Skip to content

පටුනට යන්න

ධනාත්මකව හිතන්න පුරුදු වෙමු

ධනාත්මකව හිතන්න පුරුදු වෙමු

“මිනිසෙකු කොතරම් කාලයක් ජීවත් වුණත් ඒ සෑම දවසකදීම ඔහු ප්‍රීතියෙන් සිටීමට වෑයම් කළ යුතුයි.”—දේශ. 11:8.

1. සතුටින් ඉන්න දෙවි අපිට දීලා තියෙන්නේ මොන වගේ දේවල්ද?

යෙහෝවා දෙවි කැමති අපි සතුටින් ඉන්නවටයි. ඒකට ඕන කරන හුඟක් දේවල් දෙවි අපිට දීලා තියෙනවා. අපිට තියෙන මේ ජීවිතය, දෙවිට නමස්කාර කරන්න ලැබිලා තියෙන අවස්ථාව කොයි තරම් වටිනවද! (ගීතා. 144:15; යොහ. 6:44) දෙවි අපිට ආදරේ කරන නිසාත් අපිට උදව් කරන නිසාත් අත් නෑර දෙවිට සේවය කරන්න අපිට පුළුවන්. (යෙරෙ. 31:3; 2 කොරි. 4:16) ලොව පුරාම සිටින පවුලක සෙනෙහස ලැබෙන නිසාත් අපේ ආදරණීය පියාගෙන් අපිට නිතිපතා ලැබෙන මඟ පෙන්වීම් නිසාත් අපි මොන තරම් සතුටු වෙනවද! ඒ විතරද අපිට තියෙන්නේ කොයි තරම් වටින බලාපොරොත්තුවක්ද!

2. දෙවිට විශ්වාසවන්තව සේවය කරන සමහර අය දුකෙන් ඉන්නේ ඇයි?

2 සතුටු වෙන්න දේවල් තිබුණත් අපි අතරේ ඉන්න සමහර අය ඉන්නේ දුකෙන්. ඒකට හේතුව ඔවුන් තමන් ගැන අඩුවෙන් හිතන නිසයි. තමන් කරන සේවය විතරක් නෙමෙයි තමන්වත් දෙවිට වටින්නේ නැහැ කියලා ඔවුන් හිතනවා. ඒ වගේ හැඟීම් නිතර නිතර ඇති වෙන කෙනෙක්ට හිතෙන්නේ ජීවිතේ සතුටින් ගත කරන එක හීනයක් කියලයි. උදා වෙන හැම දවසක්ම අඳුරු දවසක් කියලා ඔවුන්ට හැඟෙනවා.—දේශ. 11:8.

3. සමහරුන්ට තමන් වටින්නේ නැහැ කියලා හැඟෙන්නේ මොන වගේ හේතු නිසාද?

3 සමහර අයට තමන් වටින්නේ නැහැ කියලා හැඟෙන්නේ කලකිරීම්, අසනීප, වයසට යෑම වගේ හේතු නිසා වෙන්න පුළුවන්. (ගීතා. 71:9; හිතෝ. 13:12; දේශ. 7:7) අපේ ‘රැවටිලිකාර හිතත්’ ඒකට හේතුවක්. දෙවි අපි ගැන සතුටු වුණත් එහෙම නැහැ කියලා අපිට හැඟෙන්න සලස්වන්න අපේ හිතට පුළුවන්. (යෙරෙ. 17:9; 1 යොහ. 3:20) දෙවිගේ සෙනඟ ගැන සාතන් පතුරුවන බොරු තවත් හේතුවක්. ඒ වගේම සාතන් වගේ හිතන සමහරු දෙවිට අපිව වටින්නේ නැහැ කියලා විශ්වාස කරන්න අපිව පොලඹවන්න පුළුවන්.—යෝබ් 4:18, 19.

4. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

4 තමන් වටින්නේ නැහැ කියලා හිතන අයට හැඟෙන්නේ තමන් “අඳුරු තැනිතලාවක ගමන්” කරනවා වගේ කියලයි. ඒ අයගේ උදව්වට ඔවුන් ළඟින්ම ඉන්නවා කියලා දෙවි පොරොන්දු වෙනවා. (ගීතා. 23:4) ඒකට හොඳම සාක්ෂියක් තමයි බයිබලය. බයිබලයේ තියෙන උපදෙස් දෙවිගේ බලයෙන් ලැබුණ නිසා ඒවා හුඟක් බලවත්. ඒ උපදෙස්වලට පුළුවන් ‘බලකොටු හා සමාන ඕනෑම දෙයක් බිඳ හෙළන්න.’ (2 කොරි. 10:4, 5) තමන් වටින්නේ නැහැ කියන සිතුවිලිත් බලකොටු වගේ අපේ හිත්වල පැළපදියම් වෙලා තියෙන්න පුළුවන්. ඒ හැඟීම් බිඳලා දෙවි අපි දිහා බලන විදිහට බලන්න ඒ කියන්නේ ධනාත්මකව අපි ගැන හිතන්න අපිට උදව් කරන්න බයිබලයට පුළුවන් කොහොමද කියලා දැන් බලමු.

ධනාත්මකව හිතන්න බයිබලය උදව්වක්

5. ධනාත්මකව අපි ගැන හිතන්න උදව් වෙන්නේ මොකක්ද?

5 පාවුල් මෙහෙම කියනවා. “ඔබ විශ්වාස කරන සත්‍ය ඉගැන්වීම්වලට ඔබ ඇලී සිටිනවාද කියා නොකඩවා සෝදිසි කර බලන්න.” (2 කොරි. 13:5) එහෙම කළොත් ධනාත්මකව හිතන්න අපිට පුළුවන් වෙනවා. “සත්‍ය ඉගැන්වීම්” තියෙන්නේ බයිබලයේ. අපි ජීවත් වෙන විදිහ, අපි උගන්වන දේවල් බයිබලයේ තියෙන “සත්‍ය ඉගැන්වීම්වලට” එකඟයි නම් අපි සත්‍ය ඉගැන්වීම්වලට “ඇලී සිටිනවා” කියලා ඔප්පු වෙනවා. අපි ගැන ධනාත්මකව හිතන්න ඒකම හේතුවක්. ඒත් බයිබලයේ තියෙන සත්‍ය ඉගැන්වීම්වලින් අපි කැමති ඒවාට විතරක් කීකරු වෙලා මදි. බයිබලයේ තියෙන හැම ඉගැන්වීමකටම අපි කීකරු වෙන්න ඕනේ.—යාකො. 2:10, 11.

6. අපි ‘සත්‍ය ඉගැන්වීම්වලට ඇලී සිටිනවාද කියා සෝදිසි කර’ බලන එක වැදගත් ඇයි? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

6 ‘මං සත්‍ය ඉගැන්වීම්වලට අනුව ජීවත් වෙන්නේ නැතුව ඇති’ කියලා කෙනෙක් තමන් ගැනම අඩුවෙන් හිතනවා නම් ඒ කෙනා තමන්ව සෝදිසි කරලා බලන්න ටිකක් අදිමදි කරයි. ඒත් වැදගත් වෙන්නේ අපි අපි ගැන හිතන විදිහ නෙමෙයි දෙවි අපි ගැන හිතන විදිහයි. අපිට වඩා අපි ගැන දන්නේ යෙහෝවා දෙවියි. (යෙසා. 55:8, 9) දෙවි අපිව සෝදිසි කරලා බලන්නේ අපේ වැරදි හොයන්න නෙමෙයි. අපි තුළ පුංචි හරි හොඳක් තියෙනවා නම් ඒක තේරුම්ගන්නත් අපිට උදව් කරන්නත් ඔහුට ඕනෙ නිසයි. අපි බයිබලය හොඳට අධ්‍යයනය කරලා ‘සත්‍ය ඉගැන්වීම්වලට ඇලී සිටිනවාද කියා සෝදිසි කර’ බලද්දී දෙවිට අපි ගැන හැඟෙන විදිහ තේරුම්ගන්න අපිට පුළුවන් වෙනවා. දෙවිට අපිව වටිනවා කියන දේ මතක තියාගන්න ඒක උදව්වක්. තමන්ගේ ජීවිතේ අඳුරුයි කියලා හිතෙන කෙනෙක් තුළ ‘දෙවිට මාව වටිනවා කියන හැඟීම’ ඇති වෙන එක හරියට අඳුරු කාමරයක ජනෙල් විවෘත කළාම මුළු කාමරයම හිරු එළියෙන් නැහැවී යනවා වගේ දෙයක්.

7. බයිබලයේ සඳහන් විශ්වාසවන්ත අයගේ ආදර්ශ අපිට උදව්වක් වෙන්නේ කොහොමද?

7 අපිවම සෝදිසි කරලා බලන්න පුළුවන් හොඳ විදිහක් තමයි බයිබලයේ සඳහන් විශ්වාසවන්ත අයගේ ආදර්ශ ගැන හොඳට හිතලා බලන එක. ඒ අය අත්වින්ද දේවල්, ඒ අයගේ හැඟීම්, ඔබ අත්විඳින තත්වයන්, ඔබේ හැඟීම් එක්ක සසඳලා බලන්න. ඒ වගේ තුන්දෙනෙක් ගැන දැන් බලමු. ඔබ ගැන ධනාත්මකව හිතන්න ඒක ඔබට උදව් වෙයි.

දුප්පත් වැන්දඹුව

8, 9. (අ) දුප්පත් වැන්දඹුව හිටියේ මොන වගේ තත්වයකද? (ආ) දේවමාලිගාවට එද්දී ඇයට මොන වගේ දේවල් හිතෙන්න ඇද්ද?

8 අපි කොච්චර ආශාවෙන් හිටියත් සමහර දේවල් අපිට කරන්න බැහැ. ඒ වගේ වෙලාවලදී අධෛර්යය නොවී ඉන්න දුප්පත් වැන්දඹුවගේ ආදර්ශය අපිට උදව් වෙනවා. (ලූක් 21:1-4 කියවන්න.) ඇය දේවමාලිගාවේ තිබුණ මුදල් බඳුනකට මුදල් දානවා යේසුස් දැක්කා. ඔබට පුළුවන්ද ඒ වෙලාවේ ඇය හිටපු තත්වය තේරුම්ගන්න? සැමියා මිය ගිහින් හිටපු නිසා ඒ ගැන ඇය දුකෙන් ඉන්න ඇති. ඒ විතරක් නෙමෙයි එදා හිටපු ආගමික නායකයන් කෑදර විදිහට ඒ වගේ අයගේ ‘ඉඩකඩම් දේපොළ පැහැරගත්තා.’ (ලූක් 20:47) ඇය කොච්චර දුප්පත්ද කියනවා නම් ඇයට සම්මාදම් විදිහට දෙන්න පුළුවන් වුණේ කම්කරුවෙක් විනාඩි කීපයක් වැඩ කරලා උපයන මුදල වගේ සුළු මුදලක් විතරයි.

9 පුංචි කාසි දෙකකුත් අතේ තියාගෙන දේවමාලිගාවේ මළුවට එද්දී ඇයට මොනවා හිතෙන්න ඇද්ද? ඇගේ සැමියා ජීවත්ව ඉද්දී සම්මාදම් කරපු මුදල් එක්ක බලද්දී මේ මුදල කොච්චර පොඩිද කියලා ඇය හිතන්න ඇද්ද? අනිත් අය විශාල මුදල් ප්‍රමාණයක් බඳුන්වලට දාද්දී ඇගේ අතේ තිබුණ කාසි දෙක ගැන ඇයට ලැජ්ජාවක් දැනෙන්න ඇද්ද? එහෙම හිතුණත් සත්‍ය නමස්කාරය වෙනුවෙන් ඇයට කරන්න පුළුවන් දේ ඇය නොකර හිටියේ නැහැ.

10. දුප්පත් වැන්දඹුවව දෙවිට වටිනවා කියලා යේසුස් පෙන්නුවේ කොහොමද?

10 ඒ දුප්පත් වැන්දඹුවත් ඇය දුන්න පුංචි සම්මාදමත් යෙහෝවා දෙවිට හුඟක් වටිනවා කියලා යේසුස් කිව්වා. ඔහු කිව්වේ ඇය ධනවත් හැමෝටම වඩා දුන්නා කියලයි. ඇය දුන්න ඒ කාසි දෙකත් අනිත් අය දුන්න සම්මාදම් එක්ක එකතු වුණා. ඒත් යේසුස් ඇයට විශේෂ අවධානයක් දුන්නා. යේසුස් එහෙම කළේ ඇගේ හිතේ දෙවිට තිබුණ ආදරය, භක්තිය ඔහු දැක්ක නිසයි. බඳුන්වල තිබුණ මුදල් එකතු කරපු අය ඒ කාසි දෙක දෙවිට කොයි තරම් වටිනවද කියලවත් දෙවි ඇයව කොයි තරම් අගය කළාද කියලවත් කවදාවත් දැනගන්න නැතුව ඇති. ඒත් ඇත්තටම වැදගත් වුණේ ඇගේ සම්මාදම ගැන අනිත් අය හිතන දේවත් අඩුම තරමේ ඇයට හිතුණ දේවත් නෙමෙයි යෙහෝවා දෙවි ඒ ගැන හිතපු දේයි. ඒ සිද්ධිය ගැන හොඳට හිතලා ඔබත් ‘සත්‍ය ඉගැන්වීම්වලට ඇලී සිටිනවාද’ කියලා සෝදිසි කරලා බලන්න.

දුප්පත් වැන්දඹුවගෙන් ඔබ ඉගෙනගන්නේ මොනවද? (8-10 ඡේද බලන්න)

11. වැන්දඹුවගේ සිද්ධියෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

11 දෙවි වෙනුවෙන් කරන්න පුළුවන් ප්‍රමාණය ඔබ ඉන්න තත්වය අනුව වෙනස් වෙනවා. මහලු වයස, අසනීප නිසා ඔබ හිතන තරම් දේවසේවයේ හවුල් වෙන්න බැරුව ඇති. ඔබ දෙවි ගැන කතා කරන්න යොදවන පුංචි කාලය වාර්තා කරන්න තරම් වටින්නේ නැහැ කියලා හිතෙනවද? ඔබ තරුණ, නිරෝගි කෙනෙක් වුණත් දෙවිගේ සෙනඟ සේවය වෙනුවෙන් වැය කරන පැය ගාණ එක්ක බලද්දී ‘මං කරන්නේ හරිම පොඩි සේවයක්නේ’ කියලා ඔබට හිතෙනවද? ඒත් දුප්පත් වැන්දඹුව අපිට උගන්වන දේ තමයි අපි දෙවි වෙනුවෙන් කොයි තරම් පොඩි දෙයක් කළත් දෙවි ඒක අගය කරනවා කියන එක. විශේෂයෙන්ම දුෂ්කරතා මැද ඒ දේ කරද්දී දෙවිට ඒක තවත් වටිනවා. පහුගිය අවුරුද්ද ගැන ටිකක් හිතන්න. අමාරුකම් තිබුණ කාලයකදී දෙවි වෙනුවෙන් එක පැයක් යොදවන්න ඔබ හුඟක් කැප කිරීම් කළාද? එහෙමනම් ඒ දේ දෙවි අගය කරනවා. ඒ දුප්පත් වැන්දඹුව වගේ ඔබත් ඔබට පුළුවන් උපරිමයෙන් දෙවිට සේවය කරනවා නම් ඔබ ‘සත්‍ය ඉගැන්වීම්වලට ඇලී’ ඉන්න කෙනෙක් කියලා ඔප්පු වෙනවා.

“දෙවියනි, මාව මරා දමන්න”

12-14. (අ) එලියාට තමන් ගැන හැඟුණේ කොහොමද? (ආ) ඔහුට එහෙම හැඟුණේ ඇයි?

12 එලියාට යෙහෝවා දෙවි ගැන ලොකු විශ්වාසයක් තිබුණා. ඒ වුණත් එක අවස්ථාවකදී ඔහු අධෛර්යය වෙලා “අනේ යෙහෝවා දෙවියනි, මාව මරා දමන්න. මා ජීවත් වුණා දැන් හොඳටම ඇති” කියලා කිව්වා. (1 රාජා. 19:4) එලියාට දැනුණා වගේ බයක්, කලකිරීමක් කවදාවත් දැනිලා නැති අය එලියා “වියරු වැටුණු කෙනෙකු මෙන්” කතා කළා කියලා හිතයි. (යෝබ් 6:3) ඒත් යෙහෝවා දෙවිට එලියා ගැන එහෙම හැඟුණේ නැහැ. ඒ ගැන තරහ ගන්නවා වෙනුවට දෙවි ඔහුට උදව් කළා.

13 එලියා කලකිරුණේ ඇයි? ඊට කලින් එලියා ආශ්චර්යයක් කරලා යෙහෝවා දෙවි සැබෑ දෙවි කියලා ඔප්පු කළා. ඊටපස්සේ බාල්ගේ අනාගතවක්තෘවරුන් 450ක්ව මරලා දැම්මා. (1 රාජා. 18:37-40) ඒ දේවල් නිසා සෙනඟ ආයෙත් යෙහෝවා දෙවිට නමස්කාර කරන්න පටන්ගනියි කියලා එලියා හිතුවා. ඒත් එහෙම වුණේ නැහැ. ඒ විතරක් නෙමෙයි දුෂ්ට යෙසබෙල් රැජිණ ඔහුව මරනවා කියලා දන්වලා එව්වා. ඒකට බය වුණ එලියා පාළුකරයට පලා ගියා.—1 රාජා. 19:2-4.

14 පාළුකරයේ බයෙන්, තනිකමෙන් හිටපු එලියාට හැඟුණේ ඔහු කරපු හැම දේම වතුරේ ගියා කියලයි. “මමත් මගේ මුතුන්මිත්තන් වගේ අසම්පූර්ණයි” කියලා ඔහු දෙවිට කිව්වා. ඔහු ඒකෙන් අදහස් කළේ ඒ වෙනකොටත් මිය ගිහින් දූවිලි වෙලා හිටපු ඔහුගේ මුතුන්මිත්තන්ට කිසිම දෙයක් කරන්න බැහැ වගේ ඔහුගෙනුත් කිසිම වැඩක් නැහැ කියලයි. ඔහුට හැඟුණේ ඔහු අසාර්ථක, දෙවිටවත් අනිත් අයටවත් ප්‍රයෝජනයක් නැති පුද්ගලයෙක් කියලයි.

15. දෙවිට එලියාව වටිනවා කියලා දෙවි පෙන්නුවේ කොහොමද?

15 ඒත් යෙහෝවා දෙවි හිතුවේ ඊට වඩා වෙනස් විදිහට. දෙවි එලියාව හුඟක් වටින කෙනෙක් විදිහට සැලකුවා. ඒක එලියාට දැනෙන්නත් සැලැස්සුවා. දෙවි දේවදූතයෙක් එවලා එලියාව ශක්තිමත් කළා. ඔහුට අවශ්‍ය කරන කෑමත් වතුරත් දුන්නා. ඒකෙන් ලැබුණ ශක්තියෙන් දවස් 40ක් පුරා ඇවිදගෙන හොරෙබ් කන්දට යන්න ඔහුට පුළුවන් වුණා. දෙවිට විශ්වාසවන්ත කිසිම කෙනෙක් නැහැ කියලා එලියා හිතුවත් ඔහු හිතපු විදිහ වැරදියි කියලා දෙවි ආදරෙන් කියලා දුන්නා. දෙවි ඔහුට අලුත් පැවරුමකුත් දුන්නා. ඒ විදිහට දෙවි උදව් කරපු නිසා ආපහු අනාගතවක්තෘවරයෙක් විදිහට සේවය කරන්න ඔහුට නව පණක් ලැබුණා.—1 රාජා. 19:5-8, 15-19.

16. දෙවි ඔබව ශක්තිමත් කරලා තියෙන්නේ කොයි වගේ විදිවලින්ද?

16 ඔබ ‘සත්‍ය ඉගැන්වීම්වලට ඇලී’ ඉන්න කෙනෙක් කියලා තේරුම්ගන්නත් ඔබ ගැන අඩුවෙන් හිතන්නේ නැතුව ඉන්නත් එලියාගේ සිද්ධිය ඔබට පැති තුනකින් උදව් වෙයි. මුලින්ම යෙහෝවා දෙවි ඔබව කොයි තරම් විදිවලින් ශක්තිමත් කරලා තියෙනවද කියලා හිතන්න ඒ සිද්ධිය උදව් කරනවා. ඔබට ඕනම කරපු වෙලාවකදී වැඩිමහල්ලෙක් නැත්නම් වෙන කෙනෙක් ඔබට උදව් කරපු අවස්ථාවක් මතකද? (ගලා. 6:2) බයිබලය නැත්නම් අපේ පොත් පත් කියවද්දී රැස්වීම්වලට සහභාගි වෙද්දී දෙවි ඔබ ගැන සැලකිලිමත් කියලා ඔබට දැනිලා තියෙනවද? ඒ විදිවලින් ඔබට උදව් ලැබෙන ඊළඟ වතාවේදී ඒ උදව් පිටිපස්සේ ඉන්නේ කවුද කියලා හොඳට හිතන්න. දෙවිට ඒ ගැන ස්තුති කරන්න.—ගීතා. 121:1, 2.

17. යෙහෝවා දෙවිට වටින්නේ මොනවද?

17 එලියාගෙන් ඉගෙනගන්න පුළුවන් දෙවෙනි දේ තමයි ඔබේ කිසි වටිනාකමක් නැහැ කියලා හිතන්න පටන්ගත්තොත් ඔබ මේ වෙනකොටත් කරන හොඳ දේවල් ඔබට නොපෙනෙන්න පුළුවන් කියන එක. අපි අපි ගැන හිතන විදිහට වඩා දෙවි අපි ගැන හිතන විදිහයි වැදගත්. (රෝම 14:4 කියවන්න.) අපි කරන කැප කිරීම්, විශ්වාසවන්තව කරන සේවය යෙහෝවා දෙවිට හුඟක් වටිනවා. අපේ වටිනාකම තීරණය වෙන්නේ අපි කරන ප්‍රමාණය අනුව නෙමෙයි. ඇත්තටම ඔබ හිතනවටත් වඩා දේවල් ඔබ දෙවි වෙනුවෙන් කරලා ඇති. ඔබ නොදැන වුණත් සභාවේ අයට ඔබ දිරිගැන්වීමක් වෙලා ඇති. ඔබ ඉන්න ප්‍රදේශයේ මිනිසුන්ට සත්‍ය පණිවිඩය අහන්න ලැබිලා තියෙන්නේ ඔබ වෙහෙස වෙලා කරන සේවය නිසා වෙන්න ඇති.

18. දෙවිගෙන් ඔබට ලැබිලා තියෙන පැවරුමෙන් ඔප්පු වෙන්නේ මොකක්ද?

18 ඔබට ලැබෙන හැම පැවරුමකින්ම පැහැදිලි වෙන්නේ ඔබ තනි වෙලා නැහැ, දෙවි ඔබ එක්ක ඉන්නවා කියන එකයි. (යෙරෙ. 20:11) එලියාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් තුන්වෙනි දේ ඒකයි. ඔබ කරන සේවය සාර්ථක නැහැ කියලා හිතෙද්දී දෙවිට වැඩියෙන් සේවය කරන්න ඔබට තියෙන ඉලක්කවලට ළඟා වෙන්න බැහැ කියලා හිතෙද්දී එලියාට වගේ ඔබටත් කලකිරීමක් දැනෙයි. ඒත් ශුභාරංචිය අනිත් අයට කියන්න ලැබිලා තියෙන අවස්ථාවත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට දෙවිගේ නම දරන්න ලැබිලා තියෙන අවස්ථාවත් කෙනෙකුට ලබන්න පුළුවන් උසස්ම ගෞරවයයි. ඒ ගෞරවය දෙවි ඔබට දීලා තියෙනවා. ඒ නිසා අධෛර්යය නොවී දිගටම දෙවිට විශ්වාසවන්තව ඉන්න. එහෙම කළොත් ‘අපේ ස්වාමියා සමඟ ප්‍රීති වන්න’ ඔබටත් අවස්ථාව ලැබෙයි.—මතෙ. 25:23.

ගීතිකාකරුගේ යාච්ඤාව

19. 102වෙනි ගීතිකාවේ රචකයා හිටියේ මොන වගේ තත්වයකද?

19 102වෙනි ගීතිකාවේ රචකයා හිටියේ ‘දැඩි කනස්සල්ලෙන්.’ ප්‍රශ්නවලට මුහුණ දෙන්න බැරි තරමට ඔහුගේ “ශක්තිය හීන” වුණා. (ගීතා. 102, හැඳින්වීම) වේදනාව, තනිකම හැර වෙන කිසිම දෙයක් ඔහුගේ මනසට ආවේ නැහැ. (ගීතා. 102: 3, 4, 6, 11) ඔහුට දැනුණේ හරියට යෙහෝවා දෙවි ඔහුව විසි කරලා දාලා කියලයි.—ගීතා. 102:10.

20. තමන් වටින්නේ නැහැ කියන සිතුවිලි එක්ක සටන් කරන්න කෙනෙක්ට යාච්ඤාව උදව් වෙන්නේ කොහොමද?

20 ගීතිකාකරු කොයි තරම් දුකෙන් හිටියත් යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න ඔහුට බැහැ කියලා ඒකෙන් අදහස් කළේ නැහැ. (ගීතාවලිය 102:19-21 කියවන්න.) ‘සත්‍ය ඉගැන්වීම්වලට ඇලී සිටින’ කෙනෙක් වුණත් දුකෙන්, වේදනාවෙන් ඉන්න පුළුවන් කියලත් තමන් විඳින වේදනාව ගැන හිතනවා මිසක් වෙන කිසිම දේකට අවධානය දෙන්න එහෙම කෙනෙක්ට බැරි වෙන්න පුළුවන් කියලත් 102වෙනි ගීතාකාවෙන් පැහැදිලි වෙනවා. “මා දැන් පියස්සක් මත තනි වී සිටින කුරුල්ලෙකු මෙනි” කියලා ඔහු කිව්වා. (ගීතා. 102:7) ඔහු එහෙම කිව්වේ බැලූ බැලූ අත ඔහුට ප්‍රශ්න ගැටලු මිසක් වෙන කිසිම දෙයක් පේන්න තිබුණේ නැති නිසයි. ඔබටත් කවදා හරි ඒ වගේ හැඟිලා තියෙනවද? එහෙමනම් ගීතිකාකරු වගේ ඔබත් ඔබේ දුක දෙවිට කියන්න. ඔබ වටින්නේ නැහැ කියන සිතුවිලි එක්ක සටන් කරන්න දෙවිට කරන යාච්ඤාව ඔබට උදව්වක් වෙයි. “සියල්ල අහිමි වූ අසරණයන්ගේ යාච්ඤාවලට ඔහු නිසැකවම සවන් දෙන්නේය. ඔහු ඔවුන්ගේ කන්නලව් හෙළා නොදකින්නේය” කියලා යෙහෝවා දෙවි ගැන බයිබලයේ සඳහන් පොරොන්දුව විශ්වාස කරන්න.—ගීතා. 102:17.

21. තමන් වටින්නේ නැහැ කියලා හැඟෙන කෙනෙකුට ධනාත්මකව හිතන්න උදව් වෙන්නේ මොකක්ද?

21 ධනාත්මකව හිතන්න අපිට උදව් වෙන්නේ මොකක්ද කියලත් ඒ ගීතිකාවෙන් හොයාගන්න පුළුවන්. දෙවි එක්ක තමන්ට තිබුණ බැඳීම ගැන ගීතිකාකරු හිතන්න පටන්ගත්ත නිසයි ඔහුට ධනාත්මකව හිතන්න පුළුවන් වුණේ. (ගීතා. 102:12, 27) දුකෙන් ඉන්න තමන්ගේ සේවකයන් එක්ක දෙවි හැමදාම ඉන්නවා කියන දේ දැනගන්න ලැබීමෙනුත් ඔහු ලොකු සහනයක් ලැබුවා. ඔබ කැමති තරම් දෙවිට සේවය කරන එක ටික කාලයකට හරි නතර කරලා තියෙන්නේ ඔබ වටින්නේ නැහැ කියන හැඟීම් එක්ක පොරබදින නිසයි කියලා තේරුණොත් ඒ ගැන දෙවිට කියන්න. ඔබ දෙවිගෙන් ඉල්ලන්න ඕනෙ ඔබ ඉන්න තත්වයෙන් ගොඩ එන්න උදව් කරන්න කියලා විතරක් නෙමෙයි ‘යෙහෝවා යන දෙවිගේ නාමය ප්‍රකාශ කරන්න’ කියලත් දෙවිගෙන් ඉල්ලන්න ඕනේ.—ගීතා. 102:20, 21.

22. යෙහෝවා දෙවිව සතුටු කරන්න ඔබට පුළුවන් කොහොමද?

22 අපි ‘සත්‍ය ඉගැන්වීම්වලට ඇලී සිටිනවා’ කියලත් යෙහෝවා දෙවිට අපිව හුඟක් වටිනවා කියලත් තේරුම්ගන්න බයිබලය අපිට උදව් කරනවා. සාතන්ගේ අණසක යටතේ තියෙන මේ ලෝකයේ ජීවත් වෙන අපිට විටින් විට අපි වටින්නේ නැහැ කියන සිතුවිලි ඇති වෙන්න පුළුවන්. අධෛර්යය වෙන්නත් පුළුවන්. ඒ වුණත් අපි විඳදරාගෙන දිගටම යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සේවය කරනවා නම් ඔහුව සතුටු කරන්න අපිට අනිවාර්යයෙන්ම පුළුවන්. ඒ වගේම සදාකාල ජීවිතය උරුම කරගන්නත් අපිට හැකි වෙයි.—මතෙ. 24:13.