Skip to content

පටුනට යන්න

අතීතයෙන් බිඳක්

“කොච්චර ලොකු අස්වැන්නක් කපන්න තියෙනවද?”

“කොච්චර ලොකු අස්වැන්නක් කපන්න තියෙනවද?”

1923 මාර්තුවල ජෝර්ජ් යං රියෝ ඩි ජැනිරෝ නගරයට පැමිණියා

ඒ 1923 අවුරුද්දයි. බ්‍රසීලයේ සාඕ පවුලෝ නගරයේ රංගන ශාලාවක රැස්ව සිටි 585දෙනාගේ අවධානය යොමු වී තිබුණේ සහෝදර ජෝර්ජ් යං ඉදිරිපත් කළ ප්‍රබල දේශනයටයි. ඒ දේශනය පෘතුගීසි භාෂාවට පරිවර්තනය කළ අතර බයිබල් පද පෘතුගීසි භාෂාවෙන් ප්‍රොජෙක්ටරයක් යොදාගෙන තිරයක දිස් වුණා. දේශනය අවසානයේදී පැමිණි සිටි අය අතරේ ‘දැන් ජීවත් වෙන මිලියන ගණනක් කිසිදා මිය යන්නේ නැහැ!’ නම් කුඩා පොත බෙදාහැරියා. බෙදාහැරිය පිටපත් 100 අතරේ පෘතුගීසි භාෂාවට අමතරව ඉංග්‍රීසි, ජර්මන්, ඉතාලි භාෂාවලින් පිටපත් කිහිපයකුත් තිබුණා. ඊට දින දෙකකට පසු සහෝදර යං නැවතත් එම ශාලාවේ දේශනයක් පැවැත්තුවා. එයට පසුබිම සකස් වූ ආකාරය දැන් බලමු.

1867දී තමන්ගේ පවුලත් සමඟ ඇමරිකා එක්සත් ජනපදයේ සිට බ්‍රසීලයේ පදිංචියට පැමිණි සේරා බෙලෝනා ෆර්ගසන්ට 1899දී සත්‍යය ගැන දැනගන්න ලැබුණා. ඒ ඇගේ බාල සහොයුරා ඇමරිකාවේ සිට රැගෙන ආ යම් ප්‍රකාශන කියවීමෙන් පසුවයි. කියවීමට ප්‍රිය තැනැත්තියක් වූ ඇය ඉංග්‍රීසි භාෂාවෙන් පළ වූ ‘මුරටැඹ’ සඟරා තැපෑලෙන් ගෙන්වාගෙන කියෙව්වේ මහත් ආශාවකින්. සත්‍යය දැනගන්න ලැබීමෙන් ඇය කොතරම් ප්‍රීතියට පත් වුණාද කියනවා නම් සහෝදර සී. ටී. රසල්ට ලිපියක් ලියූ ඇය එහි මෙසේ සඳහන් කළා. “ලෝකයේ කොහේ මුල්ලක හිටියත් අවශ්‍ය කෙනාට සත්‍යය ලැබෙනවා කියන දේට මම හොඳම සාක්ෂියක්.”

පෘතුගීසි භාෂාවෙන් පළ වූ ‘මිය ගිය අය සමඟ කතා කළ හැකිද?’ කියන කුඩා පොත

සත්‍යය අන් අය සමඟ බෙදාගන්න ඇයට තිබුණේ පුදුම උද්‍යෝගයක්. ඔය අතරේ ඇය නිතරම සිටියේ බයිබල් සත්‍යයන් ගැන වැඩි විස්තර කියා දෙන්න තම රටට කවුරුන් හෝ පැමිණියා නම් කොයි තරම් හොඳද යන සිතුවිල්ලෙන්. ඇගේ බලාපොරොත්තු ඉටු කරමින් 1912දී බෘක්ලින්වලින් ඇයට ලිපියක් ලැබුණා. එහි සඳහන් වුණේ පෘතුගීසි භාෂාවෙන් මුද්‍රණය කර තිබූ ‘මිය ගිය අය කොහේද?’ කියන පත්‍රිකාවේ පිටපත් දහස් ගණනක් සමඟ සහෝදරයෙක් සාඕ පවුලෝ නගරයට පැමිණෙනවා යන ආරංචියයි. බයිබල් ශිෂ්‍යයන් බොහෝදෙනෙක් තමන්ව ඉක්මනින්ම ස්වර්ගයට ගනියි යන අපේක්ෂාවෙන් සිටිනවා කියා දැනගත් විට ඇය පුදුම වුණා. 1915දී ඒ ගැන ඇය මෙසේ පැවසුවා. “එහෙම වුණොත් බ්‍රසිලයේ හා දකුණු ඇමරිකාවේ ඉන්න විශාල සෙනඟට මොකද වෙන්නේ? මේ රටවල කොච්චර ලොකු අස්වැන්නක් කපන්න තියෙනවද?” ඇය පැවසූ දෙය සත්‍යයක්.

1920දී තරුණ බ්‍රසීල ජාතිකයන් අටදෙනෙකුට ඔවුන් ගමන් ගත් යුධ නැව නිව් යෝර්ක් වරායේ නවතා තිබෙන අතරතුරේ ඒ නගරයේ පැවැත්වූ අපේ රැස්වීම් කිහිපයකට සහභාගි වීමට අවස්ථාව ලැබුණා. නැවතත් රියෝ ඩි ජැනිරෝ නගරයට පැමිණි පසු ඔවුන් බයිබලයෙන් ඉගෙනගත් කාරණා ගැන අනිත් අය සමඟ බෙදාගත්තේ මහත් උද්‍යෝගයකින්. වැඩි කාලයක් යෑමට පෙර 1923 මාර්තු මාසයේදී සංචාරක සේවකයෙක් වූ සහෝදර ජෝර්ජ් යං රියෝ නගරයට පැමිණියා. ප්‍රකාශන කිහිපයක් පෘතුගීසි භාෂාවට පරිවර්තනය කරන්න ඔහු සැලසුම් යෙදුවා. දින කිහිපයකට පසු 6,00,000කටත් වඩා ජනගහනයක් සිටින සාඕ පවුලෝ නගරයට ගිය ඔහු එහිදී ලිපියේ මුලින් සඳහන් කළ බයිබල් දේශනය ඉදිරිපත් කළා. “මම ඒ රටේ තනියම සේවය කරපු නිසා දේශන ගැන ප්‍රචාරය කළේ පුවත් පත් දැන්වීම්වලින්. ජාත්‍යන්තර බයිබල් ශිෂ්‍යයන්ගේ සංගමය යන නමින් පුවත් පත් දැන්වීම් ප්‍රචාරය කරලා බ්‍රසීලයේ ඉදිරිපත් කරපු මුල්ම බයිබල් දේශන තමයි ඒවා.”

සහෝදර යං කියවූ බයිබල් පද ප්‍රොජෙක්ටරයක් යොදාගෙන තිරයක දිස් වුණා

1923 දෙසැම්බර් 15 ‘මුරටැඹ’ කලාපයේ බ්‍රසීලය ගැන සඳහන් වුණේ මෙසේයි. “ජූනි 1වෙනිදා බ්‍රසීලයේ අපේ වැඩ ආරම්භ කරන විට කිසිම ප්‍රකාශනයක් පෘතුගීසි භාෂාවෙන් තිබුණේ නැහැ. නමුත් දෙවි අපිට ආශීර්වාද කළ ආකාරය නම් පුදුමාකාරයි.” සාඕ පවුලෝවල ඉදිරිපත් කළ බයිබල් දේශන දෙක ඇතුළු බයිබල් දේශන 21ක් සහෝදර යං විසින් ජූනි 1වෙනිදා සිට සැප්තැම්බර් 30වෙනිදා දක්වා කාලය අතරතුර ඉදිරිපත් කර තිබුණා. එම දේශනවලට 3,600දෙනෙක් සවන් දී තිබුණා. මාස කිහිපයක් ඇතුළත පෘතුගීසි භාෂාවෙන් අපගේ ප්‍රකාශන 7,000කට වැඩි ප්‍රමාණයක් බෙදා දීමටත් ඔවුන් සමත් වුණා. 1923 නොවැම්බර්-දෙසැම්බර් කලාපය මුද්‍රණය කිරීමත් සමඟම පෘතුගීසි භාෂාවෙන් ‘මුරටැඹ’ සඟරාවත් ප්‍රකාශයට පත් කිරීම ආරම්භ වුණා.

තැපෑලෙන් ‘මුරටැඹ’ ලබාගත් පළමු කෙනා සේරා බෙලෝනා ෆර්ගසන්

සේරා ෆර්ගසන්ව හමු වීමට සහෝදර යං පැමිණි අවස්ථාව ගැන ‘මුරටැඹ’ සඟරාවේ සඳහන් වුණේ මෙයාකාරයටයි. “සහෝදර යංව දැකීමෙන් සේරා මොන තරම් සතුටට පත් වුණාද කියනවා නම් ටික වෙලාවක් යන තෙක් ඇයට කතා කරගන්නවත් බැරි වුණා. ඔහුගේ අත අල්ලා ඇය පැවසුවේ ‘ඇත්තටම සංචාරක සේවකයෙක් මගේ ඉස්සරහා ඉන්නවා කියලා මට හිතාගන්නවත් බැහැ’ කියායි.” ඉන් ටික දිනකට පසු ඇයත් ඇගේ දරුවන් කිහිපදෙනෙකුත් බව්තීස්ම වුණා. බව්තීස්ම වීමට අවුරුදු 25ක් බලා සිටි ඇයට ඒ අවස්ථාවේදී මොන තරම් සතුටක් දැනෙන්න ඇද්ද! බ්‍රසීලයේ 50දෙනෙක් බව්තීස්ම වූ බව 1924 අගෝස්තු 1 ‘මුරටැඹ’ සඟරාවේ වාර්තා වුණා.

එම සිදුවීම් සිදු වී දැනට අවුරුදු 90ක් පමණ ගත වී අවසන්. මේ වන විට බ්‍රසීලයේ සාක්ෂිකරුවන් 7,60,000කට වඩා සිටිනවා. දකුණු ඇමරිකාවේ පෘතුගීසි, ස්පාඤ්ඤ ඇතුළු තවත් භාෂා ගණනාවකින් සත්‍ය පණිවිඩය දේශනා කරනවා. “මේ රටවල කොච්චර ලොකු අස්වැන්නක් කපන්න තියෙනවද” කියා 1915දී සේරා ෆර්ගසන් පැවසූ වචන මොන තරම් සත්‍යයද!—බ්‍රසීලයේ අතීතයෙන් බිඳක්.