Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවි දෙන ආරක්ෂාව

යෙහෝවා දෙවි දෙන ආරක්ෂාව

‘යෙහෝවා දෙවි ඒ ජාතීන්ට විරුද්ධව යුද්ධ කරන්නේය.’—සෙක. 14:3.

1, 2. බයිබලයේ කතා කරන්නේ මොන යුද්ධය ගැනද? ඒ යුද්ධයේදී අපි කරන්නේ නැත්තේ මොකක්ද?

වර්ෂ 1938 ඔක්තෝබර් 30වෙනිදා ඇමරිකාවේ හිටපු මිලියන ගණනක් මිනිසුන් ගුවන්විදුලි නාට්‍යයකට සවන් දෙමින් හිටියා. ඒ නාට්‍යයේ තිබුණු නිවේදනයක, අඟහරු ලෝකයේ සිටින ජීවීන් පිරිසක් පෘථිවියට ඇවිත් ඒක විනාශ කරන්න හදනවා කියලා ප්‍රකාශ වුණා. ඒක අහපු ගොඩක් අය හිතුවේ ඒක ඇත්තටම සිද්ධ වෙනවා කියලයි. ඒ නිසා ගොඩක්දෙනෙක් භය වෙලා ආරක්ෂා වෙන්න පුළුවන් හැම දේම කළා.

2 සිදු නොවන ඒ වගේ දෙයකට මිනිසුන් බොරුවට භය වුණත් ඇත්තටම සිදු වන යුද්ධයක් ගැන බයිබලයේ සඳහන් වන දෙයට නම් මිනිසුන් ඒ තරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඒ යුද්ධය හඳුන්වන්නේ හර්–මගෙදොන් යුද්ධය කියලයි. ඒ තමයි මේ දුෂ්ට ලෝකයට විරුද්ධව දෙවි කරන යුද්ධය. ඒ ගැන දෙවිම අපිට කියලා තියෙන නිසා ඒ යුද්ධය අනිවාර්යයෙන්ම එනවා. (එළි. 16:14-16) ඒ යුද්ධයේදී දෙවිගේ සේවකයන් වන අපිට සටන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. යෙහෝවා දෙවි තම බලය පාවිච්චි කරලා පුදුමාකාර විදිහකින් අපිව ආරක්ෂා කරනවා.

3. අපි සලකා බලන්න යන්නේ මොන අනාවැකියද? ඒ අනාවැකිය අපිට වැදගත් වෙන්නේ ඇයි?

3 හර්–මගෙදොන් යුද්ධය ගැන, සෙකරියා 14වෙනි පරිච්ඡේදයේ තියෙන අනාවැකියක විස්තර කරනවා. ඒ අනාවැකිය ලියලා දැනට අවුරුදු 2,500කට වඩා වැඩි කාලයක් ගත වෙලා තිබුණත් අද ඉන්න අපිට ඒක ගොඩක් ප්‍රයෝජනවත්. (රෝම 15:4) ඒකේ විස්තර කරලා තිබුණු දේවල් ඉටු වෙන්න පටන්ගත්තේ 1914දී යේසුස් පාලනය කරන්න පටන්ගත්ත කාලයේ ඉඳලයි. ළඟදීම සිද්ධ වෙන්න යන දේවල් ගැනත් ඒකේ සඳහන් වෙනවා. ඒ අනාවැකියේ “විශාල නිම්නයක්” සහ “ජීවනදායක වතුර” ගැන කතා කරනවා. (සෙක. 14:4, 8) ඒ නිම්නයෙන් අදහස් කරන්නේ මොකක්ද? යෙහෝවා දෙවිට නමස්කාර කරන අයට ඒකෙන් ආරක්ෂාව ලැබෙන්නේ කොහොමද? ජීවනදායක වතුරෙන් අදහස් කරන්නේ මොකක්ද? ඒ වතුර බොන එක එච්චර වැදගත් ඇයි? ඒ ප්‍රශ්නවලට පිළිතුරු අපි මේ ලිපියෙන් දැනගන්න යනවා. අනාවැකියේ සඳහන් වන ජීවනදායක වතුර බොන එක කොච්චර වැදගත්ද කියලා අපිට තේරුණාම, ඒවා බොන්න අපිට ලොකු ආසාවක් ඇති වෙයි. ඒ නිසා අපි දැන් ඒ අනාවැකිය හොඳට තේරුම්ගන්න උත්සාහ කරමු.—2 පේතෘ. 1:19, 20.

“යෙහෝවා දෙවිගේ දවස”

4. (අ) “යෙහෝවා දෙවිගේ දවස” පටන්ගත්තේ කවදාද? (ආ) වර්ෂ 1914ට කලින් අභිෂේක ලත් අය දේශනා කළේ මොකක් ගැනද? දේශපාලන හා ආගමික නායකයන් කළේ මොකක්ද?

4 සෙකරියා 14වෙනි පරිච්ඡේදයේ තියෙන අනාවැකිය පටන්ගන්නේ මෙහෙමයි. “යෙහෝවා දෙවිගේ දවස පැමිණෙන්නේය.” (සෙකරියා 14:1, 2 කියවන්න.) යෙහෝවා දෙවිගේ දවස කියන්නේ මොකක්ද? වර්ෂ 1914දී යේසුස් ස්වර්ගයේ රජ වීමත් එක්ක පටන්ගත්ත ‘ස්වාමීන්ගේ දවස’ කියලා කියන්නෙත් ‘දෙවිගේ දවසටමයි.’ (එළි. 1:10; 11:15) බයිබලයේ සඳහන් වන “ජාතීන් සඳහා නියමිත වූ කාලය” අවසන් වෙලා යේසුස් රජ වෙන්නේ 1914දී කියලත් ඊටපස්සේ ලෝකයේ කරදර වැඩි වෙනවා කියලත් අභිෂේක ලත් අය අවුරුදු ගාණක් පුරා දේශනා කරලා තිබුණා. (ලූක් 21:24) ඒ අනතුරු ඇඟවීමට මිනිසුන් සවන් දුන්නද? නැහැ. ඒ වෙනුවට දේශපාලන හා ආගමික නායකයන් කළේ අභිෂේක ලත් අයට සමච්චල් කරලා ඔවුන්ට පීඩා කරපු එකයි. අභිෂේක ලත් අය නියෝජනය කළේ දේවරාජ්‍යය නිසා ඇත්තටම ඒ ජාතීන් කළේ සියලු බලය ඇති දෙවිට සමච්චල් කිරීමක්.—හෙබ්‍රෙ. 12:22, 28.

5, 6. (අ) සතුරන් කළේ මොනවද? (ආ) “ඉතුරු අය” කවුද?

5 සතුරන් ඇවිත් ‘නුවර අල්ලගන්නවා’ කියලා සෙකරියා කිව්වා. යෙරුසලම වන ඒ ‘නුවරින්’ නියෝජනය වෙන්නේ දේවරාජ්‍යයයි. මේ පොළොවේ ජීවත් වන අභිෂේක ලත් අය ඒ රාජ්‍යයේ කොටසක්. (ෆිලි. 3:20) පළවෙනි ලෝක මහා යුද්ධ කාලයේදී යෙහෝවා දෙවිගේ සංවිධානයේ වගකීම් දැරූ අභිෂේක ලත් සහෝදරයන්ව අත්අඩංගුවට අරගෙන සිරගත කළ අවස්ථාව හරියට ‘නුවර අල්ලගත්තට’ සමානයි. ඒ කාලයේදී සතුරන් අභිෂේක ලත් අයට හුඟක් අසාධාරණකම් කළා, නපුරු විදිහට සැලකුවා, අපේ ප්‍රකාශන තහනම් කළා, දේශනා සේවය නතර කරන්නත් උත්සාහ කළා. ඒවා හරියට නුවරක් අල්ලගෙන ඒක ‘කොල්ල කනවා’ වගේ දෙයක්.

6 බලවත් සතුරන් දෙවිගේ සෙනඟට කොච්චර පීඩා කළත්, ඔවුන්ට විරුද්ධව කොච්චර බොරු කිව්වත් අභිෂේක ලත් අය දිගටම දෙවිට විශ්වාසවන්තව හිටියා. ඒ නිසා යෙහෝවා දෙවිට කරන නමස්කාරය නතර කරන්න සතුරන්ට පුළුවන් වුණේ නැහැ. ‘ඉතුරු අයව පැහැරගැනීමට ඔවුන් සමත් වෙන්නේ නැහැ’ කියලා අනාවැකියේ සඳහන් දෙය ඉටු වුණේ ඒ විදිහටයි.

7. අභිෂේක ලත් අය අපිට හොඳ ආදර්ශයක් වෙන්නේ කොහොමද?

7 පළවෙනි ලෝක මහා යුද්ධය අවසන් වෙද්දී දෙවිගේ සෙනඟට පීඩා කිරීම නතර වුණාද? නැහැ. සෙකරියා කියපු විදිහට පීඩා දිගටම ආවා. (එළි. 12:17) උදාහරණයකට දෙවෙනි ලෝක මහා යුද්ධය සිදු වූ කාලයේදී අපේ සහෝදරයන් දරුණු පීඩාවලට මුහුණ දුන්නා. ඒත් ඒ අය යෙහෝවා දෙවිට විශ්වාසවන්තව හිටියා. අපිට මුහුණ දීමට සිදු වෙන ඕනෑම පීඩාවකට මුහුණ දීමට ඒ අයගේ ආදර්ශ අපිට දිරිගැන්වීමක්. අපිටත් පවුලේ අයගෙන්, රැකියා ස්ථානයේ අයගෙන් සහ පාසැලේ අයගෙන් එන පීඩාවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම අපේ විශ්වාසයන් නිසා ඒ අය අපිට සමච්චල් කරනවා. (1 පේතෘ. 1:6, 7) ඒ මොනවා වුණත් අපි හැම වෙලාවෙම දෙවිට විශ්වාසවන්තව ඉන්නත් අපිට විරුද්ධවාදීකම් කරන අය නිසා භය නොවී ඉන්නත් අධිෂ්ඨාන කරගමු. (ෆිලි. 1:27, 28) ඒත් අපිට වෛර කරන ලෝකයක අපිට ආරක්ෂාව ලැබෙන්නේ කොහොමද කියලා දැන් අපි බලමු.—යොහ. 15:17-19.

“විශාල නිම්නයක්”

8. (අ) සමහර අවස්ථාවලදී කඳුවලින් නියෝජනය වෙන්නේ මොනවද? (ආ) ‘ඔලීව ගස් ඇති කන්දෙන්’ නියෝජනය වෙන්නේ මොකක්ද?

8 සෙකරියාගේ අනාවැකියේ ‘නුවරින්’ නියෝජනය වෙන්නේ දේවරාජ්‍යය කියලා අපි ඉගෙනගත්තා. එහෙමනම් ‘යෙරුසලමට නැඟෙනහිරෙන් පිහිටි ඔලීව ගස් ඇති කන්දෙන්’ නියෝජනය වෙන්නේ මොකක්ද? “ඒ කන්ද දෙපළු වී” කඳු දෙකක් වෙන්නේ කොහොමද? “දෙවිගේ කඳු දෙක” කියලා ඒවාට කියන්නේ ඇයි? (සෙකරියා 14:3-5 කියවන්න.) සමහර අවස්ථාවලදී රාජ්‍යයන් එහෙමත් නැත්නම් පාලන ක්‍රම නියෝජනය කිරීමට බයිබලයේ කඳු පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම දෙවිගේ ආශීර්වාද සහ ආරක්ෂාව දෙවිගේ කන්දෙන් අපිට ලැබෙනවා කියලත් බයිබලයේ සඳහන් වෙනවා. (ගීතා. 72:3; යෙසා. 25:6, 7) ඒ නිසා ඔලීව ගස් ඇති කන්දෙන් නියෝජනය වෙන්නේ යෙහෝවා දෙවිගේ පාලනය කියලා පැහැදිලියි.

9. ඔලීව ගස් ඇති කන්ද ‘දෙපළු වෙනවා’ කියලා කියන්නේ ඇයි?

9 ඔලීව ගස් ඇති කන්ද ‘දෙපළු වෙනවා’ කියලා අනාවැකියේ සඳහන් වෙන්නේ ඇයි? ඒකෙන් අදහස් කරන්නේ යෙහෝවා දෙවි විශේෂ අරමුණක් සඳහා තවත් පාලනයක් ආරම්භ කරනවා කියන එකයි. ඒ පාලනයත් අයිති දෙවිටයි. ඒත් ඒකේ රජ යේසුස්. ඒ කඳු “දෙවිගේ කඳු දෙක” කියලා කියන්නේ ඇයි? ඒකට හේතුව ඒ පාලන දෙකම දෙවිට අයිති නිසයි.—සෙක. 14:4.

10. කඳු දෙක අතර ඇති ‘විශාල නිම්නයෙන්’ අදහස් කරන්නේ මොකක්ද?

10 ඒ අනාවැකියට අනුව දෙවි කන්ද මත හිටගෙන ඉන්නකොට ඒ කන්ද දෙපළු වෙලා එක කොටසක් උතුරු පැත්තටත් අනික් කොටස දකුණු පැත්තටත් වෙන් වෙනවා. දෙවි තම පාද ඒ කඳු දෙක මත තියාගෙන ඉන්නවා. කඳු දෙක අතර “විශාල නිම්නයක්” ඇති වෙනවා. ඒ නිම්නයෙන් අදහස් කරන්නේ මොකක්ද? යෙහෝවා දෙවිගේ සහ යේසුස්ගේ පාලනයෙන් දෙවිගේ සේවකයන්ට ලැබෙන ආරක්ෂාවයි. ඒක හරියට කඳු දෙකක් අතර තියෙන නිම්නයක ජීවත් වෙන මිනිසුන්ට ලැබෙන ආරක්ෂාව වගෙයි. ඒ ආරක්ෂාව නිසා දෙවිගේ සෙනඟ කවදාවත් සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ නැහැ. අනාවැකියේ සඳහන් වන ඔලීව ගස් ඇති කන්ද දෙපළු වුණේ කවදාද? ඒක සිද්ධ වුණේ යේසුස් ස්වර්ගයේ රජ වූ 1914දීයි. දෙවිගේ සෙනඟ ඒ ‘විශාල නිම්නයට’ යන බවත් ඒ අනාවැකියේ කියනවා. එහෙම යන්න පටන්ගත්තේ කවදාද කියලා දැන් අපි බලමු.

දෙවිගේ සෙනඟට ලැබෙන ආරක්ෂාව

11, 12. (අ) දෙවිගේ සෙනඟ ‘විශාල නිම්නයට’ යන්න පටන්ගත්තේ කවදාද? (ආ) යෙහෝවා දෙවි තමන්ගේ සෙනඟව ආරක්ෂා කරනවා කියලා පැහැදිලි වෙන්නේ කොහොමද?

11 “ඔබ මගේ නාමය දරන නිසා සියලු ජාතීන් ඔබට වෛර කරයි” කියලා යේසුස් අනතුරු ඇඟෙව්වා. (මතෙ. 24:9) ඒ වෛරය, අවසාන දවස් ආරම්භ වූ 1914න් පස්සේ තවත් වැඩි වෙලා තියෙනවා. පළවෙනි ලෝක මහා යුද්ධයේදී අභිෂේක ලත් අයට සතුරන් හුඟක් පීඩා කළා. ඒත් සැබෑ නමස්කාරය මුළුමනින්ම නැති කරන්න ඒ අයට පුළුවන් වුණේ නැහැ. වර්ෂ 1919දී දෙවිගේ සෙනඟ බොරු ආගමෙන්, ඒ කියන්නේ මහ බැබිලෝනියෙන් නිදහස් වුණා. (එළි. 11:11, 12) * දෙවිගේ සෙනඟ ඒ ‘විශාල නිම්නයට’ යන්න පටන්ගත්තේ එදා සිටයි.

12 වර්ෂ 1919 සිට යෙහෝවා දෙවි ලොව පුරාම සිටින තම සේවකයන්ව කණ්ඩායමක් හැටියට ආරක්ෂා කරලා තියෙනවා. ඒ කාලයේ ඉඳන් සාක්ෂිකරුවන්ගේ දේශනා සේවය නතර කරන්නත් ඔවුන්ගේ පොත් පත් තහනම් කරන්නත් විවිධ ආණ්ඩු උත්සාහ කරලා තියෙනවා. සමහර රටවල්වල තවමත් ඒ දේ සිදු වෙනවා. ඒත් අපි යෙහෝවා දෙවිට කරන නමස්කාරය නැති කර දැමීමට දෙවි ඒ ආණ්ඩුවලට ඉඩ දීලා නැහැ. මිනිස් ආණ්ඩු මොනවා කළත් තම සෙනඟව ආරක්ෂා කිරීමට යෙහෝවා දෙවි දිගටම තම බලය පාවිච්චි කරනවා.—ද්වි. 11:2.

13. දිගටම යෙහෝවා දෙවිගේ ආරක්ෂාව ලබන්න පුළුවන් කොහොමද? ‘විශාල නිම්නයේ’ රැඳී සිටීම වෙන කවදාකටත් වඩා මේ කාලයේදී අත්‍යවශ්‍ය ඇයි?

13 අපි දිගටම යෙහෝවා දෙවිට විශ්වාසවන්තව හිටියොත් අපිට දෙවිගේ ආරක්ෂාව ලබන්න පුළුවන්. දෙවිත් ඔහුගේ පුත්‍රයත් අපිට ලබා දෙන ආරක්ෂාවෙන් අපිව අයින් කරන්න කිසිම කෙනෙකුටවත් කිසිම දෙයකටවත් ඔවුන් ඉඩ දෙන්නේ නැහැ. (යොහ. 10:28, 29) දෙවිගෙත් යේසුස්ගෙත් පාලනයට පක්ෂපාත වීමට අපිට අවශ්‍ය හැම උදව්වක්ම යෙහෝවා දෙවි ලබා දෙනවා. ළඟදීම පටන්ගන්න යන මහත් පීඩාවේදී අපිට දෙවිගේ උදව් වැඩියෙන් අවශ්‍ය වෙනවා. ඒ නිසා යෙහෝවා දෙවිගේ ආරක්ෂාව නමැති ඒ ‘විශාල නිම්නයේ’ රැඳී සිටීම, වෙන කවදාකටත් වඩා මේ කාලයේදී අත්‍යවශ්‍යයි.

දෙවි තම සෙනඟ වෙනුවෙන් සටන් කරයි

14, 15. සතුරන්ට විරුද්ධව දෙවි සටන් කරන විට දෙවිගේ ආරක්ෂාව නැති අයට සිදු වෙන්නේ මොකක්ද?

14 දෙවිගේ සෙනඟට විරුද්ධව සාතන් කරන සටන තව තවත් දරුණු වෙනවා. ළඟදීම දෙවිගේ සෙනඟට විරුද්ධව සාතන් තමන්ගේ අන්තිම ප්‍රහාරය එල්ල කරයි. එදාට යෙහෝවා දෙවි තම සෙනඟ වෙනුවෙන් සටන් කර සියලුම සතුරන්ව විනාශ කරනවා. යෙහෝවා දෙවි මොන තරම් බලවත් දෙවි කෙනෙක්ද කියලා එතකොට තහවුරු වෙයි. සෙකරියාගේ අනාවැකියේ සඳහන් වන යුද්ධය එයයි.—සෙක. 14:3.

15 යෙහෝවා දෙවි තම සතුරන්ට විරුද්ධව සටන් කරනකොට දෙවිගේ ආරක්ෂාව නැති අයට සිදු වෙන්නේ මොකක්ද? ඔවුන්ට “කිසි ආලෝකයක් දක්නට නොලැබෙයි” කියලා අනාවැකියේ සඳහන් වෙනවා. ඉන් අදහස් කරන්නේ ඔවුන්ට දෙවිගෙන් කිසිම රැකවරණයක් ලැබෙන්නේ නැති බවයි. ඒ අනාවැකියේ “අධික ශීතල නිසා සියල්ල මිදෙන්නේය” කියලත් සඳහන් වෙනවා. ඒ දේවලට “අශ්වයෝද කොටළුවෝද ඔටුවෝද බූරුවෝද කඳවුරුවල සිටින අනිකුත් සියලු සත්තුද” ඇතුළත්. මේ සතුන්ව අතීතයේදී යුද්ධයට පාවිච්චි කළා. උන් ශීතල නිසා මිදෙනවා කියන්නේ යුද්ධයට උන්ගෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ කියන එකයි. ඒ වගේ ඉදිරියේදිත් යුද්ධවලට පාවිච්චි කරන ආයුධවලින් කිසිම පලක් වෙන්නේ නැහැ. සතුරන්ට යෙහෝවා දෙවි ‘වසංගතයකින්’ පහර දෙනවා කියලත් ඒ නිසා “ඔවුන්ගේ ඇස්ද දිව්ද කුණු වී” යනවා කියලත් අනාවැකියේ සඳහන් වෙනවා. ඒ වසංගතය ඇත්තටම රෝගයක්ද කියලා අපි හරියටම දන්නේ නැහැ. නමුත් අපිට අනතුරක් කරන්නවත් දෙවිට විරුද්ධව කතා කරන්නවත් සතුරන්ට හැකි වෙන්නේ නැති බව අපිට ඒකෙන් පැහැදිලි වෙනවා. (සෙක. 14:6, 7, 12, 15) එදාට ‘පොළොවේ රජවරුන් හා ඔවුන්ගේ සේනාවන්’ සාතන්ගේ පැත්ත ගන්නවා. ඒ වුණත් ඔවුන් කොහේ හිටියත් ඒ සියලුදෙනාවම දෙවි විනාශ කරනවා. (එළි. 19:19-21) ‘ඒ දවසේදී යෙහෝවා දෙවිගේ අතින් මරණයට පත් වන අය පොළොවේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා වැටී සිටීවි.’—යෙරෙ. 25:32, 33.

16. අපි අහගන්න ඕනෙ ප්‍රශ්න මොනවද? මහත් පීඩාවේදී අපි කරන්න ඕනෙ මොනවද?

16 යුද්ධයක් පවතිනකොට දිනන පරදින හැමෝටම දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ වගේ මහත් පීඩාවේදී අපිටත් දුක් විඳින්න සිද්ධ වෙන්න පුළුවන්. සමහරවිට අපිට හරියට කන්න නැති වෙන්න පුළුවන්. අපිට අයිති දේවල් නැති වෙන්න පුළුවන්. දැන් තියෙන නිදහස නැති වෙන්න පුළුවන්. ඒ වගේ තත්වයකට මුහුණ දෙන්න වුණොත් අපි මොනවා කරයිද? කලබල වෙයිද? අධෛර්යයට පත් වෙලා කලකිරෙයිද? යෙහෝවා දෙවිට සේවය කරන එක නතර කරයිද? ඒ ප්‍රශ්න ගැන හොඳට හිතලා බලන්න. මහත් පීඩාවේදී යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටීමත් දෙවි අපිව අනිවාර්යයෙන්ම ආරක්ෂා කරයි කියලා විශ්වාස කිරීමත් අත්‍යවශ්‍යයි. එහෙම කළොත් යෙහෝවා දෙවිගේ ආරක්ෂාව නමැති ‘නිම්නයේ’ අපිට රැඳිලා ඉන්න පුළුවන්.—හබක්කුක් 3:17, 18 කියවන්න.

ජීවනදායක වතුර ගලා එයි

17, 18. (අ) “ජීවනදායක වතුර” කියන්නේ මොනවද? (ආ) ‘නැඟෙනහිර දෙසින් පිහිටි මුහුදෙන්’ සහ ‘බස්නාහිර දෙසින් පිහිටි මුහුදෙන්’ නියෝජනය වෙන්නේ මොනවද? (ඇ) අපේ අධිෂ්ඨානය මොකක්ද?

17 හර්–මගෙදොන් යුද්ධයෙන් පස්සේ යේසුස්ගේ රාජ්‍යයෙන් ‘ජීවනදායක වතුර ගලා එයි.’ ඒ ‘වතුරවලින්’ නියෝජනය වෙන්නේ සදාකල් ජීවත් වීමට, දෙවි මිනිසුන්ට දීලා තියෙන හැම දෙයක්මයි. ඒ වතුර ‘නැඟෙනහිර දෙසින් පිහිටි මුහුදටත් බස්නාහිර දෙසින් පිහිටි මුහුදටත්’ ගලාගෙන යනවා කියලා අනාවැකියේ සඳහන් වෙනවා. ඉන් අදහස් කරන්නේ මොකක්ද? නැඟෙනහිර දෙසින් පිහිටලා තිබුණේ මළ මුහුදයි. ඒකෙන් නියෝජනය වෙන්නේ මිය ගිය අයවයි. බස්නාහිර දෙසින් පිහිටලා තිබුණේ ජීවීන්ගෙන් පිරිලා තිබුණ මධ්‍යධරණී මුහුදයි. ඒකෙන් නියෝජනය වෙන්නේ හර්–මගෙදොන් යුද්ධයෙන් බේරී ජීවත් වන ‘මහත් සමූහයයි.’ (සෙකරියා 14:8, 9 කියවන්න; එළි. 7:9-15) ඒ දෙපිරිසටම ‘ජීවන වතුර ඇති ගංගාවෙන්’ ගලා එන “ජීවනදායක වතුර” බොන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා ඒ හැමෝටම පරිපූර්ණ වෙලා සදාකල් ජීවත් වීමට හැකි වෙනවා.—එළි. 22:1, 2.

යෙහෝවා දෙවිගේ ආරක්ෂාව නමැති නිම්නයේ රැඳිලා ඉන්න අධිෂ්ඨාන කරගන්න

18 යෙහෝවා දෙවි මේ දුෂ්ට සමාජය විනාශ කළත් අපිව ආරක්ෂා කරලා ධර්මිෂ්ඨකම පවතින පාරාදීස පොළොවක ජීවත් වීමට අපිට අවස්ථාව ලබා දෙනවා. මේ ලෝකයේ ඉන්න ජාතීන් අපිට කොච්චර වෛර කළත් දේවරාජ්‍යයට පක්ෂපාතව ඉන්නත් යෙහෝවා දෙවිගේ ආරක්ෂාව නමැති නිම්නයේ රැඳිලා ඉන්නත්, අපි ගත්ත අධිෂ්ඨානය කවදාවත් වෙනස් කරන්නේ නැහැ.

^ 11 ඡේ. එළිදරව්වේ—අවසන් ඉටුවීම අත ළඟයි! නමැති පොතේ 169-170 දක්වා පිටු බලන්න.