Skip to content

පටුනට යන්න

ගෙහිමියෙකු සමඟ සාකච්ඡාවක්

දුක් වේදනා පවතින්න දෙවියන් ඉඩ දීලා තියෙන්නේ ඇයි?

දුක් වේදනා පවතින්න දෙවියන් ඉඩ දීලා තියෙන්නේ ඇයි?

පහත සඳහන් වෙන්නේ අනුරාධා කියන කාන්තාව හා මිෂෙල් කියන යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරිය අතර ඇති වුණු සංවාදයක්. මේ සංවාදය සිදු වෙන්නේ අනුරාධාගේ නිවසෙදියි.

අපේ දුක දෙවියන්ට දැනෙනවාද?

මිෂෙල්: අනුරාධා කොහොමද? මට හිතුණා ඔයාව ටිකක් බලලා යන්න.

අනුරාධා: එන්න ඇතුළට.

මිෂෙල්: කොහොමද අනුරාධා දැන් අම්මට?

අනුරාධා: සමහර දවස්වලට හොඳයි. සමහර දවස්වලට ටිකක් අමාරුයි. ඒත් අද නම් හොඳින් ඉන්නවා.

මිෂෙල්: ඒක හොඳයි! මතකද ගිය සැරේ අපි කතා කළා දෙවියන්ට අපේ දුක දැනෙනවද කියලා? * අම්මට වෙච්ච අනතුරෙන් පස්සේ ඔයාත් ඒ ගැන ගොඩක් හිතන්න පටන්ගත්තා කියලා එදා ඔයා කිව්වා.

අනුරාධා: ඔව් අනේ! වෙලාවකට මම හිතනවා අම්මා තව කොච්චර කාලයක් මේ විදිහට දුක් විඳියිද කියලා.

මිෂෙල්: ඇත්ත තමයි, මේ වගේ දේකට මූණ දෙන එක ලේසි නෑ. මතකද ගිය සැරේ මං කිව්වා, දෙවියන්ට බලය තිබිලත් තාම දුක් වේදනා නැති කරලා නැත්තේ හොඳ හේතුවක් ඇතුව කියලා. අද මම ආවේ ඒ හේතුව ගැන කියන්න.

අනුරාධා: ඒක හොඳයි.

මිෂෙල්: මං කැමතියි ඊට කලින් එදා අපි කතා කරපු තොරතුරු ටිකක් මතක් කරන්න.

අනුරාධා: හා කමක් නෑ.

මිෂෙල්: මතකද මම කිව්වා දෙවියන් දුක් වේදනාවලට ඉඩ දීලා තියෙන්නේ ඇයි කියලා සමහරු දෙවියන්ගෙන් ප්‍රශ්න කළා කියලා. එහෙම ඇහුවා කියලා දෙවියන් බැන්නෙත් නෑ, විශ්වාසය අඩුයි කියලා කිව්වෙත් නෑ.

අනුරාධා: ඔව්. මම ඒක එදා තමයි දැනගත්තේ.

මිෂෙල්: ඒ වගේම අපි එදා දැනගත්තා මිනිස්සු දුක් විඳිනවට දෙවියන් කැමති නැහැ කියලා. අපි බයිබලෙන් බැලුවා දෙවියන්ගේ සේවකයන් දුක් විඳිනවා දකිද්දී ‘දෙවියන්ටත් ඒ දුක දැනුණා කියලා.’ * අපේ දුක දෙවියන්ට දැනෙන එක අපිට ලොකු සහනයක් නේද?

අනුරාධා: ඔව් ඒක ලොකු සහනයක්.

මිෂෙල්: දෙවියන් කොච්චර බලවත් කෙනෙක්ද කිව්වොත් ඕනම මොහොතක අපි විඳින දුක් වේදනා නැති කරන්න දෙවියන්ට පුළුවන් කියලත් අපි එදා කතා කළා.

අනුරාධා: ඒක තමයි මටත් තේරුම්ගන්න අමාරු. දෙවියන් බලවත් කෙනෙක් වෙලත් ඇයි මිනිස්සු දුක් විඳිනවා බලාගෙන ඉන්නේ? ඇයි ඒක ඉවරයක් කරන්නේ නැත්තේ?

කවුද ඇත්ත කිව්වේ?

මිෂෙල්: ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ බයිබලේ උත්පත්ති පොතෙන් අපිට හොයාගන්න පුළුවන්. ඔයා අහලා තියෙනවද ආදම් හා ඒව තහනම් ගහෙන් ගෙඩි කාපු එක ගැන?

අනුරාධා: ඔව්. පල්ලි ගිය කාලේ මං ඉගෙනගත්තා දෙවියන් කන්න එපා කියලා කියපු ගහෙන් ඒගොල්ලො කෑවා කියලා.

මිෂෙල්: ඒ සිද්ධිය ගැන අපි ටිකක් බලමු. එතකොට දෙවියන් දුක් විඳින්න ඉඩ දීලා තියෙන්නේ ඇයි කියන ප්‍රශ්නෙට උත්තරේ අපිට දැනගන්න පුළුවන්. ඔයාට පුළුවන්ද උත්පත්ති 3වෙනි පරිච්ඡේදේ එකේ ඉඳලා පහට කියවන්න?

අනුරාධා: හා මං කියවන්නම්. “යෙහෝවා දෙවි සෑදූ සියලු සතුන්ට වඩා සර්පයා සුපරීක්ෂාකාරී විය. ඌ ස්ත්‍රියට කතා කර මෙසේ ඇසුවේය. ‘උයනේ ගස්වලින් කන්න එපා කියා දෙවි ඔබට පැවසූ බව ඇත්තද?’ එවිට ස්ත්‍රිය සර්පයාට මෙසේ කීවාය. ‘උයනේ ගස්වල පලතුරු කන්න අපිට පුළුවන්. නමුත් උයන මැද තියෙන ගහේ පලතුරු කන්න අපිට බැහැ. “ඒ ගහට අත තබන්නවත් එහි පලතුරු කන්නවත් එපා. එසේ කළොත් ඔබ මිය යනවා” කියා දෙවි අපිට පැවසුවා.’ එවිට සර්පයා ස්ත්‍රියට මෙසේ කීවේය. ‘ඔබ කවදාවත් මිය යන්නේ නැහැ. එයින් කන දවසේම ඔබේ ඇස් ඇරෙන බවත් ඔබ හොඳ හා නරක දැනගෙන දෙවිට සමාන වන බවත් දෙවි දන්නේය.’”

මිෂෙල්: හරි අනුරාධා. දැන් මම ඒ බයිබල් පද ටික විස්තර කරන්නම්. ඒකේ කියන්නේ සර්පයෙක් ඒව එක්ක කතා කළා කියලයි. බයිබලේ තව තැනක පැහැදිලිවම පෙන්නනවා සර්පයෙක් මාර්ගයෙන් ඒවට කතා කළේ යක්ෂයා කියලා. * සාතන් කියන්නෙත් එයාටයි. ඒවට දෙවියන් කන්න එපා කියලා කියපු ගහ ගැන සාතන් ඒවගෙන් ප්‍රශ්න කළා. ඒ ගහෙන් කෑවොත් එයාලට ලැබෙන දඬුවම මොකක් කියලද දෙවියන් කියලා තිබුණේ?

අනුරාධා: එයාලා මැරෙනවා කියලයි දෙවියන් කියලා තිබුණේ.

මිෂෙල්: හරි. එත් සාතන් කිව්වේ ඒ ගහෙන් ගෙඩි කෑවොත් “ඔබ කවදාවත් මිය යන්නේ නැහැ” කියලයි. ඒකෙන් එයා ඇඟෙව්වේ දෙවියන් බොරු කියන කෙනෙක් කියලයි. ඒක දෙවියන්ට කරපු ලොකු චෝදනාවක්.

අනුරාධා: මම ඒක දැනගෙන හිටියේ නෑනේ.

මිෂෙල්: දෙවියන් බොරු කියනවා කියලා සාතන් කරපු ඒ චෝදනාවට උත්තර දෙන්න දෙවියන් කාලය ගත්තා. ඔයා දන්නවද ඒ ඇයි කියලා?

අනුරාධා: නෑ මං දන්නේ නෑ.

මිෂෙල්: මං ඔයාට උදාහරණයක් කියන්නම්. හිතන්න දවසක් මං ඔයාට කියනවා ඔයාට වඩා මම ශක්තිමත් කියලා. ඔයා කොහොමද මං කිව්ව දේ වැරදියි කියලා ඔප්පු කරන්නේ?

අනුරාධා: බර දෙයක් උස්සලා බැලුවා නම් හරිනේ.

මිෂෙල්: හරියට හරි. ඒකෙන් වැඩියෙන් ශක්තිමත් කවුද කියලා ඉක්මනින්ම ඔප්පු වෙනවා.

අනුරාධා: ඔව් ඒක ඇත්ත.

මිෂෙල්: හැබැයි ටිකක් හිතන්න මං ඔයාට වඩා ශක්තිමත් කියනවා වෙනුවට, මං ඔයාට වඩා අවංකයි කියලා කිව්වොත් මම කියන දේ වැරදියි කියලා එක දවසින් ඔප්පු කරන්න පුළුවන්ද?

අනුරාධා: බැහැ නේද?

මිෂෙල්: ඔව්. ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න නම් කාලය ඕනේ. එතකොට තමයි අනිත් අයට තීරණය කරන්න පුළුවන් වෙන්නේ අපි දෙන්නගෙන් ඇත්තටම අවංක කවුද කියන එක.

අනුරාධා: ඒක ඇත්ත.

මිෂෙල්: උත්පත්ති පොතෙන් කියවපු කොටස අපි ආපහු ටිකක් බලමුද? සාතන් කිව්වේ එයා දෙවියන්ට වඩා බලවත් කියලද?

අනුරාධා: නෑ.

මිෂෙල්: සාතන් එහෙම කිව්වා නම් දෙවියන්ට පුළුවන් සාතන් බොරුකාරයෙක් කියලා ලේසියෙන්ම ඔප්පු කරන්න. ඒත් සාතන් එතනදි පෙන්නන්න හැදුවේ එයා දෙවියන්ට වඩා අවංකයි කියලයි. ඒකෙන් ඇඟෙව්වේ ‘දෙවියන් ඔයාලට බොරු කියනවා, මම තමයි ඇත්ත කියන්නේ’ කියලයි.

අනුරාධා: ඇත්තද?

මිෂෙල්: දෙවියන් දැනගෙන හිටියා මේ චෝදනාවට උත්තර දෙන්න පුළුවන් හොඳම විදිහ කාලයට ඉඩ දෙන එක කියලා. එතකොට කවුද ඇත්ත කිව්වේ, කවුද බොරු කිව්වේ කියලා ඔප්පු වෙනවා.

වැදගත් ප්‍රශ්නයක්

අනුරාධා: ඒත් ඒව මැරුණ වෙලාවෙම දෙවියන් තමයි ඇත්ත කිව්වේ කියලා ඔප්පු වුණා නේද?

මිෂෙල්: එක පැත්තකින් ඒක හරි තමයි. ඒත් සාතන්ගේ චෝදනාවට ඊට වඩා දේකුත් තියෙනවා. ආයිත් උත්පත්ති තුනේ පහ ටිකක් බලන්න. සාතන් තවත් මොනවද ඒවට කිව්වේ?

අනුරාධා: දෙවියන් කන්න එපා කියපු ගහෙන් ගෙඩි කෑවොත් ඒවගේ ඇස් ඇරෙනවා කිව්වා.

මිෂෙල්: ඔව්! ඒ විතරක් නෙමෙයි ‘ඔබ හොඳ හා නරක දැනගෙන දෙවිට සමාන වෙනවා’ කියලත් සාතන් කිව්වා. ඒකෙන් සාතන් කිව්වේ මිනිස්සුන්ට ලැබෙන්න ඕන හොඳ දෙයක් දෙවියන් නොදී ඉන්නවා කියලයි.

අනුරාධා: ඇත්ත නේන්නම්.

මිෂෙල්: ඒක සාතන් දෙවියන්ට කරපු තවත් චෝදනාවක්.

අනුරාධා: ඇයි එහෙම කියන්නේ?

මිෂෙල්: මිනිස්සුන්ට හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙන්නේ දෙවියන්ගේ පාලනයෙන් ඈත් වුණොත් විතරයි කියලා සාතන් ඒවට කියපු දෙයින් ඇඟෙව්වා. මේ චෝදනාවට උත්තර දෙන්න දෙවියන් හොඳ ක්‍රමයක් යෙදුවා. දෙවියන් සාතන්ට ඉඩ දුන්නා එයා කියපු දේ ඇත්තද කියලා පෙන්නන්න. ඒ නිසා මේ ලෝකය ටික කාලයකට පාලනය කරන්න සාතන්ට දෙවියන් ඉඩහැරියා. මේ ලෝකය අද පාලනය කරන්නේ දෙවියන් නෙමෙයි සාතන්. * අපිට මේ තරම් දුක් විඳින්න වෙලා තියෙන්නේ ඒ නිසයි. ඒත් අපිට සුබ ආරංචියක් තියෙනවා.

අනුරාධා: ඒ මොකද්ද?

මිෂෙල්: බයිබලේ දෙවියන් ගැන වටිනා කාරණා දෙකක් පෙන්නනවා. එකක් අපි දුක් වේදනාවලට මුහුණ දෙද්දී දෙවියන්ට ඒක දැනෙනවා කියන එක. ඒකට මම උදාහරණයක් ඔයාට පෙන්නන්නම්. දාවිත් රජ ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දුන්නා. එයා දෙවියන්ට යාච්ඤා කරද්දී කියපු දෙයක් බයිබලේ ලියලා තියෙනවා. ඒක තියෙන්නේ ගීතාවලිය 31:7. ඔයාට පුළුවන්ද ඒක කියවන්න?

අනුරාධා: එතන කියන්නේ “මම ප්‍රීති වෙමි. ඔබ මට පෙන්වන මහත් ප්‍රේමය ගැන මම ප්‍රීතියෙන් ඉපිල යන්නෙමි. මන්ද මා විඳින දුක ඔබ දුටුවෙහිය. මා මේ ජීවිතය තුළ මුහුණ දෙන සියලු කරදර ඔබ දන්නෙහිය” කියලයි.

මිෂෙල්: දාවිත් ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දුන්නත් ඒ හැම දෙයක්ම දෙවියන් දකිනවා කියන එක දාවිත් රජට ලොකු සැනසීමක් වුණා. ටිකක් හිතන්න අපි විඳින දුක, වේදනාව ගොඩක් වෙලාවට අනිත් අයට තේරුම්ගන්න බැහැ. ඒත් ඒක දෙවියන් දන්නවා කියලා දැනගත්තම ඒක ඔයාට සහනයක් නෙමෙයිද?

අනුරාධා: ඔව් ඒක නම් ලොකු සහනයක්.

මිෂෙල්: අනිත් වටින කාරණය තමයි අනුරාධා, දෙවියන් වැඩි කාලයක් මේ දුක් වේදනා තියෙන්න ඉඩ දෙන්නේ නැහැ කියන එක. බයිබලයේ පැහැදිලිවම කියනවා දෙවියන් ළඟදීම සාතන්ගේ මේ දුෂ්ට පාලනය නැති කරනවා කියලා. ඒ විතරක් නෙමෙයි හැම නරක දෙයක්ම දෙවියන් මේ පොළොවෙන් අයින් කරන්න යනවා. එදාට ඔයාත් ඔයාගේ අම්මත් විඳින දුක් වේදනාවන් සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඒක කොච්චර හොඳ කාලයක් වෙයිද! දෙවියන් ළඟදීම දුක් වේදනාවලට අවසානයක් ගේනවා කියලා අපි ස්ථිරවම කියන්නේ ඇයි කියලා මම කැමතියි ඊළඟ සතියේ ඇවිත් ඔයාට කියලා දෙන්න. * ඔයා කැමතිද ඒ ගැන දැනගන්න?

අනුරාධා: ඔව් මම කැමති ඒක දැනගන්න.

බයිබලයේ සඳහන් ඉගැන්වීම් ගැන ඔයාට යම් ප්‍රශ්නයක් තියෙනවද? නැත්නම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ආගමික විශ්වාසයන් ගැන ඔයාට ප්‍රශ්න තියෙනවද? එහෙමනම් සාක්ෂිකරුවන්ගෙන් ඒ ගැන අහන්න. ඒ ගැන ඔයාට පැහැදිලි කරලා දෙන්න එයාලා කැමතියි.

^ 59 ඡේ. වැඩි විස්තර දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ නමැති පොතේ 9වෙනි පරිච්ඡේදය බලන්න. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.