Skip to content

පටුනට යන්න

පවුලේ නමස්කාරය රසවත් අද්දැකීමක් කරගන්න

පවුලේ නමස්කාරය රසවත් අද්දැකීමක් කරගන්න

“පවුලේ නමස්කාරය කරද්දී අපිට වෙලාව යනවා තේරෙන්නේ නැහැ.” එහෙම කියන්නේ බ්‍රසීලයේ තාත්තා කෙනෙක්. “පවුලේ නමස්කාරයට මගේ පුතා හරිම ආසයි. පාඩම පටන්ගත්තම ඒක නවත්තන්න එයා කැමති නැහැ” කියලා ජපානයේ තාත්තා කෙනෙක් කියනවා.

ඔබේ පවුලේ අයත් ඒ වගේ සතුටකින්, උනන්දුවකින් පවුලේ නමස්කාරයට හවුල් වෙනවද? එහෙම නැහැ කියලා හිතෙනවා නම් ඒකට හේතුව මොකක් වෙන්න පුළුවන්ද? ඒකට හේතුව පවුලේ නමස්කාරය පවත්වන විදිහද? ටෝගො රටේ තාත්තා කෙනෙක් මෙහෙම කියනවා. “අපි දෙවිට නමස්කාර කරද්දී ඒක ඕනෑවට එපාවට කරන්න හොඳ නැහැ.” පවුලේ නමස්කාරය හැමෝටම “සතුටක් ලබන්න” පුළුවන් අවස්ථාවක් කරගන්න පුළුවන්.—යෙසා. 58:13, 14.

හුඟක් තාත්තලා තේරුම් අරගෙන ඉන්න දෙයක් තමයි පවුලේ නමස්කාරය රසවත් කරන්න නම් ඒ වෙලාව හැමෝටම සැහැල්ලුවෙන්, විනෝදයෙන් ඉන්න පුළුවන් අවස්ථාවක් වෙන්න ඕනේ කියන එක. දුවලා තුන්දෙනෙකුයි පුතෙකුයි ඉන්න රාල්ෆ්, පවුලේ නමස්කාරය කරන්නේ ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක් වගේ නෙමෙයි. ඒක හරියට පවුලේ හැමෝම සතුටු සාමීචියේ යෙදෙන අවස්ථාවක් වගේ කියලයි එයා කියන්නේ. ඒත් හැමෝගෙම හිත් පාඩමට ඇද බැඳ තියාගන්න එක ලේසි නැහැ. අම්මා කෙනෙක් මෙහෙම කිව්වා. “මට ඕනෙ පාඩම හැමෝටම සතුටක් ගේන විදිහට කරන්න. ඒත් හැම සතියෙම එහෙම කරන්න අමාරුයි.” ඒ අභියෝගය ජය ගන්නේ කොහොමද?

අවස්ථාවට ගැළපෙන විදිහට විවිධත්වයකින්

“පවුලේ නමස්කාරය අපි කරන්න ඕනෙ අවස්ථාවට ගැළපෙන විදිහටයි” කියලා ජර්මනියේ දෙදරු පියෙක් කියනවා. “පවුලේ අය කැමති හැම සතියෙම එකම දේ කරන්නේ නැතුව වෙනස් වෙනස් දේවල් කරන්නයි” කියලා අම්මා කෙනෙක් කියනවා. හැම සතියෙම විතරක් නෙමෙයි පවුලේ නමස්කාරය පටන්ගත්ත වෙලාවේ ඉඳලා ඉවර වෙනකම්ම එකම දේ කරන්නේ නැතුව වෙනස් දේවල් කරන එකත් සාර්ථකයි. “එතකොට හැමෝම ලොකු උනන්දුවකින් පාඩමට හවුල් වෙනවා.” එහෙම කියන්නේ බ්‍රසීලයේ පියෙක්. ඒකේ තියෙන තවත් වාසියක් තමයි දරුවෝ කීපදෙනෙක් ඉන්නවා නම් එක එක දරුවාගේ වයසට ගැළපෙන තොරතුරු තෝරගෙන සාකච්ඡා කරන්න පුළුවන් වෙන එක.

සමහර අය පවුලේ නමස්කාරය පටන්ගන්නේ ගීතිකා කියලා. “එහෙම කරද්දී සැහැල්ලුවක් දැනෙන නිසා පාඩමට අවධානය දෙන්න මනස සූදානම්” කියලා මෙක්සිකෝවේ සහෝදරයෙක් කියනවා. ඒ දවසේ කතා කරන තොරතුරුවලට ගැළපෙන ගීතිකා තෝරන්න එයා පවුලේ අයට භාර දීලා තියෙනවා.

ශ්‍රී ලංකාව

හුඟක් පවුල්වල අය ඒ වෙලාවට බයිබලය කියවනවා. ඒක රසවත් එකක් කරගන්න ඕනෙ නිසා ඒ කොටසේ තියෙන චරිත පවුලේ අය බෙදාගෙන කියවනවා. බයිබලය එහෙම කියවන එක ටිකක් අමුතුයි කියලා ජපානයේ පියෙක්ට දැනුණත් ඒකෙන් පුත්තු දෙන්නා ලොකු සතුටක් ලබනවා කියලා එයා දැක්කා. තවත් සමහරු බයිබලේ තියෙන සිද්ධියක් රඟපානවා. “බයිබල් සිද්ධිවල දරුවො දකින සමහර පැති ගැන අපි කලින් හිතලවත් තිබුණේ නැහැ” කියලා දකුණු අප්‍රිකාවේ තාත්තා කෙනෙක් කිව්වා.

දකුණු අප්‍රිකාව

විවිධත්වයක් ගේන්න පුළුවන් තවත් විදිහක් තමයි පවුලේ හැමෝම එකතු වෙලා නෝවගේ නැව, සලමොන්ගේ දේවමාලිගාව වගේ බයිබලේ සඳහන් එක එක දේවල ආකෘති හදන එක. ඒවා හදන්න කලින් ඒ ගැන තොරතුරු හොයද්දී බයිබලේ තියෙන කාරණා දැනගන්න තියෙන උනන්දුව තව වැඩි වෙනවා. අවුරුදු පහක දුවෙක් එයාගේ දෙමව්පියනුයි ආච්චියි එක්ක එකතු වෙලා පාවුල්ගේ මිෂනාරි ගමන්වලට අදාළ ‘ගේම්’ එකක් බෝඩ් එකක හැදුවා. සමහර අය නික්මයාම පොතේ තියෙන තොරතුරුවලට අදාළවත් ‘ගේම්’ හදලා තියෙනවා. ඒ වගේ “එක එක දේවල් කරපු නිසා පවුලේ නමස්කාරයට විතරක් නෙමෙයි අපේ පවුලටම නව පණක් ලැබුණා” කියලා වයස 19ක පුතෙක් කියනවා. පවුලේ හැමෝම හවුල් කරගෙන කරන්න පුළුවන් ඒ වගේ පුංචි ව්‍යාපෘතියක් ගැන ඔබත් හිතලා බලන්න.

ඇමරිකා එක්සත් ජනපදය

සූදානම අත්‍යවශ්‍යයි

පවුලේ නමස්කාරය අර්ථවත්, රසවත් එකක් කරන්න නම් හොඳ සූදානම අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම තාත්තා ඒක කරන එක වැදගත්. දිගටම අවධානය දෙන්න දරුවන්ට අමාරු නිසා පවුලේ නමස්කාරයට තෝරගන්න දේවල් ගැන හොඳට හිතන්න ඕනේ. ඒ වගේම කාලය අරන් හොඳට සූදානම් වෙන්නත් ඕනේ. තාත්තා කෙනෙක් මෙහෙම කිව්වා. “මම හොඳට සූදානම් වුණාම පවුලේ හැමෝටම ප්‍රයෝජන ලැබෙන විදිහට ඒක කරන්න මට පුළුවන්.” ජර්මනියේ තාත්තා කෙනෙක් සති කීපයකට කලින් පවුලේ නමස්කාරයට කරන්නේ මොනවද කියලා පවුලේ අයට කියනවා. බෙනින් රටේ තාත්තා කෙනෙක් පවුලේ නමස්කාරයට DVD එකක් බලන්න සැලසුම් කළාම දවස් කීපයකට කලින් ප්‍රශ්න හදලා එයාගේ දරුවෝ හයදෙනාට දෙනවා.

ඊළඟ සතියේ පවුලේ නමස්කාරයට කරන්නේ මොනවද කියලා පවුලේ හැමෝම දැනගෙන ඉන්නවා නම් සතිය පුරාම ඒ ගැන හිතන්න, අනිත් අයත් එක්ක කතා කරන්න ඒ අයට පුළුවන්. එතකොට ඒ දවස එනකම් ඒ අය බලාගෙන ඉන්නවා. එදාට කරන්න හැම කෙනෙක්ටම පොඩි කොටසක් හරි භාර දීලා තියෙනවා නම් ‘පවුලේ නමස්කාරය වෙනුවෙන් මමත් යමක් කළා’ කියන හැඟීම හැමෝටම ඇති වෙයි.

අත් නෑර, නිතිපතා කරන්න

පවුලේ නමස්කාරය හැම සතියකම කරන එක හැම පවුලකටම වගේ තියෙන අභියෝගයක්.

ඒකට එක හේතුවක් තමයි අද තියෙන ආර්ථික තත්වය. ඒ නිසා පැය ගාණක් රැකියාවේ නියැලෙන්න හුඟක් පියවරුවන්ට සිද්ධ වෙනවා. උදාහරණයකට මෙක්සිකෝවේ පියෙක් උදේ හයට රැකියාවට යන්න ගෙදරින් එළියට බැස්සම ආයෙත් ගෙදර එන්නේ රෑ අටට විතර. විටින් විට නමස්කාරයට සම්බන්ධ අමතර රැස්වීම් යෙදෙන කොටත් පවුලේ නමස්කාරය කරන වෙලාවේ යම් වෙනස්කම් කරන්න සිද්ධ වෙයි.

ඒ වුණත් ඒක අත් නෑර, නිතිපතා කරන්න අපි උත්සාහ කරන්න ඕනේ. අවුරුදු 11ක් වයස දුවෙක් මෙහෙම කියනවා. “සමහර වෙලාවට අපේ පවුලේ නමස්කාරය තියන දවසේ එක එක වැඩ වැටෙන නිසා අපිට ඒක පටන්ගන්න වෙන්නේ ටිකක් රෑ වෙලා. ඒ වුණත් අපි හැම සතියෙම වරද්දන්නේ නැතුව ඒක කරනවා.” සමහරු පවුලේ නමස්කාරය කරන්න දාගෙන තියෙන්නේ සතියේ මුල් දවසක්. එතකොට හදිස්සියේ එදාට වැඩක් වැටුණොත් ඒ සතියෙම වෙනත් දවසක ඒක කරන්න පුළුවන්.

“පවුලේ නමස්කාරය” කියන නමින්ම පැහැදිලි වෙනවා ඒක අපි යෙහෝවා දෙවිට කරන නමස්කාරයේ වැදගත් අංගයක් කියලා. ඒ නිසා පවුලේ නමස්කාරය අර්ථවත්, රසවත් විදිහට නිතිපතා කරනවා නම් පවුලේ හැමෝටම පුළුවන් වෙනවා තමන්ගේ ‘මුවින් යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.’ (හොෂෙ. 14:2) පවුලේ නමස්කාරය පවුලේ හැමෝටම ප්‍රීතිමත් අවස්ථාවක් කරගන්න ඔබත් උත්සාහ කරනවා නම් ‘යෙහෝවා දෙවි දෙන ප්‍රීතිය ඔබටත් බලකොටුවක් මෙන් වෙයි.’—නෙහෙ. 8:9, 10.