ගැනීමෙන් අපිත් නිහතමානී වෙන්න පෙලඹෙනවා. අපි නිහතමානී වෙනවා නම් දෙවිට අපිව ගොඩක් වටිනවා. ඒ නිසා දිගටම නිහතමානීව ජීවත් වෙන්න අපි උත්සාහ කරමු.

^ 5 ඡේ. නම් වෙනස් කර ඇත.