Skip to content

පටුනට යන්න

දුෂ්කර දවස් පැමිණෙන්න කලින් දෙවිව සිහි කරන්න

දුෂ්කර දවස් පැමිණෙන්න කලින් දෙවිව සිහි කරන්න

‘ඔබට ජීවිතය දුන් ශ්‍රේෂ්ඨ සැදුම්කරුව සිහි කරන්න.’දේශ. 12:1.

1, 2. (අ) සලමොන් රජ යෞවනයන්ට දුන්න උපදෙස මොකක්ද? (ආ) ඒ උපදෙස අදාළ කරගන්න පුළුවන් තව කාටද? ඒ ඇයි?

සලමොන් රජ යෞවනයන්ට කිව්වේ ‘ඔබට ජීවිතය දුන් ශ්‍රේෂ්ඨ සැදුම්කරුව ඔබේ යොවුන් වියේදීම සිහි කරන්න. ජීවිතයේ දුෂ්කර දවස් පැමිණීමට කලින් එසේ කරන්න’ කියලයි. “ජීවිතයේ දුෂ්කර දවස්” කියලා ඔහු අදහස් කළේ කෙනෙකුගේ මහලු වයසයි. තරුණ විය වියැකී ජීවිතයේ සැඳෑ සමය එළඹෙද්දී කෙනෙක්ට විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන්න වෙනවා. අත් පා වාරු නැති වීම, කුදු වීම, දත් වැටී යෑම, පෙනීම අඩු වීම, කන් නොඇසීම, පැසුණු හිසකේ වගේ දේවල් සලමොන් විස්තර කරන්නේ උපමාලංකාර යොදාගෙනයි. දෙවිට කරන සේවය පටන්ගන්න ඒ වගේ දුෂ්කර කාලයක් එනකල් බලා ඉන්න නම් අපි කාටවත් ඕනේ නැහැ.දේශනාකාරයා 12:1-5 කියවන්න.

2 ඔබත් අවුරුදු 50ක් හෝ ඊට ටිකක් වැඩි වයසක ඉන්න කෙනෙක්ද? ‘මගේ කෙස් නම් සුදු වෙලා තමයි. ඒත් සලමොන් විස්තර කරපු තරම් දුර්වල සෞඛ්‍යයක් තාම මට නැහැ. තාමත් මගේ අතේ පයේ හයිය තියෙනවා’ කියලා ඔබට හිතෙනවද? එහෙමනම් මේ ලිපිය ඔබටයි. ‘ඔබට ජීවිතය දුන් ශ්‍රේෂ්ඨ සැදුම්කරුව සිහි කරන්න’ කියලා යෞවනයන්ට දුන්න උපදෙස ඔබටත් අදාළයි.

3. අපේ නිර්මාතෘව සිහි කරන්න කියද්දී ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද?

3 ඔබ අවුරුදු ගාණක් තිස්සේ දෙවිට සේවය කරන කෙනෙක් වුණත් කලින් කලට අපේ උදාර නිර්මාතෘ ගැන හොඳින් හිතලා බලන එක අත්‍යවශ්‍ය දෙයක්. දෙවිගේ නිර්මාණ ගැන හිතන එක ඔහුව සිහි කරන්න පුළුවන් එක විදිහක්. ඔහු අපිව නිර්මාණය කරලා තියෙන්නේ මොන තරම් පුදුමාකාර විදිහටද! මිනිස් සිරුරේ තියෙන සංකීර්ණත්වය මිනිසුන්ට තවමත් තේරුම්ගන්න බැහැ. ජීවිතය සතුටින් ගත කරන්න යෙහෝවා දෙවි තවත් කොයි තරම් දේවල් නිර්මාණය කරලා තියෙනවද? දෙවිගේ නිර්මාණ ගැන හොඳින් හිතලා බලද්දී ඔහුගේ ප්‍රේමය, ප්‍රඥාව, බලය ගැන අපි තුළ තියෙන අගය තවත් වැඩි වෙනවා නේද? (ගීතා. 143:5) දෙවිව සිහි කරන එකට ඔහු වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දේවල් ගැන හිතන එකත් ඇතුළත්. අපේ ජීවිතය තියෙන තුරා අපේ උපරිමයෙන් දෙවිට සේවය කරන එක අපේ යුතුකමක් කියලා ඔබට හිතෙන්නේ නැද්ද?දේශ. 12:13.

ඔබ සතු අද්දැකීම් බෙදාගන්න

4. ජීවිතේ හුඟක් අද්දැකීම් තියෙන අයට තමන්ගෙන්ම අහගන්න පුළුවන් මොන වගේ ප්‍රශ්නයක්ද? ඒ ඇයි?

4 ‘මගේ ජීවිතේ ඉතුරු කාලේ මම මොනවද කරන්නේ’ කියලා ඔබෙන්ම අහලා බලන්න. දශක ගාණක් දෙවිට සේවය කරලා අද්දැකීම්වලින් පොහොසත් ඔබට, අනිත් අය වෙනුවෙන් හුඟක් දේවල් කරන්න පුළුවන් කියලා ඔබ දන්නවද? අවුරුදු ගාණක් තිස්සේ දෙවිගෙන් ඉගෙනගත්ත දේවල් තරුණ අයට කියලා දෙන්න. දෙවිට සේවය කරද්දී ඔබ ලබපු අද්දැකීම්වලින් වෙන අයව ශක්තිමත් කරන්න. දාවිත් රජත් ඒ දේ කරන්න ආශාවෙන් හිටියා. ඒ ගැන ඔහු දෙවිට කිව්වේ මෙහෙමයි. ‘දෙවියනි, බාල වයසේ පටන් ඔබ මාගේ ගුරුවරයාය. මාගේ හිසකෙස් පැසී මා මහලු වයසේ පසු වන විටදීද මාගෙන් ඈත්ව නොයන්න. එවිට ඔබ කර ඇති දේවල් මතු පරම්පරාවට පැවසීමට මට හැකි වනු ඇත. ඔබේ බලය ගැන සියලු පරම්පරාවන්ට කීමට මට හැකි වනු ඇත.’ගීතා. 71:17, 18.

5. තමන්ගේ අද්දැකීම් අනිත් අයත් එක්ක බෙදාගන්න වැඩිහිටි අයට පුළුවන් කොහොමද?

5 ජීවිතේ ලබපු අද්දැකීම් අනිත් අයත් එක්ක බෙදාගන්න ඔබට පුළුවන් කොහොමද? තරුණ අයව ඔබේ නිවසට ආරාධනා කරලා ඔවුන් එක්ක කතාබහ කරන අතරේ ඔබේ අද්දැකීම් බෙදාගන්න. ඔවුන් එක්ක දේවසේවයේ හවුල් වෙලා දෙවිට සේවය කිරීමෙන් ඔබ කොයි තරම් සතුටක් ලබනවද කියලා ඔවුන්ට පෙන්වන්න. “වයසින් මුහුකුරා ගිය අය කතා කළ යුතුයි. ප්‍රඥාව ගැන කියා දිය යුත්තේ වයසින් වැඩි අයයි” කියන උපදෙස ඔබත් අදාළ කරගන්න. (යෝබ් 32:7) වචනවලිනුත් ආදර්ශයෙනුත් අනිත් අයව දිරිගන්වන්න කියලා පාවුල් අද්දැකීම් ලත් සහෝදරියන්ට කිව්වා. ‘වැඩිහිටි ස්ත්‍රීන් යහපත් දේවල් උගන්වන අය විය යුතුයි’ කියලා ඔහු කිව්වේ ඒ නිසයි.තීත. 2:3.

ඔබේ හැකියාවන් අන් අය වෙනුවෙන් යොදාගන්න

6. වයසින් මුහුකුරා ගිය අය තමන් ගැන අඩු තක්සේරුවකින් හිතන්න හොඳ නැත්තේ ඇයි?

6 කාලයක් පුරා දෙවිට සේවය කරන ඔබ ළඟ තියෙන හැකියාවන් ගැන ඔබට අමතක වෙලාද? මීට අවුරුදු 30කට 40කට කලින් ඔබ නොදැන හිටපු කොයි තරම් නම් දේවල් දැන් ඔබ දන්නවද? බයිබල් ප්‍රතිපත්ති ජීවිතයට අදාළ කරගන්නේ කොහොමද කියලත් බයිබලයේ සඳහන් ඉගැන්වීම් අනිත් අයගේ හදවතට දැනෙන විදිහට කියලා දෙන්නත් ඔබ දන්නවා. ඔබ වැඩිමහල්ලෙක් නම් වැරදි තීරණයක් ගන්න හදන කෙනෙක්ට උදව් කරන විදි ගැන ඔබ දන්නවා. (ගලා. 6:1) සභාවේ වැඩකටයුතු ගැන, සමුළුවල විවිධ අංශ ගැන, නමස්කාර මධ්‍යස්ථාන ඉදි කිරීම් ගැන ඔබට හොඳ දැනුමක් ඇති. රුධිරය නොමැතිව ප්‍රතිකාර කරන එකේ වැදගත්කම දක්ෂ විදිහට වෛද්‍යවරුන්ට පැහැදිලි කරලා දෙන්න ඔබට පුළුවන් ඇති. ඔබ ළඟදී සත්‍යයට ආපු කෙනෙක් වුණත් ඔබට ජීවිතේ ගැන මොන තරම් අද්දැකීම් තියෙනවද කියලා හිතන්න. උදාහරණයකට දරුවෝ ඇතිදැඩි කරන විදිහ ගැන යම් ප්‍රායෝගික මඟ පෙන්වීම් දෙන්න ඔබට හැකියාව ඇති. ඒ දේවලින් පේන්නේ වයසින් මුහුකුරා ගිය ඔබට දෙවිගේ සෙනඟ වෙනුවෙන් හුඟක් දේවල් කරන්න පුළුවන් කියන එක නේද?—යෝබ් 12:12 කියවන්න.

7. තරුණ අයව පුහුණු කරන්න වැඩිහිටි අයට පුළුවන් කොහොමද?

7 ඔබේ හැකියාවලින් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද? බයිබල් පාඩමක් පටන් අරන් කරගෙන යන විදිහ තරුණ අයට පෙන්නලා දෙන්න ඔබට පුළුවන්. සබයට ප්‍රයෝජනවත් වෙන ආකාරයෙන් කතා දෙන විදිහත් හදවතට කාවදින විදිහට ශුභාරංචිය දේශනා කරන විදිහත් කියලා දෙන්න. මහලු සහෝදර සහෝදරියන්ව බලන්න ගිහින් ඔවුන්ව දිරිගන්වන විදිහ ගැන ආදර්ශයෙන්ම පෙන්නලා දෙන්න. ඔබ වැඩිහිටි සහෝදරියක් නම් සභාවේ ඉන්න මව්වරුන්ට ඔවුන්ගේ දරුවන් රැකබලා ගන්න අතරෙම නමස්කාර කටයුතු සමබරව කරන විදිහ ගැන ප්‍රායෝගික මඟ පෙන්වීම් දෙන්න ඔබට පුළුවන්. කලින් වගේ දුවලා පැනලා දේවල් කරන්න දැන් ඔබට ශක්තිය නැතුව ඇති. ඒත් තරුණ අයව පුහුණු කරන්න ඔබට හුඟක් දේවල් කරන්න පුළුවන්. “තරුණයන්ගේ අලංකාරය වන්නේ ඔවුන්ගේ ශක්තියයි. මහලු අයව ගෞරවයට පත් කරන්නේ ඔවුන්ගේ පැසුණු හිසකෙස්ය” කියන දේ මොන තරම් ඇත්තක්ද!හිතෝ. 20:29.

වෙනත් ප්‍රදේශයකට යන්න පුළුවන්ද?

8. සිරභාරයෙන් නිදහස් වුණාට පස්සේ පාවුල් කළේ මොනවද?

8 පාවුල් රෝමයේ සිරගත වෙන්න කලින් අවුරුදු ගාණක් පුරා විවිධ රටවලට ගිහින් උපරිමයෙන් ශුභාරංචිය දේශනා කරන්න හුඟක් මහන්සි වුණා. ක්‍රි.ව. 61දී සිරභාරයෙන් නිදහස් වුණාට පස්සේ ඔහුට ඕනේ නම් ජීවිතේ ඉතුරු කාලය රෝමයේ පදිංචි වෙලා සේවය කරන්න තිබුණා. (2 කොරි. 11:23-27) ඒත් සේවය සඳහා ලොකු අවශ්‍යතාවක් වෙනත් රටවල තියෙනවා කියලා තේරුම්ගත්ත පාවුල්, ඔහුගේ පහසුව ගැන හිතන්නේ නැතුව එෆීසයට ගියා. එතනින් ක්‍රීට් දූපතටත් මැසිඩෝනියාවටත් ගියා. (1 තිමෝ. 1:3; තීත. 1:5) ඔහු ස්පාඤ්ඤයට යන්නත් සැලසුම් කළා.රෝම 15:24, 28.

9. පේතෘස් බැබිලෝනියේ සේවය කරන්න ගියේ කොයි කාලයේදීද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

9 වයස අවුරුදු 50 ගණන්වල පසු වෙද්දී ශුභාරංචිය දේශනා කරලා නැති ප්‍රදේශයකට ගිහින් සේවය කරපු තවත් කෙනෙක් තමයි පේතෘස්. එහෙම යද්දී ඔහු ඒ වයසේ ඉන්න ඇති කියලා අපි කියන්නේ ඇයි? ඔහුත් යේසුස්ගේ වයසේ කෙනෙක් නම් නැත්නම් ඊට වඩා ටිකක් වැඩිමල් නම් ක්‍රි.ව. 49දී යෙරුසලමේ නියෝජිතයන් එක්ක රැස් වෙද්දී ඔහුට වයස 50ක් විතර වෙන්න ඇති. (ක්‍රියා 15:7) ඒ රැස්වීමෙන් ටික කාලයකට පස්සේ පේතෘස් බැබිලෝනියේ පදිංචියට ගියා. එහි හිටපු යුදෙව්වන්ට දේශනා කරන එක ඔහුගේ අරමුණ වෙන්න ඇති. (ගලා. 2:9) ක්‍රි.ව. 62දී විතර ඔහු පළවෙනි ලිපිය ලිව්වෙත් බැබිලෝනියේ සිටයි. (1 පේතෘ. 5:13) ඒ රටට හුරු වෙන එක පේතෘස්ට අමාරු දෙයක් වෙන්න ඇති. ඒත් ජීවිතයේ සැඳෑ සමයේදී ඔහු ප්‍රීතියෙන් දෙවිට සේවය කළා කියන එක ගැන නම් සැකයක් නැහැ.

10, 11. මහලු වියට එළඹෙන කාලයේදී වෙනත් ප්‍රදේශයකට ගිහින් සේවය කරපු කෙනෙක්ගේ අද්දැකීමක් කියන්න.

10 අදත් ඉන්න වයස 50ක් හෝ ඊට ටිකක් වැඩි සමහරු ඔවුන්ගේ ජීවිතයේ යම් වෙනස්කම් සිදු වෙලා තියෙන නිසා වෙනත් ප්‍රදේශවලට ගිහින් සේවය කරන්න තමන්ට පුළුවන් කියලා තේරුම් අරන් තියෙනවා. රොබට්ටත් ඒ වගේ හිතුණා. “මටත් මගේ බිරිඳටත් දැන් වයස 55ක් විතර වෙන්න එනවා. අපේ පුතා දැන් ජීවත් වෙන්නේ වෙනම. අපේ දෙමව්පියනුත් නැති නිසා දැන් අපි දෙන්නා ඉන්නේ තනියම. දෙමව්පියන්ගෙන් ලැබුණ පොඩි මුදලකුත් අපි ළඟ තිබුණා. අපේ ගේ විකුණුවොත් නිවාස ණයත් ගෙවලා පැන්ෂන් එක හම්බ වෙනකම් ජීවත් වෙන්න ඉතුරු මුදල හොඳටම ඇති කියලා ගණන් හදලා බලද්දී අපිට තේරුණා. ඔය අතරේ බොලිවියාවේ ශුභාරංචියට උනන්දුව දක්වන අය හුඟක් ඉන්නවා කියලත් එහෙ ජීවන වියදම අඩුයි කියලත් අපිට දැනගන්න ලැබුණා. ඒ නිසා ඒ රටේ පදිංචියට යන්න අපි දෙන්නා තීරණය කළා. අපි ඇමරිකාවේ ගත කරපු ජීවිතේට වඩා ඒක හුඟක් වෙනස් නිසා එහෙට හුරු වෙන එක ලේසි වුණේ නැහැ. ඒත් අපේ උත්සාහයට අපිට ආශීර්වාද ලැබුණා.

11 “සභාවේ වැඩ ඇරෙන්න දැන් අපේ ජීවිතේ වෙන දෙයක් නැති තරම්. අපි එක්ක බයිබලය පාඩම් කරපු සමහරු දැන් බව්තීස්ම වෙලා. අපිත් එක්ක පාඩම් කරන, දුප්පත් පවුලක් හුඟක් දුර ගෙවාගෙන හැම සතියේම රැස්වීම් එනවා. ඒ අය දියුණු වෙනවා දකිද්දී, ඒගොල්ලන්ගේ වැඩිමල් පුතා පුරෝගාමි සේවය පටන්ගද්දී අපිට දැනුණ සතුට වචනවලින් විස්තර කරන්න බැහැ” කියලා රොබට් කියනවා.

අලුත් භාෂාවක් ඉගෙනගන්න කැමතිද?

12, 13. විශ්‍රාම ගියාට පස්සේ අලුත් විදිහකින් දෙවිට සේවය කරන්න පටන්ගත්ත කෙනෙක්ගේ අද්දැකීමක් කියන්න.

12 වෙනත් භාෂාවක් කතා කරන සභාවල හා කණ්ඩායම්වල සේවය කිරීමෙනුත් වැඩිහිටි සහෝදර සහෝදරියන්ට ලොකු සතුටක් ලබන්න පුළුවන්. එංගලන්තයේ ඉන්න බ්‍රයන් කියන සහෝදරයා මෙහෙම කියනවා. “අවුරුදු 65දී විශ්‍රාම ගියාට පස්සේ මටයි මගේ බිරිඳටයි දැනුණේ ජීවිතේ හරිම ඒකාකාරී කියලයි. අපි සේවය කරපු ප්‍රදේශයේ බයිබල් පාඩමක් කරන්න තරම් උනන්දුවක් දක්වන කෙනෙක්ව හම්බ වෙන්නේ හරිම කලාතුරකින්. ඔය අතරේ විශ්වවිද්‍යාලයක වැඩ කරන චීන ජාතික තරුණයෙකුට දේශනා කරන්න මට පුළුවන් වුණා. රැස්වීම්වලට එන්නත් මාත් එක්ක බයිබල් පාඩමක් කරන්නත් එයා කැමති වුණා. සති කීපයකට පස්සේ එයා තවත් චීන ජාතික මිත්‍රයෙක්ව රැස්වීම්වලට එක්කගෙන ආවා. ඔය විදිහට චීන ජාතිකයන් හතරදෙනෙක්ම රැස්වීම්වලට ආවා.

13 “පස්වෙනි කෙනාත් බයිබල් පාඩමක් කරන්න කැමතියි කිව්වට පස්සේ තමයි මට හිතුණේ වයස 65ක් කියන්නේ දෙවිට සේවය කරන එකෙන් විශ්‍රාම ගන්න තරම් වයසක් නෙමෙයි කියලා. ඒ වෙනකොට මගේ බිරිඳට වයස 63යි. අපි දෙන්නම චීන භාෂාව ඉගෙනගත්තා. ඒ මීට අවුරුදු 10කට කලින්. අපි තාමත් චීන භාෂාව කතා කරන අය ඉන්න ප්‍රදේශවල සේවය කරනවා. මේ වෙනකොට අපි චීන ජාතිකයන් 112ක් එක්ක බයිබල් පාඩම් පවත්වලා තියෙනවා. ඔය අතරින් කෙනෙක් දැන් පුරෝගාමි සේවයත් කරනවා. කරන්න හුඟක් අලුත් දේවල් තියෙන නිසා අපිට හිතෙන්නේ අපි දවසින් දවස තරුණ වෙනවා කියලයි.”

සේවය වැඩියෙන් කරන්න බැරි තරම් ඔබ මහලුයි කියලා හිතන්න එපා (12 සහ 13 ඡේද බලන්න)

දෙවි වෙනුවෙන් උපරිමය දෙන්න

14. වයසින් වැඩි අයට සතුටු වෙන්න පුළුවන් මොකක් ගැනද? පාවුල්ගේ ආදර්ශය ඔවුන්ට දිරිගැන්වීමක් වෙන්නේ කොහොමද?

14 පනස් ගණන්වල ඉන්න හුඟක් අය තව වැඩියෙන් දෙවිට සේවය කරන්න ආශාවෙන් හිටියත් හැමෝටම ඒක කරන්න බැහැ. සමහරුන්ගේ සෞඛ්‍යය දුර්වලයි. සමහරුන්ට වයසක දෙමව්පියන්ව බලාගන්න වෙලා. දරුවන්ගේ වගකීම් තවත් හේතුවක්. ඒත් ඔබ කරන දේ පුංචි දෙයක් වුණත් ඒක උපරිමයෙන් කරනවා නම් දෙවි ඒ දේ හුඟක් අගය කරනවා. ඒ නිසා කරන්න බැරි දේ ගැන හිතහිතා දුක් වෙනවා වෙනුවට ඔබට කරන්න පුළුවන් ටික උපරිමයෙන් කරන්න. මතකද පාවුල්ව? අවුරුදු ගාණක්ම ඔහු හිටියේ නිවාස අඩස්සියේ. රට රටවල ගිහින් දේශනා කරපු ඔහුට එක තැනකට වෙලා ඉන්න එක අමාරු දෙයක් වෙන්න ඇති. ඒත් ඔහු අධෛර්යය වුණේ නැහැ. ඔහුව බලන්න ආපු අයට දේශනා කළා, දේවවචනයෙන් දිරිගැන්නුවා. ඔබටත් එහෙම කරන්න පුළුවන්.ක්‍රියා 28:16, 30, 31.

15. මහලු වයසේදීත් දෙවිට සේවය කරන අයව අගය කරන්න ඕනේ ඇයි?

15 අබලදුබල, දුෂ්කර මහලු වයසේදී දෙවිට සේවය කරන එක ලේසි දෙයක් නෙවෙයි කියලා සලමොන් කිව්ව දෙයින් පැහැදිලියි. අවුරුදු 60, 70 ගණන්වල ඉන්න ඒ වගේ අය දෙවි වෙනුවෙන් කරන පුංචි දේ වුණත් දෙවි හුඟක් අගය කරනවා. (ලූක් 21:2-4) අවුරුදු ගාණක් පුරා දෙවිට විශ්වාසවන්තව සේවය කරන අය තමන් අතරේ ඉන්න එක ගැන සභාවේ අයත් හුඟක් අගය කරනවා.

16. මහලු ආනාට නොලැබුණේ මොන වගේ වරප්‍රසාදද? ඒත් ඇය කළේ මොන වගේ දේවල්ද?

16 මහලු වයසේ හිටපු ආනා ගැන හිතන්න. යේසුස් ඉපදෙනකොට ඇයට වයස 84යි. යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන්නවත් අභිෂේක ලත් කෙනෙක් වෙන්නවත් ශුභාරංචිය දේශනා කරන්නවත් අවස්ථාව ලැබෙන්න කලින් ඇය මිය යන්න ඇති. ඒත් ආනා ඇයට පුළුවන් දේ කළා. “එක දවසක්වත් අතපසු නොකර නමස්කාරය සඳහා ඇය දේවමාලිගාවට පැමිණියා” කියලා බයිබලයේ සඳහන් වෙනවා. (ලූක් 2:36, 37) පූජකයන් හැමදාම උදේ හවස දේවමාලිගාවේ සුවඳ දුම් ඔප්පු කරන හැම වතාවකම ආනා අනිත් අය එක්ක මළුවට වෙලා අඩුම තරමේ පැය භාගයක්වත් යාච්ඤා කරන්න ඇති. බිලිඳු යේසුස්ව දැක්කම “දෙවි යෙරුසලමට ගැලවීම ලබා දෙන තුරු බලාගෙන සිටි සියලුදෙනාටම ඇය ඒ දරුවා ගැන කතා කරන්න පටන්ගත්තා.”ලූක් 2:38.

17. මහලු සහෝදර සහෝදරියන්ට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද?

17 සභාවේ ඉන්න වැඩිහිටි සහෝදර සහෝදරියන්ට උදව් කරන්න අපිට හුඟක් දේවල් කරන්න පුළුවන්. කොයි තරම් ආශාවෙන් හිටියත් රැස්වීම්වලට, සමුළුවලට සහභාගි වෙන්න මහලු වයසේ ඉන්න සමහරුන්ට අමාරුයි. ඒ වගේ අයට දුරකථනයෙන් රැස්වීම්වලට ඇහුම්කන් දෙන්න සමහර සභාවන් සැලසුම් කරනවා. රැස්වීම්වලට සහභාගි වෙන්න බැරි වුණත් සැබෑ නමස්කාරය වෙනුවෙන් යමක් කරන්න ඔවුන්ට පුළුවන්. සභාවේ වැඩකටයුතු සාර්ථකව කරන්න උදව් ඉල්ලලා දෙවිට යාච්ඤා කරන්න එහෙම අයට පුළුවන්.ගීතාවලිය 92:13, 14 කියවන්න.

18, 19. (අ) මහලු වයසේ ඉන්න සමහරු තේරුම් නොගන්නේ මොකක්ද? (ආ) දේශනාකාරයා 12:1 තියෙන උපදෙස අදාළ කරගන්න පුළුවන් කාටද?

18 අනිත් අය ඔබ නිසා මොන තරම් දිරිගැන්වෙනවද කියලා මහලු වයසේ ඉන්න ඔබ දන්නේ නැතුව ඇති. තමන් අවුරුදු ගාණක් පුරා දෙවිට විශ්වාසවන්තව හිටපු එකෙන් ඊට සියවස් ගාණකට පස්සේ ඉන්න අපි දිරිගැන්වෙයි කියලා ආනා කොහොමටවත් හිතන්න නැතුව ඇති. දෙවි කෙරෙහි ඇයට තිබුණ ආදරය බයිබලයේ සටහන් වෙලා තියෙනවා වගේ දෙවි කෙරෙහි ඔබට තියෙන ආදරයත් ඔබේ සහෝදර සහෝදරියන්ගේ හිත්වල නොමැකෙන විදිහට සටහන් වෙලා තියෙනවා කියලා ඔබ දන්නවද? “ධර්මිෂ්ඨ මිනිසෙකුගේ පැසුණු හිසකෙස් අලංකාර ඔටුන්නක් මෙනි” කියන දේ ඔබටත් අදාළයි.හිතෝ. 16:31.

19 දෙවිගේ සේවය තුළ කරන්න පුළුවන් ප්‍රමාණය අපි එක් එක් කෙනාගේ තත්වය අනුව වෙනස් වෙනවා. ඒත් තවමත් ශක්තිය තියෙන මේ කාලේ ‘ඔබට ජීවිතය දුන් ශ්‍රේෂ්ඨ සැදුම්කරුව සිහි කරන්න. ජීවිතයේ දුෂ්කර දවස් පැමිණීමට කලින් එසේ කරන්න’ කියන උපදෙස පිළිපදින්න අධිෂ්ඨාන කරගමු.දේශ. 12:1.