Skip to content

පටුනට යන්න

වචනේ වෙනස් කරන්න එපා!

වචනේ වෙනස් කරන්න එපා!

රෝහල් සබඳතා කමිටුවේ සේවය කරන වැඩිමහල්ලෙක් තරුණ සහෝදරයෙක් එක්ක ඉරිදා උදේ සේවයේ යන්න දාගන්නවා. ඒත් ඉරිදා උදෙන්ම තවත් සහෝදරයෙක් ඒ වැඩිමහල්ලට දුරකථන ඇමතුමක් දීලා කියනවා එයාගේ බිරිඳ රිය අනතුරකට ලක් වෙලා රෝහල් ගත කළා කියලා. ලේ නොදී ප්‍රතිකාර කරන්න කැමති වෛද්‍යවරයෙක්ව හොයලා දෙන්න කියලත් කියනවා. ඒ පවුලට උදව් කරන්න යන්න ඕනෙ නිසා අද සේවයේ යන්න එන්න වෙන්නේ නැහැ කියලා වැඩිමහල්ලා තරුණ සහෝදරයාට කියනවා.

යුවළක් ඒගොල්ලන්ගේ සභාවේ අම්මයි දරුවෝ දෙන්නයි විතරක් ඉන්න පවුලකට රෑ කෑමකට ආරාධනා කරනවා. ඒ ගැන හුඟක් සතුටු වෙන දරුවෝ දෙන්නා ඒ දවස එනකල් ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඒත් ඊට කලින් දවසේ ඒ යුවළ ඒ අයට කතා කරලා කියනවා හදිස්සි වැඩක් වැටුණ නිසා හෙට එන්න එපා කියලා. ඇත්තටම ඒ යුවළ එහෙම කළේ ඒ දෙන්නාට තවත් යාළුවෝ කට්ටියකගෙන් කෑමකට ආරාධනාවක් ලැබුණ නිසයි කියලා අම්මා පස්සේ දැනගන්නවා.

කාට හරි පොරොන්දුවක් දුන්නොත් ඒක ඉටු කරන්න ක්‍රිස්තියානීන් හැටියට අපි බැඳිලා ඉන්නවා. අපි කවදාවත් “එසේය කියා පවසන දේ නැත කියා” වෙනස් කරන්න හොඳ නැහැ. (2 කොරි. 1:18) ඒ වුණත් අපි මුලින්ම බලපු සිද්ධියේදී වගේ නොවැළැක්විය හැකි හේතු නිසා සමහර වෙලාවලදී කියන විදිහටම කරන්න අපිට බැරි වෙන්න ඉඩ තියෙනවා. පාවුල්ටත් ඒ වගේ දෙයක් වුණා.

පාවුල් වචනේ වෙනස් කරපු කෙනෙක්ද?

ක්‍රි.ව. 55දී පාවුල් හිටියේ එෆීසයේ. එතනින් ඊජියන් මුහුද හරහා කොරින්තියටත් ඊටපස්සේ මැසිඩෝනියාවටත් යන්න ඔහු අදහස් කරගෙන හිටියා. මැසිඩෝනියාවේ ඉඳන් යෙරුසලමට යන අතරවාරයේ දෙවනි වතාවටත් කොරින්තියට යන්න ඔහු සැලසුම් කළා. ඔහුට ඕනෙ වුණේ කොරින්තියේ සහෝදරයන් එකතු කරපු සහනාධාරත් අරගෙන යෙරුසලමට යන්නයි. (1 කොරි. 16:3) 2 කොරින්ති 1:15, 16 තියෙන මේ දෙයින් ඒක අපිට පැහැදිලි වෙනවා. “මා අදහස් කරමින් සිටියේ දෙවෙනි වරටත් ඔබව හමු වීමට පැමිණ ඔබට ප්‍රීති වීමට තවත් අවස්ථාවක් ලබා දීමටය. ඒ අනුව ඔබ සමඟ කාලයක් ගත කර ඉන්පසු මැසිඩෝනියාව බලා යෑමටත් මැසිඩෝනියාවේ සිට නැවත පැමිණ ඔබව හමු වීමටත් මම අදහස් කරගෙන සිටියෙමි. ඉන්පසු මා යුදය බලා පිටත් වන විට මාව ඇරලවීමට ඔබ යම් දුරක් මා සමඟ පැමිණෙයි කියා බලාපොරොත්තුවෙන් සිටියෙමි.”

පේන විදිහට පාවුල් කලින් යැවූ ලිපියකින් ඒ සැලැස්ම ගැන කොරින්තිවරුන්ට දන්වලා තිබුණා. (1 කොරි. 5:9) ඒ ලිපිය ලියලා ටික දවසකට පස්සේ ක්ලොයිගේ පවුලේ අයගෙන් පාවුල්ට දැනගන්න ලැබුණා කොරින්ති සභාවේ අය අතර බරපතළ විදිහට ආරවුල් සහ මතභේද තියෙනවා කියලා. (1 කොරි. 1:10, 11) ඒ නිසා පාවුල් තීරණය කළා කොරින්තියට යන්නේ නැතුව ඔවුන්ට ලිපියක් ලියන්න. පළවෙනි කොරින්ති පොත කියන්නේ ඒ ලිපියටයි. ඒ ලිපියේ පාවුල් ඔවුන්ට තිබුණු මතභේද විසඳගන්න අවශ්‍ය කරන උපදෙස්, මඟ පෙන්වීම් ප්‍රේමණීයව සඳහන් කළා. ඒ වගේම මුලින්ම කොරින්තියට එනවා වෙනුවට මැසිඩෝනියාවට ගිහින් ඊටපස්සේ කොරින්තියට එනවා කියලත් ඔහු ඒ ලිපියෙන් දැන්නුවා.—1 කොරි. 16:5, 6. *

පාවුල් ඔහුගේ සැලැස්ම වෙනස් කළා කියලා දන්වලා එවපු ලියුම කොරින්තිවරුන්ට ලැබුණම ඔවුන් අතරේ හිටපු තමන් ගැන ‘මහ ඉහළින් සලකන නියෝජිතයන්’ පිරිසක් පාවුල් වචනේ වෙනස් කරන බොරුකාරයෙක් කියලා දොස් කිව්වා. ඒකට පිළිතුරු විදිහට පාවුල් ඔවුන්ට මෙහෙම කිව්වා. “මා නොසැලකිලිමත් ලෙස ක්‍රියා කරන කෙනෙක් කියා නොසිතන්න. මා දේවල් කරන්නේ මගේම සතුට වෙනුවෙන්ද? මා එසේ කටයුතු කරනවා නම් මා ඇත්තෙන්ම ‘එසේය’ කියා පවසා, එය ‘නැත’ කියා වහාම වෙනස් කරන බොරුකාරයෙකි.”—2 කොරි. 1:17; 11:5.

පාවුල් ඒ අවස්ථාවේදී “නොසැලකිලිමත්” විදිහට ක්‍රියා කළා කියලා ඔබ හිතනවද? “නොසැලකිලිමත්” කියලා පරිවර්තනය කරලා තියෙන ග්‍රීක වචනයට බොරුකාරයෙක් කියන අදහසත් ඇතුළත්. ඒ කියන්නේ විශ්වාසය තියන්න බැරි, පොරොන්දු කඩ කරන කෙනෙක් කියන අදහසයි. ඒත් පාවුල් කලින් පොරොන්දු වුණ විදිහට කොරින්තියට ආවේ නැත්තේ ඔහු ඒ වගේ කෙනෙක් නිසා නෙමෙයි. ඔහු ඒ දේ කළේ කොරින්තිවරුන්ගේම ප්‍රයෝජනයටයි. “මා දේවල් කරන්නේ මගේම සතුට වෙනුවෙන්ද” කියලා පාවුල් ඇහුවේ ඒ නිසයි.

පාවුල් මෙහෙමත් කිව්වා. “දෙවි විශ්වාසවන්ත කෙනෙක් වන්නා සේම අප එසේය කියා පවසන දේ නැත කියා වෙනස් නොකරන බව ඔබට විශ්වාස කළ හැක.” (2 කොරි. 1:18) එහෙමනම් පොරොන්දු වුණ විදිහට පාවුල් කොරින්තියට ගියේ නැත්තේ ඇයි? ඔහු එහෙම කළේ ඔබට “දුකක් ඇති කරන්න මා අකමැති” නිසා කියලා 2 කොරින්ති 1:23 ඔහු සඳහන් කරනවා. ඒකෙන් අදහස් කළේ මොකක්ද? පාවුල්ට ඕනෙ වුණේ ඔහු කොරින්තියට යන්න කලින් ඔහු දුන්න උපදෙස් අදාළ කරගෙන ඔවුන් අතර තිබුණ මතභේද නිරාකරණය කරගන්නවටයි. ඒකට ඔවුන්ට යම් කාලයක් දෙන්නයි ඔහු ඕනකමින්ම ඒ ගමන ප්‍රමාද කළේ. පාවුල් බලාපොරොත්තු වුණ විදිහටම ඔහු මැසිඩෝනියාවේ ඉන්න කාලයේදී කොරින්තිවරුන් තමන් කරපු වැරදි ගැන දුක් වෙලා ඒවා නිවැරදි කරගත්තා. තීතස්ගෙන් ඒ ගැන දැනගත්තම පාවුල් හුඟක් සතුටු වුණා.—2 කොරි. 6:11; 7:5-7.

යේසුස්, දෙවිගේ පොරොන්දුවලට සහතිකයක්

එදිනෙදා වැඩවලදී විශ්වාසය තියන්න බැරි කෙනෙක් විදිහට පාවුල් වැඩ කළා කියලා ඔහුට දොස් කියපු එකෙන් ඔවුන් පෙන්නුවේ ඔහු දේශනා කරපු පණිවිඩය ගැනත් ඔවුන්ට විශ්වාසය තියන්න බැහැ කියන එකයි. ඒත් පාවුල් කොරින්තියේ අයට දේශනා කළේ යේසුස් ගැන. පාවුල් ඒ ගැන මෙහෙම කියනවා. “සිල්වානස්, තිමෝති සහ මා, දෙවිගේ පුත්‍රයා වන ක්‍රිස්තුස් යේසුස් ගැන දේශනා කළ විට අප එසේය කියා පැවසූ දේවල්, නැත බවට වෙනස් කළේ නැත. ඇත්තෙන්ම එසේය කියා පැවසූ දේවල් එසේය කියා තව තවත් තහවුරු වී තිබේ.” (2 කොරි. 1:19) පාවුල් හැම වෙලාවෙම ආදර්ශයට ගත්තේ යේසුස්ව. යේසුස් නිතරම සත්‍යය කතා කරපු, කියපු විදිහටම දේවල් කරපු කෙනෙක්. (යොහ. 14:6; 18:37) යේසුස් දේශනා කළේ සත්‍යය, විශ්වාසය තියන්න පුළුවන් පණිවිඩයක්. පාවුල් දේශනා කළෙත් ඒ පණිවිඩයමයි. එහෙමනම් පාවුල්ගේ පණිවිඩයත් සත්‍යය, විශ්වාසය තියන්න පුළුවන් පණිවිඩයක් කියන එක පැහැදිලියි.

යෙහෝවා “සත්‍යතාවේ දෙවි” කියන එක ගැන සැකයක් නැහැ. (ගීතා. 31:5) ඒ වුණත් පාවුල් කියනවා “දෙවි දී ඇති සෑම පොරොන්දුවක්ම යේසුස් මාර්ගයෙන් එසේය වී තිබේ. අප යේසුස් තුළින් දෙවිට ‘ආමෙන්’ කියා පවසන්නේ දෙවිට ගෞරවය ගෙන දීම සඳහාය” කියලා. (2 කොරි. 1:20) ඒකෙන් අදහස් කළේ මොකක්ද? යේසුස් මරණය දක්වාම විශ්වාසවන්තව හිටපු එක යෙහෝවා දෙවි දුන්න හැම පොරොන්දුවක්ම අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියන එකට හොඳම සහතිකය වුණා. යාච්ඤාවකින් කියන දේ “ආමෙන්” කියලා සහතික කරනවා වගේ යෙහෝවා දෙවි කියපු හැම දේටම “ආමෙන්” නැත්නම් සහතිකය වුණේ යේසුස්.

යෙහෝවා දෙවිව සහ යේසුස්ව ආදර්ශයට ගත්ත පාවුල් නිතරම සත්‍යය කතා කළා. ඔහු වචනේ වෙනස් කරපු කෙනෙක් නෙමෙයි. (2 කොරි. 1:19) ඔහු බොරුකාරයෙක්වත් ‘ඔහුගේ සතුට ගැන’ හිතලා වැඩ කරපු කෙනෙක්වත් නෙමෙයි. (2 කොරි. 1:17) ඔහු හැම වෙලාවෙම වැඩ කළේ “දෙවි තම බලයෙන් ලබා දෙන මඟ පෙන්වීම්වලට” අනුවයි. (ගලා. 5:16) ඔහු නිතරම හිතුවේ අනිත් අයගේ යහපත ගැනයි.

ඔබත් දෙයක් කිව්වොත් ඒක කරනවද?

පොරොන්දු කඩන එක අද මිනිස්සු අතර සාමාන්‍ය දෙයක් වෙලා. මොනවා හරි පොඩි ප්‍රශ්නයක් වුණොත් එහෙම නැත්නම් තමන්ට වැඩි වාසියක් වෙනවා නම් හුඟක් අය දෙපාරක් හිතන්නේ නැතුව පොරොන්දු කඩ කරනවා. ව්‍යාපාරවලදී සමහර පොරොන්දු ගිවිසුම් විදිහට සකස් කරලා තිබුණත් හුඟක් අය ඒවා කඩ කරනවා. විවාහය කියන්නේ ජීවිත කාලයටම එකට ජීවත් වෙන්න වුණ පොරොන්දුවක් කියලා හුඟක් අය හිතන්නේ නැහැ. ඒ වෙනුවට දික්කසාද වෙන අයගේ ගණන අද එන්න එන්නම ඉහළ යන එකෙන් පේන්නේ විවාහ පොරොන්දු ලේසියෙන්ම කඩ කරන්න පුළුවන් එකක් විදිහට හුඟදෙනෙක් සලකනවා කියලයි.—2 තිමෝ. 3:1, 2.

ඔබ ගැන මොනවද කියන්න පුළුවන්? ඔබත් වචනේ වෙනස් කරන කෙනෙක්ද? නැත්නම් කිව්ව දේ ඒ විදිහටම කරන කෙනෙක්ද? ඇත්ත, අපි මේ ලිපියේ මුලින්ම බලපු සිද්ධියේ වගේ නොවැළැක්විය හැකි හේතුවක් නිසා සමහර දේවල් කියපු විදිහටම කරන්න බැරි වෙන වෙලාවල් තියෙනවා. එත් ඔබ ක්‍රිස්තියානි කෙනෙක් හැටියට මොනවා හරි පොරොන්දුවක් වුණොත් ඒක ඉටු කරන්න ඔබට කරන්න පුළුවන් හැම දේම කරන්න ඕනේ. (ගීතා. 15:4; මතෙ. 5:37) එහෙම කරනවා නම් ඔබ විශ්වාසවන්ත, වචනයක් දුන්නොත් ඒක ඒ විදිහටම කරන, හැම වෙලාවෙම ඇත්ත කතා කරන කෙනෙක් හැටියට අනිත් අය අතරේ හොඳ නමක් දිනාගන්න ඔබට පුළුවන් වෙයි. (එෆී. 4:15, 25; යාකො. 5:12) ඔබ එහෙම කෙනෙක් කියලා දැනගත්තම හුඟක් අය ඔබ කියන ශුභාරංචියට ඇහුම්කන් දෙන්න කැමති වෙයි. ඒ නිසා අපි වචනේ වෙනස් නොකරන, කියපු දේ ඒ විදිහට කරන අය වෙන්න උත්සාහ කරමු.

^ 7 ඡේ. ඒ ලිපිය ලියලා ටික දවසකට පස්සේ පාවුල් ත්‍රෝවසය හරහා මැසිඩෝනියාවට ගියා. දෙවෙනි කොරින්ති පොත ලිව්වේ එහෙදියි. (2 කොරි. 2:12; 7:5) ඊටපස්සේ ඔහු කොරින්තියට ගියා.