Skip to content

පටුනට යන්න

“විශ්වාසවන්ත නුවණ ඇති දාසයා කවුද?”

“විශ්වාසවන්ත නුවණ ඇති දාසයා කවුද?”

‘තම මෙහෙකරුවන් කෙරෙහි පත් කළ විශ්වාසවන්ත නුවණ ඇති දාසයා කවුද?’—මතෙ. 24:45.

1, 2. යේසුස් අපිට අවශ්‍ය කරන පෝෂණය ලබා දෙන්නේ කවුරුන් යොදාගෙනද? ඒ ගැන හරියටම දැනගන්න එක වැදගත් ඇයි?

“මට ඕනෙම කරන වෙලාවේ, මට ඕනෙම කරන ලිපියක් ඔයගොල්ලෝ කොහොමහරි මගේ අතට දෙනවා. ඒක කීපාරක් නම් වෙලා තියෙනවද!” සාක්ෂිකරුවන්ගේ මූලස්ථානයේ ඉන්න සහෝදරයන් ගැන තමන්ගේ හිතේ තියෙන අගය එක සහෝදරියක් වචනවලට පෙරළුවේ එහෙමයි. ඔබට හිතෙන්නෙත් එහෙමද?

2 අපිට ඕනෙම කරන වෙලාවට අවශ්‍ය පෝෂණය කිසිම අඩුවක් නැතුව අපිට ලැබෙන එකෙන් ඔප්පු වෙන්නේ මොනවද? ඒ තමයි අපේ නායකයා වන යේසුස් අපිව පෝෂණය කරන්න වෙලා තියෙන පොරොන්දුව ඔහු ඉටු කරනවා කියන එක. ඔහු ඒක කරන්නේ කවුරුන්ව යොදාගෙනද? අවසාන දවස් ගැන අනාවැකිය කියද්දී යේසුස් ඒකට උත්තර දුන්නා. ‘තම මෙහෙකරුවන්ට නියම වේලාවට ආහාර දෙන්න විශ්වාසවන්ත නුවණ ඇති දාසයෙකුව’ පත් කරනවා කියලා යේසුස් එදා කිව්වා. * (මතෙව් 24:45-47 කියවන්න.) දේවවචනයෙන් දිගටම පෝෂණය ලබාගන්නත් දෙවි එක්ක තියෙන බැඳීම දිගටම ශක්තිමත්ව තියාගන්නත් අපිට උදව් කරන්නේ ඒ විශ්වාසවන්ත දාසයයි. ඒ නිසා ඒ දාසයා කවුද කියලා දැනගන්න එක හුඟක් වැදගත්.—මතෙ. 4:4; යොහ. 17:3.

3. විශ්වාසවන්ත දාසයා ගැන යේසුස් කිව්ව දේ අපේ සඟරා පොත් පත්වල කලින් පැහැදිලි කරලා තිබුණේ කොහොමද?

3 අපි මුලින්ම, විශ්වාසවන්ත දාසයා ගැන යේසුස් කිව්ව දේ අපේ සඟරා පොත් පත්වල කලින් පැහැදිලි කරලා තිබුණ විදිහ බලමු. ‘තම මෙහෙකරුවන්ව’ පෝෂණය කරන්න යේසුස් මේ දාසයාව පත් කළේ ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී කියලත් එදා ඉඳන් මේ පොළොවේ ජීවතුන් අතර හිටපු අභිෂේක ලත් අය හැමෝම ඒ විශ්වාසවන්ත දාසයාට අයිතියි කියලත් විස්තර කරලා තිබුණා. “මෙහෙකරුවන්” කියලා හඳුන්වන්නේ අභිෂේක ලත් අයවමයි කියලත් ඒ අය තනි තනි පුද්ගලයන් හැටියට ඉද්දී ඒක ඔවුන්ට අදාළ වෙනවා කියලත් අපි කලින් හිතුවා. “තමන් සතු සියලු දේවල්” කියන්නේ, දේවරාජ්‍යයේ වැඩකටයුතු කරන්න සංවිධානය සතු මේ පොළොවේ තියෙන සියලුම දේවල් කියලත් ඒ දේවල් බලා කියා ගන්න යේසුස් මේ දාසයාව පත් කළේ 1919දියි කියලත් අපි කලින් හිතුවා. ඒත් අපි අන්තිම දවස් ගැන යේසුස් කිව්ව අනාවැකිය තවත් හොඳින් අධ්‍යයනය කරලා, ඒක තේරුම්ගන්න උදව් ඉල්ලලා යාච්ඤා කරමින් ඒ ගැන තවත් හොඳින් හිතලා බැලුවා. ඊටපස්සේ විශ්වාසවන්ත නුවණ ඇති දාසයා ගැන අපි අවබෝධ කරගෙන හිටපු දේ වෙනස් කරන්න අවශ්‍යයි කියලා අපිට තේරුණා. (හිතෝ. 4:18) දැන් අපි ඒ ගැන බලමු.

දාසයාව පත් කළේ කොයි කාලයේද?

4-6. විශ්වාසවන්ත දාසයාව පත් කිරීම ගැන යේසුස් කිව්ව අනාවැකිය අන්තිම දවස් ආරම්භ වුණ 1914 පස්සේ වෙන්න ඕනෙ කියලා කියන්නේ ඇයි?

4 යේසුස් මේ විශ්වාසවන්ත දාසයාව පත් කළේ ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී නෙවෙයි කියලත් ඒක සිදු වුණේ අන්තිම දවස් ආරම්භ වුණ කාලයේදී කියලත් යේසුස්ගේ අනාවැකිය ගැන හොඳින් අධ්‍යයනය කළොත් අපිට හොයාගන්න පුළුවන්.

5 යේසුස් ඒ අනාවැකිය කිව්වේ, ඔහු පැමිණ සිටින කාලය හා අන්තිම දවස් ගැන ගෝලයෝ අහපු ප්‍රශ්නෙට උත්තර විදිහටයි. (මතෙ. 24:3) ඒ අනාවැකියේ මුල් කොටස වාර්තා කරලා තියෙන්නේ මතෙව් 24:4-22 දක්වායි. ඒ කොටසට ඉටු වීම් දෙකක් තියෙනවා. පළවෙනි ඉටු වීම ක්‍රි.ව. 33 සිට 70 දක්වා කාලයේදී සිදු වුණා. දෙවෙනි ඉටු වීම අපේ කාලයේදී සිදු වෙනවා. එහෙමනම් විශ්වාසවන්ත දාසයා ගැන යේසුස් කියපු දේටත් ඉටු වීම් දෙකක් තියෙනවද? නැහැ.

6 මතෙව් 24:29 ඉඳන් යේසුස් කතා කරන්නේ විශේෂයෙන්ම අපේ කාලයේදී සිදු වෙන දේවල් ගැනයි. (මතෙව් 24:30, 42, 44 කියවන්න.) ඒ කොටසේ ‘මනුෂ්‍ය පුත්‍රයා අහසේ වලාකුළු මත පැමිණෙනවා’ කියලා යේසුස් කිව්වා. ඒක සිදු වෙන්නේ මහත් පීඩාව සිදු වෙන කාලයේදියි. ඊටපස්සේ “ඔබේ ස්වාමීන් කොයි දවසේ එනවාදැයි ඔබ දන්නේ නැහැ” කියලත් “මනුෂ්‍ය පුත්‍රයා එන්නේ ඔබ නොසිතන පැයකදීයි” කියලත් යේසුස් කිව්වා. * ඒක සිදු වෙන්නේ අන්තිම දවස්වලයි. ඒ දේවල් ගැන කතා කරන අතරතුරේදිම තමයි යේසුස් මේ විශ්වාසවන්ත දාසයා ගැනත් කියන්නේ. එහෙමනම් දාසයා පත් කිරීම ගැන යේසුස් කිව්ව අනාවැකිය අන්තිම දවස් ආරම්භ වුණ 1914 පස්සේ වෙන්න ඕනෙ කියලා පැහැදිලියි. ඇයි අපි එහෙම කියන්නේ?

7. අස්වැන්න කපන කාලය පටන්ගත්තාම මතු වුණ ප්‍රශ්නය මොකක්ද? ඒ ඇයි?

7 සභාවේ වැඩකටයුතු බලාගන්න යේසුස් පාවිච්චි කළේ කාවද කියලා මුල් සියවසේදී හිටපු කාටවත් ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. ඒකට හේතුව, අපි කලින් ලිපියේ බලපු විදිහට නියෝජිතයෝ ආශ්චර්යයන් කළා විතරක් නෙවෙයි එහෙම කරන්න අනිත් අයටත් හැකියාව ලබා දෙන්න ඔවුන්ට පුළුවන් වුණ නිසයි. ඒකෙන් දෙවිගේ අනුමැතිය තිබුණේ නියෝජිතයන්ට කියන දේ පැහැදිලිව පේන්න තිබුණා. (ක්‍රියා 5:12) ඒත් 1914 පස්සේ තත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස්. සියවස් ගණනාවක් තිස්සේ තිරිඟු යටපත් කරගෙන කිරිඳි වැඩිලා තිබුණා. ක්‍රිස්තියානි කියලා කියාගන්න ආගම් හා කණ්ඩායම් ඒ කාලයේදී හුඟක් තිබුණා. ඒ කාලයේදී තමයි තිරිඟුවලින් කිරිඳි වෙන් කිරීමේ කාලය, ඒ කියන්නේ අස්වැන්න කපන කාලය පටන්ගත්තේ. (මතෙ. 13:36-43) තිරිඟුවලින් නියෝජනය වුණ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව හොයාගන්නේ කොහොමද කියන වැදගත් ප්‍රශ්නය මතු වුණේ ඒ කාලයේදියි. ඒ ප්‍රශ්නයට පිළිතුර දැනගන්න විශ්වාසවන්ත දාසයා ගැන යේසුස් කියපු දේ උදව් වුණා. මොකද යේසුස් කියපු විදිහට සැබෑ අභිෂේක ලත් ක්‍රිස්තියානීන් වෙන්නේ දෙවිගේ වචනයෙන් හොඳින් පෝෂණය වෙලා ඉන්න අයයි.

විශ්වාසවන්ත නුවණ ඇති දාසයා කවුද?

8. විශ්වාසවන්ත දාසයාට අනිවාර්යයෙන් අභිෂේක ලත් ක්‍රිස්තියානීන් ඇතුළත් කියලා කියන්න පුළුවන් ඇයි?

8 විශ්වාසවන්ත දාසයාට අනිවාර්යයෙන්ම අභිෂේක ලත් අය විතරක් ඇතුළත් වෙන්න ඕනෙ. ඒ ඇයි? පේතෘස්, අභිෂේක ලත් අය ගැන කතා කරද්දී ඔවුන්ව “රාජකීය පූජක පන්තියක්” කියලා හැඳින්වුවා. ඒ අයට පැවරිලා තියෙන කාර්යය වෙන්නේ දෙවිගේ ‘ශ්‍රේෂ්ඨ ගතිගුණ සෑම තැනකම ප්‍රකාශ කිරීමයි.’ (1 පේතෘ. 2:9) ඒකෙන් පැහැදිලි වෙන්නේ සෙසු සහෝදරයන්ව පෝෂණය කිරීමේ වගකීම මේ ‘රාජකීය පූජක පන්තියට’ අයත් අභිෂේක ලත් අයට භාර දීලා තියෙනවා කියලයි. (මලා. 2:7; එළි. 12:17) ඒත් පොළොවේ ඉන්න සියලුම අභිෂේක ලත් අය, පෝෂණය කිරීමේ කාර්යයට හවුල් වෙනවද?

9. පොළොවේ ඉන්න සියලුම අභිෂේක ලත් අය, දාසයාට අයිති වෙනවද? පැහැදිලි කරන්න.

9 පොළොවේ ඉන්න සියලුම අභිෂේක ලත් අය, පෝෂණය කිරීමේ කාර්යයට හවුල් වෙන්නේ නැහැ. අපි එහෙම කියන්නේ ඇයි? අභිෂේක ලත් අය අතර ඉන්න සමහර සහෝදරයන් සහායක සේවකයන් විදිහටත් වැඩිමහල්ලන් විදිහටත් සභාවල සේවය කරනවා. සභාවේ අය එක්ක එකතු වෙලා ගෙයින් ගෙට ශුභාරංචිය ප්‍රකාශ කරනවා. සාක්ෂිකරුවන්ගේ මූලස්ථානයෙන් ලැබෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙලා ඒ විදිහට වැඩ කරනවා. ඒත් ඒ අය ලෝකයේ පුරාම ඉන්න සහෝදර සහෝදරියන්ට පෝෂණය ලබා දෙන වැඩවලට හවුල් වෙන්නේ නැහැ. ඒ වගේම අභිෂේක ලත් අය අතර නිහතමානී සහෝදරියනුත් ඉන්නවා. ඔවුන් කිසිම වෙලාවක සභාවේ ගුරුවරුන් විදිහට වැඩ කරන්න උත්සාහ කරන්නේ නැහැ. (1 කොරි. 11:3; 14:34) ඒ අනුව සියලුම අභිෂේක ලත් අය, විශ්වාසවන්ත දාසයාට අයිති වෙන්නේ නැහැ කියන එක පැහැදිලියි.

10. විශ්වාසවන්ත නුවණ ඇති දාසයා කියන්නේ කාටද?

10 එහෙමනම් විශ්වාසවන්ත නුවණ ඇති දාසයා කියන්නේ කාටද? යේසුස් තම සෙනඟට අවශ්‍ය පෝෂණය නිතරම ලබා දුන්නේ ටිකදෙනෙක්ව යොදාගෙන කියලා අපි කලින් දැනගත්තා. ඒ විදිහට බලද්දී විශ්වාසවන්ත දාසයා හැදිලා තියෙන්නේ අවසාන දවස්වල දේවවචනයෙන් අවශ්‍ය පෝෂණය ලබා දෙන අභිෂේක ලත් සහෝදරයන් ටිකදෙනෙක්ගෙන් කියන එක ගැන සැකයක් නැහැ. අවසාන කාලය පුරාම මේ සහෝදරයන් සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ පාලක මණ්ඩලය විදිහට සේවය කරනවා. එහෙමනම් විශ්වාසවන්ත නුවණ ඇති දාසයා කියන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය කියලා හොඳටම පැහැදිලියි. යේසුස් ඔවුන්ව හැඳින්වුවේ දාසයා කියලා මිසක් දාසයන් කියලා නෙවෙයි. ඒකෙන් තේරෙන්නේ මොකක්ද? පාලක මණ්ඩලයේ සහෝදරයන් හැමෝම එකට වැඩ කරද්දී විතරයි ඔවුන්ව දාසයා කියලා හඳුන්වන්න පුළුවන්. ඔවුන් තීරණ ගන්නේ තනි තනි පුද්ගලයන් විදිහට නෙවෙයි කණ්ඩායමක් විදිහටයි.

පෝෂණය ලබන මෙහෙකරුවන් කවුද?

11, 12. (අ) විශ්වාසවන්ත නුවණ ඇති දාසයාව පත් කරන්නේ කුමන කාර්යයන් දෙක සඳහාද? (ආ) විශ්වාසවන්ත දාසයා හැටියට යේසුස් තෝරගත්තේ කාවද? ඒ කවදද?

11 විශ්වාසවන්ත නුවණ ඇති දාසයා ගැන කතා කරද්දී යේසුස් කිව්වේ දාසයාව කාර්යයන් දෙකක් කරන්න පත් කරනවා කියලයි. මුලින්ම ඒ දාසයාව පත් කරන්නේ මෙහෙකරුවන්ට පෝෂණය දෙන්නයි. ඊළඟට ස්වාමියා සතු දේවල් බලාගන්න පත් කරනවා. දාසයා ගැන කියපු හැම දෙයක්ම ඉටු වෙන්නේ අන්තිම කාලයේ කියලා අපි කලින් ඉගෙනගත්තා. එහෙමනම් ඒ වගකීම් දෙකම විශ්වාසවන්ත දාසයාට ලැබෙන්න ඕනෙ 1914දී යේසුස් රජ වුණාට පස්සෙයි.

12 යේසුස්, විශ්වාසවන්ත දාසයාව තමන්ගේ මෙහෙකරුවන්ව පෝෂණය කරන්න පත් කළේ කවදද? ඒ ගැන දැනගන්න අපි අස්වැන්න කපන කාලය පටන්ගත්ත 1914ට යමු. ඒ කාලයේදී තමන් ක්‍රිස්තියානි කියලා කියාගත්ත හුඟක් අය හිටියා. ඒ නිසා යෙහෝවා දෙවි සහ යේසුස්, පොළොවේ සැබෑ නමස්කාරයේ නියැලෙන්නේ කවුද කියලා සෝදිසි කරලා බැලුවා. ඒක සිද්ධ වුණේ 1914 සිට 1919 මුල් කාලය අතරතුරේදියි. * (මලා. 3:1) ඔවුන් දැක්කා බයිබල් ශිෂ්‍යයන් කියලා තමන්ව හඳුන්වාගත්ත කණ්ඩායමක් යෙහෝවා දෙවිටත් ඔහුගේ වචනයටත් විශ්වාසවන්තව ක්‍රියා කරනවා. ඒ බයිබල් ශිෂ්‍යයන්ව යම් පවිත්‍ර කිරීමක් කරන්න වුණා තමයි. ඒත් ඔවුන් ඒ පවිත්‍ර කිරීම නිහතමානීව පිළිගත්තා. (මලා. 3:2-4) තිරිඟුවලින් නියෝජනය වුණ ඒ අභිෂේක ලත් ක්‍රිස්තියානීන් අතරින් සුදුසුකම් ඇති සහෝදරයන් ටිකදෙනෙකුව යේසුස් තෝරගත්තා. ඊටපස්සේ තම මෙහෙකරුවන්ව පෝෂණය කරන විශ්වාසවන්ත දාසයා හැටියට යේසුස් ඔවුන්ව පත් කළා. ඒක සිද්ධ වුණේ 1919දියි.

13. මෙහෙකරුවන්ට අයිති වෙන්නේ කවුද? එහෙම කියන්නේ ඇයි?

13 එහෙමනම් මෙහෙකරුවන් කියන්නේ කාටද? ඒ දාසයාගෙන් පෝෂණය ලබන සියලුදෙනයි. අන්තිම දවස් පටන්ගත්ත මුල් කාලයේ පෝෂණය ලබපු මෙහෙකරුවන් වුණේ අභිෂේක ලත් අය විතරයි. ඒත් කාලයක් යද්දී ඔවුන්ට වෙනත් බැටළුවන්ට අයත් මහත් සමූහයක් එකතු වුණා. ඒ දෙපිරිසම “එක රැළක්” විදිහට හිටියත් ඒ අයගෙන් දැන් වැඩි ප්‍රමාණයක්ම ඉන්නේ වෙනත් බැටළුවන්. (යොහ. 10:16) ඒ දෙපිරිසම විශ්වාසවන්ත දාසයා නියම වෙලාවට දෙන පෝෂණයෙන් ප්‍රයෝජන ලබනවා. එතකොට විශ්වාසවන්ත දාසයා වන පාලක මණ්ඩලයේ සහෝදරයන් ගැන කියන්න පුළුවන් මොනවද? ඔවුන්ටත් පෝෂණය අවශ්‍යයි. ඔවුන් විශ්වාසවන්ත දාසයා වෙන්නේ කණ්ඩායමක් විදිහට වැඩ කරද්දී විතරයි. තනි තනි පුද්ගලයන් හැටියට ඔවුනුත් පෝෂණය ලබන මෙහෙකරුවන් කියලා ඔවුන් නිහතමානීව පිළිගන්නවා.

අභිෂේක ලත් අයත් වෙනත් බැටළුවනුත් කියන දෙපිරිසම මෙහෙකරුවන්. අපි හැමෝටම නියම වෙලාවට පෝෂණය අවශ්‍යයි

14. (අ) විශ්වාසවන්ත දාසයාට භාර දීලා තියෙන වගකීම මොකක්ද? ඒකට ඇතුළත් වෙන්නේ මොනවද? (ආ) විශ්වාසවන්ත දාසයාට යේසුස් දුන්න අනතුරු ඇඟවීම මොකක්ද? (“දුෂ්ට දාසයෙකුත් ඉන්නවද?” කියන කොටුව බලන්න.)

14 අතීතයේ සමහර ගෙවල්වල හිටපු සේවකයන් අතරින් විශ්වාසවන්ත සේවකයෙක්ව තෝරගෙන ඒ නිවසේ වැඩකටයුතු බලා කියා ගන්න ඔහුට භාර දුන්නා. (ලූක් 12:42, පාදසටහන) ඒ වගේ දෙවිගේ නමස්කාරයට සම්බන්ධ, පොළොවේ තියෙන හැම දෙයක්ම බලා කියා ගැනීමේ වගකීම යේසුස් විශ්වාසවන්ත නුවණ ඇති දාසයාට භාර දීලා තියෙනවා. ඒ වගකීමට සංවිධානයට අයිති දේපළ ඇතුළු වත්කම් බලා කියා ගැනීම, දේවසේවය සංවිධානය කිරීම, සමුළු වැඩසටහන් සකස් කිරීම, සඟරා පොත් පත් සකස් කිරීම වගේ දේවල් ඇතුළත්. දාසයා කැප වීමෙන් ඒ වගකීම් ඉටු කරන නිසා මෙහෙකරුවන් හැමෝම එයින් ප්‍රයෝජන ලබනවා.

දාසයාව සියලු දේ බලාගන්න පත් කරන්නේ කවදද?

15, 16. සියලු දේ බලා කියා ගන්න යේසුස් විශ්වාසවන්ත දාසයාව පත් කරන්නේ කවදද?

15 යේසුස් විශ්වාසවන්ත දාසයාට භාර දෙන දෙවෙනි වගකීම, ඒ කියන්නේ “තමන් සතු සියලු දේවල්” බලා කියා ගන්න දාසයාව පත් කරන්නේ කවදද? යේසුස් කිව්ව මේ දෙයින් අපිට ඒකට උත්තර හොයාගන්න පුළුවන්. “ස්වාමියා පැමිණි විට ඔහු එසේ කරනවා දකී නම් ඒ දාසයා සන්තෝෂවත්ය! ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, ඒ ස්වාමියා තමන් සතු සියලු දේවල් බලා කියා ගැනීම සඳහා ඔහුව පත් කරන බවයි.” (මතෙ. 24:46, 47) එතන කියන විදිහට සියලු දේවල් බලා කියා ගන්න යේසුස් දාසයාව පත් කරන්නේ ඔහු ‘පැමිණි විට දාසයා එසේ කරනවා’ දැක්කට පස්සෙයි. ඒ කියන්නේ දාසයා විශ්වාසවන්තව මෙහෙකරුවන්ව පෝෂණය කරනවා යේසුස් දැක්කට පස්සෙයි. එහෙමනම් දාසයාව සියලු දේ බලා කියා ගැනීමට යේසුස් පත් කරන්නේ, තම මෙහෙකරුවන්ව පෝෂණය කරන්න දාසයාව පත් කරලා යම් කාලයක් ගියාට පස්සෙයි කියන එක ඒකෙන් පැහැදිලියි. යේසුස්, දාසයාව සියලු දේවල් බලා කියා ගන්න පත් කරන්නේ කොහොමද සහ කවදද? ඒක දැනගන්න නම් අපි මුලින්ම දාසයාව පත් කරන්න යේසුස් එන්නේ කවදද කියලත් ඔහු සතු දේවල් මොනවද කියලත් බලමු.

16 යේසුස්, දාසයාව පත් කරන්න එන්නේ කවදද? දාසයා ගැන කතා කරන්න කලින් තියෙන බයිබල් පදවල යේසුස් ‘පැමිණෙනවා,’ ‘එනවා’ කියලා සඳහන් වෙනවා. ඒ හැම අවස්ථාවක්ම අදාළ වෙන්නේ මහත් පීඩාව කාලයේදී යේසුස් විනිශ්චය කරන්න එන අවස්ථාවටයි. * (මතෙ. 24:30, 42, 44) එහෙමනම් විශ්වාසවන්ත දාසයා ගැන කතා කරද්දී සඳහන් වෙන යේසුස්ගේ ‘පැමිණීම’ සිදු වෙන්නෙත් මහත් පීඩාව අතරතුරේදියි.

17. යේසුස් සතු දේවලට ඇතුළත් වෙන්නේ මොනවද?

17 යේසුස් “සතු සියලු දේවල්” කියද්දී ඒකට ඇතුළත් වෙන්නේ ඔහු සතු පොළොවේ තියෙන දේවල් විතරක් නෙවෙයි. ඒකට ස්වර්ගයේ යේසුස් සතු දේවලුත් ඇතුළත්. ඔහු කිව්වේ “ස්වර්ගයෙහිත් පොළොවෙහිත් සියලුම බලය මට දී තිබෙනවා” කියලයි. (මතෙ. 28:18; එෆී. 1:20-23) යේසුස් සතු දේවලට ඔහු 1914 ඉඳන් අභිෂේක ලත් අය එක්ක එකතු වෙලා පාලනය කරන දේවරාජ්‍යයත් ඇතුළත්.—එළි. 11:15.

18. තමන් සතු සියලු දේවල් බලා කියා ගන්න දාසයාව පත් කරන්න යේසුස් සතුටු වෙන්නේ ඇයි?

18 එහෙමනම් සියලු දේ බලා කියා ගන්න යේසුස් විශ්වාසවන්ත දාසයාව පත් කරන්නේ කවදද සහ කොහොමද? මහත් පීඩාව අතරතුරේදී යේසුස් විනිශ්චය කරන්න එනකොට ඔහු යමක් දකිනවා. ඒ තමයි තමන්ගේ මෙහෙකරුවන්ට අවශ්‍ය පෝෂණය දාසයා නියම වෙලාවට විශ්වාසවන්තව සපයමින් ඉන්නවා. ඒ ගැන සතුටු වෙන යේසුස්, දෙවෙනි වගකීමත් ඒ කියන්නේ තමන් සතු සියලු දේවල් බලා කියා ගන්නත් දාසයාව පත් කරන්න කැමති වෙනවා. ඒ වගකීම විශ්වාසවන්ත දාසයාට ලැබෙන්නේ ඔවුන් ස්වර්ගයට ගිහින් යේසුස් එක්ක හවුලේ පාලනය කරන්න පටන්ගත්තමයි.

19. අනිත් අභිෂේක ලත් අයට වඩා විශ්වාසවන්ත දාසයාට අයිති අයට ස්වර්ගයේදී උසස් තත්වයක් ලැබෙනවද? පැහැදිලි කරන්න.

19 අනිත් අභිෂේක ලත් අයට වඩා උසස් තත්වයක් විශ්වාසවන්ත දාසයාට අයිති සහෝදරයන්ට ස්වර්ගයේදී ලැබෙනවද? නැහැ. කුඩා පිරිසකට දෙන පොරොන්දුවක් විශාල පිරිසකට වුණත් අදාළ වෙන්න පුළුවන්. උදාහරණයකට යේසුස් මිය යන්න කලින් දවසේ ඔහුගේ නියෝජිතයන් 11දෙනාට කියපු දේ බලමු. (ලූක් 22:28-30 කියවන්න.) ඒ 11දෙනාට යේසුස් කිව්වේ, තමන් සමඟ දේවරාජ්‍යයේ පාලකයන් විදිහට කටයුතු කරන්න ඔවුන්ට අවස්ථාව දෙනවා කියලයි. ඒකෙන් අදහස් කළේ දේවරාජ්‍යයේ පාලකයන් වීමේ අවස්ථාව ලැබෙන්නේ ඒ කිහිපදෙනාට විතරයි කියලද? නැහැ. ඒක 1,44,000දෙනාට අයිති සියලුදෙනාටම ලැබෙනවා කියලා යේසුස් පසුව කියපු දේකින් පැහැදිලි වෙනවා. (එළි. 1:1; 3:21) ඒ විදිහට බලද්දී මතෙව් 24:47හි යේසුස් දාසයාට පොරොන්දු වුණ දේ ලැබෙන්නේ දාසයාට අයිති සහෝදරයන් ටිකදෙනාට විතරක් නෙවෙයි, යේසුස් සතු සියලුම බලතල 1,44,000දෙනාටම ලැබෙනවා.—එළි. 20:4, 6.

යේසුස් සතු දේවල් බලා කියා ගන්න 1,44,000දෙනාවම පත් කරනවා (19වෙනි ඡේදය බලන්න)

20. යේසුස්, විශ්වාසවන්ත දාසයාව පත් කළේ ඇයි? ඔබේ අධිෂ්ඨානය මොකක්ද?

20 යේසුස් පළවෙනි සියවසේදී ටිකදෙනෙකුව යොදාගෙන වැඩි පිරිසක්ව පෝෂණය කළා. ඒ වගේ අද දිනත් ඔහු තමන්ගේ විශ්වාසවන්ත දාසයාව යොදාගෙන විශාල පිරිසක්ව පෝෂණය කරනවා. අවසාන දවස්වල ජීවත් වෙන අභිෂේක ලත් අයට සහ වෙනත් බැටළුවන්ට අවශ්‍ය පෝෂණය නියම වෙලාවට දෙන්න ඔහු පත් කරලා තියෙන්නේ ඔහුගේ විශ්වාසවන්ත දාසයාවයි. ඒ නිසා විශ්වාසවන්ත දාසයාට අයිති අභිෂේක ලත් සහෝදරයෝ ටිකදෙනාට අපේ සම්පූර්ණ සහයෝගය දීමෙන් අපි ඔවුන්ව අගය කරනවා කියලා පෙන්වමු.—හෙබ්‍රෙ. 13:7, 17.

 

^ 2 ඡේ. 2වෙනි ඡේදය: මේ දෙය යේසුස් මීට කලින් අවස්ථාවකත් කියලා තිබුණා. එතනදී “දාසයා” වෙනුවට “නිවස භාර සේවකයා” කියලා යේසුස් කිව්වා.—ලූක් 12:42-44, පාදසටහනද බලන්න.

^ 6 ඡේ. 6වෙනි ඡේදය: යේසුස් ‘එනවා’ නැත්නම් ‘පැමිණෙනවා’ කියද්දී ග්‍රීක භාෂාවෙන් පාවිච්චි කරන්නේ “එර්කොමයි” කියන වචනයයි. ඒක අදාළ වෙන්නේ මහත් පීඩාව සිදු වෙන කාලයේදී විනිශ්චය කිරීම සඳහා යේසුස් එන අවස්ථාවටයි. ඒත් යේසුස්ගේ ‘පැමිණ සිටීම’ ගැන කතා කරද්දී ග්‍රීක භාෂාවෙන් පාවිච්චි කරන්නේ “පරූසියා” කියන වචනයයි. ඒක අදාළ වෙන්නේ යේසුස් ස්වර්ගයේ රජ වුණ අවස්ථාවටයි.

^ 12 ඡේ. 12වෙනි ඡේදය: මෙම සඟරාවේ “මම ඔබ සමඟ සැමදා සිටිනවා” කියන ලිපියේ, 10-12 පිටුවල ඇති 5-8 ඡේද බලන්න.

^ 16 ඡේ. 16වෙනි ඡේදය: මෙම සඟරාවේ “ඒ දේ සිදු වන්නේ කවදාද?” කියන ලිපියේ, 7-8 පිටුවල ඇති 14-18 ඡේද බලන්න.