Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවි ‘දිනපතා මගේ බර උසුලනවා’

යෙහෝවා දෙවි ‘දිනපතා මගේ බර උසුලනවා’

මොන තරම් අසනීප තිබුණත් මම හැමදාම යෙහෝවා දෙවිගේ ආදරයත් සැලකිල්ලත් අද්දකිනවා. ඒ වගේම අවුරුදු 20කට වැඩි කාලයක් පුරා පුරෝගාමියෙක් හැටියට දෙවිට සේවය කරන්න පුළුවන් වුණ එකත් මට ලොකු සතුටක්.

මම ඉපදුණේ 1956දියි. ඉපදෙනකොටම මට බරපතළ ආබාධයක් (spina bifida) තිබුණා. ඒ තමයි කොඳු ඇට පෙළේ සිදුරකින් සුෂුම්නාව එළියට මතු වෙන එක. ඒ නිසා මට ඇවිදින්න අමාරු වුණා.

මම ඉපදෙන්නත් කලින් මගේ අම්මයි තාත්තයි සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න පටන් අරන් තිබුණා. අපි ජීවත් වුණේ නැමීබියාවේ. ඒ කාලේ අපේ ගමේ ප්‍රචාරකයන් අතළොස්සයි හිටියේ. ඒ හිටියෙත් හුඟක් ඈතින්. ඒ නිසා රැස්වීම්වලදී සාකච්ඡා කරන්න නියමිත තොරතුරු අපි ගෙදරදී අධ්‍යයනය කළා. මට අවුරුදු හතේදී මුත්‍රා පිට කිරීම සඳහා කෘත්‍රිම ක්‍රමයක් සකස් කරන්න සැත්කමක් (urostomy) කළා. අවුරුදු 14දී මට අපස්මාරයත් හැදුණා. ඒ නිසා මගේ අධ්‍යාපනයත් අතරමඟදී නතර වුණා.

කොහොමවුණත් දෙවිත් එක්ක තියෙන මගේ බැඳීම ශක්තිමත් කරගන්න මට ලොකු ආශාවක් තිබුණා. අපි කතා කරපු අෆ්‍රිකාන්ස් භාෂාවෙන් අපේ සඟරා පොත් පත් වැඩිය තිබුණේ නැති නිසා ඒවා කියවන්න මම ඉංග්‍රීසි ඉගෙනගත්තා. අවුරුදු 19දී මම බව්තීස්ම වුණා. ඊළඟ අවුරුදු හතර පුරාම මට විවිධ සෞඛ්‍ය ගැටලුත් මානසික ගැටලුත් ඇති වුණා. මට තිබුණ ලැජ්ජාවයි භයයි නිසා අපේ ගමේ උනන්දුවෙන් සේවය කරන්න මට අමාරු වුණා.

මම 20 ගණන්වල ඉද්දී අපි දකුණු අප්‍රිකාවට පදිංචියට ගියා. එහේදී තමයි මුල් වතාවට මට සභාවක් එක්ක ආශ්‍රය කරන්න ලැබුණේ. ඒ ගැන මම හුඟක් සතුටු වුණා. ඒ කාලයේදිම වගේ මට ආහාර මාර්ගයේ සැත්කමක් (colostomy) කරන්නත් වුණා.

දවසක් චාරිකා සේවක, පුරෝගාමි සේවය ගැන දුන්න කතාවක් මගේ හිතට ගොඩක් වැදුණා. මගේ සෞඛ්‍ය තත්වය ඒ තරම් හොඳ නැහැ තමයි. ඒත් යෙහෝවා දෙවි මට උදව් කරපු විදිහ මම අද්දැකලා තිබුණ නිසා ඉදිරියටත් දෙවි මට උදව් කරනවා කියන නිසැකකම මට තිබුණා. ඊටපස්සේ මම ස්ථාවර පුරෝගාමි සේවය කරන්න ඉදිරිපත් වුණා. ඒත් මගේ සෞඛ්‍ය ගැටලු නිසා වැඩිමහල්ලන් ඒක අනුමත කළේ නැහැ.

ඒ වුණත් මම තීරණය කළා මගේ උපරිමයෙන් දෙවිට සේවය කරනවා කියලා. මගේ අම්මගෙත් අනිත් අයගෙත් උදව් ඇතුව මාස හයක් පුරා මට පුරෝගාමියෙක් වගේ පැය ප්‍රමාණයක් වාර්තා කරන්න පුළුවන් වුණා. ඒකෙන්, පුරෝගාමි සේවය කරන්න මට තිබුණ ආශාවත් වැඩියෙන් සේවය කරන්න මට පුළුවන් කියන එකත් ඔප්පු වුණා. ඒ නිසා මම ආපහු ස්ථාවර පුරෝගාමි සේවය කරන්න ඉල්ලුවා. ඒ වෙලාවේ වැඩිමහල්ලන් ඒක අනුමත කළා. වර්ෂ 1988 සැප්තැම්බර් 1වෙනිදා මම ස්ථාවර පුරෝගාමි සේවය පටන්ගත්තා.

මම හැමදාම යෙහෝවා දෙවිගේ උපකාරය අද්දකිනවා. මගේ අමාරුකම් ගැන හිතහිතා ඉන්නවා වෙනුවට දෙවිට කැප වෙලා බව්තීස්ම වෙන්න හුඟක් අයට උදව් කරන එකෙන් මම ලොකු සතුටක් අද්දකිනවා. ඒ දේවලට මගේ මනස යොමු කරන එක මට ආරක්ෂාවක් වගේම දෙවිත් එක්ක ශක්තිමත් බැඳීමක් ඇති කරගන්නත් උදව් වෙලා තියෙනවා.

තාමත් මගේ සෞඛ්‍ය තත්වයේ නම් වෙනසක් නැහැ. ඒත් යෙහෝවා දෙවි ‘දිනපතා මගේ බර උසුලනවා.’ (ගීතා. 68:19) දෙවි මට දේවල් විඳදරාගන්න උදව් කරනවා විතරක් නෙවෙයි මගේ ජීවිතේ සතුටින් ගත කරන්නත් උදව් කරනවා.