Skip to content

පටුනට යන්න

 ජීවිත කතාව

දෙවිව විශ්වාස කරලා වැඩ කළොත් පසුතැවෙන්න වෙන්නේ නැහැ

දෙවිව විශ්වාස කරලා වැඩ කළොත් පසුතැවෙන්න වෙන්නේ නැහැ

ජීවිතේ අපි හිතන්නේ නැති දේවල් වෙනවා. මොන දේ වුණත් යෙහෝවා දෙවිව විශ්වාස කරලා වැඩ කරන අයට දෙවි අනිවාර්යයෙන්ම ආශීර්වාද කරනවා කියලා මමයි මගේ බිරිඳයි අද්දැක්කා. අපේ කතාව ඇහුවම ඔයාලත් ඒක විශ්වාස කරයි.

මගේ අම්මයි තාත්තයි මුලින්ම මුණගැහිලා තියෙන්නේ 1919 සීඩා පොයින්ට්වල පවත්වපු සමුළුවේදී. ඒ දෙන්නා ඒ අවුරුද්දේ විවාහ වුණා. මම 1922දිත් මගේ මල්ලි ඊට අවුරුදු දෙකකට පස්සෙත් ඉපදුණා. මගේ බිරිඳ ග්‍රේස් ඉපදුණේ 1930දී. එයාගේ තාත්තගේ නම රෝයි. අම්මා රූත්. ඒ දෙන්නගෙම දෙමව්පියනුත් බයිබල් ශිෂ්‍යයන්. ග්‍රේස්ගේ ආච්චියි සීයයි සහෝදර චාල්ස් රසල්ගේ හොඳ යාළුවෝ.

මට මුලින්ම ග්‍රේස්ව හම්බ වුණේ 1947දී. අපි 1949 ජූලි 16වෙනිදා විවාහ වුණා. ඒත් ඊට කලින් අපේ අනාගත සැලසුම් ගැන අපි දෙන්නා කතා කළා. අපි දෙන්නගෙම ආසාව වුණේ පූර්ණකාලීනව යෙහෝවා දෙවිට සේවය කරන්නයි. ඒ නිසා දරුවෝ හදන්නේ නැතුව ඉන්න අපි තීරණය කළා. 1950 ඔක්තෝබර් 1වෙනිදා අපි දෙන්නම පුරෝගාමි සේවය පටන්ගත්තා. ඊටපස්සේ 1952දී අපිට චාරික සේවයේ යන්න පැවරුමක් ලැබුණා.

සංචාරක සේවය හා ගිලියද් පාසැල

අපි දෙන්නටම හැඟුණේ ඒ පැවරුම කරන්න අපිට අද්දැකීම් මදි කියලයි. ඒ නිසා අද්දැකීම් තිබුණ සහෝදරයන්ගෙන් මම ගොඩක් දේවල් ඉගෙනගත්තා. ඒ වගේ ග්‍රේස්ටත් කාගෙන් හරි උදව් ලැබුණොත් හොඳයි කියලා මට හිතුණා. මං ඒ ගැන මගේ යාළුවෙක් වුණ මර්වින්ට කිව්වා. මර්වින්, අවුරුදු ගාණක් තිස්සේ සංචාරක සේවය කරපු කෙනෙක්. එයා මට මෙහෙම කිව්වා. “එඩ්නා වින්කල්ට පුළුවන් වෙයි ග්‍රේස්ට උදව් කරන්න. පුරෝගාමියෙක් විදිහට සේවය කරලා එයාට හොඳ පළපුරුද්දක් තියෙනවා.” ලැබුණ පුහුණුව ගැන ග්‍රේස් කියන්නේ මෙහෙමයි. “එඩ්නා එක්ක සේවයේ යද්දී මට කිසිම බයක් දැනුණේ නැහැ. කවුරු හරි අපිට තරහෙන් කතා කළොත් සන්සුන්ව එයාට පිළිතුරු දෙන්නේ කොහොමද කියලා එයා හොඳට දන්නවා. ඒ වගේම එඩ්නා මට නිතරම උනන්දු කළේ ගේහිමියා කතා කරද්දී හොඳට ඇහුම්කන් දෙන්න කියලයි. එතකොට තමයි ඒ පුද්ගලයට පණිවිඩය ඉදිරිපත් කරන්න ඕනෙ හොඳම විදිහ තේරුම්ගන්න පුළුවන් වෙන්නේ කියලා එයා කිව්වා. මට ඕනෙ කළෙත් ඒ වගේ පුහුණුවක්.”

වමේ සිට: නේදන් නෝර්, මැල්කම් ඇලන්, ෆ්‍රෙඩ් රස්ක්, ලයිල් රූෂ්, ඇන්ඩෲ වැග්නර්

අපි අයෝවා ප්‍රාන්තයේ චාරිකා දෙකක සේවය කළා. මිනසෝටා හා දකුණු ඩැකෝටා ප්‍රාන්තවල ප්‍රදේශ කිහිපයකුත් අපේ චාරිකාවට අයිති වුණා. ඊටපස්සේ අපිට නිව් යෝර්ක්වල චාරිකා සේවය කරන්න පැවරුමක් ලැබුණා. ඒකට බෘක්ලින් හා ක්වීන්ස් කියන ප්‍රදේශ අයිති වුණා. ඒ පැතිවල හුඟක් හිටියේ අපිට වඩා  අද්දැකීම් තිබුණ සහෝදර සහෝදරියන් නිසා චාරිකා සේවයේ යන්න අපිට පොඩි බයකුත් දැනුණා. ඒ චාරිකාවට අයිති වුණ එක සභාවකට බෙතෙල් එකේ සේවය කරන සහෝදර සහෝදරියන් හුඟදෙනෙක් එනවා. ඒ සභාවේ මම පළවෙනි සේවා කතාව දුන්නට පස්සේ සහෝදර නේදන් නෝර් මං ළඟට ඇවිත් මෙහෙම කිව්වා. “ඔයා අපිට දීපු උපදෙස් හුඟක් ප්‍රයෝජනවත්. ඒ වගේ කාරුණික උපදෙස් දීලා අපිට උදව් කරන්න කවදාවත් බය වෙන්න එපා. ඔයා දැනටමත් හොඳ සේවයක් කරනවා. දිගටම එහෙම කරන්න.” ඒ වචන ඇහුවම මගේ හිතේ තිබුණ බය සැක දුරු වුණා. රැස්වීමෙන් පස්සේ මං ගෙදර ගිහින් ග්‍රේස්ටත් ඒ ගැන කිව්වා. එදා අපි දෙන්නගේ හිතට දැනුණ සහනේ වචනවලින් විස්තර කරන්න බැහැ.

“කාරුණික උපදෙස් දීලා අපිට උදව් කරන්න කවදාවත් බය වෙන්න එපා. ඔයා දැනටමත් හොඳ සේවයක් කරනවා. දිගටම එහෙම කරන්න”

මාස කිහිපයක් ඔය විදිහට චාරිකා සේවය කරගෙන යද්දී ගිලියද් පාසැලේ 24වෙනි පන්තියට සහභාගි වෙන්න කියලා අපිට ආරාධනාවක් ලැබුණා. පාසැලට අපිට ආරාධනා කරන්නේ සංචාරක සේවය තවත් හොඳින් කරන්න අපිව පුහුණු කරන්න මිසක් මිෂනාරීන් හැටියට වෙනත් රටකට යවන්න නෙවෙයි කියලා අපිට දන්වලා තිබුණා. ගිලියද් පාසැලෙන් අපි හුඟක් දේවල් ඉගෙනගත්තා. අපි ඉගෙනගත්ත වැදගත්ම පාඩම, යෙහෝවා දෙවිට සේවය කරද්දී නිහතමානී වෙන එක කොච්චර වටිනවද කියන එකයි.

ඉහළ: ෆර්න් හා ජෝර්ජ් කවුච් එක්ක මමයි ග්‍රේසුයි, ගිලියද් පාසැලේදී 1954

වර්ෂ 1955 පෙබරවාරි මාසේ ගිලියද් පාසැලේ පුහුණුව ඉවර වුණාට පස්සේ දිස්ත්‍රික් සේවක හැටියට සේවය කරන්න මට පැවරුමක් ලැබුණා. මට භාර වෙලා තිබුණේ ඉන්ඩියානා, මිචිගන්, ඔහියෝ කියන ප්‍රාන්ත. ඒ අවුරුද්දෙම දෙසැම්බර් මාසේ අපිට සහෝදර නෝර්ගෙන් ලියුමක් හම්බ වුණා. ඒ ලියුමේ මෙහෙම තිබුණා. “ඔයාට හැඟෙන දේ අවංකව කියන්න. බෙතෙල් එකට ඇවිත් සේවය කරන්න ඔයා කැමතිද? එහෙම නැත්නම් බෙතෙල් එකේ ටික දවසක් සේවය කරලා ඊටපස්සේ වෙන රටකට ගිහින් සේවය කරන්න කැමතිද? නැත්නම් දැනටමත් කරන සංචාරක සේවය දිගටම කරගෙන යන්නද ඔයා කැමති? ඒ ගැන මට කියලා එවන්න.” දෙන ඕනෙම පැවරුමක් භාරගන්න අපි කැමතියි කියලා අපි දන්වලා යැව්වා. වැඩි දවසක් යන්න කලින් බෙතෙල් එකට එන්න කියලා අපිට පණිවිඩයක් ලැබුණා.

බෙතෙල් නිවසේ ගෙවුණ කාලය

බෙතෙල් එකේ සේවය කරපු කාලෙදී ඇමරිකාව පුරා තිබුණ සභාවලට බෙතෙල් කථිකයෙක් හැටියට යන්නත් විවිධ පාසැල්වල උපදේශකයෙක් හැටියට සේවය කරන්නත් මට අවස්ථාව ලැබුණා. තරුණ සහෝදරයන් හුඟදෙනෙක්ව පුහුණු කරන්න ඒ කාලෙදී මට පුළුවන් වුණා. ඒ අයගෙන් වැඩිදෙනෙක් පස්සේ කාලෙදී දෙවිගේ සංවිධානයේ හුඟක් වගකීම් කරට අරන් වැඩ කළා. මම සහෝදර නෝර්ගේ ලේකම් හැටියටත් සේවය කළා. ඒ කාලේ ලොව පුරා දේශනා සේවය සංවිධානය කරන්න මූලිකත්වය අරගෙන වැඩ කළේ සහෝදර නෝර්.

පහළ: 1956දී සේවා අංශයේ වැඩ කරද්දී

බෙතෙල් එකේ සේවා අංශයේ මම වැඩ කළේ හරිම සතුටින්. සහෝදර සලිවන් තමයි එතකොට සේවා අංශය භාරව හිටියේ. ඒකේ වැඩවලට මාව පුහුණු කළේ සහෝදර ෆ්‍රෙඩ් රස්ක්. ඒ සහෝදරයන්ගෙන් මම  හුඟක් දේවල් ඉගෙනගත්තා. දවසක් මම සහෝදර රස්ක්ගෙන් ඇහුවා “මම ලියන ලියුම්වල ගොඩක් දේවල් ඔයා වෙනස් කරන්නේ ඇයි” කියලා. එතකොට එයා මට මෙහෙම කිව්වා. “ඔයා කතා කරද්දී මොනවා හරි කිව්වම ඒක තව විස්තර කරන්න ඔයාට පුළුවන්. ඒත් මොනවා හරි දෙයක් ලියද්දී විශේෂයෙන් බෙතෙල් එකෙන් ලියුමක් යවද්දී ඒක නිවැරදි වගේම සහෝදරයන්ට අදාළ කරගන්න පුළුවන් වෙන විදිහටත් ඒක ලියන්න ඕනෙ. බය වෙන්න එපා මැල්කම්. දැනටමත් ඔයා හොඳට ලියනවා. ඉස්සරහට තව හොඳට ලියන්න පුළුවන් වෙයි.”

බෙතෙල් එකේ විවිධ අංශවල වැඩ කරන්න ග්‍රේස්ටත් අවස්ථාව ලැබුණා. කාමර පිරිසිදු කරන පැවරුම එයා කළේ හරිම සතුටින්. ඒ කාලේ බෙතෙල් එකේ හිටපු සමහර තරුණ සහෝදරයන්ට කාමර පිළිවෙළට තියාගන්න විදිහ ගැන ග්‍රේස් කියලා දුන්නා. අදටත් එයාලව හම්බ වුණාම “ඔයා තමයි ඇඳ හදන විදිහ ගැන අපිට හරියටම කියලා දුන්නේ” කියලා ග්‍රේස්ට කියනවා. සඟරා අංශයේ, පටිගත කිරීමේ අංශයේ, ලිපි ලැබීමේ හා යැවීමේ අංශයේ සේවය කරපු කාලේ ගැන ග්‍රේස් මතක් කරන්නේ හරිම සතුටින්. ඒ වගේ විවිධ අංශවල වැඩ කරපු නිසා මොන අංශයේ, මොන පැවරුම ලැබුණත් ඒක දෙවි දීලා තියෙන වරප්‍රසාදයක් හැටියට සලකන්න ග්‍රේස් ඉගෙනගත්තා.

ජීවිතේ වෙනසක්

වර්ෂ 1975දී විතර ජීවිතේ අමාරු තීරණයක් ගන්න අපිට සිද්ධ වුණා. ඒ වෙනකොට අපේ දෙමව්පියන් හුඟක් වයසයි. ඒගොල්ලන්ව බලාගන්න එක අපේ වගකීම කියලා අපි දැනගෙන හිටියා. බෙතෙල් සේවය නතර කරන එක ගැන අපිට දැනුණේ ලොකු දුකක්. හැබැයි දෙමව්පියන් වෙනුවෙන් ඒක කරන්න අපි තීරණය කළා. අපි බෙතෙල් එකෙන් ගියේ අපේ තත්වය වෙනස් වුණාම ආපහු ඒ සේවය පටන්ගන්න බලාපොරොත්තුවෙන්.

බෙතෙල් එකෙන් ගියාට පස්සේ මම රක්ෂණ නියෝජිතයෙක් හැටියට වැඩ කරන්න පටන්ගත්තා. වැඩට ගිය මුල් කාලේ මගේ බොස් මට කිව්වා “ඔයාට මේ වැඩේ හොඳට කරගෙන යන්න නම් හැමදාම වගේ හවස් වරුවේ මිනිසුන්ව හම්බ වෙන්න යන්නම වෙනවා” කියලා. ඒත් මම එයාට කාරුණිකව මෙහෙම කිව්වා. “ඔයා ඒ වගේ උපදෙසක් දුන්නේ ඔයාට හොඳට අද්දැකීම් තියෙන නිසා කියලා මම දන්නවා. ඒකට ගොඩක් ස්තුතියි. ඒත් මම හැම අඟහරුවාදමයි බ්‍රහස්පතින්දමයි සවසට වැදගත් රැස්වීමකට සහභාගි වෙනවා. ඒක අතපසු කරන්න මම කොහොමටවත් කැමති නැහැ. ඒ දවස් දෙක ඇරෙන්න සතියේ අනිත් දවස්වල හවසට මම වැඩ කරන්නම්.” දෙවිට මුල් තැන දීලා දේවල් කරන්න මම ගත්ත තීරණයට යෙහෝවා දෙවි මට ආශීර්වාද කළා.

කාලයක් ගත වුණාට පස්සේ ඒ කියන්නේ 1987 ජූලි මාසේ මගේ අම්මා මිය ගියා. අම්මා මිය යන වෙලාවෙත් මමයි ග්‍රේසුයි එයා ළඟ හිටියා. අම්මව බලාගත්ත හෙදිය ග්‍රේස්ට මෙහෙම කිව්වා. “ඔයාගේ නැන්දම්මව බලාගන්න ඔයා කොච්චර මහන්සි වුණාද කියලා හැමෝම දන්නවා. ඔයාට ඒ ගැන සතුටු වෙන්න පුළුවන්.”

බෙතෙල් එකේ සේවයට එන්න ආපහු අපි කැමතියි කියලා 1987 දෙසැම්බර් මාසේ අපි දැන්නුවා. හැබැයි ඊට දවසකට පස්සේ ග්‍රේස්ට බඩවැලේ පිළිකාවක් තියෙනවා කියලා අපි දැනගත්තා. ඒක හොඳ වුණේ ශල්‍යකර්මයක් කළාට පස්සෙයි. ඒ කාලෙදිම වගේ අපිට බෙතෙල් එකෙන් ලියුමක් ආවා. දැනට ඉන්න සභාවේ දිගටම සේවය කරගෙන යන්න කියලා එයාලා අපිට දිරිගන්වලා තිබුණා. අපි කොහේ හිටියත් පුළුවන්  උපරිමෙන් දෙවිට සේවය කරන්න අපි දෙන්නා අදිටන් කරගත්තා.

ඔහොම කාලයක් යද්දී මට ටෙක්සාස්වල රැකියාවක් හම්බ වුණා. එහේ ඒ තරම් සීත දේශගුණයක් තිබුණේ නැති නිසා අපේ සෞඛ්‍යයට හොඳයි කියලා අපිට හිතුණා. දැන් අපි ටෙක්සාස්වලට ඇවිත් අවුරුදු 25ක් විතර වෙනවා. ඒ කාලය පුරා අපිට හුඟක් සහෝදර සහෝදරියන්ව දැන හඳුන ගන්නත් ඒගොල්ලන්ගේ ආදරේ, කරුණාව ලබන්නත් පුළුවන් වුණා.

ජීවිතෙන් අපි ඉගෙනගත්ත පාඩම්

ග්‍රේස්ගේ බඩවැලේ, තයිරොයිඩ් ග්‍රන්ථියේ හා පියයුරුවල පිළිකා ඇති වුණා. හැබැයි එයා කවදාවත් එයාගේ අසනීප තත්වය ගැන ඕනෑවට වඩා දුක් වුණේ නැහැ. එයා හැම වෙලාවෙම පුළුවන් උපරිමෙන් මට සහය වුණා. “විවාහ වෙලා අවුරුදු ගාණක් ගෙවිලා තිබුණත් ඔයදෙන්නා තාම ඉන්නේ හරිම සතුටින්. ඒකට රහස මොකක්ද” කියලා හුඟක් අය ග්‍රේස්ගෙන් අහනවා. ඒ අයට ග්‍රේස් කියන්නේ මෙහෙමයි. “අපි දෙන්නා හොඳ යාළුවෝ. අපේ හිතේ තියෙන දේවල් ගැන අපි හැමදාම කතා කරනවා. එකට කාලය ගත කරන්න අපි හරිම ආසයි. අපි අතරේ ප්‍රශ්නයක් ඇති වුණොත් ඒක විසඳගන්නේ නැතුව අපි කවදාවත් නින්දට යන්නේ නැහැ.” ඉඳලා හිටලා අපි අතරෙත් පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙනවා තමයි. හැබැයි අපි එකිනෙකාට සමාව දීලා ඒක අමතක කරලා දානවා.

“යෙහෝවා දෙවිව විශ්වාස කරලා වැඩ කරන්න”

අපිට මුහුණ දෙන්න වුණ අමාරු අවස්ථාවලින් ඉගෙනගත්ත පාඩම් කිහිපයක් ගැන ඔයාලටත් කියන්න කැමතියි.

  1.  මොන දේට මුහුණ දෙන්න වුණත් තමන්ට හිතෙන හිතෙන විදිහට වැඩ කරන්නේ නැතුව යෙහෝවා දෙවිව විශ්වාස කරලා වැඩ කරන්න. දෙවි ඉඩහරින ඕනෙම දේකට අනුව හැඩගැහෙන්න පුරුදු වෙන්න.—හිතෝ. 3:5, 6; යෙරෙ. 17:7.

  2.  තමන්ට ඕනෙ විදිහට වැඩ කරන ගමන් දෙවිට කීකරු වෙන එක කරන්න බැරි දෙයක්. ඒ නිසා මොන ප්‍රශ්න ආවත් දේවවචනයේ තියෙන උපදෙස් පිළිපදින්න. මොකද දෙවිට කීකරු වෙන එක තමයි වැදගත්ම දේ.—රෝම 6:16; හෙබ්‍රෙ. 4:12.

  3.  දෙවි ඉදිරියේ හොඳ නමක් දිනාගන්න එක තරම් වටින දෙයක් ජීවිතේ තවත් නැහැ. ඒ නිසා වස්තුව රැස් කරන්න මුල් තැන දෙනවට වඩා දෙවිගේ කැමැත්තට මුල් තැන දෙන්න.—හිතෝ. 28:20; දේශ. 7:1; මතෙ. 6:33, 34.

  4.  උද්‍යෝගයෙන් දේවසේවයේ හවුල් වෙන්න උදව් ඉල්ලලා යාච්ඤා කරන්න. දෙවි වෙනුවෙන් කරන්න බැරි දේ ගැන හිතහිතා දුක් වෙන්නේ නැතුව පුළුවන් දේ උපරිමයෙන් කරන්න.—මතෙ. 22:37; 2 තිමෝ. 4:2.

  5.  යෙහෝවා දෙවිගේ ආශීර්වාදය වෙන කිසිම සංවිධානයකට නැහැ කියලා මතක තියාගන්න.—යොහ. 6:68.

අපේ ජීවිත කාලෙන් අවුරුදු 75කටත් වඩා වැඩි කාලයක් පුරා දෙවිට අපේ ජීවිත කැප කරලා සේවය කරනවා. මේ වෙනකොට අපි විවාහ වෙලත් අවුරුදු 65ක් විතර වෙනවා. ඒ කාලය පුරාම අපි දෙන්නා යෙහෝවා දෙවිට සේවය කළේ හුඟක් සතුටින්. මොන දේ වුණත් දෙවිව විශ්වාස කරලා වැඩ කරන අයට දෙවි අනිවාර්යයෙන්ම ආශීර්වාද කරනවා කියලා අපි අපේ ජීවිත කාලය පුරාම අද්දැකලා තියෙනවා. ඔයගොල්ලන්ටත් ඒ දේ අද්දකින්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා!