Skip to content

පටුනට යන්න

වැඩිමහල්ලෙනි, ශ්‍රේෂ්ඨතම එඬේරුන්ව අනුකරණය කරන්න

වැඩිමහල්ලෙනි, ශ්‍රේෂ්ඨතම එඬේරුන්ව අනුකරණය කරන්න

“ක්‍රිස්තුස් ඔබ වෙනුවෙන් දුක් විඳ ඔබට ආදර්ශයක් තැබුවේය. එසේ කළේ ඔබටත් ඔහුගේ පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය කිරීම සඳහාය.”—1 පේතෘ. 2:21.

1, 2. (අ) බැටළුවන්ව හොඳින් රැකබලා ගද්දී ලැබෙන ප්‍රතිඵල මොනවද? (ආ) යේසුස්ගේ කාලයේ හිටපු සෙනඟ අසරණව හිටියේ ඇයි?

හොඳ එඬේරෙක් ළඟ ඉන්න බැටළුවෝ නිරෝගීව, පිරිපුන්ව වැඩෙනවා. පොතක සඳහන් වෙන විදිහට එඬේරෙක් තමන්ගේ බැටළුවන්ට කෑම හොයාගන්න උන්ව තණ පිට්ටනිවලට ගෙනි යන එක විතරක් මදි. උන්ගේ හැම පුංචි අවශ්‍යතාවක් ගැනම හොයලා බලන්න ඕනෙ. නැත්නම් උන් ඉක්මනින්ම දුර්වල වෙලා අසනීප වෙනවා.

2 සභාවක් ගැන කියන්න තියෙන්නෙත් ඒකමයි. සභාවේ එඬේරුන් එක් එක් බැටළුවා ගැන සැලකිලිමත් වෙලා ඒ අයට හොඳ අවධානයක් දුන්නොත් මුළු සභාවටම ප්‍රයෝජන ලැබෙනවා. සෙනඟ “එඬේරෙකු නැති බැටළුවන් මෙන් දරුණු ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටින” බව දැකලා යේසුස් දුක් වුණා. (මතෙ. 9:36) සෙනඟ ඒ වගේ තත්වයක හිටියේ දෙවි ගැන, නීතිය ගැන කියලා දෙන්න පත් කරලා හිටපු අය ඔවුන්ට දරදඬු විදිහට සලකපු නිසයි. කරන්න පුළුවන් තරමට වඩා දේවල් ඔවුන් සෙනඟගෙන් බලාපොරොත්තු වුණ නිසයි. ඒ වගේම එඬේරුන් ඉගැන්නුවා විතරයි, ඒවා පිළිපැද්දේ නැහැ. ඔවුන්ගේ ක්‍රියාවන් නිසා සෙනඟට දැනුණේ දෙවිට සේවය කරන එක ‘මහත් බරක්’ කියලයි.—මතෙ. 23:4.

3. වැඩිමහල්ලන් මතක තියාගන්න ඕනෙ මොකක්ද?

3 වැඩිමහල්ලන්ට තියෙන්නේ බැරෑරුම් වගකීමක්. ඔවුන්ට බලාගන්න තියෙන්නේ යෙහෝවා දෙවිට හා යේසුස්ට අයිති බැටළුවන්වයි. ඒ බැටළුවන්ව “උතුම් එඬේරා” වන යේසුස්ට කොච්චර වටිනවද කියනවා නම් ඔහු ඔවුන් වෙනුවෙන් තමන්ගේ ජීවිතයත් දුන්නා. (යොහ. 10:11) යේසුස් ඔවුන්ව “මිල දී ගත්තේ” ඔහුගේ ‘අනර්ඝ ලේවලිනුයි.’ (1 කොරි. 6:20; 1 පේතෘ. 1:18, 19) තමන්ගේ නායකයා “උතුම් බැටළු එඬේරා” වන යේසුස් කියලා වැඩිමහල්ලන් හැම වෙලාවකම මතක තියාගන්න එක වැදගත්. තමන් යටතේ ඉන්න රැළට සලකන විදිහ ගැන ඔවුන් යේසුස්ට වග කියන්න ඕනෙ.—හෙබ්‍රෙ. 13:20.

4. අපි මේ ලිපියේ බලන්නේ මොනවා ගැනද?

4 වැඩිමහල්ලන් බැටළුවන්ට සලකන්න ඕනෙ කොහොමද? “ඔබ අතරෙහි පෙරමුණ ගෙන ක්‍රියා කරන අයට කීකරු වන්න” කියලා සභාවේ අයට කියන අතරෙම ‘දෙවිට අයිති අය කෙරෙහි අනිසි ලෙස බලය නොපවත්වන්න’ කියලා වැඩිමහල්ලන්ටත් යෙහෝවා දෙවි කියනවා. (හෙබ්‍රෙ. 13:17; 1 පේතෘස් 5:2, 3 කියවන්න.) තමන්ට දෙවි දීලා තියෙන අධිකාරිය ඉක්මවලා වැඩ කරන්නේ නැතුව ඉන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද?

“ඔහු බැටළු පැටවුන්ව වඩාගෙන තම තුරුලට ගන්නේය”

5. යෙසායා 40:11න් අපිට යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න පුළුවන් මොනවද?

5 යෙහෝවා දෙවි ගැන යෙසායා අපේ හිතේ අඳින්නේ මොන තරම් කදිම චිත්‍රයක්ද! ඔහු කිව්වේ මෙහෙමයි. “එඬේරෙකු තම රැළ බලාගන්නාක් මෙන් දෙවි තම සෙනඟව රැකබලා ගන්නේය. ඔහු බැටළු පැටවුන්ව වඩාගෙන තම තුරුලට ගන්නේය. කිරි දෙන බැටළුදෙනුන්ව මහත් සැලකිල්ලකින් දක්කගෙන යන්නේය.” (යෙසා. 40:11) දුර්වල, අසරණ අය ගැන යෙහෝවා දෙවි මොන තරම් සැලකිල්ලක් දක්වනවද! හොඳ එඬේරෙක් රැළේ ඉන්න එක් එක් බැටළුවගේ හැම පුංචි අවශ්‍යතාවක් ගැනම හොඳට දන්නවා. ඒ වගේ යෙහෝවා දෙවිත් සභාවේ ඉන්න එක් එක් සාමාජිකයාගේ අවශ්‍යතාවන් ගැන හොඳට දන්නවා. ඔහු ඔවුන්ට උදව් කරන්න බලාගෙන ඉන්නේ හරිම ආශාවෙන්. එඬේරෙක් අලුත උපන් බැටළු පැටියෙක්ව තමන්ගේ ළයට තුරුලු කරගෙන ආදරයෙන් වඩාගෙන යනවා වගේ අපි ප්‍රශ්නවලට මුහුණ දීලා ඉන්නකොට “මහත් දයාවක් පෙන්වන පියාණන්” වන යෙහෝවා දෙවිත් අපිට අවශ්‍ය සහනය, සැලකිල්ල ආදරයෙන් ලබා දෙනවා.—2 කොරි. 1:3, 4.

6. යෙහෝවා දෙවිව අනුකරණය කරන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද?

6 වැඩිමහල්ලනුත් තමන්ගේ බැටළුවන්ගේ අවශ්‍යතාවන් හොඳට හඳුනගෙන ඒවාට අවධානය දෙන්න ඕනෙ. ඔවුන්ට තියෙන ප්‍රශ්න ගැන වැඩිමහල්ලෙක් දැනගෙන හිටියොත් විතරයි දෙන්න ඕනෙ උපකාර මොනවද කියලත් ඒක දෙන්න ඕනෙ මොන වගේ වෙලාවකදීද කියලත් තේරුම්ගන්න පුළුවන් වෙන්නේ. (හිතෝ. 27:23) වැඩිමහල්ලන් නිතරම තමන්ගේ සහෝදර සහෝදරියන් එක්ක කතාබහ කරන්න, ඔවුන්ට ඇහුම්කන් දෙන්න කාලය හොයාගන්න ඕනෙ. සභාවේ අය ගැන හොඳ සැලකිල්ලෙන් ඉඳලා “යම් උපකාර අවශ්‍ය අයට” උදව් කරන්න වැඩිමහල්ලන් උත්සාහ කරනවා. ඒකෙන් අදහස් කරන්නේ වැඩිමහල්ලන් සභාවේ අයගේ පෞද්ගලික දේවලට ඇඟිලි ගහනවා කියන එක නෙවෙයි, ඔවුන්ට උදව් කරන්න විමසිල්ලෙන් බලාගෙන ඉන්නවා කියන එකයි.—ක්‍රියා 20:35; 1 තෙස. 4:11.

7. (අ) අතීතයේ හිටපු එඬේරුන් දෙවිගේ රැළට සැලකුවේ කොහොමද? (ආ) ඒ එඬේරුන්ව දෙවි ප්‍රතික්ෂේප කරපු එකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

7 එසකියෙල්ගේ හා යෙරෙමියාගේ කාලයේ හිටපු එඬේරුන්ව දෙවි ප්‍රතික්ෂේප කළා. ඔවුන් ගැන දෙවි මෙහෙම කිව්වා. “මාගේ බැටළුවන්ව රැකබලා ගැනීමට කිසි එඬේරෙක් සිටියේ නැත. එහෙයින් වනමෘගයෝ ඇවිත් මාගේ බැටළුවන්ව ඩැහැගෙන ගොස් උන්ව කා දැමුවෝය. එහෙත් මාගේ බැටළුවන් සොයාගැනීමට එඬේරුන් කිසිම උත්සාහයක් ගත්තේ නැත. ඔවුහු තමන්වම පෝෂණය කරගන්නවා මිසක මාගේ බැටළුවන්ව පෝෂණය කරන්නේ නැත.” ඒ එඬේරුන් තමන් ගැන විතරක් හිතන, කෑදර අය වුණ නිසා සෙනඟ හුඟක් දුක් වින්දා. (එස. 34:7-10; යෙරෙ. 23:1) ක්‍රිස්තියානියයි කියාගන්නා ආගම්වලට අයත් නායකයන්ව දෙවි ප්‍රතික්ෂේප කරලා තියෙන්නෙත් ඒ හේතු නිසාමයි. ඒකෙන් වැඩිමහල්ලන්ට ගන්න පුළුවන් පාඩම තමයි දෙවිගේ රැළ ආදරයෙන් රැකබලා ගන්න එක අත්‍යවශ්‍ය දෙයක් කියන එක.

‘ඔබට අනුගමනය කරන්න මම තබන ආදර්ශය’

8. සභාවේ අයට යම් මඟ පෙන්වීම් දෙද්දී වැඩිමහල්ලන්ට යේසුස්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

8 කවුරුත් පරිපූර්ණ නැති නිසා යෙහෝවා දෙවි තමන්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් හරියට තේරුම්ගන්නේ නැතුව ක්‍රියා කරන අය සභාවේ ඉන්න පුළුවන්. සමහරවිට ඔවුන් බයිබල් ප්‍රතිපත්තිවලට පටහැනි තීරණ ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔවුන් වැඩ කරන විදිහෙන් ඔවුන් අවබෝධයෙන් ක්‍රියා නොකරන අය කියලා පේන්න පුළුවන්. ඒ වගේ වෙලාවලදී වැඩිමහල්ලන් මොනවද කරන්න ඕනෙ? යේසුස් ගෝලයන් ගැන ඉවසුවා වගේ ඔවුනුත් ඉවසන්න ඕනෙ. යේසුස්ගේ ගෝලයෝ උතුම්ම තැනැත්තා කවුද කියලා නිතරම වගේ වාද කළා. ඒත් යේසුස් තරහෙන් ඔවුන්ට බැණවැදුණේ නැහැ. ඒ වෙනුවට නිහතමානී අය වෙන එකේ වටිනාකම ගැන ඔවුන්ට ආදරයෙන් කියලා දුන්නා. (ලූක් 9:46-48; 22:24-27) ඔහු ඔවුන්ගේ පාද සේදුවෙත් ඒ ගැන කියලා දෙන්නයි. අද ඉන්න වැඩිමහල්ලනුත් ඒ වගේ නිහතමානී වෙන එක අත්‍යවශ්‍යයි.—යොහන් 13:12-15 කියවන්න; 1 පේතෘ. 2:21.

9. නියෝජිතයන් වෙනස් කරගන්න ඕනෙ වුණේ කුමන ආකල්පයද?

9 එඬේරෙක් කියන්නේ අනිත් අයව පාලනය කරන කෙනෙක් කියලයි යාකොබ් හා යොහන් හිතුවේ. එක අවස්ථාවක ඔවුන් දේවරාජ්‍යයේ උසස්ම තනතුරු යේසුස්ගෙන් ඉල්ලුවා. ඒත් ඔවුන්ගේ ඒ වැරදි ආකල්ප හදාගෙන ඔවුන් හිතපු විදිහ වෙනස් කරගන්න යේසුස් ඔවුන්ට උදව් කළා. ඔහු කිව්වේ මෙහෙමයි. “විවිධ ජාතීන්ව පාලනය කරන අය තම තනතුරුවල වැජඹෙමින් සිටින බවත් බලධාරීන් තමන් යටතේ සිටින්නන් කෙරෙහි දැඩි ලෙස තම අණසක පතුරුවන බවත් ඔබ දන්නවා. නමුත් ඔබ අතරේ එවැනි දෙයක් සිදු නොවිය යුතුයි. ඔබ අතරෙහි උතුම් වෙන්න ඕනෑ කරන යමෙක් සිටිනවා නම් ඔහු ඔබේ සේවකයා විය යුතුයි.” (මතෙ. 20:25, 26) තම සහෝදරයන් කෙරෙහි “අනිසි ලෙස බලය” පවත්වන්න, ඒ කියන්නේ කරන්න ඕනෙ මොනවද නොකරන්න ඕනෙ මොනවද කියලා තමන්ගේ සහෝදරයන්ට කියන්න නියෝජිතයන්ට තිබුණ කැමැත්ත නැති කරගන්න එක අත්‍යවශ්‍ය දෙයක් වුණා.

10. වැඩිමහල්ලන් සභාවේ අයට සලකන්න ඕනෙ කොහොමද? පාවුල් ඔවුන්ට ආදර්ශයක් වුණේ කොහොමද?

10 යේසුස් තමන්ගේ රැළට දැක්වුවා වගේ සැලකිල්ලක් වැඩිමහල්ලනුත් දක්වයි කියලා යේසුස් බලාපොරොත්තු වෙනවා. පාලකයන් විදිහට වැඩ කරනවා වෙනුවට සභාවේ අයට සේවය කරන්න ඔවුන් තුළ කැමැත්තක් තියෙන්න ඕනෙ. පාවුල් කියන්නේ යේසුස් වගේම නිහතමානීව සේවය කරපු කෙනෙක්. ඔහු එෆීසයේ වැඩිමහල්ලන්ට කිව්වේ “ආසියා පළාතට පය තැබූ මුල් දවස පටන් මම සිටියේ ඔබ සමඟයි කියා ඔබ හොඳින්ම දන්නවා. මම ස්වාමීන් වෙනුවෙන් ඉතා නිහතමානීව දාසයෙක් මෙන්” සේවය කළා කියලයි. පාවුල්ට අවශ්‍ය වුණේ ඒ වැඩිමහල්ලනුත් නිහතමානීව, මහන්සි වෙලා වැඩ කරනවා දකින්නයි. “යම් උපකාර අවශ්‍ය අයට” උදව් කරන විදිහ ඔහු ආදර්ශයෙන්ම පෙන්නුවා. (ක්‍රියා 20:18, 19, 35) ඔහු සහෝදරයන්ගේ විශ්වාසයට බලපෑම් කරන පාලකයෙක් නෙවෙයි කියලත් ඒ වෙනුවට ඔවුන් සමඟ හවුලේ දෙවිට සේවය කරනවා කියලත් පාවුල් කිව්වා. ඔහුට ඕනෙ වුණේ සතුටින් දෙවිට සේවය කරන්න අනිත් අයට උදව් කරන්නයි. (2 කොරි. 1:24) නිහතමානීව මහන්සි වෙලා වැඩ කරන එක ගැන අද ඉන්න වැඩිමහල්ලන්ට පාවුල් කදිම ආදර්ශයක්.

‘සත්‍ය පණිවිඩයට තදින් ඇලී සිටින්න’

11, 12. සහෝදරයෙක්ට යම් තීරණයක් ගන්න උදව් කරද්දී වැඩිමහල්ලන් කරන්න ඕනෙ මොනවද?

11 වැඩිමහල්ලන් යම් මඟ පෙන්වීම් දෙද්දී ඒකට පදනම කරගන්න ඕනෙ “සත්‍ය පණිවිඩය” ඇතුළත් බයිබලයයි. (තීත. 1:9) ඒ වගේම ඒ උපදෙස් “මෘදුකමින්” දෙන එකත් අවශ්‍යයි. (ගලා. 6:1) ‘මෙහෙම කරන්න,’ ‘අර විදිහට කරන්න’ කියනවා වෙනුවට හොඳ වැඩිමහල්ලෙක් නිතරම උත්සාහ කරන්නේ දෙවිටත් ඔහුගේ වචනයටත් තියෙන ආදරය පදනම් කරගෙන තීරණ ගන්න සහෝදරයන්ට උදව් කරන්නයි. උදාහරණයකට වැදගත් තීරණයක් ගන්න සහෝදරයෙකුට උදව් කරන්න වැඩිමහල්ලෙකුට සිද්ධ වුණා කියලා හිතමු. ඊට අදාළ බයිබල් ප්‍රතිපත්ති ගැනත් ප්‍රකාශනවල තියෙන තොරතුරු ගැනත් වැඩිමහල්ලා ඔහුත් එක්ක කතා කරනවා. ඔහු ඉදිරියේ තේරීම් කිහිපයක්ම තියෙන්න පුළුවන්. ඔහු මොන තීරණය ගත්තත් යෙහෝවා දෙවි එක්ක ඔහුට තියෙන බැඳීමට ඒ තේරීම් කොහොම බලපායිද කියලා හිතන්නත් ඒ සහෝදරයට උදව් කරනවා. තීරණයක් ගන්න කලින් දෙවිගේ මඟ පෙන්වීම් ඉල්ලන එකේ වටිනාකම ගැනත් වැඩිමහල්ලා ඔහුට මතක් කරනවා. (හිතෝ. 3:5, 6) ඊටපස්සේ තීරණයක් ගන්න ඒ සහෝදරයටම ඉඩ දෙනවා.—රෝම 14:1-4.

12 වැඩිමහල්ලෙක් ඒ විදිහට දේවල් කරන්න ඕනෙ ඇයි? ඒකට හේතුව සහෝදරයන් වෙනුවෙන් තීරණ ගන්න වැඩිමහල්ලන්ට අධිකාරියක් නැති නිසයි. මොකද බැටළුවෝ අයිති යෙහෝවා දෙවිටයි. ඒ වගේම අපි එක් එක් කෙනා ගන්න තීරණවලට අන්තිමේදී යෙහෝවා දෙවි හා යේසුස් ඉදිරියේ වග කියන්න වෙන්නේ අපිටමයි. (ගලා. 6:5, 7, 8) ඒ නිසා වැඩිමහල්ලෙක් බයිබලය හොඳින් යොදාගෙන ඒ මත පදනම් උපදෙස් දෙන එක හුඟක් වැදගත්. එහෙම කරද්දී දෙවි තමන්ට දීලා තියෙන අධිකාරිය ඉක්මවලා වැඩ කරන්නේ නැතුව ඉන්න ඔවුන්ට පුළුවන් වෙනවා.

‘රැළට ආදර්ශයක් වෙන්න’

සේවයේ හවුල් වෙන්න වැඩිමහල්ලන් පවුලේ අයට උදව් කරනවා (13 ඡේදය බලන්න)

13, 14. වැඩිමහල්ලන් රැළට ආදර්ශයක් තියන්න ඕනෙ මොන වගේ පැතිවලින්ද?

13 පේතෘස් කිව්වේ ‘අනිසි ලෙස බලය පවත්වනවා වෙනුවට රැළට ආදර්ශයක්’ වෙන්න කියලයි. (1 පේතෘ. 5:3) ඒක කරන්නේ කොහොමද? වැඩිමහල්ලෙක්ට තියෙන්න ඕනෙ සුදුසුකම් දෙකක් ගැන ටිකක් බලමු. මුලින්ම ඔහු “හොඳ සිහිකල්පනාවෙන් වැඩ කරන” කෙනෙක් වෙන්න ඕනෙ. ඒ කියන්නේ ඔහුට බයිබල් ප්‍රතිපත්ති ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනෙ වගේම එදිනෙදා ජීවිතයට ඒවා අදාළ කරගන්නේ කොහොමද කියලත් ඔහු හොඳින් දැනගෙන ඉන්න ඕනෙ. අසීරු වෙලාවලදී සන්සුන්ව ඉන්න එකත් තීරණයක් ගන්න කලින් හොඳට හිතලා බලන එකත් ඔහුගෙන් බලාපොරොත්තු වෙනවා. “තමාගේ නිවසේ සිටින අයව හොඳින් හසුරුවන” කෙනෙක් වෙන එකත් වැඩිමහල්ලෙකුට තිබිය යුතු තවත් සුදුසුකමක්. වැඩිමහල්ලෙක්ට දරු පවුලක් ඉන්නවා නම් ඔහු හොඳ සැමියෙක් වගේම හොඳ පියෙක් වෙන එක අත්‍යවශ්‍යයි. “තමාගේම නිවසේ සිටින අයව රැකබලා ගන්න යමෙකු දන්නේ නැත්නම් ඔහු දෙවිගේ සභාව රැකබලා ගන්නේ කෙසේද?” (1 තිමෝ. 3:1, 2, 4, 5) වැඩිමහල්ලන් ගැන සභාවේ අයට ලොකු විශ්වාසයක් තියෙන්නේ ඔවුන්ට ඒ වගේ සුදුසුකම් තියෙන නිසයි.

14 වැඩිමහල්ලන් රැළට ආදර්ශයක් වෙන තවත් පැත්තක් තමයි යේසුස් වගේ දේශනා සේවයේ මූලිකත්වය අරන් වැඩ කරන එක. දේශනා සේවය යේසුස්ගේ ජීවිතයේ ප්‍රධාන තැනක් ගත්තා විතරක් නෙවෙයි ඒ සේවය කරන්නේ කොහොමද කියලත් ඔහු තමන්ගේ අනුගාමිකයන්ට ඉගැන්නුවා. (මාක් 1:38; ලූක් 8:1) දේවසේවයේදී වැඩිමහල්ලන් උගන්වන විදිහෙන් සභාවේ අය හුඟක් දේවල් ඉගෙනගන්නවා. ඒ නිසා වැඩිමහල්ලන් එක්ක සේවයේ යන්න ඔවුන් කැමතියි. කොතරම් වැඩ තිබුණත් වැඩිමහල්ලන් නිතිපතා දේශනා සේවයේ හවුල් වෙනවා නම් ඔවුන්ගේ උද්‍යෝගය සභාවේ අයටත් බෝ වෙනවා. ඒ වගේම රැස්වීම්වලට හොඳින් සූදානම් වෙන එකෙන්, අර්ථවත් පිළිතුරු දෙන එකෙන්, නමස්කාර මධ්‍යස්ථානය පිරිසිදු කිරීම්වලට හවුල් වෙන එකෙන් ආදර්ශයක් වෙන්න වැඩිමහල්ලන්ට පුළුවන්.—එෆී. 5:15, 16; හෙබ්‍රෙව් 13:7 කියවන්න.

දේශනා සේවයේ හවුල් වීමෙන් වැඩිමහල්ලන් රැළට ආදර්ශයක් වෙනවා (14 ඡේදය බලන්න)

“දුර්වල වී සිටින අයට උපකාර කරන්න”

15. සභා සාමාජිකයන්ව හමු වී දිරිගැන්වීමේ සැලැස්ම හුඟක් වටින එකක් කියලා කියන්නේ ඇයි?

15 බැටළුවෙක් තුවාල වුණොත් නැත්නම් අසනීප වුණොත් හොඳ එඬේරෙක් ඉක්මනින්ම ඒ වෙනුවෙන් යමක් කරනවා. ඒ වගේ වැඩිමහල්ලනුත් යම් ප්‍රශ්නයක් නිසා දුකෙන් ඉන්න, යම් උපදෙස්, දිරිගැන්වීම් අවශ්‍ය අයට උදව් කරන්න ඉක්මනින්ම පියවර ගන්නවා. මහලු වයස නිසා, අසනීප නිසා දුක් විඳින අයට ඔවුන්ගේ එදිනෙදා වැඩ කරගන්න උදව් කරනවට අමතරව වැඩිමහල්ලන් විශේෂයෙන්ම උත්සාහ කරන්නේ දේවවචනයෙන් සහනය හා දිරිගැන්වීම් ඔවුන්ට ලබා දෙන්නයි. (1 තෙස. 5:14) සභාවේ ඉන්න යෞවනයන්ට “යොවුන් වියට ආවේණික වූ ආශාවන්” එක්ක සටන් කරන්න සිද්ධ වෙනවා. (2 තිමෝ. 2:22) ඒ අය ඇතුළු සභාවේ හැමෝටම උදව් කරන්න සභා සාමාජිකයන්ව හමු වී දිරිගැන්වීමේ සැලැස්ම වැඩිමහල්ලන් යොදාගන්නවා. ඒ වගේ අවස්ථාවලදී ඔවුන්ට තියෙන ප්‍රශ්න තේරුම් අරන් බයිබලයෙන් ඔවුන්ට අවශ්‍ය දිරිගැන්වීම් දෙන්න වැඩිමහල්ලන් උත්සාහ කරනවා. සභාවේ අයට උදව් කරන්න වැඩිමහල්ලන් ඒ විදිහට ඉක්මනින්ම පියවර ගන්නවා නම් බරපතළ ප්‍රශ්න ඇති වෙන එක හුඟක් දුරට අඩු කරගන්න පුළුවන්.

16. සභාවේ කෙනෙක් බරපතළ ප්‍රශ්නයකට මුහුණ දෙද්දී වැඩිමහල්ලන් කරන්නේ ඕනෙ මොනවද?

16 සහෝදරයෙක්ට දෙවි එක්ක තියෙන බැඳීම දුර්වල කරන තරමට බරපතළ ප්‍රශ්නයක් තියෙනවා නම් මොනවද කරන්නේ? යාකොබ් කිව්ව දේ බලන්න. “ඔබ අතරෙහි කෙනෙක් යම් අසනීපයකින් සිටීද? එවැනි අවස්ථාවකදී ඔහු සභාවෙහි සිටින වැඩිමහල්ලන්ව කැඳවිය යුතුයි. එවිට යෙහෝවා දෙවිගේ නාමයෙන් ඔහුට තෙල් ආලේප කරමින් ඔහු වෙනුවෙන් යාච්ඤා කිරීමට ඔවුන්ට පුළුවන. විශ්වාසයකින් යුතුව ඉදිරිපත් කරන යාච්ඤාව මගින් අසනීපයෙන් සිටින පුද්ගලයා සනීප වන අතර යෙහෝවා දෙවි ඔහුව නැවත ශක්තිමත් කරයි. එලෙසම ඔහු යම් පාපයක් කර ඇත්නම් ඒවා සඳහාත් ඔහුට සමාව ලැබේ.” (යාකො. 5:14, 15) “අසනීපයකින්” ඉන්න සහෝදරයෙක් ‘වැඩිමහල්ලන්ව කැඳවලා’ ඒ ගැන කිව්වේ නැතත් ඔහු ඉන්න තත්වය ගැන දැනගත්තම ඔහුට උදව් කරන්න වැඩිමහල්ලන් ඉක්මනින්ම පියවර ගන්න ඕනෙ. තමන්ගේ සහෝදරයන් යම් අසීරුතාවලට මුහුණ දීලා ඉද්දී ඔවුන් එක්ක යාච්ඤා කරන්න නැත්නම් ඔවුන් වෙනුවෙන් යාච්ඤා කරන්න, ඔවුන්ට උදව් කරන්න වැඩිමහල්ලන් උත්සාහ කරනවා. එහෙම කරද්දී ඒකෙන් ඔප්පු වෙන්නේ ඔවුන් හොඳ එඬේරුන් කියන එකයි.—යෙසායා 32:1, 2 කියවන්න.

17. වැඩිමහල්ලන් ‘උතුම් බැටළු එඬේරාව’ ආදර්ශයට ගද්දී සභාවට ලැබෙන ප්‍රයෝජන මොනවද?

17 වැඩිමහල්ලන් නිතරම “උතුම් බැටළු එඬේරා” වන යේසුස්ව ආදර්ශයට ගන්න හුඟක් මහන්සි වෙනවා. මේ විශ්වාසවන්ත සහෝදරයන් සභාවේ අයව ශක්තිමත් කරනවා වගේම දෙවිට විශ්වාසවන්තව සේවය කරන්න සභාවේ හැමෝටම උදව් කරනවා. මේ ප්‍රේමණීය එඬේරුන්ටත් අපේ ශ්‍රේෂ්ඨ එඬේරා වන යෙහෝවා දෙවිටත් අපි මොන තරම් ස්තුති වන්ත වෙන්න ඕනෙද!