Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවි දෙන හික්මවීම් පිළිගෙන සකස් වෙන්න

යෙහෝවා දෙවි දෙන හික්මවීම් පිළිගෙන සකස් වෙන්න

“ඔබ උපදෙස් දෙමින් මට මඟ පෙන්වන්නෙහිය. පසුව ඔබ ඔබේ අනුමැතිය මට ලබා දෙන්නෙහිය.”—ගීතා. 73:24.

1, 2. (අ) යෙහෝවා දෙවි එක්ක හොඳ බැඳීමක් ඇති කරගන්න නම් අපි කරන්න ඕනෙ මොනවද? (ආ) මේ ලිපියෙන් අපි ඉගෙනගන්න යන්නේ මොනවද? අපිට ලැබෙන ප්‍රයෝජන මොනවද?

“දෙවිට ළං වී සිටීම මට යහපතකි. ඔහු මාගේ රක්ෂස්ථානයය.” (ගීතා. 73:28) දෙවිව ඒ තරම් විශ්වාස කරන්න ගීතිකාකරු පෙලඹුණේ ඇයි කියලා දන්නවද? ඊට කලින් ඔහු කලකිරිලයි හිටියේ. එහෙම වුණේ දුෂ්ටයෝ මොන තරම් වැරදි කළත් ඔවුන් කිසිම කරදරයක් නැතුව ඉන්නවා දැකපු නිසයි. ඒ නිසා ඔහු මෙහෙම කිව්වා. “නිර්මල සිතක් ඇතුව ජීවත් වීමට මා දැරූ උත්සාහය නිෂ්ඵලය. මගේ දෑත් සෝදාගෙන මා නිදොස් බව හෙළි කළත් එයින්ද කිසිදු පලක් නොවීය.” (ගීතා. 73:2, 3, 13, 21) ඒත් ඔහු “දෙවිගේ ශුද්ධස්ථානය වෙත” ගියාට පස්සේ ඔහු හිතපු විදිහ සකස් කරගත්තා. (ගීතා. 73:16-18) දෙවි එක්ක තියෙන බැඳීම තවත් ශක්තිමත් කරගන්නත් ඔහුට පුළුවන් වුණා. මොකක්ද ඔහු ඉගෙනගත්ත පාඩම? කෙනෙකුට යෙහෝවා දෙවි එක්ක හොඳ බැඳීමක් ඇති කරගන්න ඕනෙ නම් ඔහු දෙවිගේ සෙනඟ එක්ක ඇසුරු කරන්නත් දෙවි දෙන උපදෙස් පිළිගෙන ඒ අනුව සකස් වෙන්නත් ඕනෙ කියන එකයි.—ගීතා. 73:24.

2 අපිටත් ඕනෙ යෙහෝවා දෙවි එක්ක දිගටම කිට්ටු බැඳීමක් ඇති කරගන්න නේද? එහෙමනම් දෙවි දෙන උපදෙස්, හික්මවීම් පිළිගන්න එක අත්‍යවශ්‍යයි. එහෙම කරද්දී අපිව අඹන්න නැත්නම් සකස් කරන්න දෙවිට පහසුයි. එතකොට ඔහු බලාපොරොත්තු වෙන විදිහේ කෙනෙක් වෙන්න අපිට පුළුවන් වෙනවා. අතීතයේදී දෙවි ඒ වගේ අවස්ථාවන් සමහර පුද්ගලයන්ට වගේම ජාතීන්ටත් ලබා දුන්නා. ඒ වාර්තා බයිබලයේ සඳහන් කරලා තියෙන්නේ අවසාන කාලයේ ජීවත් වන ‘අපට යමක් ඉගෙනගන්නයි.’ ඒ වගේම ඒවා අපිට “අනතුරු ඇඟවීමක්.” (රෝම 15:4; 1 කොරි. 10:11) ඒ වගේ අවස්ථා කිහිපයක් ගැන අපි මේ ලිපියෙන් බලමු. එතකොට යෙහෝවා දෙවි හිතන විදිහ තේරුම්ගන්නත් දෙවි අපිව සකස් කරද්දී ඉන් අපිට ලැබෙන ප්‍රයෝජන ගැන දැනගන්නත් පුළුවන්.

යෙහෝවා දෙවි අපේ කුඹල්කරුයි

3. මිනිසුන් කෙරෙහි දෙවිට තියෙන අයිතිය යෙසායා 64:8 සහ යෙරෙමියා 18:1-6 පැහැදිලි වෙන්නේ කොහොමද? (ලිපියේ මුලින්ම තියෙන පින්තූරය බලන්න.)

3 බයිබලයේ යෙහෝවා දෙවිව කුඹල්කරුවෙකුට සමාන කරලා තියෙනවා. ඒ කියන්නේ දෙවිට ඕනෙ විදිහට අපිව අඹන්න අයිතියක් තියෙනවා කියන එකයි. බලන්න යෙසායා 64:8හි කියන දේ. “යෙහෝවා දෙවියනි, අපේ පියාණන් ඔබය. අප නිකම්ම නිකම් මැටි පිඩක් වැනිය. ඔබ අපේ කුඹල්කරුය. අප සියල්ලන්ම ඔබේ අතින් නිමැවුණු භාණ්ඩ මෙනි.” කුඹල්කරුවෙකුට අයිතිය තියෙනවා මැටි ටිකක් අරන් තමන් කැමති භාණ්ඩයක් හදන්න. ‘මං කැමති නැහැ මාව ඒ විදිහට හදනවට. මාව මේ විදිහට හදන්න’ කියලා කියන්න මැටි ටිකට බැහැ. අපේ කුඹල්කරු වන යෙහෝවා දෙවිටත් ඔහුට ඕනෙ විදිහට අපිව සකස් කරන්න අයිතිය තියෙනවා. ඒක කරන්න ඕනෙ කොහොමද කියලා ඔහුට කියන්න අපිට අයිතියක් නැහැ.—යෙරෙමියා 18:1-6 කියවන්න.

4. දෙවි මිනිසුන්ව බලෙන් සකස් කරනවද? පැහැදිලි කරන්න.

4 කුඹල්කරුවෙකුට මැටිවලින් තමන් කැමති දෙයක් හදන්න අයිතිය තියෙනවා වගේ යෙහෝවා දෙවිටත් අපි ගැන ඔහු කැමති දෙයක් කරන්න අයිතිය තියෙනවා. ඒත් ඔහු බලහත්කාරයෙන් එහෙම කරන්නේ නැහැ. අපිව සකස් කරන්න දෙවිට ඉඩ දෙනවද නැද්ද කියලා තීරණය කරන්න දෙවි අපිට නිදහස දීලා තියෙනවා.—යෙරෙමියා 18:7-10 කියවන්න.

5. කෙනෙක් තමන්ව සකස් කරන්න ඉඩ දෙන්නේ නැත්නම් දෙවි මොකද කරන්නේ?

5 කෙනෙක් තමන්ව සකස් කරන්න දෙවිට ඉඩ දෙන්නේ නැත්නම් යෙහෝවා දෙවි මොකද කරන්නේ? ඒක තේරුම්ගන්න අපි මෙහෙම හිතමු. මැටි ටිකෙන්, තමන් කැමති භාණ්ඩය හදන්න බැහැ කියලා කුඹල්කරුට තේරුණොත් ඔහු මොකද කරන්නේ? ඔහු ඒ මැටි ටිකෙන් වෙන දෙයක් හදයි. නැත්නම් ඒක විසි කරලා දායි. හුඟක් වෙලාවට එහෙම වෙන්නේ කුඹල්කරුගෙම වරද නිසයි. ඒත් යෙහෝවා දෙවි ඊට වඩා වෙනස්. දෙවි අතින් කිසිම වරදක් වෙන්නේ නැහැ. (ද්වි. 32:4) කෙනෙකුව දෙවි සකස් කරන්නේ ඒ සඳහා පුද්ගලයා දක්වන ප්‍රතිචාරය අනුවයි. ඒ නිසා කෙනෙක් තමන්ව සකස් කරන්න දෙවිට ඉඩ දෙන්නේ නැත්නම් වරද දෙවිගේ නෙවෙයි. ඒ පුද්ගලයාගේ. ඔහු දෙවිට කීකරු වෙනවා නම් දෙවිට පුළුවන් ඔහුව “ගෞරවනීය කාර්යයක්” සඳහා සකස් කරන්න. අභිෂේක ලත් අයට දෙවි එහෙම කළා. ඒත් මුරණ්ඩු විදිහට දෙවිට අකීකරු වෙන අය “විනාශ කිරීමට සුදුසු” අය වෙනවා. ඒ අයගෙන් දෙවිට කිසිම ප්‍රයෝජනයක් නැහැ.—රෝම 9:19-23.

6, 7. දාවිත් සහ සාවුල් උපදෙස්වලට ප්‍රතිචාරය දැක්වුවේ කොහොමද?

 6 යෙහෝවා දෙවි අපිව සකස් කරන විදිහක් තමයි අපිට අවශ්‍ය උපදෙස් හා හික්මවීම් දෙන එක. සාවුල් සහ දාවිත් ගැන බලමු. දාවිත් බැත්-ෂෙබා එක්ක අනාචාරයේ යෙදුණට පස්සේ ඔහුටත් තවත් අයටත් ඒ වරදේ නරක ප්‍රතිඵලවලට මුහුණ දෙන්න වුණා. දාවිත් රජ කෙනෙක් වුණත් දෙවි ඔහුට හික්මවීම් නොදී හිටියේ නැහැ. නාතන්ව යවලා ඔහුගේ වරදට දඬුවම් ලැබෙන බව කිව්වා. (2 සාමු. 12:1-12) දාවිත් තමන්ට ලැබුණ හික්මවීම පිළිගත්තද? ඔව්. තමන් කරපු වරද ගැන ඔහු හුඟක් දුක් වුණා. ඔහු අවංකව පසුතැවිලි වුණ නිසා දෙවි ඔහුට සමාව දුන්නා.—2 සාමුවෙල් 12:13 කියවන්න.

 7 සාවුල් හැසිරුණේ ඊට හාත්පසින්ම වෙනස් විදිහට. ඔහු තමන්ට ලැබුණ හික්මවීම් පිළිගත්තේ නැහැ. යෙහෝවා දෙවි සාවුල්ට කිව්වා අමලෙක්වරුන්වත් ඔවුන්ගේ සතුන්වත් සම්පූර්ණයෙන්ම විනාශ කරන්න කියලා. ඒත් සාවුල් ඒකට අකීකරු වෙලා ඔවුන්ගේ රජ වන ආගග්වත් හොඳම සතුන්වත් මරන්නේ නැතුව තියාගත්තා. (1 සාමු. 15:1-3, 7-9, 12) දෙවි, සාමුවෙල්ව යවලා ඔහු කරපු වරද පෙන්වලා දුන්නම ඔහු ඒක පිළිගත්තෙවත් තමන් කරපු වරද හදාගත්තෙවත් නැහැ. ඒ වෙනුවට ඒ සතුන්ව තියාගත්තේ දෙවිට පූජා කරන්න කියලා නිදහසට කරුණු කිව්වා. ඒ නිසා දෙවි සාවුල්ව රජකමෙන් ඉවත් කළා. එදා ඉඳන් දෙවි එක්ක කිට්ටු බැඳීමක් තියාගන්න සාවුල්ට පුළුවන් වුණෙත් නැහැ.—1 සාමුවෙල් 15:13-15, 20-23 කියවන්න.

සාවුල් හික්මවීම් පිළිගත්තේවත් සකස් වෙන්න කැමති වුණේවත් නැහැ ( 7වෙනි ඡේදය බලන්න)

දාවිත් තමන්ගේ වරද ගැන දුක් වෙලා උපදෙස් පිළි අරන් සකස් වුණා. ඔබත් ඒ වගේද? ( 6වෙනි ඡේදය බලන්න)

දෙවි හැමෝටම එක විදිහට සලකනවා

8. ඊශ්‍රායෙල්වරු ක්‍රියා කරපු විදිහෙන් අපිට ගන්න පුළුවන් පාඩම මොකක්ද?

8 දෙවි තනි තනි පුද්ගලයන්ට විතරක් නෙවෙයි ජාතියක් විදිහටත් තමන්ට කීකරු වෙන්න මිනිසුන්ට අවස්ථාව දෙනවා. ක්‍රිස්තු පූර්ව 1513දී ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් නිදහස් කරගත්තට පස්සේ දෙවි ඔවුන්ට සැලකුවේ විශේෂ ජාතියක් විදිහටයි. දෙවි ඔවුන්ව සකස් කරන්න ඔවුන්ට අවශ්‍ය මඟ පෙන්වීම් දුන්නා. ඔවුන් ඒවා පිළිගත්තා නම් දෙවි තෝරගත්ත සෙනඟ විදිහට දිගටම ඉන්න ඔවුන්ට අවස්ථාව තිබුණා. ඒත් ඔවුන් ඒක ප්‍රතික්ෂේප කරලා නපුරු දේවල් කළා. ඒ විතරක් නෙවෙයි වෙනත් දෙවිවරුන්ටත් නමස්කාර කළා. දෙවි අනාගතවක්තෘවරුන්ව නිතර නිතර යවලා ඔවුන්ව සකස් කරන්න හැදුවත් ඔවුන් ඒ මඟ පෙන්වීම් මුරණ්ඩු විදිහට ප්‍රතික්ෂේප කළා. (යෙරෙ. 35:12-15) ඒ නිසා දෙවි ඔවුන්ට දඬුවම් කළා. ඇසිරියාව මාර්ගයෙන් ඊශ්‍රායෙලයේ ගෝත්‍ර දහයකින් යුත් උතුරු රාජ්‍යයටත් බැබිලෝනිය මාර්ගයෙන් යූදා රාජ්‍යයටත් දඬුවම් කළා. ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද? දෙවි අපිව සකස් කරද්දී ඒකට ඉඩ දුන්නොත් විතරයි අපිට ප්‍රයෝජන ලැබෙන්නේ කියන එකයි.

9, 10. නිනිවයේ වැසියන් දෙවිගේ අනතුරු ඇඟවීමට ප්‍රතිචාරය දැක්වුවේ කොහොමද?

9 දැන් අපි ඇසිරියාවේ අගනුවර වුණ නිනිවයේ වැසියන් ගැන බලමු. ඔවුන්ගේ දුෂ්ටකම් නිසා ඔවුන්ව විනාශ කරන්න දෙවි තීරණය කරලා තිබුණා. ඒ නිසා යෙහෝවා දෙවි යෝනාට මෙහෙම කිව්වා. “නිනිවය නම් මහත් නුවරේ වැසියන්ගේ දුෂ්ටකම් මට පෙනිණ. දැන් එතැනට ගොස් මගේ විනිශ්චය ගැන එහි වැසියන්ට කියන්න.”—යෝනා 1:1, 2; 3:1-4.

10 යෝනා ඒ ගැන දැනුම් දුන්නම ‘නිනිවයේ වැසියෝ දෙවි කෙරෙහි විශ්වාසය තබන්න පටන්ගත්තා.’ ඔවුන් නිරාහාරව ඉඳලා ගෝණි රෙදි ඇඳගෙන තමන් අවංකවම පසුතැවිලි වෙනවා කියලා පෙන්නුවා. ඔවුන්ගේ රජත් “සිංහාසනයෙන් නැඟිට තමාගේ නිලවස්ත්‍රය පසෙක ලා ගෝණි රෙදි ඇඳගෙන අළු ගොඩක හිඳගත්තේය” කියලා බයිබලයේ සඳහන් වෙනවා. යෙහෝවා දෙවි ඔවුන්ව සකස් කරන්න හදද්දී ඔවුන් ඒකට කීකරු වෙලා පසුතැවිලි වුණ නිසා දෙවි ඔවුන්ව විනාශ කළේ නැහැ.—යෝනා 3:5-10.

11. දෙවි ඊශ්‍රායෙල්වරුන්ටත් නිනිවයේ වැසියන්ටත් සලකපු විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

11 ඊශ්‍රායෙල්වරු යෙහෝවා දෙවි තෝරගත්ත සෙනඟ වුණත් දෙවිට අකීකරු වුණ නිසා දෙවි ඔවුන්ට දඬුවම් කළා. ඒත් නිනිවයේ වැසියන් දෙවි තෝරගත්ත සෙනඟ නොවුණත් ඔවුන් දෙවිට කීකරු වුණ නිසා දෙවි ඔවුන්ට සමාව දුන්නා. ඒකෙන් පැහැදිලි වෙන්නේ දෙවි මිනිසුන්ව විනිශ්චය කරන්නේ ඔවුන් කරන දේවලට අනුව කියන එකයි. එහෙම නැතුව දෙවි කාටවත් විශේෂ සැලකිල්ලක් දක්වන්නේ නැහැ.—ද්වි. 10:17.

දෙවි තත්වයට අනුව සකස් වෙයි

12, 13. (අ) දෙවි තත්වයට අනුව සකස් වෙනවා කියලා කියන්න පුළුවන් කොහොමද? (ආ) අපිට ඒකෙන් දෙවි ගැන ඉගෙනගන්න පුළුවන් මොනවද?

12 මිනිසුන් තමන් හැසිරෙන විදිහ වෙනස් කරද්දී දෙවිත් ඒ අනුව ඔහුගේ තීරණ වෙනස් කරනවා. උදාහරණයකට සාවුල්ව රජ හැටියට තෝරගත්තත්, පස්සේ ඒ ගැන දෙවි “කනගාටු වුණා” කියලා බයිබලයේ කියනවා. (1 සාමු. 15:11) නිනිවයේ වැසියන් පසුතැවිලි වුණාම ‘ඔවුන්ට දඬුවම් කිරීමට ගත් තීරණය දෙවි වෙනස් කළා.’—යෝනා 3:10.

13 දෙවි “කනගාටු වුණා” කියලා බයිබලයේ කියන එකෙන් අදහස් කරන්නේ කෙනෙක් ගැන දෙවිට හිතෙන විදිහ වෙනස් කරගන්නවා කියන එකයි. මුලින්ම සාවුල්ට දෙවිගේ අනුමැතිය තිබුණා. ඒත් ඔහු අකීකරු වුණාට පස්සේ දෙවි ඔහුව ප්‍රතික්ෂේප කළා. ඒකෙන් අදහස් කරන්නේ සාවුල්ව රජ හැටියට තෝරගෙන දෙවි වැරැද්දක් කළා කියන එක නෙවෙයි. ඒ වෙනුවට ඔහු අකීකරු වුණ එක ගැන දෙවි දුක් වුණා කියන එකයි. අනිත් අතට නිනිවයේ වැසියන් පසුතැවිලි වුණාම දෙවි තමන්ගේ තීරණය වෙනස් කරලා ඔවුන්ට සමාව දුන්නා. අපේ දෙවි මේ තරම් කරුණාවන්තයි කියන එකත් අපි හැසිරෙන විදිහ වෙනස් කරගද්දී දෙවිත් අපි ගැන ගත්ත තීරණ වෙනස් කරනවා කියන එකත් දැනගන්න ලැබීම මොන තරම් සහනයක්ද!

යෙහෝවා දෙවිගේ උපදෙස් ප්‍රතික්ෂේප කරන්න එපා

14. (අ) යෙහෝවා දෙවි අපිව සකස් කරන්නේ කොහොමද? (ආ) දෙවි අපිව සකස් කරද්දී අපි ප්‍රතිචාරය දක්වන්න ඕනෙ කොහොමද?

14 යෙහෝවා දෙවි බයිබලය හා ඔහුගේ සංවිධානය මාර්ගයෙන් අපිවත් සකස් කරනවා. (2 තිමෝ. 3:16, 17) ඒ උපදෙස් අපි කවදාවත් ප්‍රතික්ෂේප කරන්න නරකයි. අපි බව්තීස්ම වෙලා සෑහෙන කාලයක් ගත වෙලා තිබුණත් සභාවේ අමතර වගකීම් දැරුවත් යෙහෝවා දෙවි අපිට දෙන උපදෙස්වලට දිගටම කීකරු වෙන්න ඕනෙ. අපි එහෙම කළොත් යෙහෝවා දෙවිගේ අනුමැතිය තියෙන කෙනෙක් වෙන්න අපිට පුළුවන්.

15, 16. (අ) සභාවේ අමතර වගකීම් නැති වෙද්දී කෙනෙකුට මොන වගේ හැඟීම් ඇති වෙනවද? උදාහරණයක් දෙන්න. (ආ) හික්මවීමක් ලැබෙද්දී ඇති වෙන ලැජ්ජාව දරාගන්න ශක්තිය ලබාගන්න පුළුවන් කොහොමද?

15 යෙහෝවා දෙවි අපි හැමෝටම උපදෙස් දෙනවා. අපි හැමෝවම නිවැරදි කරනවා. ඒත් සමහර අවස්ථාවලදී අපි අතින් වරදක් සිදු වෙද්දී ඔහු අපිට නිශ්චිත හික්මවීම් දෙනවා. ඒ වගේ අවස්ථාවක අපිට සභාවේ තියෙන වගකීම් නැති වෙන්නත් පුළුවන්. වැඩිමහල්ලෙක් වුණ ඩෙනිස්ට එහෙම වුණා. * ඔහු ව්‍යාපාරය කරගෙන යද්දී අනුවණ තීරණයක් ගත්තා. ඒක කොච්චර දුරදිග ගියාද කියනවා නම් විනිශ්චය කමිටුවක් මගින් ඔහුට අවවාද කරන්නත් සිද්ධ වුණා. ඔහු තවදුරටත් වැඩිමහල්ලෙක් විදිහට සේවය කරන්නේ නැහැ කියලා සභාවේ නිවේදනය කරද්දී ඔහුට දැනුණේ කොහොමද? ඒ ගැන ඔහු මෙහෙම කියනවා. “පහුගිය අවුරුදු 30 පුරාම මට ගොඩක් වරප්‍රසාද ලැබිලා තියෙනවා. මම ස්ථාවර පුරෝගාමි සේවය කළා. බෙතෙල් එකේ සේවය කළා. සහායක සේවකයෙක් විදිහට සේවය කරලා පස්සේ වැඩිමහල්ලෙක් වුණා. මම ළඟදී තුන්දින සමුළුවේ මගේ පළවෙනි කතාවත් දුන්නා. දැන් මට ඒ ඔක්කොම නැති වුණා.” ඔහුට පුදුම ලැජ්ජාවක් ඇති වුණා. ඔහුගෙන් සංවිධානයට කිසිම වැඩක් නැහැ කියන හැඟීමත් ඇති වුණා.

16 ඒත් ඩෙනිස්, ඔහුට ලැබුණ හික්මවීම පිළි අරන් සකස් වුණා. ඔහුට දැනුණ ලැජ්ජාව දරාගන්න ශක්තිය ලැබුණේ කොහොමද? ඔහු බයිබලය අධ්‍යයනය කළා. දිගටම සේවයේ හවුල් වුණා. නොකඩවා රැස්වීම්ලට ගියා. අපේ පොත් පත් සඟරාවලින් සහ සහෝදර සහෝදරියන්ගෙන් ලැබුණ දිරිගැන්වීම් ඔහුට ලොකු ශක්තියක් වුණා. ඔහුට උපකාරවත් වුණ තවත් දෙයක් ගැන ඔහු මෙහෙම කියනවා. “‘නැවතත් සේවය කරන්න ඔබ කැමතිද?’ කියන 2009 අගෝස්තු 15 මුරටැඹ කලාපයේ පළ වුණ ලිපිය මං කරපු යාච්ඤාවලට යෙහෝවා දෙවි දුන්න උත්තරයක් වගෙයි මට දැනුණේ.” ඒ ලිපිය කියෙව්වට පස්සේ ඩෙනිස්ට තේරුණා ඔහුට තියෙන කාලය, යෙහෝවා දෙවිත් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න පාවිච්චි කරන්න ඕනෙ කියලා. තමන්ට ලැබුණ හික්මවීම පිළි අරගෙන සකස් වුණ නිසා පසු කාලයකදී සහායක සේවකයෙක් විදිහට සේවය කරන්න ඔහුට අවස්ථාව ලැබුණා.

17. කෙනෙක්ව සභා සාමාජිකත්වයෙන් ඉවත් කිරීම ඔහුව පොලඹවන්නේ මොනවා කරන්නද? උදාහරණයක් දෙන්න.

17 කෙනෙක්ව සභා සාමාජිකත්වයෙන් ඉවත් කිරීමත් යෙහෝවා දෙවි හික්මවන එක විදිහක්. එහෙම කරද්දී වරදකරුගෙන් සභාවට ඇති වෙන නරක බලපෑමෙන් සභාවට ආරක්ෂාවක් ලැබෙනවා වගේම ඒ පුද්ගලයාට පසුතැවිලි වෙන්නත් අවස්ථාව ලැබෙනවා. (1 කොරි. 5:6, 7, 11) රොබට්, අවුරුදු 16ක් විතර සභා සාමාජිකත්වයෙන් ඉවත් කරලා හිටපු කෙනෙක්. ඒ කාලය පුරාම ඔහුගේ දෙමව්පියන් සහ අයියලා මල්ලිලා බයිබලයේ උපදෙස්වලට කීකරු වෙමින් ඔහු සමඟ කිසිම ඇසුරක් පැවැත්වුවේ නැහැ. ඔහුගේ සැප දුක් විමසන්නවත් ගියේ නැහැ. ඒ ගැන ඔහුට දැනුණ විදිහ ඔහු මෙහෙම විස්තර කරනවා. “මගේ පවුලේ අය වචනයක් දෙකක් හරි මාත් එක්ක කතා කරලා තිබුණා නම් මට ඒ තරම්ම දුකක් දැනෙන එකක් නැහැ. ඒත් ඒ අය එහෙම කළේ නැති නිසා පවුලේ අයත් එක්ක කතා කරන්න මට තිබුණ ආසාව වැඩි වුණා. ඒක දෙවි වෙතට හැරෙන්න මට උදව් වුණා.” ඔහු දෙවිගේ හික්මවීම්වලට කීකරු වුණ නිසා ඔහුව සභාවට නැවත පිළිගත්තා. දැන් ඔහු සභාවේ සතුටින් සේවය කරනවා.

18. යෙහෝවා දෙවි අපිව සකස් කරද්දී අපි ප්‍රතිචාරය දක්වන්න ඕනෙ කොහොමද?

18 දෙවි අපිව සකස් කරද්දී, අපිට යම් යම් මඟ පෙන්වීම් දෙද්දී අපි ප්‍රතිචාරය දක්වන්නේ කොහොමද? දාවිත් වගේ අපි ඒවා පිළිගන්නවද? නැත්නම් සාවුල් වගේ ඒවා ප්‍රතික්ෂේප කරනවද? යෙහෝවා දෙවි අපේ කුඹල්කරු සහ අපිට ආදරය කරන අපේ පියාණන්. ඒ නිසා ‘පියෙකු තම ආදරණීය පුතුට අවවාද කරන්නාක් මෙන් යෙහෝවා දෙවි තමා ප්‍රේම කරන තැනැත්තාට අවවාද කරනවා’ කියලා අපි අමතක නොකරමු. අපි කවදාවත් ඔහුගේ හික්මවීම් ප්‍රතික්ෂේප නොකරමු.—හිතෝ. 3:11, 12.

^ 15 ඡේ. නම් වෙනස් කර ඇත.