Skip to content

පටුනට යන්න

මහලු අයව ආදරෙන් රැකබලා ගන්න

මහලු අයව ආදරෙන් රැකබලා ගන්න

“ප්‍රිය දරුවෙනි, අපගේ ප්‍රේමය වචනවලටත් කතාවටත් සීමා නොකරමු. ඒ වෙනුවට ක්‍රියාවෙන් හා අවංකකමින් ප්‍රේමය පෙන්වමු.”—1 යොහ. 3:18.

1, 2. (අ) හුඟක් පවුල්වලට මුහුණ දෙන්න වෙන්නේ මොන වගේ අභියෝගවලටද? (ආ) ඒ අභියෝගවලට මුහුණ දෙන්න පවුලක් විදිහට කරන්න පුළුවන් මොනවද?

කාලයක් පුරා දුවලා පැනලා වැඩ කරපු දෙමාපියෝ අතේ පයේ වාරු නැතුව, තනියම වැඩක් පලක් කරගන්න බැරි තත්වයක ඉන්නවා දකින එක දරුවන්ට ලොකු දුකක්. සමහරු අනතුරක් වෙලා එක්තැන් වෙනවා. තවත් අයගේ සිහිකල්පනාව ටිකෙන් ටික අඩු වෙනවා. සමහරු බරපතළ අසනීපයකින් දුක් විඳිනවා. දෙමාපියන්ට එහෙම වෙද්දී දරුවන්ට ඒක දරාගන්න අමාරුයි. දරුවන්ට විතරක් නෙවෙයි දවසින් දවස දුර්වල වෙද්දී, ඉස්සර තරම් දේවල් කරන්න බැරි වෙද්දී ඒක මහලු දෙමාපියන්ටත් ලොකු දුකක්. (යෝබ් 14:1) ඒ වගේ තත්වයකට මුහුණ දෙන්නේ කොහොමද?

2 එක ලිපියක මෙහෙම සඳහන් වෙනවා. “දෙමාපියන් වයසට යද්දී ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න, ඒ වෙනුවෙන් යොදන්න පුළුවන් සැලසුම් ගැන පවුලක් විදිහට එකතු වෙලා කතාබහ කරන එක ලේසි නැහැ. ඒත් ඒ ගැන කතා කරලා, කරන්න පුළුවන් මොනවද කියලා හොයලා බලලා දේවල් සැලසුම් කරලා තිබුණොත් ඒ තත්වයට මුහුණ දෙන්න වෙනකොට ඒක පහසුයි.” වයසට යන එකවත් ඒ කාලයේදී මුහුණ දෙන්න වෙන දුෂ්කරතාවන්වත් නවත්තන්න අපිට බැහැ. ඒත් පවුලක් විදිහට එකතු වෙලා ඒ කාලයට හොඳින් මුහුණ දෙන්න කලින්ම සැලසුම් කරන්න අපිට පුළුවන්. ඒ ගැන අපි දැන් බලමු.

කලින්ම සැලසුම් කරන්න

3. දෙමාපියන්ට තනියම දේවල් කරගන්න බැහැ කියලා තේරෙද්දී පවුලක් හැටියට කරන්න ඕනේ මොනවද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

3 කෙනෙක් ටික ටික මහලු වෙද්දී, තනියම දේවල් කරගන්න බැරි වෙද්දී ඒ කෙනාට තවත් අයගේ උදව් ඕන වෙනවා. (දේශනාකාරයා 12:1-7 කියවන්න.) මහලු දෙමාපියන්ව රැකබලා ගන්න කරන්න පුළුවන් හොඳම වගේම ප්‍රායෝගික දේවල් ගැන දෙමාපියොත් දරුවොත් එකතු වෙලා කතාබහ කරන්න ඕනේ. ඒ වෙලාවට දෙමාපියන් තමන්ට හැඟෙන දේ ගැන, තමන් බලාපොරොත්තු වෙන දේ ගැන හිතේ තද කරගෙන ඉන්නේ නැතුව දරුවෝ එක්ක විවෘතව කතා කරන එක අත්‍යවශ්‍යයි. දරුවන්ගේ උදව් ලැබුණොත් දිගටම ඉන්න තැනම ඉඳලා දේවල් කරගන්න දෙමාපියන්ට පුළුවන් වෙයිද කියලත් * දෙමාපියන්ව බලාගන්න පවුලේ එක් එක් දරුවට කරන්න පුළුවන් මොනවද කියලත් කතා කරගන්න. (හිතෝ. 24:6) උදාහරණයකට එක දරුවෙකුට පුළුවන් වෙයි දෙමාපියන්ගේ එදිනෙදා වැඩ කරලා දෙන්න. තව දරුවෙක් කැමති වෙයි මුදල් පැත්තෙන් උදව් කරන්න. ඒ කොහොම කළත් මතක තියාගන්න ඕනෙ ප්‍රධානම දේ තමයි දෙමාපියන්ව බලාගන්න වගකීම හැම දරුවටම තියෙනවා කියන එක. කතාබහ කරලා වගකීම් බෙදාගෙන කළත් කාලයත් එක්ක තත්වයන් වෙනස් වෙද්දී ඒ වගකීමුත් වෙනස් කරන්න වෙයි. ඒ නිසා ඒවා මාරුවෙන් මාරුවට කරන්න සූදානමින් ඉන්න.

4. දරුවන්ට උදව් ලබාගන්න පුළුවන් මොන වගේ අයගෙන්ද?

4 කතාබහ කරලා තීරණයකට ඇවිත් දෙමාපියන්ව බලාගන්න පටන්ගත්තම ඒගොල්ලන්ගේ තත්වය ගැන දැනුවත් වෙන්න. විශේෂයෙන්ම ඒ අයට බරපතළ අසනීපයක් තියෙනවා නම් ඉදිරියේදී මුහුණ දෙන්න වෙන දුෂ්කරතාවන් ගැන දැනුවත් වෙන්න. (හිතෝ. 1:5) සමහර රටවල අසනීපයෙන් ඉන්න වයසක අයට පහසුකම් සපයන රජයේ ආයතන තියෙනවා. ඒ වගේ තැන්වලින් ලබාගන්න පුළුවන් මොන වගේ පහසුකම්ද කියලා හොයලා බලන්න. බරපතළ අසනීප නිසා දෙමාපියෝ දුක් විඳිද්දී ඒක ඔබට ලොකු දුකක්, කම්පනයක් වෙයි. ඔබේ දුක ගැන විශ්වාසවන්ත මිතුරෙකුට කියන්න. ඔබේ හැඟීම් ගැන යෙහෝවා දෙවිට කියන්නත් අමතක කරන්න එපා. ඒ තත්වයට සන්සුන්ව මුහුණ දෙන්න දෙවි ඔබට උදව් කරයි.—ගීතා. 55:22; හිතෝ. 24:10; ෆිලි. 4:6, 7.

5. තොරතුරු කලින්ම හොයලා තියෙන එක ප්‍රයෝජනවත් වෙන්නේ ඇයි?

5 ඉස්සරහට කරන්න පුළුවන් දේවල් ගැන සමහරු තොරතුරු කලින්ම හොයලා බලනවා. උදාහරණයකට කරන්න පුළුවන් හොඳම දේ දරුවෙක්ගේ ගෙදර නතර වෙන එකද? එහෙම නැත්නම් වයසක අයව බලාගන්න තියෙන තැනක නතර වෙන එකද? එහෙමනම් ඒ තැන් ගැන, වයසක අය වෙනුවෙන් පහසුකම් සපයන ආයතන ගැන සමහරු කලින්ම තොරතුරු හොයනවා. ඒ අය කරන්නේ “කරදර සහ දුක් ගැහැට” එන්න කලින් ඒවාට මුහුණ දෙන්න හොඳින් සූදානම් වෙන එකයි. (ගීතා. 90:10) කලින්ම දේවල් හොයලා බලලා සැලසුම් කළේ නැත්නම් හදිස්සි අවස්ථාවකදී ඉක්මන් වෙලා තීරණ ගන්න සිද්ධ වෙනවා. හදිස්සියේ ගන්න තීරණ හොඳම තීරණ කියලා කියන්න බැහැ. ඒ වගේ වෙලාවකදී පවුලේ අය ඉන්නේ ලොකු මානසික පීඩනයකින් නිසා හදිස්සි තීරණ වලින් පවුලේ අය අතරේ ප්‍රශ්න ඇති වෙන්නත් පුළුවන්. ඒ නිසා හොඳම දේ කලින්ම සූදානම් වෙන එක. එතකොට හදිස්සි අවස්ථාවකදී කරන්න තියෙන්නේ කලින් ගත්ත තීරණ ක්‍රියාත්මක කරන එක විතරයි.—හිතෝ. 20:18.

මහලු දෙමාපියන්ව රැකබලා ගන්න කරන්න පුළුවන් දේවල් ගැන පවුලේ හැමෝම එකතු වෙලා කතා කරන්න (6-8 ඡේද බලන්න)

6. දෙමාපියන් ජීවත් වෙන්නේ කොහෙද කියලා කලින්ම කතාබහ කරලා තියෙන එක ප්‍රයෝජනවත් ඇයි?

6 දැනටමත් ඉන්න තැන දිගටම ඉන්නවද, දරුවෙක් ළඟ හරි වෙන තැනක හරි නතර වෙන්න වෙයිද වගේ දේවල් දෙමාපියන් එක්ක කතා කරන එක දරුවන්ට ලේසි නැහැ. ඒත් ඒ ගැන කලින්ම කතා කරන එක ප්‍රයෝජනවත්. හැමෝම නිස්කලංකව, සුහදව කතා කරද්දී එකිනෙකාගේ තත්වයන් හොඳින් තේරුම් අරගෙන ප්‍රායෝගික වගේම හොඳම තීරණ ගන්න පුළුවන් වෙනවා. සමහරවිට දෙමාපියන් කැමති ඇත්තේ පුළුවන් තරම් කාලයක් තනියෙන් දේවල් කරගෙන වෙනම ඉන්න වෙන්න ඇති. එත් කලින්ම දේවල් සැලසුම් කරලා තියෙනවා නම් දෙමාපියන්ට දේවල් තනියම කරගන්න බැරි කාලයක් එද්දී ඒ අය ජීවත් වෙන්නේ කොහෙද කියන එක ගැන කලින් කරපු සැලසුම් ලේසියෙන්ම ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙනවා.

7, 8. කලින්ම සාකච්ඡා කරන්න ඕනේ මොන වගේ තොරතුරු ගැනද? ඒ ඇයි?

7 දෙමාපියෙනි, ඔබත් ඔබේ ඉදිරි සැලසුම් ගැන, ඔබට තියෙන වත්කම් ගැන, ඔබ කැමති අකමැති දේවල් ගැන දරුවන්ට කලින්ම කියන්න. එතකොට හදිස්සියේ තීරණ ගන්න බැරි තත්වයකට ඔබ පත් වුණොත් කලින් කියලා තිබුණ විදිහට දේවල් කරන්න දරුවන්ට පුළුවන්. දරුවන්ටත් ඕනේ ඔබේ කැමැත්තට ගරු කරලා දේවල් කරන්නයි. (එෆී. 6:2-4) උදාහරණයකට දරුවෙක් එක්ක ඉන්න ඔබ හිතාගෙන ඉන්නවා නම් ඔබ කැමති කොයි දරුවාගේ ගෙදර නතර වෙන්නද කියලා කියන්න. එහෙම නැත්නම් වෙන සැලැස්මක් තියෙනවා නම් ඒ ගැනත් කියන්න. සමහරවිට යම් කාරණයක් ගැන ඔබ හිතාගෙන ඉන්න විදිහට වඩා වෙනස් විදිහට දරුවෝ හිතනවා වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවලදී තමන් හිතන විදිහේ යම් වෙනසක් කරන්න දෙගොල්ලන්ටම සිද්ධ වෙයි. ඒකට යම් කාලයක් ගත වෙනවා.

8 කලින්ම දේවල් සාකච්ඡා කරලා සැලසුම් කරන එකෙන් හුඟක් ප්‍රශ්න අඩු කරගන්න පුළුවන්. (හිතෝ. 15:22) ඒ වගේ සාකච්ඡා කරද්දී ලබාගන්න පුළුවන් වෛද්‍ය ප්‍රතිකාර ගැනත් ලබාගන්න කැමති අකමැති ප්‍රතිකාර ගැනත් කතා කරන්න. ‘රුධිරය එපා’ කියන කාඩ්පතේ සඳහන් කරලා තියෙන කරුණු ගැන සාකච්ඡා කරන්නත් අමතක කරන්න එපා. වෛද්‍ය ප්‍රතිකාර ගැන හොඳින් දැනුවත් වෙන්නත් ඒවා ගන්නවද නැද්ද කියලා තීරණය කරන්නත් ඕනම කෙනෙක්ට අයිතිය තියෙනවා. ඒ නිසා තමන් අරගෙන තියෙන තීරණ හදිස්සි අවස්ථාවකදී ක්‍රියාත්මක කරන්න විශ්වාසවන්ත කෙනෙක්ව පත් කරන්න. වෛද්‍ය ප්‍රතිකාර ගැන තමන් අරගෙන තියෙන තීරණ ලිඛිතව සඳහන් කරලා ඒකේ පිටපත් ඔබ වෙනුවෙන් පත් කරලා තියෙන කෙනාටත් දරුවන්ටත් දීලා තියන්න. සමහරු ඒකේ පිටපතක් අන්තිම කැමති පත්‍රය, රක්ෂණ, බැංකු වගේ වැදගත් ලියකියවිලි එක්ක තියනවා.

වෙනස්කම්වලට මුහුණ දෙද්දී

9, 10. දෙමාපියන්ට උදව් අවශ්‍යයි කියලා දරුවන් තේරුම්ගන්න ඕනේ මොන වගේ වෙනස්කම් දකිද්දීද?

9 මහලු වුණත් හුඟක් අයට උයන්න පිහන්න, සුද්ද පවිත්‍ර කරගන්න, බේත්හේත් ගන්න වගේ දේවල් තනියම කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ කැමති දරුවන්ට බරක් වෙන්නේ නැතුව පුළුවන් තරම් කාලයක් තනියම දේවල් කරගන්නයි. දෙමාපියන්ගේ කැමැත්ත ඒක නම් දරුවොත් ඒකට ඉඩ දෙන්න ඕනේ. ඒත් කාලයත් එක්කම තනියම දේවල් කරගන්න බැරි වෙද්දී, කල්පනාව ටික ටික අඩු වේගන යද්දී ඒගොල්ලන්ට උදව් කරන්න කාලය ඇවිල්ලා කියලා දරුවෝ තේරුම්ගන්න ඕනේ.

10 කල්පනාව අඩු වෙන එක, මානසික පීඩනය, පෙනීම දුර්වල වෙන එක, ඇසීම අඩු වෙන එක වයසට යන එකේ ලක්ෂණ වුණත් ඒවාට වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න පුළුවන්. ඒ වගේ ලක්ෂණ දකිද්දී දෙමාපියන්ව වෛද්‍යවරයෙක් ළඟට එක්කගෙන යන්න දරුවන්ට මුල් වෙලා වැඩ කරන්න වෙයි. කලින් දෙමාපියන් තනියම කරගත්ත සමහර දේවල් දැන් දරුවන්ට කරන්න වෙයි. උදාහරණයකට බැංකුවට හරි වෙනත් වැඩවලට හරි ඕන කරන ලියකියවිලි සකස් කරන එක, දෙමාපියන්ට යන්න අවශ්‍ය තැන්වලට එක්කගෙන යන එක වගේ වැඩ දරුවන්ට කරන්න වෙයි.—හිතෝ. 3:27.

11. වෙනස්කම් කරද්දී මතක තියාගන්න ඕනේ මොකක්ද?

11 දෙමාපියන්ගේ සෞඛ්‍යය තත්වය තවත් දුර්වල වෙනවා නම් ඒ අයව බලාගන්න කරන දේවල යම් වෙනස්කම් කරන්න වෙයි. ඒ විතරක් නෙවෙයි ඒ අය දැනට ඉන්න ගෙදර යම් වෙනස්කම් කරන්නත් වෙයි. කොහොමවුණත් කරන වෙනස්කම් එකපාර කරන්නේ නැතුව ටිකෙන් ටික කරන්න. එතකොට ඒ වෙනස්කම්වලට පුරුදු වෙන්න දෙමාපියන්ට ලේසි වෙයි. මේ පැති ගැන හිතලා බලන්න. ඔබ ජීවත් වෙන්නේ දෙමාපියන් ඉන්න තැනට ඈතින් නම් දවස් කීපයකට සැරයක් සභාවේ කෙනෙක් නැත්නම් අසල්වැසියෙක් දෙමාපියන්ගේ ගෙදරට ගිහින් ඒගොල්ලන් ගැන හොයලා බලලා විස්තර ඔබට කියන එක දැනට ප්‍රමාණවත් වෙයිද? දෙමාපියන්ට ඕනේ කරන්නේ උයන පිහන, පිරිසිදු කරන වැඩවලට උදව් විතරක්ද? අනතුරක් වෙන එක වළක්වගන්න ගෙදර පොඩි පොඩි වෙනස්කම් කළොත් ඇතිද? සමහරවිට අත් උදව්වට කෙනෙක් හිටියොත් දැනට ඒගොල්ලන්ට ඉන්න තැනම ඉඳලා දේවල් කරගන්න පුළුවන් වෙයි. ඒත් තවදුරටත් තනියම ඉන්න එක නුවණට හුරු නැත්නම් නිතරම ඒගොල්ලෝ එක්ක ඉඳලා බලාගන්න කෙනෙක්ව ලෑස්ති කරන්න වෙයි. *හිතෝපදේශ 21:5 කියවන්න.

අභියෝග ජය ගන්නේ කොහොමද?

12, 13. දෙමාපියන් ඉන්න තැනට ඈතින් ජීවත් වෙන දරුවෝ ඔවුන්ව රැකබලා ගන්න කරන්නේ මොන වගේ දේවල්ද?

12 දරුවෝ කැමති තමන්ගේ දෙමාපියන් සතුටින් ඉන්නවටයි. දෙමාපියන්ව ආදරෙන් රැකබලා ගන්න නිසා ඒගොල්ලෝ ඉන්නේ සතුටින් කියලා දැනෙද්දී ඒක දරුවන්ට ලොකු සහනයක්. ඒත් පවුල් වගකීම් නැත්නම් වෙනත් වැඩකටයුතු නිසා සමහර දරුවන් ජීවත් වෙන්නේ දෙමාපියන් ඉන්න ප්‍රදේශයට හුඟක් ඈතින්. එහෙම අය නිවාඩු දාලා ඇවිත් දෙමාපියන්ට මොනවා හරි දේකට උදව් ඕනේ නම් ඒක කරලා දෙනවා. ඒ වගේම දවසට සැරයක්වත් දුරකථන ඇමතුමක් දීලා, ලියුම් නැත්නම් ඊ-මේල් යවලා ඔවුන් ගැන හොයලා බලනවා. ඒ විදිහට දෙමාපියන් ගැන තමන් සැලකිලිමත් කියලා පෙන්නන්න දරුවන්ට පුළුවන්.—හිතෝ. 23:24, 25.

13 තත්වයන් වෙනස් වෙන නිසා දෙමාපියන්ව බලාගන්න කරලා තියෙන සැලසුම්වලත් වෙනසක් කරන්න වෙයිද කියලා විටින් විට හොයලා බලන එක වැදගත්. ඔබේ දෙමාපියන් සාක්ෂිකරුවන් නම් ඒ අයගේ සභාවේ වැඩිමහල්ලන් එක්කත් කතා කරලා ඔවුන්ව රැකබලා ගන්න පුළුවන් විදි ගැන යෝජනා තියෙනවද කියලා අහන්න. ඒ ගැන යෙහෝවා දෙවිගෙන් උදව් ඉල්ලන්නත් අමතක කරන්න එපා. (හිතෝපදේශ 11:14 කියවන්න.) දෙමාපියන් සාක්ෂිකරුවන් නොවුණත් “ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න” කියන ආඥාවට ඔබ කීකරු වෙයි කියලා දෙවි බලාපොරොත්තු වෙනවා. (නික්. 20:12; හිතෝ. 23:22) දෙමාපියන්ව රැකබලා ගන්න එක ගැන හැම පවුලක්ම එක වගේ තීරණ ගන්නේ නැහැ. ඒකට හේතුව සමහර දෙමාපියන් දරුවෝ එක්ක නැත්නම් දරුවන්ට කිට්ටුවෙන් ජීවත් වෙන්න කැමතියි. සමහරු දරුවන්ට බරක් වෙන්න අකමැති නිසා දරුවෝ එක්ක එකට ජීවත් වෙන්න කැමති නැහැ. තවත් සමහරුන්ට යම් වත්කමක් තියෙන නිසා වැඩට කෙනෙක්ව නැත්නම් කීපදෙනෙක්ව තියාගෙන තමන්ගේම ගෙදර ඉන්නයි කැමති.—දේශ. 7:12.

14. දෙමාපියන්ව බලාගද්දී වැඩි බරක් ගන්න දරුවට මොන වගේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙයිද?

14 දෙමාපියන්ව රැකබලා ගද්දී වැඩි බරක් ගන්න සිද්ධ වෙන්නේ ඔවුන්ට කිට්ටුවෙන්ම ජීවත් වෙන දරුවටයි. එයාට දෙමාපියන්ව රැකබලා ගන්නවට අමතරව එයාගේ පවුලේ අය වෙනුවෙනුත් වගකීම් ඉටු කරන්න තියෙනවා. සමහරවිට එයාගේ පවුලේ, රැකියාවේ යම් වෙනස්කම් වුණොත් කලින් වගේ දෙමාපියන් වෙනුවෙන් දේවල් කරන්න බැරි වෙයි. ඒ වගේ අවස්ථාවලදී දෙමාපියන්ව බලාගන්න කරපු සැලසුම්වල යම් වෙනසක් කරන්න වෙයි.

15. තමන්ට දැනෙන පීඩනය අඩු කරගන්න දෙමාපියන්ව බලාගන්න කෙනාට කරන්න පුළුවන් මොනවද?

15 දෙමාපියන් ඉන්නේ හුඟක්ම දුර්වල තත්වයක නම් ඒගොල්ලෝ ගැන නිතරම අවධානයෙන් ඉන්න ඕනේ. ඔවුන්ව බලාගන්න කෙනාට ඒක ලොකු වෙහෙසක්. (දේශ. 4:6) ඒ නිසා විටින් විට අනිත් අයගේ උදව් ඉල්ලන්න. පවුලේ හැමෝම එකතු වෙලා වගකීම් බෙදාගෙන කළොත් ගෙදර තියාගෙනම දිගටම දෙමාපියන්ට සාත්තු කරන්න පුළුවන් වෙයි.

16, 17. දෙමාපියන්ව රැකබලා ගන්න දරුවන් මුහුණ දෙන්නේ මොන වගේ අභියෝගවලටද? ඒවාට හොඳින් මුහුණ දෙන්න පුළුවන් කොහොමද? (“හද පිරි අගයකින් රැකගමු” යන කොටුවද බලන්න.)

16 දෙමාපියන් එන්න එන්න දුර්වල වෙලා, වේදනා විඳිනවා දකිද්දී ඒක දරුවන්ට ලොකු දුකක්. ළඟ ඉඳන් ඒගොල්ලන්ව බලාගන්න කෙනාට හුඟක් වෙලාවට දුකක්, කනස්සල්ලක්, පීඩනයක්, තමන් ගැනම කේන්තියක් දැනෙන්නේ ඒ නිසයි. සමහර වෙලාවට මහලු දෙමාපියෝ හිත පෑරෙන විදිහට කතා කරන්න, කරන කිසිම දෙයක් අගය නොකරන්න ඉඩ තියෙනවා. එහෙම වෙලාවලදී කලකිරෙන්න එපා. මනෝ විද්‍යාඥයෙක් මෙහෙම කියනවා. “ඔබට දුකක්, කලකිරීමක් දැනෙද්දී ඒකෙන් ගොඩ එන්න නම් එහෙම හැඟෙන එක ගැන තරහ ගන්නේ නැතුව ‘මට එහෙම හැඟෙනවා’ කියලා පිළිගන්න.” සැමියා, බිරිඳ එක්ක, පවුලේ කෙනෙක් එක්ක, හොඳම යාළුවෙක් එක්ක ඒ ගැන කතා කරන්න. එතකොට මනස හදාගෙන දෙමාපියන් බලාගන්න වගකීමට අවධානය දෙන්න පුළුවන් වෙයි.

17 කොච්චර හොඳට බලාගත්තත් කාලයත් එක්කම මහලු කෙනාව ගෙදර තියාගෙන බලාගන්න බැරි තත්වයක් උදා වෙන්න පුළුවන්. සමහරවිට ඔහුට දවස පුරා වෛද්‍ය ප්‍රතිකාර, විශේෂ සාත්තු අවශ්‍ය කරන්න පුළුවන්. සාත්තු නිවාසයක නතර කරලා හිටිය තමන්ගේ මවව හැමදාම වගේ බලන්න ගිය සහෝදරියක් මෙහෙම කියනවා. “සාත්තු නිවාසයක අම්මාව නතර කරන්න ගත්ත තීරණය ලේසි නැහැ. ඒත් අම්මාට ඕන කරපු ප්‍රතිකාර, සාත්තුව අපිට එයාව ගෙදර තියාගෙන දෙන්න බැහැ. ඒ නිසා කොච්චර අමාරු වුණත් අපි ඒ තීරණය ගත්තා. ඒක තමයි අම්මා ජීවත් වෙලා හිටපු අන්තිම මාස කීපයේ එයා වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම දේ වුණේ.”

18. දෙමාපියන්ව රැකබලා ගන්න වගකීම ඉටු කරද්දී දරුවන්ට නිසැක වෙන්න පුළුවන් මොකක් ගැනද?

18 මහලු දෙමාපියන්ව රැකබලා ගන්න වගකීම ලේසි එකක් නෙවෙයි. ඒත් පවුලේ හැමෝම එකතු වෙලා හොඳින් කතාබහ කරලා කලින්ම සැලසුම් කරනවා නම් ඒ වගකීම හොඳින් ඉටු කරන්න පුළුවන් වෙයි. ඔබේ සැලසුම්වලට උදව් ඉල්ලලා යෙහෝවා දෙවිට යාච්ඤා කරන්න. දෙමාපියන්ව රැකබලා ගන්න වගකීම හොඳින් ඉටු කරද්දී, තමන්ගේ දෙමාපියන් හොඳ රැකවරණයක් යටතේ ඉන්නවා කියලා දැනෙද්දී ඒක දරුවන්ට සතුටක්. (1 කොරින්ති 13:4-8 කියවන්න.) වඩා වැදගත්ම දේ මහලු දෙමාපියන්ව ආදරයෙන්, ගෞරවයෙන් රැකබලා ගද්දී ඒ ගැන යෙහෝවා දෙවි සතුටු වෙනවා කියලා ඔබට නිසැක වෙන්න පුළුවන් වෙන එකයි. වෙන කිසිම විදිහකින් අද්දකින්න බැරි සමාදානයක් අද්දකින්නත් දෙවි ඔබට සලසයි.—ෆිලි. 4:7.

^ 3 ඡේ. හුඟක් වෙලාවට දෙමාපියෝ හා දරුවෝ ගන්න තීරණ ඒ අය ජීවත් වෙන රට, ප්‍රදේශය අනුව වෙනස් වෙනවා. පවුලේ හැමෝම එකට ජීවත් වෙන එක සමහර රටවල සාමාන්‍ය දෙයක්.

^ 11 ඡේ. හදිස්සි අවස්ථාවකදී පාවිච්චි කරන්න දෙමාපියන් ඉන්න ගෙදර යතුරක් ඒගොල්ලන්ව බලාගන්න කෙනාටත් දීලා තියන්න.