Skip to content

පටුනට යන්න

දෙවි පියාණන්ව මිතුරෙක් කරගන්න

‘දෙවියන්ගේ මඟ පෙන්වීම් පතන අයට ආශීර්වාද ලැබෙනවා’

‘දෙවියන්ගේ මඟ පෙන්වීම් පතන අයට ආශීර්වාද ලැබෙනවා’

දෙවියන්ව සතුටු කරන්න ඔහුගේ සේවකයන් කරන දේවල් ඔහු අගය කරනවාද? දෙවියන් සැලකිලිමත් නැහැ කියලා හිතන අය කියන්නේ දෙවියන් ඔහුගේ සේවකයන් කරන දේවල් අගය කරන්නේ නැහැ කියලයි. හැබැයි ඒක වැරදියි. මොකද බයිබලයේ පැහැදිලිවම කියනවා දෙවියන් ගැන ස්ථිර විශ්වාසයක් ඇතුව ඔහුට සේවය කරන අයව දෙවියන් අගය කරනවා කියලා. ඒ ගැන බයිබලයේ හෙබ්‍රෙව් 11:6 කියලා තියෙන දේ බලමු.

යෙහෝවා දෙවියන්ව සතුටු කරන්න පුළුවන් කොහොමද? හෙබ්‍රෙව් 11:6 කියන්නේ “දෙවි කෙරෙහි විශ්වාසයක් නැත්නම් . . . දෙවිව කිසි ලෙසකින්වත් සතුටු කළ නොහැක” කියලයි. එතන කියන්නේ විශ්වාසයක් නැත්නම් දෙවියන්ව සතුටු කරන්න අමාරුයි කියලා නෙමෙයි ඔහුව “කිසි ලෙසකින්වත් සතුටු කළ නොහැක” කියලයි. ඒකෙන් තේරෙනවා දෙවියන්ව සතුටු කරන්න නම් ඔහු ගැන විශ්වාසයක් තියෙන එක අත්‍යවශ්‍යයි කියලා.

අපිට තියෙන්න ඕන මොන වගේ විශ්වාසයක්ද? ඒකට අපේ පැත්තෙන් වෙන්න ඕන දේවල් දෙකක් තියෙනවා. මුලින්ම “ඔහු ජීවමාන බව” අපි විශ්වාස කරන්න ඕනේ. එහෙම කරන්නේ නැත්නම් අපිට කොහොමටවත් දෙවියන්ව සතුටු කරන්න බැහැ. හැබැයි දෙවි ජීවමානයි කියලා පිළිගන්න එක විතරක් මදි. මොකද භූතයන් පවා දෙවියන් ජීවමානයි කියලා විශ්වාස කරනවා. (යාකොබ් 2:19) දෙවියන් ජීවමානයි කියලා අපි ඇත්තටම විශ්වාස කරනවා නම් දෙවියන්ව සතුටු වෙන විදිහට ජීවත් වෙන්න පෙලඹෙනවා.—යාකොබ් 2:20, 26.

දෙවනුව දෙවියන් අපිට ‘ආශීර්වාද කරන බවත් විශ්වාස කරන්න ඕනේ.’ දෙවියන් ගැන විශ්වාසයක් තියෙන කෙනෙක් හොඳටම දන්නවා දෙවියන්ව සතුටු වෙන ආකාරයෙන් ජීවත් වෙන්න තමන් දරන උත්සාහය කවදාවත් නිෂ්ඵල වෙන්නේ නැහැ කියලා. (1 කොරින්ති 15:58) දෙවියන් ආශීර්වාද කරනවා කියන එක අපි සැක කරනවා නම් ඔහුව සතුටු කරන්න අපිට බැහැ. (යාකොබ් 1:17; 1 පේතෘස් 5:7) දෙවියන් මිනිසුන් ගැන සැලකිල්ලක් දක්වන්නේ නැති, මිනිසුන්ව අගය කරන්නේ නැති කෙනෙක් කියලා කවුරු හරි හිතනවා නම් එයා දෙවියන්ව දන්නේ නැහැ.

දෙවියන් ආශීර්වාද කරන්නේ කාටද? ‘දෙවිගේ මඟ පෙන්වීම් මහත් උනන්දුවකින් පතන අයටයි’ කියලා ඒ බයිබල් පදයේ කියනවා. ‘උනන්දුවෙන් පතනවා’ කියලා කියන්න පාවිච්චි කරලා තියෙන ග්‍රීක ක්‍රියා පදයට මුළු අවධානයම යොමු කිරීම හා ලොකු උත්සාහයක් දැරීම යන අර්ථ ඇතුළත් කියලා එක පොතක කියනවා. ඒ අනුව යෙහෝවා දෙවියන් ඇත්තෙන්ම ආශීර්වාද කරන්නේ ඔහු කෙරෙහි ලොකු විශ්වාසයක් ඇතුව මුළු හදවතින්ම ඔහුට ප්‍රේම කරමින් ඔහුගේ මඟ පෙන්වීම් පතන අයටයි.—මතෙව් 22:37.

දෙවියන් ආශීර්වාද කරනවා කියන එක අපි සැක කරනවා නම් ඔහුව සතුටු කරන්න අපිට බැහැ

යෙහෝවා දෙවියන් ආශීර්වාද කරන්නේ කොහොමද? දෙවියන් පොරොන්දු වෙනවා ඔහුට විශ්වාසවන්තව ඉන්න අයට පාරාදීස පොළොවේ සදාකාල ජීවනය ලබා දෙන්න. දෙවියන් කොච්චර ත්‍යාගශීලී, ප්‍රේමණීය කෙනෙක්ද කියලා ඒකෙන් පැහැදිලියි. (එළිදරව් 21:3, 4) දෙවියන්ගේ මඟ පෙන්වීම් උනන්දුවෙන් පතන අයට අනාගතයේදී වගේම මේ කාලයේදිත් ආශීර්වාද අද්දකින්න පුළුවන්. ඒ අය දෙවියන්ගේ මඟ පෙන්වීම් අදාළ කරගන්න නිසාත් ඒ අයට ඔහුගේ බලය ලැබෙන නිසාත් තෘප්තිමත් ජීවිත ගත කරනවා.—ගීතාවලිය 144:15; මතෙව් 5:3.

යෙහෝවා දෙවියන් ඔහුගේ විශ්වාසවන්ත සේවකයන් කරන සේවය හුඟක් අගය කරනවා. ඒ දෙවියන්ට ළං වෙන්න ඔයා කැමතිද? එහෙමනම් දෙවියන් බලාපොරොත්තු වෙන විදිහේ විශ්වාසයක් වර්ධනය කරගන්න. එතකොට දෙවියන්ගේ ආශීර්වාද ලබාගන්න පුළුවන්.

නොවැම්බර් මාසයට නියමිත බයිබල් කියවීම

තීතස් 1-3; ෆිලෙමොන් 1-25; හෙබ්‍රෙව් 1-13 සිට යාකොබ් 1-5 දක්වා