Skip to content

පටුනට යන්න

අතීතයෙන් බිඳක්

සියවස සැපිරූ සල රූ සේයා

සියවස සැපිරූ සල රූ සේයා

“ඒක හරියට සහෝදර රසල් ඇත්තටම කතාවක් දෙනවා වගේමයි!”—1914 දී “ෆොටෝ ඩ්‍රාමා” නැරඹූ කෙනෙක්.

“ෆොටෝ ඩ්‍රාමා ඔෆ් ක්‍රියේෂන්” මංගල දර්ශනය පෙන්වා දැන් වසර 100ක් ගත වී අවසන්. සිත් ඇදගන්නා දර්ශන ඇතුළත් මෙම වැඩසටහනේ අරමුණ වුණේ බයිබලය දෙවිගේ වචනය බවට මිනිසුන් තුළ විශ්වාසයක් ඇති කිරීමයි. පරිණාමවාදය, සැකය සහ විවේචන වැනි දේ නිසා දෙවි කෙරෙහි තිබූ විශ්වාසය දුර්වල වෙමින් තිබූ යුගයක සියල්ලේ නිර්මාතෘ යෙහෝවා දෙවියි කියා අවබෝධ කර දීමට මෙම වැඩසටහන ඉවහල් වුණා.

බයිබල් ශිෂ්‍යයන් අතර පෙරමුණ ගෙන වැඩ කළ චාල්ස් ටී. රසල් නිතරම සිතුවේ ඉක්මනින් සහ හිතට කාවදින ලෙස ශුභාරංචිය දේශනා කරන්න පුළුවන් ක්‍රම ගැනයි. මේ වන විටත් දශක තුනකට වැඩි කාලයක් පුරා ඔවුන් ප්‍රකාශන යොදාගෙන බයිබල් සත්‍යයන් කියා දෙමින් සිටියා. දැන් ඔවුන් අලුත්ම ක්‍රමයක් සොයාගත්තා.

ශ්‍රව්‍ය දෘෂ්‍ය වැඩසටහනක් මාර්ගයෙන් ශුභාරංචිය

1890 ගණන්වල නිහඬ චලන රූප ඇතුළත් වැඩසටහන් ප්‍රසිද්ධ වෙමින් තිබුණා. 1903දී ඒ ආකාරයේ ආගමික වැඩසටහනක් නිව් යෝර්ක් නගරයේ පල්ලියකත් පෙන්වා තිබුණා. සහෝදර රසල් 1912 දී “ෆොටෝ ඩ්‍රාමා” වැඩසටහන නිපදවන්න පටන්ගන්නා විට එම තාක්ෂණය තිබුණේ නොදියුණු මට්ටමකයි. ඒත් ප්‍රකාශනවලට වඩා ප්‍රබල ආකාරයකින් ඒ වැඩසටහන මගින් මිනිසුන්ගේ හදවත්වලට බයිබල් සත්‍යයන් කාවද්දන්න පුළුවන් වෙයි කියා ඔහු සිතුවා.

පැය අටක් පුරා දිව ගිය කොටස් හතරකින් යුත් එම වැඩසටහනට කෙටි බයිබල් දේශන 96ක් ඇතුළත් වුණා. එම දේශන, හොඳ කටහඬක් තිබූ පුද්ගලයෙක් යොදාගෙන පටිගත කර පසුබිමින් වාදනය කළා. බයිබල් කතා ඇතුළත් දර්ශන පට සහ වර්ණවත් වීදුරු කාචවලින් පින්තූර තිරයේ දිස් වන විට ඊට සමගාමීව පටිගත කරන ලද හඬ සහ සංගීතය වාදනය කළා. එය කළේ පුහුණුව ලැබූ සහෝදරයන් කිහිපදෙනෙක්.

“තරු නිර්මාණය කළ ආකාරයේ සිට යේසුස්ගේ දහස් අවුරුදු පාලනය දක්වාම තොරතුරු ඒ වැඩසටහනට ඇතුළත් වුණා.”—1914 දී අවුරුදු 14ක්ව සිටි එෆ්. ස්ටුවර්ට් බාන්ස්

බොහෝ දර්ශන පට සහ වීදුරු කාච ලබාගත්තේ වෙනත් චිත්‍රාගාරවලිනුයි. ඒවාවල චිත්‍ර ඇඳ, වර්ණ ගැන්වීම සිදු කළේ ෆිලදෙල්ෆියා, නිව් යෝර්ක්, පැරිස් සහ ලන්ඩන් වැනි නගරවල සිටි දක්ෂ චිත්‍රශිල්පීන්. බෙතෙල් නිවසේ සහෝදරයන්ද චිත්‍ර ඇඳීමේ කාර්යයට දායක වුණා. විශේෂයෙන්ම ඒවා බිඳුන අවස්ථාවල නැවත පිළිසකර කළේ ඔවුනුයි. පිටින් ලබාගත් දර්ශන පටවලට අමතරව බෙතෙල් නිවසේ සහෝදරයන්ද ආබ්‍රහම්ගේ, ඊසාක්ගේ සහ ඊසාක්ව පූජා කරන විට ආබ්‍රහම්ව වැළැක්වූ දේවදූතයාගේ චරිත රඟ දක්වා, ඡායාරූප ගෙන දර්ශන පට හැදුවා.උත්. 22:9-12.

තැටි 26ක්, වීදුරු කාච 500ක් සහ සැතපුම් 2ක් දිග දර්ශන පට වැඩසටහනට යොදාගත් අතර පුහුණුව ලැබූ සහෝදරයන් ඒවා නියමිත වේලාවට ක්‍රියාත්මක කළා

සහෝදර රසල්ගේ හිතවතෙක් කිව්වේ “මේ දක්වා කරලා තියෙන ඕනම ආගමික වැඩසටහනකට වඩා මේ අලුත් ක්‍රමය නිසා ගොඩක් අයට බයිබලය ඉගෙනගන්න ආසාවක් ඇති වෙයි” කියලයි. මිනිසුන්ට බයිබල් සත්‍යයන් කියා දීමට ගත් ඒ වෑයම එදා හිටපු පූජකයන් අගය කළේ නැහැ. ඒ පූජකයන් කූට මෙන්ම පහත් උපක්‍රම යොදාගෙන “ෆොටෝ ඩ්‍රාමා” වැඩසටහන පෙන්වීම වැළැක්වීමට උත්සාහ දැරුවා. එක් අවස්ථාවක ඔවුන් විදුලි බලයත් කපාහැරියා.

පරිවාරකයන් ලෙස සේවය කළ සහෝදරියන්, “ෆොටෝ ඩ්‍රාමා” වැඩසටහන නරඹන්න පැමිණි අයට පින්තූර ඇතුළත් පුංචි පොත් මිලියන ගණනක් නොමිලේ බෙදා දුන්නා

යේසුස්ගේ ළමා කාලයේ පින්තූරයක් සහිත බැජ් එකක් පැමිණ සිටි අයට ලැබුණා. යේසුස් මෙන් සාමයට කැමති පුද්ගලයන් වෙන්න අවශ්‍ය බව ඒකෙන් ඔවුන්ට සිහිගැන්නුවා

කෙසේවෙතත් නොමිලේ පෙන්වූ “ෆොටෝ ඩ්‍රාමා” වැඩසටහන බලන්න පැමිණි ජනයාගෙන් ශාලා පිරී ඉතිරී ගියා. ඇමරිකාවේ සෑම දවසකම නගර 80ක පමණ මෙය ප්‍රදර්ශනය කළා. හඬ කැවූ දර්ශන මුල්ම වතාවට දකින්න ලැබීමෙන් මිනිස්සු පුදුමයට පත් වුණා. සහෝදර රසල්ගේ දේශනයක් ගැන එක් නරඹන්නෙක් කිව්වේ “ඒක හරියට සහෝදර රසල් ඇත්තටම කතාවක් දෙනවා වගේමයි!” කියලයි. මලක් පිපෙන ආකාරය හා කුකුල් පැටවෙකු කටුවෙන් එළියට එන ආකාරය දිස් වන ඡායාරූප ඇතුළත් දර්ශන පට වේගයෙන් ක්‍රියාත්මක කිරීමෙන් ඔවුන්ගේ ඇස් ඉදිරියේ එය ඇත්තටම වෙනවා හා සමානව දකින්න සැලැස්වූවා. එහි ඇතුළත්ව තිබූ විද්‍යාත්මක තොරතුරු මගින් දෙවිගේ ප්‍රඥාව තේරුම්ගැනීමටත් අවස්ථාව ලබා දුන්නා.

බයිබල් අධ්‍යාපනයේ සන්ධිස්ථානයක්

1914 ජනවාරි 11වෙනිදා “ෆොටෝ ඩ්‍රාමා” වැඩසටහන මුලින්ම පෙන්වූ නිව් යෝර්ක් නගරයේ රඟහල

“ෆොටෝ ඩ්‍රාමා” වැඩසටහන ගැන චිත්‍රපට ඉතිහාසඥයෙක් කිව්වේ මෙහෙමයි. “පළමු වතාවට දර්ශනවලට සමගාමීව හඬත් චලන රූප හා වර්ණ ගන්වන ලද වීදුරු කාචත් යොදාගෙන ඉදිරිපත් කළ දැවැන්තම වැඩසටහන එයයි.” කලින් ඒ සමහර තාක්ෂණික ක්‍රම යොදාගෙන වැඩසටහන් කර තිබුණා. ඒත් ඒ හැම තාක්ෂණික ක්‍රමයක්ම එක්වර යොදාගෙන බයිබල් තේමාවකට අනුව හදපු පළමු වැඩසටහන එයයි. “ෆොටෝ ඩ්‍රාමා” නැරඹීමට පැමිණියා හා සමාන ජනකායක් වෙන කිසිම වැඩසටහනක් නැරඹීමට පැමිණ තිබුණේ නැහැ. මුල් වසරේ පමණක් උතුරු ඇමරිකාව, යුරෝපය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය වැනි රටවල එය නැරඹූ මුළු ගණන මිලියන 9ක් පමණ වෙනවා.

“ෆොටෝ ඩ්‍රාමා” වැඩසටහන මුලින්ම පෙන්නුවේ 1914 ජනවාරි 11වෙනිදා නිව් යෝර්ක් නගරයේයි. ඉන් මාස හතකට පසු පළමු ලෝක යුද්ධය ආරම්භ වුණා. ඒ වුණත් වැඩසටහන නැරඹීමට ලොව පුරාම සිටින ජනයා පැමිණියේ දේවරාජ්‍යයෙන් ලැබෙන ආශීර්වාද ඇතුළත් දර්ශන දැක බලාගැනීමෙන් සහනයක් ලබන්නයි. එවකට තිබූ විශිෂ්ටතම වැඩසටහන “ෆොටෝ ඩ්‍රාමා” වැඩසටහන බවට කිසිම සැකයක් නැහැ.

උතුරු ඇමරිකාවේ ප්‍රදර්ශනය කිරීමට “ෆොටෝ ඩ්‍රාමා” වැඩසටහනේ පිටපත් 20ක් යොදාගත්තා