Skip to content

පටුනට යන්න

ශුභාරංචිය දේශනා කිරීමේදී සාර්ථක වෙන්න

ශුභාරංචිය දේශනා කිරීමේදී සාර්ථක වෙන්න

“දේශනා කරන කෙනෙකුගේ කාර්යයෙහි නිරත වන්න. ඔබට පවරා ඇති දේවසේවය සම්පූර්ණයෙන්ම ඉටු කරන්න.”—2 තිමෝ. 4:5.

1. ශුභාරංචිය ප්‍රකාශ කරන ශ්‍රේෂ්ඨතම තැනැත්තා යෙහෝවා දෙවි කියලා කියන්නේ ඇයි?

ශුභාරංචිය ප්‍රකාශ කරන ශ්‍රේෂ්ඨතම තැනැත්තා යෙහෝවා දෙවියි. ඔහු මුල්ම ශුභාරංචිය ප්‍රකාශ කළේ ආදම් සහ ඒව පව් කළාට පස්සෙයි. ඒ සාතන්ව විනාශ කරනවා කියන ශුභාරංචියයි. (උත්. 3:15) දෙවිගේ නමට ඇති වෙලා තියෙන කැළල නැති කරන විදිහත් සාතන් නිසා ඇති වෙලා තියෙන ප්‍රශ්න විසඳන විදිහත් මිනිසුන්ට සදාකාල ජීවනය ලැබෙන විදිහත් ඔහු ගත වුණ සියවස් ගණනාව පුරා ප්‍රකාශ කළා. මේ හැම ශුභාරංචියක්ම බයිබලයේ සඳහන් වෙනවා.

2. (අ) දේවදූතයනුත් ශුභාරංචිය ප්‍රකාශ කරනවා කියලා කියන්න පුළුවන් කොහොමද? (ආ) යේසුස් අපිට ආදර්ශයක් වෙන්නේ කොහොමද?

2 දේවදූතයනුත් ශුභාරංචිය ප්‍රකාශ කරනවා. ඒ වගේම ඒ ගැන කියන්න අනිත් අයටත් උදව් කරනවා. (ලූක් 1:19; 2:10; ක්‍රියා 8:26, 27, 35; එළි. 14:6) අග්‍රදේවදූතයා වන මිකායෙල්, යේසුස් විදිහට මේ පොළොවේ ඉද්දී ඔහුත් මුල් තැන දුන්නේ ශුභාරංචිය ප්‍රකාශ කරන්නයි. යේසුස් වගේ අපිත් මුල් තැන දෙන්න ඕනෙ ශුභාරංචිය දේශනා කරන්නයි.—ලූක් 4:16-21.

3. (අ) අපි දේශනා කරන ශුභාරංචිය මොකක්ද? (ආ) අපි මේ ලිපියෙන් දැනගන්න යන්නේ මොනවද?

3 ශුභාරංචිය දේශනා කරන්න කියලා යේසුස් තම අනුගාමිකයන්ට ආඥාවක් දුන්නා. (මතෙ. 28:19, 20; ක්‍රියා 1:8) පාවුල් තිමෝතිට කිව්වෙත් “දේශනා කරන කෙනෙකුගේ කාර්යයෙහි නිරත වන්න. ඔබට පවරා ඇති දේවසේවය සම්පූර්ණයෙන්ම ඉටු කරන්න” කියලයි. (2 තිමෝ. 4:5) අපි දේශනා කරන්නේ මොන වගේ ශුභාරංචියක්ද? අපේ පියා වන යෙහෝවා දෙවි මිනිසුන්ට ආදරය කරනවා කියලා අපි දේශනා කරනවා. (යොහ. 3:16; 1 පේතෘ. 5:7) දේවරාජ්‍යය කියන සැලැස්ම ඔහු ඇති කළෙත් ඒ ආදරය නිසයි. කෙනෙක් දේවරාජ්‍යයේ පුරවැසියෙක් වෙනවා නම්, දෙවිට කීකරු වෙනවා නම්, හරි දේ කරනවා නම්, ඒ කෙනාට දෙවිගේ මිතුරෙක් වෙන්න පුළුවන්. (ගීතා. 15:1, 2) දෙවි හැම දුක් වේදනාවක්ම නැති කරනවා. අතීතයේ අමිහිරි මතකයන් නිසා ඇති වෙන දුකත් ඒකට අයිතියි. ඒ දේවල් ගැන දැනගන්න ලැබෙන එක ඇත්තටම ශුභාරංචියක් නෙවෙයිද! (යෙසා. 65:17) මේ ශුභාරංචිය ගැන මිනිසුන්ට කියන්න ඕනෙ ඇයි? ශුභාරංචිය ප්‍රකාශ කිරීමේදී සාර්ථක වෙන්න පුළුවන් කොහොමද?

ශුභාරංචිය ගැන දැනුම් දෙන්න ඕනෙ ඇයි?

තමන් විශ්වාස කරන දේ ගැන හිතන්න මිනිසුන් පෙලඹෙනවා

4. දෙවි ගැන මිනිසුන් කියන බොරු මොනවද?

4 හිතන්න කවුරු හරි ඔබේ තාත්තා ගැන බොරු කියනවා කියලා. ඔබේ තාත්තා ඔබවයි ඔබේ පවුලේ අයවයි දාලා ගියා කියලත් ඔබ ගැන හොයලා බැලුවේ නැහැ කියලත් ඔහු ගැන ඇත්ත තොරතුරු හැංගුවා කියලත් ඔහු කෲර කෙනෙක් කියලත් ඔබට කියනවා. ඔබේ පියා දැන් මිය ගිහින් නිසා ඔහු ගැන හොයලා වැඩක් නැහැ කියලත් ඔහු කියනවා. ඔබට හැඟෙන්නේ කොහොමද? අපේ පියා වන යෙහෝවා දෙවි ගැනත් ගොඩක් අය කියන්නේ ඒ වගේ බොරු. දෙවි ගැන දැනගන්න බැහැ කියලත් ඔහු මිනිසුන්ට අපායක සදාකාලයටම වධ දෙනවා කියලත් සමහරු උගන්වනවා. ස්වභාවික විපත් ඇති කරන්නේ දෙවි කියලා තවත් අය කියනවා. ඒ දේවලින් නරක අය වගේම හොඳ අය මැරුණත් ඔවුන් කියන්නේ මිනිසුන්ට දඬුවම් කරන්න දෙවි ඒවා යොදාගන්නවා කියලයි.

හොඳින් හිතලා බලලා ශුභාරංචිය පිළිගන්න ඔවුන් තුළ ආශාවක් ඇති වෙනවා

5, 6. පරිණාමවාදය සහ බොරු ආගමික ඉගැන්වීම් විශ්වාස කිරීම නිසා සිදු වෙලා තියෙන්නේ මොනවද?

5 දෙවි කෙනෙක් නැහැ කියලා කියන තවත් සමහරු හිතන්නේ මිනිසුන් පැවතෙන්නේ සතුන්ගෙන් කියලයි. පරිණාමවාදය විශ්වාස කරන ඒ අය, පවතින කිසිම දෙයක් කවුරුවත් නිර්මාණය කළා කියලා විශ්වාස කරන්නේ නැහැ. මිනිසුන් දරුණු විදිහට සහ ආත්මාර්ථකාමීව හැසිරෙන්නේ ඔවුන් සතුන්ගෙන් පැවතෙන නිසා කියලා කියන අයත් ඉන්නවා. බලවතුන් දුර්වලයන්ව යටත් කරගෙන ජීවත් වෙන එක සාමාන්‍ය දෙයක් නිසා අසාධාරණකම් තියෙන එක ගැන පුදුම වෙන්න ඕනෙ නැහැ කියලත් ඒවා හැමදාම තියෙයි කියලත් ඔවුන් කියනවා. දෙවි පොරොන්දු වෙලා තියෙන අනාගතය ගැන ඒ වගේ අයට කිසිම බලාපොරොත්තුවක් නැහැ.

6 පරිණාමවාදය සහ බොරු ආගමික ඉගැන්වීම් විශ්වාස කිරීමත් මේ අන්තිම දවස්වල ජීවත් වෙන මිනිසුන්ගේ දුකට හේතු වෙලා තියෙනවා. (රෝම 1:28-31; 2 තිමෝ. 3:1-5) ඒ වගේම යෙහෝවා දෙවිගෙන් සහ අපි දේශනා කරන ශුභාරංචියෙන් මිනිසුන්ව ඈත් කරන්න ඒවා හේතු වෙලා තියෙනවා.—එෆීස 2:11-13 කියවන්න; එෆී. 4:17-19.

බයිබලය මත පදනම් විශ්වාසයක් ඇති කරගන්න ඔවුන්ට පුළුවන් වෙනවා

7, 8. දෙවි ගැනත් ඔහුගේ අරමුණු ගැනත් මිනිසුන්ට දැනගන්න පුළුවන් හොඳම විදිහ මොකක්ද?

7 මිනිසුන් දෙවි එක්ක හොඳ බැඳීමක් ඇති කරගන්න නම් මුලින්ම දෙවි කෙනෙක් ඉන්නවා කියලත් දෙවිව හඳුනගන්න එක ප්‍රයෝජනවත් කියලත් ඔවුන් දැනගන්න ඕනෙ. ඒකට ඔවුන්ට උදව් කරන්න පුළුවන් එක විදිහක් තමයි දෙවි නිර්මාණය කරපු දේවල් ගැන හොඳින් හිතන්න ඔවුන් තුළ ආශාවක් ඇති කරන එක. එතකොට දෙවිගේ බලය හා ප්‍රඥාව තේරුම්ගන්න ඔවුන්ට පුළුවන් වෙනවා. (රෝම 1:19, 20) අපිට ඒක කරන්න පුළුවන් කොහොමද? සියල්ල ඇති වුණේ අහම්බෙන්ද? කියන සඟරාවත් ජීවයේ ආරම්භය—වැදගත් ප්‍රශ්න පහකට පිළිතුරු කියන සඟරාවත් ඒකට උදව් වෙනවා. දෙවිගේ නිර්මාණ අධ්‍යයනය කරන එක ප්‍රයෝජනවත් තමයි. ඒත්, දෙවි දුක් වේදනාවලට ඉඩ දීලා තියෙන්නේ ඇයි, මේ පොළොව සම්බන්ධයෙන් ඉදිරියේදී දෙවි කරන්නේ මොනවද, දෙවි අපි එක් එක් කෙනා ගැන සැලකිලිමත්ද වගේ වැදගත් ප්‍රශ්නවලට උත්තර දැනගන්න නම්, දෙවිගේ නිර්මාණ ගැන අධ්‍යයනය කරලා විතරක් මදි.

8 ඒ ප්‍රශ්නවලට උත්තර වගේම දෙවි ගැනත් ඔහුගේ අරමුණු ගැනත් දැනගන්න පුළුවන් හොඳම විදිහ බයිබලය අධ්‍යයනය කරන එකයි. ඒකට මිනිසුන්ට උදව් කරන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ අපිට. ඒක ඇත්තටම වරප්‍රසාදයක් නෙවෙයිද! ඒත් කෙනෙක්ගේ හිතේ දෙවි ගැන විශ්වාසයක් ඇති කරලා ඔහුව දෙවිට ළං කරන්න නම් තොරතුරුවලින් ඔහුව දැනුවත් කරන එක විතරක් මදි. අපි උගන්වන දේ ගැන ඒ කෙනා තුළ ලොකු විශ්වාසයක් ඇති කරන්නත් ඕනෙ. (2 තිමෝ. 3:14) යේසුස් එහෙම කළා. ඔහු පාවිච්චි කරපු එක ක්‍රමයක් තමයි ප්‍රශ්න යොදාගන්න එක. අපිට ඒක කරන්න පුළුවන් කොහොමද?

ප්‍රශ්න හොඳින් යොදාගන්න

9. මිනිසුන්ට ශුභාරංචිය පිළිගන්න උදව් කරන්න නම් අපි කරන්න ඕනෙ මොනවද?

9 ඔබ වෛද්‍යවරයෙක් හමු වෙන්න ගියා කියලා හිතන්න. ඔහු ඔබේ සෞඛ්‍ය තත්වය ගැන කිසිම දෙයක් අහන්නේ නැතුව ඔබට බරපතළ ශල්‍යකර්මයක් කරන්න ඕනෙ කියලා කියනවා. ඔබ ඔහුව විශ්වාස කරනවද? නැහැ නේද? දක්ෂ වෛද්‍යවරයෙක් වුණත් රෝගියෙකුට ප්‍රතිකාර කරන්න කලින් ප්‍රශ්න අහලා රෝගය ගැන දැනගන්නවා. ඒ වගේ අපි ගෙනියන ශුභාරංචියට මිනිසුන් ඇහුම්කන් දීලා ඒක පිළිගන්නවා දකින්න අපි කැමති නම් අපිත් ඔවුන්ගේ හිතේ තියෙන දේ දැනගන්න පුළුවන් විදිහේ ප්‍රශ්න අහන්න ඕනෙ.

අපි උගන්වන දේ ගැන සවන් දෙන්නා තුළ ලොකු විශ්වාසයක් ඇති කරන්න ඕනෙ

10, 11. යේසුස්ව ආදර්ශයට ගන්නවා නම් අපිටත් කරන්න පුළුවන් වෙන්නේ මොනවද?

10 දක්ෂ ගුරුවරයෙක්, යමක් ගැන හොඳට හිතලා උත්තර දෙන්න ශිෂ්‍යයාට පුරුදු කරන්නත් ප්‍රශ්න යොදාගන්නවා. යේසුස් ඒ වගේ හොඳින් ප්‍රශ්න යොදාගත්ත අවස්ථා කිහිපයක් බලමු. නිහතමානිකම ගැන උගන්වද්දී ගෝලයන්ට හිතන්න පොලඹවන ප්‍රශ්න ඔහු ඇහුවා. (මාක් 9:33) එක අවස්ථාවකදී ඔහු පේතෘස්ගෙන් ප්‍රශ්නයක් අහලා, හරි එක තෝරගන්න කියලා උත්තර දෙකක් දුන්නා. (මතෙ. 17:24-26) තවත් අවස්ථාවක ගෝලයන්ගේ හිතේ තියෙන දේ ගැන දැනගන්න ඔහු ප්‍රශ්න කිහිපයක්ම ඇහුවා. (මතෙව් 16:13-17 කියවන්න.) කරන්න ඕනෙ මොනවද කියලා නිකම්ම කියනවට වඩා යේසුස් මිනිසුන්ව හිතන්න පොලඹවන විදිහේ ප්‍රශ්න ඇහුවා. ශුභාරංචිය පිළි අරන් ජීවිතයේ වෙනස්කම් කරන්න මිනිසුන් කැමති වුණේ ඒ නිසයි.

11 අපිත් යේසුස්ව ආදර්ශයට ගන්නවා නම් අපිට හමු වෙන එක එක පුද්ගලයට ගැළපෙන විදිහට හා ඔහුට අවශ්‍ය කරන විදිහට උදව් කරන්න අපිටත් පුළුවන් වෙනවා. අපි කියන දේවලට එකඟ වෙන්නේ නැති කෙනෙක් හමු වුණොත් මොනවද කරන්න පුළුවන්? ඒ වගේ කෙනෙකුට වුණත් තර්කානුකූලව හිතන්න පොලඹවන විදිහේ ප්‍රශ්න අහන්න අපිට පුළුවන්. අපි එහෙම කරනවා නම් මිනිසුන්ට සදාකාල ජීවිතය ලබාගන්නත් ඒකෙන් අවස්ථාව ලැබෙන්න ඉඩ තියෙනවා. හොඳින් ප්‍රශ්න යොදාගන්න පුළුවන් විදි ගැන උදාහරණ තුනක් දැන් අපි බලමු.

12-14. භය නැතුව ශුභාරංචිය ගැන කතා කරන්න දරුවාට උදව් කරන්න පුළුවන් කොහොමද? උදාහරණයක් දෙන්න.

12 පළවෙනි උදාහරණය: හැම දෙයකම නිර්මාතෘ දෙවි කියලා පන්තියේ ළමයි එක්ක කතා කරන්න ඔබේ දරුවා භයෙන් ඉන්නවා කියලා හිතන්න. ඒ වගේ වෙලාවක ‘ඔයා ඕකවත් දන්නේ නැද්ද’ කියලා දරුවාව අධෛර්යය කරන්නෙවත් ‘ඔයා මෙහෙම කියන්න’ කියලා කෙටියෙන් ඒ ගැන කියලා දෙන්නෙවත් නැතුව දරුවාට උදව් කරන්න ඔබට පුළුවන් කොහොමද? යේසුස් කළා වගේ දරුවාගේ හිතේ තියෙන දේ විවෘතව කියන්න පෙලඹෙන විදිහේ ප්‍රශ්න අහන්න. ඒක කරන්නේ කොහොමද?

13 ජීවයේ ආරම්භය—වැදගත් ප්‍රශ්න පහකට පිළිතුරු කියන සඟරාවේ තියෙන සමහර තොරතුරු දරුවා එක්ක කියවන්න. සඟරාවේ තියෙන ප්‍රධාන ප්‍රශ්න පහෙන් දරුවා කැමති මොන ප්‍රශ්නෙටද කියලා අහන්න. සඟරාවේ තියෙන තොරතුරුවලට අමතරව, දෙවි හැම දේම නිර්මාණය කළා කියලා ඔහු විශ්වාස කරන්නේ ඇයි කියලත් දෙවිට සේවය කරන්න ඔහුට අවශ්‍ය ඇයි කියලත් හිතන්න ඔබේ දරුවාට උනන්දු කරන්න. (රෝම 12:2) සමහරවිට දරුවාගේ අදහස් ඔබේ අදහස්වලට වඩා වෙනස් වෙන්න පුළුවන් වුණත් ඒ ගැන භය නැතුව කියන්න ඔහුව දිරිගන්වන්න.

14 ඊටපස්සේ ඔබ දරුවා එක්ක කතා කරපු විදිහටම පන්තියේ යාළුවා එක්ක කතා කරන්න කියලා දරුවාට කියන්න. දෙවිගේ නිර්මාණ ගැන සමහර තොරතුරු යාළුවා එක්ක කතා කරලා ඒ ගැන ඔහු හිතන්නේ මොනවද කියලා අහන්න දරුවාට පුළුවන්. උදාහරණයකට ඉහත සඳහන් සඟරාවේ 21වෙනි පිටුවේ තියෙන කොටුව යාළුවා එක්ක කියවලා මෙහෙම අහන්න දරුවාට පුළුවන්. “ලෝකෙ තියෙන ඕනෙම කොම්පියුටර් එකක ගබඩා කරනවට වඩා තොරතුරු අපේ එක DNA එකක ගබඩා කරන්න පුළුවන් කියලා ඔයා හිතනවද?” යාළුවා “ඔව්” කිව්වම දරුවාට පුළුවන් මෙහෙම අහන්න. “කොම්පියුටර් එකක් නිර්මාණය කරන්න කෙනෙක් ඉන්න ඕනෙ නම් DNA එක නිර්මාණය කරන්න කෙනෙක් ඉන්න ඕනෙ නැද්ද?” ඒ විදිහට පන්තියේ ළමයි එක්ක භය නැතුව කතා කරන්න පුළුවන් වෙන විදිහට දරුවා එක්ක පෙරහුරු කරන්න. ඔබ එහෙම කළොත් ඔහුත් දක්ෂ විදිහට ශුභාරංචිය ගැන අනිත් අයත් එක්ක කතා කරයි.

15. දෙවිව විශ්වාස කරන්නේ නැති කෙනෙක් එක්ක කතා කරද්දී ප්‍රශ්න පාවිච්චි කරලා උදව් කරන්නේ කොහොමද?

15 දෙවෙනි උදාහරණය: අපි සේවයේ යද්දී දෙවි කෙනෙක් ඉන්නවද නැද්ද කියලා සැකයෙන් ඉන්න කෙනෙක්ව හරි දෙවි කෙනෙක්ව කොහොමටවත් විශ්වාස කරන්නේ නැති කෙනෙක්ව හරි හම්බ වුණා කියලා හිතන්න. ‘ඔයා ඒ විදිහට හිතන්නේ කොයි කාලේ ඉඳන්ද’ කියලා හරි, ‘ඔයා දෙවි කෙනෙක්ව විශ්වාස කරන්නේ නැත්තේ ඇයි’ කියලා හරි, අපිට කාරුණිකව අහන්න පුළුවන්. ඔහුගේ අදහස කිව්වට පස්සේ ‘ඔයා ඒ ගැන ගොඩක් කල්පනා කරලා තියෙනවා කියලා අපිට තේරෙනවා’ කියලා ඔහුව අගය කරන්න. ඊටපස්සේ, මිනිසුන්ව දෙවි කෙනෙක් නිර්මාණය කළා කියලා ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි ගැන සඳහන් වෙන සඟරාවක් දෙන්නද කියලා ඔහුගෙන් අහන්න. ඔහු කැමති නම් සියල්ල ඇති වුණේ අහම්බෙන්ද? කියන සඟරාව හරි, ජීවයේ ආරම්භය—වැදගත් ප්‍රශ්න පහකට පිළිතුරු කියන සඟරාව හරි ඔහුට දෙන්න. ඥානවන්තව වගේම කාරුණිකව ඔහුගෙන් ප්‍රශ්න අහනවා නම් ශුභාරංචිය ගැන ඔහු තුළ ආශාවක් ඇති කරන්න අපිට පුළුවන්.

16. නිකම්ම ඡේදයේ තියෙන උත්තරේ දෙන ශිෂ්‍යයෙකුට උදව් කරන්න ඕනෙ ඇයි?

16 තුන්වෙනි උදාහරණය: අපිත් එක්ක බයිබලය පාඩම් කරන ශිෂ්‍යයෙක් හොඳට හිතන්නේ නැතුව නිකම්ම ඡේදයේ තියෙන උත්තරේ කියනවා කියලා හිතමු. එහෙම කරනවා නම් සත්‍යය තුළ දියුණු වෙන්න ශිෂ්‍යයාට අමාරුයි. එහෙම කෙනෙක් ගැඹුරට මුල් ඇදලා නැති පැළයක් වගේ. විරුද්ධවාදීකම් පීඩා එනකොට සත්‍යය තුළ රැඳිලා ඉන්න ඔහුට අමාරු වෙනවා. (මතෙ. 13:20, 21) ඒ වගේ කෙනෙක්ට උදව් කරන්නේ කොහොමද? මේ වගේ ප්‍රශ්න ඔහුගෙන් අහන්න පුළුවන්. ඉගෙනගන්න දේවල් ගැන ඔයාට හිතෙන්නේ මොනවද? ඔයා ඉගෙනගත්ත දේවලට එකඟද? එහෙම එකඟ වෙන්නේ ඇයි? ඊටපස්සේ ‘බයිබලයේ ඒ ගැන කියන්නේ මොනවද කියලා ඔයාට මතකද’ කියලත් අහන්න. ඒවාට උත්තර දෙද්දී ඔහුගේ විශ්වාසය පදනම් වෙලා තියෙන්නේ බයිබලය මත කියලා ඒකෙන් ඔහුටම ඔප්පු වෙනවා. (හෙබ්‍රෙ. 5:14) අපි ප්‍රශ්න යොදාගෙන ඒ විදිහට උගන්වනවා නම් සත්‍යය තුළ ශක්තිමත්ව ඉන්න ශිෂ්‍යයාට පුළුවන් වෙනවා. ඒ වගේම අනිත් අය ඔහුව නොමඟ යවන්න උත්සාහ කළත් ඔහුට පීඩා කළත් දිගටම දෙවිට විශ්වාසවන්තව ඉන්න ඔහුට පුළුවන් වෙනවා.—කොලො. 2:6-8.

එකිනෙකාට උදව් කරන්න

17, 18. ඔබත් එක්ක සේවයේ යන ප්‍රචාරකයාට උදව් කරන්න පුළුවන් කොහොමද?

17 යේසුස් ඔහුගේ අනුගාමිකයන්ව දේශනා සේවයට පිටත් කළේ දෙන්නා බැගින්. (මාක් 6:7; ලූක් 10:1) තමන් සමඟ “උරෙන් උර ගැටී” ශුභාරංචිය දේශනා කළ “හවුල් සේවකයන්” ගැන පාවුල් සඳහන් කළා. (ෆිලි. 4:3) ඒ ක්‍රමය අනුගමනය කරමින් 1953දී දෙවිගේ සංවිධානයත් අලුත් ප්‍රචාරකයන්ව පුහුණු කරන වැඩසටහනක් ආරම්භ කළා.

18 ඔබත් එක්ක සේවයේ යන ප්‍රචාරකයා ගේහිමියෙක් එක්ක ශුභාරංචිය ගැන කතා කරද්දී ඔබට කරන්න පුළුවන් මොනවද? (1 කොරින්ති 3:6-9 කියවන්න.) ඔහු බයිබල් පද පෙන්වද්දී ඔබත් ඔබේ බයිබලය පෙරළලා බලන්න. ඔබ හොඳ අවධානයකින් ඉන්නවා නම් අවශ්‍ය වෙලාවට ඔහුට උදව් කරන්න ඔබට පුළුවන් වෙයි. (දේශ. 4:12) ඒත් ඔහු යමක් ගැන පැහැදිලි කරමින් හොඳ සාකච්ඡාවක් කරන වෙලාවක හරි ගේහිමියා කතා කරන වෙලාවක හරි ඔබ මැද්දට පැනලා කතා කරන්න එපා. එහෙම කළොත් ප්‍රචාරකයා අධෛර්යය වෙන්න පුළුවන්. නැත්නම් දෙන්නෙක් කතා කරද්දී ගේහිමියා පැටලෙන්න ඉඩ තියෙනවා. අවශ්‍ය වෙලාවලදී ඔබට යම් අදහසක් දෙකක් කියන්න පුළුවන් වුණත් සාකච්ඡාව දිගටම කරගෙන යන්න ප්‍රචාරකයාට ඉඩ දෙන්න.

19. අපි මතක තියාගන්න ඕනෙ මොනවද? ඒ ඇයි?

19 ගෙයකින් තවත් ගෙයකට යන අතරතුරේදී ශුභාරංචිය තවත් හොඳට ඉදිරිපත් කරන්න පුළුවන් විදි ගැන කතා කරන්න දෙන්නටම පුළුවන්. සේවයේ යන ප්‍රදේශය ගැන අධෛර්යය කරන දේවල්වත් සභාවේ අයගේ අඩුපාඩුවත් කතා කරන්න එපා. (හිතෝ. 18:24) අපි කවුරුත් පරිපූර්ණ අය නෙවෙයි කියන එක මතක තියාගමු. ඒ වුණත් යෙහෝවා දෙවි අපිට වස්තුවක් හා සමාන ශුභාරංචිය දේශනා කිරීමේ වරප්‍රසාදය දීලා තියෙනවා. (2 කොරින්ති 4:1, 7 කියවන්න.) සාර්ථකව ශුභාරංචිය දේශනා කරලා අපිට ලැබිලා තියෙන ඒ වරප්‍රසාදය අගය කරනවා කියලා පෙන්වමු.