Skip to content

පටුනට යන්න

“යහපත් ක්‍රියා කිරීමට උද්‍යෝගයෙන්” සිටිමු

“යහපත් ක්‍රියා කිරීමට උද්‍යෝගයෙන්” සිටිමු

‘යේසුස් ජීවිතය පූජා කළේ අප වෙනුවෙන්. එසේ කළේ යහපත් ක්‍රියා කිරීමට උද්‍යෝගයෙන් සිටින සෙනඟක් ලෙස අපව පවිත්‍ර කිරීමටයි.’—තීත. 2:13, 14.

1, 2. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට තියෙන විශේෂ ගෞරවය මොකක්ද? ඒ ගැන ඔබට හැඟෙන්නේ කොහොමද?

සාමාන්‍යයෙන් රටවල් දෙකක් අතර සාමය ඇති කරන්න මහන්සි වෙන අයට සම්මාන ලැබෙනවා. ඒක ඔවුන්ට ලොකු ගෞරවයක්. ඒත් දෙවිත් එක්ක සමාදාන වෙන්න, එහෙමත් නැත්නම් දෙවිත් එක්ක බැඳීමක් ඇති කරගන්න මිනිසුන්ට උදව් කරන්න දෙවි අපිට දීලා තියෙන අවස්ථාව ඊටත් වඩා ලොකු ගෞරවයක්!

2 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වන අපිට විතරයි ඒ විශේෂ ගෞරවය ලැබිලා තියෙන්නේ. ‘දෙවි එක්ක සමාදාන වෙන්න’ මිනිසුන්ට උදව් කරන විදිහ ගැන දෙවි සහ යේසුස් අපිට මඟ පෙන්වීම් ලබා දෙනවා. (2 කොරි. 5:20) ඒකේ ප්‍රතිඵලයක් හැටියට රටවල් 235කට වඩා වැඩි සංඛ්‍යාවක සිටින මිලියන ගණන් අයට දෙවිගේ මිතුරන් වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ අයට මේ පොළොවේ සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව තියෙනවා. (තීත. 2:11) අපි දේශනා සේවයේ උද්‍යෝගයෙන් හවුල් වෙලා “කැමති කෙනෙකුට” දෙවි ගැන සත්‍යය දැනගන්න අවස්ථාව ලබා දෙනවා. (එළි. 22:17) අපි “යහපත් ක්‍රියා කිරීමට උද්‍යෝගයෙන් සිටින” පිරිසක්. ඒ කියන්නේ යෙහෝවා දෙවිට තියෙන ආදරය නිසා අපි මේ සේවය කරන්නේ ලොකු උද්‍යෝගයකින්. (තීත. 2:14) ඒ උද්‍යෝගය, යෙහෝවා දෙවි ගැන දැනගන්න අනිත් අයට උදව් වෙන විදිහ ගැන අපි දැන් බලමු.

යෙහෝවා දෙවිව සහ යේසුස්ව ආදර්ශයට ගමු

3. යෙහෝවා දෙවි මහත් ආශාවකින් ඉන්නේ කුමකටද? ඒ නිසා අපි පෙලඹෙන්නේ මොනවා කරන්නද?

3 යේසුස් රජ වෙනවා කියලත් ඔහු මිනිසුන් වෙනුවෙන් යහපත් දේවල් කරනවා කියලත් යෙසායා 9:7හි සඳහන් වෙනවා. ඒ දේ සිදු වෙන්නේ ‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිට ඒක කරන්න මහත් ආශාවක්’ තියෙන නිසයි. යෙහෝවා දෙවිට මිනිසුන්ව බේරගන්න ඒ වගේ ආශාවක් තියෙන නිසා අපිත් දේශනා සේවය කරන්න ඕනෙ හරිම ආශාවෙන්. දෙවි එක්ක එකතු වෙලා වැඩ කරන කෙනෙක් විදිහට ශුභාරංචිය දේශනා කරන්න ඔබ ඔබේ උපරිමය කරනවද?—1 කොරි. 3:9.

4. යේසුස් අපිට හොඳ ආදර්ශයක් වෙන්නේ කොහොමද?

4 යේසුස් අපිට හොඳ ආදර්ශයක්. හුඟක් අය ඔහුට විරුද්ධ වුණත් ඔහුව මරන්න හැදුවත් මේ පොළොවේ ඔහු ගත කළ ජීවිතය අවසන් වන තුරු ඔහු උද්‍යෝගයෙන් සේවය කළා. (යොහ. 18:36, 37) තමා ළඟදීම හුඟක් දුක් විඳලා මිය යනවා කියලා ඔහු දැනගෙන හිටියත් මිනිසුන්ට දෙවි ගැන දැනගන්න උදව් කරන්න ඔහු තවත් මහන්සි වෙලා වැඩ කළා.

5. උපමාවේ සිටි සේවකයාට යේසුස්ව සමාන කරන්න පුළුවන් කොහොමද?

5 ගෙඩි හැදෙන්නේ නැති අත්තික්කා ගසක් ගැන යේසුස් උපමාවක් කිව්වා. අවුරුදු තුනක්ම ගෙඩි එනකල් බලාගෙන හිටිය වත්තේ අයිතිකරු සේවකයෙකුට කතා කරලා ගහ කපලා දාන්න කියලා කිව්වා. ඒත් තව ටික කාලයක් මහන්සි වෙලා ගහට සාත්තු කරලා බලමු කියලා සේවකයා කිව්වා. (ලූක් 13:6-9 කියවන්න.) ක්‍රිස්තු වර්ෂ 32දී යේසුස් මේ උපමාව කියද්දී ශුභාරංචිය පිළිගත්ත අය හිටියේ ටිකදෙනයි. යේසුස් ඒ උපමාවෙන් පෙන්නුවේ ඔහු මිය යන්න කලින් ඉතුරු වෙලා තිබුණ ටික කාලයේ තවත් මහන්සි වෙලා ප්‍රතිඵල ගන්න ඔහුට ඕනෙ වුණා කියලයි. ඒ නිසා ඔහු ඊළඟ මාස හයේදී යූදා හා පෙරයාව කියන ප්‍රදේශවල තවත් උද්‍යෝගයෙන් දේශනා කළා. ඒත් වැඩිදෙනෙක් ඔහුව පිළිගත්තේ නැහැ. ඒ ගැන ඔහු හුඟක් දුක් වුණා.—මතෙ. 13:15; ලූක් 19:41.

6. අපි දේශනා සේවයේ උපරිමයෙන් හවුල් වෙන්න උත්සාහ කරන්න ඕනෙ ඇයි?

6 අපි දැන් ඉන්නේ මේ දුෂ්ට සමාජයේ අවසානයට ළං වෙලයි. (දානියෙල් 2:41-45 කියවන්න.) ඒ නිසා අපි දේවසේවයේ උපරිමයෙන් හවුල් වෙන්න ඕනෙ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වීම අපිට ලොකු ගෞරවයක්. ඒකට හේතුව, මිනිසුන්ගේ ගැටලු විසඳෙන්නේ කොහොමද කියලා දන්නේ මුළු පොළොවේ ඉන්න මිනිසුන් අතරින් අපි විතරයි. මෑතකදී පුවත්පත් ලේඛකයෙක් පැවසුවේ හොඳ මිනිසුන් දුක් විඳින්නේ ඇයි කියලා දැනගන්න කොහොමටවත් බැහැ කියලයි. ඒත් බයිබලයේ ඒ ගැන සඳහන් වෙන නිසා අපි ඒ ගැන දන්නවා. ඒ නිසා අනිත් අයට ඒ ගැන කියන එක අපේ වගකීමක් වගේම වරප්‍රසාදයක්. සේවයේ හවුල් වෙද්දී අපිට දෙවිගේ බලය ලැබෙන නිසා අපි තවත් උද්‍යෝගිමත් වෙන්න ඕනෙ. (රෝම 12:11) යෙහෝවා දෙවි අපි කරන සේවයට අනිවාර්යයෙන් ආශීර්වාද කරන නිසා ඔහුව දැන හඳුනා ගන්නත් ඔහුට ප්‍රේම කරන්නත් මිනිසුන්ට උදව් කරන්න අපිට පුළුවන්.

අපි කරන කැප කිරීම්

7, 8. අපි කරන කැප කිරීම්වලින් යෙහෝවා දෙවිට ගෞරවය ලැබෙන්නේ කොහොමද?

7 දේශනා සේවය කරද්දී පාවුල් හුඟක් දේවල් විඳදරාගත්තා. ඔහුට ‘නිදි මරන්න, කෑම නැතුව ඉන්න’ සිද්ධ වුණා. (2 කොරි. 6:5) අද ඉන්න අපේ සහෝදර සහෝදරියනුත් දේවසේවය වෙනුවෙන් ඒ වගේ කැප කිරීම් කරනවා. උදාහරණයකට හුඟක් පුරෝගාමීන් දේවසේවයට මුල් තැන දෙන අතරෙම රැකියාවකුත් කරනවා. විදේශ රටවල හුඟක් මහන්සි වෙලා සේවය කරන මිෂනාරිවරුන් කරන කැප කිරීම් ගැන ඔබ හිතලා තියෙනවද? (ෆිලි. 2:17) සභාවල සේවය කරන වැඩිමහල්ලන් සමහර අවස්ථාවලදී හරිහැටි කෑමක් බීමක් නින්දක් නැතුව සහෝදරයන්ට උදව් කරන්න මහන්සි වෙනවා. මහලු වයසේ ඉන්න නැත්නම් අසනීපවලින් පෙළෙන අපේ සහෝදර සහෝදරියන් රැස්වීම්වලට යන්නත් සේවයේ යන්නත් උපරිම උත්සාහයක් දරනවා. ඒ හැම කැප කිරීමක්ම අපිට ලොකු දිරිගැන්වීමක්. දෙවිට කරන සේවය අපිට කොච්චර වටිනවද කියලා සාක්ෂිකරුවන් නොවන අයත් දකිනවා.

8 සාක්ෂිකරුවෙක් නොවන කෙනෙක් බ්‍රිතාන්‍යයේ පුවත්පතකට මෙහෙම ලිව්වා. ‘දැන් දැන් ආගම ගැන මිනිසුන්ට තියෙන විශ්වාසය අඩු වෙනවා. පූජකයෝ ඒ ගැන මොනවා කරනවද කියලා මම නං දන්නේ නැහැ. යේසුස් වගේ ඒ අය කවදාවත් මිනිසුන්ව හමු වෙන්න යන්නේ නැහැ. මට පේන විදිහට මිනිසුන්ව හමු වෙලා සත්‍යය ගැන දේශනා කරන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විතරයි.’ අද ලෝකයේ ඉන්න හුඟක් අය අනිත් අය වෙනුවෙන් කැප කිරීම් කරන්න කැමති නැහැ. ඒත් දේශනා කිරීම වෙනුවෙන් කැප කිරීම් කරන්න අපි කැමැත්තෙන් ඉදිරිපත් වෙන නිසා ඒකෙන් ගෞරවය ලැබෙන්නේ යෙහෝවා දෙවිටයි.—රෝම 12:1.

ඔබ සේවයේ යද්දී ඒක අනිත් අය දකිනවා වගේම ඒක ඔවුන්ට සාක්ෂියක්

9. උද්‍යෝගයෙන් දේශනා කරන්න අපිට උදව් වෙන්නේ මොනවද?

9 කලින් උද්‍යෝගයෙන් සේවය කළත් දැන් අපිට ඒ උද්‍යෝගය නැත්නම් මොනවද කරන්න පුළුවන්? අපි කරන සේවය නිසා මිනිසුන්ට ලැබෙන ගැලවීම ගැන හිතන්න. (රෝම 10:13-15 කියවන්න.) ගැලවීම ලබන්න නම් ඔවුන් යෙහෝවා දෙවි ගැන විශ්වාසයක් ඇති කරගෙන ඔහුට යාච්ඤා කරන්න ඕනෙ. ඒත් අපි ඔවුන්ට දේශනා කළේ නැත්නම් ඔවුන් ඒක කරන්නේ කොහොමද? උද්‍යෝගයෙන් දේශනා කිරීමට අපේ උපරිමය කරන්න ඕනෙ ඒ නිසයි.

අපේ හොඳ හැසිරීම

ඔබේ අවංකකම අනිත් අය දකිනවා

10. අපේ හැසිරීම මිනිසුන්ට බලපාන්නේ කොහොමද?

10 මිනිසුන්ට දෙවි ගැන දැනගන්න ආශාවක් ඇති වෙන්න නම් අපි උද්‍යෝගයෙන් දේශනා සේවයේ හවුල් වෙන එක විතරක් මදි. ඒකට අපේ හොඳ හැසිරීමත් උදව් වෙනවා. අපි ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ ඇයි කියලා පාවුල් කිව්වා. “කිසිවෙකුටවත් අප නිසා අපහසුතාවකට ලක් වෙන්න අපි ඉඩ තබන්නේ නැත. අප එසේ කරන්නේ කිසිවෙකු අපගේ සේවයට දෝෂාරෝපණය නොකිරීම සඳහාය.” (2 කොරි. 6:3) අපේ යහපත් හැසිරීම සහ කතාබහ දකින අය යෙහෝවා දෙවිට නමස්කාර කරන්න කැමති වෙන්න ඉඩ තියෙනවා. (තීත. 2:10) අපි යේසුස් වගේ කටයුතු කරනවා දැකපු නිසා සත්‍යය පිළිගන්න කැමති වුණ අය ගැන අපි හුඟක් අහලා තියෙනවා.

11. අපේ හැසිරීම අනිත් අයට බලපාන විදිහ ගැන හිතන්නත් ඒ ගැන යාච්ඤා කරන්නත් ඕනෙ ඇයි?

11 අපේ හොඳ හැසිරීම දැකලා මිනිසුන් යෙහෝවා දෙවිට ළං වෙන්න කැමති වෙනවා වගේම අපේ නරක හැසිරීම දැකලා යෙහෝවා දෙවිගෙන් ඈත් වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි වැඩ කරන ස්ථානයේදී හරි, ගෙදරදී හරි, පාසැලේදී හරි කෙනෙක්ව යෙහෝවා දෙවිගෙන් ඈත් කරන්න පුළුවන් කිසිම දෙයක් කරන්න හොඳ නැහැ. අපි “හිතාමතාම පව්කාර ක්‍රියාවල යෙදෙනවා නම්” යෙහෝවා දෙවිත් එක්ක තියෙන බැඳීම අපිට සදහටම නැති වෙන්න පුළුවන්. (හෙබ්‍රෙ. 10:26, 27) ඒ නිසා ඔබේ හැසිරීම ගැන හොඳට හිතන්න. හොඳට හැසිරෙන්නත් අනිත් අයට ඒකෙන් හොඳ බලපෑමක් ඇති කරන්නත් උදව් ඉල්ලලා යාච්ඤා කරන්න. යෙහෝවා දෙවිට සේවය නොකරන අයගේ හැසිරීම එන්න එන්නම නරක අතට හැරෙනවා. ඒ නිසා “දෙවිට සේවය කරන්නේ කවුද කියාත් නොකරන්නේ කවුද කියාත්” තවත් පැහැදිලිව දැකගන්න පුළුවන් වෙන්න ඕනෙ.—මලා. 3:18.

12-14. අපි පීඩා විඳදරාගද්දී ඒක අනිත් අයට බලපාන්නේ කොහොමද? උදාහරණයක් දෙන්න.

12 පාවුල් ශුභාරංචිය දේශනා කරද්දී ඔහුට පීඩාවලට මුහුණ දෙන්න, පහර කෑම්වලට ලක් වෙන්න, සිරගත වෙන්න සිද්ධ වුණා. (2 කොරින්ති 6:4, 5 කියවන්න.) අපිටත් පීඩාවලට මුහුණ දෙන්න වෙනවා. ඒත් අපි ඒවාට සාර්ථකව මුහුණ දෙද්දී ඒක දකින අය සත්‍යය පිළිගන්න පෙලඹෙන්න පුළුවන්. මේ උදාහරණය බලන්න. මීට අවුරුදු කිහිපයකට කලින් ඇංගෝලාවේ හිටපු සමහරුන්ට ඕනෙ වුණා සාක්ෂිකරුවන්ව ඔවුන් හිටපු ප්‍රදේශවලින් එළවන්න. දවසක් හුඟක් මිනිසුන්ව රැස් කරලා ඔවුන් බලන් ඉද්දී සාක්ෂිකරුවන් දෙන්නෙකුටත් සත්‍යය ගැන උනන්දුව දක්වපු 30දෙනෙකුටත් තුවාල වෙලා ලේ ගලනකල්ම කසවලින් පහර දුන්නා. ඒ අය අතර කාන්තාවනුත් කුඩා දරුවනුත් හිටියා. පහර දුන්න අය හිතුවේ අනිත් අය ඒක දැකලා භය වෙලා සාක්ෂිකරුවන්ට ඇහුම්කන් දෙන එකක් නැහැ කියලයි. ඒත් ටික දවසකට පස්සේ එතන හිටපු හුඟක් අය තමන් එක්ක බයිබලය පාඩම් කරන්න එන්න කියලා සාක්ෂිකරුවන්ට කිව්වා. දේශනා සේවය දිගටම කරගෙන යන්නත් හුඟක් අය සාක්ෂිකරුවන් වෙන්නත් ඒක හේතු වුණා.

13 පේතෘස් සහ අනිත් ගෝලයන් ධෛර්යයෙන් පීඩාවලට මුහුණ දුන්න නිසා හුඟක් අයට දෙවිගේ සේවකයන් වෙන්න ඒක ලොකු දිරිගැන්වීමක් වෙන්න ඇති. (ක්‍රියා 5:17-29) අපිත් පීඩාවලට ධෛර්යයෙන් මුහුණ දෙනවා දකින අපේ පාසැලේ, රැකියාවේ, පවුලේ අය සත්‍යය පිළිගන්න ඉඩ තියෙනවා.

14 අපේ සහෝදර සහෝදරියන්ට නිතරම වගේ පීඩාවලට මුහුණ දෙන්න වෙලා තියෙනවා. උදාහරණයකට හමුදාවට බැඳුණේ නැති නිසා ආර්මේනියාවේ ඉන්න සහෝදරයන් 40දෙනෙක් විතර මේ වෙනකොට සිරගත කරලා. ඉදිරියේදී තවත් හුඟක් සාක්ෂිකරුවන්ව සිරගත කරන්න ඉඩ තියෙනවා. එරිත්‍රියාවේ සාක්ෂිකරුවන් 55දෙනෙක්ව සිරගත කරලා. ඒ අය අතර අවුරුදු 60 වැඩි අයත් ඉන්නවා. හමුදාවට බැඳුණේ නැති නිසා දකුණු කොරියාවේ 700දෙනෙක් විතර සිරගෙට දාලා. ඒ රටේ පහුගිය අවුරුදු 60 පුරාම අපේ සහෝදරයන්ව සිරගත කරලා තියෙනවා. මොන තරම් පීඩා ආවත් විශ්වාසවන්තව ඉඳලා දෙවිට ගෞරවය දෙන්න ඔවුන්ට උදව් කරන්න කියලා පීඩා විඳින අය වෙනුවෙන් යාච්ඤා කරමු. ඒ වගේම ඔවුන්ගේ විශ්වාසවන්තකම දැකලා සත්‍යයට එන්න අනිත් අය තුළ පෙලඹීමක් ඇති කරන්න කියලත් අපි යාච්ඤා කරමු.—ගීතා. 76:8-10.

15. අපේ අවංකකම නිසා අනිත් අය සත්‍යය ගැන දැනගන්න උනන්දු වෙනවා කියලා පෙන්වන අද්දැකීමක් කියන්න.

15 අපේ අවංකකම දකිද්දීත් අනිත් මිනිසුන් සත්‍යයට ඇදී එනවා. (2 කොරින්ති 6:4, 7 කියවන්න.) එක සහෝදරියක් බස් එකේ යනකොට ටිකට් එකක් ගන්න හදද්දී ඇයත් එක්ක හිටපු මිතුරියක් කිව්වේ “ටික දුරක් යන නිසා ටිකට් ගන්න ඕනෙ නැහැ” කියලයි. ඒත් “ඊළඟ හෝල්ට් එකෙන් බැස්සත් ටිකට් එකක් ගන්න එක තමයි හරි දේ” කියලා සහෝදරිය කිව්වා. මිතුරිය බැහැලා ගියාට පස්සේ බස් එකේ රියදුරු සහෝදරියගෙන් ඇහුවා “ඔයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක් නේද” කියලා. “ඔයා කොහොමද ඒක දන්නේ” කියලා ඇය ඇහුවම ඔහු මෙහෙම කිව්වා. “මම ඔය දෙන්නගේ කතාව අහගෙනයි හිටියේ. සාක්ෂිකරුවන් හරියට ටිකට් ගන්නවා විතරක් නෙවෙයි හැම දේකදීම අවංකව වැඩ කරනවා කියලත් මම දන්නවා.” මාස කිහිපයකට පස්සේ රැස්වීමකදී මේ සහෝදරිය ළඟට කෙනෙක් ඇවිත් “ඔයාට මාව මතකද” කියලා ඇහුවා. ඒ වෙන කවුරුත් නෙවෙයි අර බස් එකේ රියදුරයි. “ඔයාගේ අවංකකම දැක්කට පස්සේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න මම තීරණය කළා” කියලා ඔහු කිව්වා. මිනිසුන් අපේ අවංකකම දකිද්දී අපේ පණිවිඩය විශ්වාස කරන්න පෙලඹෙනවා.

දෙවිට ගෞරවය ගෙන දෙන ගතිගුණ

16. අපිට හොඳ ගතිගුණ තියෙනවා නම් වෙන්න පුළුවන් මොනවද? බොරු ආගමික නායකයන් කරන්නේ මොනවද?

16 අපි විඳදරාගන්නවා නම්, ප්‍රේමණීය නම්, කාරුණික නම් අපේ ඒ ගතිගුණ දැකලා යෙහෝවා දෙවි ගැනත් ඔහුගේ අරමුණු ගැනත් ඔහුගේ සෙනඟ ගැනත් දැනගන්න මිනිසුන් තුළ ආශාවක් ඇති වෙන්න පුළුවන්. අපේ හොඳ ආකල්පත් හොඳ හැසිරීමත් නිසා දෙවිට ගෞරවය ලැබෙනවා. සමහර ආගමික නායකයන් තමන්ට හොඳ ආකල්පයක් සහ හැසිරීමක් තියෙනවා කියලා පෙන්වන්න උත්සාහ කළත් ඔවුන් තමන්ගේ අනුගාමිකයන්ට බොරු කියනවා විතරක් නෙවෙයි ඔවුන්ගෙන් මුදලුත් ලබාගන්නවා. ඒ සල්ලිවලින් ඔවුන් මිල අධික ගෙවල් වගේම නවීන වාහනත් මිල දී ගන්නවා. ඒ වගේ කෙනෙක් තමන්ගේ සුරතල් බල්ලව දාන්න වායුසමීකරණය කරපු කූඩුවකුත් හදලා! “නොමිලේම දෙන්න” කියලා යේසුස් කිව්ව අවවාදයට එකඟව ඔවුන් වැඩ කරන්නේ නැහැ. (මතෙ. 10:8) ඔවුන් හරියට ඊශ්‍රායෙලයේ හිටපු දුෂ්ට පූජකයෝ වගේ. ඔවුන් “මුදලට” උගන්වනවා විතරක් නෙවෙයි දෙවි ගැන බොරුත් උගන්වනවා.—මීකා 3:11.

17, 18. (අ) අපේ හැසිරීමෙන් යෙහෝවා දෙවිට ගෞරවය ලබා දෙන්නේ කොහොමද? (ආ) ඔබ උද්‍යෝගයෙන් යහපත් දේවල් කරන්න කැමති ඇයි?

17 අපි සත්‍යය උගන්වනවා කියලා දකිද්දීත් අපේ අසල්වාසීන්ට කාරුණිකව සලකනවා කියලා දකිද්දීත් තවත් අය දෙවි ගැන ඉගෙනගන්න කැමති වෙනවා. එක පුරෝගාමි සහෝදරයෙක් දේශනා සේවයේ යද්දී මහලු වැන්දඹු කාන්තාවකගේ ගෙදරකට ගියා. “මම ඕවට කැමති නැහැ” කියලා කියපු ඒ කාන්තාව සහෝදරයා දොරට තට්ටු කරන වෙලාවේ හිටියේ කුස්සියේ බල්බ් එකක් දාන්න ඉණිමඟක නැඟලා කියලත් කිව්වා. “ඔයා තනියම ඒ වගේ දෙයක් කරන එක එච්චර හොඳ නැහැ” කියලා කියපු ඒ සහෝදරයා ඒ බල්බ් එක මාරු කරලා දීලා අනිත් ගෙදරට ගියා. ඒ කාන්තාවගේ පුතාට ඒ ගැන ආරංචි වුණාම ඔහුට ඕනෙ වුණා ඒ සහෝදරයාව හොයාගෙන ඔහුට ස්තුති කරන්න. ඊටපස්සේ ඔහු බයිබල් පාඩමකටත් කැමති වුණා.

18 ඔබ උද්‍යෝගයෙන් දිගටම යහපත් දේවල් කරන්නේ ඇයි? ඒකට හේතුව ඔබ උද්‍යෝගයෙන් දේශනා සේවයේ හවුල් වෙද්දී සහ ඔබේ හොඳ හැසිරීම අනිත් අය දකිද්දී දෙවිට ගෞරවය ලැබෙනවා වගේම සත්‍යයට එන්න අනිත් අය තුළ පෙලඹීමක් ඇති වෙනවා කියලා ඔබ දන්න නිසයි. (1 කොරින්ති 10:31-33 කියවන්න.) තවත් හේතුවක් තමයි යෙහෝවා දෙවිටත් අනිත් මිනිසුන්ටත් අපේ හිතේ තියෙන ආදරේ. (මතෙ. 22:37-39) අපි උද්‍යෝගයෙන් යහපත් දේවල් කරනවා නම් මේ කාලයේදී නියම සතුට සහ තෘප්තිය ලබන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේ පොළොවේ ජීවත් වෙන සියලුම මිනිසුන් කැමැත්තෙන්ම අපේ නිර්මාතෘ වන යෙහෝවා දෙවිට නමස්කාර කරන කාලයේ ජීවත් වෙන්නත් අපිට පුළුවන් වෙනවා.