Skip to content

පටුනට යන්න

වඩා වැදගත් දේට මුල් තැන දෙමු

වඩා වැදගත් දේට මුල් තැන දෙමු

‘වඩා වැදගත් දේවල් මොනවාද කියා පැහැදිලිව අවබෝධ කරගන්න.’—ෆිලි. 1:10.

1, 2. නියෝජිතයන් පුදුම වෙන්න ඇත්තේ යේසුස් කිව්ව මොන අනාවැකිය ගැනද? ඒ ඇයි?

යේසුස්, යෙරුසලමේ විනාශය ගැන කියලා වැඩි වෙලාවක් ගිහින් තිබුණේ නැහැ. ඔහුගේ නියෝජිතයන් වුණ පේතෘස්, යාකොබ්, යොහන් සහ අන්දෘට ඒ ගැන තවත් දැනගන්න ඕනෙ වුණා. (මාක් 13:1-4) ඒ නිසා ඔවුන් යේසුස්ගෙන් මෙහෙම ඇහුවා. ‘ඒක වෙන්නේ කවදද? ඒක සිද්ධ වෙන කාලය දැනගන්න මොකක් හරි ලකුණක් තියෙනවද?’ (මතෙ. 24:1-3) යේසුස් ඔවුන්ට යෙරුසලමේ විනාශයට කලින් සිද්ධ වෙන දේවල් ගැන විතරක් නෙවෙයි, මේ දුෂ්ට සමාජය විනාශ වෙන්න කලින් වෙන දේවල් ගැනත් කිව්වා. ඒ කාලයේදී යුද්ධ සහ ආහාර හිඟකම් ඇති වෙනවා කියලත් මිනිසුන්ගේ නපුරුකම් වැඩි වෙනවා කියලත් යේසුස් කිව්වා. ඒ කාලයේදීම සිදු වෙන ප්‍රීතිමත් දෙයක් ගැනත් ඔහු මෙහෙම කිව්වා. “රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි. එවිට අවසානය පැමිණෙයි.”—මතෙ. 24:7-14.

2 ඒ වෙනකොටත් යේසුස්ගේ නියෝජිතයන් දේවරාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරමිනුයි හිටියේ. (ලූක් 8:1; 9:1, 2) ඒත් ‘අපි කොහොමද මුළු පොළොව පුරාම දේශනා කරන්නේ, අනික සියලුම ජාතීන්වල අයට සාක්ෂි දරන්න අපිට පුළුවන් වෙයිද, එච්චර ලොකු වැඩක් කරන්න අපි ටිකදෙනාට පුළුවන් වෙයිද’ වගේ දහසකුත් ප්‍රශ්න ඔවුන්ගේ හිතේ ඇති වෙන්න ඇති. “අස්වැන්න නම් විශාලයි. නමුත් වැඩකරුවන් සිටින්නේ ස්වල්පදෙනෙකු පමණයි. එමනිසා අස්වැන්න නෙළීමට වැඩකරුවන්ව එවන්න කියා අස්වැන්නේ ස්වාමියාට කන්නලව් කරන්න” කියලා යේසුස් කියලා තිබුණ නිසා ඔවුන්ට එහෙම හිතුණ එක පුදුමයක් නෙවෙයි. (ලූක් 10:2) ඒත් මතෙව් 24:14හි සඳහන් අනාවැකිය අද ඉටු වෙන තරම් විශාල විදිහකින් වෙයි කියලා නම් ඔවුන් කොහොමටවත් හිතන්න නැතුව ඇති.

3. ලූක් 21:34හි ඇති යේසුස් කියපු දේ ගැන අපි බැරෑරුම්ව හිතන්න ඕනෙ ඇයි? අපි අපෙන්ම අහගන්න ඕනෙ ප්‍රශ්න මොනවද?

3 මිලියන ගණන්දෙනා අද ලෝකෙ පුරාම ශුභාරංචිය ප්‍රකාශ කරනවා. (යෙසා. 60:22) ඒත් සමහර අය දේශනා කිරීමේ කාර්යයට මුල් තැන දෙන්නේ නැතුව තමන්ගේ පෞද්ගලික දේවලට මුල් තැන දීලා “සිත් බර” කරගන්නවා කියලත් යේසුස් කිව්වා. (ලූක් 21:34 කියවන්න.) ඒ දේත් අද ඉටු වෙන නිසා අපි විශේෂයෙන්ම ඒ ගැන හිතන්න ඕනෙ. දෙවිගේ සේවකයන් අතර ඉන්න සමහර අය වැඩි අවධානයක් දෙන්නේ රැකියාව, උසස් අධ්‍යාපනය, මුදල් සෙවීම, විනෝදය වගේ දේවලටයි. ඒක ඔවුන් ගන්න තීරණවලින් ඔප්පු වෙනවා. තවත් අය එදිනෙදා ජීවිතයේ මුහුණ දෙන්න වෙන දේවල් ගැන ඕනෑවට වඩා කරදර වෙන නිසත් දේශනා සේවයට මුල් තැන දෙන්නේ නැහැ. ඒ නිසා ‘මම මොන වගේ කෙනෙක්ද, මම මගේ ජීවිතයේ මුල් තැන දෙන්නේ දෙවිගේ කැමැත්ත කරන්නද’ කියලා අපෙන්ම අහගමු.

4. (අ) ෆිලිප්පිවරුන් ගැන පාවුල් යාච්ඤා කළේ මොනවද? ඒ ඇයි? (ආ) මේ ලිපියෙත් ඊළඟ ලිපියෙත් අපි කතා කරන්න යන්නේ මොනවා ගැනද? ඒ තොරතුරු අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

4 පළමුවෙනි සියවසේ හිටපු ක්‍රිස්තියානීන්ටත් තමන්ගේ ජීවිතයේ මුල් තැන දෙවිගේ සේවයට දෙන්න ලේසි වුණේ නැහැ. ‘වඩා වැදගත් දේවල් මොනවාද කියා පැහැදිලිව අවබෝධ කරගන්න’ ෆිලිප්පිවරුන්ට උදව් කරන්න කියලා පාවුල් යාච්ඤා කළේ ඒ නිසයි. (ෆිලිප්පි 1:9-11 කියවන්න.) පාවුල් වගේම එදා හිටපු හුඟක් ක්‍රිස්තියානීන් ‘දෙවිගේ පණිවිඩය ගැන නිර්භීතව කතා කළා.’ (ෆිලි. 1:12-14) ඒ විදිහටම අපි අතර ඉන්න වැඩිදෙනෙක් ශුභාරංචිය ගැන නිර්භීතව දේශනා කරනවා. කොහොමවුණත් මතෙව් 24:14හි සඳහන් අනාවැකිය ඉටු කරන්න යෙහෝවා දෙවි තමන්ගේ සංවිධානය යොදාගන්නේ කොහොමද කියලා දැනගද්දී දේශනා කරන්න අපිට තියෙන ආශාව තවත් වැඩි වෙයි. යෙහෝවා දෙවිගේ සංවිධානය අද කරන්නේ මොන වගේ දේවල්ද? ඒ ගැන දැනගන්න එක අපිට දිරිගැන්වීමක් වෙන්නේ කොහොමද? ඒ ගැන ටිකක් අපි මේ ලිපියෙන් කතා කරමු. ඊළඟ ලිපියෙන් අපි බලන්න යන්නේ සංවිධානයෙන් ලැබෙන මඟ පෙන්වීම් පිළිපදිමින් දිගටම දෙවිගේ සේවය කරන්නේ කොහොමද කියලයි.

දෙවිගේ සංවිධානයේ ස්වර්ගයේ තියෙන කොටස

5, 6. (අ) ස්වර්ගයේ සිද්ධ වෙන දේවල් ගැන යෙහෝවා දෙවි අපිට දැනුම් දීලා තියෙන්නේ ඇයි? (ආ) එසකියෙල් දර්ශනයෙන් දැක්කේ මොකක්ද?

5 යෙහෝවා දෙවි බයිබලයට ඇතුළත් කරපු නැති ගොඩක් දේවල් තියෙනවා. උදාහරණයකට මිනිසුන්ගේ මොළය ගැනවත් විශ්වය ගැනවත් හුඟක් විස්තර බයිබලයේ නැහැ. ඒ වෙනුවට දෙවි අපිට දීලා තියෙන්නේ අපිට අවශ්‍ය තොරතුරු විතරයි. දෙවි කැමති දේවල් තේරුම් අරගෙන ඔහුට කීකරු වෙන්න ඒ තොරතුරු හොඳටම ප්‍රමාණවත්. (2 තිමෝ. 3:16, 17) දෙවි අපිට ඔහුගේ සංවිධානය ගැනත් තොරතුරු ලබා දීලා තියෙනවා. දෙවිගේ සංවිධානයේ එක කොටසක් තියෙන්නේ ස්වර්ගයේ. අනිත් කොටස තියෙන්නේ පොළොවේ. ස්වර්ගයේ තියෙන කොටස ගැන තොරතුරු යෙසායා, එසකියෙල්, දානියෙල් සහ එළිදරව් කියන පොත්වලින් අපිට හොයාගන්න පුළුවන්.—යෙසා. 6:1-4; එස. 1:4-14, 22-24; දානි. 7:9-14; එළි. 4:1-11.

6 ස්වර්ගයේ සිද්ධ වෙන දේවල් ගැන යෙහෝවා දෙවි අපිට දැනුම් දීලා තියෙන්නේ ඇයි? අපි සාමාජිකයන් වෙලා ඉන්නේ මේ පොළොවේ විතරක් තියෙන සංවිධානයක නෙවෙයි, මුළු විශ්වයේම තියෙන සංවිධානයක කියලා මතක් කරලා දෙන්නයි. දෙවිගේ සංවිධානයේ ස්වර්ගයේ තියෙන කොටසට අයිති අය දෙවිගේ කැමැත්ත කරන්නේ හරිම උද්‍යෝගයෙන්. ඒ ගැන අපි දන්නේ කොහොමද? අපිට ඒක එසකියෙල් දැක්ක දර්ශනයකින් දැනගන්න පුළුවන්. රෝද තියෙන විශාල රථයක් හා සමාන දෙයක් එසකියෙල් දැක්කා. ඒ රථය හරිම වේගවත්. ඒ වගේම ඕනෑම දිශාවකට පහසුවෙන්ම හැරිලා ගමන් කරන්නත් ඒකට පුළුවන්. (එස. 1:15-21) ඒ රථය පදවපු තැනැත්තාව එසකියෙල් මෙහෙම විස්තර කරනවා. ඒ තැනැත්තා වටා ‘රන් රිදී මිශ්‍ර ලෝහයක තිබෙන දීප්තිය හා සමාන දීප්තියක් විහිදෙමින් තිබිණ. ඒ දීප්තිය ගින්නක් මෙන් විය. ඇත්තෙන්ම එය යෙහෝවා දෙවිගේ තේජසට සමානය.’ (එස. 1:25-28) එසකියෙල් දැක්කේ, දෙවි තම බලය යොදාගෙන ඔහුගේ සංවිධානය හොඳින් හසුරවන විදිහයි. දෙවිගේ සංවිධානයේ ස්වර්ගයේ තියෙන කොටස ක්‍රියාත්මක වෙන විදිහ පැහැදිලි කරන්න ඒ රථය මොන තරම් ලස්සන උදාහරණයක්ද!

7. දානියෙල් දැක්ක දර්ශනය අපිට උදව් වෙන්නේ කොහොමද?

7 දානියෙල් දැක්ක දර්ශනයකිනුත් දෙවිගේ සංවිධානයේ ස්වර්ගයේ තියෙන කොටස ක්‍රියාත්මක වෙන විදිහ ගැන අදහසක් ගන්න පුළුවන්. ඒ දර්ශනයේදී “පුරාතන තැනැත්තා” වන යෙහෝවා දෙවි සිංහාසනයක වාඩි වෙලා ඉන්නවා දානියෙල් දැක්කා. ඒ සිංහාසනයට රෝද තිබුණා. (දානි. 7:9) රෝද නිසා ඉදිරියට යනවා වගේ දෙවිගේ සංවිධානයත් දෙවිගේ කැමැත්ත කරමින් ඉදිරියටම යනවා කියන එක ඒකෙන් පැහැදිලි වෙනවා. ඒ වගේම ‘මනුෂ්‍ය පුත්‍රයෙකු වැනි කෙනෙක්වත්’ ඔහුට දෙවිගේ සංවිධානයේ පොළොවේ තියෙන කොටස භාර දෙනවත් දානියෙල් දැක්කා. ඒ තැනැත්තා යේසුස්. ‘ඔහුගේ පාලනය කිසිදා නැති නොවන සදහටම පවතින පාලනයක්. ඔහුගේ රාජ්‍යය කිසිදාක විනාශ වෙන්නේ නැහැ.’ (දානි. 7:13, 14) මේ දර්ශනය අපිට උදව් වෙන්නේ කොහොමද? සංවිධානය හසුරවන්නේ යෙහෝවා දෙවි කියන එකත් ඔහුගේ මඟ පෙන්වීම්වලට අපි කීකරු වෙන්න ඕනෙ කියන එකත් තේරුම්ගන්න මේ දර්ශනය අපිට උදව් වෙනවා. ඒ වගේම පොළොවේ වැඩකටයුතු යේසුස්ට භාර දීලා තියෙන්නේ යෙහෝවා දෙවි නිසා, යේසුස් අපේ නායකයා හැටියට පිළිගන්නත් අපි පෙලඹෙනවා.

8. ස්වර්ගය ගැන දර්ශන දැක්කට පස්සේ එසකියෙල්ටත් යෙසායාටත් හැඟුණේ කොහොමද? ඒ දර්ශන ගැන අපිට හැඟෙන්න ඕනෙ කොහොමද?

8 ඒ දර්ශන ගැන අධ්‍යයනය කරද්දී අපිට හැඟෙන්න ඕනෙ කොහොමද? එසකියෙල්ට හැඟුණා වගේ අපිටත් යෙහෝවා දෙවි තම සංවිධානය හසුරවන විදිහ ගැන ලොකු අගයක් ඇති වෙන්න ඕනෙ. (එස. 1:28) යෙසායාත් ස්වර්ගයේ සිද්ධ වෙන දේවල් ගැන දර්ශනයක් දැක්කා. ඊටපස්සේ ඒ ගැන අනිත් අයට කියන්න ඔහු කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා. (යෙසායා 6:5, 8 කියවන්න.) යෙහෝවා දෙවිගේ උදව් තියෙන නිසා දෙවිගේ පණිවිඩය අනිත් අයට කියලා දෙන එකෙන් ඔහුව නවත්වන්න කිසි දේකට බැහැ කියලා ලොකු විශ්වාසයකුත් ඔහු තුළ ඇති වුණා. දෙවිට වැඩියෙන් සේවය කරලා ඔහුගේ සංවිධානයට අපේ උපරිමයෙන් සහය දෙන්න ඕනෙ කියලා යෙසායාට වගේ අපිටත් හැඟෙන්න ඕනෙ නේද? දෙවිගේ කැමැත්ත උද්‍යෝගයෙන් කරන විශ්වය පුරාම පැතිරිලා තියෙන සංවිධානයක සාමාජිකයෙක් වෙන්න ලැබුණ එක මොන තරම් වටින දෙයක්ද!

දෙවිගේ සංවිධානයේ පොළොවේ තියෙන කොටස

9, 10. යෙහෝවා දෙවිගේ සංවිධානයට පොළොවෙත් කොටසක් තියෙන්නේ ඇයි?

9 දෙවිගේ සංවිධානයේ ස්වර්ගයේ තියෙන කොටස එක්ක එකතු වෙලා වැඩ කරන්න පොළොවෙත් ඒ සංවිධානයේ කොටසක් දෙවි ඇති කළා. ඒ කොටස තමයි යෙහෝවා දෙවි යේසුස්ට භාර දුන්නේ. එහෙම කළේ මතෙව් 24:14 තියෙන අනාවැකිය ඉටු කරන්නයි. ඒ සඳහා පොළොවෙත් සංවිධානයක් ඕනෙ වුණේ ඇයි? ඒකට හේතු තුනක් දැන් අපි බලමු.

10 පළවෙනි හේතුව, “පොළොවේ දුර ඈත කෙළවර” දක්වා දේශනා කරන්න අවශ්‍ය නිසා. (ක්‍රියා 1:8) දෙවෙනි හේතුව, දේශනා සේවයේ යෙදෙන හැමෝටම බයිබලයෙන් මඟ පෙන්වීම් සහ දිරිගැන්වීම් අවශ්‍ය නිසා. (යොහ. 21:15-17) තුන්වෙනි හේතුව, ඔවුන්ට එකට රැස් වී යෙහෝවා දෙවිට නමස්කාර කරන්නත් දේශනා කරන විදිහ ගැන ඉගෙනගන්නත් අවශ්‍ය නිසා. (හෙබ්‍රෙ. 10:24, 25) මේ හැම දේම කරන්න නම් යේසුස්ගේ අනුගාමිකයන් හොඳට සංවිධානය වෙන්න ඕනෙ.

11. අපිට දෙවිගේ සංවිධානයට සහය දක්වන්න පුළුවන් කොහොමද?

11 දෙවිගේ සංවිධානයට අපේ උපරිමයෙන් සහය දක්වනවා කියලා පෙන්වන්න පුළුවන් කොහොමද? ඒක කරන්න පුළුවන් ප්‍රධාන විදිහක් තමයි දේවසේවය සඳහා මූලිකත්වය අරගෙන වැඩ කරන සහෝදරයන්ව විශ්වාස කරන එක. යෙහෝවා දෙවි සහ යේසුස් ඔවුන්ව විශ්වාස කරනවා නම් අපිත් ඔවුන්ව විශ්වාස කරන්න ඕනෙ නේද? මේ ලෝකෙ තියෙන ප්‍රශ්න ගැටලු විසඳන්න උත්සාහ කරනවා වෙනුවට ඔවුන්ගේ සම්පූර්ණ අවධානය යොමු වෙලා තියෙන්නේ දෙවිගේ කැමැත්ත කරන්නයි. ඔවුන් ඒ කාර්යය හොඳින්ම කරනවා කියන එකට සාක්ෂි අපි දැන් බලමු.

‘වඩා වැදගත් දේට’ මුල් තැන

12, 13. වැඩිමහල්ලන් තමන්ගේ වගකීම් ඉටු කරන්නේ කොහොමද? ඒක අපිට දිරිගැන්වීමක් වෙන්නේ කොහොමද?

12 රටක දේවසේවයේ මූලිකත්වය ගන්නත් ඒක සංවිධානය කරන්නත් අද්දැකීම් තියෙන වැඩිමහල්ලන්ට භාර දීලා තියෙනවා. යම් දෙයක් ගැන තීරණයක් ගන්න කලින් ඒ ගැන බයිබලයේ තියෙන මඟ පෙන්වීම් හොයලා බලනවා. ඔවුන් ඒවා සලකන්නේ ‘ඔවුන්ගේ පාදවලට පහනක් සහ මාවතට එළියක්’ විදිහටයි. ඊටපස්සේ ඒ තීරණය ගන්න උදව් ඉල්ලලා යාච්ඤා කරනවා. ඔවුන් ඒ විදිහට දෙවිගේ සංවිධානයේ ස්වර්ගයේ තියෙන කොටසෙන් ලැබෙන මඟ පෙන්වීම් අනුගමනය කරනවා.—ගීතා. 119:105; මතෙ. 7:7, 8.

13 පළවෙනි සියවසේ හිටපු වැඩිමහල්ලන් වගේම ඔවුනුත් “ඉගැන්වීමේ කාර්යය” වන දේශනා සේවයට මුල් තැන දෙනවා. (ක්‍රියා 6:4) ඔවුන් සිටින රටවලත් ලෝකෙ පුරාමත් දේශනා කිරීමේ කාර්යය සාර්ථකව සිද්ධ වෙනවා දකිද්දී ඔවුන් හුඟක් සතුටු වෙනවා. (ක්‍රියා 21:19, 20) දෙවිගේ සෙනඟ සඳහා නීති මාලාවක් හදනවා වෙනුවට ඔවුන් සම්පූර්ණ අවධානය දෙන්නේ, දෙවිගේ බලයෙනුත් බයිබලයෙනුත් ලැබෙන මඟ පෙන්වීම්වලට අනුව ශුභාරංචිය දේශනා කරන්න අවශ්‍ය දේවල් කරන්නයි. (ක්‍රියා 15:28 කියවන්න.) ඒ සහෝදරයන් ඔවුන් සේවය කරන රටේ තියෙන සභාවල ඉන්න අයට මොන තරම් කදිම ආදර්ශයක්ද!—එෆී. 4:11, 12.

14, 15. (අ) ශුභාරංචිය ලෝකෙ පුරාම දේශනා කිරීම වෙනුවෙන් සහෝදරයන් කරන්නේ මොන වගේ දේවල්ද? (ආ) දේශනා සේවයට සහයෝගය දක්වන්න ඔබ කරන දේවල් ගැන ඔබට හැඟෙන්නේ කොහොමද?

14 අපගේ සඟරා පොත් පත්, රැස්වීම්, සමුළු සූදානම් කරන්න ලෝකෙ පුරාම ඉන්න හුඟක් සහෝදරයන් උනන්දුවෙන් වැඩ කරනවා. උදාහරණයකට අපගේ සඟරා පොත් පත් භාෂා 600කට විතර පරිවර්තනය කරන්න හුඟක් අය වෙහෙස මහන්සි වෙලා වැඩ කරනවා. ඒ නිසා හුඟක් අයට තමන්ගේම භාෂාවෙන් “දෙවිගේ බලවත් ක්‍රියා” ගැන ඉගෙනගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. (ක්‍රියා 2:7-11) ඒ ප්‍රකාශන මුද්‍රණය කරලා සකස් කරන්නත් තරුණ සහෝදර සහෝදරියන් හුඟක් මහන්සි වෙනවා. ඊටපස්සේ ලෝකෙ පුරාම තියෙන සභාවලට ඒවා යවනවා.

15 අපේ රටෙත් ඒ වගේ සේවය කරන අය ඉන්නවා. ඔවුන් ඒ විදිහට වෙහෙසිලා වැඩ කරන එක අපිට දේශනා සේවය සඳහා මුළු අවධානයම දෙන්න ලොකු උදව්වක්. උදාහරණයකට අලුතෙන් නමස්කාර මධ්‍යස්ථාන හදන්න, සමුළු ශාලා හදන්න හුඟක් අය කැමැත්තෙන් ඉදිරිපත් වෙලා වැඩ කරනවා. තවත් අය ස්වභාවික විපත්වලට මුහුණ දීපු අයට උදව් කරන්නත් වෛද්‍යමය ගැටලුවලට මුහුණ දීලා ඉන්න අයට උදව් කරන්නත් ඉදිරිපත් වෙලා ඉන්නවා. සමහරු සමුළු සංවිධානය කරන්න වෙහෙසෙනවා. තවත් අය සංවිධානය මගින් පවත්වන පාසැල්වල උගන්වනවා. මේ හැම දෙයක්ම ඔවුන් කරන්නේ ඇයි? ශුභාරංචිය දේශනා කරන්නත් සත්‍යය තුළ දියුණු වෙන්නත් සාක්ෂිකරුවන් වෙන්න අනිත් අයට උදව් කරන්නත් අපිට අවස්ථාව ලැබිලා තියෙන්නේ ඔවුන් ඒ වගේ සේවය කරන නිසයි. ඇත්තටම යෙහෝවා දෙවිගේ සංවිධානයේ පොළොවේ තියෙන කොටස ස්වර්ගයේ තියෙන කොටස වගේම වඩා වැදගත් දේවලට මුල් තැන දීලා වැඩ කරනවා.

දෙවිගේ සංවිධානය ආදර්ශයට ගන්න

16. පවුලේ නමස්කාරයේදී හරි පෞද්ගලික අධ්‍යයනයේදී හරි අපිට අධ්‍යයනය කරන්න පුළුවන් මොනවා ගැනද?

16 ටික වෙලාවක් අරගෙන යෙහෝවා දෙවිගේ සංවිධානය කරලා තියෙන දේවල් ගැන හිතලා බලන එක හොඳයි කියලා ඔබට හිතෙන්නේ නැද්ද? පවුලේ නමස්කාරයේදී හරි පෞද්ගලික අධ්‍යයනය කරන වෙලාවෙදී හරි සංවිධානය ගැන අධ්‍යයනය කරන්නත් ඒ ගැන හොඳට හිතලා බලන්නත් කාලය ගන්න. උදාහරණයකට යෙසායා, එසකියෙල්, දානියෙල්, යොහන් වගේ අය දැක්ක දර්ශන අධ්‍යයනය කරන එකෙන් ඔබට ලොකු සතුටක් ලැබෙයි. ඒ වගේම සංවිධානය ගැන තොරතුරු තියෙන DVDවලිනුත් ප්‍රොක්ලේමස් වගේ පොත්වලිනුත් අපිට හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්.

17, 18. (අ) මේ ලිපිය ඔබට උදව් වුණේ කොහොමද? (ආ) ඔබෙන්ම අහගන්න පුළුවන් මොන වගේ ප්‍රශ්නද?

17 ලොව පුරා දේශනා කිරීමේ කාර්යය සාර්ථකව ඉටු කරන්න යෙහෝවා දෙවි තමන්ගේ සංවිධානය පාවිච්චි කරන විදිහ ගැන හොඳට හිතමු. ස්වර්ගයෙත් පොළොවෙත් තියෙන මේ ශ්‍රේෂ්ඨ සංවිධානය එක්ක එකතු වෙලා අපිත් වඩා වැදගත් දේට මුල් තැන දෙමු. එහෙම කරනවා නම් “දෙවි අපට දැක්වූ දයාව නිසා අපට මේ සේවය භාර දී තිබේ. අප අපගේ උත්සාහය අත් නොහැරීමට හේතුව එයයි” කියලා කිව්ව පාවුල්ට වගේ අපිටත් හැඟෙයි. (2 කොරි. 4:1) ඒ වගේම “අපගේ උත්සාහය අත් නොහැර දිගටම යහපත් දේ කරමු. මන්ද අප විඩාවට පත් වී හෙම්බත් වන්නේ නැත්නම් නියමිත කාලයේදී ප්‍රතිඵල නෙළාගන්න අපට හැකි වේ” කියලත් ඔහු අපිව දිරිගැන්නුවා.—ගලා. 6:9.

18 වඩා වැදගත් දේවලට ජීවිතයේ මුල් තැන දෙන්න පුළුවන් වෙන විදිහට ඔබෙත් ඔබේ පවුලේ අයගෙත් ජීවිතවල යම් වෙනස්කම් කරගත්තොත් හොඳයි කියලා ඔබට හිතෙන්නේ නැද්ද? දේශනා සේවයේ මීටත් වඩා වැඩියෙන් හවුල් වෙන්න ජීවිතය තව ටිකක් සරල කරගන්න ඔබට පුළුවන්ද? දෙවිගේ සංවිධානය වගේ දෙවිගේ සේවයට මුල් තැන දීලා උද්‍යෝගයෙන් වැඩ කරන්න අපිට උදව් වෙන කාරණා පහක් ගැන අපි ඊළඟ ලිපියෙන් බලමු.