Skip to content

පටුනට යන්න

ජීවිත කතාව

අපේ ජීවිතවලට අරමුණක් ලැබුණා

අපේ ජීවිතවලට අරමුණක් ලැබුණා

මගේ පුතා ගැරී ඉපදුණේ 1958දියි. එයාව දැක්ක ගමන්ම මට තේරුණා එයාගේ මොකක් හරි අමුත්තක් තියෙනවා කියලා. එයාට තිබුණ අසනීප තත්වය මොකක්ද කියලා හොයාගන්න වෛද්‍යවරුන්ට මාස දහයක් ගත වුණා. ඒක තහවුරු කරන්න ලන්ඩන්වල හිටපු විශේෂඥ වෛද්‍යවරුන්ට තව අවුරුදු පහක් ගත වුණා. ගැරීට අවුරුදු නවයකට පස්සේ ඉපදුණ මගේ දුව ලුවීස්ට ඒ රෝගී තත්වය ඊටත් වඩා දරුණු විදිහට හැදිලා තිබුණා. ඒක දැනගත්තම මට දැනුණේ හද පැලෙන තරම් වේදනාවක්!

“ඔයාගේ දරුවන් දෙන්නටම LMBB සින්ඩ්‍රෝමය කියන රෝගී තත්වය තියෙනවා. * ඒක සුව කරන්න බැහැ” කියලා වෛද්‍යවරු මට කිව්වා. ඒ කාලයේදී ඒ ගැන වැඩි විස්තර හොයාගෙන තිබුණේ නැහැ. ඒක පරම්පරාවෙන් පරම්පරාවට එන, කලාතුරකින් හැදෙන රෝගී තත්වයක්. මෑතකදී කළ අධ්‍යයනයකින් හොයාගත්තේ බ්‍රිතාන්‍යයේ ඉන්න 1,25,000ගෙන් ඒ රෝගී තත්වය තියෙන්නේ එක් කෙනෙකුට විතරක් කියලයි. ඒක තියෙන දරුවෙක්ට ඇස් පෙනීමේ දුර්වලකම් තිබිලා අන්තිමේදී එයා අන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තරබාරුකම, අත්වල සහ පාදවල වැඩිපුර ඇඟිලි තිබීම, දරුවාගේ වර්ධන වේගය අඩු වීම, දියවැඩියාව, ඔස්ටියෝ ආතරයිටිස් සහ වකුගඩුවල අසාමාන්‍යතා එයාට තියෙන්න පුළුවන්.

යෙහෝවා දෙවි නිසා අපිට සහනයක්

විවාහ වෙලා ටික කාලෙකින් මට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව හමු වුණා. එයාලා උගන්වන්නේ සත්‍යය කියලා මට ඉක්මනින්ම තේරුණත් මගේ ස්වාමිපුරුෂයා නම් ඒ ගැන පොඩ්ඩක්වත් උනන්දු වුණේ නැහැ. එයාගේ රැකියාව නිසා අපි එක එක ප්‍රදේශවලට ගිය එකෙන් මට රැස්වීම්වලට යන්නත් බැරි වුණා. ඒ වුණත් මම දිගටම බයිබලය කියවලා යෙහෝවා දෙවිට යාච්ඤා කළා. ‘යෙහෝවා දෙවි තැළී පොඩි වී ඉන්න හැමෝටම ආරක්ෂාව ලබා දෙන උස් බලකොටුවක්. විපතකට මුහුණ දෙන විටද ඔහු උස් බලකොටුවක්’ කියලත් ‘ඔහුගේ මඟ පෙන්වීම් පතන අයව ඔහු කිසිසේත් අත්හරින්නේ නැහැ’ කියලත් බයිබලයෙන් කියවද්දී මට ලොකු සහනයක් දැනුණා.—ගීතා. 9:9, 10.

ගැරීගේ පෙනීම දුර්වල වුණ නිසා එයාට අවුරුදු හයක් වෙනකොට ඒ වගේ ළමයින්ට තියෙන පාසැලකට අපි එයාව දැම්මා. නිතරම වගේ ගැරී මට කෝල් කරලා එයාගේ ප්‍රශ්න ගැන කතා කරද්දී මම එයාට බයිබල් ප්‍රතිපත්ති ගැන තේරුම් කරලා දුන්නා. දුව ලුවීස් ඉපදිලා අවුරුදු කිහිපයකට පස්සේ ස්නායු රෝගයක් වගේම හන්දිපත් රෝගයක් නිසා මමත් අසනීප වුණා. ගැරීට අවුරුදු 16ක් වෙද්දී එයා ආපහු ගෙදර ආවා. ඒ වෙනකොට එයාගේ ඇස් පෙනීම හොඳටම අඩු වෙලයි තිබුණේ. වර්ෂ 1975දී එයාව අන්ධ කෙනෙක් කියලා ලියාපදිංචි කළා. මගේ ස්වාමිපුරුෂයා 1977දී අපිව දාලා ගියා.

ගැරී ඇවිල්ලා වැඩි කාලයක් යන්න කලින් ප්‍රේමණීය සහෝදර සහෝදරියන් ඉන්න සභාවක් එක්ක ඇසුරු කරන්න අපි පටන්ගත්තා. වර්ෂ 1974දී මම බව්තීස්ම වුණා. ඒ කාලෙදීම වගේ වැඩිමහල්ලෙක් ගැරීට උදව් කළා යෞවන කාලයේදී ඇති වන ශාරීරික වෙනස්කම් තේරුම්ගන්න. ඒ වගේම ගෙදර වැඩ ටික කරගන්න වෙනත් සහෝදර සහෝදරියන් මට හුඟක් උදව් කළා. ඇත්තෙන්ම ඒ හැම උදව්වක්ම මම සලකන්නේ යෙහෝවා දෙවිගෙන් ලැබුණ ආශීර්වාද හැටියටයි!

ගැරී ටිකෙන් ටික සත්‍යය තුළ දියුණු වෙලා 1982දී බව්තීස්ම වුණා. සහායක පුරෝගාමි සේවය කරන්න ගැරීට ලොකු ආශාවක් තිබුණා. ඒ නිසා මමත් ගැරී එක්ක එකතු වෙලා අවුරුදු ගණනාවක්ම පුරෝගාමි සේවය කළා. දවසක් අපේ චාරිකා සේවක ගැරීගෙන් ඇහුවා, “ඔයා කැමති නැද්ද ස්ථාවර පුරෝගාමි සේවය කරන්න” කියලා. ගැරීට ඕනෙ වෙලත් තිබුණේ ඒ වගේ දිරිගැන්වීමක් තමයි. වර්ෂ 1990දී එයා ස්ථාවර පුරෝගාමි සේවය පටන්ගත්තා.

ගැරීට 1999දීත් 2008දීත් උකුල් ඇට බද්ධ කිරීමට ශල්‍යකර්ම කරන්න වුණා. ඒත් ලුවීස්ට ඊටත් වඩා බරපතළ සෞඛ්‍ය ගැටලු තිබුණා. එයා ඉපදෙනකොටම අන්ධයි. එයාගේ එක කකුලක වැඩිපුර ඇඟිල්ලක් තියෙනවා දැක්කම එයාටත් LMBB සින්ඩ්‍රෝමය තියෙනවා කියලා මං දැනගත්තා. එයාගේ අභ්‍යන්තර අවයවවලත් බරපතළ දෝෂ තියෙනවා කියලා වෛද්‍යවරු හොයාගත්තා. පහුගිය වසර ගණනාව පුරා එයාට වකුගඩු ශල්‍යකර්ම පහක් ඇතුළු ලොකු ශල්‍යකර්ම කිහිපයක්ම කරන්න වුණා. ගැරීට වගේ එයාටත් දියවැඩියාව තියෙනවා.

අපි රුධිරය අඩංගු ප්‍රතිකාර ක්‍රම පිළිගන්නේ නැති නිසා ශල්‍යකර්මයක් කරන්න අවශ්‍ය වෙලාවලදී විවිධ ගැටලු මතු වෙන්න පුළුවන්. ඒ නිසා ලුවීස් කල් තියාම එයාගේ ශල්‍ය වෛද්‍යවරුන්ට, නිර්වින්දක වෛද්‍යවරුන්ට වගේම රෝහලේ වෙනත් වගකිව යුත්තන්ට එයා ගත්ත තීරණය ගැන පැහැදිලිව කියනවා. ඒ නිසා ඒ අය ලුවීස්ව තේරුම් අරන් එයාට හොඳට සලකනවා.

අපේ ජීවිතවලට අරමුණක් තියෙනවා

ගැරීටයි ලුවීස්ටයි සඟරා පොත් පත් කියවන්න ඉස්සර මම පැය ගාණක් ගත කළා. නමුත් දැන් CD, DVD වගේම www.pr418.com කියන අපේ වෙබ්සයිට් එකේ පටිගත කරපු දේවල් තියෙන නිසා අපිට හුඟක් පහසුයි. සතිපතා අපිට කරන්න තියෙන බයිබල් අධ්‍යයනය, වෙන වෙනම කරන්නත් රැස්වීම්වලදී අර්ථවත් පිළිතුරු දීලා සහභාගි වෙන්නත් අපිට ඒ නිසා පුළුවන් වෙලා තියෙනවා.

යෙහෝවා දෙවි සහ ඔහුගේ පොරොන්දු ගැන අපිට දැනගන්න ලැබුණ එක කොච්චර දෙයක්ද!

ගැරී සමහර වෙලාවට කටපාඩම් කරලා තමයි උත්තර දෙන්නේ. සේවා පාසැලේදී කතාවක් ලැබුණාම එයා මතකයෙන් ඒක ඉදිරිපත් කරනවා. වර්ෂ 1995දී ගැරී සහායක සේවකයෙක් වුණා. නමස්කාර මධ්‍යස්ථානයට එන අයව පිළිගන්නයි ශබ්ද විකාශන අංශයට උදව් කරන්නයි ගැරී හුඟක් මහන්සි වෙනවා.

සහෝදරයන් ගැරීට ගොඩක් උදව් කරනවා. ආතරයිටිස් රෝගය නිසා ගැරී සේවයේ යන්නේ රෝද පුටුවක. ඒක තල්ලු කරන්නේ එයත් එක්ක යන සහෝදරයා. එක සහෝදරයෙක් බයිබල් පාඩමක් කරන්න ගැරීට උදව් කළා. අවුරුදු 25ක් තිස්සේ සභාව එක්ක ආශ්‍රය කරපු නැති සහෝදරියක්ව දිරිගන්වන්නත් ගැරීට පුළුවන් වුණා. දැන් ඒ සහෝදරියත් ගැරීගේ බයිබල් පාඩමත් රැස්වීම්වලට එනවා.

අවුරුදු නවයක් වෙද්දී ලුවීස්ගේ ආච්චිගෙන් ලුවීස් ගොතන හැටි ඉගෙනගත්තා. මමයි එයාගේ සාත්තු සේවිකාවකුයි එයාට එම්බ්‍රෝයිඩරි කරන විදිහත් කියලා දුන්නා. ඒවාට එයා හරි ආසයි. එයා දැන් අපේ සභාවේ ඉන්න පුංචි දරුවන්ටයි වයසක අයටයි බ්ලැන්කට් හදලා දෙනවා. පුංචි පුංචි පින්තූර අලවලා ලස්සන කාඩ් හදන්නත් එයා දක්ෂයි. ලුවීස්ට ටයිපිනුත් පුළුවන්. එයා ටයිප් කරන දේ එයාට ඇහෙන්න කියවන විශේෂ කොම්පියුටරයක් පාවිච්චි කරලා එයා යාළුවන්ට ඊ-මේල් යවනවා. අවුරුදු 17දී ලුවීස් බව්තීස්ම වුණා. සහායක පුරෝගාමි සේවය කරන්න තියෙන විශේෂ මාසවල අපි එකට පුරෝගාමි සේවයේ යෙදෙන්නේ හරිම සතුටින්. ගැරී වගේ ලුවීසුත් කටපාඩම් කරපු බයිබල් පද සේවයේදී පාවිච්චි කරලා, ‘අන්ධ අයගේ ඇස් පැහැදෙන,’ “මා ලෙඩින්” කියලා කිසි වැසියෙක් නොකියන කාලයක් ගැන දෙවි දීලා තියෙන පොරොන්දු මිනිසුන්ට පැහැදිලි කරනවා.—යෙසා. 33:24; 35:5.

යෙහෝවා දෙවි සහ ඔහුගේ පොරොන්දු ගැන අපිට දැනගන්න ලැබුණ එක කොච්චර දෙයක්ද! අපේ සභාවේ ඉන්න සහෝදර සහෝදරියන්ගේ ආදරය වගේම සැලකිල්ලත් අපිට ගොඩක් වටිනවා. ඒක තිබුණේ නැත්නම් අපිට මේ තරම් දේවල් කරන්න බැරි වෙලා ඇති. ඇත්තෙන්ම යෙහෝවා දෙවිගේ ආශීර්වාදය නිසා අපේ ජීවිතවලට අරමුණක් ලැබුණා.

^ 5 ඡේ. ඒ රෝගී තත්වය හැඳින්නුවේ ඒ ගැන හොයාගත්ත වෛද්‍යවරු හතරදෙනාගේ නම්වලින්. ඒ නිසයි ඒකට ලෝරන්ස්-මූන්-බාඩේ-බීඩ්ල් සින්ඩ්‍රෝමය කියලා කියන්නේ. දැන් ඒකට සාමාන්‍යයෙන් කියන්නේ බාඩේ-බීඩ්ල් සින්ඩ්‍රෝමය කියලයි. ඒක දරුවෙකුට ඇති වෙන්නේ රෝගකාරක ජානය පියාට හා මවට තිබුණොත් විතරයි. ඒක සුව කරන්න බැහැ.