Skip to content

පටුනට යන්න

ස්වාභාවික විපත් දෙවියන් කුරිරුයි කියලා අඟවනවද?

ස්වාභාවික විපත් දෙවියන් කුරිරුයි කියලා අඟවනවද?

සමහරු කියන දේ: “දෙවියන් මේ ලෝකෙ පාලනය කරන නිසා ස්වාභාවික විපත්ති ඇති කරන්නේ දෙවියි. ඒ නිසා දෙවියන් කුරිරුයි.”

බයිබලේ කියන දේ: “මේ මුළු ලෝකයම දුෂ්ටයාගේ බලපෑමට යටත්.” (1 යොහන් 5:19) “දුෂ්ටයා” කියන්නේ සාතන් නම් යක්ෂයාටයි. (මතෙව් 13:19; මාක් 4:15) ඔහු හරිම ආත්මාර්ථකාමී, කෑදර, දුරදිග බලන්නේ නැති කෙනෙක්. ඔහුගේ බලපෑම යටතේ ඉන්න මිනිසුන් ක්‍රියා කරන්නෙත් ඒ විදිහටයි. මිනිසුන් මේ පරිසරයට කරලා තියෙන හානියෙන් ඒ කාරණය පැහැදිලි වෙන්නේ නැද්ද? පර්යේෂකයන් කියන විදිහට මෙච්චර ස්වාභාවික විපත් ඇති වෙන්නෙත් ඒවායින් හුඟදෙනෙක් පීඩා විඳින්නෙත් මිනිසුන් පරිසරයට කරලා තියෙන හානිය නිසයි.

එහෙමනම් සාතන්ට මේ පොළොව පාලනය කරන්න දෙවියන් ඉඩහැරලා තියෙන්නේ ඇයි? ඒකට හේතුව තේරුම්ගන්න මිනිස් ඉතිහාසයේ ආරම්භයට යමු. අපේ මුල්ම දෙමාපියන් දෙවිගේ පාලනය ප්‍රතික්ෂේප කළා. එදා ඉඳලා හුඟක් මිනිසුන් දෙවිගේ පාලනය ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට දෙවිගේ පරම හතුරා වන යක්ෂයා “ලෝකයේ පාලකයා” විදිහට මිනිසුන්ව පාලනය කරනවා. (යොහන් 14:30) සාතන් මේ පොළොව හැමදාටම පාලනය කරයිද? නැහැ.

සාතන්ගේ ම්ලේච්ඡ පාලනයෙන් මිනිසුන් බැට කද්දී යෙහෝවා * දෙවියන් ඇස් කන් පියාගෙන ඉන්නේ නැහැ. ඔහුට මිනිසුන් ගැන ලොකු අනුකම්පාවක් දැනෙනවා. උදාහරණෙකට අතීතයේදී ඊශ්‍රායෙල් ජාතිය දුක් පීඩාවලට මුහුණ දුන්නම ඒ ‘සෑම දුකක්ම දෙවිටත් දැනුණා’ කියලා බයිබලේ කියනවා. (යෙසායා 63:9) මිනිසුන් ගැන තියෙන අනුකම්පාව නිසා දෙවියන් ළඟදීම යක්ෂයාගේ කුරිරු පාලනය නැති කරලා දානවා. ඒ වෙනුවට යුක්තියෙන් හා සාධාරණකමින් මිනිසුන්ව පාලනය කරන්න යෙහෝවා දෙවියන් තම එකම පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්ව පත් කරලා තියෙනවා.

බයිබලේ කියන දේ දැනගන්න එක වැදගත්: සාතන්ගේ පාලනය යටතේ අද අපි ස්වාභාවික විපත්වලින් පීඩා වින්දත් යේසුස්ගේ පාලනය යටතේදී කවුරුත් පීඩා විඳින්නේ නැහැ. යේසුස් පොළොවේ හිටිය කාලේ බිහිසුණු කුණාටුවකින් ඔහුගේ ගෝලයන්ව ආරක්ෂා කළා. ඒ සිද්ධිය බයිබලේ මෙහෙම වාර්තා වෙනවා. “ඔහු සුළඟටත් මුහුදටත් තදින් කතා කරමින්, ‘නිශ්ශබ්ද වන්න! නිශ්චල වන්න’ කියා පැවසුවේය. එවිට සැඩ සුළං නතර වී, මහත් නිශ්චලතාවක් ඇති විය.” ඒ වෙලාවේ ගෝලයෝ ‘සුළඟත් මුහුදත් ඔහුට කීකරු වෙනවා, ඇත්තටම මේ කවුද කියලා එකිනෙකා අතර කතා කරන්න පටන්ගත්තා.’ (මාක් 4:37-41) ඒකෙන් තහවුරු වෙන්නේ යේසුස් රජු හැටියට මිනිසුන්ව පාලනය කරන කාලෙදී කීකරු මිනිසුන්ව ආරක්ෂා කරනවා කියලයි.—දානියෙල් 7:13, 14.

^ 5 ඡේ. සැබෑ දෙවියන්ගේ නම යෙහෝවා කියලා බයිබලයේ සඳහන් වෙනවා.