Skip to content

පටුනට යන්න

ආදරෙන් බැඳී ඉන්න නම් කතාබහ කරන්න

ආදරෙන් බැඳී ඉන්න නම් කතාබහ කරන්න

“නිසි කලට කියන වදන් කැටයම් කළ රිදී බඳුන්වල තැබූ රන් ඇපල් මෙනි.”—හිතෝ. 25:11.

1. ආදරෙන් බැඳුණු පවුල් ජීවිතයක් ගත කරන්න හොඳ කතාබහ උදව් වෙන්නේ කොහොමද?

“මාත් එක්ක එකට හිනා වෙන්න, එකට අඬන්න, මං ළඟින් මගේ බිරිඳ හැමදාම ඉන්නවා කියලා මං දන්නවා. එයා නැති ජීවිතයක් ගැන මට හිතාගන්නවත් බැහැ.” “අපි බැඳලා දැන් අවුරුදු 11ක් වෙනවා. ඒත් එක දවසක්වත් අපි කතා නොකර ඉඳලා නැහැ. අපේ බැඳීම පලුදු වෙන පුංචි දෙයක්වත් අපි අතින් වෙන්නේ නැහැ කියලා අපිට විශ්වාසයි.” “අපි කිසි දෙයක් හංගන්නේ නැතුව කතාබහ කරනවා. අපි මේ තරම් ආදරෙන් බැඳිලා ඉන්නේ ඒ නිසයි. යෙහෝවා දෙවිට තව තවත් ළං වෙන්නත්, වරදට වැටෙන්නේ නැතුව ඉන්නත් අපිට පුළුවන් වෙලා තියෙනවා.” අපි ඒ සඳහන් කළේ ප්‍රීතිමත් පවුල් ජීවිත ගත කරන සාක්ෂිකරුවන් දහස් ගණනකගෙන් තුන්දෙනෙකුගේ අදහස් ගැන විතරයි.

2. විවාහ යුවළක් අතර හොඳ කතාබහක් නොතිබෙන්න හේතු වෙන්න පුළුවන් දේවල් මොනවද?

2 ඔබත් විවාහකයි නම් ඔබටත් එහෙම කියන්න පුළුවන්ද? එහෙම නැත්නම් ‘අපි දෙන්නා අතර ඔය කියන තරම් හොඳ කතාබහක් නැහැ’ කියලා හිතෙනවද? වෙනස් පවුල් පසුබිම් දෙකක හැදී වැඩුණු දෙන්නෙක් විවාහ වෙලා එක වහලක් යට ජීවත් වෙද්දී ප්‍රශ්න ගැටලු ඇති වෙන එක පුදුමයක් නෙවෙයි. (රෝම 3:23) දෙන්නා අදහස් හුවමාරු කරන විදිහත් වෙනස් වෙන්න පුළුවන්. පවුල් ජීවිතය ගැන උපදෙස් දෙන අය කියන්නේ “ජීවිත කාලෙටම ආදරෙන් බැඳුණු පවුල් ජීවිතයක් ගත කරන්න නම් අධිෂ්ඨානයක් වගේම හිතේ හයියකුත් තියෙන්න ඕනෙ” කියලයි.

3. ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න හුඟක් අයට උදව් වෙලා තියෙන්නේ මොනවද?

3 දෙන්නෙක් අතර ලොකු ළෙන්ගතුකමක් ආදරයක් තියෙනවා නම් ජීවිත කාලය පුරාම සතුටින් ඉන්න පුළුවන්. (දේශ. 9:9) ඊසාක් හා රෙබෙකා කියන්නේ ඒ වගේ දෙන්නෙක්. (උත්. 24:67) බැඳලා කාලයක් ගත වෙලා තිබුණත් දෙන්නා අතර තිබුණ ආදරේ නම් පොඩ්ඩක්වත් අඩු වෙලා තිබුණේ නැහැ. අදත් ගොඩක් අයට පවුල් ජීවිතය සතුටින් ගත කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ආදරෙන් කතාබහ කරන නිසයි. එහෙම කරන්න දෙන්නට දෙන්නා හොඳට තේරුම්ගන්න ඕනෙ. ආදරේ කරන්න ඕනෙ. ගරු කරන්න ඕනෙ. ඒ වගේම නිහතමානී වෙන්නත් ඕනෙ. එතකොට ඔබේ නිවසත් හොඳ කතාබහක් තියෙන ආදරෙන් බැඳුණු පුංචි කැදැල්ලක් කරගන්න ඔබටත් පුළුවන්.

හොඳට තේරුම්ගන්න

4, 5. පවුල් ජීවිතය සතුටින් ගත කරන්න වටහාගැනීමේ හැකියාව උදව් වෙන්නේ කොහොමද? උදාහරණ දෙන්න.

4 “යම් කාරණයකදී තම වටහාගැනීමේ හැකියාව යොදාගන්න තැනැත්තා තම ජීවිතය සාර්ථක කරගනියි” කියලා හිතෝපදේශ 16:20හි තියෙන වචන පවුල් ජීවිතයට මොන තරම් ගැළපෙනවද! (හිතෝපදේශ 24:3 කියවන්න.) වටහාගැනීමේ හැකියාවත් ප්‍රඥාවත් ලබාගන්න පුළුවන් හොඳම තැන දේවවචනයයි. උත්පත්ති 2:18හි කියන විදිහට දෙවි ස්ත්‍රියව නිර්මාණය කළේ පුරුෂයෙකුට වඩා වෙනස්ම පුද්ගලයෙක් විදිහටයි. ඒ කියන්නේ පුරුෂයාගේ සහකාරිය විදිහටයි. ඒ දෙන්නා කතාබහ කරන විදිහ වෙනස් වෙන්නෙත් ඒ නිසයි. සාමාන්‍යයෙන් බිරිඳක් තමන්ගේ හැඟීම් ගැන, අනිත් අය ගැන වැඩිපුර කතා කරන්න කැමතියි. සැමියා තමන් ළඟටම වෙලා ආදරෙන් කතාබහ කරයි කියලා බිරිඳක් බලාපොරොත්තු වෙනවා. ඒත් සැමියා ඊට වඩා වෙනස්. සාමාන්‍යයෙන් පිරිමි අය කැමති නැහැ තමන්ගේ හැඟීම් ගැන කතා කරන්න. ඒ අයට ඕනෙ තමන් කරපු දේවල්, කරන්න තියෙන දේවල්, ප්‍රශ්න, ඒවා විසඳන හැටි වගේ දේවල් ගැන කතා කරන්නයි. ඒ වගේම තමන්ට ගරු කරනවාටත් ඒ අය කැමතියි.

5 “මොනවා හරි ප්‍රශ්නයක් ඇති වුණාම නිස්කලංක තැනකට වෙලා ඒ ගැන කතා කරන්න මං කැමතියි. ඒත් මගේ මහත්තයට ඕනෙ ප්‍රශ්නේ ඉක්මනටම විසඳන්නයි.” බිරිඳක් එහෙම කියනකොට සැමියෙක් කියන්නේ මෙහෙමයි. “අපි බැඳපු අලුත මොන ප්‍රශ්න ආවත් ඒකට ඉක්මනට විසඳුමක් මමම කියන්න මං පුරුදු වෙලා හිටියා. ඒත් දැන් මට තේරෙනවා මගේ නෝනට ඕනෙ එයා කියන දේටත් මං ඇහුම්කන් දෙනවටයි.” (හිතෝ. 18:13; යාකො. 1:19) බිරිඳට ආදරේ කරන සැමියෙක් ඇගේ හැඟීම් තේරුම්ගන්නවා. ඇයට හිතෙන දේ, හැඟෙන දේ තමන්ට ගොඩක් වටිනවා කියලා පෙන්වනවා. (1 පේතෘ. 3:7) එතකොට බිරිඳත් සැමියව තේරුම්ගන්නවා. දෙන්නට දෙන්නා හොඳට තේරුම් අරගෙන, එකිනෙකාව අගේ කරලා, දෙවි බලාපොරොත්තු වෙන විදිහට දේවල් කරද්දී ඒ පවුල් ජීවිතය මොන තරම් ලස්සන එකක් වෙයිද! ඒ වගේම හොඳ තීරණ ගන්නත් පුළුවන් වෙනවා.

6, 7. (අ) දේශනාකාරයා 3:7හි ඇති ප්‍රතිපත්තිය විවාහක යුවළකට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද? (ආ) බිරිඳකට තම සැමියා ගැන සැලකිලිමත් වෙන්න පුළුවන් කොහොමද? සැමියෙක් කරන්න ඕනෙ මොනවද?

6 වටහාගැනීමේ හැකියාවක් තියෙන යුවළක් “නිහඬව සිටීමට කාලයක්ද කතා කිරීමට කාලයක්ද” තියෙනවා කියලා තේරුම්ගන්නවා. (දේශ. 3:1, 7) දැනට අවුරුදු දහයක් පුරා පවුල් ජීවිතයක් ගත කරන බිරිඳක් මෙහෙම කියනවා. “මොනවා හරි දෙයක් ගැන කතා කරන්න හොඳ මොන වෙලාවටද කියලා දැන් මං දන්නවා. මහත්තයා මහන්සි වෙලා ගෙදර ආපු වෙලාවකවත් එයාට තියෙන වගකීම් නිසා පීඩනයෙන් ඉන්න වෙලාවකවත් මම එයත් එක්ක ප්‍රශ්න ගැන කතා කරන්නේ නැහැ. එයා සැහැල්ලුවෙන් ඉන්න වෙලාවක් බලලා තමයි කතා කරන්නේ.” ආදරණීය බිරිඳක් සැමියගේ හිත රිද්දන්නේ නැතුව කාරුණිකව කතා කරනවා. හිතලා බලලා “නිසි කලට කියන වදන්” සැමියෙක් මොන තරම් අගය කරයිද!—හිතෝපදේශ 25:11 කියවන්න.

පුංචි පුංචි දේවල්වලට පුළුවන් ආදරේ ලස්සන කරන්න

7 සැමියෙක් බිරිඳට සවන් දෙනවා වගේම තමන්ගේ හැඟීම් ගැනත් බිරිඳ එක්ක කතා කරන්න ඕනෙ. අවුරුදු 27ක් පුරා පවුල් ජීවිතයක් ගත කරන වැඩිමහල්ලෙක් මෙහෙම කියනවා. “මගේ හැඟීම් හැම එකක්ම බිරිඳට කියන එක ලේසි නැති වුණත් මං කොහොමහරි ඒක කරනවා.” විවාහ වෙලා අවුරුදු 24ක් වෙන සැමියෙක් මෙහෙම කියනවා. “මගේ හිතේ තියෙන දේවල් බිරිඳට කියන එක දුර්වලකමක් කියලා මං හිතන්නේ නැහැ. මොනවා හරි දෙයක් ගැන මට එයත් එක්ක කතා කරන්න අමාරුයි කියලා හිතුණොත් ඒ ගැන කියන්න උදව් ඉල්ලලා යාච්ඤා කරනවා.” හොඳ කතාබහකට, ඒක කරන අවස්ථාවත් බලපානවා. දෙන්නා විවේකීව ඉන්න වෙලාවක ඒ ගැන කතා කරන්න. සමහරවිට දිනපදය බලන වෙලාවක හරි බයිබලය කියවන වෙලාවක හරි කතාබහ කරන්න පුළුවන්.

8. දෙවිට සේවය කරන යුවළකට තමන්ගේ විවාහය සාර්ථක කරගන්න පුළුවන් ඇයි?

8 එකට යාච්ඤා කරන එකත් දෙන්නට දෙන්නා තේරුම් අරගෙන කතාබහ කරන එකත් අත්‍යවශ්‍ය දෙයක්. පුංචි කාලේ ඉඳලම පුරුදු වුණ විදිහ වෙනස් කරගන්න එක ටිකක් අමාරුයි තමයි. ඒත් දෙන්නම යෙහෝවා දෙවිට ආදරෙයි නම් දෙවිගේ උපකාරය ඕනෙ කියලා හිතනවා නම් දෙන්නා අතර තියෙන බැඳීම මිල කරන්න බැරි දෙයක් කියලා සලකනවා නම් ඒක කොහොමටවත් අමාරු නැහැ. “අපේ විවාහය ගැන අපි හිතන්නේ දෙවි හිතන විදිහටයි. ඒ නිසා වෙන් වෙන එක ගැන අපිට හිතන්නවත් බැහැ. ප්‍රශ්නයක් ඇති වුණාම ඒ ගැන කතාබහ කරලා කොහොමහරි ඒක විසඳගන්නවා.” එහෙම කියන්නේ අවුරුදු 26ක් තිස්සේ විවාහ වෙලා ඉන්න බිරිඳක්. ඒ වගේ පවුල්වලට යෙහෝවා දෙවි හුඟක් ආශීර්වාද කරනවා.—ගීතා. 127:1.

ආදරෙන් ඉන්න

9, 10. යුවළකට තමන්ගේ බැඳීම තවත් ශක්තිමත් කරගන්න පුළුවන් කොහොමද?

9 ආදරේ කියන්නේ විවාහයක තියෙන්න ඕනෙම කරන දෙයක්. දෙන්නගේ බැඳීම තවත් වැඩි වෙන්නේ ආදරේ නිසයි. (කොලො. 3:14) ජීවිතයේ හිනා වෙන්න ලැබෙන අවස්ථා වගේම අඬන්න වෙන අවස්ථාත් ඕනෙ තරම් තියෙනවා. ඒත් ඒ හැම එකකදීම දෙන්නට එකට අත් අල්ලගෙන ඒවාට මුහුණ දෙන්න පුළුවන් නම් ඒ දෙන්නා තවත් ආදරෙන් බැඳෙනවා. ආදරේ පෙන්වන්න ලොකු ලොකු දේවල් ඕනෙ නැහැ. පුංචි පුංචි දේවල්වලට වුණත් පුළුවන් දෙන්නගේ ආදරේ හිතාගන්න බැරි තරම් ලස්සන කරන්න. ආදරේ පිරුණු එක වචනයකට, බැල්මකට, හිනාවකට, වැලඳගැනීමකට පුළුවන් වචන දාහකට කරන්න බැරි දේ කරන්න. අවුරුදු 19ක් ආදරෙන් බැඳිලා ඉන්න විවාහක යුවළක් හැමදාම අඩු තරමින් SMS එකකින් හරි එකිනෙකා ගැන හොයලා බලනවා. ඒ පුංචි දෙයට වුණත් පුළුවන් වුණා ඒ දෙන්නගේ බැඳීම තවත් වැඩි කරන්න.

10 ආදරේ නිසා එකිනෙකාව තවත් හොඳට තේරුම්ගන්න දෙන්නා තුළ ආශාවක් ඇති වෙනවා. (ෆිලි. 2:4) එහෙම කරද්දී පොඩි පොඩි අඩුපාඩුකම් තිබුණත් දෙන්නගේ බැඳීම තවත් ශක්තිමත් වෙනවා. මේ ප්‍රශ්න ටික ඔබෙන්ම අහගන්න. ‘මං මගේ බිරිඳව/සැමියව කොයි තරම් හොඳට තේරුම් අරන්ද ඉන්නේ? එයාට හැඟෙන විදිහ ගැන මං දන්නවද? ආදරේ කරන කාලේ මං එයාගේ දැක්ක ලස්සන ගතිගුණ ගැන මං තාමත් හිතනවද?’

එකිනෙකාට ගරු කරන්න

11. විවාහක යුවළක් එකිනෙකාට ගරු කරන එක අත්‍යවශ්‍ය දෙයක් වෙන්නේ ඇයි? උදාහරණයක් දෙන්න.

11 මේ ලෝකේ සතුටින්ම ඉන්න යුවළ අතර වුණත් පොඩි පොඩි අඬදබර එකඟ නොවීම් ඇති වෙනවා. ආබ්‍රහම් හා සාරා අතරත් ඒ වගේ දේවල් තිබුණා. (උත්. 21:9-11) ඒත් එහෙම වුණා කියලා දෙන්නගේ බැඳීම නම් අඩු වුණේ නැහැ. ඒකට හේතුව ඒ දෙන්නම එකිනෙකාට ගරු කරපු නිසයි. දවසක් ආබ්‍රහම් සාරාට යම් දෙයක් කරන්න කිව්වා. අණ කරනවා වෙනුවට ආබ්‍රහම් කිව්වේ “මා වෙනුවෙන් මේ දේ කරන්න” කියලයි. (උත්. 12:11, 13) අනිත් අතට සාරාත් ආබ්‍රහම්ට කතා කරද්දී විතරක් නෙවෙයි ඔහු ගැන හිතද්දීත් ඔහුට “ස්වාමීනි” කියා පවසමින් ගරු කළා. (උත්. 18:12; 1 පේතෘ. 3:6) යුවළක් එකිනෙකාට ගරු කරන්නේ නැත්නම් කතා කරන විදිහෙන් ඒක පේනවා. (හිතෝ. 12:18) ඉක්මනටම ඒක හදාගත්තේ නැත්නම් දෙන්නගේ විවාහය තියෙන්නේ ලොකු අනතුරක.—යාකොබ් 3:7-10, 17, 18 කියවන්න.

12. අලුත බැඳපු යුවළක් එකිනෙකාට ගරු කරන්න ලොකු උත්සාහයක් ගන්න ඕනෙ ඇයි?

12 අලුත බැඳපු යුවළක් එකිනෙකාට කාරුණිකව කතා කරන්නත් ගරු කරන්නත් ලොකු උත්සාහයක් ගන්න ඕනෙ. දෙන්නා අතර අවංක කතාබහක් ඇති වෙන්නේ එතකොටයි. එක සැමියෙක් මෙහෙම කියනවා. “බැඳලා ගත කරන මුල් අවුරුදු ටික සතුට වගේම අභියෝගත් තියෙන කාලයක්. ආදරේ කරපු කාලේ දැක්කේ නැති අඩුපාඩු ඒ කාලෙදී පේන්න ගන්නවා. එතකොට ටිකක් කේන්ති යන්නත් ‘මං බැන්දේ මට ගැළපෙන කෙනාවමද’ කියලා හිතෙන්නත් ඉඩ තියෙනවා. ඒත් ඒ දේවල් දිහා සාධාරණව බලන්න පුළුවන් නම්, පුංචි විහිළුවක් කරලා ඒක අමතක කරන්න පුළුවන් නම්, නිහතමානීව ඉවසීමෙන් වැඩ කරන්න පුළුවන් නම්, දෙවිගෙන් උදව් ඉල්ලනවා නම් ජීවිත කාලයක් පුරා දිව යන සතුටින් පිරි විවාහයකට හොඳ අත්තිවාරමක් ඒ කාලෙදී දාගන්න පුළුවන් වෙයි.”

නිහතමානී වෙන්න

13. සතුටින් පිරි පවුල් ජීවිතයක් ගත කරන්න නම් නිහතමානිකම අත්‍යවශ්‍ය ඇයි?

13 යුවළක් අතර තියෙන හොඳ කතාබහ ලස්සන උයනක් මැදින් නිස්කලංකව ගලාගෙන යන දිය පහරක් නම්, උඩඟුකම කියන්නේ ඒ දිය පහර හරහා දාපු ලොකු ගලක් වගේ. ඒ නිසා ‘නිහතමානිකම’ හොඳ කතාබහකට අත්‍යවශ්‍යයි. (1 පේතෘ. 3:8) “‘මට සමාවෙන්න’ කියලා හදවතින්ම කියන්න පුළුවන් නිහතමානී කෙනෙකුට විතරයි” කියලා අවුරුදු 11ක් පුරා විවාහ ජීවිතයක් ගත කරන සැමියෙක් කියනවා. ඉක්මනින්ම ප්‍රශ්න විසඳගන්න පුළුවන් විදිහ තමයි නිහතමානී වෙන එක. “සමහර වෙලාවට ‘මං ඔයාට ආදරෙයි’ කියලා කියනවටත් වඩා ‘අනේ මට සමාවෙන්න’ කියන එක ගොඩක් ප්‍රයෝජනවත්. නිහතමානී වෙන්න ඕනෙ කියලා මතක් කරගන්න පුළුවන් හොඳම විදිහ තමයි දෙන්නම එකතු වෙලා යාච්ඤා කරන එක. එතකොට අපි අතින් මොන තරම් වැරදි වෙනවද කියන එකත් දෙවිගේ කරුණාව කොච්චර ඕනෙද කියන එකත් අපිට මතක් වෙනවා. නිහතමානී වෙන්න ඒක මට ලොකු උදව්වක්.” එහෙම කියන්නේ අවුරුදු 20ක් තිස්සේ සතුටින් පවුල් ජීවිතය ගත කරන වැඩිමහල්ලෙක්.

ජීවිත කාලයක් ආදරෙන් බැඳී ඉන්න කතාබහ කරන්න

14. උඩඟුකම විවාහ ජීවිතය සුනුවිසුනු කරලා දානවා කියලා කියන්නේ ඇයි?

14 උඩඟු කෙනෙක් හිතන්නේ ‘මං යන්නේ නැහැ එයා ළඟට. එයා එන්න ඕනෙ මං ළඟට’ කියලයි. ‘මගෙයි වරද. මට සමාවෙන්න’ කියන්න තරම් ධෛර්යයක් උඩඟු කෙනෙකුට නැහැ. ඒ වගේ කෙනෙක් තමන්ගේ අතින් වුණ වරද පිළිගන්නේ නැතුව ඒකට නිදහසට කරුණු කියනවා. හැම තිස්සෙම අනිත් කෙනාට ඇඟිල්ල දික් කරනවා. කේන්ති අරන් හිත රිදෙන දේවල් කියනවා. දවස් ගණන් කතා නොකර ඉන්නවා. (දේශ. 7:9) එහෙමනම් උඩඟුකම කියන්නේ දෙන්නගේ බැඳීම සුනුවිසුනු කරලා දාන දෙයක් නේද? “දෙවි උඩඟු අයට විරුද්ධව සිටියත් තම මහත් කරුණාව නිහතමානී අයට පෙන්වන්නේය” කියන දේ මතක තියාගමු.—යාකො. 4:6.

15. යුවළකට එෆීස 4:26, 27හි ඇති උපදෙස ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

15 අපි හැමෝම ටිකක් උඩඟු විදිහට වැඩ කරන වෙලාවල් නැතුවම නෙවෙයි. ඒ වගේ වෙලාවලදී ඉක්මනටම ඒ වරද හදාගන්න ඕනෙ. බයිබලයේ කියන්නේ “ඉර බසින්න කලින් ඔබේ කෝපය ඉවත් කරගන්න. යක්ෂයාට කිසි ඉඩක් නොදෙන්න” කියලයි. (එෆී. 4:26, 27) එහෙම නොකළොත් අපේ පවුල් ජීවිතවලත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. “එෆීස 4:26, 27 කියන දේ අදාළ කරගත්ත නැති දවස් අපිටත් තිබුණා. ඒත් ඒ එක දවසකවත් හිතේ නිදහසින් නින්දට යන්න මට බැරි වුණා” කියලා සහෝදරියක් කියනවා. ඒ නිසා ප්‍රශ්නයක් ඇති වුණාම ඉක්මනටම කතාබහ කරලා ඒක විසඳගන්න. මුලින්ම සන්සුන් වෙන්න කාලයක් ගන්න. යාච්ඤා කරන්න. නිහතමානී වෙන්නත් තමන් ගැන විතරක් හිතන්නේ නැතුව ප්‍රශ්නේ දිහා විවෘත මනසකින් බලන්නත් ඒක උදව් වෙයි. ඔබ ගැන විතරක් හිතන්න ගියොත් ප්‍රශ්නය දුර දිග යන එක නවත්වන්න බැහැ.—කොලොස්සි 3:12, 13 කියවන්න.

16. එකිනෙකාගේ හැකියාවන් දිහා, හරි විදිහට බලන්න නිහතමානිකම උදව් වෙන්නේ කොහොමද?

16 අඩුපාඩු දිහා බලනවා වෙනුවට අනිත් කෙනාගේ හැකියාවන් අගය කරන්න නිහතමානිකම උදව් වෙනවා. අපි හිතමු, බිරිඳට යම් දෙයක් ගැන විශේෂ හැකියාවක් තියෙනවා කියලා. එයා ඒක පවුලේ ප්‍රයෝජනයට පාවිච්චි කරනවා. ඇගේ සැමියා නිහතමානී නම් ‘මට වඩා එයා කැපිලා පෙනෙයි’ කියලා හිතන්නේ නැහැ. ඒ වෙනුවට එයා බිරිඳව තවත් දිරිගන්වනවා. ඇයව තමන්ට කොච්චර වටිනවාද කියන එක ඒකෙන් ඔහු පෙන්වනවා. (හිතෝ. 31:10, 28; එෆී. 5:28, 29) අනිත් අතට බිරිඳත් නිහතමානී නම් කැපිලා පේන්න උත්සාහ කරලා සැමියව රිද්දන්නේ නැහැ. විවාහ වුණ දෙන්නෙක් “එක් කෙනෙකු මෙන්” වෙන නිසා එක් කෙනෙකුට රිදෙනකොට අනිත් කෙනාටත් දැනෙන්න ඕනෙ නේද?—මතෙ. 19:4, 5.

17. ආදරෙන් බැඳුණ හා යෙහෝවා දෙවිව සතුටු කරන පවුල් ජීවිතයක් ගත කරන්න උදව් වෙන්නේ මොනවද?

17 ආබ්‍රහම් හා සාරා, ඊසාක් හා රෙබෙකා වගේ සතුටින් පිරුණු, ජීවිත කාලයටම තියෙන, යෙහෝවා දෙවිව සතුටු කරන පවුල් ජීවිතයක් ගත කරන්න ඔබත් කැමති ඇති. එහෙමනම් දෙවි බලන විදිහට ඔබේ බැඳීම දිහා බලන්න. දේවවචනයේ උපදෙස් පිළිපදින්න. නිහතමානී වෙන්න. දෙන්නා අතර තියෙන ආදරය දවසින් දවස වැඩි කරගන්න. (සල. 8:6) එකිනෙකාට ගරු කරන්න. එහෙම කරනවා නම් ඔබටත් ආදරෙන් බැඳුණු පවුල් ජීවිතයක් ගත කරන්න ලැබෙනවා විතරක් නෙවෙයි යෙහෝවා දෙවිව සතුටු කරන්නත් පුළුවන් වෙයි. (හිතෝ. 27:11) ඒ වගේම අවුරුදු 27ක් පුරා සතුටින් පවුල් ජීවිතය ගත කරන සැමියෙක් කියන මේ වචන ඔබෙත් වචන වෙනවා නොඅනුමානයි. “මගේ බිරිඳ නැති ජීවිතයක් ගැන මට නම් හිතාගන්නවත් බැහැ. අපි දෙන්නම යෙහෝවා දෙවිට ආදරෙයි. ඒ වගේම අපි හැම දෙයක් ගැනම විවෘතව කතාබහ කරනවා. ඒ නිසා ගත වෙන හැම දවසක් ගානෙම අපි දෙන්නගේ ආදරේ තවත් වැඩි වෙනවා.”