Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | මිනිසුන්ව දෙවියන්ගෙන් ඈත් කරන අසත්‍ය ඉගැන්වීම්

දෙවියන් අභිරහසක් කියන අසත්‍ය ඉගැන්වීම

දෙවියන් අභිරහසක් කියන අසත්‍ය ඉගැන්වීම

වැඩිදෙනාගේ මතය:

“රෝමානු කතෝලික, නැඟෙනහිර ඕතඩොක්ස් හා රෙපරමාදු කියන ප්‍රධාන ආගම් තුනේම උගන්වන්නේ පියාණන්, පුත්‍රයාණන්, ශුද්ධාත්මයාණන් යන තුන් ආකාරයෙන්ම පෙනී සිටින්නේ එකම දෙවියන් කියලයි. ඒ ආගම්වල උගන්වන්නේ ඒ තුන්දෙනාම දෙවිවරු තුන්දෙනෙක් කියලා නෙමෙයි තුන්දෙනාම එක්කෙනෙක් කියලයි.”—The New Encyclopædia Britannica.

බයිබලයේ කියන දේ:

තමන් දෙවි පියාණන්ට සමානයි කියලා යේසුස් කවදාවත් කිව්වේ නැහැ. ‘මම පියාණන් ළඟට යනවා. මන්ද පියාණන් මට වඩා උතුම්’ කියලයි යේසුස් කිව්වේ. (යොහන් 14:28) ඔහු මෙහෙමත් කිව්වා. “මම මගේ පියාණන් හා ඔබේ පියාණන් ළඟටත් මගේ දෙවි හා ඔබේ දෙවි ළඟටත් යනවා.” (යොහන් 20:17) එහෙමනම් ඔවුන් දෙදෙනා එක් කෙනෙක් වෙන්නේ කොහොමද?

ශුද්ධාත්මය ගැන කියන්න පුළුවන් මොකක්ද? පෙන්තකොස්ත දවසේ රැස් වෙලා හිටිය අය “ශුද්ධාත්මයන් ගෙන් පූර්ණ” වුණා කියලත් සියලු ජනයාව “මාගේ ආත්මානුභාවයෙන් පුරවා ලමි” කියලා දෙවියන් කිව්වා කියලත් බයිබලයේ තියෙනවා. (ක්‍රියා 2:1-4, 17 ‘නව අනුවාදය’) පුද්ගලයෙක්ට පුළුවන්ද තවත් අය තුළ පූර්ණ වෙන්න නැත්නම් තවත් අය තුළ පිරෙන්න? එහෙම වෙන්න බැහැ. ඒ නිසා ඔවුන් පූර්ණ වුණෙත් පිරුණෙත් දෙවිගේ බලයෙන් කියලා කියන එක වඩාත් නිවැරදියි.

සත්‍යය දැනගන්න එක වැදගත්:

කතෝලික ආගම හදාරන විද්වතුන් දෙන්නෙක් වන කාල් රාන හා හර්බට් වෝග්‍රිම්ලර් මෙහෙම කිව්වා. “ත්‍රිත්වය අභිරහසක්. පැහැදිලි නොකර ඒක තේරුම්ගන්න බැහැ. පැහැදිලි කළත් ඒක වටහාගන්න බැහැ.” දෙවියන් අභිරහස් ත්‍රිත්වයක කොටසක් නම් ඔහුව වෙනම පුද්ගලයෙක් හැටියට දැන හඳුන ගෙන ඔහුට ආදරය කරන්න පුළුවන්ද? නොදන්න කෙනෙකුට ආදරය කරන්න බැහැ. ත්‍රිත්වය කියන ඉගැන්වීම නිසා මිනිසුන් දෙවියන්ගෙන් ඈත් වෙලා තියෙනවා.

මාර්කො කියන දේ බලන්න. “අපි දෙවියන්ව දැන හඳුන ගන්නවාට දෙවියන් කැමති නැහැ කියලයි මම හිතුවේ. ඒ නිසා මම ඔහුගෙන් ඈත් වුණා. දෙවියන් අභිරහසක් කියලා මට හිතුණා.” ඒත් ඇත්ත ඒක නෙමෙයි. ‘දෙවියන් අපෙන් දුරස්ව සිටින කෙනෙක් නෙවෙයි.’ (ක්‍රියා 17:27) දෙවියන් කැමති අපි හැමෝම ඔහු ගැන ‘හරි අවබෝධයක්’ ලබාගෙන ඔහුට නමස්කාර කරනවාටයි.—යොහන් 4:22.

“දෙවියන් ත්‍රිත්වයක් නෙමෙයි කියලා තේරුම්ගත්තට පස්සේ තමයි දෙවියන්ට ළං වෙන්න මට පුළුවන් වුණේ” කියලා මාර්කො කිව්වා. දෙවියන් අභිරහසක් කියලා හිතන්නේ නැතුව වෙනම පුද්ගලයෙක් විදිහට සැලකුවොත් විතරයි ඔහුට ආදරය කරන්න පුළුවන්. බයිබලයේ කියන්නේ දෙවියන්ට “ප්‍රේම නොකරන තැනැත්තා දෙවිව හඳුනාගෙන නැත. මන්ද දෙවි ප්‍රේමය” කියලයි.—1 යොහන් 4:8.