Skip to content

පටුනට යන්න

සේවයේදී හමු වෙන අයට පිළිතුරු දෙන්නේ කොහොමද?

සේවයේදී හමු වෙන අයට පිළිතුරු දෙන්නේ කොහොමද?

‘නිතරම කාරුණිකව කතා කිරීමට පුරුදු වන්න. එසේ කළොත් එකිනෙකාට පිළිතුරු දිය යුතු අන්දම ගැන අවබෝධයෙන් ක්‍රියා කිරීමට ඔබට හැකි වේ.’කොලො. 4:6.

1, 2. (අ) හොඳට හිතලා ප්‍රශ්න අහන එකේ වටිනාකම පෙන්නන අද්දැකීමක් කියන්න. (ලිපියේ මුල් පින්තූරය බලන්න.) (ආ) අමාරු විෂයක් ගැන වුණත් කතා කරන්න අපි බය වෙන්න ඕනෙ නැත්තේ ඇයි?

අවුරුදු කීපයකට කලින් අපේ සහෝදරියක් එයාගේ සැමියා එක්ක බයිබලය ගැන කතා කරකර හිටියා. එයාගේ සැමියා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් නෙමෙයි. ඔහු කිව්වේ ත්‍රිත්වය විශ්වාස කරනවා කියලයි. ඒත් පල්ලියේ ඒ ගැන උගන්වන්නේ මොකක්ද කියලා සැමියා හරියටම දැනගෙන හිටියේ නැහැ කියලා සහෝදරියට තේරුණා. ඒ නිසා එයා සැමියාගෙන් මෙහෙම ඇහුවා. “ඔයා විශ්වාස කරන්නේ දෙවියන් කියන්නෙත් දෙවියන්ට, යේසුස් කියන්නෙත් දෙවියන්ට, ශුද්ධාත්මය කියන්නෙත් දෙවියන්ට. ඒත් ඒගොල්ලෝ දෙවිවරුන් තුන්දෙනෙක් නෙමෙයි. එක දෙවි කෙනෙක් කියලද?” එතකොට සැමියා කිව්වා “නැහැ, මම ඒ වගේ දෙයක් විශ්වාස කරන්නේ නැහැ” කියලා. සැබෑ දෙවියන් ගැන පැහැදිලි කරලා දෙන්න ඒක හොඳ ආරම්භයක් වුණා.

2 ඒ අද්දැකීමෙන් තේරෙන්නේ කෙනෙක්ව තේරුම් අරගෙන හොඳට හිතලා ප්‍රශ්න අහන එකේ වටිනාකම නේද? ඒ වගේම ත්‍රිත්වය, නිරය, සෑම දෙයක්ම නිර්මාණය කරපු දෙවි කෙනෙක් ඉන්නවද කියන විෂය වගේ ටිකක් කතා කරන්න අමාරුයි කියලා හිතෙන විෂයන් ගැන කතා කරන්න අපි බය වෙන්න ඕනෙ නැහැ කියන එක නේද? යෙහෝවා දෙවිගෙන් උදව් ඉල්ලනවා නම් අපිට ලැබිලා තියෙන පුහුණුවෙන් ප්‍රයෝජන ගන්නවා නම් අපිට පුළුවන් වෙනවා සේවයේදී හම්බ වෙන අයගේ හිතට කතා කරන්න. (කොලො. 4:6) ඒක කරන්න උදව් වෙන දේවල් තුනක් ගැන දැන් බලමු. (1) හිතේ තියෙන දේ කියන්න පෙලඹෙන විදිහට ප්‍රශ්න ඇසීම. (2) බයිබල් පද තර්කානුකූලව පැහැදිලි කිරීම. (3) කාරණයක් තවත් හොඳට පැහැදිලි කරන්න උදාහරණ පාවිච්චි කිරීම.

හිතේ තියෙන දේ දැනගන්න ප්‍රශ්න අහන්න

3, 4. කෙනෙක් විශ්වාස කරන දේ තේරුම්ගන්න ප්‍රශ්න අහන එක වැදගත් ඇයි? උදාහරණයක් දෙන්න.

3 හොඳට හිතලා ප්‍රශ්න ඇහුවොත් කෙනෙක් විශ්වාස කරන්නේ මොනවද කියලා තේරුම්ගන්න අපිට පුළුවන්. හිතෝපදේශ 18:13 කියන්නේ “කාරණයකට හොඳින් සවන් දීමට කලින් කතා කිරීම මෝඩකමකි. එයින් අත් වන්නේ ලැජ්ජාවකි” කියලයි. යම් විෂයක් ගැන සාකච්ඡාවක් පටන්ගන්න කලින් ඒ කෙනා ඒ ගැන හිතන්නේ මොනවද කියලා දැනගන්න ඕනේ. එහෙම කළේ නැත්නම් ඒ විෂය ගැන ඒ කෙනාගේ හිතේවත් නැති දෙයක් බොරුයි කියලා ඔප්පු කරන්න අපි ලොකු කාලයක් වැය කරයි.1 කොරි. 9:26.

4 නිරය ගැන අපි කෙනෙක් එක්ක කතා කරනවා කියලා හිතමු. නිරය කියන්නේ ගින්නෙන් මිනිසුන්ව පුච්චන ඇත්ත තැනක් කියලා හැමෝම විශ්වාස කරන්නේ නැහැ. සමහරුන් හිතන්නේ කෙනෙක් දෙවිගෙන් ඈත් වුණාම ඒ කෙනා අත්විඳින වේදනාකාරී තත්වයක් ඒකෙන් අදහස් කරනවා කියලයි. ඒ නිසා අපිට මෙහෙම අහන්න පුළුවන්. “නිරය ගැන හුඟක් අයට එක එක මත තියෙනවා. නිරය ගැන ඔයා හිතන්නේ මොකක්ද?” එයා හිතන දේ දැනගත්තම බයිබලයේ ඒ ගැන කියන්නේ මොකක්ද කියලා පෙන්නන්න අපිට ලේසියි.

5. කෙනෙක් යම් දෙයක් විශ්වාස කරන්නේ ඇයි කියලා තේරුම්ගන්න ප්‍රශ්න උදව් වෙන්නේ කොහොමද?

5 හොඳට හිතලා ප්‍රශ්න අහද්දී කෙනෙක් යම් දෙයක් විශ්වාස කරන්නේ ඇයි කියලා තේරුම්ගන්නත් පුළුවන්. අපි හිතමු දෙවි කෙනෙක්ව විශ්වාස කරන්නේ නැති කෙනෙක්ව අපිට හම්බ වුණා කියලා. එයා එහෙම හිතන්නේ පරිණාමවාදය වගේ ඉගැන්වීමක් විශ්වාස කරන නිසා වෙන්න ඇති කියලා අපිට හිතෙයි. (ගීතා. 10:4) ඒත් සමහරු දෙවි කෙනෙක් නැහැ කියලා හිතන්නේ ඒ අය පෞද්ගලිකව අද්දැකපු මොකක් හරි වේදනාකාරී දෙයක් නිසයි. නැත්නම් කනගාටුදායක දෙයක් සිද්ධ වෙනවා දැක්ක නිසයි. ‘දෙවි කෙනෙක් ඉන්නවා නම් මෙහෙම වෙන්නේ නැහැනේ’ කියලා ඒ අය හිතනවා. ඒ නිසා ඒ වගේ කෙනෙක්ගෙන් අපිට මෙහෙම අහන්න පුළුවන්. “ඔයා පොඩි කාලේ ඉඳන්ම එහෙම හිතනවද?” එයා නැහැ කියලා කිව්වොත් “එහෙම හිතන්න ඔයාට මොකක් හරි හේතුවක් තියෙනවද” කියලා අපිට අහන්න පුළුවන්. එතකොට බයිබලයෙන් එයාට උදව් කරන්න පුළුවන් හොඳම විදිය අපිට තේරෙයි.හිතෝපදේශ 20:5 කියවන්න.

6. ප්‍රශ්නයක් ඇහුවට පස්සේ කරන්න ඕනෙ මොකක්ද?

6 ප්‍රශ්න අහනවා වගේම ඒ කෙනාට ඇහුම්කන් දෙන එකත් වැදගත්. එයාගේ හිතේ තියෙන දේ තේරුම්ගන්න පුළුවන් වෙන්නේ එතකොටයි. අපි හිතමු කෙනෙක් දෙවිව විශ්වාස කරන්නේ නැත්තේ එයා අද්දැකපු වේදනාකාරී දෙයක් නිසා කියලා. එයා ඒ ගැන කිව්වට පස්සේ දෙවි කෙනෙක් ඉන්නවා කියන එකට සාක්ෂි පෙන්නන්න ඉස්සෙල්ලා ‘ප්‍රේමණීය දෙවි කෙනෙක් ඉන්නවා නම් ඇයි මේ තරම් දුකක්’ කියලා එයාට හිතුණු එකේ වරදක් නැහැ කියලා කියන්න. (හබ. 1:2, 3) ඒ විදිහට අපි ඉවසීමෙන්, ආදරෙන් එයාට සලකද්දී අපිට ඇහුම්කන් දෙන්න එයා පෙලඹෙයි. *

බයිබල් පද තර්කානුකූලව පැහැදිලි කරන්න

සේවය සාර්ථක වෙන්නේ අපි මොනවා කළොත්ද? (7 ඡේදය බලන්න)

7. සේවය සාර්ථක වෙන්නේ අපි මොනවා කළොත්ද?

7 දෙවි ගැන අනිත් අයට කියලා දෙන්න අපි වැඩියෙන්ම පාවිච්චි කරන්නේ බයිබලයයි. ඒකට පුළුවන් අපිව “සියලු දේ කිරීමට සමත් කෙනෙක් එනම්, සෑම යහපත් ක්‍රියාවක් කිරීම සඳහා සැදී පැහැදී සිටින කෙනෙක්” කරන්න. (2 තිමෝ. 3:16, 17) ඒත් දේවසේවයේ අපි සාර්ථක වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ අපි කෙනෙකුට පෙන්නන බයිබල් පද ගාණ අනුව නෙමෙයි. අපි කොච්චර බයිබල් පද පෙන්නුවත් ඒවා තර්කානුකූලව තේරුම් කරලා දුන්නේ නැත්නම් ඒකෙන් වැඩක් නැහැ. (ක්‍රියා 17:2, 3 කියවන්න.) බයිබල් පද තර්කානුකූලව පැහැදිලි කරලා දෙන එකේ වටිනාකම තේරුම්ගන්න උදව් වෙන සිද්ධීන් තුනක් දැන් අපි බලමු.

8, 9. (අ) යේසුස් හා දෙවි එක සමානයි කියලා විශ්වාස කරන කෙනෙක් එක්ක තර්කානුකූලව කතා කරන්න පුළුවන් කොහොමද? (ආ) ඒ කාරණය ඔබ තර්කානුකූලව පැහැදිලි කරන්නේ කොහොමද?

8 1වෙනි සිද්ධිය: යේසුස් හා දෙවි එක සමානයි කියලා විශ්වාස කරන කෙනෙක්ව අපිට හම්බ වෙනවා. අපිට පුළුවන් එයාට යොහන් 6:38 පෙන්නන්න. එතන කියන්නේ මෙහෙමයි. “මන්ද මම ස්වර්ගයෙන් ආවේ මගේ කැමැත්ත ඉටු කිරීමට නොව මාව එවූ තැනැත්තාගේ කැමැත්ත ඉටු කිරීමටයි.” ඒ පදය පෙන්නලා අපිට මෙහෙම අහන්න පුළුවන්. “යේසුස් කියන්නේ දෙවියන් නම් යේසුස්ව ස්වර්ගයේ ඉඳන් පොළොවට එව්වේ කවුද? යේසුස්ව පොළොවට එවපු කෙනා යේසුස්ට වඩා උසස් වෙන්න ඕනෙ නේද?”

9 අපිට ෆිලිප්පි 2:9 පෙන්නන්නත් පුළුවන්. යේසුස්ව නැවත නැඟිට්ටෙව්වට පස්සේ වෙච්ච දෙයක් ගැන එතන මෙහෙම කියනවා. “දෙවි ඔහුව [යේසුස්ව] කලින් සිටි තත්වයටත් වඩා උතුම් තත්වයකට පත් කළේ ඒ නිසාය. එලෙසම අන් සියලු නාමවලට වඩා උසස් නාමයක් දෙවි ඔහුට කාරුණිකව ලබා දුන්නේය.” ඒක කියෙව්වට පස්සේ අපිට මෙහෙම අහන්න පුළුවන්. “යේසුස් මිය යන්න ඉස්සෙල්ලා දෙවියන්ට සමාන වුණා නම් මිය ගිහින් ස්වර්ගයට ගියාට පස්සේ දෙවියන් යේසුස්ට උසස් තත්වයක් දුන්නම යේසුස් දෙවියන්ට වඩා උසස් කෙනෙක් වෙනවා නේද? දෙවියන්ට වඩා උසස් කෙනෙක් ඉන්න පුළුවන්ද?” කෙනෙක් දේවවචනයට ගෞරව කරනවා නම් අවංකවම තොරතුරු දැනගන්න කැමතියි නම් ඒ ගැන තව තොරතුරු හොයලා බලන්න පෙලඹෙයි.ක්‍රියා 17:11.

10. (අ) නිරය ගැන විශ්වාස කරන කෙනෙක්ට තර්කානුකූලව බයිබලයෙන් කරුණු පැහැදිලි කරන්න පුළුවන් කොහොමද? (ආ) ඒ කාරණය ඔබ තර්කානුකූලව පැහැදිලි කරන්නේ කොහොමද?

10 2වෙනි සිද්ධිය: දෙවි නරක මිනිසුන්ට නිරයේ දඬුවම් දෙන්නේ නැහැ කියන එක කොහොමටමත් විශ්වාස කරන්න බැහැ කියලා කියන කෙනෙක්ව හම්බ වෙනවා. එයා නිරය ගැන විශ්වාස කරන්නේ නරක මිනිසුන්ට අනිවාර්යයෙන්ම දඬුවම් ලැබෙන්න ඕනෙ කියලා හිතන නිසා වෙන්න ඇති. අපිට පුළුවන් ඉස්සෙල්ලාම නරක මිනිසුන්ට දෙවි අනිවාර්යයෙන්ම දඬුවම් කරනවා කියන එක එයාට තේරුම් කරලා දෙන්න. (2 තෙස. 1:9) ඊළඟට ආදම් පව් කරන්න කලින් දෙවි කියපු දේ උත්පත්ති 2:16, 17න් එයාට පෙන්නන්න. දෙවි එතන කිව්වේ පාපයට දඬුවම මරණය කියලයි. ආදම්ගෙන් මුළු මිනිස් වර්ගයාටම පාපය උරුම වුණ නිසා අපිට ලැබෙන දඬුවමත් මරණයයි. (රෝම 5:12) ඒත් ඒ දඬුවම ගැන කතා කරද්දී දෙවි නිරයක් ගැන කතා කළේ නැහැ කියලා එයාට පෙන්නන එක වැදගත්. ඊළඟට ආදම් හා ඒව පව් කළාට පස්සේ දෙවි කියපු දේ උත්පත්ති 3:19න් පෙන්නන්න. එතන කියන්නේ ආදම් නැවත දූවිල්ලට හැරිලා යනවා කියලයි. “ආදම්ව නිරයක පිච්චෙන්න දානවා නම් එයා දූවිල්ලට හැරිලා යනවා කියලා කියන එක සාධාරණයි කියලා ඔයා හිතනවද” කියලා එයාගෙන් අහන්න. ඒ කෙනා විවෘතව දේවල් දිහා බලන කෙනෙක් නම් ඒ ගැන තවත් හිතන්න පෙලඹෙයි.

11. (අ) හොඳ අය හැමෝම ස්වර්ගයට යනවා කියලා විශ්වාස කරන කෙනෙක්ට තර්කානුකූලව බයිබලයෙන් කරුණු පැහැදිලි කරන්න පුළුවන් කොහොමද? (ආ) ඒ කාරණය ඔබ තර්කානුකූලව පැහැදිලි කරන්නේ කොහොමද?

11 3වෙනි සිද්ධිය: හොඳ අය හැමෝම ස්වර්ගයට යනවා කියලා විශ්වාස කරන කෙනෙක්ව හම්බ වෙනවා. එයාට ඒ ගැන තද විශ්වාසයක් තියෙන නිසා බයිබලයේ තියෙන දේවල් එයා තේරුම්ගන්නෙත් ඒ විශ්වාසයට ගැලපෙන විදිහටයි. අපි හිතමු අපි එයාට එළිදරව් 21:4 (කියවන්න.) පෙන්නනවා කියලා. එතකොට එයා කියනවා ඒ පදයේ කතා කරන්නේ ස්වර්ගයෙදී ලැබෙන ආශීර්වාද ගැනයි කියලා. වෙන බයිබල් පද පෙන්නලා එයාව නිවැරදි කරන්න හදනවා වෙනුවට අපිට පුළුවන් ඒ පදයෙම තියෙන තොරතුරු ගැන හොඳට හිතන්න එයාව පොලඹවන්න. එතන කියනවා “මරණයද තවත් නොවන්නේය” කියලා. යම් දෙයක් තවත් නොවන්නේය කියලා කියන්න නම් ඒ වගේ දෙයක් ඊට කලින් වෙලා තියෙන්න ඕනෙ නේද කියලා එයාගෙන් අහන්න. බොහෝදුරට එයා “ඔව්” කියලා කියයි. එතකොට ස්වර්ගයේ කවදාවත් මරණය තිබුණේ නැහැ කියලත් මරණය තියෙන්නේ පොළොවේ විතරයි කියලත් එයාට තේරුම් කරලා දෙන්න. එහෙමනම් එළිදරව් 21:4 කතා කරන්නේ මේ පොළොවේ මිනිසුන් ලබන ආශීර්වාද ගැන වෙන්න ඕනෙ නේද කියලා එයාගෙන් අහන්න.ගීතා. 37:29.

උදාහරණ පාවිච්චි කරන්න

12. යේසුස් උපමා පාවිච්චි කළේ ඇයි?

12 යේසුස් නිතරම වගේ උපමා, උදාහරණ පාවිච්චි කළා. (මතෙව් 13:34, 35 කියවන්න.) ඒ උපමා නිසා යේසුස්ට සවන් දුන්න අයගේ හිතේ චේතනා පැහැදිලි වුණා. (මතෙ. 13:10-15) ඒ වගේම යේසුස්ගේ ඉගැන්වීම් ආශාවෙන් අහගෙන ඉන්නත් ඒවා මතක තියාගන්නත් ඒ උදාහරණ උදව් වුණා. උදාහරණ පාවිච්චි කරන්න අපිට පුළුවන් කොහොමද?

13. යේසුස්ට වඩා දෙවි උසස් කියලා පෙන්නන්න පාවිච්චි කරන්න පුළුවන් මොන වගේ උදාහරණයක්ද?

13 සරල උදාහරණ පාවිච්චි කරන එක තමයි හොඳම දේ. යේසුස්ට වඩා දෙවි උසස් කියලා යම් කෙනෙක්ට තේරුම් කරලා දෙන්න අපිට මේ වගේ උදාහරණයක් පාවිච්චි කරන්න පුළුවන්. යේසුස් හා දෙවි අතර තියෙන සම්බන්ධය පියෙක් හා පුතෙක් අතර තියෙන සම්බන්ධය වගේ කියලා ඒ දෙන්නම කියලා තියෙනවා. දෙවි යේසුස්ට කිව්වේ පුතා කියලයි. යේසුස් දෙවිට කිව්වේ පියා කියලයි. (ලූක් 3:21, 22; යොහ. 14:28) ඊළඟට අපිට පුළුවන් එයාගෙන් මෙහෙම අහන්න. “පවුලක් උදාහරණයට අරගෙන සම තත්තවයේ ඉන්න දෙන්නෙක්ව විස්තර කරන්න ඔයා යොදාගන්නේ කාවද?” එයා කියයි දරුවෝ දෙන්නෙක් කියලා. ඒක තමයි හොඳම උදාහරණය කියලා එයාට කියන්න. ඊටපස්සේ එයාගෙන් මෙහෙම අහන්න. “ඔයාටයි මටයි පුළුවන් වුණා නම් හරිම ලේසියෙන් ඒ වගේ උදාහරණයක් ගැන හිතන්න උතුම්ම ගුරුවරයා වුණු යේසුස්ට බැරිද ඒ උදාහරණය පාවිච්චි කරන්න? එහෙමනම් යේසුස් දෙවිට පියා කියලා කිව්වේ ඇයි? ඇත්තටම යේසුස්ට ඕන වුණේ දෙවි තමන්ට වඩා කාලයක් හිටපු තමන්ට වඩා බලයක් තියෙන කෙනෙක් කියලා පෙන්නන්නයි.”

14. නිරයේ පාලකයා හැටියට සාතන්ව පත් කරයි කියලා කොහොමටවත් හිතන්න බැහැ කියන දේ පෙන්නන උදාහරණයක් කියන්න.

14 සමහරුන් හිතන්නේ නිරයේ පාලකයා සාතන් කියලයි. නිරයක් තියෙනවා නම් ඒක පාලනය කරන්න දෙවි සාතන්ව පත් කරයි කියලා කොහොමටවත් හිතන්න බැහැ කියන දේ දෙමාපියන්ට පෙන්නන්න මේ උදාහරණය පාවිච්චි කරන්න පුළුවන්. “හිතන්න ඔයාගේ පුතා ඔයා කියන දේ අහන්නේ නැතුව වැරදි වැඩ කරනවා කියලා. ඔයා මොකද කරන්නේ?” එයා කියයි “කොහොමහරි දරුවාට අවවාද කරලා එයාව හදාගන්න බලනවා” කියලා. (හිතෝ. 22:15) “එහෙමත් බැරි වුණොත් ඔයා මොකද කරන්නේ” කියලා අපිට අහන්න පුළුවන්. “මම එයාට දඬුවමක් දෙනවා” කියලා එයා කියයි. “ඔය අතරේ ඔයාට දැනගන්න ලැබෙනවා පුතා එච්චර දඩබ්බර වුණේ නපුරු කෙනෙක්ගේ කීමටයි කියලා. එතකොට ඔයා මොකද කරන්නේ?” එයා කියයි “එහෙම වුණොත් නම් මට ඒ කෙනාත් එක්ක හුඟක් කේන්ති යයි” කියලා. “ඔයාගේ පුතාට දඬුවමක් දෙන්න ඔයා ඒ කෙනාටම භාර දෙනවද? නැහැ නේද? එහෙමනම් මිනිසුන්ට දඬුවම් දෙන්න මිනිසුන්ව වරදට පොලඹවපු සාතන්ටම භාර දෙයි කියලා හිතන්න පුළුවන්ද?”

සමබර වෙන්න

15, 16. (අ) හැමෝම අපේ පණිවිඩයට සවන් දෙයි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ නැත්තේ ඇයි? (ආ) දේවසේවයේ සාර්ථක වෙන්න අපි උපතින්ම දක්ෂයන් වෙන්න ඕනෙද? පැහැදිලි කරන්න. (“ පිළිතුරු දෙන්න උදව්වක්!” යන කොටුවද බලන්න.)

15 හැමෝම අපේ පණිවිඩය පිළිගනියි කියලා අපිට හිතන්න බැහැ. (මතෙ. 10:11-14) අපි කොච්චර හොඳට හිතලා ප්‍රශ්න ඇහුවත් බයිබල් පද කොච්චර හොඳට තේරුම් කරලා දුන්නත් මොන තරම් හොඳ උදාහරණ පාවිච්චි කළත් හුඟක් අය අපි කියන දේ පිළිගන්නේ නැහැ. යේසුස් මේ පොළොවේ හිටපු හොඳම ගුරුවරයා වුණත් ඔහු කියපු දේවල් පිළිගත්තේ ටිකදෙනයි කියලා අමතක කරන්න එපා.යොහ. 6:66; 7:45-48.

16 අනිත් අතට අපි උපතින්ම දක්ෂයන් වුණත් නැතත් අපිට දේවසේවයේ සාර්ථක වෙන්න පුළුවන් කියන එකත් මතක තියාගන්න. (ක්‍රියා 4:13 කියවන්න.) “සදාකාල ජීවනයට මඟ පාදන සත්‍යය පිළිගැනීමට කැමති වූ සියලුදෙනාම” අනිවාර්යයෙන්ම අපේ පණිවිඩයට සවන් දෙයි. (ක්‍රියා 13:48) ඒ නිසා අපි අපි ගැන වගේම සේවයේදී අපිට හම්බ වෙන අය ගැනත් සමබරව හිතමු. දෙවි අපිට දෙන පුහුණුවෙන් උපරිම ප්‍රයෝජන ගමු. ඒ පුහුණුවෙන් අපිට වගේම අපිට සවන් දෙන අයටත් ප්‍රයෝජන ලැබෙනවා. (1 තිමෝ. 4:16) සේවයේදී හමු වෙන අයට ‘පිළිතුරු දෙන්න’ අපිට උදව් කරන්න යෙහෝවා දෙවිට පුළුවන්. යේසුස් කිව්ව රන් අණ පිළිපැද්දොත් අපේ සේවය තවත් සාර්ථක කරගන්න පුළුවන් කොහොමද කියලා අපි ඊළඟ ලිපියෙන් බලමු.

^ 6 ඡේ. 2009 ඔක්තෝබර් 1 ‘මුරටැඹ’ කලාපයේ “ඔබ දෙවිව විශ්වාස කරනවාද?” යන ලිපිය බලන්න.