Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවි ඔබටත් සමාව දෙයිද?

යෙහෝවා දෙවි ඔබටත් සමාව දෙයිද?

‘යෙහෝවා දෙවි දයාන්විතය. කරුණාවන්තය. කෝප වීමට ඉක්මන් නොවන්නේය. අයුතුකම්වලටද වැරදිවලටද පාපවලටද සමාව දෙන්නේය.’—නික්. 34:6, 7.

1, 2. (අ) යෙහෝවා දෙවි මොන වගේ කෙනෙක්ද? (ආ) මේ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

මේ නෙහෙමියාගේ කාලයයි. ලෙවීවරු පිරිසක් ප්‍රසිද්ධියේ යාච්ඤා කරනවා. තමන්ගේ මුතුන්මිත්තන් දිගින් දිගටම දෙවිගේ “අණපනත්වලට සවන් නොදී” දෙවිට අකීකරු වූ බව ඔවුන් පවසනවා. ඒත් යෙහෝවා දෙවි ඔවුන්ගේ මුතුන්මිත්තන්ට සමාව දුන්න හැටි මතක් කරමින් ඔවුන් දෙවිට මෙහෙම කියනවා. “ඔබ සමාව දීමට කැමති කරුණාවන්ත හා දයාන්විත දෙවි කෙනෙක්. ඉමහත් ප්‍රේමයක් පෙන්වන ඔබ කෝප වීමට ඉක්මන් වන්නෙත් නැහැ.” ඔවුන් කියපු දේ මොන තරම් ඇත්තක්ද! වහල්කමින් මිදිලා ආපු දවසේ ඉඳලාම දෙවි දිගින් දිගටම ඔවුන්ට සමාව දුන්නා. කාරුණිකව සැලකුවා.—නෙහෙ. 9:16, 17.

2 ‘යෙහෝවා දෙවි මම කරන වැරදිවලටත් සමාව දෙයිද?’ සමහරවිට ඔබටත් එහෙම හිතෙනවා ඇති. අපි ඒකට උත්තර හොයමු. ඊට ඉස්සෙල්ලා යෙහෝවා දෙවිගෙන් සමාව ලැබුණු රජවරු දෙන්නෙක් ගැන අපි ටිකක් කතා කරමු. ඒ තමයි දාවිත් හා මනස්සේ.

ඒක කොයි තරම් ලොකු වරදක්ද?

3-5. දාවිත් කරපු බරපතළ වැරදි මොනවාද?

3 අපි මුලින්ම දාවිත් ගැන බලමු. දාවිත් දෙවිට විශ්වාසවන්තව හිටිය කෙනෙක් වුණත් ඔහු ලොකු වරදක් කළා. ඒ තමයි බැත්-ෂෙබා හා උරියා සම්බන්ධ සිද්ධිය. දාවිත් කරපු ඒ වරද නිසා කිහිපදෙනෙකුටම වේදනාකාරී ප්‍රතිඵලවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ කොහොමවුණත් මේ සිද්ධියෙන් යෙහෝවා දෙවි මොන තරම් දයාන්විත දෙවි කෙනෙක්ද කියලා තවත් ඔප්පු වුණා. අපි දැන් ඒ සිද්ධිය වුණ තැනට යමු.

4 මේ සිද්ධිය වෙනකොට ඊශ්‍රායෙල් හමුදාව අම්මොන්වරුන්ගේ අගනුවර වන රබ්බා නුවර අල්ලගන්න ගිහිල්ලයි හිටියේ. ඒක තිබුණේ යෙරුසලමේ ඉඳලා කිලෝමීටර් 80ක් විතර දුරින්. ඒත් දාවිත් යුද්දෙට ගියේ නැහැ. තමන්ගේ මාලිගාවේ සඳලුතලයට වෙලා නිවිහැනහිල්ලේ හිටපු දාවිත්ගේ නෙත ගැටුණේ දිය නාමින් සිටි රූමත් බැත්-ෂෙබාවයි. තමන්ගේ හැඟීම් පාලනය කරගන්න බැරුව ගිය දාවිත් ඇය ගැන හොයලා බැලුවා. ඒ වෙනකොට ඇය විවාහ වෙලයි හිටියේ. ඇගේ සැමියා හමුදාව එක්ක යුද්දෙට ගිහින්. ඒ බව දැනගත් දාවිත්, බැත්-ෂෙබාව තමන් වෙතට ගෙන්වාගත්තා. ඒ හමු වීම ටිකක් දුරදිග ගියා. අන්තිමේදී දෙන්නා අනාචාරයේ යෙදුණා.—2 සාමු. 11:1-4.

5 අනාචාරයේ ප්‍රතිඵලයක් ලෙස බැත්-ෂෙබා ගැබ්ගත්තා. කරුණු කාරණා පෙරළෙන්නේ හොඳ අතට නෙවෙයි කියා දැනගත්තු දාවිත් තමන්ගේ වරද වහගන්න හිතාගෙන උරියාව යෙරුසලමට ගෙන්වාගත්තා. දාවිත් හිතුවේ උරියා ගෙදර ගියොත් බැත්-ෂෙබා එක්ක එකට ඉන්න නිසා තමන්ගේ වරද එළිවෙන එකක් නැහැ කියලයි. ඒත් දාවිත් හිතුවා වැරදියි. උරියා ගෙවල් පැත්තටවත් යන්න කැමති වුණේ නැහැ. තමන්ගේ උපාය වැරදුණා කියා දැනගත්තු දාවිත් වෙන විදිහක් කල්පනා කළා. ඔහු තමන්ගේ හමුදාපතිට ලියුමක් යවලා කිව්වා “ඉතා දරුණු විදිහට සටන් කරන තැනක් බලා උරියාව සතුරන් ඉදිරියටම යවන්න. ඊටපසු ඔබ සියලුදෙනාම එතැනින් ඉවත්ව යන්න” කියලා. (2 සාමු. 11:12-17) තමන්ට විරුද්ධව කරපු ඒ භයානක කුමන්ත්‍රණය ගැන කිසිම දෙයක් නොදැන සිටි උරියා නිරපරාදේ මිය ගියා. දාවිත් දුරාචාරයේ යෙදුණා විතරක් නෙවෙයි කරපු වරද වහගන්න අහිංසක මිනිසෙක්වත් මරා දැම්මා. ඒක කොයි තරම් ලොකු වරදක්ද!

සම්පූර්ණ වෙනසක්!

6. යෙහෝවා දෙවි ඒ කාරණය හැසිරුවේ කොහොමද? ඉන් දෙවි ගැන ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

6 තමන්ගේ වරද වහගන්න ඕන නිසා දාවිත් බැත්-ෂෙබාව විවාහ කරගත්තා. සිද්ධ වුණ දේ කවුරුත් දන්නේ නැහැ කියලා හිතුව දාවිත් සැනසුම් සුසුම් හෙළන්න ඇති. ඒත් මේ හැම දේම යෙහෝවා දෙවි දැක්කා. (හිතෝ. 15:3) “දාවිත් කළ දේ යෙහෝවා දෙවි සැලකුවේ ඉතා දුෂ්ට ක්‍රියාවක්” ලෙසයි. (2 සාමු. 11:27) මේ තරම් වැරදි කරපු දාවිත්ට දෙවි සමාව දෙයිද? දෙවිට ඕන වුණා දාවිත්ගේ වරදට සමාව දෙන්න ඔහු සුදුසු තත්වයක ඉන්නවාද කියලා දැනගන්න. ඒ නිසා දෙවි නාතන්ව දාවිත් ළඟට යැව්වා. නාතන් දාවිත්ට පසුතැවෙන්න කියලා බල කළේ නැහැ. පුංචි කතන්දරයකින් ඔහුගේ වරද කොයි තරම් බරපතළද කියලා තේරුම්ගන්න උදව් කළා විතරයි. (2 සාමුවෙල් 12:1-4 කියවන්න.) අපිට ඉන්නේ මොන තරම් ප්‍රේමණීය දෙවි කෙනෙක්ද කියලා ඔබට හිතෙන්නේ නැද්ද!

7. නාතන් කියපු කතන්දරේ දාවිත්ගේ හිතට වැදුණා කියලා අපි දන්නේ කොහොමද?

7 නාතන් කියපු කතන්දරය ඇත්තටම වුණ එකක් කියලා හිතපු දාවිත්ට හුඟක් කේන්ති ගිහින් මෙහෙම කිව්වා. “ඒ දේ කළ මිනිසාව මරා දැමිය යුතුයි කියලා ජීවමාන දෙවි වන යෙහෝවා ඉදිරියේ මම දිවුරලා කියනවා.” ඒ විතරක් නෙවෙයි කරපු වරදට වන්දියක් ගෙවන්න ඕනේ කියලත් ඔහු කිව්වා. ඒත්, “ඔබ තමයි ඒ මිනිසා!” කියලා නාතන් කියද්දී දාවිත්ට කොහොම හැඟෙන්න ඇද්ද? ඒ වගේම කරපු දේට ඔහුට ප්‍රතිඵල විඳින්න වෙනවා කියලත් ප්‍රසිද්ධියේ ලැජ්ජා වෙන්න වෙනවා කියලත් ඔහුගේ පවුලේ අයට දිගටම දුක් විඳින්න වෙනවා කියලත් නාතන් කිව්වා. දාවිත්ට තේරුණා තමන් කළේ මොන තරම් බරපතළ වරදක්ද කියලා. ඒ නිසයි ඔහු කිව්වේ “මම යෙහෝවා දෙවිට විරුද්ධව පව් කළා” කියලා.—2 සාමු. 12:5-14.

කඳුළු පිරි දෙනෙතින් කළ අයදීම

8, 9. දාවිත්ගේ හිතේ තිබුණු දේ ගීතාවලිය 51න් හෙළි වෙන්නේ කොහොමද? ඒ වගේම දෙවි ගැන අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

8 හද පැළෙන තරම් දුකෙන් හිටිය දාවිත් ඒ දුක වචනවලට පෙරළුවා. ගීතාවලිය 51 තියෙන්නේ කඳුළු පිරි දෙනෙතින් කළ දාවිත්ගේ දුක් ගැනවිල්ලයි. “මා පව් කළේ ඔබට විරුද්ධවය” කියා ඔහු වරද පිළිගත්තා. ඒ විතරක් නෙවෙයි ඔහු ඒ ගැන අවංකවම පසුතැවුණා. ‘අනේ දෙවියනි, මට පිරිසිදු හදවතක් ලබා දෙන්න. මා සිතන ආකාරය නිවැරදි කර, අලුත් සිතක් මට ලබා දෙන්න. ඔබ දෙන ගැලවීම නිසා ප්‍රීතිය අද්දැකීමට මට සලස්වන්න. දිගටම ඔබේ කැමැත්ත කිරීමට මා තුළ ආශාවක් ඇති කරගැනීමට මට උපකාර කරන්න.’ (ගීතා. 51:1-4, 7-12) දාවිත් ගොඩාක්ම දුක් වුණේ යෙහෝවා දෙවි එක්ක තිබුණු බැඳීම නැති වෙයි කියලා ඔහුට හිතුණ නිසයි. ඔබත් දාවිත් වගේ හිතේ ගැඹුරුම තැන්වල තියෙන දේවලුත් දෙවිට කියනවාද?

9 ‘තැළුණාවූ බිඳුණාවූ හදවතකින්’ කරන වේදනාබර අයැදීමක් නොසලකාහරින්න තරම් ගල් හිතක් අපේ දෙවිට නැහැ. (ගීතා. 51:17) දාවිත් කරපු වැරැද්ද කොයි තරම් බරපතළද කිව්වොත් මෝසෙස්ගේ නීතියේ හැටියට ඔහුව විනිශ්චයකරුවෙක් ළඟට රැගෙන ගියා නම් ඔහුට ලැබෙන්නේ මරණ දණ්ඩනයයි. (ලෙවී. 20:10) හැබැයි තමන් කළ වරද ගැන දාවිත් කොයි තරම් පසුතැවෙනවාද කියලා දෙවි දැක්ක නිසා දාවිත්ටත් බැත්-ෂෙබාටත් දෙවි සමාව දුන්නා. (ගීතාවලිය 32:5 කියවන්න.) ඒ නිසයි ඒ දෙන්නාගේ පුතා වන සලමොන්ට ඊශ්‍රායෙල්හි රජ වෙන්න පුළුවන් වුණේ. (1 ලේක. 22:9, 10) කොහොමවුණත් දාවිත් කරපු වරද දෙවි නොසලකාහැරියේ නම් නැහැ. ජීවිත කාලය පුරාම ඒ වරදේ ප්‍රතිඵල විඳින්න ඔහුට සිද්ධ වුණා.

10. (අ) දෙවි දාවිත්ට සමාව දෙන්න ඇත්තේ තවත් මොන හේතුවක් නිසාද? (ආ) දෙවිගෙන් සමාව ලබාගන්න පුළුවන් වෙන්නේ මොනවා කළොත් විතරද?

10 අපි දන්නවා දාවිත් සාවුල්ට කොච්චර සමාව දුන්නාද කියලා. දාවිත්ට සමාව දෙන්න දෙවි ඒකත් හේතුවක් කරගන්න ඇති. (1 සාමු. 24:4-7) අපි අනික් අයට සලකන්නේ කොහොමද, දෙවිත් අපිට සලකන්නේ එහෙමයි. ඒකයි යේසුස් මෙහෙම කිව්වේ. “අනුන්ව විනිශ්චය නොකරන්න. එවිට ඔබවත් විනිශ්චය කරනු ලබන්නේ නැහැ. මන්ද ඔබ අනුන්ව යම් ආකාරයකින් විනිශ්චය කරනවාද එයාකාරයෙන්ම ඔබවත් විනිශ්චය කරනු ලබනවා. ඔබටත් මැන දෙනු ලබන්නේ ඔබ මනින මිම්මෙන්මයි.” (මතෙ. 7:1, 2) අනාචාරය හා මිනී මැරීම් වගේ වැරදිවලටත් දෙවි සමාව දෙනවාද? ඔව්. ඒ වගේ වැරදිවලටත් දෙවි සමාව දෙනවා. හැබැයි ඒ වගේ සමාවක් ලැබෙන්නේ අපිත් අන් අයට සමාව දෙනවා නම් විතරයි. අපේ වැරදි පිළිගන්නවා නම් විතරයි. අපි කරපු වැරදි ආයෙත් නොකරන්න අධිෂ්ඨාන කරගන්නවා නම් විතරයි. අපේ වැරදි ගැන අවංකවම පසුතැවිලි වෙනවා නම් “යෙහෝවා දෙවිගෙන් මහත් සහනයක්” ලැබෙනවා නොඅනුමානයි.—ක්‍රියා 3:19 කියවන්න.

දෙවිගේ සමාව මනස්සේටත්

11. මනස්සේ කළ වැරදි මොනවාද?

11 මනස්සේ යූදා දේශයේ රජ වුණේ දාවිත් රජ වෙලා අවුරුදු 360කට විතර පස්සේ. ඔහුපාලනය කළ අවුරුදු 55 පුරාම දෙවි පිළිකුල් කරපු දේවල් ගොඩක් කළා. බාල් දෙවිවරුන්ට පූජාසන හැදුවා. අහසේ සියලු වස්තූන් ඉදිරියේ වැඳ වැටී ඒවාට නමස්කාර කළා. මායා බන්ධන ක්‍රියාවල නියැලුණා. ඒ විතරක් නෙවෙයි තමන්ගේ පුත්‍රයන්වත් ගින්නෙන් දවා පූජා කළා. ඒ විදිහට ඔහු ‘යෙහෝවා දෙවිව උදහස් කරමින් දෙවිට පිළිකුල් වූ දේවල් බොහොමයක් කළා.’—2 ලේක. 33:1-6.

12. මනස්සේ පසුතැවුණේ කොහොමද?

12 කාරණා අනික් පැත්තට පෙරළෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. මනස්සේ බැබිලෝනියේ හිරකාරයෙක් වුණා. ඒ පාළු සිරකුටියේ ඉද්දී මෝසෙස් කියපු මේ වදන් මනස්සේට මතක් වෙන්න ඇති. “ඔබට බොහෝ දුෂ්කරතා විඳින්න සිදු වෙද්දී, නැවත ඔබේ දෙවි වන යෙහෝවා වෙතට හැරී ඔහුගේ හඬට සවන් දෙන්න ඔබ පෙලඹෙයි.” (ද්වි. 4:30) තමන් කළ දේවල් ගැන පසුතැවුණු මනස්සේ ‘යෙහෝවා දෙවි ඉදිරියේ යටහත් වී නොකඩවා යාච්ඤා කළා.’ (21වෙනි පිටුවේ පින්තූරය බලන්න.) (2 ලේක. 33:12, 13) ඔහු දෙවිට කිව්වේ මොන වගේ වචනද කියලා අපිට හොයාගන්න බැරි වුණත් ගීතාවලිය 51 දාවිත් කියූ වචනවලට සමාන වචන ඔහු කියන්න ඇති කියලා නම් හිතන්න පුළුවන්. කොහොමවුණත් මනස්සේ මුළු හදවතින්ම පසුතැවුණා.

13. යෙහෝවා දෙවි මනස්සේට සමාව දුන්නේ ඇයි?

13 “කරුණාව පෙන්වන්න කියා ඔහු කළ කන්නලව්වලට” සවන් දුන් දෙවි ඔහුට සමාව දුන්නා. දාවිත් වගේම මනස්සේත් තමන් කළ වැරදි තේරුම් අරන් අවංකවම පසුතැවුණු නිසා යෙහෝවා දෙවි ඔහුට සමාව දී නැවතත් යෙරුසලමේ රජ විදිහට පත් කළා. “යෙහෝවා දෙවි සැබෑ දෙවි බව මනස්සේ තේරුම්ගත්තේ” එතකොටයි. (2 ලේක. 33:13) අවංකවම පසුතැවෙන අයට අපේ ආදරණීය දෙවි සමාව දෙනවා කියලා දැනගන්න ලැබුණ එක අපි වගේ පව්කාරයන්ට මොන තරම් සහනයක්ද!

දෙවි හැමෝටම සමාව දෙනවාද?

14. දෙවි සමාව දෙන්නේ මොන වගේ අයටද?

14 දෙවිගේ සේවකයන් අතර ඉන්න එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න කවුරුත් දාවිත් හා මනස්සේ තරම් වැරදි කරන්නේ නැති බව අපිට විශ්වාසයි. ඒත් ඒ තරම් බරපතළ වැරදි කරපු ඒ රජවරු දෙන්නාටත් සමාව දුන්නා නම් අදත් බරපතළ වැරදි කළ කෙනෙක් ඒ ගැන අවංකවම පසුතැවුණොත් දෙවි සමාව දෙන්න බලන් ඉන්නවා.

15. දෙවි කිසි දෙයක් ගැන හොයන්නේ බලන්නේ නැතුව සමාව දෙනවාද?

15 එහෙමනම් දෙවි කිසි දෙයක් ගැන හොයන්නේ බලන්නේ නැතුව දෙන්නං වාලේ සමාව දෙනවාද? කොහෙත්ම නැහැ. දාවිත් හා මනස්සේ තමන් කරපු වැරදි ගැන තේරුම්ගත්තාම ඒ ගැන අවංකවම පසුතැවුණා. ඒත් ඊශ්‍රායෙල්වරුන් ගැන හිතන්න. ඔවුන් කළ වැරදි ගැන දෙවි තම අනාගතවක්තෘවරුන් මගින් කොයි තරම් අනතුරු ඇඟෙව්වත් ඒ අය පසුතැවුණේ නැහැ. ඒ නිසා දෙවිගේ සමාව ඔවුන්ට අහිමි වුණා. ඔවුන්ට බැබිලෝනියේ වහලුන් වෙන්න වුණේ ඒ නිසයි. (නෙහෙමියා 9:30 කියවන්න.) බැබිලෝනියෙන් නිදහස් වෙලා ආවට පස්සෙත් දෙවි එස්රා, මලාකි වගේ අය තුළින් නිතර නිතර ඔවුන්ට මඟ පෙන්වීම් දුන්නා. ඒ වතාවේදී ඔවුන් ඒවා පිළිගත් නිසා සතුටින් ඉන්න ඔවුන්ට පුළුවන් වුණා.—නෙහෙ. 12:43-47.

16. (අ) පසුතැවුණේ නැති ඊශ්‍රායෙල් ජාතිය අහිමි කරගත්තේ මොනවාද? (ආ) අද ඉන්න ඊශ්‍රායෙල් ජාතිකයන්ට තියෙන්නේ මොන වගේ අවස්ථාවක්ද?

16 ඉස්සර ඊශ්‍රායෙල්වරයෙක්ට දෙවිගෙන් සමාව ගන්න නම් සතෙක්ව පූජා කරන්න සිද්ධ වුණා. ඒත් යෙහෝවා දෙවි තමන්ගේ එකම පුතාව පූජාවක් හැටියට දුන්නට පස්සේ එහෙම කරන්න ඕනේ වුණේ නැහැ. (1 යොහ. 4:9, 10) ඒ අවස්ථාවෙන් ඔවුන් ප්‍රයෝජන ගත්තේ නැහැ. ඒ ගැන යෙහෝවා දෙවිට දැනුණේ කොහොමද කියලා යේසුස් කියපු මේ දෙයින් පැහැදිලි වෙනවා. “යෙරුසලම! යෙරුසලම! අනාගතවක්තෘවරුන්ව මරා දැමූ, තමන් වෙතට එවූ අයට ගල් ගැසූ නුවර! කිකිළියක් තමන්ගේම පැටවුන්ව තම පියාපත් යටට එකතු කරගන්නා සේ ඔබේ දරුවන්ව එකතු කරගන්න මම කී වරක් නම් කැමති වුණාද! නමුත් ඔබ ඊට කැමති වූයේ නැහැ. බලන්න! ඔබට ඉතුරු වන්නේ පාළු වූ සියලුදෙනා අත්හැර දැමූ දේවමාලිගාවක් පමණයි.” (මතෙ. 23:37, 38) දෙවි පසුතැවුණේ නැති ඒ ඊශ්‍රායෙල් ජාතිය වෙනුවට ‘දෙවිගේ ඊශ්‍රායෙල්’ ලෙස හැඳින්වූ පිරිසක්ව තමන්ගේ සෙනඟ හැටියට තෝරගත්තා. (මතෙ. 21:43; ගලා. 6:16) ඒ කියන්නේ අද ඉන්න ඊශ්‍රායෙල් ජාතිකයන් කිසිම කෙනෙකුට දෙවිගෙන් සමාව ලබාගන්න බැහැ කියන එකද? නැහැ. යෙහෝවා දෙවි ගැනත් යේසුස්ගේ ජීවිත පූජාව ගැනත් විශ්වාස කරනවා නම් ඔවුන්ටත් පුළුවන් දෙවිගේ සමාව ලබාගන්න. ඔවුන්ට විතරක් නෙවෙයි තමන්ගේ වැරදි ගැන පසුතැවෙන්න අවස්ථාවක් නොලැබ මිය ගිය අයටත් පාරාදීස පොළොවේදී ඒ අවස්ථාව ලැබෙනවා.—යොහ. 5:28, 29; ක්‍රියා 24:15.

දෙවිගේ සමාව ඔබටත්!

17, 18. ඔබ දෙවිගෙන් සමාව ලබාගන්න නම් මොනවද කරන්න ඕනේ?

17 අනිවාර්යයෙන්ම අපිටත් ඕනේ දාවිත් හා මනස්සේ වගේ දෙවිගේ සමාව ලබාගන්න, එහෙම නේද? එහෙමනම් අපි පව්කාරයන් බව පිළිගමු. වැරදි ගැන අවංකවම පසුතැවෙමු. දෙවිගෙන් සමාව අයදිමු. නරක සිතුවිලි අපෙන් අයින් කරන්න කියලා දෙවිගෙන් ඉල්ලමු. (ගීතා. 51:10) අපි අතින් යම් බරපතළ වරදක් වෙලා තියෙනවා නම් ඒ ගැන වැඩිමහල්ලන්ට කියමු. ඒ අයගෙන් උදව් ඉල්ලගමු. (යාකො. 5:14, 15) ඒ වගේ වෙලාවලදී අපේ දෙවි මොන වගේ කෙනෙක්ද කියලා හිතමු. ‘අපේ දෙවි යෙහෝවා දයාන්විතයි. කරුණාවන්තයි. කෝප වීමට ඉක්මන් නොවෙයි. ඉමහත් ප්‍රේමයක් පෙන්වයි. සැමවිටම විශ්වාසවන්තව ක්‍රියා කරයි. පරම්පරා දහස් ගණනකට මහත් ප්‍රේමයක් පෙන්වමින් අයුතුකම්වලටද වැරදිවලටද පාපවලටද සමාව දෙයි.’ අපිට ඉන්නේ කොයි තරම් නම් ආදරණීය පියෙක්ද!—නික්. 34:6, 7.

18 වැරදි ගැන පසුතැවුණු ඊශ්‍රායෙල් සෙනඟට යෙහෝවා දෙවි කිව්වේ ‘රතට රතේ තිබුණු ඔවුන්ගේ පාප හිම මෙන් සුදු වෙන්න සලස්වනවා කියලයි.’ (යෙසායා 1:18 කියවන්න.) දැන් ඔබ මොකද හිතන්නේ? දෙවි ඔබටත් සමාව දෙයිද? ඔව්. වැරදි ගැන අවංකවම පසුතැවිලි වී නැවත ඒ වරද නොකරන්න අධිෂ්ඨාන කරගත්තොත් ඔබටත් අනිවාර්යයෙන්ම සමාව ලැබෙනවා.

19. ඊළඟ ලිපියෙන් අපි ඉගෙනගන්නේ මොනවා ගැනද?

19 මටත් බැරිද යෙහෝවා දෙවි වගේ අනිත් අයට සමාව දෙන්න? බරපතළ වරදක් කරලා තිබුණත් අවංකවම පසුතැවෙන කෙනෙකුට සමාව දෙන්න මම අදිමදි කරනවාද? ඒ වගේ අවස්ථාවලදී “සමාව දීමට කැමති, යහපත්” දෙවි යෙහෝවා වගේ වෙන්න පුළුවන් කොහොමද කියලා ඊළඟ ලිපියෙන් අපි ඉගෙනගමු.—ගීතා. 86:5.