Skip to content

පටුනට යන්න

ඔබේ දරුවන්ට උගන්වන්න

අපරාධකරුට කියපු දෙයින් උගත හැකි පාඩම!

අපරාධකරුට කියපු දෙයින් උගත හැකි පාඩම!

යේසුස් වධකණුවේ ඉද්දී ඔහුට එහා පැත්තේ හිටපු අපරාධකරු මෙහෙම කිව්වා. “යේසුස්, ඔබේ රාජ්‍යයට ඔබ ඇතුල් වන විට මාව අමතක කරන්න එපා.” එයා එහෙම කිව්වේ එයා කරපු වැරදි ගැන ඇත්තටම දුක් වුණු නිසයි. පින්තූරේ පෙන්නලා තියෙන විදිහට ඒ වෙලාවේ යේසුස් ඒ අපරාධකරුට යම් දෙයක් කිව්වා. යේසුස් කිව්වේ මොකක්ද කියලා ඔයා දන්නවද? * යේසුස් එයාට කිව්වේ “ඔබ මා සමඟ පාරාදීසයේ සිටින බවට අද මම ඔබට සහතිකවම පොරොන්දු වෙනවා” කියලයි.

ඒ පාරාදීසය මොන වගේ තැනක් කියලද ඔයා හිතන්නේ?— ඒ ප්‍රශ්නෙට උත්තරේ දැනගන්න මුල්ම මිනිස් යුවළ වුණු ආදම් හා ඒවට ජීවත් වෙන්න දෙවියන් දීපු පාරාදීසය ගැන ටිකක් හිතමු. ඒ පාරාදීසේ තිබුණේ ස්වර්ගෙද පොළොවෙද?

ඔයා උත්තර දුන්නේ පොළොවේ කියලා නම් ඔයා හරි. එහෙනම් පාරාදීසයේ ඉන්න ලැබෙනවා කියලා යේසුස් අපරාධකරුට පොරොන්දු වෙද්දී යේසුස් අදහස් කළේ මේ පොළොව ආපහු පාරාදීසයක් වුණාම එයාට ඒකේ ඉන්න ලැබෙනවා කියලයි. ඒ පාරාදීසේ කොයි වගේ එකක් වෙයිද?

ආදම් හා ඒවට ජීවත් වෙන්න දෙවියන් දීපු පාරාදීසය බයිබලේ විස්තර කරලා තියෙන්නේ උයනක් කියලයි. ඒකට කිව්වේ ‘ඒදන් උයන’ කියලයි. ඒ උයන කොච්චර ලස්සන තැනක් වෙන්න ඇද්ද කියලා ඔයාට හිතාගන්න පුළුවන්ද?— මේ පොළොවේ දැන් තියෙන ලස්සනම තැනටත් වඩා ඒක හුඟක් ලස්සන තැනක් වුණා කියලා කිසිම සැකයක් නැහැ.

අපරාධකරු එක්ක පාරාදීසයේ ඉන්නවා කියලා යේසුස් පොරොන්දු වුණා ඔයාට මතකයිද? ඒකෙන් අදහස් කරන්නේ මේ පොළොව පාරාදීසයක් වුණාම යේසුස් එතන ඉන්න යනවා කියලද?— නැහැ. මොකද එදාට යේසුස් ඉන්නේ ස්වර්ගයේ. හැබැයි යේසුස් ඒ අපරාධකරුට පාරාදීසයේදී ආපහු ජීවිතය දීලා දෙවියන් ගැන ඉගෙනගන්න උදව් කරන හින්දා යේසුස් එයත් එක්ක ඉන්නවා කියලා කියන්න පුළුවන්.

අපරාධකරුවෙක්ට පාරාදීසයේ ජීවත් වෙන්න යේසුස් අවස්ථාව දෙන්නේ ඇයි?— එයා ජීවත් වෙලා හිටිය කාලේ වැරදි වැඩ හුඟක් කළා තමයි. සමහරවිට එයා ඒවා කරන්න ඇත්තේ යෙහෝවා දෙවියන් ගැනවත් දෙවියන් එයාගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලවත් දැනගෙන හිටියේ නැති නිසා වෙන්න ඇති. එයා විතරක් නෙමෙයි හරි දේ දන්නේ නැතුව වැරදි දේවල් කරලා මිය ගිය තව හුඟදෙනෙක් ඉන්නවා.

අපරාධකරු ඇතුළුව ඒ වගේ තව හුඟදෙනෙක්ට මේ පොළොව පාරාදීසයක් වෙන කාලෙදී ආපහු ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා. එදාට එයාලට යෙහෝවා දෙවියන් ගැනත් දෙවියන් එයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලත් උගන්වනවා. එතකොට එයාලට පුළුවන් වෙනවා එයාලා ඇත්තටම දෙවිට ආදරෙයිද කියලා ඔප්පු කරන්න.

ඒත් ඒක ඔප්පු කරන්න පුළුවන් කොහොමද කියලා ඔයා දන්නවද?— දෙවිට කීකරුව ජීවත් වීමෙනුයි. යෙහෝවා දෙවිටත් අනිත් මිනිසුන්ටත් ඇත්තටම ආදරේ කරන අය එක්ක පාරාදීසයේ ජීවත් වෙන්න ලැබෙන එක කොච්චර වටින දෙයක්ද!

බයිබලයෙන් කියවන්න

^ 3 ඡේ. ඔබ මෙම ලිපිය කියවන්නේ දරුවෙකු සමඟ නම් (—) ඉරක් යොදා ඇති තැන්වලදී ටිකකට නතර වී එම ප්‍රශ්නය දරුවාගෙන් අසන්න.