Skip to content

පටුනට යන්න

ධෛර්යවත් වෙන්න දෙවි ඔබට උදව් කරයි!

ධෛර්යවත් වෙන්න දෙවි ඔබට උදව් කරයි!

“ධෛර්යය උපදවාගෙන, ‘මට උපකාර කරන්නේ යෙහෝවා දෙවිය’ කියා පවසමු.”හෙබ්‍රෙ. 13:6.

1, 2. රට රස්සාවක් දාලා ගෙදර එන එක අමාරු දෙයක් වෙන්නේ ඇයි? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

එඩ්වාඩෝ පවුලේ අයගෙන් ඈත් වෙලා රට රස්සාවක් කරපු කෙනෙක්. * එයා එහෙදී හුඟක් සල්ලි හම්බ කළා. ඒත් බයිබලය පාඩම් කරන්න පටන්ගත්තට පස්සේ එයාට තේරුණා පවුලේ අයට සල්ලිවලට වඩා වටින්නේ එයාගේ ආදරේ, රැකවරණය කියලා. ඒ නිසා ආයෙත් ගෙදර යන්න එයා තීරණය කළා.එෆී. 6:4.

2 ගත්ත තීරණය ගැන යෙහෝවා දෙවි සතුටු වෙනවා කියලා එයා දැනගෙන හිටියා. ඒත් ඒක කරන එක ලේසි වුණේ නැහැ. මොකද ඒ වෙනකොට බිරිඳ එක්ක, දරුවෝ එක්ක එයාට තිබුණ බැඳීම පලුදු වෙලයි තිබුණේ. පලුදු වුණ ඒ බැඳීම් ආයෙත් පිළිසකර කරගන්නේ කොහොමද? ජීවත් වෙන්න ඕන කරන මුදල් හොයාගන්නේ කොහොමද? එයාට උදව් කරන්න සභාවේ අයට පුළුවන් කොහොමද?

පලුදු වුණ බැඳීම් පිළිසකර කරගන්න

3. දෙමාපියන් දරුවන්ගෙන් ඈත් වෙලා ඉන්න එක දරුවන්ට බලපාන්නේ කොහොමද?

3 “මං දුවලා තුන්දෙනාගෙන් ඈත් වෙලා හිටියේ ඒගොල්ලන්ට මාව ඕනෙම කරපු කාලෙයි. එකට බයිබලේ කියවන්න, යාච්ඤා කරන්න, සෙල්ලං කරන්න, ආදරෙන් බදාගන්න මං ඒගොල්ලෝ එක්ක හිටියේ නෑ” කියලා එඩ්වාඩෝ කියනවා. (ද්වි. 6:7) එයාගේ වැඩිමල් දුව කියන්නේ මෙහෙමයි. “තාත්තා අපිත් එක්ක හිටපු නැති එක මට හුඟක් බලපෑවා. ඒ කාලේ අපි අතරේ කිට්ටු බැඳීමක් තිබුණේ නෑ. තාත්තා ආවට පස්සේ අපිව ආදරෙන් බදාගත්තත් ‘මේ මගේ තාත්තා’ කියන හැඟීම මට දැනුණේ නෑ.”

4. කාලයක් පවුලෙන් ඈත් වෙලා හිටපු පියෙකුට මූලිකත්වය අරන් වැඩ කරන එක අමාරු වෙන්නේ ඇයි?

4 කාලයක් පවුලේ අයගෙන් ඈත් වෙලා හිටපු පියෙක් ආයෙත් ගෙදර ආවම කලින් වගේ මූලිකත්වය අරන් වැඩ කරන එක ලේසි නැහැ. එඩ්වාඩෝගේ බිරිඳ ඒ ගැන මෙහෙම කියනවා. “එයා ගෙදර හිටියේ නැති කාලේ ළමයිගේ අම්මාත් මම, තාත්තාත් මම. තීරණ ගන්න වුණේ මටයි. එඩ්වාඩෝ ආවට පස්සෙත් ඒක වෙනස් කරගන්න මට අමාරු වුණා. සැමියාට යටත් වෙලා වැඩ කරන්නේ කොහොමද කියලා මට ඉගෙනගන්න වුණා. සමහර වෙලාවට තීරණ ගන්න වෙද්දී මහත්තයා ගෙදර ඉන්නවානේ කියලා මට තාමත් අමතක වෙනවා.” (එෆී. 5:22, 23) “දුවලත් පුරුදු වෙලා හිටියේ හැම දේම අම්මාගෙන් අහලා කරන්නයි. බයිබලේ කියන විදිහට මූලිකත්වය අරන් වැඩ කරන්න මටත් ඉගෙනගන්න වුණා. අපි දෙන්නා කතාබහ කරලයි තීරණ ගන්නේ කියලා දරුවෝ දකින එක හරිම වැදගත්” කියලා එඩ්වාඩෝ කියනවා.

5. පලුදු වුණ බැඳීම් පිළිසකර කරගන්න එඩ්වාඩෝ කළේ මොනවද? ඒකෙන් ලැබුණ ප්‍රතිඵල මොනවද?

5 පලුදු වුණ බැඳීම් පිළිසකර කරගන්නත් පවුලේ අයව දෙවිට ළං කරන්නත් එඩ්වාඩෝ පුළුවන් හැම දේම කළා. එයා දෙවිට කොච්චර ආදරේද කියන දේ කතාවෙන් විතරක් නෙමෙයි ක්‍රියාවෙනුත් දරුවන්ට පෙන්නුවා. (1 යොහ. 3:18) එඩ්වාඩෝගේ වෑයමට දෙවි ආශීර්වාද කළාද? “අපිට කිට්ටු වෙන්න තාත්තා වෙච්ච මහන්සිය දැකලා අපිට තාත්තා ගැන ලොකු ආදරයක් ඇති වුණා. සභාවේ අමතර වගකීම් භාර අරන් කරනවා දකිද්දී අපිට තාත්තා ගැන ආඩම්බරයක් දැනුණා. ලෝකෙ අයට ඕන අපිව දෙවිගෙන් ඈත් කරන්නයි. ඒත් අම්මායි තාත්තායි දෙවිට මුල් තැන දෙනවා දකිද්දී අපිටත් ඕන වුණා ඒ දේම කරන්න. තාත්තා අපිට පොරොන්දු වුණා ආයේ රට යන්නේ නෑ කියලා. කිව්වා වගේම තාත්තා ගියේ නෑ. ගියා නම් සමහරවිට අද මම සත්‍යයෙත් නෑ” කියලා එඩ්වාඩෝගේ දුව කියනවා.

වගකීම ඔබේ අතේ

6. බෝල්කන්වල යුද්ධයක් තිබුණ කාලයේ හුඟක් දෙමාපියන් තේරුම්ගත්තේ මොකක්ද?

6 බෝල්කන්වල යුද්ධයක් ඇති වුණ වෙලාවේ සාක්ෂිකරුවන්ට හුඟක් දුක් විඳින්න සිද්ධ වුණා. ඒත් සාක්ෂිකරුවන් අතරේ හිටපු සමහර දරුවන් ඒ කාලය ගත කළේ සතුටින්. ඒකට හේතුව රැකියාවලට යන්න බැරුව දෙමාපියන් ගෙදර නතර වුණ නිසා දරුවෝ එක්ක කාලය ගත කරන්න, සෙල්ලං කරන්න, කතාබහ කරන්න, අධ්‍යයනය කරන්න ඒ දෙමාපියන්ට කාලය ලැබුණ නිසයි. සල්ලි, තෑගිබෝග වගේ දේවලට වඩා දරුවන්ට වටින්නේ දෙමාපියන් එක්ක කාලය ගත කරන එක කියලා ඒකෙන් තේරෙනවා නේද? දරුවෝ එක්ක ඉඳලා ඒ අයව පුහුණු කරන එක දරුවන් වෙනුවෙන් කරන්න පුළුවන් වටිනාම දෙයක් කියලා බයිබලයේ කියනවා.හිතෝ. 22:6.

7, 8. (අ) රට රස්සාව අත්හැරලා ගෙදර එන හුඟක් දෙමාපියන්ට හැඟෙන්නේ කොහොමද? (ආ) දරුවන්ට ආයෙත් කිට්ටු වෙන්න ඒ වගේ දෙමාපියන්ට කරන්න පුළුවන් මොනවද?

7 දෙමාපියන් රට රස්සාවක් කරලා කාලෙකට පස්සේ ගෙදර එන්නේ දරුවෝ ඒ ගැන සතුටු වෙයි කියලා හිතලයි. ඒත් හුඟක් වෙලාවට වෙන්නේ ‘තාත්තා ආවත් එකයි නැතත් එකයි’ කියන අදහස ඇති වෙන විදිහට දරුවෝ හැසිරෙන එකයි. “මං මෙච්චර කල් දුක් මහන්සියෙන් හම්බ කළේ දරුවෝ වෙනුවෙන්. ඒත් එයාලට ඒ ගැන කිසිම අගයක් නෑ” කියලා ඒ දෙමාපියන් කියනවා. දරුවෝ එහෙම කරන්නේ තමන්ව දාලා ගිය එක ගැන වේදනාවෙන් ඉන්න නිසයි. ආයෙත් දරුවන්ට කිට්ටු වෙන්න ඔබට කරන්න පුළුවන් මොනවද?

8 ඔබේ පවුලේ අයගේ හැඟීම් තේරුම් අරගෙන ඒ අය ගැන ඔබේ හිතේ තියෙන ආදරේ පෙන්නන්න ඔබට උදව් කරන්න කියලා යාච්ඤා කරන්න. පවුලේ අය එක්ක කතා කරද්දී ප්‍රශ්නෙට ඔබත් වග කියන්න ඕනෙ කියලා පිළිගන්න. වුණ වරදට ඒ අයගෙන් සමාව ඉල්ලන්න. වැරදුන තැන් හදාගෙන පවුලේ අයට කිට්ටු වෙන්න ඔබ දරන උත්සාහය දකිද්දී ඒ අය ඔබට ළං වෙයි.

‘පවුලේ අයට අවශ්‍ය දේ ලබා දීම’

9. අපි සෑහීමට පත් වෙන්න ඕනෙ ඇයි?

9 මහලු දෙමාපියන්ට අවශ්‍ය දේවල් ඒ අයගේ දරු මුනුපුරෝ සපයන්න ඕනෙ කියලා පාවුල් කිව්වා. අවශ්‍ය දේවල් කියද්දී ඒකෙන් අදහස් කළේ කෑම බීම, ඇඳුම්පැළඳුම්, ඉන්න හිටින්න තැනක් වගේ අත්‍යවශ්‍ය දේවලුයි. ඒ දේවල් තියෙනවා නම් සෑහීමට පත් වෙන්න පුළුවන්. (1 තිමෝති 5:4, 8; 6:6-10 කියවන්න.) ඒත් ඒවා සපයන්න ‘නැති වෙලා යන්න’ තියෙන මේ ලෝකෙ ධනවතෙක් වෙන්නම ඕනෙ නැහැ. (1 යොහ. 2:15-17) හැම ප්‍රශ්නයක්ම සල්ලිවලින් විසඳන්න පුළුවන් කියලා හිතන එකෙනුත් “එදිනෙදා ජීවිතයේ ඇති වන කරදර” ගැන කනස්සලු වෙන එකෙනුත් වෙන්නේ ඔබටත් ඔබේ පවුලේ අයටත් දෙවි දෙන්න යන “සැබෑ ජීවිතය තදින් අල්ලාගැනීමට” බැරි වෙන එකයි.මාක් 4:19; ලූක් 21:34-36; 1 තිමෝ. 6:19.

10. ණය වෙන්නේ නැතුව ඉන්න එක ඥානවන්ත දෙයක් වෙන්නේ ඇයි?

10 අපිට ජීවත් වෙන්න යම් දුරකට මුදල් අවශ්‍යයි කියලා යෙහෝවා දෙවි දන්නවා. ඒත් දෙවි දෙන ප්‍රඥාව තරම් අපිට ආරක්ෂාවක් ලබා දෙන්න මුදල්වලට බැහැ. (දේශ. 7:12; ලූක් 12:15) රට රස්සාවකට යන එකෙන් ඇති වෙන භයානක ප්‍රතිඵල ගැන හුඟක් අයට තේරෙන්නේ නැහැ. එහෙම ගියත් බලාපොරොත්තු වෙන විදිහට සල්ලි හම්බ කරන්න ලැබෙයිද කියලා සහතික වෙන්නත් බැහැ. රට ගිය හුඟක් අය ආපහු එන්නේ හිටියටත් වඩා ණය වෙලයි. එහෙම වුණාම වෙන්නේ නිදහසේ දෙවිට සේවය කරනවා වෙනුවට ණය ගෙවන්න වෙහෙසෙන්න වෙන එකයි. (හිතෝපදේශ 22:7 කියවන්න.) අමාරුකම් තිබුණත් ණය වෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් එක තමයි හොඳම දේ.

11. ආදායම්, වියදම්වල ලැයිස්තුවක් හදන එක ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

11 අරපිරිමැස්මෙන් වියදම් කරන එක වැදගත් කියලා එඩ්වාඩෝට තේරුණා. එයා බිරිඳ එක්ක එකතු වෙලා අත්‍යවශ්‍යම දේවල් ගැන හිතලා ආදායම්, වියදම්වල ලැයිස්තුවක් හැදුවා. * ඉස්සර වගේ දේවල් මිල දී ගන්න බැහැ කියලා ඒගොල්ලන්ට තේරුණා. ගත්ත තීරණවලට පවුලේ හැමෝම තමන්ගේ පැත්තෙන් කැප කිරීම් කළා. “ගෙවන පාසැලකට ගිය දරුවන්ව අපි ඒකෙන් අස් කරලා රජයේ පාසැලකට දැම්මා” කියලා එඩ්වාඩෝ කියනවා. නමස්කාරයට සම්බන්ධ වැඩ බාධාවක් නැතුව කරගෙන යන්න පුළුවන් වෙන විදිහේ ආදායම් මාර්ගයක් හදාගන්න උදව් කරන්න කියලා පවුලේ හැමෝම යාච්ඤා කළා. දෙවි උපකාර කළාද?

12, 13. පවුලේ අවශ්‍යතා පිරිමහගන්න එඩ්වාඩෝ කළේ මොනවද? සරල ජීවිතයක් ගත කරන්න එයා දරපු උත්සාහයට දෙවි ආශීර්වාද කළේ කොහොමද?

12 රට ඉඳන් ඇවිත් ගත වුණ පළවෙනි අවුරුදු දෙකේ හුඟක් මහන්සි වෙලා වැඩ කළත් ලැබුණ සල්ලි යන්තම් ජීවිතේ ගැටගහගන්නත් මදි වුණා. ඒ නිසා ඉතුරු කරගත්ත සල්ලිත් ටික ටික වියදමට ගන්න එඩ්වාඩෝට සිද්ධ වුණා. “ඒත් හැම රැස්වීමකටම යන්නත් පවුලක් විදිහට එකට සේවයේ යන්නත් අපිට පුළුවන් වුණා” කියලා එයා කියනවා. ඒ දේවල් කරන්න බැරි වෙන විදිහේ රස්සාවක් හොයාගන්නේ නැහැ කියලා එයා අධිෂ්ඨාන කරගත්තා. “මම රැකියාවන් කීපයක්ම කරන්න ඉගෙනගත්තා. ඒ නිසා එකක් නැති වුණොත් තව එකක් කරලා වියදම හොයාගන්න පුළුවන්.”

රැකියාවන් කීපයක්ම කරන්න ඉගෙනගන්න ඔබටත් පුළුවන්ද? (12 ඡේදය බලන්න)

13 ණය ගෙවන්න කල් ගිය නිසා සෑහෙන පොලියක් ගෙවන්න එඩ්වාඩෝට සිද්ධ වුණා. ඒ වුණත් පවුලක් විදිහට දෙවිට සේවය කරන්න ලැබුණ නිසා එයා ඒක ලොකු බරක් කියලා හිතුවේ නැහැ. “මං පිට රට ඉද්දී හොයපු සල්ලිවලින් සීයට 10ක්වත් දැන් හොයන්නේ නෑ. ඒත් එක දවසක්වත් අපි බඩගින්නේ ඉඳලා නෑ. අපිට උදව් කරන්න බැරි තරමට ‘යෙහෝවා දෙවිගේ හස්තය දිග මදි නැහැ කියලා’ අපි අද්දැක්කා. පස්සේ අපි පුරෝගාමි සේවයත් පටන්ගත්තා. ඒත් එක්කම වගේ රටේ ආර්ථිකයත් ටිකක් හොඳ අතට හැරුණ නිසා ජීවිතය ගැටගහගන්න එක කලින් තරම් අමාරු වුණේ නෑ.”යෙසා. 59:1.

නෑදෑයන්ගෙන් එන පීඩනය

14, 15. (අ) මුදල්වලට මුල් තැන දෙන්න නෑදෑයන් දිරිගන්වනවා නම් කරන්න පුළුවන් මොනවද? (ආ) දෙවිට මුල් තැන දීලා වැඩ කරනවා කියලා අපි පෙන්නද්දී ලැබෙන ප්‍රතිඵල මොනවද?

14 සමහරු හිතන්නේ නෑදෑයන්ට, යාළුවන්ට තෑගි, සල්ලි දෙන එක අනිවාර්යයෙන්ම කරන්න ඕනෙ කියලයි. “ඒක අපේ සිරිතක්. අනික ඒක අපිට ලොකු සතුටක්. ඒත් ඒකට සීමාවක් තියෙනවා” කියලා එඩ්වාඩෝ කියනවා. පුළුවන් විදිහට ඒ අයට දේවල් දෙන්න එයා කැමති වුණත් එයා මුල් තැන දෙන්න ඕනෙ එයාගේ පවුලේ අයගේ අවශ්‍යතා සපුරන එකටයි, පවුලක් විදිහට දෙවිට කරන සේවයටයි කියලා එඩ්වාඩෝ නෑදෑයන්ට තේරුම් කරලා දුන්නා.

15 කෙනෙක්ට රට යන්න අවස්ථාව තිබිලත් නොයා ඉන්න තීරණය කරද්දී, රට රස්සාවක් දාලා එද්දී සමහර නෑදෑයෝ ඒ ගැන දොස් කියනවා. ඒ ඔවුන්ට ලැබෙන තෑගි, මුදල් නැතුව යන නිසයි. (හිතෝ. 19:6, 7) එඩ්වාඩෝගේ දුව මෙහෙම කියනවා. “අපි සල්ලි ගැන හිතන්නේ නැතුව දෙවිට මුල් තැන දීලා වැඩ කරනවා නම් යෙහෝවා දෙවි අපිට කොයි තරම් වැදගත්ද කියලා අපේ නෑදෑයන් දැනගන්නවා. අපි එහෙම කළේ නැත්නම් ඒගොල්ලෝ කවදාවත් ඒක තේරුම්ගන්නේ නැහැ.”1 පේතෘස් 3:1, 2 බලන්න.

විශ්වාසය ක්‍රියාවෙන් පෙන්නන්න

16. (අ) කෙනෙක්ට ඇති වෙන්න පුළුවන් වැරදි ආකල්පය මොකක්ද? (යාකො. 1:22) (ආ) දෙවි ආශීර්වාද කරන්නේ මොන වගේ තීරණවලටද?

16 පවුලේ අයව දාලා රට රස්සාවකට ගිය සහෝදරියක් ඒ රටේ වැඩිමහල්ලන්ට මෙහෙම කිව්වා. “මට මෙහෙට එන්න අපිට හුඟක් කැප කිරීම් කරන්න වුණා. මගේ මහත්තයාට වැඩිමහල්ලෙක් විදිහට සේවය කරන එක නතර කරන්නත් සිද්ධ වුණා. ඒ නිසා මං හිතනවා මං ගත්ත තීරණයට යෙහෝවා දෙවි ආශීර්වාද කරයි කියලා.” දෙවි අපිට ආශීර්වාද කරන්නේ ඔහු ගැන විශ්වාසය තියලා ඔහු කැමති විදිහට තීරණ ගත්තොත් විතරයි. එහෙම නැතුව අපේ සතුට වෙනුවෙන් දෙවිට සේවය කරන්න ලැබිලා තියෙන වරප්‍රසාද නැති කරගන්නවට දෙවි කැමති නැහැ.හෙබ්‍රෙව් 11:6; 1 යොහන් 5:13-15 කියවන්න.

17. තීරණයක් ගන්න කලින් දෙවි දීලා තියෙන මඟ පෙන්වීම් හොයලා බලන්න ඕනෙ ඇයි? ඒක කරන්න පුළුවන් කොහොමද?

17 තීරණයක් ගන්න කලින් ඒ ගැන දෙවි දීලා තියෙන මඟ පෙන්වීම් හොයලා බලන්න. දෙවිගේ බලය, ප්‍රඥාව ඉල්ලලා යාච්ඤා කරන්න. (2 තිමෝ. 1:7) එහෙම කළොත් පසුතැවෙන්න වෙන්නේ නැහැ. මෙහෙම හිතන්න. ‘දෙවිට මුල් තැන දීලා වැඩ කරන්න මං කොයි තරම් කැප කිරීම් කරන්න ලෑස්තිද? අගහිඟකම් තිබුණත් පවුලේ අය එක්කම ඉන්න කියන දෙවිගේ මඟ පෙන්වීමට මං කීකරු වෙනවද?’ (ලූක් 14:33) වැඩිමහල්ලන්ගෙන් උදව් ඉල්ලන්න. ඒ අය බයිබලයෙන් පෙන්නන මඟ පෙන්වීම් පිළිගන්න. ඒකෙන් පේන්නේ ඔබට උපකාර කරනවා කියලා දෙවි දීලා තියෙන පොරොන්දුව ඔබ විශ්වාස කරනවා කියන එකයි. ‘මෙහෙම කරන්න,’ ‘අර විදිහට කරන්න’ කියලා වැඩිමහල්ලෝ ඔබට කියන්නේ නැහැ. ඒත් ජීවිතේ හරි තීරණ ගන්න ඒ අය ඔබට උදව් කරයි.2 කොරි. 1:24.

18. පවුල රැකබලා ගන්න වගකීම තියෙන්නේ කාටද? ඒ අයට උදව් වෙන්න අපිට පුළුවන් කොහොමද?

18 පවුලේ අයව රැකබලා ගන්න වගකීම දෙවි දීලා තියෙන්නේ පියාටයි. (ගලා. 6:5) වැඩි පඩියක් ලැබෙන රට රස්සාවකට යන්න අවස්ථාව තියෙද්දීත් එහෙම යන්න කියලා අනිත් අය බල කරද්දීත් පවුලේ අය එක්කම ඉඳලා ඒ අයව රැකබලා ගන්න තාත්තලා වෙනුවෙන් අපි යාච්ඤා කරමු. ඒ අයව අගය කරමු. ඊට අමතරව ඔවුන් විපත්තිවලට මුහුණ දෙද්දී, ඒ අයගේ පවුල්වල අයට හදිසි ප්‍රතිකාර ලබාගන්න වෙද්දී උදව් කරමු. (ගලා. 6:2; 1 පේතෘ. 3:8) ළඟපාතක රැකියාවක් හොයලා දෙන්න, අවශ්‍යම කරන වෙලාවලදී මුදල්, කෑම බීම දෙන්න ඔබට පුළුවන්ද? අපි එහෙම කරනවා නම් පවුලේ අය එක්කම ඉන්න ඒ අයට පුළුවන් වෙයි.හිතෝ. 3:27, 28; 1 යොහ. 3:17.

ඔබේ උදව්වට යෙහෝවා දෙවි ඉන්නවා

19, 20. දෙවි අනිවාර්යයෙන්ම උපකාර කරනවා කියලා අපිට නිසැක ඇයි?

19 බයිබලයේ කියන්නේ මෙහෙමයි. “ඔබ තුළ මුදලට තිබෙන ආශාව නැති කර දමන්න. ඒ බව ඔබ ජීවත් වන ආකාරයෙන් පෙන්වන්න. ඔබට තිබෙන දේවල් ගැන සෑහීමට පත් වන්න. මන්ද, ‘මා ඔබව කිසි ලෙසකින්වත් අත්හරින්නේ නැත. මම ඔබව කිසිදාක අසරණ නොකරන්නෙමි’ කියා දෙවි පවසා ඇත. එහෙයින් අපි ධෛර්යය උපදවාගෙන, ‘මට උපකාර කරන්නේ යෙහෝවා දෙවිය. මම බිය නොවන්නෙමි. මිනිසාට මට විරුද්ධව කළ හැක්කේ කුමක්ද’ කියා පවසමු.” (හෙබ්‍රෙ. 13:5, 6) ඒ දේ විශ්වාස කරනවා කියලා අපේ ජීවිතෙන් පෙන්නන්නේ කොහොමද?

20 “හුඟක් අය සාක්ෂිකරුවන්ව දකින්නේ සතුටින් ඉන්න සෙනඟක් විදිහටයි. දුප්පත් වුණත් විනීතව, පිරිසිදුව ඇඳුම් අඳිනවා කියලත් ජීවත් වෙන්න ඕන කරන දේවල් ඒගොල්ලන්ට තියෙනවා කියලත් මිනිසුන් කියනවා.” එහෙම කියන්නේ දුප්පත් රටක ඉන්න වැඩිමහල්ලෙක්. ඒ ගැන අපි පුදුම වෙන්න ඕනෙ නැහැ. මොකද ඒක යේසුස් වුණ පොරොන්දුවක්. (මතෙ. 6:28-30, 33) යෙහෝවා දෙවි අපිට ආදරෙයි කියලත් ඔහු මඟ පෙන්වීම් දෙන්නේ අපේ යහපතට කියලත් අපි මතක තියාගමු. “යෙහෝවා දෙවි තම දෙනෙත් පොළොවෙහි සිදු වන සෑම දෙයක් වෙතටම යොමු කර තිබෙනවා. ඔහු එසේ කරන්නේ ඔහුට පූර්ණ හදවතකින් සේවය කරන අයට තම බලය ලබා දෙමින් ඔවුන්ට උපකාර කරන්නයි.” (2 ලේක. 16:9) ඒ නිසයි දෙවි අපිට පවුල් ජීවිතය ගැන, පවුලේ අයව රැකබලා ගන්න විදිහ ගැන මඟ පෙන්වීම් දීලා තියෙන්නේ. අපි ඒවාට කීකරු වෙනවා නම් අපි දෙවිට ආදරේ කරනවා කියලත් ඔහුව විශ්වාස කරනවා කියලත් පෙන්නන්න පුළුවන්. “මන්ද දෙවිට ප්‍රේම කරනවා කීමෙන් අදහස් කරන්නේ ඔහුගේ ආඥා පිළිපැදීමය. ඔහුගේ ආඥා පිළිපැදීම බරක් නොවේ.”1 යොහ. 5:3.

21, 22. යෙහෝවා දෙවිව විශ්වාස කරලා වැඩ කරන්න ඔබ අධිෂ්ඨාන කරගන්න ඕනෙ ඇයි?

21 බිරිඳගෙන්, දරුවන්ගෙන් ඈත් වෙලා හිටපු කාලය ආයෙත් ගන්න බැහැ කියලා එඩ්වාඩෝ දන්නවා. ඒත් ඒ ගැන හිතහිත එයා කනගාටු වෙන්නේ නැහැ. එයාත් එක්ක පිට රට වැඩ කරපු හුඟක් අය දැන් පොහොසත්. ඒත් ඒ අය ඉන්නේ සතුටින් නෙමෙයි. ඒ අයගේ පවුල්වල බරපතළ ප්‍රශ්න තියෙනවා. දුප්පත් වුණත් එඩ්වාඩෝගේ පවුලේ අය ඉන්නේ සතුටින්. එයාගේ පවුලේ අය විතරක් නෙමෙයි ඒ රටේ ඉන්න හුඟක් පවුල් යෙහෝවා දෙවි තමන්ට උදව් කරනවා කියලා විශ්වාස කරනවා. එඩ්වාඩෝ කතාව ඉවර කරන්නේ මෙහෙමයි. “යේසුස් පොරොන්දු වුණ විදිහටම අපිව බලාගන්නවා කියලා අපි හැමදාම අද්දකිනවා.”මතෙව් 6:33 කියවන්න.

22 ධෛර්යවත් වෙන්න! යෙහෝවා දෙවිට කීකරු වෙන්න තීරණයක් අරන්, ඒ තීරණයට දෙවි උදව් කරයි කියලා විශ්වාස කරන්න. බිරිඳට, දරුවන්ට වගේම ඔබේ දෙවි යෙහෝවාටත් ඔබ ඇත්තටම ආදරේ කරනවා නම් පවුල හොඳින් රැකබලා ගන්න ඔබට පුළුවන් වෙයි. යෙහෝවා දෙවි උදව් කරනවා කියලා ඔබේ ජීවිතෙන්ම අද්දකින්නත් ඔබට පුළුවන් වෙයි.

^ 1 ඡේ. නම් වෙනස් කර ඇත.

^ 11 ඡේ. 2011 සැප්තැම්බර් ‘පිබිදෙව්!’ කලාපයේ “ඉතිරි කිරීමට ඉගෙනගනිමු!” යන ලිපි මාලාව බලන්න.