Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවිගේ ත්‍යාගශීලීකම සහ සාධාරණකම

යෙහෝවා දෙවිගේ ත්‍යාගශීලීකම සහ සාධාරණකම

“යෙහෝවා දෙවි සියල්ලන්ට යහපත කරන්නේය. තම හස්තයෙන් නිර්මාණය කළ සියල්ලන්ට ඔහු දයාව පෙන්වන්නේය.”—ගීතා. 145:9.

1, 2. අපිට සදාකාලයටම කරන්න තියෙන්නේ මොනවද?

“අපි දෙන්නා විවාහ වෙලා දැන් අවුරුදු 35ක් වෙන්නත් එනවා. අපි දෙන්නට දෙන්නා හොඳට තේරුම් අරගෙන හිටියත් තාමත් අපිට ඉගෙනගන්න හුඟක් දේවල් තියෙනවා” කියලා එක සහෝදරියක් කියනවා. ඒක ඇත්ත නේද? අපේ පවුලේ අය, යාළුවෝ ගැන අපි නොදන්න හොඳ දේවල් කොච්චර නම් තියෙනවද!

2 ඒ අය ගැන තව තවත් දැනගන්න එකෙන් අපි ලොකු සතුටක් ලබනවා. යෙහෝවා දෙවි ගැනත් අපි නොදන්න දේවල් දැනගද්දී අපිට ඊටත් වඩා සතුටක් ලබන්න පුළුවන්. ඒත් දෙවි ගැන හැම දෙයක්ම දැනගෙන ඉවර කරන්න නම් අපිට බැහැ. (රෝම 11:33) ඒකට හේතුව යෙහෝවා දෙවිගේ ගතිලක්ෂණ ගැන සදාකාලයටම අපිට ඉගෙනගන්න දේවල් තියෙන නිසයි.—දේශ. 3:11.

3. අපි මේ ලිපියෙන් ඉගෙනගන්නේ මොනවද?

3 කලින් ලිපියේ දෙවිගේ ගතිලක්ෂණ දෙකක් ගැන අපි ඉගෙනගත්තා. මේ ලිපියෙන් තවත් ගතිලක්ෂණ දෙකක් ගැන ඉගෙනගමු. ඒ ත්‍යාගශීලීකම සහ සාධාරණකමයි. ඒ ගැන ඉගෙනගද්දී “යෙහෝවා දෙවි සියල්ලන්ට යහපත කරන්නේය. තම හස්තයෙන් නිර්මාණය කළ සියල්ලන්ට ඔහු දයාව පෙන්වන්නේය” කියන දේ ගැන අපිට තවත් ඉගෙනගන්න පුළුවන්.—ගීතා. 145:9.

යෙහෝවා දෙවි ත්‍යාගශීලීයි

4. ත්‍යාගශීලී කෙනෙක් මොන වගේද?

4 “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා” කියලා ක්‍රියා 20:35 කියනවා. ත්‍යාගශීලී කෙනෙක් කැමැත්තෙන්ම තමන්ගේ කාලය, ශ්‍රමය වගේම තමන්ට අයිති දේවලුත් අනිත් අයට දෙනවා. කෙනෙකුගේ ත්‍යාගශීලීකම මනින්නේ ඔහු දෙන මිල අධික තෑගිවලින් නෙවෙයි. ඔහු දෙන දේ මුළු හදවතින්ම දෙනවද කියන දේ අනුවයි. (2 කොරින්ති 9:7 කියවන්න.) එහෙම බලද්දී අපේ “ප්‍රීතිමත් දෙවි” තරම් ත්‍යාගශීලී කෙනෙක් තවත් ඉන්නවද!—1 තිමෝ. 1:11.

5. තමන් ත්‍යාගශීලී කෙනෙක් කියලා දෙවි පෙන්වලා තියෙන්නේ කොහොමද?

5 “යෙහෝවා දෙවි සියල්ලන්ට යහපත කරන්නේය” කියලා බයිබලයේ කියනවා. තමන්ට නමස්කාර කරන අයට විතරක් නෙවෙයි එහෙම නොකරන අයටත් දෙවි කොච්චර දේවල් දෙනවද! “ඔහු දුෂ්ටයන්ටත් යහපතුන්ටත් තම හිරු උදා කරවයි. ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් වැසි ලබා දෙයි.” (මතෙ. 5:45) එක අවස්ථාවකදී ක්‍රිස්තියානීන් නොවන අයට පාවුල් කිව්වේ ඔවුන් වෙනුවෙන් යෙහෝවා දෙවි ‘වැසි ලබා දීමෙන්, සරු අස්වනු ලබා දීමෙන්, කෑමට අවශ්‍ය තරම් ආහාර ලබා දීමෙන් සහ සිතට සතුට ගෙන දෙන දේවල් ලබා දීමෙන්’ බොහෝ යහපත් දේවල් කරලා තියෙනවා කියලයි. (ක්‍රියා 14:17) අපේ යෙහෝවා දෙවි හැම කෙනෙකුටම ත්‍යාගශීලීව සලකන දෙවි කෙනෙක්.—ලූක් 6:35.

6, 7. (අ) යෙහෝවා දෙවි හුඟක් ආශාවෙන් ඉන්නේ කාට උදව් කරන්නද? (ආ) දෙවි තමන්ගේ සේවකයන්ට අවශ්‍ය දේවල් දෙනවා කියලා පෙන්වන අද්දැකීමක් කියන්න.

6 තමන්ට සේවය කරන අයට අවශ්‍ය දේවල් දෙන්න දෙවි ඊටත් වඩා ආශාවෙන් ඉන්නවා. “දැන් මම මහලු වයසේ සිටිමි. මාගේ තරුණ කාලයේ සිට මේ වන තෙක් ධර්මිෂ්ඨයෙකුව කිසිසේත් අත්හැර දැමූ අවස්ථාවක් මම දැක නැත. ඔහුගේ දරුවන් කෑම හිඟනවාවත් මම දැක නැත” කියලා දාවිත් කිව්වේ ඒ නිසයි. (ගීතා. 37:25) දෙවිට සේවය කරන හුඟක් අය ඒක අද්දැකලා තියෙනවා.

7 මේ අද්දැකීම බලන්න. නැන්සි කියන්නේ පුරෝගාමි සහෝදරියක්. නිවසේ කුලිය ගෙවන්න ඩොලර් 66ක් ඇයට අවශ්‍ය වෙලා තිබුණා. ඒක ගෙවන්න තව එක දවසයි ඉතුරු වෙලා තිබුණේ. ඒත් ඇය ළඟ සල්ලි තිබුණේ නැහැ. ඇය දෙවිට යාච්ඤා කරලා රැකියාවට ගියා. ඇය වැඩ කළේ ආපන ශාලාවක වේටර්වරියක් විදිහටයි. “සාමාන්‍යයෙන් එදා වැඩිපුර සෙනඟ එන්නේ නැති දවසක්. ඒත් එදා හුඟක් අය කෑම කන්න ආවා. හැමෝම වගේ කෑම කාලා වේටර්ලටත් පොඩි මුදලක් තියලා යනවා. කිහිපදෙනෙක්ම මටත් මුදල් දීලා ගියා. එදා වැඩ ඇරිලා ලැබුණ මුදල් ටික ගණන් කරලා බලද්දී එතන හරියටම ඩොලර් 66ක් තිබුණා.” තමන්ට අවශ්‍ය කරන මුදල ලැබුණේ යෙහෝවා දෙවි උදව් කරපු නිසා කියලා ඇයට කිසිම සැකයක් නැහැ.—මතෙ. 6:33.

8. යෙහෝවා දෙවි දුන්න වටිනාම තෑග්ග මොකක්ද?

8 දන්නවද, දෙවි හැමෝම වෙනුවෙන් දුන්න වටිනාම දේ මොකක්ද කියලා? ඒ තමයි තමන්ගේ එකම පුතාගේ ජීවිතය. යේසුස් ඒ ගැන කිව්වේ මෙහෙමයි. “දෙවි මුළු ලෝකයටම කොතරම් ප්‍රේම කළාද කියනවා නම් ඔහු තමාගේ එකම පුත්‍රයාව ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා. එසේ කළේ ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ම විනාශ නොවී ඔවුන්ට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබාගැනීම සඳහායි.” (යොහ. 3:16) එහි “මුළු ලෝකයටම” කියලා අදහස් කළේ සියලු මිනිසුන්වයි. යේසුස් කෙරෙහි විශ්වාසය තබන හැම කෙනෙකුටම සදාකල් ජීවත් වෙන්න ලැබෙනවා. (යොහ. 10:10) යෙහෝවා දෙවිගේ ත්‍යාගශීලීකමට තියෙන හොඳම සාක්ෂිය ඒකයි.

අපිත් ත්‍යාගශීලී වෙමු

ත්‍යාගශීලී වෙන්න කියලා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට කිව්වා ( 9වෙනි ඡේදය බලන්න)

9. යෙහෝවා දෙවි වගේ ත්‍යාගශීලී වෙන්න පුළුවන් කොහොමද?

 9 යෙහෝවා දෙවි අපේ සතුට වෙනුවෙන් ගොඩක් දේවල් දීලා තියෙනවා. අපිත් අනිත් අයගේ සතුට ගැන හිතලා දේවල් දෙන්න ඕනෙ. (1 තිමෝ. 6:17-19) අපේ පවුලේ අයටත් යාළුවන්ටත් උදව් අවශ්‍ය අයටත් ඕනෙ කරන දේවල් දෙන්න අපි උත්සාහ කරන්න ඕනෙ. (ද්විතීය කතාව 15:7 කියවන්න.) සමහර අයට තෑග්ගක් දෙන්න ආශාව තිබුණත් ඔවුන්ට ඒක කරන්න මතක් වෙන්නේ නැහැ. ඒ නිසා කවුරු හරි කෙනෙක් තමන්ට තෑග්ගක් දුන්නම, ඔවුනුත් තව කෙනෙකුට තෑග්ගක් දෙන්න හිතාගෙන ඉන්නවා. සාක්ෂිකරුවන් හුඟදෙනෙක් අනිත් අයට දේවල් දීම ගැන හොඳ ආදර්ශයක් තබනවා.

10. අපිට ත්‍යාගශීලී වෙන්න පුළුවන් හොඳම විදිහ මොකක්ද?

10 අපිට දෙන්න පුළුවන් හොඳම දෙයක් තමයි අපේ කාලය හා ශ්‍රමය. විශේෂයෙන්ම අනිත් අයට උදව් කරන්නත් ඔවුන්ව දිරිගන්වන්නත් අපේ කාලය හා ශ්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. (ගලා. 6:10) ඔබෙන්ම මෙහෙම අහලා බලන්න. අනිත් අය මාත් එක්ක කතා කරද්දී මම කැමැත්තෙන්ම ඔවුන් කියන දේ අහගෙන ඉන්නවද? කවුරු හරි මගෙන් උදව්වක් ඉල්ලුවොත් මම ඒක කැමැත්තෙන්ම කරනවද? මගේ පවුලේ කෙනෙක්ව හරි සභාවේ කෙනෙක්ව හරි මම අන්තිමට අගය කළේ කවදද? අපි අනිත් අයට ‘දෙන්න පුරුදු වෙද්දී’ යෙහෝවා දෙවිටත් අනිත් අයටත් අපි තවත් කිට්ටු වෙනවා.—ලූක් 6:38; හිතෝ. 19:17.

11. යෙහෝවා දෙවිට දේවල් දෙන්න අපිට පුළුවන් කොහොමද?

 11 දෙවිටත් දේවල් දෙන්න අපිට පුළුවන්. ‘ඔබ සතු වටිනා දේවලින් යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරන්න’ කියලා බයිබලයේ කියනවා. (හිතෝ. 3:9) ඒ වටිනා දේවලට දෙවිගේ සේවය වෙනුවෙන් දෙන අපේ කාලය, ශ්‍රමය, මුදල් වගේ දේවල් ඇතුළත්. අපේ පුංචි දරුවන්ටත් දෙවිට දේවල් දෙන්න ඉගෙනගන්න පුළුවන්. ජේසන් කියන සහෝදරයා මෙහෙම කියනවා. “අපි සම්මාදම් හැටියට දෙන්න තීරණය කරපු සල්ලි ටික අපි අපේ දරුවන්ට දෙනවා සම්මාදම් පෙට්ටියට දාන්න කියලා. අපිත් යමක් දෙවිට දුන්නනේ කියලා හිතලා ඒගොල්ලෝ ඒකෙන් සතුටු වෙනවා.” යෙහෝවා දෙවිට දේවල් දීමෙන් සතුටක් ලැබෙනවා කියලා දරුවෝ තේරුම්ගද්දී වැඩිහිටියෝ වුණාට පස්සෙත් ඒ අය ඒක කරනවා.—හිතෝ. 22:6.

යෙහෝවා දෙවි සාධාරණයි

12. සාධාරණ කෙනෙක් මොන වගේද?

12 සාධාරණකම කියන්නේ යෙහෝවා දෙවිට තියෙන තවත් ලස්සන ගතිලක්ෂණයක්. සාධාරණ කෙනෙක් මොන වගේද? (තීත. 3:1, 2) ඒ වගේ කෙනෙක් ගොඩක් නම්‍යශීලීයි. නීතිය ගැන විතරක් හිතලා වැඩ කරන්නේ නැහැ. සැරපරුෂ කෙනෙකුත් නෙවෙයි. කාරුණිකව අනිත් අයගේ තත්වය තේරුම් අරන් වැඩ කරන කෙනෙක්. අනිත් අයට ඇහුම්කන් දෙන්නත් කැමතියි. හැම තිස්සෙම තමන්ට ඕනෙ විදිහට අනිත් අය වැඩ කරන්න ඕනෙ කියලා හිතන්නේ නැහැ. වැරදි නැත්නම් අනිත් අයට කැමති විදිහට වැඩ කරන්න ඉඩ දෙනවා.

13, 14. (අ) තමන් සාධාරණ කෙනෙක් කියලා දෙවි පෙන්වන්නේ කොහොමද? (ආ) ලොත්ගේ සිද්ධියෙන් දෙවිගේ සාධාරණකම ගැන ඔබ ඉගෙනගත්තේ මොනවද?

13 තමන් සාධාරණ කෙනෙක් කියලා යෙහෝවා දෙවි පෙන්වන්නේ කොහොමද? ඔහු තමන්ගේ සෙනඟගේ හැඟීම් තේරුම්ගන්නවා. නිතරම වගේ ඔවුන් කැමති විදිහට දේවල් කරන්න ඉඩ දෙනවා. බලන්න, ලොත්ට දෙවි සලකපු විදිහ. සොදොම් සහ ගොමෝරා යන නගර දෙක විනාශ කරන්න ඉස්සෙල්ලා දෙවි ලොත්ට කිව්වා කඳුකරයට යන්න කියලා. ඒත් ලොත් දෙවිගෙන් ඉල්ලුවා වෙන තැනකට යන්න ඉඩ දෙන්න කියලා. ටිකක් හිතලා බලන්න මිනිසෙක් වුණ ලොත්, විශ්වයේ පාලකයා වෙන යෙහෝවා දෙවිගෙන් ඉල්ලනවා, ඔහු ගත්ත තීරණය වෙනස් කරන්න කියලා.—උත්පත්ති 19:17-20 කියවන්න.

14 කතාව කියවද්දී ඔබට හිතෙයි ලොත්ට දෙවි ගැන තිබුණ විශ්වාසය අඩු වුණා කියලා. ඔහු අකීකරු වුණා කියලා. ඇත්ත, ලොත්ට භය වෙන්න කිසිම හේතුවක් තිබුණේ නැහැ තමයි. ඔහු කොහේ හිටියත් ඔහුව ආරක්ෂා කරන්න යෙහෝවා දෙවිට පුළුවන්කම තිබුණා. ඒත් ලොත් ඒ ඉල්ලීම කළේ ඔහු තුළ තිබුණ යම් බියක් නිසයි. දෙවි මොකද කළේ? ලොත්ගේ ඉල්ලීමට සවන් දීලා ඔහු කැමති තැනට යන්න ඉඩ දුන්නා. පුදුම දේ තමයි ඔහු යන්න ඉල්ලුවෙත් දෙවි විනාශ කරන්න තීරණය කරපු නගරයකට. ඒත් දෙවි ඒකටත් ඉඩ දුන්නා. (උත්පත්ති 19:21, 22 කියවන්න.) අපේ දෙවි මොන තරම් ප්‍රේමණීය, සාධාරණ දෙවි කෙනෙක්ද!

15, 16. දෙවි සාධාරණ කෙනෙක් කියලා ඔහු දුන්න නීතියෙන් ඔප්පු වෙන්නේ කොහොමද? (ලිපියේ මුලින්ම තියෙන පින්තූරය බලන්න.)

15 ඊශ්‍රායෙල්වරුන්ට දුන්න නීතියෙනුත් යෙහෝවා දෙවිගේ සාධාරණකම දකින්න පුළුවන්. ඒ කාලයේදී කෙනෙකුට බැටළුවෙක්ව හරි එළුවෙක්ව හරි පූජා කරන්න තරම් වත්කමක් නැත්නම් කොබෙයියන් හරි පරෙවියන් හරි දෙන්නෙක්ව පූජා කරන්න දෙවි ඉඩ දීලා තිබුණා. එහෙම දෙන්නවත් කෙනෙකුට වත්කමක් නැත්නම් පිටි ටිකක් පූජා කරන්න අවසර තිබුණා. ඒත් ඒවා හොඳම පිටි වෙන්න ඕනෙ වුණා. ඒකයි නීතියේ “සිහින් පිටි” ගේන්න කියලා සඳහන් වෙන්නේ. (ලෙවී කතාව 5:7, 11 කියවන්න.) ඒ කාලයේ ඊශ්‍රායෙල්වරුන් සිහින් පිටි පාවිච්චි කළේ තමන්ගේ නිවසට ආපු විශේෂ අමුත්තන්ට ආහාර පිළියෙල කරන්න.—උත්. 18:6.

16 ටිකක් හිතන්න, ඔබ දුප්පත් ඊශ්‍රායෙල් ජාතිකයෙක් කියලා. ඔබට සතෙකුව පූජා කරන්න තරම් වත්කමක් නැහැ. පූජා කරන්න පුළුවන් පිටි ටිකක් විතරයි. ඒ පිටි ටිකත් අරන් ශුද්ධ කූඩාරමට යද්දී ඔබ දකිනවා පොහොසත් අය පූජා කරන්න සතුන්ව අරගෙන එනවා. සමහරවිට ඔබ පූජා කරන්න ගෙනාපු දේ ගැන ඔබට ලැජ්ජාවක් ඇති වෙයි. ඒත් එක්කම ඔබට මතක් වෙනවා ඒ පුංචි පූජාව වුණත් යෙහෝවා දෙවිට හුඟක් වටිනවා කියලා. මොකද ඔබ ගෙනත් තියෙන්නේ හොඳම තත්වයේ තියෙන සිහින් පිටි. එහෙම කරන්න කියලා තියෙන්නේ යෙහෝවා දෙවි. ඒක හරියට දෙවි මෙහෙම කියනවා වගේ දෙයක්. ‘මට තේරෙනවා ඔයාට අනිත් අයට තරම් දේවල් පූජා කරන්න බැහැ කියලා. ඒත් මං දන්නවා ඔයා ළඟ තියෙන හොඳම දේ ඔයා මට දෙනවා කියලා.’ බලන්න, යෙහෝවා දෙවි කොයි තරම් සාධාරණද කියලා. අපිට දෙන්න පුළුවන් තරමට වඩා දේවල් දෙවි අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ.—ගීතා. 103:14.

17. දෙවි අපේ නමස්කාරය පිළිගන්නේ අපි ඒක කොහොම කළොත්ද?

 17 අපේ උපරිමයෙන් යෙහෝවා දෙවිට සේවය කරද්දී දෙවි අපේ නමස්කාරය පිළිගන්නවා කියන එක මොන තරම් සහනයක්ද! (කොලො. 3:23) වයසක සහෝදරියක් මෙහෙම කියනවා. “දෙවි ගැන අනිත් අයට කියලා දෙන එක තමයි මම කැමතිම දේ. ඒ නිසා මම දේශනා සේවයේ යන්නෙත් බයිබල් පාඩම් කරන්නෙත් හරිම ආශාවෙන්. ඒත් මගේ වයස නිසත් අසනීප නිසත් මට මීට වඩා කරන්න බැහැනේ කියලා හිතලා සමහර වෙලාවට මම දුක් වෙනවා. ඒ වුණත් දෙවි මගේ තත්වය දන්නවා කියලත් මම කරන දේවල් ඔහු අගය කරනවා කියලත් ඔහු මට ගොඩක් ආදරෙයි කියලත් මම දන්නවා.”

අපිත් සාධාරණ වෙමු

18. දෙමව්පියන්ට දෙවිව අනුකරණය කරන්න පුළුවන් කොහොමද?

18 අපිටත් යෙහෝවා දෙවි වගේ සාධාරණ වෙන්න පුළුවන්ද? ලොත්ගේ සිද්ධිය ගැන ආයෙත් හිතන්න. ලොත්ට යන්න ඕනෙ තැන ගැන කියන්න දෙවිට අයිතිය තිබුණා. ඒත් යෙහෝවා දෙවි කාරුණිකව ලොත්ට සවන් දීලා ඔහුට හැඟුණ විදිහ තේරුම් අරන් ඔහුට යන්න ඕනෙ තැනට යන්න ඉඩ දුන්නා. දෙමව්පියෙනි, ඔබට දෙවිව අනුකරණය කරන්න පුළුවන්ද? ඔබේ දරුවෝ කියන දේටත් ඇහුම්කන් දෙන්න ඔබට පුළුවන්. ඔවුන් ඉල්ලන දේ සාධාරණ නම්, වරදක් නැහැ කියලා හිතෙනවා නම්, ඔබ කරන්න හිතාගෙන හිටපු විදිහ වෙනස් කරලා දරුවා කියන විදිහටත් කරලා බලන්න. වර්ෂ 2007 සැප්තැම්බර් 1 මුරටැඹ සඟරාවේ සඳහන් වෙන විදිහට සමහර දෙමව්පියෝ දරුවන්ට යම් නීති දාන්න කලින් දරුවෝ කියන දේටත් සවන් දෙනවා. උදාහරණයකට දරුවා හවස ගෙදර එන්න ඕනෙ වෙලාව ගැන දෙමව්පියෝ නීතියක් දාන්න හදනවා කියලා හිතමු. දෙමව්පියන්ට එහෙම කරන්න අයිතියක් තියෙනවා තමයි. ඒත් නීතියක් දාන්න කලින් දරුවා එක්ක ඒ ගැන කතා කරන්න. බයිබලයේ සඳහන් ප්‍රතිපත්ති කඩ වෙන්නේ නැත්නම් දෙමව්පියන් තීරණය කරගෙන හිටපු වෙලාවේ යම් සකස් කිරීමක් කරන්න පුළුවන්. නීති දාන්න කලින් දරුවා එක්ක ඒ ගැන කතා කරනවා නම් ඒ වගේ නීතියක් දාන්න හේතුව දරුවා තේරුම්ගන්නවා වගේම ඒකට කීකරු වෙන්නත් පෙලඹෙනවා.

19. වැඩිමහල්ලන්ට යෙහෝවා දෙවි වගේ සාධාරණ වෙන්න පුළුවන් කොහොමද?

19 වැඩිමහල්ලොත් යෙහෝවා දෙවි වගේ සාධාරණ වෙන්න ඕනෙ. එහෙම වෙන්න නම් ඔවුන් සහෝදර සහෝදරියන්ගෙන් ඕනෑවට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ. මතකද, දෙවි දුප්පත් ඊශ්‍රායෙල්වරයෙක් පූජා කරන්න ගෙනාපු පුංචි දේත් අගය කළා? ඒ වගේ අපේ සහෝදර සහෝදරියනුත් අසනීප නිසා හරි වයස නිසා හරි දේශනා සේවයේ පොඩි වෙලාවක් විතරක් හවුල් වෙනවා ඇති. සමහරවිට ඒ ගැන ඔවුන් දුක් වෙනවත් ඇති. ඒ වගේ වෙලාවලදී තමන්ගේ උපරිමයෙන් සේවය කරන අයව දෙවි අගය කරනවා කියලා ඔවුන්ට මතක් කරලා දෙන්න වැඩිමහල්ලන්ට පුළුවන්.—මාක් 12:41-44.

20. දෙවිට කරන සේවයේදී සාධාරණ වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ මොනවද?

20 සාධාරණ වීමයි ‘තමන් ගැන ටිකක් හිතීමේ’ අදහසින් සේවය අඩු කිරීමයි අතර වෙනසක් තියෙනවා. (මතෙ. 16:22) ‘මං ගැනත් ටිකක් හිතන එකේ වරදක් නැහැනේ’ කියලා හිතලා සේවය අඩු කරන්න හොඳ නැහැ. අපිට කරන්න පුළුවන්කම තියෙද්දී ඇයි අපි අඩුවෙන් කරන්නේ? දෙවිට සේවය කරන්න “දැඩි උත්සාහයක් දරන්න” කියලා යේසුස් දුන්න උපදෙස අපි නිතරම මතක තියාගමු. (ලූක් 13:24) ඒත් අපි සමබර වෙන්න ඕනෙ. අපි අපේ උපරිමය කරන අතරම, අපිට කරන්න පුළුවන් ප්‍රමාණයට වඩා දෙවි අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියන එකත් මතක තියාගමු. මේ තරම් සාධාරණ දෙවි කෙනෙකුට සේවය කරන්න ලැබීම මොන තරම් වරප්‍රසාදයක්ද! අපි ඊළඟ ලිපියේ යෙහෝවා දෙවිගේ තවත් ගතිලක්ෂණ දෙකක් ගැන බලමු.—ගීතා. 73:28.

‘ඔබ සතු වටිනා දේවලින් යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරන්න.’—හිතෝ. 3:9 ( 11වෙනි ඡේදය බලන්න)

‘ඔබ කුමක් කළත් මුළු හදවතින්ම එය කරන්න.’—කොලො. 3:23 ( 17වෙනි ඡේදය බලන්න)