Skip to content

පටුනට යන්න

දේවවචනයෙන් ඔබටත් අන් අයටත් ප්‍රයෝජන

දේවවචනයෙන් ඔබටත් අන් අයටත් ප්‍රයෝජන

“සෑම දෙයක් ගැනම ඔබ දී තිබෙන අණපනත් යහපත් බව මම පිළිගනිමි.”—ගීතා. 119:128.

1. අපිට බයිබලයේ තියෙන දේවල් ගැන හොඳ විශ්වාසයක් තියෙන්න ඕනෙ ඇයි?

අපිට බයිබලයේ තියෙන දේවල් ගැන හොඳ විශ්වාසයක් තියෙන්න ඕනෙ වගේම දේවසේවයේදී බයිබලය හොඳින් පාවිච්චි කරන්නත් ඕනෙ. එහෙම කරනවා නම් යෙහෝවා දෙවිව දැන හඳුනා ගන්නත් සදාකාල ජීවනය ලබාගන්නත් අනිත් අයට උදව් කරන්න අපිට පුළුවන්. ඒ නිසා බයිබල් ශිෂ්‍යයෙක් දේවසේවයේ යන්න සුදුසුකම් ලබන්න නම් බයිබලය දෙවිගේ වචනය කියලා ඔහු විශ්වාස කරන්න ඕනෙ. *

2. අපි ඉගෙනගත්ත දේවල් දිගටම පිළිපදින්න ඕනෙ ඇයි?

2 පාවුල්, තිමෝතිට කිව්වා ‘ඔබ ඉගෙනගත්ත දේවල් දිගටම පිළිපදින්න’ කියලා. තිමෝති ඉගෙනගෙන තිබුණ “දේවල්” තමයි දේවවචනයේ තියෙන සත්‍ය තොරතුරු. අපේ ‘ගැලවීමට මඟ පාදන්නත්’ ඒවාට පුළුවන්. (2 තිමෝ. 3:14, 15) බයිබලය දෙවිගෙන් ලැබුණ පොතක් කියලා 2 තිමෝති 3:16 (කියවන්න.) ඔප්පු වෙනවා. ඒ පදයෙන් අපිට වෙන මොනවද ඉගෙනගන්න පුළුවන් කියලා අපි දැන් බලමු. ඒ ගැන ඉගෙනගද්දී යෙහෝවා දෙවිගේ හැම ඉගැන්වීමක්ම “යහපත්” කියලා නිසැක වෙන්න අපිට පුළුවන් වෙයි.—ගීතා. 119:128.

‘ඉගැන්වීමට ප්‍රයෝජනවත්’

3-5. (අ) පේතෘස් පෙන්තකොස්ත දවසේදී විශාල සෙනඟකට කතා කළාට පස්සේ මොකක්ද වුණේ? ඒ ඇයි? (ආ) තෙසලෝනිකයේ හිටපු හුඟක් අය ක්‍රිස්තියානීන් වුණේ ඇයි? (ඇ) අපි උගන්වද්දී මිනිසුන්ගේ අවධානයට ලක් වෙන්නේ මොකක්ද?

3 යේසුස් යුදෙව්වන්ට මෙහෙම කිව්වා. “මම ඔබ වෙතට අනාගතවක්තෘවරුන්ද ප්‍රඥාවන්තයන්ද ප්‍රසිද්ධියේ උගන්වන්නන්ද එවනවා.” (මතෙ. 23:34) යේසුස් කතා කළේ තමන්ගේ ගෝලයන් ගැනයි. දේවසේවයේදී ශුද්ධ ලියවිලි පාවිච්චි කරන විදිහ යේසුස් ඔවුන්ට උගන්වලා තිබුණා. ඒ නිසා ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසේදී, විශාල සෙනඟකට හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවලින් උපුටලා කතා කරන්න පේතෘස්ට පුළුවන් වුණා. පේතෘස් ඒ පද විස්තර කරපු විදිහ නිසා එතන හිටපු හුඟක් අයට “හදවත පැලෙන තරම් වේදනාවක්” දැනුණා. තමන්ගේ වැරදි ගැන පසුතැවිලි වුණ 3,000ක් විතර එදා බව්තීස්ම වුණා.—ක්‍රියා 2:37-41.

4 පාවුල්ගෙනුත් අපිට යමක් ඉගෙනගන්න පුළුවන්. තෙසලෝනිකයේදී සිනගෝගයේ හිටපු යුදෙව්වන්ට ඔහු සබත් දවස් තුනක් දේශනා කළා. ක්‍රිස්තුස් ගැන ඔහු “ශුද්ධ ලියවිල්ල පදනම් කරගෙන කාරණා තර්කානුකූලව” ඔවුන්ට ඔප්පු කළා. ඒ යුදෙව්වන්ගෙන් සමහරදෙනෙකුත් ග්‍රීක ජාතිකයන් හුඟදෙනෙකුත් ක්‍රිස්තියානීන් වුණා.—ක්‍රියා 17:1-4.

5 අපිත් බයිබලය පාවිච්චි කරලා උගන්වද්දී ඒක ගොඩක් අයගේ අවධානයට ලක් වෙනවා. ස්විට්සර්ලන්තයේ සහෝදරියක් සේවයේ යද්දී නිවැසියෙක්ට බයිබල් පදයක් කියෙව්වා. ඇය යන්නේ කොයි පල්ලියටද කියලා නිවැසියා ඇහුවම ‘අපි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්’ කියලා ඇය කිව්වා. ‘මම හිතුවා ඔයගොල්ලෝ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෙන්න ඇති කියලා. මොකද එයාලා විතරයි බයිබල් පද පෙන්නලා කතා කරන්නේ’ කියලා ඔහු කිව්වා.

6, 7. (අ) සභාවේ උගන්වද්දී බයිබලය පාවිච්චි කරන්න පුළුවන් හොඳම විදිහ මොකක්ද? (ආ) බයිබල් පාඩමක් කරද්දී බයිබලය හොඳින් පාවිච්චි කරන්න පුළුවන් කොහොමද?

6 ඔබට රැස්වීමකදී කතාවක් ඉදිරිපත් කරන්න හරි වෙනත් පැවරුමක් හරි ලැබිලා තියෙනවා කියලා හිතමු. මුලින්ම ඒකට අදාළ බයිබල් පද තෝරගන්න. පැවරුම ඉදිරිපත් කරද්දී ඒ පදවල අදහස නිකම්ම කියනවා හෝ මුද්‍රණය කරගත්ත පිටපතකින් කියවනවා හෝ ඉලෙක්ට්‍රොනික උපකරණයකින් කියවනවා වෙනුවට ඔබේ බයිබලය පෙරළා කියවන්න. සබයේ ඉන්න අයටත් ඔවුන්ගේ බයිබල්වලින් ඒක බලන්න කියන්න. ඊටපස්සේ ඒ පදය තේරුම් කරලා දීලා, යෙහෝවා දෙවි එක්ක හොඳ බැඳීමක් ඇති කරගන්න ඒක උදව් වෙන විදිහ පැහැදිලි කරන්න. සභාවේ අයට තේරුම්ගන්න අමාරු උදාහරණ, එහෙම නැත්නම් අනිත් අයව හිනා වෙන්න විතරක් පොලඹවන අද්දැකීම් ගැන කතා කරනවා වෙනුවට දේවවචනය පැහැදිලි කරලා දෙන්න ඒ කාලය පාවිච්චි කරන්න.

7 ඔබ බයිබල් පාඩමක් කරනවා නම් පාඩමට සූදානම් වෙද්දී හැම බයිබල් පදයක්ම කියවන්න කියලා ශිෂ්‍යයාට දිරිගන්වන්න. පාඩම කරන වෙලාවේදී ඔබම බයිබල් පද විස්තර කරන්නේ නැතුව ශිෂ්‍යයාට ඒ ගැන හිතෙන දේ කියන්න ඉඩ දෙන්න. ‘මේ විදිහටයි ඔයා දේවල් කරන්න ඕනෙ’ කියලා කියනවා වෙනුවට බයිබලයේ උගන්වන දේවල් තේරුම්ගන්න ශිෂ්‍යයාට උදව් වෙන ප්‍රශ්න අහන්න. *

‘අවවාද කිරීමට ප්‍රයෝජනවත්’

8. පාවුල්ට තිබුණ සටන මොකක්ද?

8 දේවවචනය ‘අවවාද කරන්නත් ප්‍රයෝජනවත්.’ අවවාද කරනවා කියපු ගමන්ම අපිට මතක් වෙන්නේ වැඩිමහල්ලන් “පව් කරන අයට අවවාද” කරන එක ගැන නැත්නම් හික්මවන එක ගැනයි. ඒක වැඩිමහල්ලන්ගේ වගකීමක්. (1 තිමෝ. 5:20; තීත. 1:13) ඒත් අවවාද කරනවා කියන එකෙන් අපි අපිවම හික්මවාගන්න එකත් අදහස් කරනවා. පාවුල් ගැන හිතන්න. ඔහුට දෙවි ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියක් තිබුණා. (2 තිමෝ. 1:3) ඒත් ඔහුට සටනක් කරන්න වුණා. ඒ ගැන ඔහු මෙහෙම ලිව්වා. ‘මගේ මනසේ ඇති එම නීතියට විරුද්ධව සටන් කරන තවත් නීතියක් මගේ ශරීරය තුළ තිබේ. මම පාපය නමැති එම නීතියට වහල් වී සිටිමි.’—රෝම 7:21-25 කියවන්න.

9, 10. (අ) පාවුල්ට තියෙන්න ඇති දුර්වලකම් මොනවද? (ආ) පාවුල් ඔහුගේ දුර්වලකම් පාලනය කරගන්න ඇත්තේ කොහොමද?

9 තමාට තිබුණ දුර්වලකම් මොනවද කියලා පාවුල් කියන්නේ නැහැ. ඒත් තමා කලින් ‘කිසි කෙනෙකුටවත් ගරු කළේ නැහැ’ කියලා ඔහු කියනවා. (1 තිමෝ. 1:13) ක්‍රිස්තියානියෙක් වෙන්න කලින් පාවුල් ක්‍රිස්තියානීන් එක්ක “දැඩි කෝපයකින්” හිටියා. (ක්‍රියා 26:11) ඒත් තමාගේ කෝපය පාලනය කරගන්න පාවුල් ඉගෙනගත්තා. ඒ වුණත් සමහර දේවල් ගැන ඔහුට හැඟුණ විදිහත් ඔහු කතා කරන විදිහත් පාලනය කරගන්න පාවුල් ලොකු සටනක් කරන්න ඇති.—ක්‍රියා 15:36-39.

10 තමාවම හික්මවාගන්න කරපු දේවල් ගැන ඔහු කොරින්තිවරුන්ට කිව්වා. (1 කොරින්ති 9:26, 27 කියවන්න.) තමාගේ දුර්වලකම් පාලනය කරන්න ඔහු දැඩි පියවර ගත්තා. ඒක කරන්න ඔහු අනිවාර්යයෙන්ම ශුද්ධ ලියවිලිවලින් මඟ පෙන්වීම් හොයන්න ඇති. ඒ මඟ පෙන්වීම් අදාළ කරගන්න උදව් ඉල්ලලා යාච්ඤා කරන්න ඇති. ඊටපස්සේ ඒ මඟ පෙන්වීම්වලට කීකරු වෙන්න ඔහුට පුළුවන් හැම දේම කරන්න ඇති. * පාවුල් වගේ අපිටත්, අපේ දුර්වලකම් පාලනය කරගන්න ලොකු සටනක් කරන්න වෙනවා.

11. අපි සත්‍ය ඉගැන්වීම්වලට ඇලී සිටිනවද කියලා ‘නොකඩවා සෝදිසි කරලා බලන්නේ’ කොහොමද?

11 ‘මගේ දුර්වලකම මම ජය ගත්තා. දැන් ඔක්කොම හරි’ කියලා අපි හිතන්න හොඳ නැහැ. අපි සත්‍ය ඉගැන්වීම් පිළිපදිනවද කියලා ‘නොකඩවා සෝදිසි කරලා බලන්න’ ඕනෙ. (2 කොරි. 13:5) උදාහරණයකට කොලොස්සි 3:5-10 කියවලා අපි මෙහෙම හිතන්න පුළුවන්. ‘මගේ දුර්වලකම් ජයගන්න මම උපරිම වෑයමක් දරනවද? වැරදි දේවලට මට ආශාවක් ඇති වෙනවද? මම අන්තර්ජාලයේ සැරිසරද්දී එකපාරටම නරක වෙබ්සයිට් එකක් විවෘත වුණොත් මම ඉක්මනින්ම ඒක වහලා දානවද? නැත්නම් ඒ වගේ නරක වෙබ්සයිට් හොයනවද?’ බයිබලයේ තියෙන මඟ පෙන්වීම් අපේ ජීවිතයට අදාළ කරන්න පුළුවන් විදි ගැන අපි නිතරම කල්පනා කරනවා නම්, “අවදිව සිටිමින් හොඳ සිහිකල්පනාවෙන්” ඉන්න අපිට පුළුවන්.—1 තෙස. 5:6-8.

‘කාරණා නිවැරදි කිරීමට ප්‍රයෝජනවත්’

12, 13. (අ) යේසුස් කාරණා නිවැරදි කළේ කොහොමද? (ආ) ‘කාරණා නිවැරදි කරද්දී’ අපි මතක තියාගන්න ඕනෙ මොනවද?

12 අපි කියපු කරපු දෙයක් අනිත් අය වරදවා වටහාගන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී කාරණා නිවැරදි කරන්න අපිට සිද්ධ වෙනවා. යේසුස්ටත් ඒ වගේ වුණා. ඔහු ‘බදු එකතු කරන්නන්ට සහ පව්කාරයන්ට’ අනුකම්පා කරනවා කියලා යුදෙව් ආගමික නායකයන් චෝදනා කළා. යේසුස් ඔවුන්ව මේ විදිහට නිවැරදි කළා. “රෝගීන්ට මිස නිරෝගීන්ට වෛද්‍යවරයෙකුගෙන් පලක් නැහැ. එසේනම් ගොස්, ‘මට වටින්නේ දයාව මිස පූජාව නොවෙයි’ යන කියමනේ නියම අර්ථය තේරුම්ගන්න.” (මතෙ. 9:11-13) දෙවි ගැනත් මිනිසුන්ගේ මනසේ තිබුණේ වැරදි චිත්‍රයක්. ඒත් යේසුස් ඒක නිවැරදි කළා. ‘යෙහෝවා දෙවි දයාන්විත, කරුණාවන්ත, කෝප වීමට ඉක්මන් නොවන, ඉමහත් ප්‍රේමයක් පෙන්වන, සැමවිටම විශ්වාසවන්තව ක්‍රියා කරන’ දෙවි කෙනෙක් කියලා ඔහු ඉවසිලිවන්තව සහ කාරුණිකව ඔවුන්ට තේරුම් කරලා දුන්නා. (නික්. 34:6) ඒ නිසා නිහතමානී අයට ශුභාරංචිය පිළිගන්න පුළුවන් වුණා.

13 කාරණා නිවැරදි කරද්දී අපි තදින් කතා කරන්න ඕනෙ කියලා 2 තිමෝති 3:16 අඟවන්නේ නැහැ. හිතන්නේ බලන්නේ නැතුව කතා කරන්න බයිබලයේ කොතැනකවත් අපිට නිදහස දීලා නැහැ. අපි සැරෙන් කතා කරලා අඩුපාඩු පෙන්වන්න ගියොත්, අපේ වචන නිසා ‘කඩුවෙන් අනිනවා වගේ’ වේදනාවක් ඒ කෙනාට දැනෙන්න පුළුවන්. (හිතෝ. 12:18) එහෙමවුණොත් ඒ කෙනාව නිවැරදි කරන්නත් සමහරවිට අපිට බැරි වෙයි. ඒ නිසා අපි හැමතිස්සෙම යේසුස් වගේ ඉවසිලිවන්තව සහ කරුණාවන්තව වැඩ කරන්න ඕනෙ.

14-16. (අ) ගැටලු විසඳගන්න උදව් ඕනෙ අයට උපකාර කරන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද? (ආ) බයිබලයේ පෙන්වලා තියෙන විදිහට දෙමව්පියන් කාරණා නිවැරදි කරන එක වැදගත් ඇයි?

14 කාරණා නිවැරදි කරන්න බයිබලය පාවිච්චි කරද්දී ඉවසිලිවන්තව සහ කාරුණිකව කටයුතු කරන්නේ කොහොමද? විවාහක යුවළක් නිතරම වාද කරනවා කියලා හිතන්න. ඔවුන් වැඩිමහල්ලෙක්ගෙන් උදව් ඉල්ලනවා. ඔහු ඔවුන්ගෙන් එක් කෙනෙක්ගෙවත් පැත්ත ගන්නේ නැහැ. තමාගේම අදහස් ඉදිරිපත් කරන්නෙත් නැහැ. ඒ වෙනුවට ඔවුන්ට උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති පැහැදිලි කරලා දෙනවා. සමහරවිට පවුලේ සන්තෝෂයට රහස කියන පොතේ 3වෙනි පරිච්ඡේදයේ තියෙන ප්‍රතිපත්ති ඔහු ඔවුන්ට පෙන්වයි. එහෙම කරද්දී තමන් වෙනස් වෙන්න ඕනෙ කියලා ඒ යුවළ තේරුම්ගන්න ඉඩ තියෙනවා. පස්සේ වෙලාවක අවශ්‍ය නම් ඔහු ඔවුන්ට තවත් උදව් කරනවා.

 15 කාරණා නිවැරදි කරගන්න දරුවන්ට උදව් කරන්නේ කොහොමද? මේ තත්වය සිතින් මවාගන්න. නහඹර වයසේ ඉන්න ඔබේ දුවට අලුත් යාළුවෙක් හම්බ වෙලා. ඒත් ඒ යාළුවා, දුවට ආශ්‍රය කරන්න එච්චර හොඳ කෙනෙක් නෙවෙයි කියලා ඔබට හිතෙනවා. ඔබ මොනවද කරන්නේ? මුලින් ඒ යාළුවා ගැන හොයලා බලන්න. ඔබට ලැබෙන තොරතුරු හොඳ නැත්නම් දුවත් එක්ක ඒ ගැන කතා කරන්න. යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 2වන පොතේ තියෙන බයිබල් ප්‍රතිපත්ති පාවිච්චි කරන්න ඔබට පුළුවන්. ඊටපස්සේ දුවත් එක්ක වැඩිපුර කාලය ගත කරන්න. දුව ආශාවෙන් දේශනා සේවයේ යනවද, පවුලේ අනිත් අයත් එක්ක කටයුතු කරන්නේ කොහොමද වගේ දේවලට අවධානය දෙන්න. ඔබ දුවත් එක්ක ඉවසිලිවන්තව සහ කාරුණිකව කතා කළොත් ඔබ ඇයට ආදරෙයි, ඇය ගැන සැලකිලිමත් කියලා දුවට දැනෙයි. එතකොට යාළුවන් ගැන ඔබ දෙන උපදෙස් කැමැත්තෙන්ම පිළි අරගෙන හරි තීරණ ගන්න ඇයට පුළුවන් වෙයි.

දේවල් නිවැරදි කිරීමට බයිබලය පාවිච්චි කරන කාරුණික දෙමව්පියන් තමන්ගේ දරුවන්ව විශාල අනතුරුවලින් ආරක්ෂා කරගන්නවා ( 15වෙනි ඡේදය බලන්න)

16 අපේ උදව් අවශ්‍ය වෙන්නේ වෙන කාටද? තමන්ගේ සෞඛ්‍ය තත්වය ගැන කනස්සල්ලෙන් ඉන්න අයට, රැකියාව අහිමි වෙච්ච නිසා කලකිරිලා ඉන්න අයට, බයිබලයේ තියෙන යම් ඉගැන්වීමක් තේරුම්ගන්න අමාරු අයට උදව් අවශ්‍යයි. ඔවුන්ට ඉවසිලිවන්තව සහ කාරුණිකව උදව් කරන්න අපිට පුළුවන්. කාරණා නිවැරදි කරන්න දේවවචනය පාවිච්චි කරනවා නම් අපි හැමෝටම හුඟක් ප්‍රයෝජන ලැබෙනවා.

‘ධර්මිෂ්ඨකමින් හික්මවීම් ලබා දීමට ප්‍රයෝජනවත්’

17. අපි හික්මවීම් පිළිගන්න ඕනෙ ඇයි?

17 “හික්මවීම් ලැබෙන අවස්ථාවේදී එය වේදනාකාරී දෙයක් ලෙස මිස ප්‍රීතියට හේතුවක් ලෙස දැනෙන්නේ නැත” කියලා බයිබලයේ සඳහන් වෙනවා. නමුත් හික්මවීම් පිළිගෙන අදාළ කරගත්තොත් ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්න පුළුවන්. (හෙබ්‍රෙ. 12:11) සත්‍යය තුළ ඇතිදැඩි වුණ හුඟක් අය කියන්නේ දෙමව්පියන්ගෙන් ලැබුණ හික්මවීම් ප්‍රයෝජනවත් වුණා කියලයි. ඒ වගේම වැඩිමහල්ලන් මාර්ගයෙන් යෙහෝවා දෙවි දෙන හික්මවීම් පිළිගැනීමෙන් ජීවනයට යන මාර්ගයේ රැඳිලා ඉන්නත් අපිට පුළුවන්.—හිතෝ. 4:13.

18, 19. (අ) අනිත් අයව හික්මවද්දී හිතෝපදේශ 18:13හි සඳහන් උපදෙස් වැඩිමහල්ලන් අදාළ කරගැනීම වැදගත් වෙන්නේ ඇයි? (ආ) වරදක් කරපු කෙනෙකුට වැඩිමහල්ලන් හික්මවීම් ලබා දෙද්දී මෘදුකමින් සහ ප්‍රේමණීයව ඒක කරන්න ඕනෙ ඇයි?

18 දෙමව්පියන් සහ වැඩිමහල්ලන් හික්මවීම් ලබා දෙන්න ඕනෙ කොහොමද? “ධර්මිෂ්ඨකමින්” හික්මවන්න කියලා යෙහෝවා දෙවි අපිට කියලා තියෙනවා. (2 තිමෝ. 3:16) ඒකෙන් අදහස් කරන්නේ හික්මවීම් දෙද්දී බයිබල් ප්‍රතිපත්ති පාවිච්චි කරන්න ඕනෙ කියන එකයි. ඒ වගේ ප්‍රතිපත්තියක් හිතෝපදේශ 18:13හි සඳහන් වෙනවා. එතන කියන්නේ ‘කාරණයකට හොඳින් සවන් දීමට කලින් කතා කිරීම මෝඩකමක්’ කියලයි. ඒ නිසා කෙනෙක් බරපතළ වරදක් කරලා තියෙනවා කියලා වැඩිමහල්ලන්ට ආරංචි වුණොත් ඒ කෙනාට හික්මවීම් ලබා දෙන්න කලින් ඒ කාරණය ගැන වැඩිමහල්ලන් හොඳින් හොයලා බලන්න ඕනෙ. (ද්වි. 13:14) “ධර්මිෂ්ඨකමින්” හික්මවීම් ලබා දෙන්න ඔවුන්ට පුළුවන් වෙන්නේ එතකොටයි.

19 අන් අයව “මෘදුකමින්” හික්මවන්න කියලත් බයිබලයේ වැඩිමහල්ලන්ට දිරිගන්වලා තියෙනවා. (2 තිමෝති 2:24-26 කියවන්න.) කෙනෙක් කරපු වරදක් නිසා යෙහෝවා දෙවිට අගෞරවයක් වෙන්නත් අනිත් අයට හානියක් වෙන්නත් ඉඩ තියෙන බව ඇත්තයි. ඒත් වරද කරපු පුද්ගලයාට උපදෙස් දෙද්දී වැඩිමහල්ලා කෝප වුණොත් ඒ කෙනාට උදව් කරන්න ඔහුට බැරි වෙයි. වැඩිමහල්ලා දෙවිව අනුකරණය කරලා කාරුණිකව කතා කළොත් ඒ පුද්ගලයා පසුතැවිලි වෙන්න ඉඩ තියෙනවා.—රෝම 2:4.

20. දරුවන්ව හික්මවද්දී දෙමව්පියන් අදාළ කරගන්න ඕනෙ ප්‍රතිපත්ති මොනවද?

20 දරුවන්ට හික්මවීම් දෙද්දී දෙමව්පියනුත් බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න ඕනෙ. (එෆී. 6:4) උදාහරණයකට තමන්ගේ දරුවා වරදක් කරලා තියෙනවා කියලා තාත්තට ආරංචි වුණොත් දරුවට දඬුවම් කරන්න කලින් ඒ ගැන හොඳට හොයලා බලන්න ඕනෙ. පවුලේ කිසිම කෙනෙක් කෝපය පාලනය කරගන්න බැරුව දරුණු විදිහට හැසිරෙන්න හොඳ නැහැ. ‘යෙහෝවා දෙවි ගැඹුරු ස්නේහයක් ඇති ඉතා දයාවන්ත දෙවි කෙනෙක්’ නිසා තමන්ගේ දරුවන්ව හික්මවද්දී දෙමව්පියනුත් යෙහෝවා දෙවිව අනුකරණය කරන්න ඕනෙ.—යාකො. 5:11.

යෙහෝවා දෙවිගෙන් ලැබුණ වටිනා තෑග්ගක්

21, 22. ගීතාවලිය 119:97-104 දක්වා කියවද්දී බයිබලය ගැන ඔබට හැඟෙන විදිහ විස්තර කරන්නේ මොන කොටසෙද?

21 යෙහෝවා දෙවිගේ නීතියට තමන් ආශා කළේ ඇයි කියලා අතීතයේ හිටපු දෙවිගේ සේවකයෙක් විස්තර කළා. (ගීතාවලිය 119:97-104 කියවන්න.) ඒ නීතිය අධ්‍යයනය කරපු නිසා ඔහුට ලොකු ප්‍රීතියක් ලැබුණා වගේම ප්‍රඥාවන්තව ක්‍රියා කරන්නත් දේවල් පැහැදිලිව වටහාගන්නත් වැරදිවලින් වැළකිලා ඉන්නත් ඔහුට පුළුවන් වුණා. ඒ නිසා ජීවිත කාලය පුරාම දෙවිගේ නීතියට කීකරු වෙන්න ඔහු තීරණය කළා.

22 ඔබ බයිබලය සලකන්නේ වටිනා දෙයක් හැටියටද? එහෙම කරනවා නම් දෙවි ඔහුගේ අරමුණ ඉටු කරනවා කියලා ඔබට තියෙන විශ්වාසය තවත් ශක්තිමත් කරගන්න ඒක ඔබට උදව් වෙයි. එහි ඇති උපදෙස් පිළිපැද්දොත් බරපතළ වැරදි කරන එකෙන් වළකින්න පුළුවන්. ජීවනයට යන මාර්ගයට එන්නත් ඒකේ දිගටම ගමන් කරන්නත් අනිත් අයට උදව් කරන්න ඔබට පුළුවන්. ඒ නිසා මේ ලිපියේ කතා කරපු විදිහට බයිබලය හොඳින් පාවිච්චි කරලා අපේ ප්‍රඥාවන්ත ප්‍රේමණීය දෙවි වන යෙහෝවාට දිගටම සේවය කරමු.

^ 1 ඡේ. වැඩි විස්තර සඳහා 2006 නොවැම්බර් රාජ්‍ය සේවාවේ 7වෙනි පිටුව බලන්න.

^ 7 ඡේ. යේසුස් අනිත් අයට උගන්වද්දී, “ඔබ සිතන්නේ කුමක්ද” වගේ ප්‍රශ්න ඇහුවා. ඒ වගේම ඔවුන්ට උත්තර දෙන්න කාලයත් දුන්නා.—මතෙ. 18:12; 21:28; 22:42.

^ 10 ඡේ. දුර්වලකම් පාලනය කරන්න ලොකු වෑයමක් දරන්න අවශ්‍යයි කියලා පාවුල් ලියපු හුඟක් ලිපිවල සඳහන් කරලා තියෙනවා. (රෝම 6:12; ගලා. 5:16-18) අනිත් අයට දීපු ඒ උපදෙස් ඔහුත් අනිවාර්යයෙන්ම අදාළ කරගන්න ඇති.—රෝම 2:21.