Skip to content

පටුනට යන්න

අපේ උරුමය අගය කරමු

අපේ උරුමය අගය කරමු

‘දෙවි එසේ කළේ තම නාමය දැරීමට සෙනඟක් වෙනත් ජාතීන්වල මිනිසුන් අතරින් තෝරාගැනීමටයි.’—ක්‍රියා 15:14.

1, 2. (අ) “දාවිත්ගේ ගෘහය” කියන්නේ මොකක්ද? ඒක ‘නැවත ඉදි කරනවා’ කියන එකෙන් අදහස් කළේ මොකක්ද? (ආ) අද දින දෙවිගේ සෙනඟ කවුද?

ක්‍රිස්තු වර්ෂ 49දී යෙරුසලමේ රැස් වූ පාලක මණ්ඩලය තීරණාත්මක රැස්වීමක් පැවැත්තුවා. එතන හිටපු යාකොබ් මෙහෙම කිව්වා. “සිමියොන් [පේතෘස්] අපට හොඳින් පැහැදිලි කළේ වෙනත් ජාතීන්වල මිනිසුන්ව තෝරාගැනීමට දෙවි මුල් වතාවට පියවර ගත් ආකාරයයි. දෙවි එසේ කළේ තම නාමය දැරීමට සෙනඟක් ඔවුන් අතරින්ද තෝරාගැනීමටයි. ඒ දේ අනාගතවක්තෘවරුන් පැවසූ දේවලටත් එකඟයි. එක් ස්ථානයක මෙසේ ලියා තිබෙනවා. ‘මේ දේවලට පසු මම නැවත පැමිණ බිඳ වැටී ඇති දාවිත්ගේ ගෘහය නැවත ගොඩනඟන්නෙමි. නටබුන් වී ඇති එය නැවත ඉදි කර ස්ථිර කරන්නෙමි. මා එසේ කරන්නේ ඉතුරු වූ සියලුදෙනා සියලු ජාතීන්වල මිනිසුන් සමඟ එකතු වී යෙහෝවා දෙවිට ළං වී ඔහුගේ මඟ පෙන්වීම් පතන පිණිසය. මේ මිනිසුන් මාගේ නාමය දරන සෙනඟකි. මෙසේ පවසන්නේ මේ සියලු දේ සිදු කරන යෙහෝවා දෙවිය. පුරාණයේ තීරණය කළ මේ දේවල් ඉටු කරන්නේ ඔහුය.’”—ක්‍රියා 15:13-18.

2 යාකොබ් මේ කතා කරන්නේ ආමොස් පොතේ තියෙන අනාවැකියක් ගැනයි. ඒ අනාවැකියේ සඳහන් වන “දාවිත්ගේ ගෘහය” කියන එකෙන් අදහස් කළේ දාවිත්ගේ පෙළපතින් පැමිණි රජවරුනුයි. එය “බිඳ වැටී” තියෙනවා කිව්වේ ශෙදකියා රජගෙන් පසුව ඒ රජ පෙළපත අවසන් වූ නිසයි. (ආමො. 9:11) ඒත් ඒක ‘නැවත ඉදි කරනවා’ කියන එකෙන් අදහස් කළේ දාවිත්ගේ පෙළපතින් පැමිණි යේසුස්ගේ රජ වීමයි. (එස. 21:27; ක්‍රියා 2:29-36) ඒ වගේම යූදාවරුන්ගෙන් හා වෙනත් ජාතීන්ගෙන් පිරිසක් තෝරගෙන, ඔවුන්ව ස්වර්ගයේ රජවරුන් විදිහට අභිෂේක කරනවා කියලා යාකොබ් විස්තර කළා. මේ අභිෂේක ලත් අයට, සත්‍යය ගැන සාක්ෂි දරන්න “වෙනත් බැටළුවන්” උදව් කරනවා.—යොහ. 10:16.

යුදෙව්වන් වහලුන් වෙයි

3, 4. දෙවිට තව තවත් ළං වෙන්න බැබිලෝනියේ හිටපු යුදෙව්වන්ට උදව් වුණේ මොනවද?

3 යූදාවරුන්ව වහල්භාවයට රැගෙන ගියාට පස්සේ දාවිත්ගේ පෙළපතින් පැමිණි රජ කෙනෙක් හිටියේ නැති නිසා “දාවිත්ගේ ගෘහය” බිඳ වැටුණා. ඊටපස්සේ ඔවුන්ට ජීවත් වෙන්න වුණේ බොරු ආගම්වලින් වට වුණු බැබිලෝනියෙයි. එහි ජීවත් වුණු අවුරුදු 70 පුරාම යෙහෝවා දෙවිට විශ්වාසවන්තව ඉන්න ඔවුන්ට පුළුවන් වුණේ කොහොමද? අද ඉන්න දෙවිගේ සෙනඟ සාතන්ගේ ලෝකයෙන් වට වී හිටියත් ඔවුන් දෙවිට විශ්වාසවන්තව ඉන්න විදිහටම යුදෙව්වනුත් එදා විශ්වාසවන්තව හිටියා. (1 යොහ. 5:19) ඔවුන්ට එහෙම ඉන්න පුළුවන් වුණේ ඔවුන්ටත් අපිටත් දෙවිගෙන් උරුම වුණු විශේෂ දෙයක් තියෙන නිසයි.

4 ඒ විශේෂ දේ තමයි බයිබලය. බැබිලෝනියේ හිටපු යුදෙව්වන්ට සම්පූර්ණ බයිබලය තිබුණේ නැහැ. ඒත් ඔවුන්ට ආඥා දහය ඇතුළුව මෝසෙස් මාර්ගයෙන් දුන්න නීතිය තිබුණා. ‘සියොන්වලදී ගයපු ගීතිකා’ වගේම හිතෝපදේශ රාශියක් ඔවුන් දැනගෙන හිටියා. දෙවිට විශ්වාසවන්තව හිටපු අය ගැනත් ඔවුන් දැනගෙන හිටියා. ඒ නිසා ඔවුන්ට යෙහෝවා දෙවිව අමතක වුණේ නැහැ. (ගීතාවලිය 137:1-6 කියවන්න.) මොන තරම් බොරු ඉගැන්වීම්වලින් හා චාරිත්‍ර වාරිත්‍රවලින් වට වෙලා හිටියත් දෙවිට තව තවත් ළං වෙන්න ඒ හැම එකක්ම ඔවුන්ට උදව් වුණා.

ත්‍රිත්වය නමැති බොරු ඉගැන්වීම

5. බැබිලෝනිවරුන්ටයි ඊජිප්තුවරුන්ටයි හිටපු ත්‍රිත්ව දෙවිවරුන් කවුද?

5 ත්‍රිත්වය කියන්නේ දෙවිවරුන් තුන්දෙනෙක්ව එක් කෙනෙක් විදිහට සලකලා නමස්කාර කිරීමයි. ත්‍රිත්වයට නමස්කාර කිරීමත් බැබිලෝනියේ තිබුණු එක බොරු ඉගැන්වීමක්. උදාහරණයකට ඔවුන් දෙවිවරුන් ලෙස සැලකුව ෂාමාෂ්ටත් (හිරු දෙවියා), සින්ටත් (සඳු දෙවියා), ඉෂ්තාර්ටත් (සශ්‍රීකත්වයේ හා යුද්ධයේ දේවතාවිය) ඔවුන් නමස්කාර කළේ ත්‍රිත්වයක් විදිහට සලකලයි. ඊජිප්තුවරුන්ටත් පියා මව හා පුතා විදිහට සලකපු ත්‍රිත්ව දෙවිවරුන් රාශියක් හිටියා. ඔසිරිස් (පියා), අයිසිස් (මව) සහ හෝරස් (පුතා) කියන්නේ ඒ වගේ එක ත්‍රිත්වයක්.

6. ත්‍රිත්වය කියන්නේ මොකක්ද? අපි ඒක විශ්වාස කරන්නේ නැත්තේ ඇයි?

6 අදත් තමන් ක්‍රිස්තියානීන් කියලා කියාගන්න ගොඩක් ආගම්වල ත්‍රිත්වය ගැන උගන්වනවා. පියා, පුත්‍රයා හා ශුද්ධාත්මය එක් කෙනෙක් කියලයි ඔවුන් කියන්නේ. මේ ඉගැන්වීම නිසා යෙහෝවා දෙවි එකම බලවත් දෙවි කියලා සලකනවා වෙනුවට දෙවියන්ගේ කොටසක් විතරයි කියලා ඔවුන් විශ්වාස කරනවා. ඒත් යෙහෝවා දෙවිගේ සෙනඟ ඒ බොරු ඉගැන්වීමෙන් නිදහස්. “යෙහෝවා යන නමින් සිටින්නේ එකම දෙවි කෙනෙක් පමණයි” කියලා අපි දන්නවා. (ද්වි. 6:4) යේසුස් ඉගැන්නුවෙත් ඒ දේමයි.—මාක් 12:29.

7. බව්තීස්ම වෙන්න කලින් කෙනෙක් විශ්වාස කරන්න ඕනෙ මොනවද?

7 “සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න. පියාණන්වත් පුත්‍රයාවත් දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වයත් පිළිගන්නා අයව බව්තීස්ම කරන්න.” (මතෙ. 28:19) පියා කියන්නේ යෙහෝවා දෙවිටයි. පුත්‍රයා වන යේසුස්ට වඩා පියා බලවත්. ඒ වගේම දෙවිගේ බලය පුද්ගලයෙක්වත් ත්‍රිත්වයක කොටසක්වත් නෙවෙයි. (උත්. 1:2) ඒක විශ්වාස කරන අයට විතරයි යේසුස්ගේ සැබෑ අනුගාමිකයෙක් විදිහට බව්තීස්ම වෙන්න පුළුවන්. යෙහෝවා දෙවිට අගෞරව කරන ත්‍රිත්ව ඉගැන්වීම බොරුවක් කියලා දැනගෙන ඉන්න එකත් අපිට අයිති වෙලා තියෙන උරුමයේ කොටසක්.

භූතයන් එක්ක සම්බන්ධ වී කරන දේවල්

8. දෙවිවරුන් සහ භූතයන් ගැන බැබිලෝනිවරුන් විශ්වාස කළේ මොනවද?

8 බැබිලෝනියේ හිටපු මිනිසුන් දෙවිවරුන්ව වගේම භූතයන්වත් භූතයන් එක්ක සම්බන්ධ වෙලා සමහර දේවල් කරන්න පුළුවන් කියලත් විශ්වාස කළා. භූතයන්ට මිනිසුන්ව අසනීප කරන්න පුළුවන් කියලා ඔවුන් විශ්වාස කළ නිසා ඔවුන් දෙවිවරුන්ට යාච්ඤා කරලා භූතයන්ගෙන් ඔවුන්ව ආරක්ෂා කරන්න කියලා ඉල්ලුවා කියලත් එක් පොතක සඳහන් වෙනවා.—The International Standard Bible Encyclopaedia.

9. (අ) භූතයන් ගැන බොරු දේවල් යුදෙව්වන් ඉගෙනගත්තේ කොහොමද? (ආ) භූතයන්ගෙන් අපි ආරක්ෂා වෙන්නේ කොහොමද?

9 බැබිලෝනියේ තිබුණු බොරු ඉගැන්වීම් පිළිගත්ත යුදෙව්වන් පිරිසකුත් හිටියා. හොඳ භූතයන් ඉන්නවා කියලත් ඔවුන්ගෙන් උදව් ලබාගන්න පුළුවන් කියලත් තිබුණු ග්‍රීක විශ්වාසයන් ඔවුන් පිළිගත්තා. ඒත් යෙහෝවා දෙවි අපිට කියලා තියෙන්නේ භූතයන් එක්ක සම්බන්ධ වෙන එක භයානක නිසා එහෙම කරන්න එපා කියලයි. භූතයන් ගැන දෙවි අපිට කියලා තියෙන ඒ සත්‍යයත් අපේ උරුමයේ කොටසක්. (යෙසා. 47:1, 12-15) භූතයන්ට සම්බන්ධ හැම දේකින්ම වැළකිලා ඉන්න නිසා අපිට ලොකු ආරක්ෂාවක් ලැබෙනවා.—ද්විතීය කතාව 18:10-12; එළිදරව් 21:8 කියවන්න.

10. අද තියෙන බොරු ආගම්වලට වැරදි ඉගැන්වීම් ආවේ කොහොමද?

10 පුරාණ බැබිලෝනියේ හිටපු අය වගේ අද බොරු උගන්වන ආගම්වල ඉන්න අයත් භූතයන් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරනවා. ඒ ආගම්වල තියෙන හැම බොරු ඉගැන්වීමක්ම ආවේ බැබිලෝනියෙන් නිසා ඒ ආගම් බයිබලයේ හඳුන්වන්නේ මහ බැබිලෝනිය කියලයි. (එළි. 18:21-24) භූතයන් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන නිසත්, රූපවලට නමස්කාර කරන නිසත්, ඔවුන්ගේ සියලුම වැරදි වැඩ නිසත් මහ බැබිලෝනිය ඉක්මනින්ම දෙවි විනාශ කරනවා.—එළිදරව් 18:1-5 කියවන්න.

11. අපේ ප්‍රකාශනවල භූතයන් ගැන පළ වෙලා තිබුණේ මොන වගේ අදහස්ද?

11 භූතයන් එක්ක සම්බන්ධ වෙලා කරන ‘සියල්ල මම හෙළාදකින්නෙමි’ කියලා යෙහෝවා දෙවි කිව්වා. (යෙසා. 1:13) භූතයන් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන එක 1800 ගණන්වල ජනප්‍රිය වෙලා තිබුණා. ඒ ගැන 1885 මැයි මාසයේදී ඉංග්‍රීසියෙන් පළ වුණු මුරටැඹ සඟරාවක තිබුණේ මේ වගේ අදහසක්. “මිය ගිය අය ඇත්තටම මැරුණේ නැහැ කියලත් වෙනත් තැනක ජීවත් වෙනවා කියලත් පැරණි ආගම්වල ඉගැන්නුවා. හුඟක් සංස්කෘතීන්වල තිබුණු මිථ්‍යා කතන්දරවලට පදනම වෙලා තිබුණෙත් ඒ විශ්වාසයි. ඒත් බයිබලයේ ඒ වගේ දෙයක් උගන්වන්නේ නැහැ. මිය ගිය අය වගේ පෙනී ඉන්නේ භූතයන්. ඔවුන් ඒ විදිහට බොහෝ මිනිසුන්ගේ ජීවිත පාලනය කරනවා.” ඒ වගේම අදහස් අපේ වෙනත් ප්‍රකාශනවලත් පළ වෙලා තියෙනවා.

මිය ගිය අය වෙනත් තැනක දුක් විඳිනවද?

12. මිය ගිය අය ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මොනවද?

12 “සත්‍ය ඉගැන්වීම් ගැන දැනගත් සියලුදෙනාම” දන්නවා මිය ගිය අය වෙනත් තැනක ජීවත් වෙන්නේ නැහැ කියලා. (2 යොහ. 1) මිය ගිය අය ගැන බයිබලයේ පැහැදිලිවම මෙහෙම කියනවා. “මළ සිංහයෙකුට වඩා පණපිටින් සිටින බල්ලෙකු හොඳය. ජීවත්ව සිටින අය තමන් කවදා හෝ මිය යන බව දනිති. නමුත් මිය ගිය අය කිසිවක් දන්නේ නැත. . . . ඔබට කළ හැකි සෑම දෙයක්ම ඔබේ මුළු උත්සාහයෙන්ම කරන්න. මන්ද ඔබ යන මිනී වළේදී කිසි වැඩක් කරන්නවත් කිසි දෙයක් ගැන කල්පනා කරන්නවත් ඔබට නොහැක. එහි දැනුමද ප්‍රඥාවද නැත.”—දේශ. 9:4, 5, 10.

13. යුදෙව්වන් විශ්වාස කළේ ග්‍රීකවරුන්ගේ මොන ඉගැන්වීමද?

13 මිය ගිය අයට ඇත්තටම වෙන්නේ මොනවද කියලා යෙහෝවා දෙවි යුදෙව්වන්ට කියලා තිබුණා. ඒත් ග්‍රීසිය, යූදා දේශයත් සිරියාවත් යටත් කරගත්තට පස්සේ ඔවුන් යටතේ හිටපු අයට ග්‍රීක ආගම සහ සිරිත් විරිත් බලහත්කාරයෙන් පිළිගන්වන්න උත්සාහ කළා. ඒ නිසා කෙනෙක් මිය ගියාට පස්සේ, ඔහු තුළ තියෙන යමක් නොමැරී ජීවත් වෙනවා කියලා යුදෙව්වන් විශ්වාස කරන්න පටන්ගත්තා. නොමැරී තිබුණු ඒ දේ වෙනත් ලෝකයකට යනවා කියලත් එහි දුක් විඳිනවා කියලත් ඔවුන් විශ්වාස කළා. ඒත් ඒ වගේ දෙයක් මුලින්ම විශ්වාස කළේ ග්‍රීකවරුන් නෙවෙයි. මිය ගිය අයට වධ දෙන දෙවිවරුන් හා භූතයන් සිටින ලෝකයක් තියෙනවා කියලා බැබිලෝනිවරුනුත් විශ්වාස කළා කියලා පොතක සඳහන් වෙනවා.—The Religion of Babylonia and Assyria.

14. මරණයත් නැවත නැඟිටීමත් ගැන යෝබ් සහ ආබ්‍රහම් දැනගෙන හිටියේ මොනවද?

14 යෝබ්ගේ කාලයේ බයිබලයක් තිබුණේ නැතත් කෙනෙක් මිය ගියාට පස්සේ වෙන්නේ මොනවද කියලා යෝබ් දැනගෙන හිටියා. ඒ වගේම ඔහු මිය ගියොත් ඔහුගේ ආදරණීය දෙවි ඔහුව නැවත නැඟිටුවන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා කියලත් යෝබ් දැනගෙන හිටියා. (යෝබ් 14:13-15) නැවත නැඟිටීම ගැන විශ්වාස කරපු තවත් කෙනෙක් තමයි ආබ්‍රහම්. (හෙබ්‍රෙව් 11:17-19 කියවන්න.) යෝබ්වත් ආබ්‍රහම්වත් මිය ගිය අය වෙනත් තැනක ජීවත් වෙනවා කියලා විශ්වාස කළේ නැහැ. මිය ගිය කෙනෙක් වෙනත් තැනක ජීවත් වෙනවා නම් ඒ කෙනාව නැවත නැඟිටුවන්න අවශ්‍ය නැහැ නේද? නැවත නැඟිටීම ගැන විශ්වාස කරන්න යෝබ්ටත් ආබ්‍රහම්ටත් දෙවි තමන්ගේ බලය මගින් උපකාර කළා. මළවුන් ගැන ඒ සත්‍යයත් අපේ උරුමයේ කොටසක්.

යේසුස්ගේ ජීවිත පූජාව

15, 16. පාපයෙන් හා මරණයෙන් අපට නිදහස ලැබෙන්නේ කොහොමද?

15 අපිව පාපයෙන් හා මරණයෙන් බේරගන්න දෙවි කරපු දේ අපිට දන්වලා තියෙන එක ගැන අපි දෙවිට ස්තුතිවන්ත වෙන්න ඕනෙ. (රෝම 5:12) යේසුස් “පැමිණියේ සේවය ලබන්න නොවෙයි. සේවය කරන්න හා බොහෝදෙනෙකුව මුදවාගැනීම සඳහා තම ජීවිතය පූජා කරන්නයි” කියලා අපි දන්නවා. (මාක් 10:45) ‘යේසුස්ගේ ජීවිත පූජාව නිසා අපිට ලැබෙන නිදහස’ ගැන දැනගන්න ලැබුණු එක මොන තරම් දෙයක්ද!—රෝම 3:22-24.

16 පළමු සියවසේ හිටපු අයට දෙවිගෙන් සමාව ලබාගන්න නම් ඔවුන්ගේ පාප ගැන පසුතැවිලි වෙලා යේසුස්ගේ ජීවිත පූජාව ගැන විශ්වාසය තියන්න අවශ්‍ය වුණා. අදත් ඒක වෙනස් වෙලා නැහැ. (යොහ. 3:16, 36) කෙනෙක් ත්‍රිත්වය හා මරණයෙන් පස්සේ නොමැරී පවතින යමක් තියෙනවා කියන බොරු ඉගැන්වීම පිළිගන්නවා නම් ඒ කෙනාට යේසුස්ගේ ජීවිත පූජාවෙන් ප්‍රයෝජන ගන්න බැහැ. ඒත් අපි සත්‍යය දන්න නිසා යේසුස් “ගෙවූ වන්දියෙන් අපට නිදහස එනම්, අපගේ පව්වලට සමාව” ලැබෙනවා කියලා අපිට ස්ථිරයි.—කොලො. 1:13, 14.

යෙහෝවා දෙවිට දිගටම සේවය කරන්න

17, 18. සාක්ෂිකරුවන්ගේ අතීතය ගැන අපිට තොරතුරු හොයාගන්න පුළුවන් කොහෙන්ද? ඒ ගැන දැනගැනීම අපිට ප්‍රයෝජනවත් වෙන්නේ ඇයි?

17 මේ ලිපියේ සාකච්ඡා කළ දේවලට අමතරව තවත් දේවල් යෙහෝවා දෙවි අපිට උගන්වලා තියෙනවා. ඒ දේවලුත් දෙවිගේ ආශීර්වාදය නිසා අපිට ලැබිලා තියෙන හැම දේමත් අපේ උරුමයට අයිතියි. ලොව පුරා සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කරන සේවය ගැන අපේ වාර්ෂික පොතේ සඳහන් වෙනවා. යෙහෝවා දෙවිගේ විශ්වාසවන්ත සාක්ෂිකරුවෝ යන නමින් තියෙන DVD තැටියේ 1වෙනි හා 2වෙනි කොටස්වලින් හා අපේ වෙනත් ප්‍රකාශනවලින් සාක්ෂිකරුවන්ගේ අතීතය ගැන අපිට ඉගෙනගන්න පුළුවන්. ඒ වගේම අපේ සහෝදර සහෝදරියන්ගේ අද්දැකීම් ගැන නිතරම අපගේ සඟරාවල පළ වෙනවා.

18 යෙහෝවා දෙවි තමන්ට උදව් කරපු විදිහ ගැන ඉගෙනගත්ත එකෙන් ඊශ්‍රායෙල්වරුන් හුඟක් ප්‍රයෝජන ලැබුවා. (නික්. 12:26, 27) ඒ වගේම සාක්ෂිකරුවන්ගේ අතීතය ගැන ඉගෙනගන්න එකෙන් අපිටත් ප්‍රයෝජන ලැබෙනවා. මහලු වයසේ හිටපු මෝසෙස් ඊශ්‍රායෙල්වරුන්ට මෙහෙම කිව්වා. “අතීත දවස් සිහි කරන්න. පසුගිය කාලවලදී සිදු වූ දේවල් නැවත කල්පනා කර බලන්න. ඔබ නොදන්නවා නම් ඒ ගැන ඔබේ පියාගෙන් අසා දැනගන්න. ඔබ අතරේ සිටින වැඩිමහල්ලෝද ඒ ගැන ඔබට කියා දෙනු ඇත.” (ද්වි. 32:7) යෙහෝවා දෙවි අපි වෙනුවෙන් කරලා තියෙන දේවල් ගැන ඔහුට ප්‍රශංසා කරන අතරම ඒ ගැන සතුටින් අන් අයටත් කියමු. (ගීතා. 79:13) යෙහෝවා දෙවිගේ සේවකයන්ගේ අතීතය ගැන අපි ඉගෙනගන්න දේවල්, දිගටම දෙවිට සේවය කරන්න අපිට උපකාරයක් වෙනවා නිසැකයි.

19. සත්‍යය දැනගෙන ඉන්න නිසා අපි කරන්න ඕනෙ මොකක්ද?

19 ලෝකය එන්න එන්නම දුෂ්ට අතට හැරෙන නිසා බයිබලයේ තියෙන සත්‍යය අපට දුන්නට නිතරම අපි දෙවිට ස්තුතිවන්ත වෙමු. (හිතෝ. 4:18, 19) දිගටම බයිබලය අධ්‍යයනය කරමින් අන් අයට යෙහෝවා දෙවි ගැන කියා දෙමු. ගීතිකාකරු වගේ දෙවිට මේ විදිහට ප්‍රශංසා කරමු. “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, මම පැමිණ ඔබේ මහත් බලය ගැන කතා කරමි. ඔබේ ධර්මිෂ්ඨකම ගැන පමණක් පවසමි. දෙවියනි, බාල වයසේ පටන් ඔබ මාගේ ගුරුවරයාය. ඔබ කර ඇති පුදුමාකාර දේවල් ගැන මම අද වන තුරුත් කතා කරමි. අනේ දෙවියනි, මාගේ හිසකෙස් පැසී මා මහලු වයසේ පසු වන විටදීද මාගෙන් ඈත්ව නොයන්න. එවිට ඔබ කර ඇති දේවල් මතු පරම්පරාවට පැවසීමට මට හැකි වනු ඇත. ඔබේ බලය ගැන සියලු පරම්පරාවන්ට කීමට මට හැකි වනු ඇත.”—ගීතා. 71:16-18.

20. දෙවිට විශ්වාසවන්තව ඉන්න එකෙන් ඔප්පු වෙන්නේ මොනවද? පාලනය කිරීමට යෙහෝවා දෙවිට තියෙන අයිතිය සහ අපි ඔහුට කරන නමස්කාරය ගැන ඔබට හැඟෙන්නේ කොහොමද?

20 අපි යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සේවය කරද්දී අපිව පාලනය කිරීමට අයිතිය දෙවිට තියෙනවා කියලත් අපේ නමස්කාරය ලබන්න ඔහු වටිනවා කියලත් අපි විශ්වාස කරනවා කියන එක ඔප්පු වෙනවා. (එළි. 4:11) අන් අයට ශුභාරංචිය දේශනා කරමින් ඔවුන්ට සහනයක් සහ අනාගතය ගැන බලාපොරොත්තුවක් දෙන්න යෙහෝවා දෙවි අපට ඔහුගේ බලය ලබා දෙනවා. (යෙසා. 61:1, 2) දෙවිගේ සෙනඟ ඇතුළුව මුළු මිනිස් වර්ගයාවම පාලනය කරන්න සාතන්ට කවදාවත් ලැබෙන්නේ නැහැ. අපිට දෙවිගෙන් ලැබුණු උරුමය නිසා අපේ විශ්වාසය හා දෙවි එක්ක තියෙන බැඳීම ශක්තිමත්ව තියාගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා යෙහෝවා දෙවිට දැනුත් සදහටමත් සේවය කරන්න අපිට පුළුවන්.—ගීතාවලිය 26:11; 86:12 කියවන්න.