Skip to content

පටුනට යන්න

පුරෝගාමි සේවය දෙවි එක්ක අපේ බැඳීම ශක්තිමත් කරයි

පුරෝගාමි සේවය දෙවි එක්ක අපේ බැඳීම ශක්තිමත් කරයි

“අපේ දෙවිට ප්‍රශංසා ගී ගැයීම කොතරම් අගනේද!”—ගීතා. 147:1.

1, 2. (අ) අපි දෙවි ගැන වැඩි වැඩියෙන් හිතද්දී කතා කරද්දී මොනවද වෙන්නේ? (ලිපියේ මුලින්ම තියෙන පින්තූරය බලන්න.) (ආ) අපි මේ ලිපියෙන් බලන්නේ මොන වගේ දේවල් ගැනද?

යෙහෝවා දෙවිට අපි හුඟක් ආදරෙයි. ඔහු ගැන අපි හිතන තරමට, කතා කරන තරමට ඔහු ගැන අපේ හිතේ තියෙන ආදරය තවත් වැඩි වෙනවා. දාවිත් එඬේරෙක් විදිහට ජීවිතය ගත කරද්දී නිසංසල රැයක අහස් කුසේ දිදුලන තරු දිහා බලලා දෙවිගේ නිර්මාණ ගැන හුඟක් කල්පනා කළා. “ඔබේ දෑත්වලින් නිම කළ අහස්තලය දෙසද ඔබ සෑදූ සඳ හා තාරකා දෙසද මා බලන විට ඔබ මිනිසාව සිහි කිරීමට තරම් ඔහු කවුද? ඔබේ රැකවරණය ලැබීමට තරම් මිනිසුන් වටින්නේද” කියලා කියන්න ඔහු පෙලඹුණ එක පුදුමයක් නෙවෙයි. (ගීතා. 8:3, 4) අභිෂේක ලත් අය වෙනුවෙන් දෙවි කරලා තියෙන දේවල් ගැන හිතද්දී පාවුල්ටත් දෙවි ගැන ලොකු අගයක් ඇති වුණා. ඒ ගැන ඔහු කිව්වේ මෙහෙමයි. “දෙවි ලබා දෙන ආශීර්වාද කොතරම් ශ්‍රේෂ්ඨද! ඔහුගේ ප්‍රඥාවත් දැනුමත් කොතරම් පුළුල්ද!”—රෝම 11:17-26, 33.

2 අපි දේශනා සේවයේ යද්දී යෙහෝවා දෙවි ගැන වැඩි වැඩියෙන් හිතනවා. ඔහු ගැන කතා කරනවා. එහෙම කරද්දී ඔහු එක්ක තියෙන අපේ බැඳීම තවත් ශක්තිමත් වෙනවා. පුරෝගාමීන් වැඩියෙන් දේශනා සේවයේ හවුල් වෙන නිසා තමන්ගේ හිතේ දෙවි ගැන තියෙන ආදරය තවත් වැඩි වෙලා කියලා ඔවුන්ට හැඟෙනවා. මේ ලිපිය පුරෝගාමීන්ටත් පුරෝගාමි සේවය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයටත් හුඟක් ප්‍රයෝජනවත් වෙයි. පුරෝගාමි සේවය, යෙහෝවා දෙවි එක්ක තියෙන අපේ බැඳීම ශක්තිමත් කරන්නේ කොහොමද? දිගටම පුරෝගාමි සේවය කරන්න උදව් වෙන්නේ මොනවද? පුරෝගාමි සේවය පටන්ගන්න නම් මොනවද කරන්න ඕනෙ? ඒ ගැන දැන් අපි බලමු.

පුරෝගාමි සේවයෙන් ලැබෙන ප්‍රයෝජන

3. දෙවිගේ පොරොන්දු ගැන කතා කරන එකෙන් අපිට ලැබෙන ප්‍රයෝජනය මොකක්ද?

3 යෙහෝවා දෙවිගේ පොරොන්දු ගැන අපි කතා කරද්දී  අපි ඔහුට තවත් කිට්ටු වෙනවා. දේශනා සේවයේ යද්දී හමු වෙන අයට ඔබ පෙන්වන්න කැමතිම බයිබල් පදය මොකක්ද? ඒ, ගීතාවලිය 37:10, 11ද? දානියෙල් 2:44ද? යොහන් 5:28, 29ද? එහෙම නැත්නම් එළිදරව් 21:3, 4ද? ඒ මොන පදය පෙන්නලා වුණත් දෙවි අපිට පොරොන්දු වෙලා තියෙන දේවල් ගැන අනිත් අයට කතා කරන හැම වතාවකම, “සෑම යහපත් දීමනාවක්ම හා කිසිම අඩුපාඩුවක් නැති සෑම තෑග්ගක්ම” අපිට දෙන්නේ අපේ ආදරණීය දෙවි යෙහෝවා කියන එක අපිට මතක් වෙනවා. එතකොට අපි තව තවත් දෙවිට ළං වෙනවා.—යාකො. 1:17.

4. මිනිසුන්ට දෙවි ගැන කියද්දී අපේ හිතේ දෙවි ගැන තියෙන ආදරය වැඩි වෙන්නේ ඇයි?

4 මිනිසුන් දුකෙන් කනස්සල්ලෙන් ඉන්නවා දකිද්දී සත්‍යය දැනගන්න ලැබුණ එක ගැන අපිට ලොකු අගයක් ඇති වෙනවා. නියම සතුට, සැනසීම ලබාගන්න මොනවද කරන්න ඕනෙ කියලා අපි අවට ඉන්න මිනිසුන් දන්නේ නැහැ. හුඟක් අය අනාගතය ගැන දුක් වෙනවා. ඔවුන්ට බලාපොරොත්තුවක් නැහැ. ජීවිතයේ නියම අර්ථය මොකක්ද කියලා ඔවුන් හොයනවා. හුඟක් අයට බයිබලයේ තියෙන දේවල් ගැන අවබෝධයක් නැහැ. ඔවුන් හරියට නිනිවයේ හිටපු සෙනඟ වගේ. (යෝනා 4:11 කියවන්න.) මිනිසුන්ට යෙහෝවා දෙවි ගැන කියලා දෙන්න වැඩිපුර කාලයක් ගත කරද්දී අපිට තේරෙන දෙයක් තියෙනවා. ඒ තමයි ඔවුන් ඉන්න තත්වය එක්ක බලද්දී අපිට කොයි තරම් ලොකු රැකවරණයක් දෙවිගෙන් ලැබිලා තියෙනවද කියන එක. (යෙසා. 65:13) ඒත් අපි ගැන විතරක් නෙවෙයි, දෙවි ඔවුන් ගැනත් හිතනවා. සහනය ලබාගන්න දෙවි ඔවුන්ටත් අවස්ථාව දෙනවා. ඒ ගැන හිතන්න හිතන්න අපේ දෙවි ගැන අපේ හිතේ තියෙන ආදරය තවත් වැඩි වෙනවා නේද?—එළි. 22:17.

5. සත්‍යය ගැන අනිත් අයට කියලා දෙද්දී අපේ ප්‍රශ්න ගැටලු ගැන අපිට හැඟෙන්නේ කොහොමද?

5 සත්‍යය ගැන අනිත් අයට කියලා දෙද්දී අපේ ප්‍රශ්න ගැටලු ගැන ඕනෑවට වඩා කනස්සලු නොවී ඉන්න අපි ඉගෙනගන්නවා. ට්‍රිෂා, ස්ථාවර පුරෝගාමියෙක්. ඇගේ දෙමව්පියන් දික්කසාද වුණ එක ගැන ඇය හිටියේ හුඟක් දුකෙන්. එක දවසක් ඇය හුඟක් දුකෙන් හිටපු නිසා ඇයට සේවයේ යන්නවත් හිතුණේ නැහැ. ඒත් ඇය බයිබල් පාඩමකට ගියා. ඇය පාඩම් කළේ, පවුලේ ප්‍රශ්න නිසා හුඟක් දුක් විඳපු දරුවන් තුන්දෙනෙක් එක්ක. ඔවුන්ගේ පියා ඔවුන්ව දාලා ගිහින් තිබුණා. ඔවුන්ගේ අයියා ඔවුන්ට සලකන්නේ දරුණු විදිහට. ට්‍රිෂා මෙහෙම කියනවා. “ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්න එක්ක බලද්දී මට තියෙන ඒවාත් ප්‍රශ්නද කියලා මට හිතුණා. පාඩම කරද්දී මම දැක්කා දුකෙන් මලානික වෙලා හිටපු ඒගොල්ලන්ගේ ඇස් ටිකෙන් ටික සතුටින් බැබළෙනවා. එදා මට තිබුණ දුකට යෙහෝවා දෙවි උත්තර දුන්නේ ඒ දරුවෝ තුන්දෙනාගෙන් කියලයි මට දැනුණේ.”

6, 7. (අ) අනිත් අයට උගන්වද්දී අපේ විශ්වාසය ශක්තිමත් වෙන්නේ කොහොමද? (ආ) ශිෂ්‍යයන් බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගද්දී ඒක අපිට බලපාන්නේ කොහොමද?

6 අනිත් අයට බයිබලයේ තියෙන දේවල් කියලා දෙද්දී අපේ විශ්වාසය තවත් ශක්තිමත් වෙනවා. පාවුල්ගේ කාලයේ හිටපු යුදෙව්වන් ඉගැන්නුවා විතරයි. ඒවා පිළිපැද්දේ නැහැ. “වෙන අයට උගන්වන ඔබ, ඔබ උගන්වන දේ පිළිපදිනවාද” කියලා පාවුල් ඇහුවේ ඒ නිසයි. (රෝම 2:21) පුරෝගාමීනුත් සේවයේ යද්දී, බයිබල් පාඩම් කරද්දී අනිත් අයට උගන්වනවා. ඒත් එහෙම කරන්න නම් මුලින්ම ඔවුන් ඒවා පිළිපදින්න ඕනෙ. ඒවා පිළිපදින්න නම් ඒවා ඉගෙනගෙන ඉන්න ඕනෙ. හැම පාඩමකටම කලින් හොඳට සූදානම් වෙන්න ඕනෙ. සමහරවිට ගවේෂණය කරන්නත් වෙනවා. එහෙම කළොත්, “සත්‍යය ගැන අනිත් අයට කියලා දෙන හැම වතාවකදීම ඒ ගැන මට තියෙන විශ්වාසය තවත් ශක්තිමත් වෙනවා” කියලා කියපු ජෙනින් වගේ අපිටත් හැඟෙයි.

7 ඉගෙනගන්න දේ අදාළ කරගෙන අපේ ශිෂ්‍යයෝ ප්‍රයෝජන ලබනවා දකිද්දී බයිබල් ප්‍රතිපත්ති ගැන අපිට තියෙන අගය තවත් වැඩි වෙනවා. (යෙසා. 48:17, 18) එහෙම වෙද්දී බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න අපි තව තවත් පෙලඹෙනවා. ඒඩ්‍රියානා කියන්නේ පුරෝගාමියෙක්. ඇය මෙහෙම කියනවා. “තමන්ට ඕනෙ විදිහට වැඩ කරන නිසා හුඟක් අයගේ ජීවිත අවුල් වෙලා. ඒත් යෙහෝවා දෙවි කියන විදිහට දේවල් කරන්න පටන්ගත්ත  ගමන්ම ඔවුන්ගේ ජීවිත හුඟක් වෙනස් වෙනවා.” ෆිල් කියන පුරෝගාමි සහෝදරයා කියන්නෙත් “යෙහෝවා දෙවිගේ උදව්වෙන් මිනිසුන් ඔවුන්ගේ ජීවිත වෙනස් කරගන්න විදිහ නම් හරිම පුදුමයි” කියලයි.

8. අපේ සහෝදර සහෝදරියන් එක්ක සේවයේ හවුල් වෙන එකෙන් ලැබෙන ප්‍රයෝජනය මොකක්ද?

8 අපේ සහෝදර සහෝදරියන් එක්ක දේශනා සේවයේ යද්දී අපි දිරිගැන්වෙනවා. (හිතෝ. 13:20) පුරෝගාමීන් වැඩි වෙලාවක් සේවයේ හවුල් වෙන නිසා “එකිනෙකාව දිරිගැන්වීමට” ඔවුන්ට පුළුවන්. (රෝම 1:12; හිතෝපදේශ 27:17 කියවන්න.) පුරෝගාමි සහෝදරියක් වන ලීසා මෙහෙම කියනවා. “මං රැකියාව කරන තැන ඉන්න අය, අනිත් අයට ඊර්ෂ්‍යා කරනවා. අනිත් අයට වඩා කැපිලා පේන්නයි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ. ඇහෙන්නෙම ඕපදූපයි නරක වචනයි. සාක්ෂිකරුවෙක් නිසා හුඟක් අය මට විහිළු කරනවා. ඒත් මගේ සහෝදර සහෝදරියන් එක්ක සේවයේ ගියාම මට ලැබෙන්නේ ලොකු දිරිගැන්වීමක්. සේවයේ ගිහින් කොයි තරම් මහන්සි වුණත් මං ගෙදර එන්නේ හරිම ප්‍රබෝධයකින්.”

9. විවාහ වුණ දෙන්නෙක් එකට පුරෝගාමි සේවය කරද්දී ලැබෙන ප්‍රයෝජන මොනවද?

9 විවාහ වුණ යුවළක් එකට පුරෝගාමි සේවය කරද්දී ඔවුන්ගේ විවාහය තවත් ශක්තිමත් වෙනවා. (දේශ. 4:12) තමන්ගේ සැමියා එක්ක එකට පුරෝගාමි සේවය කරන මැඩ්ලින් මෙහෙම කියනවා. “අපිට කතා කරන්න හුඟක් දේවල් තියෙනවා. සේවයේ යද්දී සිද්ධ වුණ දේවල් ගැන, බයිබලය කියවද්දී අපේ සේවයට වැදගත් වුණ දෙයක් හම්බ වුණොත් ඒ ගැන, අපි කතා කරනවා. පුරෝගාමි සේවය කරද්දී අපි දවසින් දවස ආදරෙන් බැඳෙනවා කියලයි අපිට දැනෙන්නේ.” පුරෝගාමීන් වුණ ට්‍රිෂයි එයාගේ සැමියයි, ණය වෙලා බඩු ගන්නේ නැතුව ඉන්න තීරණයක් ගත්තා. ඒ නිසා ඔවුන් අතර මුදල් ගැන ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ඒ වගේම ඔවුන් නැවත බැලීම්වලට බයිබල් පාඩම්වලට යන්නේ එකට. ඒ දේවල් නිසා දෙන්නගේ බැඳීම තවත් ශක්තිමත් වෙලා.

පුරෝගාමි සේවය නිසා ජීවිතේ සතුට වැඩි වෙනවා (9වෙනි ඡේදය බලන්න)

10. දෙවිගේ රාජ්‍යයට මුල් තැන දීලා වැඩ කරද්දී අපේ විශ්වාසයට මොකද වෙන්නේ?

 10 යෙහෝවා දෙවි ගැන විශ්වාසය තියලා, දේවරාජ්‍යයට මුල් තැන දීලා වැඩ කරද්දී දෙවිගේ උදව් ලැබෙනවා කියලත් අපේ යාච්ඤාවලට දෙවි පිළිතුරු දෙනවා කියලත් අපිට දැනෙනවා. අපි හැම කෙනෙක්ම දෙවි ගැන විශ්වාසය තියලා වැඩ කරනවා තමයි. ඒත් පුරෝගාමි සේවය දිගටම කරගෙන යන්න නම් දෙවි ගැන වැඩියෙන් විශ්වාසය තියලා වැඩ කරන්න ඕනෙ කියලා පුරෝගාමීන් දන්නවා. (මතෙව් 6:30-34 කියවන්න.) කර්ට් කියන්නේ පුරෝගාමියෙක් වගේම ආදේශක චාරිකා සේවකයෙක්. ඔහුටත් ඔහුගේ බිරිඳටත් චාරිකා සතිය සඳහා සභාවකට යන්න පැවරුමක් ලැබුණා. ඒ සභාවට කාර් එකේ යන්න පැය දෙකහමාරක් විතර යනවා. එහෙට යන්න තරම් වාහනේ තෙල් තිබුණත් ආපහු එන්න තෙල් තිබුණේ නැහැ. ඔහුට මුදල් ලැබෙන්න තිබුණෙත් තවත් සතියකට විතර පස්සේ. පැවරුම භාරගන්නවද නැද්ද කියලා දෙගිඩියාවෙන් හිටියත් ඔවුන් ඒ ගැන දෙවිට යාච්ඤා කළාට පස්සේ ඒ ගමන යන්න තීරණය කළා. ගමන යන්න ටිකකට කලින් සහෝදරියක් දුරකථන ඇමතුමක් දීලා කිව්වා ‘ඔයාලට දෙන්න මං ළඟ තෑග්ගක් තියෙනවා’ කියලා. දන්නවද ඒ තෑග්ග මොකක්ද කියලා? හරියටම ගමනට අවශ්‍ය කරන මුදල්! “ඒ වගේ නිතර නිතර වෙද්දී දෙවි අපිව බලාගන්නවා කියන එක ගැන අපිට ලොකු විශ්වාසයක් ඇති වෙනවා” කියලා කර්ට් කියනවා.

11. පුරෝගාමීන් අද්දකින්නේ මොන වගේ ආශීර්වාදද?

11 පුරෝගාමීන් නිතරම කියන දෙයක් තියෙනවා. ඒ තමයි දෙවිට වැඩි වැඩියෙන් සේවය කරද්දී, දෙවිට තව තවත් ළං වෙද්දී තමන්ට දෙවිගේ ආශීර්වාද අද්දකින්න ලැබෙනවා කියන එක. (ද්වි. 28:2) ඒත් පුරෝගාමි සේවය කරන එක හැම වෙලාවෙම ලේසි දෙයක් නෙවෙයි. අපේ අසම්පූර්ණකම නිසත් මේ දුෂ්ට සමාජය නිසත් අපිට එක එක ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේ දේවල් නිසා සමහරවිට ටික කාලයකට පුරෝගාමි සේවය නතර කරන්නත් හිතෙන්න පුළුවන්. ඒත් උත්සාහ කළොත් ඒ ප්‍රශ්න විසඳගන්න එක අමාරු නැහැ. ඒ විතරක් නෙවෙයි ඒ වගේ ප්‍රශ්න ඇති නොවෙන විදිහට වැඩ කරන්නත් පුළුවන්.

දිගටම පුරෝගාමි සේවය කරන්නේ කොහොමද?

12, 13. (අ) පුරෝගාමියෙකුට අවශ්‍ය පැය ප්‍රමාණය ලබාගන්න එක අමාරුයි නම් මොනවද කරන්න පුළුවන්? (ආ) දිනපතා බයිබලය කියවීමට, පෞද්ගලික අධ්‍යයනය කිරීමට සහ ඒ දේවල් ගැන හොඳට හිතලා බැලීමට කාලය වෙන් කිරීම වැදගත් ඇයි?

12 පුරෝගාමීන්ට හුඟක් වැඩ තියෙන නිසා පිළිවෙළකට වැඩ කරන එක වැදගත්. (1 කොරි. 14:33, 40) පුරෝගාමියෙකුට අවශ්‍ය පැය ප්‍රමාණය ලබාගන්න අමාරුයි නම් කාලය පාවිච්චි කරන විදිහ ගැන ටිකක් හිතලා බලන්න ඔහුට සිදු වෙනවා. (එෆී. 5:15, 16) ‘මම ඕනෑවට වඩා විනෝදයට කාලය වැය කරනවද? මගේ කාලසටහනේ යම් වෙනසක් කරගන්න පුළුවන්ද? අනවශ්‍ය දේවලට මම වැඩි කාලයක් වැය කරනවද?’ නිතරම වගේ ඒ විදිහට කල්පනා කරලා අවශ්‍ය වෙනස්කම් කරගන්න.

13 දිනපතා බයිබලය කියවන එක, පෞද්ගලික අධ්‍යයනය කරන එක සහ ඒ දේවල් ගැන හොඳින් හිතලා බලන එක පුරෝගාමියෙකුගේ කාලසටහනේ තියෙන්නම ඕනෙ දේවල්. ඒ අත්‍යවශ්‍ය දේවලට දෙන කාලය, අනවශ්‍ය දේවලට නොදී ඉන්න පුරෝගාමියෙක් පරෙස්සම් වෙන්න ඕනෙ. (ෆිලි. 1:10) මෙහෙම හිතන්න. පුරෝගාමියෙක් දවසම සේවයේ ගත කරලා ගෙදර එනවා. ඔහු හිතාගෙන එන්නේ හවස් කාලයේදී රැස්වීම්වලට සූදානම් වෙන්නයි. ඒත් ඊට කලින් ඔහු තමන්ට ලැබිලා තියෙන ඊ-මේල් බලනවා. ඔය අතරේ යම් යම් භාණ්ඩ කිහිපයක මිල ගණන් ගැනත් අන්තර්ජාලයෙන් හොයලා බලනවා. දන්නෙම නැතුව පැය දෙකකටත් වඩා ගත වෙනවා. දැන් රැස්වීම්වලට සූදානම් වෙන්න කාලයක් නැහැ. එහෙම වෙන එක භයානකයි. මලල ක්‍රීඩකයෙක් දිගටම ක්‍රීඩාවේ යෙදෙන්න නම් ඔහු දිනපතා පෝෂ්‍යදායී ආහාර ගන්න ඕනෙ. ඒ වගේ, දිගටම පුරෝගාමි සේවය කරන්න නම් දිගටම පෞද්ගලික අධ්‍යයනයෙන් පෝෂණය වෙන්නම ඕනෙ.—1 තිමෝ. 4:16.

14, 15. (අ) පුරෝගාමීන් තමන්ගේ ජීවිත සරලව තියාගන්න ඕනෙ ඇයි? (ආ) ප්‍රශ්න ගැටලු එද්දී පුරෝගාමියෙක් කරන්න ඕනෙ මොනවද?

 14 සාර්ථක පුරෝගාමියෙක් නිතරම උත්සාහ කරන්නේ තමන්ගේ ජීවිතය සරලව ගත කරන්නයි. යේසුස් කියලා තියෙන්නෙත් එහෙම කරන්න කියලයි. (මතෙ. 6:22) ඔහු ගත කළෙත් සරල ජීවිතයක්. එක අවස්ථාවක ඔහු කිව්වා “හිවලුන්ට ගුහා තිබුණත් අහසේ කුරුල්ලන්ට ලගින්න තැන් තිබුණත් මනුෂ්‍ය පුත්‍රයාට තම හිස තබන්නවත් තැනක් නැහැ” කියලා. (මතෙ. 8:20) සරල ජීවිතයක් ගත කරපු නිසා සේවය සඳහා වැඩි අවධානයක් දෙන්න ඔහුට පුළුවන් වුණා. යේසුස්ව ආදර්ශයට ගන්න පුරෝගාමීන් නිතරම මතක තියාගන්න දෙයක් තියෙනවා. ඒ තමයි වැඩි වැඩියෙන් දේවල් රැස් කරද්දී ඒවා නඩත්තු කරන්න, අලුත්වැඩියා කරන්න කාලය ගත වෙනවා කියන එක.

15 තමන් කරන සේවය විශේෂ එකක් වුණත් අනිත් අයට වඩා තමන් විශේෂයි කියලා පුරෝගාමීන් හිතන්නේ නැහැ. පුරෝගාමි සේවය කියන්නේ යෙහෝවා දෙවිගෙන් ලැබුණ තෑග්ගක්. දිගටම ඒ සේවය කරන්න නම් දෙවි මත රඳා සිටින එක අත්‍යවශ්‍යයි. (ෆිලි. 4:13) ඒත් ප්‍රශ්න ගැටලු තියෙයි. (ගීතා. 34:19) ඒ වගේ වෙලාවලදී හදිසි වෙලා පුරෝගාමි සේවය නතර කරනවා වෙනුවට දෙවිට ඒ ගැන කියන්න. ඔබට උදව් කරන්න ඔහුට අවස්ථාවක් දෙන්න. (ගීතාවලිය 37:5 කියවන්න.) දෙවිගේ ආදරය, රැකවරණය, සැලකිල්ල ඔබට තියෙනවා කියලා දැනෙන්න දැනෙන්න, දෙවි එක්ක තියෙන ඔබේ බැඳීම තවත් ශක්තිමත් වෙයි.—යෙසා. 41:10.

ඔබත් කැමතිද පුරෝගාමි සේවයේ රස විඳින්න?

16. පුරෝගාමියෙක් වෙන්න ඔබත් කැමති නම් මොනවද කරන්න ඕනෙ?

16 පුරෝගාමීන් තමන්ගේ සේවයෙන් ලබන තෘප්තිය, ආශීර්වාද ලබන්න ඔබත් කැමති නම් ඒ ගැන දෙවිට කියන්න. (1 යොහ. 5:14, 15) පුරෝගාමීන් එක්ක ඒ ගැන කතා කරන්න. ඊටපස්සේ පුරෝගාමියෙක් වෙන්න උදව් වෙන පුංචි පුංචි ඉලක්ක තියාගෙන, ඒවා එකින් එක ඉටු කරගන්න. කීත් හා එරීකා කළෙත් ඒ වගේ දෙයක්. ඔවුන්ට හොඳ රැකියාවල් තිබුණා. විවාහ වුණ අලුතම අලුත් ගෙයක්, අලුත් කාර් එකක් මිල දී ගත්තා. “ඒවා ගත්තම අපිට සතුටින් ඉන්න පුළුවන් කියලයි අපි හිතුවේ. ඒත් අපි වැරදියි” කියලා ඔවුන් කියනවා. කීත්ගේ රැකියාව නැති වුණාට පස්සේ ඔහු සහායක පුරෝගාමි සේවය පටන්ගත්තා. “සේවයෙන් කොච්චර සතුටක් ලැබෙනවද කියලා මට තේරුණේ එතකොටයි” කියලා ඔහු කියනවා. තවත් පුරෝගාමි යුවළක් ඔවුන්ගේ හොඳම යාළුවන් වුණා. සරල ජීවිතයක් ගත කරන ගමන් පුරෝගාමි සේවය කරන එකෙන් මොන තරම් සතුටක් ලබන්න පුළුවන්ද කියලා තේරුම්ගන්න ඒ යුවළ ඔවුන්ට උදව් කළා. කීත් හා එරීකා මොනවද කළේ? පුරෝගාමි සේවය අවසාන ඉලක්කය විදිහට තියාගෙන, ඒ කරා යන්න උදව් වෙන පුංචි පුංචි ඉලක්කවල ලැයිස්තුවක් හදලා ඔවුන් ඒක ශීතකරණයේ එල්ලුවා. ඒ ඉලක්ක එකින් එක ඉටු කරගද්දී ඒවා ලැයිස්තුවෙන් අයින් කළා. කාලයත් එක්කම ඔවුන් දෙන්නා පුරෝගාමීන් වුණා.

17. ඔබට පුරෝගාමි සේවය කරන්න පුළුවන්ද කියලා හිතලා බලන එක වටින්නේ ඇයි?

17 ඔබටත් පුරෝගාමියෙක් වෙන්න පුළුවන්ද? සමහරවිට ඉක්මනටම පුරෝගාමි සේවය පටන්ගන්න අමාරුයි කියලා ඔබට හිතෙයි. ඒත් සේවයේ වැඩියෙන් හවුල් වෙලා, දෙවිට තවත් කිට්ටු වෙන්න ඔබට කරන්න පුළුවන් හැම දේම කරන්න. දෙවිට ඔබේ ආශාව ගැන කියලා ඔබේ තත්වය ගැන හොඳට හිතලා බලන්න. එතකොට ජීවිතයේ යම් යම් වෙනස්කම් කරගෙන පුරෝගාමි සේවය පටන්ගන්න පුළුවන් කියලා ඔබට තේරෙයි. ඒ සේවයෙන් ඔබ ලබන සතුට එක්ක සසඳද්දී ඔබ කරපු කැප කිරීම් කොච්චර පුංචිද කියලා ඔබට තේරෙයි. දෙවිගේ රාජ්‍යයට මුල් තැන දීලා අනිත් අය වෙනුවෙන් දේවල් කරද්දී ඔබට හිතාගන්න බැරි සතුටක් ලැබෙයි. (මතෙ. 6:33) යෙහෝවා දෙවි ගැන වැඩි වැඩියෙන් හිතන්නත් ඔහු ගැන වැඩියෙන් කතා කරන්නත් ඔබට අවස්ථාව ලැබෙයි. එහෙම කරද්දී ඔබේ හිතේ දෙවි ගැන තියෙන ආදරය තවත් වැඩි වෙනවා විතරක් නෙවෙයි ඔබේ ආදරණීය දෙවි පියාණන්ව සතුටු කරන්නත් ඔබට හැකි වෙනවා නොඅනුමානයි.