Skip to content

පටුනට යන්න

මහලු අයට ගෞරවයෙන් සලකන්න

මහලු අයට ගෞරවයෙන් සලකන්න

“මහලු තැනැත්තෙකුට ඔබ ගෞරවයෙන් සැලකිය යුතුයි.”—ලෙවී. 19:32.

1. මිනිසුන් අද්දකින්නේ මොන වගේ තත්වයක්ද?

යෙහෝවා දෙවි මිනිසුන්ව නිර්මාණය කළේ වයසට ගිහින් දුර්වල වෙලා දුක් විඳින්න නෙවෙයි. පාරාදීස පොළොවක තරුණ ජවයකින්, ලෙඩක් දුකක් නැතුව සතුටින් ජීවත් වෙන්නයි. ඒත් උරුම වෙලා තියෙන පාපය නිසා ‘මුළු මිනිස් වර්ගයාම මේ දක්වා එක්ව කෙඳිරිගාමින් හා වේදනා විඳිමින් ඉන්නවා.’ (රෝම 8:22) විශේෂයෙන්ම අතේ පයේ වාරු නැතුව අසරණ වෙන මහලු වයසෙදී දුක් විඳින්න මිනිසුන්ට සිද්ධ වෙනවා. අනිත් අයගේ ආදරය, සැලකිල්ල ඕනෙම කරන ඒ කාලයේ ‘මාව අත්හැරලා දාලානේ. මං ගැන හොයලා බලන්නේ නැහැනේ’ කියන හැඟීම හුඟක් මහලු අයට දැනෙනවා. දෙවිට එහෙම අය ගැන කොහොම හැඟෙනවා කියලද ඔබ හිතන්නේ?—ගීතා. 39:5; 2 තිමෝ. 3:3.

2. මහලු අය ගැන අපි සැලකිලිමත් වෙන්නේ ඇයි?

2 අපේ සභාවල මහලු අය ඉන්න එක ගැන අපි හුඟක් සතුටු වෙනවා. මිල කරන්න බැරි තරම් වටින ජීවිත අද්දැකීම්වලින්, ඔවුන්ගේ නොසැලෙන විශ්වාසයෙන් අපිට කොයි තරම් නම් ප්‍රයෝජන ලැබෙනවද? අපි අතරේ ඉන්න හුඟදෙනෙකුගේ පවුල්වල ඒ වගේ වයසක අය ඉන්නවා. සභාවේ ඉන්න මහලු අය අපේ පවුලේ කෙනෙක් වුණත් නැතත් අපි ඒ අයව ආදරෙන් රැකබලා ගන්න ඕනේ. (ගලා. 6:10; 1 පේතෘ. 1:22) යෙහෝවා දෙවිට ඒ අය ගැන හැඟෙන විදිහ අපි තේරුම්ගත්තොත් අපිට පුළුවන් වෙනවා තවත් හොඳින් ඒ අයව බලාගන්න. මහලු අයව රැකබලා ගන්න ඒ අයගේ පවුලේ අයට තියෙන වගකීම ගැනත්, සභාවක් හැටියට කරන්න පුළුවන් දේවල් ගැනත් අපි දැන් ටිකක් කතා කරමු.

“මාව අහක නොදමන්න”

3, 4. (අ) 71වෙනි ගීතිකාවේ රචකයා දෙවිගෙන් ඉල්ලුවේ මොකක්ද? (ආ) මහලු වයසේ ඉන්න අයට දෙවිගෙන් අයැදින්න පුළුවන් මොනවා ගැනද?

3 71වෙනි ගීතිකාවේ රචකයා දෙවිගෙන් මෙහෙම අයැදිනවා. “මා මහලු වූ විට මාව අහක නොදමන්න. මා දුර්වල වූ විට මාගෙන් ඈත්ව නොයන්න.” (ගීතා. 71:9) ඒ ගීතිකාව රචනා කළෙත් 70වෙනි ගීතිකාව රචනා කරපු දාවිත්මයි කියලා අපිට හිතන්න පුළුවන්. දාවිත් කියන්නේ තරුණ කාලයේ ඉඳන් මහලු වයස දක්වාම දෙවිට විශ්වාසවන්තව සේවය කරපු කෙනෙක්. යෙහෝවා දෙවිත් හුඟක් බලවත් දේවල් කරන්න දාවිත්ට උදව් කළා. (1 සාමු. 17:33-37, 50; 1 රාජා. 2:1-3, 10) ඒ වුණත් දිගටම තමන්ට උදව් කරන්න කියලා දාවිත් මහලු වයසෙදීත් දෙවිගෙන් ඉල්ලුවා.—ගීතාවලිය 71:17, 18 කියවන්න.

4 අද ඉන්න හුඟක් මහලු අය දාවිත් වගේ. කාලයක් පුරා දෙවිට විශ්වාසවන්තව සේවය කරලා දැන් ‘ජීවිතයේ දුෂ්කර දවස්වලට’ මුහුණ දෙනවා. (දේශ. 12:1-7) ඒ වුණත් තවමත් පුළුවන් උපරිම විදිහට දෙවිට සේවය කරන්න ඔවුන් උත්සාහ කරනවා. තරුණ කාලයේදී කළා වගේ දේවසේවය හා නමස්කාරයට සම්බන්ධ වෙනත් දේවල් වැඩි වැඩියෙන් කරන්න දැන් ඔවුන්ට බැහැ තමයි. ඒත් තමන්ව දිගටම රැකබලා ගන්න කියලත් දෙවිට විශ්වාසවන්තව ඉන්න උදව් කරන්න කියලත් දෙවිගෙන් ඉල්ලන්න ඔවුන්ට පුළුවන්. එදා දාවිත් කළ ඉල්ලීම බයිබලයට ඇතුළත් කරපු එකෙන් ඔප්පු වෙන්නේ දාවිත්ගේ යාච්ඤාවට දෙවි සවන් දුන්නා කියලයි. ඒ හා සමානව අද ඉන්න මහලු අය කරන යාච්ඤාවලටත් දෙවි අනිවාර්යයෙන්ම සවන් දෙනවා.

5. තමන්ට විශ්වාසවන්තව ඉන්න මහලු අය ගැන දෙවිට හැඟෙන්නේ කොහොමද?

5 යෙහෝවා දෙවි තමන්ට විශ්වාසවන්තව ඉන්න මහලු අයව හුඟක් අගය කරනවා කියලත් ඒ අයව රැකබලා ගන්න එක දෙවි අපෙන් බලාපොරොත්තු වෙනවා කියලත් බයිබලයේ සඳහන් වෙනවා. (ගීතා. 22:24-26; හිතෝ. 16:31; 20:29) ලෙවී කතාව 19:32 කියන්නේ මෙහෙමයි. “පැසුණු හිසකෙස් ඇති කෙනෙකු ඉදිරියේ නැඟිට සිටින්න. මහලු තැනැත්තෙකුට ඔබ ගෞරවයෙන් සැලකිය යුතුයි. ඔබ ඔබේ දෙවිට ගරුබිය දැක්විය යුතුයි. මා යෙහෝවා දෙවිය.” ඒ වචන ලියපු කාලයේ මහලු අයට ගරු කරන එකත් ඔවුන්ව රැකබලා ගන්න එකත් බැරෑරුම් වගකීමක් විදිහට සැලකුවා. ඒ වගකීම සැහැල්ලුවට ගන්නවට දෙවි කැමති වුණේ නැහැ. දෙවි අද අපෙනුත් ඒ දේ ඒ විදිහටම බලාපොරොත්තු වෙනවා.

පවුලේ අයගේ වගකීමක්

6. යේසුස් තමන්ගේ මව ගැන සැලකිලිමත් වුණේ කොහොමද?

6 “ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න” කියන දේ දෙවි දීලා තියෙන ආඥාවක්. (නික්. 20:12; එෆී. 6:2) පරිසිවරු ඒ ආඥාවට කීකරු වුණේ නැති නිසා යේසුස් ඔවුන්ව හෙළාදැක්කා. (මාක් 7:5, 10-13) ඒත් යේසුස් වධකණුවේ ඇණ ගහලා මරණය ආසන්නයේ ඉද්දීත් ඔහු තමන්ගේ මව ගැන හිතුවා. ඒ වෙනකොටත් වැන්දඹුවක්ව හිටපු තම මවව රැකබලා ගන්න කියලා ඔහු යොහන්ට කිව්වේ ඒ නිසයි.—යොහ. 19:26, 27.

7. (අ) දෙමාපියන්ව රැකබලා ගන්න වගකීම මූලිකවම තියෙන්නේ කාටද? (ආ) පාවුල් තිමෝතිට පවසපු දේවලින් ඒක පැහැදිලි වෙන්නේ කොහොමද?

7 තමන්ගේ පවුලේ අයව රැකබලා ගන්න එක ඒ පවුලේ අයගේම වගකීමක් කියන දේ දෙවි පාවුල් ලවා බයිබලයේ සඳහන් කළා. (1 තිමෝති 5:4, 8, 16 කියවන්න.) සභාවක් විදිහට මුදල් පැත්තෙන් උදව් කරන්න ඕනේ මොන වගේ අයටද, නැත්තේ මොන වගේ අයටද කියලා පාවුල් ඒ ලිපියෙන් තිමෝතිට මඟ පෙන්වීම් දුන්නා. සභාවේ ඉන්න මහලු කෙනෙක්ව රැකබලා ගන්න වගකීම මූලිකවම තියෙන්නේ ඒ කෙනාගේ දරු මුනුපුරන් ඇතුළු අනිත් නෑදෑයන්ටයි. එතකොට සභාවේ අයට ඒ බර දරන්න වෙන්නේ නැහැ. අද ඉන්න ක්‍රිස්තියානීන් ‘දෙවි සඳහා ඔවුන්ට තියෙන භක්තිය’ පෙන්නන ප්‍රධාන විදිහක් තමයි තමන්ගේ පවුලේ අයව රැකබලා ගන්න එක.

8. මහලු දෙමාපියන්ව රැකබලා ගන්න ඕනේ කොහොමද කියලා නිශ්චිතව බයිබලයේ සඳහන් කරලා නැති එක ප්‍රඥාවන්ත දෙයක් වෙන්නේ ඇයි?

8 පාවුල් කතා කළේ ‘දෙවිට සේවය කරන දෙමාපියන්’ ගැන වුණත් සත්‍යය තුළ නැති දෙමාපියන්වත් ඒ විදිහටම රැකබලා ගන්න ඕනේ. මහලු දෙමාපියන්ව රැකබලා ගන්න දරුවන් කරන දේවල් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒකට හේතුව දෙමාපියන් හිතන පතන විදිහ, හැසිරෙන විදිහ, ඒ අයගේ අවශ්‍යතාවන්, කැමති අකමැති දේවල්, සෞඛ්‍ය තත්වය එක් කෙනාගෙන් එක් කෙනාට වෙනස් නිසයි. සමහර මහලු අයට දරුවෝ කීපදෙනෙක් හිටියත් සමහරුන්ට ඉන්නේ එක දරුවයි. තවත් අයට රජයෙන් යම් ආධාර ලැබෙනවා. සමහරුන්ට එහෙම නැහැ. ඒ නිසා කෙනෙක් තමන්ගේ මහලු දෙමාපියන්ව රැකබලා ගන්න කරන දේවල් විවේචනය කරන එක සුදුසු නැහැ. බයිබල් ප්‍රතිපත්තිවලට අනුව කෙනෙක් තමන්ට පුළුවන් උපරිම විදිහට තමන්ගේ දෙමාපියන්ව බලාගන්න උත්සාහ කරනවා නම් ඒ වෑයමට ආශීර්වාද කරන්න දෙවිට පුළුවන්.—ගණන්. 11:23.

9-11. (අ) සමහරුන්ට මුහුණ දෙන්න වෙන්නේ මොන වගේ අභියෝගවලටද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.) (ආ) පූර්ණකාලීන සේවය අත්හරින්න ඉක්මන් වෙන්න හොඳ නැත්තේ ඇයි? පැහැදිලි කරන්න.

9 දරුවෝ ජීවත් වෙන්නේ මහලු දෙමාපියන් ඉන්න තැනට වඩා ටිකක් ඈතක නම් දෙමාපියන්ව බලාගන්න එක ඒ දරුවන්ට අභියෝගයක්. හදිස්සියේ ලෙඩක් දුකක් හැදුණොත් වැටිලා අතක් පයක් කැඩුණොත් නැත්නම් වෙන මොනවා හරි කරදරයක් වුණොත් ඒගොල්ලන්ට උදව් කරන්න ඉක්මනින්ම යන්න වෙනවා. සමහරවිට සති කීපයක් එහෙම නැත්නම් අවුරුදු ගාණක් වුණත් ඒ අයව බලාගන්න වෙනවා. *

10 විශේෂයෙන්ම පූර්ණකාලීනව දෙවිට සේවය කරන්න දුර ඈත ප්‍රදේශවලට ගිහින් ඉන්න අයට ඒ වගේ අවස්ථාවකට මුහුණ දෙන එක ලේසි නැහැ. බෙතෙල් සේවයේ, මිෂනාරි සේවයේ, සංචාරක සේවයේ යෙදෙන අය ඔවුන්ට දෙවි දීලා තියෙන ඒ පැවරුම සලකන්නේ හුඟක් වටින එකක් විදිහට. ඒත් ඒ අයගේ දෙමාපියන්ට බරපතළ අසනීපයක් හැදුණොත් ඉක්මනටම හිතෙන්නේ ‘මං කරන සේවය නවත්තලා ඒ අයව බලාගන්න යන්න ඕනේ’ කියලයි. ඒත් එහෙම කරන්න ඉස්සෙල්ලා ‘මං එහෙම කළොත් මගේ දෙමාපියන් සතුටු වෙයිද, ඒ අයට ඇත්තටම ඕනේ ඒකද’ කියලා හිතන්න. දෙවිට වැඩියෙන් සේවය කරන්න ලැබිලා තියෙන වරප්‍රසාදය නැති කරගන්න ඉක්මන් වෙන්න එපා. සමහරවිට එහෙම කරන්න අවශ්‍ය වෙන එකක් නැති වෙයි. ඒ අසනීපය වැඩි කාලයක් තියෙන්නේ නැති එකක්ද? එහෙමනම් සභාවේ අය ඒ වෙනුවෙන් මොනවා හරි කරන්න කැමති වෙයිද කියලා බලන්න.—හිතෝ. 21:5.

11 මේ අද්දැකීම බලන්න. ජපානයේ ජීවත් වුණ මහලු යුවළකට හිටිය පුතාලා දෙන්නම පූර්ණකාලීන සේවය කරන්න ඈත රටවලට ගිහින් හිටියා. එක පුතෙක් පැරගුවේ රටේ මිෂනාරිවරයෙක් විදිහටත් අනිත් පුතා බෘක්ලින්වල තියෙන සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයෙත් සේවය කළා. ඒ මහලු යුවළට උදව් අවශ්‍යයි කියලා තේරුණ නිසා පුතාලා දෙන්නම ඒගොල්ලන්ව බලන්න ආවා. මිෂනාරි සේවය කරපු පුතායි ඔහුගේ බිරිඳයි කල්පනා කළා සේවය නතර කරලා දෙමාපියන්ව බලාගන්න ආවොත් හොඳයිද කියලා. ඔය අතරේ දෙමාපියන් සේවය කරපු සභාවේ වැඩිමහල්ලෝ ඒ පුතාට කතා කරලා කිව්වා ඒ මහලු යුවළව බලාගන්න සභාවක් හැටියට දේවල් සැලසුම් කරන්න වැඩිමහල් මණ්ඩලය කැමතියි කියලා. මිෂනාරීන් හැටියට ඒ දෙන්නා කරන සේවය ඔවුන් අගය කරනවා කියලත් ඒ සේවය දිගටම කරගෙන යන්න උදව් කරන්න ඔවුන් කැමතියි කියලත් කිව්වා. සභාවේ අයගෙන් ලැබුණ උපකාර ඒ පවුලේ හැමෝම කොච්චර අගය කරන්න ඇද්ද!

12. මහලු දෙමාපියන්ව රැකබලා ගන්න සැලසුම් කරද්දී සැලකිලිමත් වෙන්න ඕනේ මොකක් ගැනද?

12 ක්‍රිස්තියානියෙක් තමන්ගේ මහලු දෙමාපියන්ව බලාගන්න මොන වගේ සැලැස්මක් යෙදුවත් ඒක දෙවිගේ නමට අගෞරවයක් නොවන විදිහට කරන්න ඕනේ. යේසුස්ගේ කාලයේ හිටපු පරිසිවරු වගේ වෙන්න අපිට අවශ්‍ය නැහැ. (මතෙ. 15:3-6) අපි හැමවෙලාවෙම තීරණ ගන්න ඕනේ දෙවිටත් සභාවටත් ගෞරවයක් ලැබෙන විදිහටයි.—2 කොරි. 6:3.

සභාවේ වගකීම

13, 14. මහලු අයව රැකබලා ගන්න යම් සැලසුම් යොදන්න සභාවටත් පුළුවන් කියලා බයිබලයේ සඳහන් දේවලින් පැහැදිලි වෙන්නේ කොහොමද?

13 කලින් අද්දැකීමේ විදිහට කරන එක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ වුණත් සභාවේ ඉන්න මහලු සහෝදර සහෝදරියන්ව රැකබලා ගන්න සභාවක් හැටියට යම් දේවල් කරන එක වැදගත් කියලා පළවෙනි සියවසේ වුණ සිද්ධියකින් අපිට තේරුම්ගන්න පුළුවන්. බයිබලයේ කියන්නේ ඒ කාලයේ යෙරුසලමේ තිබුණ සභාවේ අය අතරේ ‘අගහිඟකම් ඇති කිසිවෙක් සිටියේ නැහැ’ කියලයි. ඒකෙන් අදහස් කළේ ඒ හැමෝම පොහොසත් අය කියන එක නෙවෙයි. ඔවුන් අතරේ දුප්පත් අයත් හිටියා. ඒත් ‘අවශ්‍යතා ඇති අය අතරේ මුදල් නිසි ලෙස බෙදා දෙන’ සැලැස්මක් ඔවුන් ඇති කරලා තිබුණ නිසා කාටත් අඩුවක් තිබුණේ නැහැ. (ක්‍රියා 4:34, 35) කොහොමවුණත් ටික දවසක් යද්දී ඒ සභාවේ ප්‍රශ්නයක් ඇති වුණා. එහෙම වුණේ ‘දිනපතා සියලුදෙනා අතරේ ආහාර බෙදා දෙද්දී සමහර වැන්දඹුවන්ව නොසලකාහැරිය’ නිසයි. ඒ නිසා ඒ කාර්යය අධීක්ෂණය කරන්නත් හැමෝම අතරේ සැලැස්මකට කෑම බෙදා දෙන්නත් නියෝජිතයෝ පුරුෂයන් කීපදෙනෙක්ව පත් කළා. (ක්‍රියා 6:1-5) ක්‍රි. ව. 33දී අලුතින් ක්‍රිස්තියානීන් වුණ අය යෙරුසලමේ නතර වෙලා හිටපු කාලය පුරා ඒ අයව බලාගන්න ඕනෙ නිසයි ඒ වගේ සැලැස්මක් ඇති කළේ. ඒක තාවකාලික සැලැස්මක් වුණත් ඇති වුණ ප්‍රශ්නය නිරාකරණය කරන්න නියෝජිතයන් ඉක්මනින්ම පියවර ගත්තා. ඒකෙන් පැහැදිලි වෙන්නේ අවශ්‍යතා තියෙන අයව රැකබලා ගන්න සභාවක් හැටියට සැලසුම් කරන එක වැදගත් කියලයි.

14 අවශ්‍යතා තිබුණ අයව සභාවෙන් රැකබලා ගත්ත සැලැස්මක් ඒ කාලයේ තිබුණා කියලා වැන්දඹුවන් ගැන පාවුල් තිමෝතිට දුන්න මඟ පෙන්වීම්වලිනුත් පැහැදිලියි. (1 තිමෝ. 5:3-16) ඒ වගේම යාකොබ් ලියපු ලිපියේ අනාථ දරුවන්ව, වැන්දඹුවන්ව, යම් පීඩාවලට මුහුණ දෙන අයව බලාගන්න එක ක්‍රිස්තියානීන්ගේ වගකීමක් කියලා සඳහන් කළා. (යාකො. 1:27; 2:15-17) යොහනුත් මෙහෙම කිව්වා. “එදිනෙදා අවශ්‍යතා පිරිමසාගත හැකි කෙනෙක් තම සහෝදරයා අගහිඟකම්වලින් පෙළෙනවා දැක දැකත් ඔහුට අනුකම්පාවක් දැක්වීම ප්‍රතික්ෂේප කරයි නම් එවැනි කෙනෙකු තුළ දෙවි සඳහා ප්‍රේමයක් ඇති බව පැවසිය හැක්කේ කෙසේද?” (1 යොහ. 3:17) අවශ්‍යතා තියෙන අයව බලාගන්න අපි එක් එක් කෙනාට වගකීමක් තියෙනවා නම් සභාවක් හැටියටත් ඒ වගේ අයව රැකබලා ගන්න වගකීමක් තියෙනවා කියන දේ පැහැදිලියි.

මහලු කෙනෙකුට හදිසි අනතුරක් වුණොත් උපකාර කරන්න සභාවට පුළුවන් කොහොමද? (15 සහ 16 ඡේද බලන්න)

15. මහලු අයව රැකබලා ගන්න එකට ඇතුළත් වෙන්නේ මොන වගේ දේවල්ද?

15 සමහර රටවල වැඩිහිටි පුරවැසියන්ව බලාගන්න රජයෙන් විවිධ සැලසුම් ඇති කරලා තියෙනවා. ඔවුන්ට විශ්‍රාම වැටුපක් ගෙවන්න, සාත්තු සේවකයන් සපයන්න වගේ විවිධ ක්‍රම ඒ රටවල තියෙනවා. (රෝම 13:6) ඒත් හුඟක් රටවල එහෙම නැහැ. ඒ නිසා පවුලේ අය, නැත්නම් සභාව මහලු කෙනා වෙනුවෙන් කරන්න ඕනේ මොන වගේ දේවල්ද කියන එක ඒ පුද්ගලයාගේ තත්වය අනුව, රට අනුව වෙනස් වෙනවා. දරුවෝ ඉන්නේ ඈතක නම් ඒ දරුවන්ට කරන්න පුළුවන් දේවල් සීමිතයි. ඒ වගේ වෙලාවලදී දරුවන්ට පුළුවන් දෙමාපියන්ගේ සභාවේ ඉන්න වැඩිමහල්ලන් එක්ක ඒ ගැන කතා කරන්න. එතකොට ඒ වැඩිමහල්ලෝ යම් පැතිවලින් ඔවුන්ට උදව් කරන්න සැලසුම් කරනවා. උදාහරණයකට ආණ්ඩුවෙන් දෙන විවිධ පහසුකම් ගැන දැනුවත් කරන්නත් ඒවා ලබාගන්න උදව් කරන්නත් ඔවුන්ට පුළුවන්. ඒ වගේම වෙලාවට බේත්හේත් ගන්න එක, බිල්පත් වෙලාවට ගෙවන එක වගේ දේවල් දෙමාපියන්ට අතපසු වෙනවා නම් ඒ ගැන දරුවන්ව දැනුවත් කරන්න වැඩිමහල්ලන්ට පුළුවන්. ඒ විදිහට දරුවන් හා සභාවේ වැඩිමහල්ලන් අතරේ හොඳ අදහස් හුවමාරුවක් තියෙනවා නම් දෙමාපියන්ව රැකබලා ගන්න වගකීම හොඳින් කරන්න පුළුවන් වෙයි.

16. සභාවේ ඉන්න මහලු අයව බලාගන්න සමහරු කරන්නේ මොනවද?

16 මහලු සහෝදර සහෝදරියන්ට සභාවේ ඉන්න හැමෝම වගේ ආදරෙයි. ඒ නිසා එදිනෙදා ඒ අයට ඕන කරන දේවල් පුළුවන් විදිහට කරලා දෙන්න හුඟක් අය පෙලඹෙනවා. කීපදෙනෙක් එකතු වෙලා වගකීම් බෙදාගෙන ඒවා මාරුවෙන් මාරුවට කරලා දෙනවා. පූර්ණකාලීනව දෙවිට සේවය කරන්න අවස්ථාව නැති අය පූර්ණකාලීන සේවය කරන අයට ඒක දිගටම කරන්න උදව්වක් විදිහට ඒ අයගේ දෙමාපියන්ව බලාගන්නවා. ඒක මොන තරම් අගය කරන්න ඕනෙද! ඒත් ඒ වගේ සැලසුම් යොදන එකෙන් අදහස් කරන්නේ නැහැ තමන්ගේ දෙමාපියන්ව රැකබලා ගන්න වගකීමෙන් ඒ දරුවන් නිදහස් කියලා. මූලික වගකීම තියෙන්නේ දරුවන්ට නිසා ඔවුන් ඒ වෙනුවෙන් කරන්න පුළුවන් දේ කරන්න ඕනේ.

වචනවලින් ඔවුන්ට දිරියක් වෙන්න

17, 18. මහලු අයව රැකබලා ගද්දී සතුටින් ඒක කරන එක වැදගත් ඇයි?

17 මහලු අයව රැකබලා ගන්න අය ඒක වදයක් කියලා හිතන්නේ නැතුව ආසාවෙන් ඒ මහලු කෙනාට සතුටක් දැනෙන විදිහට ඒක කරන්න ඕනේ. සමහර මහලු අය ඉන්නේ හුඟක් අබලදුබල තත්වයක. සමහරු ලොකු මානසික පීඩනයකින් ඉන්නවා. ඒ වගේ අයට ගෞරවයෙන් සලකන්නත් ඔවුන්ට දිරිගැන්වෙන විදිහට කතා කරන්නත් ලොකු වෙහෙසක් දරන්න ඕනේ. හුඟක් කැප කිරීම් කරලා කාලයක් පුරා දෙවිට සේවය කරපු මහලු අයව කොයි තරම් නම් අගය කරන්න පුළුවන්ද? ඔවුන් දෙවි වෙනුවෙන් කරපු කැප කිරීම්, දරපු වෙහෙස දෙවි කවදාවත් අමතක කරන්නේ නැහැ. අපිත් ඒවා අමතක කරන්න හොඳ නැහැ.—මලාකි 3:16; හෙබ්‍රෙව් 6:10 කියවන්න.

18 මහලු අයව බලාගන්න එක, ඒ අයගේ එදිනෙදා වැඩ කරලා දෙන එක ඒ තරම් ලේසි දෙයක් නෙවෙයි. ඒත් මහලු අය වගේම ඒ අයව බලාගන්න අයත් සැහැල්ලුවෙන්, විහිළුවක් කරලා සතුටින් දේවල් කරද්දී ඒක ලොකු බරක් කියලා දැනෙන්නේ නැහැ. (දේශ. 3:1, 4) මහලු අයත් තමන්ව බලාගන්න අයගෙන් ඕනෑවට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ. ඒ වගේම කතාවෙන්, හැසිරීමෙන් තමන්ව බලන්න එන අයව දිරිගන්වන්න ඔවුන්ට පුළුවන්. එහෙම කරනවා නම් ‘මං ගියේ එයාව දිරිගන්වන්න. ඒත් ඇත්තටම දිරිගැන්වුණේ මමයි’ කියලා ඒ අය කියයි.—හිතෝ. 15:13; 17:22.

19. තරුණ, මහලු අපි හැමෝටම තියෙන බලාපොරොත්තුව මොකක්ද?

19 අපි ආසාවෙන් බලාගෙන ඉන්නේ අපිට උරුම වෙලා තියෙන දුක් වේදනා නිමා වෙන දවස එනකල්. ඒ අතරතුරේ ඉදිරියේදී ලැබෙන ආශීර්වාද ගැන අපිට තියෙන බලාපොරොත්තුව ස්ථිරව තියාගන්න පුළුවන් හැම දේම කරමු. ඒ පොරොන්දු ගැන තියෙන විශ්වාසය හරියට නැංගුරමක් වගේ දුක් කම්කටොලුවලින් පිරුණු මේ කාලයේ දිගටම දෙවිට විශ්වාසවන්තව ඉන්න අපිට උදව් කරයි. (හෙබ්‍රෙ. 6:18, 19) “අපගේ උත්සාහය අප අත් නොහරින්නේ ඒ නිසාය. මන්ද අප පිටාතරින් දිරාපත් වෙමින් ගියත් අපගේ ඇතුළාන්තය දිනෙන් දින අලුත් වන බව නිසැකය.” (2 කොරි. 4:16-18) දෙවිගේ පොරොන්දු ගැන විශ්වාසයෙන් ඉන්න අතරතුරේ අපේ මහලු සහෝදර සහෝදරියන්ව රැකබලා ගන්න වගකීම අඩුවක් නැතුව ඉටු කරමු. ඒක කරන්න පුළුවන් විදි කීපයක් ගැන ඊළඟ ලිපියෙන් දැනගන්න පුළුවන්.

^ 9 ඡේ. ඒ වගේ වෙලාවලදී කරන්න පුළුවන් දේවල් ගැන යෝජනා කීපයක් ඊළඟ ලිපියේ සාකච්ඡා කරනවා.