Skip to content

පටුනට යන්න

ඔබේ උරුමය අහිමි කරගන්න එපා!

ඔබේ උරුමය අහිමි කරගන්න එපා!

“දුෂ්ට දේවල් පිළිකුල් කරන්න. අත් නෑර යහපත් දේවලට ඇලුම් වන්න.”—රෝම 12:9.

1, 2. (අ) දෙවිට සේවය කරන්න ඔබ තීරණයක් ගත්තේ කොහොමද? (ආ) අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

අපි හැමෝටම තීරණ ගන්න සිද්ධ වෙනවා. ඒ අතරින් අපි ගත්ත ඥානවන්තම තීරණය තමයි යෙහෝවා දෙවිට කැප වෙලා සේවය කරන්නත් යේසුස්ව ආදර්ශයට ගන්නත් ගත්ත තීරණය. (මතෙ. 16:24; 1 පේතෘ. 2:21) ඒක බැරෑරුම් තීරණයක්. අපි ඒ තීරණය ගත්තේ බයිබලයේ තියෙන මූලික ඉගැන්වීම් ටිකක් ගැන විතරක් දැනුවත් වෙලා නෙවෙයි. බයිබලය හොඳින් අධ්‍යයනය කරලා යෙහෝවා දෙවි අපිට දෙන්න පොරොන්දු වෙලා තියෙන උරුමය ගැන හොඳ විශ්වාසයක් ඇති කරගෙනයි අපි ඒ තීරණය ගත්තේ. දෙවි ගැනත් යේසුස් ගැනත් දිගටම ඉගෙනගන්න හැම කෙනෙකුටම දෙවි ඒ උරුමය ලබා දෙනවා.—යොහ. 17:3; රෝම 12:2.

2 මොකක්ද දෙවි අපිට දෙන්න පොරොන්දු වෙලා තියෙන උරුමය? ඒක අපිට කොච්චර වටිනවද? ඒ උරුමය ලබාගන්න නම් අපි මොනවද කරන්න ඕනෙ? හරි තීරණ ගන්න අපිට උදව් වෙන්නේ මොනවද? ඒ ගැන අපි මේ ලිපියෙන් බලමු.

අපිට ලැබෙන උරුමය මොකක්ද?

3. (අ) අභිෂේක ලත් අයට ලැබෙන උරුමය මොකක්ද? (ආ) ‘වෙනත් බැටළුවන්ට’ ලැබෙන උරුමය මොකක්ද?

3 අභිෂේක ලත් අයට ඒ උරුමය ලැබෙන්නේ ස්වර්ගයේ. එහි “අලුත් උපතක්” ලබන ඔවුන්ට අමරණීය ජීවිතයක් ලැබෙනවා වගේම යේසුස් එක්ක එකතු වෙලා පාලනය කරන්නත් අවස්ථාව ලැබෙනවා. (යොහ. 3:1-3; 1 පේතෘ. 1:3, 4) අභිෂේක ලත් අයත් එක්ක එකතු වෙලා ශුභාරංචිය දේශනා කරන මිලියන ගණනක් ‘වෙනත් බැටළුවන්ට’ ලැබෙන උරුමය මොකක්ද? (යොහ. 10:16) ඔවුන්ට පාරාදීස පොළොවක දුකක් වේදනාවක් මරණයක් නැතුව සදාකාලයටම ජීවත් වෙන්න ලැබෙනවා. (එළි. 21:1-4) යේසුස් වධකණුවේ ඇණ ගහලා ඉන්නකොට ඔහු ළඟ හිටපු කෙනාට ඒ උරුමය ගැන මෙහෙම කිව්වා. “ඔබ මා සමඟ පාරාදීසයේ සිටින බවට අද මම ඔබට සහතිකවම පොරොන්දු වෙනවා.”—ලූක් 23:43.

4. දැන් අපි අද්දකින ආශීර්වාද මොනවද?

4 ඉදිරියේදී ලැබෙන දේවල් විතරක් නෙවෙයි අපි අද අද්දකින ආශීර්වාදත් අපේ උරුමයට අයිතියි. ඒ මොනවද? “ක්‍රිස්තුස් යේසුස්ගේ ජීවිත පූජාව” නිසා දෙවි සමඟ සමාදාන වීමට වගේම දෙවි එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. (රෝම 3:23-25) අනාගතය ගැන බයිබලයේ පොරොන්දු වෙලා තියෙන දේවල් ගැන අපිට හොඳ අවබෝධයක් තියෙනවා. ලෝකෙ පුරාම ඉන්න සහෝදර සහෝදරියන්ගෙන් අපි ලබන ආදරය නිසා අපි මොන තරම් සතුටක් ලබනවද! දෙවි ගැන අනිත් අයට කියලා දෙන්න අපිට ලැබිලා තියෙන අවස්ථාවත් කොච්චර වටිනවද! ඒ හැම දේම ඇතුළත් උරුමයක් අපිට දීලා තියෙන එක ගැන අපි දෙවිට මොන තරම් ස්තුති කරන්න ඕනෙද!

5. සාතන් නිතරම කරන්න උත්සාහ කරන්නේ මොනවද? සාතන්ගේ උගුල්වලට අසු නොවී ඉන්න නම් අපි මොනවද කරන්න ඕනෙ?

5 ඒ උරුමය අපිට නැති කරන්න සාතන් බලාගෙන ඉන්නවා. ළඟදී තමන්ව විනාශ වෙනවා කියලා සාතන් දන්න නිසා ඔහු නිතරම උත්සාහ කරන්නේ අපිව වරදකට අසු කරගන්නයි. (එළිදරව් 12:12, 17 කියවන්න.) සාතන් අපිව අසු කරගන්න පාවිච්චි කරන එක ප්‍රධාන උගුලක් තමයි වැරදි තීරණ ගන්න අපිව පොලඹවන එක. (ගණන්. 25:1-3, 9) ඔහුගේ “උපායන්වලට විරුද්ධව නොසැලී ස්ථිරව” ඉන්න නම් අපි නිතරම අපිට තියෙන උරුමය අගය කරන්න ඕනෙ. (එෆී. 6:11) තමන්ට තිබුණ උරුමය අගය නොකරපු කෙනෙක් තමයි ඒසව්. අපි ඔහු ගැන ටිකක් බලමු.

ඒසව්ගේ අවාදර්ශය

6, 7. ඒසව් කියන්නේ කවුද? ඔහුට ලැබෙන්න තිබුණ උරුමය මොකක්ද?

6 මීට අවුරුදු 4,000කට විතර කලින් හිටපු ඒසව් හා යාකොබ් කියන්නේ නිවුන් සහෝදරයෝ දෙන්නෙක්. ඒත් දෙන්නට දෙන්නා හුඟක් වෙනස්. ‘ඒසව් නිතරම දඩයමේ ගිය දක්ෂ දඩයක්කාරයෙක්. ඒත් යාකොබ් ධර්මිෂ්ඨ කෙනෙක්. ඔහු ජීවත් වුණේ කූඩාරම්වල.’ (උත්. 25:27) යාකොබ්ව ධර්මිෂ්ඨ කෙනෙක් කියලා හැඳින්නුවේ ඔහු වැරදි දේවල් නොකර දෙවිට විශ්වාසවන්තව හිටපු නිසයි.

7 මේ දෙන්නට වයස අවුරුදු 15ක් වෙද්දී ඔවුන්ගේ සීයා වුණ ආබ්‍රහම් මිය ගියා. ඒත් ආබ්‍රහම්ට වුණ පොරොන්දුව නම් යෙහෝවා දෙවි අමතක කළේ නැහැ. ඒ නිසා කාලෙකට පස්සේ දෙවි ආයෙත් ඒ පොරොන්දුව ආබ්‍රහම්ගේ පුතා වුණ ඊසාක්ටත් දුන්නා. ඒ තමයි ආබ්‍රහම්ගෙන් “පැවත එන තැනැත්තා” මාර්ගයෙන් පොළොවේ සියලුම ජාතීන් ආශීර්වාද ලබනවා කියන පොරොන්දුව. (උත්පත්ති 26:3-5 කියවන්න.) උත්පත්ති 3:15හි සඳහන් වන “පැවත එන තැනැත්තා” වන මෙසියස්, ආබ්‍රහම්ගේ පෙළපතින් පැමිණෙනවා කියලයි දෙවි කිව්වේ. ඒසව් වැඩිමලා නිසා මෙසියස් එන පරම්පරාවේ සාමාජිකයෙක් වෙන්න අයිතිය තිබුණේ ඔහුටයි. ඒක ඒසව්ට ලැබෙන්න තිබුණ වටිනා උරුමයක්. ඒත් ඔහු ඒ උරුමය අගය කළාද?

කිසිම දෙයක් නිසා ඔබේ උරුමය අහිමි කරගන්න එපා

8, 9. (අ) තමන්ගේ උරුමය ගැන ඒසව් ගත්ත තීරණය මොකක්ද? (ආ) තමන් ගත්ත තීරණය ගැන පසු කාලයකදී ඒසව්ට හැඟුණේ කොහොමද?

8 කාලයක් ගියාට පස්සේ එක දවසක් දඩයමේ ගිහින් ආපු ඒසව් දැක්කා යාකොබ් ‘ධාන්‍ය ව්‍යංජනයක් පිසිමින් ඉන්නවා.’ “ඔබ පිසිමින් සිටින රතු පාට ව්‍යංජනයෙන් මට ටිකක් දෙනවාද? ඉක්මන් කරන්න, මට හරි මහන්සියි” කියලා ඒසව් කිව්වා. එතකොට යාකොබ් කිව්වේ “ඊට කලින් ඔබේ කුලුඳුල්කම මට විකුණන්න” කියලයි. ඒසව් ගත්තේ මොන වගේ තීරණයක්ද? ‘කුලුඳුල්කමෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද’ කියලා අහපු ඒසව් කුලුඳුල්කම වෙනුවට ධාන්‍ය ව්‍යංජනය තෝරගත්තා. ඒ ගැන හරියටම දැනගන්න හිතාගෙන යාකොබ් මෙහෙම කිව්වා. “මුලින්ම ඔබේ කුලුඳුල්කම මට දෙනවා කියා දිවුරා පොරොන්දු වෙන්න.” දෙපාරක් හිතන්නේ නැතුව ඒසව් තමන්ගේ කුලුඳුල්කම යාකොබ්ට විකුණනවා කියලා පොරොන්දු වුණා. ඊටපස්සේ ‘යාකොබ් ඒසව්ට රොටිද ධාන්‍ය ව්‍යංජනයද දුන්නා. ඔහු කාලා බීලා එතැනින් පිට වෙලා ගියා.’ කුලුඳුලා හැටියට ඒසව්ට ලැබිලා තිබුණ උරුමය ඔහු පොඩ්ඩක්වත් අගය කළේ නැහැ.—උත්. 25:29-34.

9 ඒ සිද්ධිය වෙලා අවුරුදු ගාණකට පස්සේ තමන් මිය යන්න ළඟයි කියලා දැනගත්ත ඊසාක්ට ඕනෙ වුණා තමන්ගේ කුලුඳුල් පුතාට ආශීර්වාද කරන්න. ඒ වෙනකොටත් ඒසව් කුලුඳුල්කම යාකොබ්ට විකුණලයි තිබුණේ. ඒ නිසා යාකොබ්ට කුලුඳුලා හැටියට ආශීර්වාද ලබන්න රෙබෙකා අවස්ථාව ලබා දුන්නා. කුලුඳුලා හැටියට යාකොබ්ට ආශීර්වාද ලැබුණා කියලා දැනගත්තට පස්සේ තමන් ගත්ත මෝඩ තීරණය ගැන පසුතැවිලි වුණ ඒසව් මෙහෙම කිව්වා. “අනේ තාත්තේ මටත් ආශීර්වාද කරන්න. . . . අනේ, ඔබ මට ආශීර්වාදයක් ඉතුරු කළේ නැද්ද?” ඒත් ඒ වෙනකොටත් යාකොබ්ට ආශීර්වාද කරලා ඉවර නිසා කරන්න දෙයක් නැහැ කියලා ඊසාක් කිව්වා. ඒසව් ඒ ගැන ගොඩක් දුක් වෙලා ඇඬුවා.—උත්. 27:30-38.

10. යෙහෝවා දෙවිට ඒසව් සහ යාකොබ් ගැන හැඟුණේ කොහොමද? ඒ ඇයි?

10 ඒසව්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද? තමන්ට උරුම වෙලා තිබුණ ආශීර්වාදවලට වඩා වැඩියෙන් වටින්නේ තමන්ගේ ආශාවන් තෘප්තිමත් කරගන්න එක කියලා ඒසව් පෙන්නුවා. ඒ වගේම ඔහු යෙහෝවා දෙවිට ආදරය කළේ නැහැ කියලත් ඒකෙන් පැහැදිලි වුණා. ඔහු ගත්ත තීරණය ඔහුගෙන් පැවතෙන්නන්ට කොහොම බලපායිද කියලත් ඔහු හිතුවේ නැහැ. ඒත් යාකොබ් ඊට වඩා වෙනස්. ඔහු තමන්ගේ උරුමය ගොඩක් වටින එකක් විදිහට සැලකුවා. ඒ වගේම ඔහු ගත්තෙත් ඒ උරුමය ආරක්ෂා කරගන්න පුළුවන් වෙන විදිහේ තීරණයි. උදාහරණයකට බිරිඳක් තෝරගන්න අවස්ථාවේදී ඔහු දෙමව්පියන්ගේ උපදෙස් පිළිපැද්දා. (උත්. 27:46–28:3) ඒක ලේසි දෙයක් වුණේ නැහැ. ඒත් ඔහු හරි තීරණය ගත්ත නිසා ඔහුගේ පෙළපතින් මෙසියස් පැමිණීමට අවස්ථාව දීලා යෙහෝවා දෙවි ඔහුට ආශීර්වාද කළා. මේ නිවුන් සහෝදරයන් ගැන යෙහෝවා දෙවිට හැඟුණේ කොහොමද? “මා ප්‍රේම කළේ යාකොබ්ටය. එහෙත් ඒසව්ව මම ප්‍රතික්ෂේප කළෙමි” කියලා දෙවි කිව්වා.—මලා. 1:2, 3.

11. (අ) ඒසව්ගේ සිද්ධියෙන් අපිට දෙන අනතුරු ඇඟවීම මොකක්ද? (ආ) ඒසව් ගැන කතා කරද්දී පාවුල් වේශ්‍යාකම ගැන සඳහන් කළේ ඇයි?

11 ඒ සිද්ධිය වෙලා අවුරුදු සිය ගාණකට පස්සේ පාවුල් මෙහෙම කිව්වා. ‘වේශ්‍යාකමේ යෙදෙන කිසිවෙකුවත් කුලුඳුලා වශයෙන් තමාට හිමි අයිතිවාසිකම් එක කෑම වේලක් වෙනුවෙන් අහිමි කරගත් ඒසව් හා සමානව පරිශුද්ධ දේවල් අගය නොකරන කිසිවෙකුවත් ඔබ අතරේ නොසිටිය යුතුයි.’ (හෙබ්‍රෙ. 12:16) ඒක අපිටත් අනතුරු ඇඟවීමක්. අපිත් අපිට උරුම වෙලා තියෙන වටිනා දේවල් අගය කරන්න ඕනෙ. එහෙම කළේ නැත්නම් අපේ ආශාවන්ට අපි අසු වෙලා අපේ උරුමය අපිට අහිමි වෙයි. ඒසව් ගැන කතා කරද්දී පාවුල් වේශ්‍යාකම ගැන සඳහන් කළේ ඇයි? ඒකට හේතුව අපිත් ඒසව් වගේ අපේම ආශාවන්ට අපිව පාලනය කරන්න ඉඩ දුන්නොත් අනාචාරය වගේ බරපතළ පාපයකට අසු වෙන්න ඉඩ තියෙනවා කියලා පෙන්වන්නයි. එහෙමවුණොත් සමහරවිට අපේ උරුමය අහිමි වෙන්නත් ඉඩ තියෙනවා.

සිත සූදානම් කරගන්න

12. (අ) සාතන් අපිව වරදට පොලඹවන්නේ කොහොමද? (ආ) වැරදි කරන්න පෙලඹෙද්දී අපිට උදව් වෙන්නේ බයිබලයේ සඳහන් මොන වගේ සිද්ධීන්ද?

12 අනාචාරයට අසු නොවී ඉන්න අපිට කරන්න පුළුවන් හැම දේම කරන්න ඕනෙ. ඒ සඳහා කවුරු හරි අපිව පොලඹවද්දී යෙහෝවා දෙවිට යාච්ඤා කරලා ඒකට අසු නොවී ඉන්න උදව් ඉල්ලන්න ඕනෙ. (මතෙ. 6:13) දිගටම විශ්වාසවන්තව ඉන්න අපි කොයි තරම් උත්සාහ කළත් දෙවි එක්ක තියෙන අපේ බැඳීම දුර්වල කරන්න සාතන් හැම තිස්සෙම උත්සාහ කරනවා කියන එක අපි මතක තියාගමු. (එෆී. 6:12) මේ දුෂ්ට සමාජයේ දෙවියා වන සාතන් දන්නවා මිනිසුන්ට තියෙන ආශාවන් පාවිච්චි කරලා ඔවුන්ව වැරදි දේවලට පොලඹවන්නේ කොහොමද කියලා. (1 කොරි. 10:8, 13) ඔබත් ඒ වගේ අවස්ථාවකට මුහුණ දුන්නොත් මොන වගේ තීරණයක්ද ගන්නේ? ඒසව් වගේ ඉක්මනටම ඒ ආශාවන්වලට අසු වෙයිද? එහෙම නැත්නම් යාකොබ්ගේ පුතා වන යෝසෙප් වගේ ආශාවන්ට අසු නොවී එතැනින් පලා යයිද?—උත්පත්ති 39:10-12 කියවන්න.

13. (අ) අද හුඟක් අය යෝසෙප් වගෙත් සමහර අය ඒසව් වගෙත් ක්‍රියා කරලා තියෙන්නේ කොහොමද? (ආ) අපි ඒසව් වගේ නොවෙන්න නම් කරන්න ඕනෙ මොනවද?

13 තමන් ඒසව් වගේ වෙනවද, යෝසෙප් වගේ වෙනවද කියලා තීරණය කරන්න සිද්ධ වෙන විදිහේ පෙලඹීම්වලට අපේ සහෝදර සහෝදරියන් නිතරම වගේ මුහුණ දෙනවා. ඒ අය අතරින් වැඩිදෙනෙක් හරි තීරණ අරන් යෙහෝවා දෙවිගේ සිත සතුටු කරනවා. (හිතෝ. 27:11) අනිත් අය ඒසව් වගේ ඔවුන්ට තියෙන උරුමය අහිමි කරගන්නවා. හැම අවුරුද්දකම වගේ සභා ආශ්‍රයෙන් ඉවත් කරන හා විනිශ්චය කමිටුවක් මගින් අවවාද කරන හුඟක් අයට එහෙම කරන්නේ ඔවුන් අනාචාරයට අසු වුණ නිසයි. ඒ නිසා ඕනෙම ආකාරයක වැරදි පෙලඹීමකට අසු නොවී ඉන්න දැන්ම අපි සිත සූදානම් කරගන්න ඕනෙ. (ගීතා. 78:8) ඒ වගේ වැරදි පෙලඹීම්වලට අසු නොවී හරි තීරණ ගන්න නම් අපි කරන්න ඕනෙ දේවල් දෙකක් ගැන දැන් අපි බලමු.

හොඳට හිතලා සූදානම් වෙන්න

වැරදි පෙලඹීම්වලින් ආරක්ෂා වෙන්න නම් බයිබලය හොඳින් අධ්‍යයනය කරන්න

14. අපි හිතලා බලන්න ඕනෙ මොන වගේ ප්‍රශ්න ගැනද?

14 මුලින්ම කරන්න ඕනෙ දේ තමයි වරදක් කරපුවම විඳින්න වෙන ප්‍රතිඵල ගැන හිතන එක. ඔබ කාට හරි ඇත්තටම ආදරෙයි නම් ඒ කෙනාව රිද්දන්න කැමති නැහැ නේද? එහෙමනම් අපි බරපතළ වරදක් කළොත් ඒකෙන් අපිට විතරක් නෙවෙයි අපි ආදරය කරන අයටත් වේදනාවක් ඇති වෙනවා කියලා මතක තියාගමු. ඒ නිසා මේ ප්‍රශ්න ටික ඔබෙන්ම අහගන්න. මගේ ආශාවන් තෘප්තිමත් කරගන්න ගියොත් ඒක යෙහෝවා දෙවි එක්ක තියෙන මගේ බැඳීමට කොහොම බලපායිද? මම කරන වරද නිසා මගේ පවුලේ අයට මොන තරම් දුකක් දැනෙයිද? මගේ සභාවේ අයට ඒක කොහොම බලපායිද? මම කරන දේ නිසා අනිත් අයගේ විශ්වාසයට හානි වෙයිද? (ෆිලි. 1:10) සුළු මොහොතකට ලැබෙන සතුට වෙනුවෙන් මට තියෙන වටිනා දේවල් මම අහිමි කරගන්නවද? වරදට ලැබෙන ප්‍රතිඵල නිසා ඒසව් වගේ දුකෙන් අඬන්න මට ඕනෙද? (හෙබ්‍රෙ. 12:17) නිවීහැනහිල්ලේ ඒ ප්‍රශ්න ගැන ටිකක් හිතන්න. එහෙම කළොත් යහපත් දේවලට ඇලුම් කරන්නත් නපුරු දේවල් පිළිකුල් කරන්නත් ඔබට පුළුවන් වෙයි. (රෝම 12:9) අපි අපේ යෙහෝවා දෙවිට ඇත්තටම ආදරෙයි නම් අපිට තියෙන උරුමය ආරක්ෂා කරගන්න අපිට කරන්න පුළුවන් හැම දේම කරනවා.—ගීතා. 73:28.

15. වැරදි පෙලඹීම්වලට අසු නොවී දෙවි එක්ක තියෙන බැඳීම තවත් ශක්තිමත් කරගන්න අපිට උදව් වෙන්නේ මොනවද?

15 දෙවෙනි පියවර තමයි වැරදි පෙලඹීම්වලට අසු නොවී ඉන්න දැන්ම සූදානම් වෙන එක. වැරදි පෙලඹීම්වලට අසු නොවී දෙවි එක්ක තියෙන බැඳීම තවත් ශක්තිමත් කරගන්න අවශ්‍ය කරන හුඟක් දේවල් යෙහෝවා දෙවි අපිට දීලා තියෙනවා. බයිබලය අධ්‍යයනය කිරීම, රැස්වීම්, දේශනා සේවය, යාච්ඤාව වගේ දේවලින් අපිට මොන තරම් ප්‍රයෝජන ලැබෙනවද! (1 කොරි. 15:58) අපේ හිතේ තියෙන දේ යෙහෝවා දෙවිට කියන හැම වතාවකම, මහන්සි වෙලා දේශනා සේවයේ හවුල් වෙන හැම වතාවකම අපි කරන්නේ නරක පෙලඹීම්වලින් ආරක්ෂා වෙන්න අපි අපිවම සූදානම් කරගන්න එකයි. (1 තිමෝති 6:12, 19 කියවන්න.) ඒ නිසා දෙවි දීලා තියෙන ඒ දේවලින් දිගටම ප්‍රයෝජන ගන්න අපි මහන්සි වෙන්න ඕනෙ.—ගලා. 6:7.

“දිගටම ඒ දේවල් සොයන්න”

16, 17. ඥානවන්ත තීරණ ගන්න අපිට උදව් වෙන්නේ මොනවද?

16 ප්‍රඥාවත් සිතීමේ හැකියාවත් අපිට තියෙනවා නම් හොඳ තීරණ ගන්නත් අපේ ආශාවන්ට අසු නොවී ඒවා පාලනය කරගන්නත් අපිට පුළුවන් වෙනවා. ඒත් එහෙම කරන්න අපි ලොකු උත්සාහයක් දරන්න ඕනෙ කියලා හිතෝපදේශ 2වෙනි පරිච්ඡේදයේ කියනවා. එහි සඳහන් වෙන්නේ මෙහෙමයි. “මාගේ පුත්‍රය, මාගේ වචන පිළිගෙන මාගේ ආඥා නිධානයක් මෙන් රැකගන්න. ප්‍රඥාවට ඔබේ සවන් යොමු කර වටහාගැනීමේ හැකියාව දියුණු කරගැනීමට අදිටන් කරගන්න. අවබෝධය ලබා දෙන මෙන් හඬ නඟා අයැදින්න. වටහාගැනීමේ හැකියාවද නිරතුරුවම ඉල්ලන්න. රිදී සොයන්නාක් මෙන්ද සැඟවුණු නිධාන සොයන්නාක් මෙන්ද දිගටම ඒ දේවල් සොයන්න. එසේ කරනවා නම් ඔබ යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීමට ඉගෙනගෙන දෙවිව දැන හඳුනා ගනු ඇත. මන්ද ප්‍රඥාව යෙහෝවා දෙවිගෙන් ලැබෙන දීමනාවකි. දැනුම සහ වටහාගැනීමේ හැකියාව ලැබෙන්නේ ඔහුගෙන්ය.”—හිතෝ. 2:1-6.

17 ඒ ඡේදවල තියෙන විදිහට අපිත් ලොකු උත්සාහයක් ගන්නවා නම් ඥානවන්ත තීරණ ගන්න අපිටත් පුළුවන් වෙනවා. වැරදි පෙලඹීම්වලට අසු නොවී ඉන්න අපිට පුළුවන් වෙන්නේ, යෙහෝවා දෙවිගෙන් ඉගෙනගෙන අපේ ඇතුළතින්ම වෙනස්කම් කරගන්නවා නම්, දෙවිගේ මඟ පෙන්වීම් ඉල්ලලා යාච්ඤා කරනවා නම් සහ නිධානයක් හොයනවා වගේ දෙවිගේ වචනය අධ්‍යයනය කරනවා නම් විතරයි.

18. ඔබ දිගටම කරන්න ඕනෙ මොනවද? ඒ ඇයි?

18 අපි උත්සාහ කරනවා නම් හරි දැනුමත් අවබෝධයත් වටහාගැනීමේ හැකියාවත් ප්‍රඥාවත් ලබාගන්න දෙවි අපිට උදව් කරනවා. ඒ දේවල් ලබාගන්න තරමට, ඒ දේවල් පාවිච්චි කරන තරමට යෙහෝවා දෙවි එක්ක තියෙන අපේ බැඳීමත් ශක්තිමත් වෙනවා. වැරදි පෙලඹීම් එද්දී ඒවායින් ආරක්ෂා වෙන්න දෙවි එක්ක තියෙන ඒ බැඳීම අපිට උදව් වෙනවා. දෙවිට කිට්ටු වෙලා ඔහුට ගරුබිය ඇතුව ඉන්නවා නම් වැරදි දේ නොකරන්න අපි උපරිම උත්සාහයක් දරනවා. (ගීතා. 25:14; යාකො. 4:8) යෙහෝවා දෙවි එක්ක තියෙන බැඳීමත් ඔහු දෙන ප්‍රඥාවත් නිසා දෙවි සතුටු වෙන විදිහේ තීරණ ගන්න පුළුවන් වෙනවා වගේම අපේ උරුමය ආරක්ෂා කරගන්නත් අපිට අනිවාර්යයෙන්ම පුළුවන් වෙනවා.