Skip to content

පටුනට යන්න

යහපත් දීමනා දෙන්නෙත් අපිව ආරක්ෂා කරන්නෙත් දෙවියි

යහපත් දීමනා දෙන්නෙත් අපිව ආරක්ෂා කරන්නෙත් දෙවියි

“ඔහු මට ප්‍රේම කරන නිසා මම ඔහුව ගලවාගන්නෙමි. ඔහු මාගේ නාමය ගැන දැනගත් බැවින් මම ඔහුව ආරක්ෂා කරන්නෙමි.”ගීතා. 91:14.

1, 2. අපි එක් එක් කෙනා මුහුණ දීලා තියෙන තත්වයන් හා අපි සත්‍යයට ඇවිත් තියෙන විදිහ වෙනස් වෙන්නේ කොහොමද?

පවුල් ඒකකය ඇති කළේ යෙහෝවා දෙවියි. (එෆී. 3:14, 15) එකම පවුලක ඉන්න අයගේ වුණත් පෞද්ගලිකත්වයන් හා ඔවුන් මුහුණ දීලා තියෙන තත්වයන් වෙනස්. සමහරු පුංචි කාලේ ඉඳලා ජීවත් වෙලා තියෙන්නේ දෙමව්පියන් එක්ක. තවත් අයට අනතුරකින් හරි අසනීපයකින් හරි දෙමව්පියන් නැති වෙලා තියෙනවා. දෙමව්පියන්ව කවදාවත් දැකලා නැති අයත් ඉන්නවා.

2 යෙහෝවා දෙවිට නමස්කාර කරන අපි හැමෝම එක පවුලක්. ඒ වුණත් අපි සත්‍යයට ඇවිත් තියෙන විදිහ වෙනස්. දෙමව්පියන් බයිබල් ප්‍රතිපත්ති කියලා දුන්න නිසා සමහරු පුංචි කාලේ ඉඳලම සත්‍යයේ ඉන්නවා. (ද්වි. 6:6, 7) තවත් හුඟක් අය සත්‍යයට ඇවිත් තියෙන්නේ සාක්ෂිකරුවන් ශුභාරංචිය දේශනා කරපු නිසයි.රෝම 10:13-15; 1 තිමෝ. 2:3, 4.

3. අපි හැමෝටම පොදු දේවල් මොනවද?

3 අපි අතර වෙනස්කම් තිබුණත් අසම්පූර්ණකම, පාපය හා මරණය අපි හැමෝටම පොදුයි. (රෝම 5:12) ඒ වුණත් දෙවිට නමස්කාර කරන අය හැටියට අපිට පුළුවන් වෙලා තියෙනවා දෙවිව අපේ පියාණන් හැටියට අමතන්න. ඊශ්‍රායෙල්වරුනුත් දෙවිව ඇමතුවේ “යෙහෝවා දෙවියනි, අපේ පියාණන් ඔබය” කියලයි. (යෙසා. 64:8) ආදර්ශ යාච්ඤාවේදී යේසුස් මුලින්ම කිව්වෙත් “ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා” කියලයි.මතෙ. 6:9.

4, 5. අපේ පියාණන් ගැන තියෙන ආදරය තවත් වැඩි කරගන්න අපි සලකා බලන්නේ මොනවද?

4 සැබෑ නමස්කාරයේ යෙදෙන අයට රැකවරණය සලසන බව අපේ පියාණන් වන යෙහෝවා දෙවි මෙහෙම පොරොන්දු වෙලා තියෙනවා. “ඔහු මට ප්‍රේම කරන නිසා මම ඔහුව ගලවාගන්නෙමි. ඔහු මාගේ නාමය ගැන දැනගත් බැවින් මම ඔහුව ආරක්ෂා කරන්නෙමි.” (ගීතා. 91:14) දෙවි ඔහුගේ සෙනඟව ආදරයෙන් ආරක්ෂා කරන නිසා කිසිම සතුරෙකුට ඔහුගේ සෙනඟව මේ පොළොවෙන් තුරන් කරන්න බැහැ.

5 අපේ පියාණන් ගැන තියෙන ආදරය තවත් වැඩි කරගන්න අපි මේ කාරණා තුන සලකා බලමු. (1) අපිට හැම යහපත් දීමනාවක්ම සපයන්නෙත් (2) අපිව ආරක්ෂා කරන්නෙත් (3) අපේ හොඳම මිතුරා වෙන්නෙත් යෙහෝවා දෙවියි. ඒ ගැන සලකා බලද්දී දෙවි එක්ක තියෙන මිත්‍රත්වය ගැනත් අපේ පියාණන් හැටියට ඔහුව ගෞරවයට පත් කරන්න පුළුවන් විදිහ ගැනත් ගැඹුරින් කල්පනා කරමු. දෙවිට ළං වෙන අයට ලැබෙන ආශීර්වාද ගැනත් හිතමු.—යාකො. 4:8.

අපිට හැම දීමනාවක්ම දෙන්නේ දෙවියි

6. “සෑම යහපත් දීමනාවක්ම” ලැබෙන්නේ දෙවිගෙන් කියලා ඔප්පු වෙන එක විදිහක් කියන්න.

6 බයිබලයේ මෙහෙම සඳහන් වෙනවා. “සෑම යහපත් දීමනාවක්ම හා කිසිම අඩුපාඩුවක් නැති සෑම තෑග්ගක්ම පැමිණෙන්නේ ස්වර්ගයෙහි සිටින දෙවිගෙන්ය. අහසෙහි ඇති ආලෝක වස්තුවල නිර්මාතෘ වන ඔහු වෙතින් ඒ දේවල් බැස එයි.” (යාකො. 1:17) දෙවිගෙන් ලැබිලා තියෙන එක වටිනා දීමනාවක් තමයි ජීවිතය. (ගීතා. 36:9) දෙවිගේ කැමැත්ත ඉටු කරන්න ජීවිතේ මුල් තැන දෙනවා නම් අපිට හුඟක් ආශීර්වාද දැන් ලැබෙනවා. අනාගතයේදී සදාකල් ජීවනයත් ලැබෙනවා. (හිතෝ. 10:22; 2 පේතෘ. 3:13) ඒත් අපිට පාපය උරුම වෙලා තියෙන නිසා එහෙම වෙන්නේ කොහොමද?

7. තමන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න දෙවි මාර්ගය විවෘත කළේ කොහොමද?

7 සෑම යහපත් දීමනාවක්ම දෙන්නේ යෙහෝවා දෙවි බව ඔහු කළ තවත් විශේෂ දේකින් අපට තේරුම්ගන්න පුළුවන්. අපි හැමෝටම ආදම්ගෙන් පාපය උරුම වෙලා තිබුණත් දෙවිගේ මහත් කරුණාව නිසා ඔහු එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න දෙවි මාර්ගය විවෘත කළා. (රෝම 3:23) ඒ ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මෙහෙමයි. “දෙවිගේ ප්‍රේමය කොතරම්ද කියා දැකගත හැකි වන්නේ ඔහු තම එකම පුත්‍රයා මෙලොවට එවීම මාර්ගයෙනි. ඔහු එසේ කළේ අපට ඔහු මාර්ගයෙන් ජීවනය ලබාගැනීම සඳහාය. දෙවි එවැනි දෙයක් කළේ අප ඔහුට ප්‍රේම කළ නිසා නොව ඔහු අපට ප්‍රේම කළ නිසාය. ඔහු අපට ප්‍රේමය පෙන්වූවේ අපගේ පව්වලට සමාව ලබාගෙන ඔහු සමඟ සමාදාන වීමට මඟ පාදන පූජාවක් ලෙස තම පුත්‍රයාව එවීම මගිනි.”1 යොහ. 4:9, 10.

8, 9. යහපත් දීමනා සපයන්නේ යෙහෝවා දෙවියි කියන එක, ආබ්‍රහම් හා ඊසාක්ගේ සිද්ධියෙන් ඔප්පු වුණේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

8 කීකරු මිනිසුන්ට සදාකාල ජීවනය දෙන්න දෙවි කරපු ඒ දේ, ක්‍රිස්තු පූර්ව 1893දී විතර සිදු වූ දේකින් සංකේතවත් වුණා. හෙබ්‍රෙව් 11:17-19 දක්වා ඒ සිද්ධිය වාර්තා වෙන්නේ මෙහෙමයි. “ආබ්‍රහම් තුළ තිබූ විශ්වාසය කොතරම් ශක්තිමත්ද කියා සෝදිසි කරනු ලැබූ අවස්ථාවේදී ඔහු ඊසාක්ව පූජා කිරීමට වුවත් පසුබට වූයේ නැත. ඊසාක් ගැන පොරොන්දු වී තිබූ දේවල් ඔහු සතුටින් පිළිගෙන තිබුණත් ඔහු තම එකම පුත්‍රයාව ඔප්පු කිරීමට සූදානම් විය. ඔහු එසේ කළේ, ‘“ඔබට පොරොන්දු වූ තැනැත්තා” පැවතෙන්නේ ඊසාක්ගෙන්ය’ කියා ඔහුට පවසා තිබියදීමය. මන්ද ඊසාක්ව මරණයෙන් පවා නැඟිටුවන්න දෙවිට හැකි බව ඔහු තේරුම්ගෙන සිටියේය. ඇත්තෙන්ම ඔහුගේ පුත්‍රයාව මරණයෙන් මුදා ඔහුට නැවත භාර දෙනු ලැබූ අතර එයින් යමක් සංකේතවත් කරන ලදි.” ආබ්‍රහම් තම පුතාව පූජා කිරීමට ඉදිරිපත් වුණා වගේ යෙහෝවා දෙවිත් මුළු මිනිස් වර්ගයා වෙනුවෙන් ඔහුගේ පුතාව පූජා කළා.යොහන් 3:16, 36 කියවන්න.

9 ආබ්‍රහම් ඊසාක්ව පූජා කරන්න හදනකොටම දෙවි ඔහුව වළක්වලා ඒ ළඟම පඳුරක පැටලිලා හිටිය බැටළුවෙක්ව පූජා කරන්න කියලා කිව්වා. (උත්. 22:10-13) දෙවි බැටළුවෙක්ව සපයපු එක ගැන ඊසාක් කොයි තරම් සතුටු වෙන්න ඇද්ද! ආබ්‍රහම් ඒ ස්ථානයට “යෙහෝවා-යයිරෙ” කියලා නම තිබ්බා. ඒකේ තේරුම “යෙහෝවා දෙවි සපයයි” කියන එකයි.උත්. 22:14; පාදසටහන.

දෙවි සමඟ සමාදාන වීමට දෙවි සැපයූ දේ

10, 11. ‘දෙවි සමඟ සමාදාන වීමට ප්‍රස්තාව උදා කර දෙන සේවයේ’ පෙරමුණ අරන් තියෙන්නේ කවුද? ඒක කරලා තියෙන්නේ කොහොමද?

10 දෙවි සපයලා තියෙන දේවල් ගැන කල්පනා කරද්දී පැහැදිලි වෙන්නේ යේසුස්ගේ ජීවිත පූජාව නැතුව අපිට කවදාවත් දෙවිගේ මිතුරන් වෙන්න බැහැ කියලයි. පාවුල් මේ විදිහට ලිව්වා. “සියලුදෙනා උදෙසා එක් මිනිසෙකු මිය ගිය බව අපි පිළිගනිමු. එසේ වූයේ සියලුදෙනා ඒ වන විටත් මිය ගොස් සිටි නිසාය. ඔහු මිය ගියේ ඔහුගේ මරණය නිසා ජීවත් වන සියලුදෙනා තවදුරටත් තමන් වෙනුවෙන් ජීවත් නොවී තමන් වෙනුවෙන් මිය ගොස් මරණයෙන් නැඟිටුවනු ලැබූ තැනැත්තා වන ඔහු උදෙසා ජීවත් වීම සඳහාය.”2 කොරි. 5:14, 15.

11 යෙහෝවා දෙවිට ආදරය කරපු නිසාත් ඔහුට සේවය කරන්න ලැබුණු අවස්ථාව අගය කරපු නිසාත් මුල් සියවසේ හිටිය ක්‍රිස්තියානීන් ‘මිනිසුන්ට දෙවි සමඟ සමාදාන වීමට ප්‍රස්තාව උදා කර දෙන සේවය’ භාරගත්තේ හරිම සතුටින්. ඒ සේවය නම් ශුභාරංචිය දේශනා කිරීමයි. දෙවි එක්ක සමාදාන වෙලා ඔහු හා මිත්‍රත්වයක් ඇති කරගන්නත් ඔහුගේ දරුවන් වෙන්නත් ඒ සේවය නිසා මිනිසුන්ට අවස්ථාව උදා වුණා. අද දින අභිෂේක ලත් ක්‍රිස්තියානීන් කරන්නෙත් ඒ සේවයමයි. දෙවි හා ක්‍රිස්තුස් වෙනුවෙන් තානාපතීන් විදිහට සේවය කරන ඔවුන් කරන ඒ සේවය නිසා සත්‍යය පිළිගන්න කැමති අයට දෙවිට ළං වෙන්නත් යේසුස්ගේ අනුගාමිකයන් වෙන්නත් අවස්ථාව ලැබෙනවා.2 කොරින්ති 5:18-20 කියවන්න; යොහ. 6:44; ක්‍රියා 13:48.

12, 13. දෙවි අපිට දීලා තියෙන දේවල් අගය කරනවා කියලා පෙන්වන්න පුළුවන් කොහොමද?

12 යෙහෝවා දෙවි සපයලා තියෙන දේවල් වෙනත් බැටළුවන්ද අගය කරනවා. ඒ නිසා ඔවුන් අභිෂේක ලත් අය එක්ක එකතු වෙලා ශුභාරංචිය දේශනා කරනවා. ඒ සේවයේදී දෙවිගෙන් ලැබිලා තියෙන තවත් වටිනා දීමනාවක් අපි පාවිච්චි කරනවා. ඒ බයිබලයයි. (2 තිමෝ. 3:16, 17) සේවයේදී දක්ෂ විදිහට බයිබලය පාවිච්චි කළොත් අනිත් අයට සදාකාල ජීවනය ලබාගන්න අවස්ථාව දෙන්න අපිට පුළුවන්. සේවය සාර්ථකව කරන්න අපි හැමෝටම දෙවිගේ බලයත් ඕනේ. ඒක දෙවිගෙන් ලැබෙන තවත් වටිනා දීමනාවක්. (සෙක. 4:6; ලූක් 11:13) අපේ සේවයෙන් කොයි තරම් හොඳ ප්‍රතිඵල ලැබිලා තියෙනවද කියලා වාර්ෂිකව පළ වෙන ලෝක ව්‍යාප්ත වාර්තාවෙන් පැහැදිලි වෙනවා. ඒ සේවයෙන් අපිට හැම දේම සපයන දෙවි පියාණන්ව ගෞරවයට පත් කරන්න ලැබිලා තියෙන එක අපි කොයි තරම් අගය කරන්න ඕනෙද!

13 දෙවි අපි වෙනුවෙන් හුඟක් දීමනා දීලා තියෙන නිසා මේ ප්‍රශ්න ගැන අපි හිතලා බලමු. ‘දෙවි සපයන දීමනා අගය කරනවා කියලා පෙන්වන්න මං මගේ උපරිමයෙන් දේවසේවයේ හවුල් වෙනවද? ශුභාරංචිය මිනිසුන්ට දක්ෂ විදිහට කියන්න මට තව දියුණු වෙන්න පුළුවන් කොහොමද?’ දෙවි අපිට දීලා තියෙන දේවල් අගය කරනවා නම් අපි දේවරාජ්‍යයට ජීවිතයේ මුල් තැන දෙනවා. එහෙම කරද්දී අපිට අවශ්‍ය සියලු දේ ඔහු අනිවාර්යයෙන්ම සපයනවා. (මතෙ. 6:25-33) දෙවි අපට ආදරේ නිසා අපි හැමෝටම ඕන පුළුවන් උපරිමයෙන් ඔහුගේ හිත සතුටු වෙන විදිහට ජීවත් වෙන්නයි.හිතෝ. 27:11.

14. දෙවි ඔහුගේ සෙනඟව ආරක්ෂා කරලා තියෙන්නේ කොහොමද?

14 දාවිත් මේ විදිහට කිව්වා. “මම අසරණ දිලින්දෙක්ව සිටිමි. නමුත් යෙහෝවා දෙවි වන ඔබ මා ගැන සලකන්නෙහිය. මාගේ උපකාරයට සිටින්නේ ඔබය. ඔබ මට ගැලවීම සලසා දෙන්නෙහිය.” (ගීතා. 40:17) දෙවිගේ සෙනඟට සතුරන් දිගින් දිගටම දරුණු විදිහට පීඩා කළත් කණ්ඩායමක් විදිහට ඔවුන්ව පොළොවෙන් නැති කරන්න ඉඩ නොදී දෙවි ඔවුන්ව ආරක්ෂා කරලා තියෙනවා. ඒ වගේ දුෂ්කර අවස්ථාවලදී අපේ විශ්වාසය ශක්තිමත්ව තියාගන්න අවශ්‍ය හැම දෙයක්ම දෙවි දෙන එක ගැන මොන තරම් ස්තුතිවන්ත වෙන්න ඕනෙද!

දෙවි අපිට ආරක්ෂාව දෙනවා

15. පියෙක් දරුවන්ව ආරක්ෂා කරන විදිහ ගැන උදාහරණයක් දෙන්න.

15 ආදරණීය පියෙක් දරුවන්ට අවශ්‍ය දේවල් ලබා දෙනවා විතරක් නෙමෙයි ඔවුන්ව ආරක්ෂා කරන්නත් පියවර ගන්නවා. ඒක තේරුම්ගන්න සැබෑ සිද්ධියක් බලමු. සහෝදරයෙක් පුංචි කාලෙදී තාත්තත් එක්ක දේවසේවයේ ගියා. දවසක් සේවේ ඉවර වෙලා ගෙදර එද්දී දොළකින් එගොඩ වෙන්න තිබුණා. ඒත් එදා උදේ හොඳටම වැහැලා තිබුණු නිසා දොළත් පිටාර ගලලා. එගොඩ වෙන්න පුළුවන් වුණේ ගලින් ගලට පැනලයි. පුතා තාත්තගේ ඉස්සරහින් ගලින් ගලට පැන පැන යද්දී එකපාරටම වතුරට වැටුණා. දෙපාරක්ම වතුර යටට ගියත් තාත්තා ඉක්මනින්ම ක්‍රියාත්මක වෙලා පුතාව බේරගත්තා. සාතන් හා මේ දුෂ්ට සමාජයත් වේගයෙන් ගලාගෙන යන ජල පහරක් වගේ අපිව යට කරගන්න හදනවා. ඒත් අපේ පියාණන් වන යෙහෝවා දෙවි අපිව ආරක්ෂා කරනවා. ඒ තරම් ආරක්ෂාවක් අපිට වෙන කාගෙන්වත් ලැබෙන්නේ නැහැ.මතෙ. 6:13; 1 යොහ. 5:19.

16, 17. අමලෙක්වරුන් එක්ක සටන් කරද්දී ඊශ්‍රායෙල්වරුන්ව දෙවි ආරක්ෂා කළේ කොහොමද?

16 දෙවි තම සෙනඟව ආරක්ෂා කරනවා කියන එකට සාක්ෂියක් අපිට බයිබලයෙන් දැනගන්න පුළුවන්. ක්‍රිස්තු පූර්ව 1513දී දෙවි ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් නිදහස් කරගෙන රතු මුහුද හරහා ආශ්චර්යවත් විදිහට එගොඩ කළා. ඊටපස්සේ පාළුකරය හරහා සීනයි කන්ද දෙසට ගිය ඔවුන් රෙෆිඩිම් කියන තැනට ආවා.

17 උත්පත්ති 3:15 තියෙන අනාවැකිය දැනගෙන හිටිය සාතන් ඊශ්‍රායෙල්වරුන්ව නැති කරන්න ලොකු උත්සාහයක් ගන්න ඇති. කල දුටු කල වළ ඉහගන්න දක්ෂ සාතන් අමලෙක්වරුන්ව පාවිච්චි කරලා ඊශ්‍රායෙල්වරුන්ව නැති කරන්න උත්සාහ කළේ ඒ නිසයි. (ගණන්. 24:20) ඒත් යොෂුවා, මෝසෙස්, ආරොන් හා හූර් මාර්ගයෙන් දෙවි ඊශ්‍රායෙල්වරුන්ව ආරක්ෂා කළා. යොෂුවා අමලෙක්වරුන් එක්ක සටන් කරද්දී මෝසෙස්, ආරොන් හා හූර් හිටියේ ඒ ළඟම තිබුණු කන්දකයි. මෝසෙස් එයාගේ අත් ඔසවාගෙන ඉන්නකොට ඊශ්‍රායෙල්වරුන් අමලෙක්වරුන්ට වඩා දක්ෂ විදිහට සටන් කළා. ඒත් මෝසෙස්ට අත් ඔසවාගෙන ඉන්න අමාරු වුණාම ආරොන් හා හූර් දිගටම අත් ඔසවාගෙන ඉන්න එයාට උදව් කළා. දෙවිගේ උපකාරයෙන් “යොෂුවා, අමලෙක්වරුන්ටද ඔවුන් සමඟ සිටි සෙනඟටද කඩුවෙන් පහර දී ඔවුන්ව පරාජය කළේය” කියලා බයිබලයේ සඳහන් වෙනවා. (නික්. 17:8-13) ඒ ස්ථානයේ මෝසෙස් පූජාසනයක් හදලා ඒකට “යෙහෝවා-නිස්සයි” කියලා නම් කළා. ඒකේ තේරුම “මට මඟ පෙන්වන්නේ යෙහෝවා දෙවිය” කියන එකයි.නික්මයාම 17:14, 15 කියවන්න; පාදසටහන.

සාතන්ගේ පීඩා මැද දෙවිගේ රැකවරණය

18, 19. දෙවි ඔහුගේ සෙනඟව ආරක්ෂා කරලා තියෙන්නේ කොහොමද?

18 දෙවිට විශ්වාසවන්තව හා කීකරුව ඉන්න අයව ඔහු ආරක්ෂා කරනවා. ඊශ්‍රායෙල්වරු රෙෆිඩිම්ලදී දෙවිගෙන් ආරක්ෂාව පැතුවා වගේ සතුරුකම් පාන අයගෙන් අපිව ආරක්ෂා කරන්න කියලා අපිත් දෙවිට කන්නලව් කරනවා. සාතන් මොන තරම් පීඩා කරදර ගෙනාවත් අපිව කණ්ඩායමක් විදිහට දෙවි ආරක්ෂා කරලා තියෙනවා. උදාහරණයකට 1930 හා 1940 ගණන්වල ජර්මනියේ හා වෙනත් රටවල හිටිය සාක්ෂිකරුවන් දේශපාලනයට හෝ යුධමය කාරණාවලට හවුල් වුණේ නැති නිසා හුඟක් දුක්වින්දා. ඒත් දෙවිගේ රැකවරණය ඔවුන්ට නොඅඩුව ලැබුණා. අපේ ප්‍රකාශනවල පළ වෙලා තියෙන ඒ වගේ අද්දැකීම් කියෙව්වොත් දෙවි අපිව ආරක්ෂා කරනවා කියන විශ්වාසය තවත් ශක්තිමත් වෙයි.ගීතා. 91:2.

පීඩා මැද විශ්වාසවන්තව ඉන්න දෙවි තම සේවකයන් මාර්ගයෙන් අපිට උදව් කරනවා (18-20 ඡේද බලන්න)

19 සංවිධානය මාර්ගයෙන් හා ප්‍රකාශනවලින් මඟ පෙන්වීම් දීලත් දෙවි අපිව ආරක්ෂා කරනවා. මෑතකදී අපිට ලැබුණු සමහර මඟ පෙන්වීම් ගැන ටිකක් හිතන්න. අපි අද ජීවත් වෙන්නේ අනාචාරය, බේබදුකම හා අසභ්‍ය පින්තූර බලන එක සාමාන්‍ය දෙයක් වෙලා තියෙන සමාජයකයි. ඒ දේවලින් දෙවි එක්ක තියෙන අපේ මිතුරුකම නැති වෙනවට දෙවි අකමැති නිසා ඔහු අපිට අනතුරු අඟවනවා. ආරක්ෂා වෙන්න කරන්න පුළුවන් දේවල් ගැනත් ඔහු අපිට කියනවා. මිතුරු සමාජ වෙබ් අඩවි හරහා නරක අයව ආශ්‍රය කරන්න එපා කියලත් දෙවි ආදරණීය තාත්තා කෙනෙක් වගේ අපිට අනතුරු අඟවනවා. *1 කොරි. 15:33.

20. සභාවෙන් අපිට මඟ පෙන්වීම් හා ආරක්ෂාව ලැබෙන්නේ කොහොමද?

20 අපිට උගන්වන්නේ දෙවියි කියන එක අපි විශ්වාස කරනවා කියලත් දෙවිගේ මඟ පෙන්වීම්වලට අපි ඇහුම්කන් දෙනවා කියලත් පෙන්වන්න පුළුවන් කොහොමද? (යෙසා. 54:13) ඒ ඔහුට කීකරු වීමෙනුයි. අපිට මඟ පෙන්වීම් හා ආරක්ෂාව ලැබෙන තැන තමයි සභාව. සභාවල ඉන්න වැඩිමහල්ලන් බයිබලයෙන් මඟ පෙන්වීම් දීලා අපිට ආරක්ෂාව සපයනවා. (ගලා. 6:1) “තෑගි වශයෙන්” දෙවි අපිට ලබා දීලා තියෙන මේ පුරුෂයන් මාර්ගයෙන් දෙවි අපිට රැකවරණය දෙනවා. (එෆී. 4:7, 8) ඔවුන් අපිට යම් මඟ පෙන්වීමක් දුන්නම අපි කරන්න ඕන මොකක්ද? කැමැත්තෙන්ම කීකරු වෙන්න ඕනේ. එතකොට දෙවි අපිට ආශීර්වාද කරනවා.හෙබ්‍රෙ. 13:17.

21. (අ) අපේ අදිටන වෙන්න ඕන මොකක්ද? (ආ) ඊළඟ ලිපියෙන් අපි සලකා බලන්නේ මොනවද?

21 අපේ ආදරණීය පියාණන් වන යෙහෝවා දෙවි ඔහුගේ බලයෙන් අපිට මඟ පෙන්වද්දී කීකරු වෙන්න අපි අදිටන් කරගමු. ඒ වගේම යේසුස්ගේ වටිනා ආදර්ශය ගැනත් හිතලා ඔහු වගේ ජීවත් වෙන්න අපිට පුළුවන් උපරිමය කරමු. යේසුස් මරණය දක්වාම දෙවිට කීකරුව හිටපු නිසා දෙවි ඔහුට හුඟක් ආශීර්වාද කළා. (ෆිලි. 2:5-11) ඒ වගේ අපිත් මුළු හිතින්ම දෙවිව විශ්වාස කළොත් දෙවි අපිටත් ආශීර්වාද කරනවා. (හිතෝ. 3:5, 6) යෙහෝවා දෙවි තරම් අපිට යහපත් දීමනා දෙන අපිව ආරක්ෂා කරන වෙන කෙනෙක් නැහැ. ඔහුට සේවය කරන්න ලැබිලා තියෙන එක කොයි තරම් වටිනා දෙයක්ද! ඊළඟ ලිපියෙන් අපි සලකා බලන්නේ යෙහෝවා දෙවි අපේ හොඳම මිතුරා කියන එක ගැනයි. අපේ පියාණන් හැටියට ඔහු ගැන අපේ හිත්වල තියෙන ආදරය තවත් වැඩි කරගන්න ඒ තොරතුරු අපිට උදව් වෙයි.

^ 19 ඡේ. අපිව ආරක්ෂා කරන්න කොයි තරම් වටිනා මඟ පෙන්වීම් දෙවි දීලා තියනවාද කියන එකට මේ ලිපි හොඳ සාක්ෂියක්. 2011 අගෝස්තු 15 ‘මුරටැඹ’ සඟරාවේ 3-5 පිටුවල පළ වුණු “අන්තර්ජාලය කල්පනාවෙන් පරිහරණය කරන්න” යන ලිපිය, 2012 අගෝස්තු 15 ‘මුරටැඹ’ සඟරාවේ 20-29 පිටුවල පළ වුණු “සාතන්ගේ උගුල්වලින් පරෙස්සම් වෙන්න” හා “ස්ථිරව සිට සාතන්ගේ උගුල්වලට නොවැටෙමු” යන ලිපි.