Skip to content

පටුනට යන්න

දෙවියන් කුරිරු නිසාද මිනිසුන්ට දඬුවම් කරන්නේ?

දෙවියන් කුරිරු නිසාද මිනිසුන්ට දඬුවම් කරන්නේ?

ඒ ප්‍රශ්නෙට උත්තරේ දැනගන්න දෙවියන් මිනිසුන්ට දඬුවම් කළ සිද්ධීන් දෙකක් ගැන බලමු.

නෝවාගේ කාලයේ සිදු වුණ ජලගැල්ම

සමහරු කියන දේ: “දෙවියන් කුරිරු නිසයි නෝවායි නෝවාගේ පවුලේ අයයි ඇරෙන්න අනිත් හැමෝවම ජලගැල්මෙන් විනාශ කළේ.”

බයිබලේ කියන දේ: ‘දුෂ්ටයෙකු වැරදි මාර්ගයෙන් හැරී දිගටම ජීවත් වෙනවාට මිස ඔහු මිය යනවාට දෙවියන් කිසිසේත් කැමති නැහැ.’ (එසකියෙල් 33:11) නෝවාගේ කාලයේ හිටපු දුෂ්ටයන්ව විනාශ කිරීමෙන් දෙවියන් සතුටක් ලැබුවේ නැහැ කියලා ඒකෙන් පැහැදිලියි. එහෙමනම් දෙවියන් එහෙම කළේ ඇයි?

අතීතයේදී දෙවියන් දුෂ්ට මිනිසුන්ට දඬුවම් කිරීමෙන් ‘දෙවිට කිසි ගෞරවයක් නොදක්වන අයට ඉදිරියේදී සිදු වන දේ ගැන පැහැදිලිව පෙන්වා දුන්නා’ කියලා බයිබලේ කියනවා.—2 පේතෘස් 2:5, 6.

ඒකෙන් අපිට තේරෙනවා කුරිරුකම් කරන දුෂ්ට අයට දෙවිගෙන් ගැලවීමක් නැහැ කියලා. තමන් කරන කුරිරු දේවලට දෙවිට ගණන් දෙන්න එයාලට සිද්ධ වෙනවා. ළඟදීම ඔහු දුෂ්ටයන්ට දඬුවම් කරලා සියලුම අසාධාරණකම් හා දුක් වේදනා නිමා කරනවා.

දෙවියන් දුෂ්ටයන්ට දඬුවම් කරපු සිද්ධීන් කියවද්දි පැහැදිලි වෙන තවත් දෙයක් තමයි දුෂ්ටයන්ට දඬුවම් කරන්න කලින් වැරදි අත්හැරලා දඬුවමෙන් ගැලවෙන්න අවස්ථාව දෙනවා කියන එක. උදාහරණෙකට ජලගැල්ම ගේන්න කලින් දෙවියන් නෝවා මාර්ගයෙන් ඒ ගැන අනතුරු ඇඟෙව්වා. ධර්මිෂ්ඨකම ගැන දේශනා කළ කෙනෙක් හැටියට නෝවාව හඳුන්වලා තියෙන්නේ ඒ නිසයි. ඒත් “ජලගැල්ම ඇවිත් ඔවුන් සියල්ලන්වම ගසාගෙන යන තුරු” ඔවුන් ඒ ගැන කිසි තැකීමක් කළේ නැහැ.—මතෙව් 24:39.

දුෂ්ටයන්ට දඬුවම් කිරීම හා ඊට කලින් ඒ ගැන අනතුරු ඇඟවීම දෙවියන් හැමවිටම කරලා තියෙනවද? මේ සිද්ධිය බලන්න. අවට ජාතීන් වගේ ඊශ්‍රායෙල් සෙනඟ දුෂ්ට ක්‍රියා කළොත් යෙරුසලම විනාශ කරලා වහලුන් හැටියට එයාලව වෙනත් දේශවලට ගෙන යන්න සතුරු ජාතීන්ට ඉඩහරිනවා කියලා දෙවියන් අනතුරු අඟවලා තිබුණා. ඒත් ඊශ්‍රායෙල්වරු ඒ අනතුරු ඇඟවීම නොසලකාහැරියා. එයාලා කොච්චර දුෂ්ට වුණාද කියනවා නම් දරුවන්ව ගින්නෙන් පුලුස්සලා බොරු දෙවිවරුන්ට පූජා කළා. දෙවියන් එයාලට දඬුවම් කළාද? ඔව්. හැබැයි ඊට කලින් දෙවියන් අනාගතවක්තෘවරු මාර්ගයෙන් නැවත නැවත අනතුරු ඇඟවීම් කළා. “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි තම සේවකයන් වන අනාගතවක්තෘවරුන්ට තම අරමුණු හෙළි නොකර කිසිවක් නොකරන්නේය” කියලා බයිබලේ කියන දේ කොච්චර ඇත්තද!—ආමොස් 3:7.

බයිබලේ කියන දේ දැනගන්න එක වැදගත්: දුෂ්ටයන්ට දෙවියන් දඬුවම් කරපු සිද්ධීන් කියවද්දී ලොකු සහනයක් දැනෙනවා. දුක් වේදනා ඇති කරන කුරිරු අයට දෙවියන් අනිවාර්යයෙන්ම දඬුවම් කරනවා කියලා ඒවායින් තහවුරු වෙනවා. බයිබලයේ කියන්නේ “දුෂ්ටයන්ව විනාශ කරනු ලබන්නේය. . . . නමුත් නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය. දසත පැතිරී තිබෙන සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය” කියලයි. (ගීතාවලිය 37:9-11) පීඩා විඳින අහිංසක අය වෙනුවෙන් දුෂ්ටයන්ට දඬුවම් කරන එක ගැන ඔයා හිතන්නේ මොකක්ද? ඒක කුරිරු ක්‍රියාවක්ද නැත්නම් යුක්තිසහගත දෙයක්ද?

කානානිවරුන්ව සහමුලින්ම විනාශ කිරීම

සමහරු කියන දේ: “කානානිවරුන්ව සහමුලින්ම විනාශ කරපු එක මෑත කාලවල සිද්ධ වුණු සමූලඝාතන හා සමාන ම්ලේච්ඡ ක්‍රියාවක්.”

බයිබලේ කියන දේ: “දෙවි තමන් කරන සියල්ලේදී යුක්තිය ඉටු කරයි. ඔහු විශ්වාසවන්ත දෙවි කෙනෙකි. ඔහු අතින් කිසිම අසාධාරණයක් නම් සිදු නොවෙයි.” (ද්විතීය කතාව 32:4) කානානිවරුන්ව විනාශ කරන්න දෙවි ගත්ත පියවර යුක්තිය වෙනුවෙන් මිනිසුන් කරන සටන්වලට කවදාවත් සමාන කරන්න බැහැ. මොකද දෙවිට පුළුවන් මිනිසුන්ගේ හිත්වල තියෙන දේ බලලා එයාලා ඇත්තටම දුෂ්ටයිද නැද්ද කියලා තේරුම්ගන්න. ඒත් මිනිසුන්ට ඒ හැකියාව නැහැ.

ඒක තේරුම්ගන්න මේ සිද්ධිය බලන්න. දෙවියන් සොදොම් හා ගොමෝරා යන නගර දෙක විනාශ කරන්න තීරණය කළාම ඒ තීරණය යුක්තිසහගතද කියලා දෙවිගේ විශ්වාසවන්ත සේවකයෙක් වුණ ආබ්‍රහම් හිතුවා. යෙහෝවා දෙවි යුක්තිසහගත කෙනෙක් නිසා ‘දුෂ්ටයන් සමඟ ධර්මිෂ්ඨයන්ව නැති කරයි’ කියලා ආබ්‍රහම්ට හිතන්නවත් බැරි වුණා. ඒ වෙලාවේ දෙවියන් එයාට කිව්වා සොදොම් නගරේ ධර්මිෂ්ඨ මිනිසුන් දහදෙනෙක්වත් ඉන්නවා නම් ඒක විනාශ කරන්නේ නැහැ කියලා. (උත්පත්ති 18:20-33) හැබැයි දහදෙනෙක්වත් හිටියේ නැහැ. ඒ නගර විනාශ කරන්න දෙවියන් තීරණය කළේ එහෙ හිටපු හැමෝගෙම හිත් සෝදිසි කරලා එයාලා දුෂ්ටයි කියලා දැක්කට පස්සෙයි.—1 ලේකම් 28:9.

කානානිවරුන්ටත් දඬුවම් කරන්න දෙවියන් තීරණය කළේ එයාලා දුෂ්ටයි කියලා දැනගෙන හිටිය නිසයි. කුරිරු ක්‍රියාවලට නම් දරාපු ඒ ජාතිය දරුවන්ව අමු අමුවේ පුලුස්සා දෙවිවරුන්ට පූජා කළා. * (2 රාජාවලිය 16:3) යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල් සෙනඟට පොරොන්දු දේශය යටත් කරගන්න අණ කරලා තියෙනවා කියලා කානානිවරුන් දැනගෙන හිටියා. ඒ වුණත් ඒ දේශයේ දිගටම ජීවත් වෙන්න තීරණය කරපු කානානිවරුන් ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව නිතරම සටන් කළා. ඒකෙන් එයාලා පෙන්නුවේ ඔවුන්ට උදව් කරපු යෙහෝවා දෙවිට විරුද්ධව නැඟී සිටිනවා කියලයි.

කානානිවරුන්ව විනාශ කරන්න දෙවියන් තීරණය කළත් වැරදි අත්හැරලා ඔහුගේ ප්‍රතිපත්ති රකින්න කැමති වුණු අයට ඔහු දයාව පෙන්නුවා. උදාහරණයකට ගණිකාවක් වුණු රාහබ්වත් එයාගේ පවුලේ අයවත් දෙවියන් බේරගත්තා. ගිබියොන් නගරයේ හිටිය කානානිවරුන් දෙවිගේ සෙනඟට එකතු වෙලා දෙවිගේ දයාව ලබන්න පියවර ගත්ත නිසා දෙවියන් එයාලවත් ආරක්ෂා කළා.—යොෂුවා 6:25; 9:3, 24-26.

බයිබලේ කියන දේ දැනගන්න එක වැදගත්: අපි ජීවත් වෙන්නේ “විනිශ්චය සිදු වන දවස හා දෙවිට කිසි ගෞරවයක් නොදක්වන මිනිසුන්ගේ විනාශය සිදු වන දවස” ආසන්නයෙයි. (2 පේතෘස් 3:7) ඒත් අපි යෙහෝවා දෙවිට ආදරේ නම්, දෙවිගේ පාලනය පිළිගන්නවා නම් ඒ දවස ගැන භය වෙන්න කිසිම හේතුවක් නැහැ. එදාට දෙවියන් අනිවාර්යයෙන්ම අපිව ආරක්ෂා කරනවා.

කුරිරු ක්‍රියාවලට නම් දරාපු කානානිවරුන් දෙවිටත් දෙවිගේ සෙනඟටත් විරුද්ධව නැඟී සිටියා

යෙහෝවා දෙවි ආදරෙන් මෙහෙම කියලා තියෙනවා. “ඔබ තෝරාගත යුත්තේ ඔබටත් ඔබේ දූපුතුන්ටත් දිගු කල් ජීවත් වීමට හැකියාව ලබා දෙන ජීවනයට යන මාර්ගයයි. ඒ සඳහා ඔබේ දෙවි වන යෙහෝවාට ප්‍රේම කරන්න. ඔහුගේ හඬට සවන් දී ඔහුට ළංව සිටින්න.” (ද්විතීය කතාව 30:19, 20) ඒක දෙමාපියන්ට දීලා තියෙන ප්‍රේමණීය සිහිගැන්වීමක්. දෙමාපියන් දෙවිට විශ්වාසවන්තව ඉන්නවා නම් දරුවන්ටත් දෙවිට විශ්වාසවන්තව ඉන්න ඒක උපකාරයක්. මිනිසුන්ට තියෙන ආදරේ නිසා ඒ වගේ සිහිගැන්වීම් දීලා තියෙන දෙවි කෙනෙක් කුරිරුයි කියන්න පුළුවන්ද?

^ 15 ඡේ. පුරාවිද්‍යාඥයන් කළ කැනීම්වලින් කානානිවරුන් කුඩා දරුවන්ව පුලුස්සා දෙවිවරුන්ට පූජා කළ බවට සාක්ෂි තියෙනවා.