Skip to content

පටුනට යන්න

තේජාන්විත රජුව පිළිගන්න!

තේජාන්විත රජුව පිළිගන්න!

“තේජශ්‍රීයෙන් ජයග්‍රහණය කරා යන්න.”ගීතා. 45:4.

1, 2. 45වෙනි ගීතිකාව සලකා බැලීම වැදගත් වන්නේ ඇයි?

තේජාන්විත රජු අසු පිට නැඟී සත්‍යය සහ ධර්මිෂ්ඨකම වෙනුවෙන් සටන් කරන්න පිටත්ව යයි. සතුරන්ව සම්පූර්ණයෙන්ම පරාජය කර ජය ලබන ඔහු රූමත් මනාලියක් හා විවාහ වෙයි. ඔහු ලබන ජයග්‍රහණය නිසා ඔහු ගැන මතකය සදා රැඳෙන අතර ඔහුට මහත් ගෞරවයක්ද හිමි වෙයි.

2 ඒ සිදුවීම් ඇතුළත් 45වෙනි ගීතිකාව ලස්සන අවසානයක් තිබෙන කතන්දරයක් නෙවෙයි. එහි සඳහන් සිදුවීම් අපේ ජීවිතවලට මේ කාලයේදීත් අනාගතයේදීත් බලපානවා. දැන් අපි ඒ ගැන බලමු.

“හොඳ ආරංචියකින් මාගේ සිත පිරී ඇත”

3, 4. (අ) ගීතිකාකරු පැවසූ “හොඳ ආරංචිය” කුමක්ද? එය අපිට බලපාන්නේ කෙසේද? (ආ) රජු ගැන අපි පවසන පණිවිඩය කුමක්ද? අපේ දිව පන්හිඳකට සමාන වන්නේ කෙසේද?

3 ගීතාවලිය 45:1 කියවන්න. රජ කෙනෙක් ගැන ලැබුණු “හොඳ ආරංචියකින්” ගීතිකාකරුගේ “සිත පිරී” ගියා. ඔහුගේ සිත මොන තරම් ප්‍රීතියකින් පිරී ඉතිරී ගියාද කියනවා නම් ඒ ආරංචිය සිතේ තද කරගෙන සිටීමට ඔහුට නොහැකි වුණා. ඔහු ඒ ගැන මහත් උද්‍යෝගයෙන් සෑම කෙනෙකුටම පැවසුවා. ගීතිකාකරුගේ දිව ‘දක්ෂ පිටපත්කරුවෙකුගේ පන්හිඳකට’ සමාන කර තිබෙන්නේ ඒ නිසයි.

4 දේවරාජ්‍යය ගැන පණිවිඩය අපේ සිත්වලටත් සතුටක් ගෙන දෙනවා. විශේෂයෙන්ම 1914 සිට ඒ පණිවිඩය ‘හොඳ ආරංචියක්’ වුණා. ඊට හේතුව එතැන් සිට එයින් පැවසුවේ ඉදිරියේදී පිහිටුවීමට නියමිත රාජ්‍යයක් ගැන නෙවෙයි, ඒ වන විට ස්වර්ගයේ පිහිටුවා තිබූ රාජ්‍යයක් ගැනයි. “සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම” අපි දේශනා කරන්නේ ‘ඒ රාජ්‍යය පිළිබඳ ශුභාරංචියයි.’ (මතෙ. 24:14) දේවරාජ්‍යය ගැන පණිවිඩය නිසා අපේ සිත් සතුටින් පිරී තිබෙනවාද? ඒ පණිවිඩය අපි උද්‍යෝගයෙන් අනිත් අයට කියනවාද? ගීතිකාකරු මෙන් අපිත් අන් අයට පවසන්නේ “රජ කෙනෙකු ගැන” පණිවිඩයක්. ඒ රජ යේසුස්. ඔහු දැනටමත් ස්වර්ගයේ පාලනය ආරම්භ කර තිබෙනවා කියාත් ඔහුගේ පාලනයට යටත් වන්න කියාත් මේ ලෝකයේ පාලකයන් ඇතුළු සියලුදෙනාට අපි ආරාධනා කරනවා. (ගීතා. 2:1, 2, 4-12) බයිබලය යොදාගෙන දේවරාජ්‍යය ගැන පණිවිඩය අන් අයට කියන විට අපේ දිවත් ‘දක්ෂ පිටපත්කරුවෙකුගේ පන්හිඳට’ සමාන වනවා.

අපේ රජු ගැන ශුභාරංචිය අපි ප්‍රකාශ කරන්නේ සතුටින්

රජුගේ වදන් කොතරම් මිහිරිද!

5. (අ) යේසුස් “ප්‍රසන්න, කඩවසම්” කෙනෙක් කියා පැවසිය හැක්කේ ඇයි? (ආ) රජුගේ ‘වදන් මිහිරියි’ කියා පවසන්නේ ඇයි? අපිට ඔහුව ආදර්ශයට ගත හැක්කේ කෙසේද?

5 ගීතාවලිය 45:2 කියවන්න. යේසුස්ගේ පෙනුම ගැන බොහෝ තොරතුරු බයිබලයේ නැතත් ඔහු පරිපූර්ණ කෙනෙක් නිසා අනිවාර්යයෙන්ම “ප්‍රසන්න, කඩවසම්” කෙනෙක් වන්න ඇති. නමුත් ඔහු එවැනි කෙනෙක් වුණේ ඔහුගේ පෙනුම නිසාම නෙවෙයි. ඔහු සෑම කාරණයකදීම දෙවිට විශ්වාසවන්තව සිටි නිසයි. රජුගේ වදන් මිහිරියි කියාත් ගීතිකාකරු පවසනවා. දේවරාජ්‍යය ගැන පණිවිඩය යේසුස් අන් අයට ප්‍රකාශ කළේ සිත්ගන්නා ආකාරයෙනුයි. ඔහු පැවසූ දේවල් මිනිසුන්ගේ සිත්වලට තදින් කාවැදුණේ ඒ නිසයි. (ලූක් 4:22; යොහ. 7:46) දේශනා සේවයේ හවුල් වන විට අපිත් යේසුස්ව ආදර්ශයට ගන්නවාද?කොලො. 4:6.

6. දෙවි යේසුස්ට “සදහටම” ආශීර්වාද කළේ කෙසේද?

6 යේසුස් විශ්වාසවන්තව දෙවිට සේවය කළ නිසාත් මුළු හදින්ම දෙවිට ප්‍රේම කළ නිසාත් යෙහෝවා දෙවි ඔහුට ආශීර්වාද කළා. දෙවි එසේ කළේ යේසුස් මේ පොළොවේ සේවය කළ කාලයේදී පමණක් නෙවෙයි ඔහුගේ ජීවිතය පූජා කළ පසුවත් ඔහුට ආශීර්වාද කළා. ඒ ගැන බයිබලයේ සඳහන් වන්නේ මෙසේයි. “ඔහු මිනිසෙකු ලෙස සිටියදී බොහෝ සෙයින් යටහත්පහත් වූයේය. කොතරම් යටහත් වූවාද කිවහොත් මරණය විඳීමට එනම්, වධකණුවක මරණයක් විඳීමට තරම් ඔහු දෙවිට කීකරු වූයේය. දෙවි ඔහුව කලින් සිටි තත්වයටත් වඩා උතුම් තත්වයකට පත් කළේ ඒ නිසාය. එලෙසම අන් සියලු නාමවලට වඩා උසස් නාමයක් දෙවි ඔහුට කාරුණිකව ලබා දුන්නේය. දෙවි එසේ කළේ ස්වර්ගයෙහිද පොළොවෙහිද පොළෝගැබෙහිද සිටින සියලුදෙනා යේසුස්ගේ නාමය පිළිගෙන ඔහුට දණ නැමීම සඳහාය. එලෙසම යේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් බව සියලුදෙනාම ප්‍රසිද්ධියේ පිළිගැනීම සඳහාය. එයින් පියාණන් වන දෙවිට සියලු ප්‍රශංසා සහ ගෞරවය හිමි වනු ඇත.” (ෆිලි. 2:8-11) යෙහෝවා දෙවි යේසුස්ව අමරණීය පුද්ගලයෙකු ලෙස නැවත නැඟිටුවීමෙන් ඔහුට “සදහටම” ආශීර්වාද කළා.රෝම 6:9.

“හවුල්කරුවන්ට වඩා වැඩි ප්‍රීතියක්” රජු අද්දකියි

7. “හවුල්කරුවන්ට වඩා වැඩි ප්‍රීතියක්” දෙවි යේසුස්ට අත් කර දුන්නේ කෙසේද?

7 ගීතාවලිය 45:6, 7 කියවන්න. යේසුස් යෙහෝවා දෙවිගේ ප්‍රමිතිවලට ඇලුම් කළ නිසාත් දෙවිට අගෞරවයක් ගෙන දෙන දේවලට වෛර කළ නිසාත් යෙහෝවා දෙවි දේවරාජ්‍යයේ රජු ලෙස ඔහුව පත් කළා. දෙවි “ප්‍රීතිය නමැති තෛලයෙන්” යේසුස්ව අභිෂේක කර ඔහුගේ හවුල්කරුවන්ට වඩා වැඩි ප්‍රීතියක් අත් කර දුන් බව ගීතිකාකරු පැවසුවා. එහි සඳහන් හවුල්කරුවන් වන්නේ දාවිත්ගේ පෙළපතින් පැමිණි යූදා රාජ්‍යයේ රජවරුන්. ඔවුන්ට වඩා වැඩි ප්‍රීතියක් යේසුස්ට ලැබුණේ කෙසේද? ඊට හේතු කිහිපයක් තිබෙනවා. මුලින්ම, යේසුස්ව රජු ලෙස අභිෂේක කරනු ලැබුවේ යෙහෝවා දෙවි විසින්මයි. දෙවනුව දෙවි ඔහුව පත් කළේ රජු ලෙස පමණක් නෙවෙයි, උත්තම පූජකයාත් ඔහුයි. (ගීතා. 2:2; හෙබ්‍රෙ. 5:5, 6) තුන්වෙනුව යේසුස්ව අභිෂේක කළේ දෙවිගේ බලයෙන් මිස සැබෑ තෛලයකින් නෙවෙයි. හතරවෙනුව ඔහු පාලනය කරන්නේ ස්වර්ගයේ සිට මිස පොළොවේ සිට නෙවෙයි.

8. යේසුස් ධර්මිෂ්ඨව පාලනය කරයි කියා නිසැක විය හැක්කේ ඇයි? ඔහුට ‘සිංහාසනය හිමි කර දෙන්නේ’ දෙවි කියා පැවසීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

8 යේසුස් රජකම් කරන්නේ “යුක්තිය නමැති රාජ යෂ්ටිය අතැතිව” කියා ගීතිකාකරු පැවසුවා. ඔහු ධර්මිෂ්ඨව හා සාධාරණව පාලනය කරයි කියා අපට නිසැක විය හැකියි. ඔහුට ‘සිංහාසනය හිමි කර දෙන්නේ’ යෙහෝවා දෙවි නිසා පාලනය කිරීමට ඔහුට සම්පූර්ණ අයිතිය තිබෙන අතර ඔහුගේ පාලනය “සදහටම” පවතිනවා. ඔහු යටතේ සේවය කරන්න ලැබීම ගැන අපි මොන තරම් ආඩම්බර විය යුතුද!

රජ කඩුව ඉණේ බැඳගනියි

9, 10. (අ) යේසුස් මුලින්ම කඩුව ඉණේ බැඳගත්තේ කවදාද? ඔහු කළේ කුමක්ද? (ආ) අනාගතයේදී ඔහු තම කඩුව යොදාගන්නේ කෙසේද?

9 ගීතාවලිය 45:3 කියවන්න. රජුට කඩුව ඉණේ බැඳගන්න කියා යෙහෝවා දෙවි පවසනවා. ඉන් අදහස් කළේ දෙවිගේ පාලනය ප්‍රතික්ෂේප කරන අයට විරුද්ධව යුද්ධ කර ඔවුන්ව සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට දෙවි යේසුස්ට අවසර දෙන බවයි. (ගීතා. 110:2) යේසුස් යුද්ධයට දක්ෂ රජ කෙනෙක් නිසා ඔහු ජය ලබන බව නිසැකයි. ඔහුව “බලවත් තැනැත්තා” ලෙස හඳුන්වා තිබෙන්නේ ඒ නිසයි. ඔහු කඩුව ඉණේ බැඳගත්තේ 1914දී සාතන්ව සහ භූතයන්ව ස්වර්ගයේ සිට පොළොවට හෙළීම සඳහායි.එළි. 12:7-9.

10 එය ඔහුගේ ජයග්‍රාහී ගමනේ ආරම්භය පමණයි. ඔහු අනිවාර්යයෙන්ම “සම්පූර්ණ ජයග්‍රහණයක්” ලබනවා. (එළි. 6:2) සාතන්ගේ පාලනය යටතේ තිබෙන සෑම දෙයක්ම විනාශ කරන්නත් සාතන්ගේ සහ භූතයන්ගේ බලපෑම ඉවත් කරන්නත් දෙවි තීරණය කර තිබෙනවා. ඒ සඳහා මුලින්ම මහ බැබිලෝනියට අයත් අසත්‍යය උගන්වන සියලුම ආගම් සම්පූර්ණයෙන්ම විනාශ කරනවා. “ගණිකාව” ලෙසත් හඳුන්වා තිබෙන එම ආගම් විනාශ කරන්න දෙවි යොදාගන්නේ මේ ලෝකයේ පාලකයන්වයි. (එළි. 17:16, 17) ඉන්පසුව දේවරාජ්‍යයේ රජ, සියලුම මිනිස් ආණ්ඩු විනාශ කර දමනවා. “අගාධයේ දේවදූතයා” ලෙසත් හඳුන්වා තිබෙන යේසුස් අවසානයේදී සාතන්ව සහ ඔහුගේ භූතයන්ව අගාධයට හෙළීමත් සමඟම සම්පූර්ණ ජයග්‍රහණයක් අත් කරගන්නවා. (එළි. 9:1, 11; 20:1-3) එම සිදුවීම් 45වෙනි ගීතිකාවේ විස්තර කර තිබෙන ආකාරය දැන් අපි බලමු.

රජ “සත්‍යය වෙනුවෙන්” සටන් කරයි

11. යේසුස් “සත්‍යය වෙනුවෙන්” සටන් කරනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

11 ගීතාවලිය 45:4 කියවන්න. රජු යුද්ධ කරන්නේ දේශ අත් පත් කරගන්නවත් මිනිසුන්ව තම අණසක යටතට ගන්නවත් නෙවෙයි. ඔහු අසු පිට නැඟී යන්නේ “නිහතමානී අය වෙනුවෙන්ද ධර්මිෂ්ඨකම සහ සත්‍යය වෙනුවෙන්ද” සටන් කරන්නයි. “සත්‍යය වෙනුවෙන්” සටන් කරනවා කීමෙන් අදහස් කරන්නේ මේ විශ්වය පාලනය කරන්න අයිතිය ඇති එකම තැනැත්තා යෙහෝවා දෙවි පමණයි යන අතිවැදගත් සත්‍යය තහවුරු කිරීමට ඔහු ක්‍රියා කරන බවයි. සාතන් දෙවිට විරුද්ධව කැරලිගැසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ පාලනය කිරීමට දෙවිට අයිතියක් නැහැ කියායි. එදා සිට භූතයන් සහ මිනිසුන් පාලනය කිරීමට දෙවිට තිබෙන අයිති ගැන ප්‍රශ්න කරමින් සිටිනවා. පාලනය කිරීමට අයිතිය තිබෙන්නේ යෙහෝවා දෙවිට පමණක් යන කාරණය තහවුරු කිරීම වෙනුවෙන් සටන් කරන්න දේවරාජ්‍යයේ රජුට දැන් කාලය පැමිණ තිබෙනවා.

12. යේසුස් “නිහතමානී අය වෙනුවෙන්” සටන් කරනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

12 රජ “නිහතමානී අය වෙනුවෙන්” සටන් කරනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? දේවරාජ්‍යය මේ පොළොව පාලනය කරන කාලයේදී ජීවත් වන්න ලැබෙන්නේ නිහතමානීව ක්‍රියා කරමින් දෙවිට කීකරු වන අයට පමණයි. (සෙක. 14:16, 17) එවැනි පුද්ගලයන් වීමම නම් අපි යේසුස් තැබූ ආදර්ශය අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතුයි. යේසුස් සෑම විටම නිහතමානීව ක්‍රියා කළ අතර යෙහෝවා දෙවිට කීකරු වුණා. (යෙසා. 50:4, 5; යොහ. 5:19) නිහතමානී අය වීමට අපිට ආදර්ශය තබන්නේ යේසුස් නිසා ඔහු නිහතමානී අය වෙනුවෙන් සටන් කරනවා කියා පැවසිය හැකියි.

13. යේසුස් ‘ධර්මිෂ්ඨකම වෙනුවෙන්’ සටන් කරන්නේ කෙසේද?

13 රජ ‘ධර්මිෂ්ඨකම වෙනුවෙන්ද’ සටන් කරනවා. ඉන් අදහස් කරන්නේ දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති ආරක්ෂා කිරීම සඳහා ඔහු සටන් කරනවා කියායි. (රෝම 3:21; ද්වි. 32:4) “ධර්මිෂ්ඨකමින් පාලනය කිරීමට රජෙකුව” පත් කරනවා කියා යෙසායා අනාවැකියක් පැවසුවා. (යෙසා. 32:1) යේසුස්ගේ පාලන කාලයේදී “ධර්මිෂ්ඨකම රජයන අලුත් අහසක් සහ අලුත් පොළොවක්” උදා වනවා කියාත් බයිබලයේ සඳහන් වනවා. (2 පේතෘ. 3:13) ඉන් පැහැදිලි වන්නේ ඒ කාලයේදී සෑම කෙනෙක්ම දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව ජීවත් වන බවයි.යෙසා. 11:1-5.

රජ “බිය උපදවන දේවල්” කරයි

14. යේසුස් “බිය උපදවන දේවල් කරන්නේ” කෙසේද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

14 රජ ජයග්‍රාහී ගමන යන්නේ තම කඩුව ඉණේ බැඳගෙන බව ඔබට මතක ඇති. (ගීතා. 45:3) ඉන්පසු ඔහු කඩුව තම දකුණතට ගෙන “බිය උපදවන දේවල් කරන්නේය” කියා ගීතිකාකරු පවසනවා. (ගීතා. 45:4) “හර්–මගෙදොන්” යුද්ධයේදී යේසුස් “බිය උපදවන දේවල්” කරමින් ඔහුගේ සතුරන්ව සම්පූර්ණයෙන්ම විනාශ කර දමනවා. ඔහු එය කරන්නේ කෙසේද කියා අපි හරියටම දන්නේ නැහැ. නමුත් ඔහු එය කරන විට දෙවි දුන් අනතුරු ඇඟවීම්වලට කීකරු නොවූ, යේසුස්ව රජු ලෙස පිළි නොගත් අය මහත් සේ බියට පත් වන බව නම් ස්ථිරයි. (ගීතාවලිය 2:11, 12 කියවන්න.) අවසාන කාලය ගැන පැවසූ අනාවැකියේ යේසුස් මෙවැනි දෙයක් සඳහන් කළා. “ලොවට සිදු වෙන්න යන දේවල් ගැන මිනිසුන් නිතරම කල්පනා කරමින් සිටින නිසාත් ඔවුන්ට දැනෙන බිය නිසාත් ඔවුන් ක්ලාන්ත වී ඇද වැටෙයි. මන්ද අහසේ තිබෙන සියලු බලයන් සොලවනු ලබයි. එවිට මනුෂ්‍ය පුත්‍රයා බලයෙන්ද මහත් තේජසකින්ද වලාකුළක එන ආකාරය දැකගන්න ඔවුන්ට හැකි වෙයි.”ලූක් 21:26, 27.

15, 16. යුද්ධ කිරීම සඳහා යේසුස් සමඟ පැමිණෙන ‘සේනාවට’ ඇතුළත් වන්නේ කවුරුන්ද?

15 “බලයෙන්ද මහත් තේජසකින්ද” පැමිණෙන රජුව එළිදරව් පොතේ විස්තර කර තිබෙන්නේ මෙලෙසයි. “ස්වර්ගය විවෘත වී තිබෙන ආකාරය මට දැකගත හැකි විය. බලන්න, මා දුටුවේ සුදු අශ්වයෙකි. එම අශ්වයා මත ඉඳගෙන සිටි තැනැත්තා විශ්වාසවන්ත හා සැබෑ කෙනෙකු ලෙස හඳුන්වා තිබිණ. ඔහු විනිශ්චය කරන ආකාරයත් යුද්ධ කරන ආකාරයත් ධර්මිෂ්ඨය. එලෙසම ඔහු පිටුපසින් ස්වර්ගයේ සිටින සේනාවෝ සුදු අශ්වයන් පිට පැමිණෙන්නෝය. ඔවුන් පැළඳ සිටින්නේ පිරිසිදු සුදු, අනගි ලිනන් වස්ත්‍රයි. ඔහුගේ මුවින් ඉතා තියුණු දිග කඩුවක් නික්මෙන්නේය. ඒ කඩුව ඔහු භාවිත කරන්නේ ජාතීන්ට පහර දීම සඳහාය. ඔහු ඔවුන්ව පලවාහරින්නේ යකඩ දණ්ඩක් අතැතිව සිටින එඬේරෙකු මෙනි. එලෙසම ඔහු සියලු බලැති දෙවිගේ අතිමහත් උදහස නියෝජනය කරන මිදි මඩින යන්ත්‍රයේ මිදි පාගන්නේය.”එළි. 19:11, 14, 15.

16 යුද්ධ කිරීම සඳහා යේසුස් සමඟ පැමිණෙන ‘සේනාවට’ ඇතුළත් වන්නේ කවුරුන්ද? සාතන්ව සහ භූතයන්ව පහතට හෙළීම සඳහා යේසුස් කඩුව ඉණේ බැඳ ගත් මුල් අවස්ථාවේ ඔහුගේ සහයට දේවදූතයන් සිටියා. (එළි. 12:7-9) ඒ නිසා හර්–මගෙදොන් යුද්ධයේදීත් යේසුස් සමඟ පැමිණෙන සේනාවට අනිවාර්යයෙන්ම දේවදූතයන් ඇතුළත් වෙයි කියා සිතිය හැකියි. නමුත් ඒ ‘සේනාවට’ ඇතුළත් වන්නේ ඔවුන් විතරක් නෙවෙයි. යේසුස් අභිෂේක ලත් අයට මෙවැනි පොරොන්දුවක් දුන්නා. “ජය ගනිමින්, අවසානය දක්වා මා අණ කළ දේ පිළිපදින තැනැත්තාට මෙලොවෙහි සිටින ජාතීන්ට විරුද්ධව නැඟී සිටීමට මම බලය දෙන්නෙමි. මාගේ පියාණන් මට දුන් බලය ඔහුටද ලබා දෙන්නෙමි. යකඩ දණ්ඩක් අතැතිව සිටින එඬේරෙකු මෙන් ඔහු ජාතීන්ව පලවාහරින අතර මැටි භාජන මෙන් ඔවුන්ව කැබලිවලට සුනුවිසුනු කරනු ඇත.” (එළි. 2:26, 27) ස්වර්ගයේ ජීවිතයක් සඳහා නැවත නැඟිටුවා සිටින අභිෂේක ලත් අයත් ඒ සේනාවට ඇතුළත් වනවා කියා ඉන් පැහැදිලියි. යේසුස් “බිය උපදවන දේවල්” කරන විට ඔවුන්ද යේසුස්ගේ සහයට සිටියි.

රජ සම්පූර්ණ ජයග්‍රහණයක් ලබයි

17. (අ) සුදු පැහැති අශ්වයාගෙන් නියෝජනය කරන්නේ කුමක්ද? (ආ) කඩුවෙන් සහ දුන්නෙන් නියෝජනය කරන්නේ මොනවාද?

17 ගීතාවලිය 45:5 කියවන්න. එළිදරව් 6:2හිත් මෙසේ සඳහන් වනවා. “බලන්න, මම සුදු පැහැති අශ්වයෙකු දුටුවෙමි. ඌ පිට ඉඳගෙන සිටි තැනැත්තාට දුන්නක් තිබිණ. ඔටුන්නක්ද ඔහුට දෙන ලදි. ජය අත් කරගැනීමට පිටත් වූ ඔහු, සම්පූර්ණ ජයග්‍රහණයක් ලැබුවේය.” රජු සුදු පැහැති අශ්වයෙකු පිට නැඟී යෑමෙන් පෙන්නුම් කරන්නේ ඔහු කරන යුද්ධය ධර්මිෂ්ඨ එකක් වගේම ඊට දෙවිගේ අනුමැතිය තිබෙනවා කියායි. (එළි. 19:11) කඩුවට අමතරව රජු ළඟ දුන්නක්ද තිබෙනවා. තම සතුරන්ව විනාශ කිරීමට ඔහු යොදාගන්නා දේවල් ඒවායින් නියෝජනය කරනවා.

පොළොව පිරිසිදු කිරීමට පක්ෂීන්ට ආරාධනා කරනවා (18 ඡේදය බලන්න)

18. රජුගේ “ඊතල තියුණුය” කියා ඔප්පු වන්නේ කෙසේද?

18 “ඔබේ ඊතල තියුණුය. ඒවා ඔබේ සතුරන්ගේ හදවත් පසාරු කරගෙන යන්නේය. ජනයා ඔබේ පාමුල ඇද වැටෙන්නෝය” කියා ගීතිකාකරු පැවසුවා. රජු ගෙනෙන විනාශය මුළු ලෝකයටම බලපානවා. ඒ ගැන යෙරෙමියා මෙවැනි දෙයක් පැවසුවා. “ඒ දවසේදී යෙහෝවා දෙවි වන මාගේ අතින් මරණයට පත් වන අය පොළොවේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා වැටී සිටිනු ඇත.” (යෙරෙ. 25:33) ඒ විනාශය ගැන තවත් අනාවැකියක මෙසේ සඳහන් වනවා. “මම හිරු රැස්වලින් වට වූ තවත් දේවදූතයෙක් දුටුවෙමි. මහත් හඬකින් කෑගැසූ ඔහු අහසෙහි පියාසර කරන සියලුම කුරුල්ලන්ට මෙසේ කීවේය. ‘දෙවිගේ මහත් සන්ධ්‍යා භෝජනය සඳහා එක් රැස් වන්න. එවිට රජවරුන්ගේ මස් මාංසද සෙන්පතීන්ගේ මස් මාංසද ශක්තිමත් මිනිසුන්ගේ මස් මාංසද අශ්වයන්ගේ සහ උන් පිට ඉඳගෙන සිටින අයගේ මස් මාංසද දාසයන්ගේද නිදහස් මිනිසුන්ගේද සියලුම තරාතිරම්වලට අයත් සියලුදෙනාගේ මස් මාංසද ආහාර ලෙස කෑමට ඔබට පුළුවන.’”එළි. 19:17, 18.

19. යේසුස් ජයග්‍රහණය සම්පූර්ණ කරන්නේ කෙසේද?

19 දුෂ්ට සමාජය විනාශ කිරීමෙන් පසු රජු “තේජශ්‍රීයෙන් ජයග්‍රහණය කරා” යයි. (ගීතා. 45:4) සාතන්ව සහ භූතයන්ව අගාධයට හෙළීමත් සමඟම ඔහු තම ජයග්‍රහණය සම්පූර්ණ කරනවා. ඉන්පසු අවුරුදු දහසක් යේසුස් සහ 1,44,000දෙනා මේ පොළොව පාලනය කරනවා. (එළි. 20:2, 3) සාතන් සහ භූතයන් අගාධයේ සිරකර සිටින කාලයේදී අන් අයට කිසිම බලපෑමක් කරන්න ඔවුන්ට බැහැ. ඒ කාලය පුරා ඔවුන් සිටින්නේ මිය ගියා හා සමාන තත්වයකයි. සාතන්ගේ සහ භූතයන්ගේ බලපෑම් නැති නිසා සියලුදෙනාට රජුගේ පාලනය යටතේ සතුටින් ජීවත් වන්න ලැබෙනවා. මේ මුළු පොළොවම ලස්සන පාරාදීසයක් බවට පත් කිරීමට කලින් රජු සහ 1,44,000දෙනා සමඟ එක්ව සතුටු වීමට අපිට තවත් හේතුවක් තිබෙනවා. ඒ ගැන අපි ඊළඟ ලිපියෙන් බලමු.