Skip to content

පටුනට යන්න

සත්‍යය සොයා ගිය තුන්දෙනෙක්

සත්‍යය සොයා ගිය තුන්දෙනෙක්

යේසුස් ආණ්ඩුකාර පිලාත් ඉදිරියේ පෙනී සිටි අවස්ථාවේදී පිලාත් “සත්‍යය? ඒ මොකක්ද” කියා යේසුස්ගෙන් ඇසුවා. (යොහන් 18:38) පිලාත් එවැනි ප්‍රශ්නයක් ඇසුවේ සමච්චලයටයි. ඔහුට සත්‍යය ගැන දැනගැනීමට කිසිම ආශාවක් තිබුණේ නැහැ. පෙනෙන විදිහට, පිලාත් සත්‍යය කියා පිළිගත්තේ කෙනෙක්ට හරියි කියා හිතෙන දේ හා සත්‍යය කියා උගන්වා ඇති දෙයයි. ඒ නිසා ඇත්තටම සත්‍යය කුමක්ද කියා තීරණය කරන්න හැකියාවක් නැහැ. අද බොහෝදෙනෙක් හිතන්නෙත් ඒ විදිහටයි.

16වෙනි සියවසේදී යුරෝපයේ රෝමානු කතෝලික ආගමේ ඉගැන්වීම් විවේචනයට ලක් වුණා. කතෝලික භක්තිකයන් ඔවුන්ගේ නායකයා ලෙස පිළිගත්තේ පාප්වරයාවයි. ඒ වගේම ඔවුන් විශ්වාස කළේ පල්ලියේ ඉගැන්වීම් පමණයි. කතෝලික ඉගැන්වීම් විවේචනයට ලක් වූ විට අලුත් අදහස් පිළිගන්නවාද නැද්ද යන්න ගැනත් යමක් සත්‍යය බව දැනගන්නේ කුමන පදනමක් මතද යන්න ගැනත් ප්‍රශ්නයක් මතු වුණා.

ඒ කාලවකවානුවේදී සත්‍යය සෙවූ අය අතරේ තුන්දෙනෙක් සිටියා. ඔවුන් අසත්‍යයෙන් සත්‍යය වෙන් කර හඳුනාගත්තේ කෙසේද? ඔවුන් සොයාගත් සත්‍යයන් මොනවාද? ඒ ගැන දැන් බලමු.

“ක්‍රිස්තියානි ඉගැන්වීම් පදනම් විය යුත්තේ බයිබලය” මතයි

තරුණයෙක් වූ වුල්ෆ්ගැං කපීටො ආගමික විශ්වාසයන්වලට තදින් ඇලී සිටි කෙනෙක්. ඔහු වෛද්‍ය විද්‍යාව, නීතිය හා කතෝලික ආගම හැදෑරූ ශිෂ්‍යයෙක්. ඔහු 1512දී මීසමක් භාර පූජකයෙක් ලෙස සේවය කළ අතර පසුව ජර්මනියේ මෙයින්ස් නගරයේ අගරදගුරු යටතේ පූජකවරයෙක් ලෙසත් සේවය කළා.

කතෝලික ඉගැන්වීම් විවේචනය කළ අය ගැන කපීටො මුලින් එතරම් ප්‍රසාදයක් දැක්වූයේ නැතත් පසු කාලයේදී ඔහුත් ඔවුන්ට එකතු වුණා. විවිධ ඉගැන්වීම් ගැන ප්‍රශ්න මතු වූ අවස්ථාවලදී කපීටො “විශ්වාස කරන්න පුළුවන් එකම පොත බයිබලය නිසා ඉගැන්වීමක් හරිද වැරදිද කියලා තීරණය කළ යුත්තේ එයට අනුවයි” යන මතය දැරූ බව ඉතිහාසඥයෙක් වන ජේම්ස් එම්. කිට්ල්සන් පැවසුවා. කතෝලික පූජා පවත්වන වේලාවෙදී භාවිත කරන පූප හා වයින් ආශ්චර්යවත් ලෙස යේසුස්ගේ ශරීරය හා රුධිරය බවට හැරෙනවා යන පල්ලියේ ඉගැන්වීමත් සාන්තුවරයන්ට නමස්කාර කිරීමත් වැරදි බව ඔහු තේරුම්ගත්තා. (“ සැබෑද කියා පරීක්ෂා කර බැලුවා” යන කොටුව බලන්න.) කපීටො 1523දී අගරදගුරු යටතේ සේවය කිරීමේ උසස් තනතුර අතහැර දමා ස්ට්‍රාස්බර්ග්හි පදිංචියට ගියා. එය කතෝලික ඉගැන්වීම් සාකච්ඡාවට ලක් කළ නගරයක්.

කතෝලික ඉගැන්වීම්වලට විරුද්ධ වූ අය ස්ට්‍රාස්බර්ග්වල කපීටොගේ නිවසේ ආගමික කාරණා සහ බයිබලයේ ඉගැන්වීම් ගැන සාකච්ඡා කරන්න රැස් වූ බව නිසැකයි. ඒ අය අතරින් සමහරු ඒ වන විටත් ත්‍රිත්වය පිළිගත්තත් එක පොතක සඳහන් වෙන්නේ කපීටො “ත්‍රිත්වය සම්බන්ධ ඉගැන්වීම ගැන නිහඬ වූ බවයි.” (The Radical Reformation) එයට හේතුව ක්‍රිස්තියානි ධර්මය පිළිබඳ ස්පාඤ්ඤ විද්වතෙක් වන මයිකල් සර්වෙටස් බයිබලයට අනුව ත්‍රිත්වය වැරදියි කියා පැවසූ දේට කපීටො එකඟ වීමයි. *

ත්‍රිත්වය පිළි නොගැනීම මරණ දඬුවම ලැබිය යුතු වරදක් නිසා කපීටො ඔහුගේ අදහස් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ නැහැ. කෙසේවෙතත් ඔහු ලියූ පොත් පත්වලින් පැහැදිලි වෙන්නේ ඔහුට සර්වෙටස්ව මුණගැසීමට පෙර සිටම ඔහු ත්‍රිත්වය ගැන ප්‍රශ්න මතු කළ බවයි. කපීටො හා ඔහුගේ සගයන් ගැන කතෝලික පූජකයෙක් පැවසුවේ ඔවුන් “රහසින් සාකච්ඡා පැවැත්වූ අතර ශුද්ධ වූ ත්‍රිත්වය ප්‍රතික්ෂේප කළ බවයි.” සියවසකට පසු ත්‍රිත්ව විරෝධීන්ගේ නම් ලැයිස්තුවේ මුලටම කපීටොගේ නමත් එක් වුණා.

පල්ලියේ ඉගැන්වීම්වල ලොකුම වරද “ශුද්ධ ලියවිලි නොසලකාහැරීමයි” කියලා වුල්ෆ්ගැං කපීටො පැවසුවා

සත්‍යය තිබෙන්නේ බයිබලයේ පමණක් කියා කපීටො පිළිගත් බව ඔහු පැවසූ මේ දෙයින් පැහැදිලියි. “ක්‍රිස්තියානි ආගමික ඉගැන්වීම් පදනම් විය යුත්තේ බයිබලය හා ක්‍රිස්තුස්ගේ නීතිය මතයි.” කපීටො තරයේම කියා සිටි දෙයක් ගැන දර්ශනවාදය පිළිබඳ ආචාර්ය කිට්ල්සන් මෙසේ පැවසුවා. “ක්‍රිස්තියානි ආගම හැදෑරූ ප්‍රවීණයන්ගේ ලොකුම වරද ඔවුන් ශුද්ධ ලියවිලි නොසලකාහැරීමයි.”

1526දී කපීටො සමඟ ඔහුගේ නිවසේ මාටින් සෙලේරියස් (ඔහුව මාටින් බෝහවුස් කියාද හැඳින්නුවා) නම් තරුණයා ජීවත් වුණා. දෙවිගේ වචනය අධ්‍යයනය කිරීමට ඔහුත් ලොකු උනන්දුවක් දැක්වුවා.

‘සැබෑ දෙවියන් ගැන සත්‍යය’

මාටින් සෙලේරියස් පල්ලියේ ඉගැන්වීම් හා බයිබලයේ සත්‍යයන් සන්සන්දනය කර ලියූ පොත

සෙලේරියස් උපත ලැබුවේ 1499දියි. ක්‍රිස්තියානි ධර්මය මෙන්ම දර්ශනවාදය පිළිබඳ හසළ දැනුමක් ලැබූ ඔහු ජර්මනියේ විටෙන්බර්ග්වල ඒ විෂයන් ඉගැන්නුවා. කතෝලික ධර්මයේ ඉගැන්වීම්වලට විරුද්ධ මත බිහි වුණේ විටෙන්බර්ග් නගරයෙයි. ඒ නිසා එලෙස විරුද්ධව නැඟී සිටි මාටින් ලූතර් සහ වෙනත් අයව වැඩි කල් නොගොස් සෙලේරියස්ට දැන හඳුනා ගන්න ලැබුණා. ඒත් ඔහු මිනිසුන්ගේ මත හා බයිබලයේ ඉගැන්වීම් අතර වෙනස හඳුනාගන්න කළේ කුමක්ද?

සත්‍යය අවබෝධ කරගත හැකි ආකාරය ගැන සෙලේරියස් විශ්වාස කළ දේ පොතක මෙසේ සඳහන් වුණා. “ශුද්ධ ලියවිලි ගැඹුරින් අධ්‍යයනය කිරීමත් පද එකිනෙකට සන්සන්දනය කිරීමත් යාච්ඤාව හා පසුතැවිල්ලත් අවශ්‍යයි.” (Teaching the Reformation) බයිබලය ගැඹුරින් අධ්‍යයනය කිරීමෙන් සෙලේරියස් සොයාගත් සත්‍යයන් මොනවාද?

තමා සොයාගත් සත්‍යයන් ගැන ඔහු 1527 ජූලි මාසයේදී පොතක පළ කළා. (On the Works of God) ඉන් එකක් නම් පූජාව පවත්වන අවස්ථාවේදී භාවිත කරන පූප හා වයින්, සංකේත පමණක් බවයි. විද්වතෙක් වන රාබෙන් බාන්ස් පවසන ආකාරයට සෙලේරියස්ගේ පොතේ මෙසේද සඳහන් කර තිබුණා. “ශුද්ධ ලියවිල්ලේ අනාවැකිවලට අනුව මේ ලෝකයට දරුණු විපත්ති කාලයක් එනවා. ඉන්පසු දෙවියන්ගේ පොරොන්දුවලට අනුව සියල්ල අලුත් වී නව යුගයක් උදා වෙනවා.”2 පේතෘස් 3:10-13.

යේසුස් ක්‍රිස්තුස් ගැන සෙලේරියස් සඳහන් කළ විස්තරය හරිම වැදගත්. කෙළින්ම ත්‍රිත්වය වැරදියි කියා පවසනවා වෙනුවට “ස්වර්ගික පියාණන්” හා “ඔහුගේ පුත්‍රයා වන යේසුස්” දෙදෙනෙක් බව ඔහු පෙන්වා දී තිබුණා. එමෙන්ම යේසුස් දෙවිවරුන් අතරින් දෙවි කෙනෙක් බවත් සර්වබලධාරී දෙවියන්ගේ පුත්‍රයා බවත් සඳහන් කළා.යොහන් 10:34, 35.

16වෙනි සියවසේ ත්‍රිත්වය සම්බන්ධයෙන් පොදුවේ හැමෝම පිළිගත් මතයට වඩා සෙලේරියස් දැරූ මතය වෙනස් බව රොබට් වොලස් 1850දී ඔහුගේ පොතක (Antitrinitarian Biography) සඳහන් කළා. * සෙලේරියස් ත්‍රිත්වය පිළි නොගත් බව වෙනත් විද්වතුන්ද විශ්වාස කළා. ඔහුව “සැබෑ දෙවියන් සහ යේසුස් ගැන සත්‍ය දැනුම වටහා දීමට” දෙවියන් යොදගත් කෙනෙක් ලෙස හඳුන්වනු ලැබුවා.

අලුත් බලාපොරොත්තුවක්

1527දී පමණ ක්‍රිස්තියානි ධර්මය ගැන හැදෑරූ යොහානස් කැම්පානස්ද විටෙන්බර්ග් නගරයේ පදිංචියට ගියා. ඔහු එවකට සිටි ප්‍රසිද්ධ විද්වතෙක්. ඔහු කතෝලික ධර්මයේ ඉගැන්වීම්වලට විරුද්ධ වූ කෙනෙක් වුණත් මාටින් ලූතර්ගේ ඉගැන්වීම්වලට එකඟ වුණේ නැහැ.

කතෝලික පූජා පවත්වන වේලාවෙදී භාවිත කරන පූප හා වයින් ආශ්චර්යවත් ලෙස යේසුස්ගේ ශරීරය හා රුධිරය බවට හැරෙන බවත් ඒවා යේසුස්ගේ ශරීරය හා රුධිරය සමඟ සම්බන්ධ වෙන බවත් කැම්පානස් පිළිගත්තේ නැහැ. ඔන්ඩ්‍රේ සේගෙනි නම් ලේඛකයා පවසන්නේ “පූජාව වෙලාවෙදී පූපවල කිසි වෙනසක් වෙන්නේ නැති බවත් ඒවා යේසුස්ගේ ශරීරය නියෝජනය කරන සංකේතයක් විතරක් බවත්” කැම්පානස් විශ්වාස කළා කියායි. මෙවැනි මත ගැන සාකච්ඡා කිරීමට 1529 පැවැත්වූ රැස්වීමේදී (එම රැස්වීම හැඳින්වූයේ Marburg Colloquy කියායි.) කැම්පානස්ට බයිබලයෙන් සොයාගත් අදහස් දැක්වීමට අවසර ලැබුණේ නැහැ. පසු කාලයේදී, විටෙන්බර්ග්වල සිටි ඔහුගේ සගයන්ද ඔහුව ඇසුරු කිරීම නැවැත්තුවා.

යොහානස් කැම්පානස් ත්‍රිත්වය පිළිබඳ ඉගැන්වීම විවේචනයට ලක් කරමින්

කතෝලික ඉගැන්වීම්වලට විරුද්ධව නැඟී සිටි කැම්පානස්ගේ සගයන් විශේෂයෙන්ම කලබල වුණේ ඔහු පියා, පුත්‍රයා හා ශුද්ධාත්මය ගැන දැරූ මතය නිසයි. යේසුස් සහ පියාණන් දෙදෙනෙක් බවත් ඔවුන් දෙදෙනා “එකතැනැත්තායයි” කියා කියන්නේ ස්වාමිපුරුෂයා හා භාර්යාව “එක මාංසය” වෙනවා කියන අර්ථයෙන් බවත් 1532දී පළ කළ ඔහුගේ පොතේ (Restitution) පෙන්වා දුන්නා. ස්වාමිපුරුෂයා හා භාර්යාව එක මාංසයක් වුණත් ඔවුන් දෙදෙනෙක් බව ඔහු තවදුරටත් පැහැදිලි කළා. (යොහන් 10:30; මතෙව් 19:5, ‘පැරණි අනුවාදය’) දෙවියන්ට යේසුස් කෙරෙහි අධිකාරියක් තිබෙන බව පෙන්වීමට බයිබලයේ එම උදාහරණයම තිබෙනවා කියා ඔහු පෙන්නුවා. “සෑම පුරුෂයෙකුගේම හිස ක්‍රිස්තුස් බවත් ස්ත්‍රියකගේ හිස පුරුෂයා බවත් ක්‍රිස්තුස්ගේ හිස දෙවි බවත් ඔබ දැනගන්නවාට මම කැමැත්තෙමි.”1 කොරින්ති 11:3.

ත්‍රිත්වයේ කොටසක් කියා කතෝලිකයන් විශ්වාස කරන ශුද්ධාත්මය ගැන කැම්පානස්ගේ මතය මෙයයි. “ශුද්ධාත්මය පුද්ගලයෙක් කියා බයිබලයේ කොතැනකවත් සඳහන් කර නැහැ. . . . දෙවියන් සියලු දේ මවන්නත් ඔහුගේ අරමුණු ඉටු කරන්නත් යොදාගන්නේ ඔහුගේ බලයයි.”උත්පත්ති 1:2.

ලූතර්, කැම්පානස්ව හැඳින්නුවේ දෙවියන්ට අපහාස කරන, දේවපුත්‍රයාගේ සතුරෙක් කියායි. තවත් කෙනෙක් කැම්පානස්ට මරණ දණ්ඩනය දිය යුතුයි කියා පැවසුවා. ඒත් කැම්පානස් අධෛර්යය වුණේ නැහැ. කැම්පානස්ගේ මතය ගැන පොතක මෙසේ සඳහන් වෙනවා. ‘පල්ලියේ අභාවයට හේතුව දෙවියන් ගැන හරි දැනුමක් නැති නිසා කියා කැම්පානස් තදින්ම විශ්වාස කළා.’The Radical Reformation.

තමන්ට අලුත් ආගමික කණ්ඩායමක් සාදාගැනීමට කැම්පානස්ට කිසිම අවශ්‍යතාවක් තිබුණේ නැහැ. ඔහු “නිකායන් හා වෙනස් මත දැරූ කණ්ඩායම්” අතර සත්‍යය සෙව්වත් ඔහුට එය ලැබුණේ නැහැ. ඒ නිසා ඔහු සිතුවේ කතෝලික පල්ලිය තම ඉගැන්වීම් සකස් කරගන්නවා නම් සත්‍ය ක්‍රිස්තියානි ධර්මය යළි නඟා සිටුවිය හැකි බවයි. කෙසේවෙතත් අවසානයේදී කතෝලික අධිකාරීන් ඔහුව සිරගත කළ අතර ඔහු අවුරුදු 20කට වඩා වැඩි කාලයක් එහි ඉන්න ඇති. ඔහු 1575දී පමණ මිය යන්න ඇති කියා ඉතිහාසඥයන් විශ්වාස කරනවා.

“සෑම දෙයක්ම සෝදිසි කරන්න”

කපීටො, සෙලේරියස්, කැම්පානස් සහ වෙනත් අය අසත්‍යයෙන් සත්‍යය වෙන් කර හඳුනාගැනීමට බයිබලය වුවමනාවෙන් අධ්‍යයනය කළා. නමුත් ඔවුන් අවසානයේදී සොයාගත් සත්‍යයන් සීයට සීයක් බයිබලයට එකඟ නැති වුණත් ඔවුන් බයිබලයෙන් සොයාගත් සත්‍යයන් වටිනා නිධානයක් ලෙස සැලකුවා.

යේසුස්ගේ නියෝජිතයෙක් වූ පාවුල් සෙසු ක්‍රිස්තියානීන්ට මෙසේ පැවසුවා. “සෑම දෙයක්ම සෝදිසි කර බලා යහපත් දේ හඳුනාගෙන එය තදින් අල්ලාගන්න.” (1 තෙසලෝනික 5:21) සත්‍යය සොයා දැනගැනීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’

^ 8 ඡේ. 2006 මැයි ‘පිබිදෙව්!’ සඟරාවේ “තනිවම සත්‍ය සෙවූ මයිකල් සර්වෙටස්” යන ලිපිය බලන්න. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

^ 17 ඡේ. යේසුස්ට යොමු දක්වන විට “god” එනම් “deus” කියා භාවිත කර තිබෙනවා. යේසුස්ට “deus යන වචනය යොදා ඇති බවත් සර්ව බලධාරි දෙවියන් ගැන කියද්දී වැඩි ගෞරවයක් දීම සඳහා Deus කියා හඳුන්වා තිබෙන බවත්” එහි සඳහන් වෙනවා.