Skip to content

පටුනට යන්න

දෙවි පියාණන්ව මිතුරෙක් කරගන්න

“දෙවි මිය ගිය අයගේ නොව ජීවත් වන අයගේ දෙවියි”

“දෙවි මිය ගිය අයගේ නොව ජීවත් වන අයගේ දෙවියි”

බයිබලයේ මරණය සමාන කරලා තියෙන්නේ භයානක ‘සතුරෙක්ට.’ (1 කොරින්ති 15:26) මේ සතුරාව පරාජය කරන්න යෙහෝවා දෙවිට පුළුවන්ද? ඔව්. යෙහෝවා දෙවි ‘සියලු බලැති දෙවියන්’ නිසා දෙවිට කරන්න බැරි දෙයක් නැහැ. (නික්මයාම 6:3) දෙවියන් ඒ සතුරාව පරාජය කරන්නේ මිය ගිහින් ඉන්න අයට නැවත ජීවිතය ලබා දීමෙනුයි. * ඉතාමත් ළඟදී ඒ දේ කරන්න දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා. ඒ පොරොන්දුව අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියලා යේසුස් කියපු දෙයකින් තහවුරු වෙනවා. යේසුස් ඒ අවස්ථාවේ කතා කරමින් හිටියේ නැවත නැඟිටීම විශ්වාස නොකරපු ආගමික නායකයන් කණ්ඩායමකටයි.—මතෙව් 22:31, 32 කියවන්න.

යේසුස් මෙහෙම කිව්වා. “මිය ගිය අය නැවත නැඟිටින ආකාරය ගැන දෙවි විසින් ඔබට කී මේ දේ ඔබ කියවා නැද්ද? එනම්, ‘ආබ්‍රහම්ගේ, ඊසාක්ගේ සහ යාකොබ්ගේ දෙවි මමය.’ දෙවි මිය ගිය අයගේ නොව ජීවත් වන අයගේ දෙවියි.”

යේසුස් ඒ වෙලාවේ එයාලට මතක් කළේ ඇවිළෙමින් තිබුණු කටු පඳුර ළඟදී අවුරුදු ගාණකට කලින් යෙහෝවා දෙවියන් මෝසෙස්ට කියපු දෙයයි. (නික්මයාම 3:1-6) “ආබ්‍රහම්ගේ, ඊසාක්ගේ සහ යාකොබ්ගේ දෙවි මමය” කියලා යෙහෝවා දෙවි මෝසෙස්ට කියද්දී ආබ්‍රහම් මිය ගිහින් අවුරුදු 329කුත් ඊසාක් මිය ගිහින් අවුරුදු 224කුත් යාකොබ් මිය ගිහින් අවුරුදු 197කුත් ගත වෙලා තිබුණා. ඒත් යෙහෝවා දෙවි කිව්වේ මම ඒ අයගේ දෙවියන් කියලයි.

මේ ගැන ටිකක් හිතන්න. මිය ගිය අයට නැවත ජීවිතය ලැබෙන්නේ නැත්නම් ආබ්‍රහම්, ඊසාක් හා යාකොබ් වගේ මිය ගිහින් ඉන්න අයගේ දෙවියන් හැටියට යෙහෝවා දෙවිව හඳුන්වන්න පුළුවන්ද? බැහැ. එහෙමනම් ඔහුව හඳුන්වන්න වෙන්නේ මිය ගිය අයගේ දෙවි කියලයි. ඒ විතරක් නෙමෙයි යෙහෝවා දෙවිට මරණය කියන සතුරාව පරාජය කරන්න බලය නැහැ කියලත් ඒකෙන් අදහස් වෙනවා. හැබැයි “දෙවි මිය ගිය අයගේ නොව ජීවත් වන අයගේ දෙවි” කියන එකෙන් පැහැදිලි වෙනවා මරණය පරාජය කරලා මිය ගිය අයට ජීවිතය දෙන්න දෙවියන්ට බලය තියෙනවා කියලා.

එහෙමනම් ආබ්‍රහම්, ඊසාක්, යාකොබ් හා දෙවියන්ට විශ්වාසවන්තව ඉඳලා මිය ගිය අනිත් හැම කෙනෙක් ගැනම දෙවියන්ට හැඟෙන්නේ කොහොමද? යේසුස් කිව්වේ “දෙවි ඔවුන්ව සලකන්නේ ජීවත් වන අය හැටියට” කියලයි. (ලූක් 20:38) යෙහෝවා දෙවිගේ මතකයේ ඉන්න සියලුදෙනාටම අනිවාර්යයෙන්ම නැවත ජීවිතය ලැබෙන නිසයි මිය ගිහින් හිටියත් ජීවත් වෙන අය හැටියට එයාලව හඳුන්වලා තියෙන්නේ.—රෝම 4:16, 17.

යෙහෝවා දෙවි මරණය පරාජය කරනවා

ඔයා ආදරේ කරපු කෙනෙක්ට ආපහු ජීවිතය ලැබෙනවා කියලා හිතන කොට ඔයාට ඒ ගැන ලොකු සතුටක් දැනෙන්නේ නැද්ද? යෙහෝවා දෙවි අනිවාර්යයෙන්ම ඒ දේ කරනවා. ඒකට බාධා කරන්න කිසි කෙනෙකුට බැහැ. ඒ පුදුමාකාර බලාපොරොත්තුව ගැනත් ඒ පොරොන්දුව දීලා තියෙන දෙවියන් ගැනත් ඉගෙනගන්න. එතකොට “ජීවත් වන අයගේ දෙවි” වන යෙහෝවාගේ මිතුරෙක් වෙන්න ඔයාටත් පුළුවන්.

පෙබරවාරි මාසයට නියමිත බයිබල් කියවීම

මතෙව් 22-28 සිට මාක් 1-8 දක්වා

^ 1 ඡේ. ඒ පොරොන්දුව ගැන වැඩි විස්තර දැනගන්න බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු කියන පොතේ 7වෙනි පරිච්ඡේදය බලන්න. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.