Skip to content

පටුනට යන්න

බයිබලයෙන් පිළිතුරු සොයමු

දෙවියන් යේසුස්ව මේ පොළොවට එව්වේ ඇයි?

දෙවියන් යේසුස්ව මේ පොළොවට එව්වේ ඇයි?

මෙම ලිපිය සකස් කර තිබෙන්නේ ප්‍රශ්නෝත්තර ක්‍රමයටයි. ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීමට උපකාරවත් වන බයිබල් පදද මෙහි සඳහන් කර තිබෙනවා. මෙම ලිපියේ සඳහන් තොරතුරු ගැන ඔබ සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කැමැත්තෙන් සිටිනවා.

1. පොළොවට එන්න කලින් යේසුස් හිටියේ කොහේද?

ස්වර්ගයේ ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් විදිහට දෙවි මුලින්ම නිර්මාණය කළේ යේසුස්වයි. ඒ නිසා යේසුස්ව දෙවිගේ එකම පුත්‍රයා කියලා හඳුන්වනවා. ඊටපස්සේ නිර්මාණය කරපු හැම දෙයක්ම දෙවි නිර්මාණය කළේ යේසුස් සමඟ එකතු වෙලයි. (යොහන් 1:2, 3, 14) ස්වර්ගයේදී දෙවිව නියෝජනය කරමින් කතා කරපු තැනැත්තා යේසුස් නිසා ඔහුව වචනය ලෙසත් හඳුන්වනවා. මිනිසුන්ව නිර්මාණය කරන්න කලින් සිතාගත නොහැකි තරම් දිගු කාලයක් පුරා යේසුස් ස්වර්ගයේ ජීවත් වුණා.—මීකා 5:2; යොහන් 17:5 කියවන්න.

2. දෙවි යේසුස්ව පොළොවට එව්වේ කොහොමද?

දෙවි ස්වර්ගයේ හිටපු යේසුස්ව, දරුවෙක් විදිහට මරියාගේ කුසේ වැඩෙන්න සැලැස්සුවා. ඒ නිසා යේසුස්ගේ උපතට මිනිස් පියෙකුගේ සම්බන්ධයක් නැහැ. ඔහුගේ උපත ගැන එළිමහනේ බැටළුවන් බලාගෙන සිටි එඬේරුන්ට දේවදූතයන් කිව්වා. (ලූක් 2:8-12) ශීත කාලයේදී එඬේරුන් එළිමහනේ ඉන්නේ නැති නිසා යේසුස් ඉපදුණේ ශීත කාලයේදී නෙවෙයි කියලා පැහැදිලියි. ඔහු ඉපදුණේ ඔක්තෝබර් මාසයේ මුල් කාලයේදී වගේ. ඒ කාලයේ බෙත්ලෙහෙමේ තියෙන්නේ උණුසුම් දේශගුණයක්. කාලෙකට පස්සේ යෝසෙප් මරියාවත් යේසුස්වත් අරන් නාසරෙත්වලට පදිංචියට ගියා. යෝසෙප් තමන්ගේම පුතෙක් වගේ යේසුස්ව බලාගත්තා.—මතෙව් 1:18-23 කියවන්න.

අවුරුදු 30දී යේසුස් බව්තීස්ම වෙද්දී මේ මගේ පුතා කියලා දෙවි ප්‍රසිද්ධියේම කිව්වා. ඊටපස්සේ යේසුස්, දෙවි භාර දුන්න පැවරුම ඉටු කරන්න පටන්ගත්තා.—මතෙව් 3:16, 17 කියවන්න.

3. යේසුස් පොළොවට ආවේ ඇයි?

යේසුස් පොළොවට ආවේ දෙවි ගැන සත්‍යය කියලා දෙන්නයි. ඔහු දෙවිගේ රාජ්‍යය ගැන ඉගැන්නුවා. ස්වර්ගයේ තියෙන ඒ රාජ්‍යය අනාගතයේදී පොළොව පාලනය කරනවා කියලත් එයින් පොළොවට සමාදානය හා මිනිසුන්ට සදාකාල ජීවනය ලැබෙනවා කියලත් ඔහු ඉගැන්නුවා. (යොහන් 4:14; 18:36, 37) නියම සතුට ලබාගන්න විදිහත් ඔහු කියලා දුන්නා. (මතෙව් 5:3; 6:19-21) ඒ වගේම ඔහුගේ ආදර්ශයෙනුත් ඔහු ඉගැන්නුවා. ඔහුට නින්දා අපහාස කරද්දී එකට එක කළේ නැහැ. දුෂ්කරතා හමුවේ පවා දෙවිගේ කැමැත්ත කරන්නේ කොහොමද කියලා ඔහු පෙන්නුවා.—1 පේතෘස් 2:21-24 කියවන්න.

තමන් ගැන නොසිතා අනිත් අයට ප්‍රේම කරන්නේ කොහොමද කියලා යේසුස් පෙන්නුවා. ස්වර්ගයේදී ඉතා උසස් ජීවිතයක් ගත කළත් දෙවිට කීකරු වෙලා ඔහු පොළොවට ආවා. අන් අයට ප්‍රේම කිරීම ගැන යේසුස් කදිම ආදර්ශයක්.—යොහන් 15:12, 13; ෆිලිප්පි 2:5-8 කියවන්න.

4. යේසුස්ගේ මරණය නිසා මිනිසුන්ට ලැබෙන්නේ මොනවාද?

යේසුස් අපි වෙනුවෙන් ඔහුගේ ජීවිතය පූජා කළා. (යොහන් 3:16) අපි හැමෝම පව්කාරයන්. ඒ නිසයි අපි අසනීප වෙලා මිය යන්නේ. ඒත් මුල්ම මිනිසා වුණු ආදම්ව දෙවි නිර්මාණය කළේ ලෙඩ වෙලා මිය යන්න නෙවෙයි. සදාකාලයටම ජීවත් වෙන්නයි. ඔහු දෙවිට අකීකරු වුණු නිසා තමයි ඔහුටත් ඔහුගෙන් පැවතෙන අපිටත් පව්කාරකමයි මරණයයි උරුම වුණේ.—රෝම 5:12; 6:23 කියවන්න.

යේසුස්ට පව්කාරකමවත් මරණයවත් උරුම වෙලා තිබුණේ නැහැ. ඔහු මිය ගියේ අපි වෙනුවෙනුයි. ඒ නිසා යෙහෝවා දෙවිගෙන් ආශීර්වාද ලබන්නත් සදාකාල ජීවනය ලබන්නත් අපිට හැකි වෙනවා.—1 පේතෘස් 3:18 කියවන්න.