Skip to content

පටුනට යන්න

‘මම ඔබ සමඟ සැමදා සිටිනවා’

‘මම ඔබ සමඟ සැමදා සිටිනවා’

“මම මෙතැන් පටන් පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය නිමා වන තුරුම ඔබ සමඟ සැමදා සිටිනවා.”මතෙ. 28:20.

1. (අ) තිරිඟු සහ කිරිඳි උපමාව කෙටියෙන් කියන්න. (ආ) යේසුස් ඒ උපමාව පැහැදිලි කළේ කොහොමද?

යේසුස් කිව්ව තිරිඟු සහ කිරිඳි උපමාව ඔබට මතකද? කතාවේ හැටියට මිනිසෙක් කෙතක තිරිඟු වපුරනවා. ඒත් හතුරෙක් ඇවිල්ලා තිරිඟු අතර කිරිඳි වපුරලා යනවා. ඊටපස්සේ තිරිඟු යටපත් වෙන තරමටම කිරිඳි වැඩෙනවා. ඒත් “කපන කාලය වන තුරුම දෙවර්ගයටම එකට වැඩෙන්න ඉඩහරින්න” කියලා ඒ මිනිසා තමන්ගේ සේවකයන්ට කියනවා. අස්වැන්න කපන කාලයේදී කිරිඳි විනාශ කරලා තිරිඟු එක් රැස් කරනවා. ඒ උපමාවේ තේරුම පසුව යේසුස් ගෝලයන්ට පැහැදිලි කරලා දුන්නා. (මතෙව් 13:24-30, 37-43 කියවන්න.) ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද? (“තිරිඟු සහ කිරිඳි” කියන රූපසටහන බලන්න.)

2. (අ) යේසුස්ගේ උපමාව තේරුම්ගත්තොත් අපිට දැනගන්න ලැබෙන්නේ මොනවද? (ආ) අපි මේ ලිපියෙන් සලකා බලන්නේ උපමාවේ සඳහන් මොන කාලය ගැනද?

2 තිරිඟුවලින් නියෝජනය කරන්නේ අභිෂේක ලත් අයවයි. ඔවුන්ව රැස් කිරීම සිදු වෙන්නේ කවදද කියලත් ඒක කරන්නේ කොහොමද කියලත් මේ උපමාව හොඳට තේරුම්ගත්තොත් අපිට දැනගන්න පුළුවන්. බීජ වැපිරීම පටන්ගත්තේ ක්‍රිස්තු වර්ෂ 33දියි. අස්වැන්න රැස් කරලා අවසන් වෙන්නේ කවදද? ඒක වෙන්නේ මේ දුෂ්ට සමාජය අවසන් වෙද්දී පොළොවේ ඉතුරු වෙලා ඉන්න, අභිෂේක ලත් අයට අවසන් මුද්‍රාව ලැබිලා ඔවුන්ව ස්වර්ගයට රැස් කළාට පස්සෙයි. (මතෙ. 24:31; එළි. 7:1-4) ඒ උපමාවේ බීජ වපුරන කාලයක්, බීජ වැඩෙන කාලයක්, අස්වැන්න කපලා රැස් කරන කාලයක් ගැන කියනවා. අපි මේ ලිපියෙන් මූලිකවම බලන්නේ අස්වැන්න කපලා රැස් කරන කාලය ගැනයි. *

යේසුස්ගේ රැකවරණය දිගටම

3. (අ) දෙවෙනි ශතවර්ෂයේ ආරම්භයත් එක්කම සිදු වුණේ මොකක්ද? (ආ) මතෙව් 13:28හි දාසයන් අහන ප්‍රශ්නය මොකක්ද? දාසයන්ගෙන් නියෝජනය කළේ කාවද? (අමතර සටහන්ද බලන්න.)

3 උපමාවේ හැටියට තිරිඟු අතරේ “කිරිඳිත් මතු වුණා.” ඒක වෙන්න පටන්ගත්තේ දෙවෙනි ශතවර්ෂයේ ආරම්භයත් එක්කමයි. (මතෙ. 13:26) ඒ කාලයේදී තමන් ක්‍රිස්තියානි කියලා කියාගන්න, ඒත් අසත්‍යය උගන්වන අය මතු වෙන්න පටන්ගත්තා. හතරවෙනි සියවස වෙද්දී තිරිඟු පැළ යටපත් කරගෙන කිරිඳි පැළ වැඩුණා. ඒ කියන්නේ අභිෂේක ලත් අයට වඩා ක්‍රිස්තියානි කියලා කියාගන්නා අයගේ සංඛ්‍යාව වැඩි වුණා. උපමාවේ හැටියට කිරිඳි උදුරලා දාන්නද කියලා දාසයන් ඇවිත් ස්වාමියාගෙන් අහනවා. * (මතෙ. 13:28) ස්වාමියා මොනවද කිව්වේ?

4. (අ) ස්වාමියා දුන්න උත්තරෙන් පැහැදිලි වෙන්නේ මොනවද? (ආ) තිරිඟු හා සමාන අභිෂේක ලත් අය කවුද කියලා පේන්න පටන්ගත්තේ කොයි කාලයේදිද?

4 ස්වාමියා කිව්වේ “කපන කාලය වන තුරුම දෙවර්ගයටම එකට වැඩෙන්න ඉඩහරින්න” කියලයි. ඒකෙන් අපිට තේරුම්ගන්න පුළුවන් මොනවද? ඒ තමයි ක්‍රි.ව. 33 ඉඳන් අද වෙනකල්ම තිරිඟු හා සමාන අභිෂේක ලත් අය පොළොවේ ඉන්නවා කියන එක. ඒක යේසුස් කිව්ව මේ දෙයින් තවත් පැහැදිලි වෙනවා. “මම මෙතැන් පටන් පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය නිමා වන තුරුම ඔබ සමඟ සැමදා සිටිනවා.” (මතෙ. 28:20) යේසුස් ඒ වචන කියපු කාලයේ ඉඳන් අවසාන දවස් වෙනකල්ම අභිෂේක ලත් අයට යේසුස්ගේ රැකවරණය “සැමදා” ලැබෙනවා කියන එකත් ඒකෙන් පැහැදිලියි. ඒත් දෙවෙනි ශතවර්ෂයේ ඉඳන් තිරිඟු වහගෙන කිරිඳි වැඩෙන්න පටන්ගත්ත නිසා සියවස් ගණනාවක් යනකල් මේ පොළොවේ හිටපු අභිෂේක ලත් අය කවුද කියලා හරියටම දැනගන්න බැරි වුණා. ඒ වුණත් අස්වැන්න කපන කාලය පටන්ගන්න අවුරුදු 30කට විතර ඉස්සෙල්ලා ඉඳන් තිරිඟු හා සමාන අභිෂේක ලත් අය කවුද කියලා පේන්න පටන්ගත්තා.

‘මාර්ගය සූදානම් කරන’ පණිවිඩකරුවෙක්

5. මලාකි කියපු අනාවැකියේ පළවෙනි ඉටු වීම මොකක්ද?

5 අභිෂේක ලත් අයව පැහැදිලිව පේන්න පටන්ගත්තේ පණිවිඩකරුවෙක් නිසයි. ‘මාර්ගය සූදානම් කරන’ ඒ පණිවිඩකරුවා ගැන මලාකි කියපු අනාවැකියකින් අපිට හොයාගන්න පුළුවන්. (මලාකි 3:1-4 කියවන්න.) ඒ අනාවැකියට ඉටු වීම් දෙකක් තියෙනවා. පළවෙනි ඉටු වීම සිදු වුණේ ක්‍රි.ව. 29දියි. ඒ කාලයේ මුලින්ම පණිවිඩකරුවා හැටියට ක්‍රියා කළේ මිනිසුන්ව බව්තීස්ම කරපු යොහන්. (මතෙ. 11:10, 11) ඔහු ඊශ්‍රායෙල්වරුන්ට ඉතාමත් ඉක්මනින් මුහුණ දෙන්න වෙන විනිශ්චය ගැන කතා කළා. ඊළඟට පණිවිඩකරුවා විදිහට ක්‍රියා කළේ යේසුස්. ඔහු යෙරුසලමේ දේවමාලිගාව දෙවතාවක්ම පවිත්‍ර කළා. ඔහු ඒක කළේ ඔහුගේ දේවසේවය ආරම්භ වුණ කාලයේදී සහ ඔහුගේ සේවයේ අවසාන කාලයේදියි. (මතෙ. 21:12, 13; යොහ. 2:14-17) ඒ විදිහට බලද්දී යේසුස් කළ පවිත්‍ර කිරීමේ කාර්යයට යම් කාලයක් ගත වෙලා තියෙනවා.

6. (අ) මලාකිගේ අනාවැකියේ දෙවෙනි ඉටු වීම මොකක්ද? (ආ) යේසුස් තමන්ගේ සැබෑ අනුගාමිකයන් කවුද කියලා සෝදිසි කරලා බැලුවේ කොයි කාලයේදිද? (අමතර සටහන්ද බලන්න.)

6 මලාකිගේ අනාවැකියේ දෙවෙනි ඉටු වීම මොකක්ද? මේ ඉටු වීමේදිත් පණිවිඩකරුවන් දෙන්නෙක් ඉන්නවා. පළවෙනි ඉටු වීමේදී හිටපු යොහන් කළ දේට සමාන දෙයක් සහෝදර රසල් ඇතුළු බයිබල් ශිෂ්‍යයන් කණ්ඩායමක් කළා. ඔවුන් 1914ට කලින් ඉඳලා බයිබලයේ සඳහන් ඉගැන්වීම් ගැන පැහැදිලි අවබෝධයක් ලබා දෙන්න කටයුතු කළා. උදාහරණයකට යේසුස්ගේ ජීවිත පූජාව, නිරය, වෙනත් ජාතීන්ගේ පාලනය අවසන් වෙන කාලය වගේ දේවල් ගැන සත්‍යය හෙළි කළා. ඒත් ඒ කාලයේදී යේසුස්ගේ අනුගාමිකයන් කියන කණ්ඩායම් රාශියක්ම තිබුණා. එහෙමනම් ඔවුන් අතරින් තිරිඟු හා සමාන වුණේ කවුද? ඒක තීරණය කළේ ඊළඟට පණිවිඩකරු හැටියට ආපු යේසුස්. ඔහු 1914දී තමන්ගේ සැබෑ අනුගාමිකයන් කවුද කියලා සෝදිසි කරලා බැලුවා. ඊටපස්සේ ඔහු එදා දේවමාලිගාව පවිත්‍ර කළා වගේ සැබෑ නමස්කාරයත් පවිත්‍ර කළා. මුල් ඉටු වීමේදී වගේ මේ ඉටු වීමේදිත් පවිත්‍ර කිරීම සඳහා කාලයක් ගත වුණා. ඒ සෝදිසි කරීම සහ පවිත්‍ර කිරීම සිදු වුණේ 1914 සිට 1919 මුල් කාලය දක්වායි. *

සෝදිසි කරලා පවිත්‍ර කරපු කාලය

7. යේසුස් මේ පොළොවේ තමන්ගේ සැබෑ අනුගාමිකයන් කවුද කියලා සෝදිසි කරලා බලද්දී ඔහු හොයාගත්තේ මොනවද?

7 යේසුස් මේ පොළොවේ තමන්ගේ සැබෑ අනුගාමිකයන් කවුද කියලා සෝදිසි කරලා බලද්දී ඔහු හොයාගත්තේ මොනවද? ඔහු දැක්කා බයිබල් ශිෂ්‍යයන් කණ්ඩායමක් අවුරුදු 30කටත් වඩා වැඩි කාලයක් පුරා තමන්ගේ ධනය, ශ්‍රමය වැය කරලා ශුභාරංචිය දේශනා කරනවා. * සරුවට වැඩුණු තිරිඟු හා සමාන ඒ කුඩා කණ්ඩායම හොයාගන්න ලැබුණ එක ගැන යේසුස් හා දේවදූතයන් මොන තරම් සතුටු වෙන්න ඇද්ද! ඒ කණ්ඩායම කිරිඳි හා සමාන අයගේ නරක බලපෑමට අසු වෙලා හිටියේ නැහැ. ඒ වුණත් ඒ අභිෂේක ලත් අයව ‘ලෙවීගේ පුත්‍රයන්ව පවිත්‍ර කරනවා’ වගේ පවිත්‍ර කරන්න අවශ්‍ය වුණා. (මලා. 3:2, 3; 1 පේතෘ. 4:17) ඒ ඇයි?

8. පවිත්‍ර කිරීමක් අවශ්‍ය වුණේ 1914න් පස්සේ සිදු වුණ මොන වගේ දේවල් නිසාද?

8 ඒකට හේතු කිහිපයක්ම තියෙනවා. තමන්ව 1914දී ස්වර්ගයට ගනියි කියලා බයිබල් ශිෂ්‍යයන් හිතාගෙන හිටියත් එහෙම වුණේ නැති නිසා 1914 අවසන් වෙද්දී ඔවුන් අධෛර්යය වෙලයි හිටියේ. ඒ වගේම 1915ත් 1916ත් අතර කාලයේදී ඔවුන්ට දැඩි පීඩාවලට මුහුණ දෙන්න වුණ නිසා දේශනා කිරීමත් අඩපණ වුණා. සහෝදර රසල් 1916 ඔක්තෝබර්වල මිය ගියාට පස්සේ තත්වය තවත් නරක අතට හැරුණා. සහෝදර රදෆර්ඩ් මූලිකත්වය අරන් වැඩ කරනවට සංවිධානයේ හිටපු අධ්‍යක්ෂකවරුන් හත්දෙනාගෙන් හතරදෙනෙක්ම විරුද්ධ වෙලා කැරලිගැහුවා. ඔවුන් සහෝදරයන් අතර බෙදීමක් ඇති කරන්නත් උත්සාහ කළා. ඒත් 1917 අගෝස්තු මාසයේදී ඔවුන් බෙතෙල් එකෙන් පිට වෙලා ගියා. ඒකත් එක විදිහක පවිත්‍ර කිරීමක්. ඒ වගේම මිනිසුන්ට තිබුණ භය නිසා සමහර අය දෙවිට සේවය කරන එක අත්හැරියා. ඊටපස්සේ කිහිපදෙනෙක් හැර අනිත් හැමෝම වගේ යේසුස්ගේ පවිත්‍ර කිරීම පිළි අරන් වෙනස්කම් කරන්න කැමති වුණා. ඒ නිසා යේසුස් ඔවුන්ව තිරිඟු හැටියට තෝරගෙන වෙනස්කම් කරගන්න අකමැති වුණ අය ඇතුළුව තමන් ක්‍රිස්තියානීන් කියලා කියාගත්ත ආගම් සියල්ලක්ම ප්‍රතික්ෂේප කළා. (මලා. 3:5; 2 තිමෝ. 2:19) ඊළඟට මොනවද වුණේ කියලා දැනගන්න අපි ආයෙත් තිරිඟු සහ කිරිඳි උපමාව බලමු.

අස්වැන්න කපන කාලය ආරම්භ වෙයි

9, 10. (අ) අපි දැන් කතා කරන්නේ මොනවා ගැනද? (ආ) අස්වැන්න කපන කාලයේදී මුලින්ම සිදු වුණේ මොකක්ද?

9 “කපන කාලයෙන් අදහස් වන්නේ පවතින මේ සමාජයේ අවසාන කාලයයි” කියලා යේසුස් කිව්වා. (මතෙ. 13:39) අස්වැන්න කපන කාලය පටන්ගත්තේ 1914දියි. ඒ කාලයේදී සිදු වෙනවා කියලා යේසුස් කියපු දේවල් පහක් ගැන අපි දැන් බලමු.

10 පළවෙනි එක කිරිඳි උදුරා මිටි බැඳීම. ‘කපන කාලයේදී මුලින්ම කිරිඳි උදුරා මිටි බඳින්න කියා අස්වැන්න නෙළන අයට කියන්න මට පුළුවන්’ කියලා යේසුස් කිව්වා. ඒක සිදු වෙන්න පටන්ගත්තේ 1914න් පස්සේ. එදා ඉඳන් දේවදූතයන් කිරිඳි හා සමාන ක්‍රිස්තියානීන්ව, තිරිඟු හා සමාන ‘රාජ්‍යයේ පුත්‍රයන්ගෙන්’ වෙන් කරන්න පටන්ගත්තා.—මතෙ. 13:30, 38, 41.

11. සැබෑ ක්‍රිස්තියානීන් වෙනස් කියලා පැහැදිලිව පේන්නේ කොහොමද?

11 දේවදූතයන් කරපු ඒ වෙන් කිරීමේ කාර්යය සාර්ථකව සිදු වෙද්දී කණ්ඩායම් දෙක අතර තියෙන වෙනස පැහැදිලිව දැකගන්න පුළුවන් වුණා. (එළි. 18:1, 4) ඒ නිසා 1919දී මහ බැබිලෝනිය වැටුණා කියලා පැහැදිලි වුණා. ඒ වගේම දේශනා සේවය නිසා සැබෑ ක්‍රිස්තියානීන්ව පැහැදිලිව පෙනුණා. ඒ කාලයේදිම වගේ ගෙයින් ගෙට දේශනා කිරීමේ කාර්යයේ තියෙන වැදගත්කම ගැන, කුඩා පොතක් මගින් සියලුම අභිෂේක ලත් අයට කාවැද්දුවා. (To Whom the Work Is Entrusted) ඒකේ මේ වගේ දිරිගැන්වීමක් තිබුණා. ‘දේශනා කිරීම විශාල කාර්යයක් විදිහට පෙනුණත් ඒක අපිට භාර දීලා තියෙන්නේ යේසුස්. ඒ නිසා අපිට අවශ්‍ය ශක්තිය ඔහු දෙයි. ඒ වැඩේට හවුල් වෙන්න ලැබීම වරප්‍රසාදයක්.’ ඊටපස්සේ බයිබල් ශිෂ්‍යයන් දේශනා සේවයේ වැඩියෙන් හවුල් වුණා. ගෙවල්වලට ගිහිල්ලා දේශනා කරන එක සැබෑ ක්‍රිස්තියානීන්ගේ ප්‍රධාන ලක්ෂණයක් වුණා. අදත් ඒක වෙනස් වෙලා නැහැ.

12. තිරිඟු රැස් කිරීම සිදු වෙන්නේ කවදා සිටද?

12 දෙවෙනි එක තිරිඟු රැස් කිරීම. “තිරිඟු මගේ ගබඩාවේ රැස් කරන්න” කියලා යේසුස් දේවදූතයන්ට කිව්වා. (මතෙ. 13:30) ඒක සිදු වෙන්න පටන්ගත්තේ 1919 සිටයි. එදා ඉඳන් පවිත්‍ර කරපු සැබෑ ක්‍රිස්තියානි සභාවට අභිෂේක ලත් අයව එක් රැස් කළා. මේ දුෂ්ට සමාජය අවසන් වෙද්දී පොළොවේ ඉතුරු වෙලා ඉන්න අභිෂේක ලත් අයව ස්වර්ගයට රැස් කරනවා. තිරිඟු අවසන් වරට රැස් කරන්නේ ඒ අවස්ථාවේදියි.—දානි. 7:18, 22, 27.

13. ක්‍රිස්තියානි කියලා කියාගන්නා ආගම් ඇතුළු මහ බැබිලෝනියට දැන් හැඟෙන විදිහ ගැන එළිදරව් 18:7න් අපිට දැනගන්න පුළුවන් මොනවද?

13 තුන්වෙනි එක හැඬීම සහ දත්මිටි කෑම. කිරිඳි මිටි බැඳගත්තට පස්සේ වෙන්නේ මොනවද? යේසුස් මෙහෙම කිව්වා. “එහිදී හැඬීමටත් දත්මිටි කෑමටත් ඔවුන්ට සිදු වෙයි.” (මතෙ. 13:42) ඒ දේ දැන් සිදු වෙනවද? නැහැ. අද කාලයේ ක්‍රිස්තියානි කියලා කියාගන්නා ආගම්වලට හැඟෙන්නේ මේ විදිහටයි. “මා පාලනය කරන්නේ රැජිනක් ලෙසය. මම වැන්දඹුවක් නොවෙමි. මට කිසිදාක වැලපෙන්න සිදු වන්නේ නැත.” (එළි. 18:7) තමන්ට ලොකු බලයක්, අධිකාරියක් තියෙනවා කියලා ඔවුන්ට දැන් හැඟෙනවා. ‘රැජිනක් විදිහට’ දේශපාලන නායකයන්ව පාලනය කරන්නත් ඔවුන් උත්සාහ කරනවා. ඒකෙන් පැහැදිලි වෙන්නේ කිරිඳිවලින් නියෝජනය වන අය අඬනවා වෙනුවට දැන් පුරසාරම් දොඩනවා කියන එකයි. ඒත් ඒ තත්වය ළඟදීම වෙනස් වෙනවා.

ක්‍රිස්තියානි කියාගන්නා ආගම්වල අය සහ දේශපාලන නායකයන් අතර තියෙන කිට්ටු මිත්‍රත්වය ළඟදීම අවසන් වෙනවා (13වෙනි ඡේදය බලන්න)

14. (අ) ක්‍රිස්තියානි කියලා කියාගන්නා අයගේ ‘හැඬීම සහ දත්මිටි කෑම’ සිදු වෙන්නේ කවදද? ඒ ඇයි? (ආ) මතෙව් 13:42 සහ ගීතාවලිය 112:10 අතර තියෙන සම්බන්ධය ගැන අපිට තියෙන අවබෝධය තවත් පැහැදිලි වෙලා තියෙන්නේ කොහොමද? (අමතර සටහන් බලන්න.)

14 එහෙමනම් හැඬීම සහ දත්මිටි කෑම සිදු වෙන්නේ කවදද? ඒක වෙන්නේ මහත් පීඩාව අතරතුරේ අසත්‍යය උගන්වන සියලුම ආගමික සංවිධාන විනාශ වුණාට පස්සෙයි. ඒ ආගම්වල හිටපු සාමාජිකයන් ආරක්ෂාව හොයාගෙන ගියත් ඔවුන්ට සැඟවෙන්න තැනක් හම්බ වෙන්නේ නැහැ. (ලූක් 23:30; එළි. 6:15-17) තමන්ට විනාශයෙන් බේරෙන්න බැරි වෙන නිසා කලකිරීමටත් කෝපයටත් පත් වන ඔවුන් දත්මිටි කමින් අඬනවා. මහත් පීඩාව ගැන යේසුස්ගේ අනාවැකියේ සඳහන් වුණ විදිහට, තමන්ට කිසිම බලාපොරොත්තුවක් නැහැ කියලා තේරුණාම ඔවුන් “ශෝකයෙන් තම පපුවට ගසාගනියි.” *මතෙ. 24:30; එළි. 1:7.

15. කිරිඳිවලට අවසානයේදී වෙන්නේ මොනවද? ඒක වෙන්නේ කවදද?

15 හතරවෙනි එක ගිනි උදුනට හෙළීම. කිරිඳි මිටි බැන්දට පස්සේ දේවදූතයෝ ඒවා “ගිනි උදුනට හෙළයි.” (මතෙ. 13:42) අසත්‍යය උගන්වන සියලුම ආගම්වල හිටපු සාමාජිකයන්ගේ සම්පූර්ණ විනාශය එයින් අදහස් කරනවා. ඒ දේ වෙන්නේ මහත් පීඩාව අවසානයේදී සිදු වන හර්–මගෙදොන් යුද්ධයේදියි.—මලා. 4:1.

16, 17. (අ) යේසුස් තම උපමාවේ සඳහන් කරන අවසන් සිද්ධිය මොකක්ද? (ආ) ඒක ඉදිරියේදී වෙන දෙයක් කියලා අපිට කියන්න පුළුවන් කොහොමද?

16 පස්වෙනි එක දීප්තියෙන් බැබළීම. අනාවැකිය අවසන් කරමින් යේසුස් මෙහෙම කියනවා. “ඒ කාලයේදී ධර්මිෂ්ඨයන් තම පියාණන්ගේ රාජ්‍යයෙහි සූර්යයා මෙන් දීප්තියෙන් බැබළෙයි.” (මතෙ. 13:43) ඒ දේ සිදු වෙන්නේ කවදද සහ කොහේදිද? ඒ දේ දැනට මේ පොළොවේ සිදු වෙන්නේ නැහැ. ඒක ඉදිරියේදී ස්වර්ගයේ සිදු වෙනවා. *

17 ඒක ඉදිරියේදී සිදු වෙන දෙයක් කියලා අපිට කියන්න පුළුවන් කොහොමද? ඒකට යේසුස් කියපු මේ දේ අපිට උදව් වෙනවා. යේසුස් කිව්වේ, “ඒ කාලයේදී ධර්මිෂ්ඨයන් තම පියාණන්ගේ රාජ්‍යයෙහි සූර්යයා මෙන් දීප්තියෙන් බැබළෙයි” කියලයි. යේසුස් එහෙම කිව්වේ, කිරිඳි ‘ගිනි උදුනට හෙළනවා’ කියලා කිව්වට පස්සෙයි. ඒ නිසා යේසුස් “ඒ කාලයේදී” කියලා කියන එකෙන් අදහස් කරන්න ඇත්තේ කිරිඳි ගිනි උදුනට හෙළන කාලය ගැනයි. ඒ කියන්නේ මහත් පීඩාවේ අවසානය ගැන වෙන්න ඕනෙ. එහෙමනම් අභිෂේක ලත් අය ‘දීප්තියෙන් බැබළෙන්න’ ඕනෙ ඉදිරියේදී කියන එක පැහැදිලියි. ඒක ස්වර්ගයේ වෙනවා කියලා අපිට කියන්න පුළුවන් කොහොමද? යේසුස් කිව්වේ, ධර්මිෂ්ඨයන් ‘රාජ්‍යයෙහි දීප්තියෙන් බැබළෙනවා’ කියලයි. මහත් පීඩාවේදී අසත්‍ය ආගම් විනාශ වුණාට පස්සේ පොළොවේ ඉන්න අභිෂේක ලත් අය සියලු දෙනාටම ඒ වෙන කොට අවසන් මුද්‍රාව ලැබිලා තියෙයි. යේසුස්ගේ අනාවැකියේ සඳහන් විදිහට ඊටපස්සේ ඒ අයව ස්වර්ගයට රැස් කරනවා. (මතෙ. 24:31) එහෙමනම් ඔවුන් දීප්තියෙන් බැබළෙන්නේ, ‘තම පියාණන්ගේ රාජ්‍යයේදී’ නැත්නම් ස්වර්ගයේදී කියන එක පැහැදිලියි. හර්–මගෙදොන් යුද්ධය අවසන් වුණාට පස්සේ ඔවුන් යේසුස්ගේ ප්‍රීතිමත් මනාලිය ලෙස, ‘බැටළු පැටවාගේ විවාහයට’ සහභාගි වෙනවා.—එළි. 19:6-9.

අපිට ලැබෙන ප්‍රයෝජන

18, 19. කිරිඳි සහ තිරිඟු උපමාව හොඳට තේරුම්ගන්න එක අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

18 ඒ උපමාව ගැන හොඳට තේරුම්ගන්න එක අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද? පළවෙනි ප්‍රයෝජනය තමයි යෙහෝවා දෙවි දුෂ්ටකම්වලට කාලයක් පුරා පවතින්න ඉඩ දීලා තියෙන්නේ, වැදගත් හේතුවක් නිසා කියන එක ගැන අපිට හොඳ අවබෝධයක් ලැබෙන එක. ඒ හේතුව තමයි “දයාව ලැබීමට සුදුසු බඳුන් හා සමාන” අභිෂේක ලත් අයව තෝරගන්න දෙවිට අවශ්‍ය වීම. දෙවි ‘මහත් ඉවසිල්ලක් පෙන්වමින් විනාශ කිරීමට සුදුසු බඳුන් හා සමාන අයට විරුද්ධව තම උදහස ප්‍රකාශ නොකර’ හිටියේ ඒ නිසයි. * (රෝම 9:22-24) දෙවෙනි ප්‍රයෝජනය තමයි දෙවි අපිව රැකගන්නවා කියන නිසැකකම තවත් වැඩි වෙන එක. අවසානය ළං වෙනවත් එක්කම අපේ සතුරන් අපිට විරුද්ධව කරන සටන තවත් වැඩි කරයි. ඒත් ‘ඔබව පරාජය කිරීමට ඔවුන්ට හැකි වන්නේ නැහැ’ කියලා දෙවි කියපු දේ ගැන අපිට තියෙන නිසැකකම ඒ උපමාව නිසා තවත් වැඩි වෙනවා. (යෙරෙමියා 1:19 කියවන්න.) පසුගිය සියවස් ගණනාව පුරාම අභිෂේක ලත් අයව යෙහෝවා දෙවි ආරක්ෂා කළා. ඒ විදිහටම මේ දුෂ්ට සමාජයේ අවසාන කාලය “නිමා වන තුරුම” යේසුස්ගේ හා දේවදූතයන්ගේ උපකාරය අපිට ලබා දෙමින් යෙහෝවා දෙවි අපිත් එක්ක ඉන්නවා.—මතෙ. 28:20.

19 තුන්වෙනි ප්‍රයෝජනය තමයි, තිරිඟුවලින් නියෝජනය වෙන්නේ කවුද කියලා හරියටම හඳුනගන්න ලැබෙන එක. ඒක අපිට උදව් වෙනවා යේසුස්ගේ අනාවැකියේ සඳහන් වෙන “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා කවුද” කියන ප්‍රශ්නයට පිළිතුර දැනගන්න. (මතෙ. 24:45) ඒ ගැන අපි ඊළඟ ලිපි දෙකෙන් බලමු.

 

^ 2 ඡේ. 2වෙනි ඡේදය: වර්ෂ 2010 මාර්තු 15 මුරටැඹ සඟරාවේ පළ වුණ “ධර්මිෂ්ඨයන් සූර්යයා මෙන් දීප්තියෙන් බැබළෙයි” යන ලිපිය කියවා මේ උපමාවේ අනිකුත් කොටස් ගැන දැනගන්න.

^ 3 ඡේ. 3වෙනි ඡේදය: ඒ දාසයන්ගෙන් නියෝජනය වුණේ යේසුස්ගේ නියෝජිතයෝ වෙන්න බැහැ. හේතුව, ඒ වෙනකොට ඔවුන් මිය ගොස් සිටිය නිසයි. ඔවුන්ට පස්සේ හිටිය අභිෂේක ලත් අයටත් දාසයන් කියන්න බැහැ. හේතුව, අභිෂේක ලත් අයව සමාන කරන්නේ තිරිඟුවලට නිසයි. එහෙමනම් දාසයන්ගෙන් නියෝජනය වුණේ දේවදූතයන්වයි.—මතෙ. 13:39.

^ 6 ඡේ. 6වෙනි ඡේදය: මේ ගැන අපේ අවබෝධය තවත් පැහැදිලි වෙලා තියෙනවා. අපි කලින් හිතුවේ යේසුස් තමන්ගේ සැබෑ අනුගාමිකයන් කවුද කියලා සෝදිසි කරලා බැලුවේ 1918දී කියලයි.

^ 7 ඡේ. 7වෙනි ඡේදය: බයිබල් ශිෂ්‍යයන් 1910ත් 1914ත් අතර කාලයේ පොත් ලක්ෂ 40කට කිට්ටු ප්‍රමාණයකුත් පත්‍රිකා මිලියන 200කට වඩා වැඩි ප්‍රමාණයකුත් බෙදාහැරියා.

^ 14 ඡේ. 14වෙනි ඡේදය: මතෙව් 13:42 ගැන අපේ අවබෝධය තවත් පැහැදිලි වෙලා තියෙනවා. අපි කලින් හිතුවේ ‘හැඬීම සහ දත්මිටි කෑම’ පසුගිය දශක ගණනාව පුරාම සිදු වුණා කියලයි. ‘රාජ්‍යයේ පුත්‍රයන්’ විසින් ‘දුෂ්ටයාගේ පුත්‍රයන්’ කවුද කියලා හෙළි කරපු නිසා එහෙම වුණා කියලයි අපි කලින් හිතුවේ. (මතෙ. 13:38) ඒත් ගීතාවලිය 112:10 අනුව දත්මිටි කෑම සිදු වෙන්නේ විනාශයකදියි.

^ 16 ඡේ. 16වෙනි ඡේදය: “ගැඹුරු අවබෝධය ඇති අය [අභිෂේක ලත් ක්‍රිස්තියානීන්] දීප්තිමත් අහස මෙන් බැබළෙන්නෝය” කියලා දානියෙල් 12:3හි සඳහන් වෙනවා. ඒ අය පොළොවේ ඉද්දී දීප්තිමත්ව බැබළෙන්නේ දේශනා සේවයේ හවුල් වීමෙනුයි. ඒත් මතෙව් 13:43 කතා කරන්නේ ඔවුන් ස්වර්ග රාජ්‍යයේ දීප්තිමත්ව බැබළෙන අවස්ථාව ගැනයි. අපි කලින් හිතුවේ ඒ පද දෙකම කතා කරන්නේ දේශනා කිරීමේ කාර්යය ගැන කියලයි.

^ 18 ඡේ. 18වෙනි ඡේදය: යෙහෝවාට ළං වන්න නමැති පොතේ 288-289 දක්වා පිටු බලන්න.