Skip to content

පටුනට යන්න

යෙහෝවා යන ශ්‍රේෂ්ඨ නාමය ගෞරවයට පත් කරමු!

යෙහෝවා යන ශ්‍රේෂ්ඨ නාමය ගෞරවයට පත් කරමු!

“සැමදා ඔබේ නාමය ගෞරවයට පත් කරන්නෙමි.”—ගීතා. 86:12.

1, 2. ක්‍රිස්තියානි කියලා කියන ආගම් දෙවිගේ නම සලකන්නේ කොහොමද? අපි දෙවිගේ නම සලකන්නේ කොහොමද?

ක්‍රිස්තියානි කියලා කියන ආගම් හැම එකකම වගේ දෙවිගේ නම පාවිච්චි කරන්නේ නැහැ. උදාහරණයකට එක බයිබල් පරිවර්තනයක පෙරවදනේ සඳහන් වුණේ දෙවිගේ නම පාවිච්චි කරන එක “කොහෙත්ම සුදුසු නැහැ” කියලයි.—Revised Standard Version.

2 ඒත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නම් දෙවිගේ නම දරන්නෙත් ඒ නමට ගෞරව කරන්නෙත් හරිම ආඩම්බරයකින්. (ගීතාවලිය 86:12; යෙසායා 43:10 කියවන්න.) ඒ නමේ තේරුම දැනගන්න ලැබුණ එකත් ඒක ගෞරවයට පත් කරන්න ලැබුණ අවස්ථාවත් අපිට ගෞරවයක්. (මතෙ. 6:9) ඒක මතක තියාගන්න උදව් වෙන කරුණු තුනක් අපි දැන් බලමු. දෙවිගේ නම දැනගන්නවා කියන එකට ඇතුළත් වෙන්නේ මොනවද? යෙහෝවා දෙවි තමන්ගේ ශ්‍රේෂ්ඨ නමට එකඟව ක්‍රියා කළේ කොහොමද? දෙවිගේ නාමය දරමින් අපිට ජීවත් වෙන්න පුළුවන් කොහොමද?

දෙවිගේ නම දැනගැනීම

3. දෙවිගේ නම දැනගන්නවාට ඇතුළත් වෙන්නේ මොනවද?

3 දෙවිගේ නම දැනගන්නවා කියන්නේ යෙහෝවා දෙවි මොන වගේ කෙනෙක්ද කියලා හොඳට තේරුම්ගන්න එකටයි. ඒ කියන්නේ ඔහුගේ ගතිගුණ මොනවද, ඔහුගේ අරමුණ මොකක්ද, ඔහු දේවල් කරන්නේ මොන විදිහටද, ඔහු තමන්ගේ සෙනඟට සලකන්නේ කොහොමද වගේ දේවල් ගැන දැනගන්න එකටයි. යෙහෝවා දෙවි තමන්ගේ අරමුණ ඉටු කරද්දී තමන් මොන වගේ දෙවි කෙනෙක්ද කියලා ක්‍රමානුකූලව හෙළි කරලා තියෙනවා. (හිතෝ. 4:18) ආදම් සහ ඒව දෙවිගේ නම දැනගෙන හිටියා. (උත්. 4:1) නෝවා, ආබ්‍රහම්, ඊසාක්, යාකොබ් වගේ අයත් දෙවිගේ නම දැනගෙන හිටියා. දෙවි ඔවුන්ට ආශීර්වාද කරද්දී, ඔවුන්ව රැකබලා ගද්දී, තමන්ගේ අරමුණ ගැන කියලා දෙද්දී ඔවුන් තේරුම්ගත්තා දෙවි මොන වගේ කෙනෙක්ද කියලා.

යෙහෝවා දෙවිගේ නමේ අර්ථය දැනගැනීමෙන් මෝසෙස්ගේ විශ්වාසය තවත් වැඩි වුණා

4. දෙවිගේ නම මොකක්ද කියලා මෝසෙස් ඇහුවේ ඇයි? දෙවි ඔවුන්ව බේරගන්නවා කියලා ඊශ්‍රායෙල්වරුන්ගේ හිතේ විශ්වාසයක් ඇති කරන්න මෝසෙස්ට ඕනෙ වුණේ ඇයි?

4 නික්මයාම 3:10-15 කියවන්න. ඒ සිද්ධිය වෙනකොට මෝසෙස්ට වයස අවුරුදු 80යි. “මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් පිටතට ගෙනෙන්න” කියලා දෙවි මෝසෙස්ට කිව්වම ඔහු දෙවිගෙන් මෙහෙම ඇහුවා. ‘ඔබව එවපු දෙවිගේ නම මොකද්ද කියලා ඊශ්‍රායෙල්වරු මගෙන් ඇහුවොත් මම මොනවද කියන්නේ?’ දෙවිගේ නම මොකක්ද කියලා මිනිසුන් දැනගෙනයි හිටියේ. එහෙමනම් මෝසෙස් ඇයි ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවේ? ඇත්තටම ඔහුට ඕනෙ වුණේ යෙහෝවා දෙවි මොන වගේ කෙනෙක්ද කියලා තවත් හොඳින් දැනගන්නයි. ඊශ්‍රායෙල්වරුන් වහලුන් විදිහට ගොඩක් කල් දුක් වින්ද නිසා තමන්ව බේරගන්න යෙහෝවා දෙවිට පුළුවන් වෙයිද කියලා ඔවුන්ට සැකයක් තියෙන්න ඇති. ඒ වගේම සමහරු ඊජිප්තුවේ දෙවිවරුන්ට නමස්කාර කරන්නත් පටන් අරන් තිබුණා. (එස. 20:7, 8) ඒ නිසා දෙවි ඊශ්‍රායෙල්වරුන්ව අනිවාර්යයෙන්ම බේරගන්නවා කියලා ඔවුන්ගේ හිතේ විශ්වාසයක් ඇති කරන්න මෝසෙස්ට ඕනෙ වුණා.

5. යෙහෝවා දෙවි තමන්ගේ නම ගැන මෝසෙස්ට කිව්වේ මොනවද?

5 “ඔබේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවා, . . . ඔබ වෙතට මාව එව්වේය” කියලත් “තමා කැමති දේ ඉටු කළ හැකි තැනැත්තා” ඔහු කියලත් ඊශ්‍රායෙල්වරුන්ට කියන්න කියලා යෙහෝවා දෙවි මෝසෙස්ට කිව්වා. * ඒ වචනවලින් දෙවි තමන්ගේ නම ගැන වැදගත් දෙයක් හෙළි කළා. ඒ තමයි යෙහෝවා දෙවි යම් පොරොන්දුවක් වුණා නම් ඒ පොරොන්දුව ඉටු කරන්න ඕනෙම දෙයක් කරන්න දෙවිට හැකියාව තියෙනවා කියන එක. ඔහු පොරොන්දු වුණ දේවල් අනිවාර්යයෙන්ම ඉටු කරන දෙවි කෙනෙක්. ඒ නිසයි දෙවි මෙහෙම කිව්වේ. “සදහටම මගේ නාමය එයයි. පරම්පරාවෙන් පරම්පරාවට මා සිහි කරනු ලබන්නේ ඒ නාමයෙන්ය.” ඒ වචන ඇහෙද්දී දෙවි ගැන මෝසෙස්ට තිබුණ විශ්වාසය මොන තරම් ශක්තිමත් වෙන්න ඇද්ද!

නමට එකඟව ක්‍රියා කරන දෙවි

6, 7. යෙහෝවා දෙවි පොරොන්දු වුණ විදිහටම දේවල් කළේ කොහොමද?

6 යෙහෝවා දෙවි පොරොන්දු වුණ විදිහටම ඊශ්‍රායෙල්වරුන්ව බේරගත්තා. පාරාවෝටවත් ඊජිප්තු දෙවිවරුන්ටවත් කිසිම බලයක් නැහැ කියලා දෙවි ගෙනාපු පීඩාවලින් ඔප්පු වුණා. (නික්. 12:12) රතු මුහුද දෙබෑ කරලා ඊශ්‍රායෙල්වරුන්ව මුහුද මැදින් අරන් ගිය දෙවි, පාරාවෝ හා ඔහුගේ හමුදාව මුහුදේ ගිලී විනාශ වෙන්න සැලැස්සුවා. (ගීතා. 136:13-15) පාළුකරයේ ගත කරපු අවුරුදු ගණනාව පුරාම මිලියන ගණන් ඊශ්‍රායෙල්වරුන්ට අවශ්‍ය කෑම වතුර දීලා දෙවි ඔවුන්ව බලාගත්තා. ඔවුන්ගේ ඇඳුම් දිරා යන්නවත් පාවහන් ගෙවී යන්නවත් දෙවි ඉඩ දුන්නේ නැහැ. (ද්වි. 1:19; 29:5) ඒ දේවලින් ඔප්පු වුණේ යෙහෝවා දෙවි කියපු විදිහටම කරනවා, ඒක නවත්වන්න කිසිම කෙනෙකුටවත් කිසිම දෙයකටවත් බැහැ කියන එකයි. “යෙහෝවා දෙවි මමය. මා හැර වෙනත් මිදුම්කරුවෙක් නැත” කියලා දෙවි කිව්වේ ඒ නිසයි.—යෙසා. 43:11.

7 දෙවි කරපු ඒ හැම දෙයක්ම දැකපු කෙනෙක් යොෂුවා. ඔහුගේ ජීවිතයේ අන්තිම දවස්වලදී ඔහු ඊශ්‍රායෙල්වරුන්ට මෙහෙම කිව්වා. “ඔබත් මමත් නමස්කාර කරන යෙහෝවා දෙවි අපට දුන් එක පොරොන්දුවක්වත් කඩ කළේ නැහැ කියා ඔබ හොඳින් දන්නවා. ඔහු දුන් සෑම පොරොන්දුවක්ම ඒ විදිහටම ඔහු ඉටු කළා.”—යොෂු. 23:14.

8. අදත් යෙහෝවා දෙවි පොරොන්දු වුණ දේවල් ඉටු කරන්නේ කොහොමද?

8 යෙහෝවා දෙවි පොරොන්දු වුණ දේවල් එදා වගේම අදත් ඉටු කරනවා. යේසුස් මගින් දෙවි දුන්න එක පොරොන්දුවක් තමයි අන්තිම දවස්වල දේවරාජ්‍යය ගැන ශුභාරංචිය “ජනාවාස වූ මුළු පොළොව පුරාම” දේශනා කරනවා කියන එක. (මතෙ. 24:14) ඒ වගේ පොරොන්දුවක් දෙන්න පුළුවන් යෙහෝවා දෙවිට විතරයි. අපි වගේ සාමාන්‍ය මිනිසුන්ව පාවිච්චි කරලා ඒක ඉටු කරන්න බලය තියෙන්නෙත් ඔහුට විතරයි. (ක්‍රියා 4:13) ශුභාරංචිය ගැන මිනිසුන්ට කියද්දී අපි කරන්නේ දෙවි පොරොන්දු වෙලා තියෙන දෙයක් ඉටු කරන්න උදව් වෙන එකයි. එහෙම කරද්දී අපි ඇත්තටම දෙවිට ගෞරව කරනවා කියලා පෙන්වනවා. අපි දේශනා සේවයේ යනවා නම් “ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා! ඔබගේ රාජ්‍යය පැමිණේවා! ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා” කියලා මුළු හදවතින්ම අපිට යාච්ඤා කරන්න පුළුවන් වෙනවා.—මතෙ. 6:9, 10.

දෙවිගේ නාමය ශ්‍රේෂ්ඨයි

යෙහෝවා දෙවි මොන තරම් ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක්ද කියලා පාරාවෝ පිළිගත්තේ නැහැ

9, 10. යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට සලකපු විදිහෙන් දෙවි ගැන අපිට තවත් ඉගෙනගන්න පුළුවන් මොනවද?

9 ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවෙන් ආවට පස්සේ යෙහෝවා දෙවි තමන් ගැන තවත් දේවල් ඔවුන්ට හෙළි කළා. ඔවුන් එක්ක ගිවිසුමක් ඇති කරගෙන, හරියට ආදරණීය සැමියෙක් තමන්ගේ බිරිඳව බලාගන්නවා වගේ ඔවුන්ව රැකබලා ගන්න දෙවි පොරොන්දු වුණා. (යෙරෙ. 3:14) බිරිඳක් තමන්ගේ සැමියගේ නම දරනවා වගේ ඒ ගිවිසුමෙන් පස්සේ ඊශ්‍රායෙල්වරුන්ට දෙවිගේ නම දරන්නත් අවස්ථාව ලැබුණා. (යෙසා. 54:5, 6) ඔවුන් දෙවිගේ නීතිවලට කීකරු වෙනකොට ඔවුන්ට දෙවිගේ ආශීර්වාදත් ආරක්ෂාවත් සමාදානයත් ලැබුණා. (ගණන්. 6:22-27) යෙහෝවා දෙවි තරම් ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක් තවත් නැහැ කියලා අවට හිටපු ජාතීන් දැනගත්තා. (ද්විතීය කතාව 4:5-8; ගීතාවලිය 86:7-10 කියවන්න.) ඒ ජාතීන්ගෙන් බොහෝදෙනෙක් යෙහෝවා දෙවිට නමස්කාර කරන්නත් තීරණය කළා. “ඔබේ දෙවි මගෙත් දෙවියි” කියලා මෝවබ් ජාතික රූත් නායොමිට කිව්වා වගේ ඔවුනුත් කියන්න ඇති.—රූත් 1:16.

10 අවුරුදු 1,500ක පමණ කාලයක් පුරා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට සලකපු විදිහෙන් තමන් මොන වගේ කෙනෙක්ද කියලා දෙවි පෙන්නුවා. ඔවුන් දෙවිට අකීකරු වෙලා නිතර නිතර වැරදි කළත් දෙවි පුදුම ඉවසීමකින් ඔවුන් එක්ක වැඩ කරලා ඔවුන්ට සමාව දුන්නා. (නික්. 34:5-7) ඒත් යෙහෝවා දෙවිගේ ඉවසීමටත් සීමාවක් තිබුණා. තමන්ගේ එකම පුතා වන යේසුස්ව මරලා දැම්මට පස්සේ දෙවි ඔවුන්ව අත්හැරියා. එදා ඉඳන් යෙහෝවා දෙවිගේ නම දරන්න ඔවුන්ට අවස්ථාව ලැබුණේ නැහැ. (මතෙ. 23:37, 38) ඔවුන් හිටියේ වියළී ගිය ගහක් වගෙයි.—ලූක් 23:31.

11. දෙවිගේ නම පාවිච්චි කරන එක ඊශ්‍රායෙල්වරුන් නතර කළේ ඇයි?

11 කාලයක් යද්දී දෙවිගේ නම ගැන ඊශ්‍රායෙල්වරුන්ට වැරදි අදහස් ඇති වෙන්න පටන්ගත්තා. දෙවිගේ නම හුඟක් ශුද්ධ එකක් නිසා ඒ නම පාවිච්චි කරන්න හොඳ නැහැ කියලා ඔවුන් හිතුවා. (නික්. 20:7) ඒ විදිහට ටිකෙන් ටික දෙවිගේ නම පාවිච්චි කරන එක ඔවුන් නතර කළා. යෙහෝවා දෙවිට මොන තරම් දුකක් දැනෙන්න ඇද්ද! (ගීතා. 78:40, 41) තමන්ගේ නමට අගෞරව කරනවට ඔහු කොහොමටවත් කැමති නැහැ. ඊශ්‍රායෙල්වරු දෙවිගේ නමට අගෞරව කරපු එකෙන් පෙන්නුවේ දෙවිගේ නම දරන්න තරම් ඔවුන් වටින්නේ නැහැ කියන එකයි. (නික්. 34:14) දෙවිගේ නමට ගෞරව කරන එක මොන තරම් වැදගත්ද!

දෙවිගේ නම දරන අලුත් සෙනඟක්

12. දෙවිගේ නම දරන්න ලැබුණේ කාටද?

12 යෙහෝවා දෙවි අලුත් ජාතියක් එක්ක “අලුත් ගිවිසුමක්” ඇති කරගත්තා. ඒ ජාතියට අයත් “සුළුම තැනැත්තාගේ සිට උතුම්ම තැනැත්තා දක්වා ඔවුන් අතරේ සිටින සියලුදෙනා” යෙහෝවා දෙවිව දැන හඳුනා ගන්නවා කියලා දෙවි කලින්ම කිව්වා. (යෙරෙ. 31:31, 33, 34) විවිධ ජාතීන්වලට අයිති අයගෙන් හැදුණ මේ අලුත් ජාතිය හඳුන්වන්නේ ‘දෙවිගේ ඊශ්‍රායෙල්’ කියලයි. ඔවුන් එක්ක දෙවි ඒ ගිවිසුම ඇති කරගත්තේ ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසේදීයි. යෙහෝවා දෙවි ඔවුන්ව හඳුන්වන්නේ “මාගේ නාමය දරන සෙනඟ” විදිහටයි.—ගලා. 6:16; ක්‍රියා 15:14-17 කියවන්න; මතෙ. 21:43.

13. (අ) මුල් ක්‍රිස්තියානීන් දෙවිගේ නම පාවිච්චි කළාද? අපි ඒක දන්නේ කොහොමද? (ආ) දෙවිගේ නම ගැන තව කෙනෙකුට කියලා දෙන එක ගැන ඔබට හැඟෙන්නේ කොහොමද?

13 මේ අලුත් ජාතියට අයත් මුල් ක්‍රිස්තියානීන් දෙවිගේ නම පාවිච්චි කළා. උදාහරණයකට හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවලින් උපුටලා දක්වද්දී ඔවුන් දෙවිගේ නම සඳහන් කළා. * ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසේ විශාල පිරිසකට පේතෘස් කතා කරපු අවස්ථාව ඒ වගේ එකක්. (ක්‍රියා 2:14, 20, 21, 25, 34) ඒ මුල් ක්‍රිස්තියානීන් දෙවිගේ නමට ගෞරව කරපු නිසා දෙවි ඔවුන්ගේ සේවයට ආශීර්වාද කළා. අපිත් බයිබලයෙන් දෙවිගේ නම අනිත් අයට පෙන්වද්දී දෙවි අපේ සේවයටත් ආශීර්වාද කරනවා. දෙවිගේ නම අනිත් අයට කියලා දෙන්න ලැබුණ එක අපිටත් ගෞරවයක්. අපි දෙවිගේ නම තව කෙනෙකුට කියලා දෙන්න ගත කරන පුංචි කාලය ගොඩක් වටිනවා. ඒක ඒ කෙනාට යෙහෝවා දෙවි එක්ක සදාකාලික බැඳීමක් ඇති කරගන්න ලැබෙන අවස්ථාවක් වෙන්න පුළුවන්.

14, 15. යෙහෝවා දෙවි තමන්ගේ නම ආරක්ෂා කළා කියලා අපි දන්නේ කොහොමද?

14 යේසුස්ගේ නියෝජිතයන් මිය ගියාට පස්සේ සමහර අය යේසුස්ගේ ඉගැන්වීම්වලට බොරු ඉගැන්වීම් එකතු කළා. (2 තෙස. 2:3-7) යුදෙව්වන් වගේ ඔවුනුත් දෙවිගේ නම භාවිත කරන එක නවත්තලා දැම්මා. යෙහෝවා දෙවි තමන්ගේ නම සම්පූර්ණයෙන්ම නැති වෙලා යන්න ඉඩ දුන්නද? නැහැ. අතීතයේදී දෙවිගේ නම උච්චාරණය කළේ කොහොමද කියලා අපි හරියටම දන්නේ නැහැ. ඒත් දෙවි ඒ නම ආරක්ෂා කළා කියලා නම් අපි දන්නවා. අවුරුදු සිය ගණනක් පුරා ලියවුණු බයිබල් පරිවර්තන රාශියකත් බයිබල් විශාරදයන් ලියපු පොත්වලත් දෙවිගේ නම සඳහන් වුණා. උදාහරණයකට 1757දී චාල්ස් පීටර්ස් ලියපු පොතක සඳහන් වුණේ යෙහෝවා දෙවිට මොන තරම් පදවි නාම පාවිච්චි කළත් දෙවි මොන වගේ කෙනෙක්ද කියලා හොඳටම පැහැදිලි වෙන්නේ දෙවිගේ නමේ අර්ථයෙන් කියලයි. හොප්ටන් හේන්ස් 1797දී ලියපු පොතක සඳහන් වුණේ මෙහෙමයි. “යුදෙව්වන් දෙවිව අමතන්න පාවිච්චි කළේ යෙහෝවා කියන නමයි. ඔවුන් වගේම යේසුස් ඇතුළු ඔහුගේ නියෝජිතයන් නමස්කාර කළෙත් යෙහෝවා දෙවිටයි.” හෙන්රි ගෲ (1781-1862) දෙවිගේ නම භාවිත කළා විතරක් නෙවෙයි දෙවිගේ නම අගෞරවයට පත් වෙලා තියෙනවා කියලත් ඒක ගෞරවයට පත් කරන්න අවශ්‍යයි කියලත් තේරුම්ගත්තා. ජෝර්ජ් ස්ටෝර්ස් (1796-1879) සහ චාල්ස් ටී. රසල් කියන්නෙත් දෙවිගේ නම පාවිච්චි කරපු මිතුරන් දෙන්නෙක්.

15 වර්ෂ 1931 කියන්නේ දෙවිගේ සෙනඟට විශේෂ අවුරුද්දක්. ඒ වෙනකල් ඔවුන්ව හැඳින්නුවේ ජාත්‍යන්තර බයිබල් ශිෂ්‍යයන් කියලයි. ඒත් 1931දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියන නම ඔවුන්ට ලැබුණා. (යෙසා. 43:10-12) දෙවිගේ ‘නාමය දරන සෙනඟක්’ විදිහට තමන් දෙවිගේ නම ගෞරවයට පත් කරන්නේ හරිම ආඩම්බරයෙන් කියලා ඔවුන් මුළු ලෝකයටම පෙන්නුවා. (ක්‍රියා 15:14) දෙවි තමන්ගේ නම ආරක්ෂා කරපු විදිහෙන් අපිට මතක් වෙන්නේ දෙවිගේ මේ වචනයි. “පොළොවේ එක් සීමාවක සිට අනික් සීමාව දක්වා සිටින සියලු ජාතීන් අතරේ මාගේ නාමය ගෞරවයට පත් වනු ඇත.”—මලා. 1:11.

දෙවිගේ නම දරමින් ජීවත් වෙන්න

16. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විදිහට හඳුන්වන එක ගැන අපිට හැඟෙන්න ඕනෙ කොහොමද?

16 “අන් අය තම තමන්ගේ දෙවිවරුන්ගේ කැමැත්තට අනුව ජීවත් වුණත් අපි සදහටම අපේ දෙවි වන යෙහෝවාගේ නාමය දරමින් ඔහුගේ කැමැත්තට එකඟව ජීවත් වෙමු” කියලා මීකා කිව්වා. (මීකා 4:5) බයිබල් ශිෂ්‍යයන්ට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යන නම ලැබුණම ඔවුන් ඒක සැලකුවේ තමන්ට ලැබුණ ගෞරවයක් විදිහට විතරක් නෙවෙයි. දෙවිගේ අනුමැතිය තමන්ට තියෙනවා කියලත් ඔවුන් තුළ නිසැකකමක් ඇති වුණා. (මලාකි 3:16-18 කියවන්න.) ඔබට හැඟෙන්නෙත් එහෙමද? ඔබත් ‘යෙහෝවා යන දෙවිගේ නාමය දරමින් ඔහුගේ කැමැත්තට එකඟව ජීවත් වෙන්න’ පුළුවන් හැම දෙයක්ම කරනවද?

17. දෙවිගේ නාමය දරමින් ජීවත් වෙන්න නම් අපි කරන්න ඕනෙ මොනවද?

17 දෙවිගේ නාමය දරමින් ජීවත් වෙන්න නම් අපි අඩුම තරමින් දේවල් තුනක්වත් කරන්න ඕනෙ. පළවෙනි එක තමයි දෙවිගේ නම ගැන අනිත් අයට කියලා දෙන එක. “යෙහෝවා යන දෙවිගේ නාමය කියා අයැදින සියලුදෙනාවම ගලවනු ලබන්නේය” කියලා බයිබලයේ සඳහන් වෙන නිසා එහෙම කරන එක අත්‍යවශ්‍යයි. (රෝම 10:13) දෙවෙනි එක තමයි යෙහෝවා දෙවිගේ ගතිගුණ අපි තුළ වර්ධනය කරගන්න එක. ප්‍රේමය ඒ අතරින් ප්‍රධාන එකක්. තුන්වෙනි එක තමයි දෙවිගේ නීතිවලට කීකරු වෙන එක. ඒක දෙවිගේ නමට ගෞරවයක්. (1 යොහ. 4:8; 5:3) ඔබත් සදාකාලයටම දෙවිගේ නාමය දරමින් ජීවත් වෙන්න අධිෂ්ඨාන කරලා තියෙනවද?

18. යෙහෝවා දෙවිට ගෞරව කරන අය අනාගතය ගැන ආශාවෙන් බලාගෙන ඉන්නේ ඇයි?

18 යෙහෝවා දෙවිව ප්‍රතික්ෂේප කරන හා ඔහුට විරුද්ධව කැරලිගහන හැමෝම ඔහු මොන වගේ කෙනෙක්ද කියලා ළඟදීම දැනගන්න යනවා. (එස. 38:23) ඔවුනුත් හරියට “යෙහෝවාට කීකරු වෙන්න ඔහු කවුද” කියලා අහපු පාරාවෝ වගේ. ඒත් යෙහෝවා දෙවි තමන් මොන තරම් ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක්ද කියලා පාරාවෝට දැනගන්න සැලැස්සුවා. (නික්. 5:1, 2; 9:16; 12:29) ඒත් යෙහෝවා දෙවිව හඳුනගෙන ඔහුගේ මිත්‍රයන් වෙන්න අපි තීරණය කරලා තියෙනවා. ඔහුගේ නම දරන්නත් ඔහුගේ කීකරු සෙනඟ වෙන්නත් ලැබුණු වරප්‍රසාදය අපි සලකන්නේ ලොකු ගෞරවයක් විදිහටයි. “ඔබේ නාමය හඳුනන්නෝ ඔබ ගැන විශ්වාසයෙන් සිටිති. යෙහෝවා දෙවියනි, ඔබේ මඟ පෙන්වීම් පතන අයව ඔබ කිසිසේත් අත්නාරින්නෙහිය” යන පොරොන්දුව ගැන අපිට තියෙන්නේ ලොකු විශ්වාසයක්!—ගීතා. 9:10.

^ 5 ඡේ. නව ලොව පරිවර්තනය, 2049වෙනි පිටුවේ 1වෙනි ඡේදය බලන්න.

^ 13 ඡේ. මුල් ක්‍රිස්තියානීන් පාවිච්චි කරපු හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල දෙවිගේ නම සඳහන් වුණා. හෙබ්‍රෙව් ලියවිලි ග්‍රීක භාෂාවට පරිවර්තනය කරලා තිබුණ සෙප්ටූඅජින්ට් පරිවර්තනයේ සමහර මුල් පිටපත්වලත් දෙවිගේ නම සඳහන් වුණා.