Skip to content

පටුනට යන්න

‘ඔබේ දෙවි වන යෙහෝවාට ප්‍රේම කරන්න’

‘ඔබේ දෙවි වන යෙහෝවාට ප්‍රේම කරන්න’

“ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න. නිතරම ඔබේ මනසේ මුල් තැන හිමි විය යුත්තේ ඔහුටයි.”මතෙ. 22:37.

1. යෙහෝවා දෙවි සහ යේසුස් අතරේ තිබුණු ආදරය දවසින් දවස වැඩි වුණේ ඇයි?

යෙහෝවා දෙවිත් යේසුත් අතරේ තියෙන්නේ පුදුමාකාර පිය පුතු බැඳීමක්. ඒ සෙනෙහස වචනවලට පෙරළපු යේසුස් “මම පියාණන්ට ප්‍රේම කරනවා” කියලත් “පියාණන්ට තම පුත්‍රයා සඳහා ඇත්තේ ඉමහත් ආදරයක්” කියලත් කිව්වා. (යොහ. 14:31; 5:20) එක අතකින් ඒ බැඳීම ගැන පුදුම වෙන්න දේකුත් නැහැ. මොකද ගණන් කරන්න බැරි තරම් කාලයක් පුරා යේසුස්, දෙවිගේ “ප්‍රධාන සේවකයා” විදිහට දෙවි එක්කම හිටියා. (හිතෝ. 8:30) ඒ කාලය තුළ ඔහු තම පියා ගැන හුඟක් දේවල් ඉගෙනගත්තා. ඒ දෙන්නා අතරේ තිබුණු ආදරයත් දවසින් දවස වැඩි වුණා.

2. (අ) කෙනෙක්ට ආදරය කරනවා කියන්නේ මොකක්ද? (ආ) අපි බලන්නේ මොන ප්‍රශ්නවලට පිළිතුරුද?

2 ආදරය කියන්නේ කෙනෙක්ගේ හිතේ තව කෙනෙක් වෙනුවෙන් ඇති වෙන ළෙන්ගතුකමටයි, ගැඹුරු ස්නේහයකටයි. බයිබලේ කියන්නේ “යෙහෝවා දෙවි ගැඹුරු ස්නේහයක් ඇති” දෙවි කෙනෙක් කියලයි. (යාකො. 5:11) දෙවිට අපි ගැන ඒ වගේ සෙනෙහසක් තියෙනවා නම් අපේ හිතෙත් යෙහෝවා දෙවි ගැන තියෙන්න ඕනෙ ඒ වගේ ආදරයක් නේද? අපි දෙවිට ආදරේ නම් අපි ඔහුට කීකරු වෙනවා. එතකොට දෙවිත් ඔහුගේ ආදරේ අපිට පෙන්නයි. (ද්විතීය කතාව 7:12, 13 කියවන්න.) ඒත් පේන්නේ නැති දෙවි කෙනෙකුට ආදරේ කරන්න අපිට පුළුවන්ද? දෙවිට ආදරේ කරනවා කියන දේට ඇතුළත් වෙන්නේ මොනවද? ඇයි අපි දෙවිට ආදරේ කරන්න ඕනේ? ඒ ආදරේ අපි පෙන්නන්නේ කොහොමද?

දෙවිට ආදරේ කරන්න අපිට පුළුවන්

3, 4. දෙවිට මුළු හිතින්ම ආදරේ කරන්න අපිට පුළුවන් ඇයි?

3 දෙවිව අපිට පේන්නේ නැති වුණත් දෙවිට ආදරේ කරන්න අපිට පුළුවන්. (යොහ. 4:24) එහෙම කරන්න කියලා බයිබලේ අපිට ආඥාවක් දීලා තියෙනවා. “ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ උපරිමය කරමින් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න.”ද්වි. 6:5.

4 දෙවිට ආදරේ කරන්න අපිට පුළුවන් ඇයි? ඒ දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න තියෙන ආශාව ඇතුව දෙවි අපිව නිර්මාණය කරලා තියෙන නිසයි. ඒ වගේම ආදරේ පෙන්වීමේ හැකියාව ඇතුව ඔහු අපිව නිර්මාණය කරලා තියෙන නිසයි. එක පොතක මෙහෙම සඳහන් වුණා. “වඩා ශ්‍රේෂ්ඨ තැනැත්තෙකුගේ මඟ පෙන්වීම් ලබන්න, ඒ වගේ කෙනෙක් කෙරෙහි විශ්වාසය තියන්න මිනිසුන් තුළ තියෙන ආශාව පුදුමාකාරයි.” (Man Does Not Stand Alone) අපි තුළ තියෙන ඒ ආශාව ඉටු වෙද්දී දෙවිට තියෙන ආදරයත් වැඩි වෙනවා. එතකොටයි අපිට නියම සතුට ලැබෙන්නේ. “නිරතුරුවම දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න මහත් ආශාවකින් සිටින අය සන්තෝෂවත්. මන්ද ස්වර්ග රාජ්‍යය හිමි වන්නේ ඔවුන්ටයි” කියලා යේසුස් කිව්වේ ඒ නිසයි.මතෙ. 5:3.

5. දෙවිගේ මඟ පෙන්වීම් පතන එක අමාරු නැත්තේ ඇයි?

5 දෙවිගේ මඟ පෙන්වීම් පතන එක අමාරු දෙයක්ද? නැහැ. දෙවි කැමති අපි ඔහුගේ මඟ පෙන්වීම් පතලා ඔහුට ළං වෙනවටයි. දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න අපි යම් විශේෂ තැනකට යන්න අවශ්‍ය නැහැ. ඇතන්ස් නුවරේ වැසියන්ට පාවුල් කිව්වේ ‘ලෝකයත් එහි තිබෙන සියල්ලත් සෑදූ දෙවි, මිනිසුන් සාදා ඇති දේවස්ථානවල වාසය කරන්නේ නැහැ’ කියලයි. කෙනෙක් ලෝකෙ කොහේ ජීවත් වුණත් දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න මහත් උත්සාහයක් දැරුවොත් ඒ කෙනාට ඒ මඟ පෙන්වීම් ලබාගන්නත් දෙවිට ළං වෙන්නත් පුළුවන්. ‘එයට හේතුව දෙවි අපෙන් දුරස්ව සිටින කෙනෙක් නොවන නිසයි.’ (ක්‍රියා 17:24-27) පාවුල් කිව්ව ඒ දේ ඇත්ත. අද පොළොවේ ඉන්න ලක්ෂ 75කට වැඩි පිරිසකට දෙවිගේ මඟ පෙන්වීම් ලබන්නත් ඔහුට ළං වෙන්නත් පුළුවන් වෙලා තියෙනවා.

දෙවිට ප්‍රේම කරනවා කියන්නේ මොකක්ද?

6. “උතුම්ම සහ පළමුවෙනි ආඥාව” හැටියට යේසුස් හැඳින්නුවේ මොකක්ද?

6 දවසක් පරිසිවරයෙක් යේසුස්ගෙන් “ගුරුතුමනි, නීතියේ උතුම්ම ආඥාව කුමක්ද” කියලා ඇහුවාම ඔහු මෙහෙම කිව්වා. “‘ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න. නිතරම ඔබේ මනසේ මුල් තැන හිමි විය යුත්තේ ඔහුටයි.’ උතුම්ම සහ පළමුවෙනි ආඥාව එයයි.”මතෙ. 22:34-38.

7. මතෙව් 22:37 යේසුස් කිව්ව දෙයින් අදහස් කළේ මොකක්ද?

7 දෙවිට “මුළු හදවතින්ම” ප්‍රේම කරන්න කියලා කියද්දී ඒකෙන් අදහස් කළේ මොකක්ද? හදවත කියද්දී ඒකෙන් කෙනෙක්ගේ හැඟීම්, ආශාවන්, සිතුවිලි, ආකල්ප අදහස් කරනවා. යේසුස් කිව්වේ කෙනෙක් දෙවිට දක්වන ආදරය ඒ කෙනාගේ හිතේ තියෙන ඒ හැම දේකින්ම පැහැදිලි වෙන්න ඕනෙ කියලයි. ඒ වගේම ඔබේ මුළු ජීවිතයම කැප කරන්න කියලත් නිතරම ඔබේ මනසේ මුල් තැන හිමි විය යුත්තේ ඔහුට කියලත් යේසුස් කිව්වා. ඒ හැම දේකින්ම ඔහු අදහස් කළේ කිසිම අඩුවක් නැතුව, අනිත් හැම දේටම වඩා යෙහෝවා දෙවිට ආදරේ කරන්න කියලයි.

8. දෙවිට ආදරේ කරද්දී අපි පෙලඹෙන්නේ මොනවා කරන්නද?

8 යේසුස් කිව්ව විදිහේ ආදරයක් දෙවි ගැන අපේ හිතේ තියෙනවා නම් අපි දෙවිගේ වචනය ගැඹුරින් අධ්‍යයනය කරනවා. දෙවිගේ කැමැත්ත කරන්න කැප වෙලා වැඩ කරනවා. උද්‍යෝගයෙන් දේශනා සේවයේ යනවා. (මතෙ. 24:14; රෝම 12:1, 2) එතකොට අපි දෙවිට තවත් ළං වෙනවා.—යාකො. 4:8.

දෙවිට ආදරේ කරන්න ඕනෙ ඇයි?

9. ඔබ යෙහෝවා දෙවිට ආදරේ කරන්නේ ඇයි?

9 අපිව නිර්මාණය කළෙත් අවශ්‍ය දේවල් දීලා අපිව බලාගන්නෙත් යෙහෝවා දෙවියි. “අපේ ජීවිතයත් පැවැත්මත් අප කරන සෑම දෙයක්මත් රඳා පවතින්නේ ඔහු මතයි.” (ක්‍රියා 17:28) දෙවි අපිට දීලා තියෙන්නේ මොන තරම් මනහර පොළොවක්ද! (ගීතා. 115:16) ජීවිතේ පවත්වාගෙන යන්න ඕන කරන ආහාර ඇතුළු තවත් කොයි තරම් දේවල් ඔහු අපිට දීලා තියෙනවද! ඒ නිසයි පාවුල් මෙහෙම කිව්වේ. ‘ජීවමාන දෙවි බොහෝ යහපත් දේවල් කරමින් තමා සිටින බවට සාක්ෂි ලබා දුන්නා. ඔහු එසේ කළේ ඔබට වැසි ලබා දීමෙන්, සරු අස්වනු ලබා දීමෙන්, කෑමට අවශ්‍ය තරම් ආහාර ලබා දීමෙන් සහ ඔබේ සිතට සතුට ගෙන දෙන දේවල් ලබා දීමෙනුයි.’ (ක්‍රියා 14:15-17) අපිට ජීවිතය දුන්න ශ්‍රේෂ්ඨ සැදුම්කරුට ආදරේ කරන්න ඒ හේතුම මදිද?දේශ. 12:1.

10. පාපය සහ මරණය ඉවත් කරන්න දෙවි කරපු දේ ගැන ඔබට හැඟෙන්නේ කොහොමද?

10 ආදම්ගෙන් උරුම වුණු පාපය සහ මරණය ඉවත් කරන්න දෙවි අපි වෙනුවෙන් කරපු දේ. (රෝම 5:12) “අප උදෙසා මිය යෑමට දෙවි ක්‍රිස්තුස්ව එව්වේ අප පව්කාරයන් වී සිටියදීමය. දෙවි අප කෙරෙහි ඇති තම ප්‍රේමය පෙන්නුම් කළේ එලෙසය.” (රෝම 5:8) වැරදි ගැන පසුතැවිලි වෙලා යේසුස්ගේ ජීවිත පූජාව ගැන විශ්වාසය තියනවා නම් දෙවිගෙන් සමාව ගන්න අපිට පුළුවන්. ඒ වටිනා අවස්ථාව දීපු යෙහෝවා දෙවිට ආදරේ කරන්න සීමාවක් තියෙනවද?යොහ. 3:16.

11, 12. යෙහෝවා දෙවි අපිට දීලා තියෙන්නේ මොන වගේ බලාපොරොත්තුද?

11 හිතට සමාදානයක් සහ ප්‍රීතියක් ගේන බලාපොරොත්තුවක් යෙහෝවා දෙවි අපිට දීලා තියෙනවා. (රෝම 15:13) ඒ නිසා ඕනම පීඩාවක් විඳදරාගන්න අපිට පුළුවන්. ‘මිය යන තෙක් විශ්වාසවන්තව ඉන්න’ අභිෂේක ලත් අයට දෙවි ‘ජීවනය නමැති ඔටුන්න දෙනවා.’ (එළි. 2:10) තවත් විශාල පිරිසකට පාරාදීස පොළොවේ සදාකල් ආශීර්වාද ලැබෙනවා. (ලූක් 23:43) ඒ බලාපොරොත්තුව නිසා අපිට ලැබෙන සතුට, සමාදානය වෙන දේවලින් ලැබෙනවද? “සෑම යහපත් දීමනාවක්ම හා කිසිම අඩුපාඩුවක් නැති සෑම තෑග්ගක්ම” දෙන දෙවි ගැන අපේ හිතේ මොන තරම් ආදරයක් ඇති වෙනවද!යාකො. 1:17.

12 නැවත නැඟිටීමේ බලාපොරොත්තුව දෙවි අපිට දීලා තියෙනවා. (ක්‍රියා 24:15) අපි ආදරේ කරන කෙනෙක් මිය ගියොත් ඒක අපිට ලොකු දුකක්. ඒත් දෙවි දීලා තියෙන නැවත නැඟිටීමේ බලාපොරොත්තුව නිසා “කිසි බලාපොරොත්තුවක් නැති වෙනත් අය මෙන් ශෝකයෙන් සිටීමට” අපිට සිද්ධ වෙන්නේ නැහැ. (1 තෙස. 4:13) දෙවිට විශ්වාසවන්තව හිටපු අයව නැවත නැඟිටුවන්න දෙවි ආශාවෙන් බලාගෙන ඉන්නවා. (යෝබ් 14:15) මිය ගිය අය නැවත නැඟිටිද්දී, ඔවුන් ආදරේ කරපු අය එක්ක ආයෙත් එකතු වෙද්දී ඒක මොන තරම් සතුටුදායක අවස්ථාවක් වෙයිද? ඒ පුදුමාකාර බලාපොරොත්තුව දුන්න යෙහෝවා දෙවි ගැන ආදරෙන් ඔබේ හදවත පිරී යන්නේ නැද්ද?

13. යෙහෝවා දෙවි අපි ගැන සැලකිලිමත් කියලා පැහැදිලි වෙන්නේ මොන දේවලින්ද?

13 යෙහෝවා දෙවි අපි ගැන දක්වන සැලකිල්ල. (ගීතාවලිය 34:6, 18, 19; 1 පේතෘස් 5:6, 7 කියවන්න.) අපේ දෙවි ඔහුට විශ්වාසවන්තව ඉන්න අයට උදව් කරන්න බලාගෙන ඉන්නවා. ඒ නිසා ඔහුගේ ‘බැටළු රැළේ’ ඉන්න අපිට ලොකු සුරක්ෂිතකමක් දැනෙනවා. (ගීතා. 79:13) දේවරාජ්‍යය මගින් අපිට ලබා දෙන්න යන දේවලින් පැහැදිලි වෙන්නේ ඔහු අපිට දක්වන ආදරයයි. දේවරාජ්‍යයේ රජු වන යේසුස් මේ පොළොවේ තියෙන හැම නරක දෙයක්ම ඉවත් කළාට පස්සේ දෙවිට කීකරු හැම කෙනෙකුටම සාමයෙන් පිරි, කිසිම අඩුවක් නැති ජීවිතයක් ලැබෙනවා. (ගීතා. 72:7, 12-14, 16) ඒ තරම් වටිනා අනාගතයක් අපිට ලබාදෙන දෙවිට අපේ මුළු හිතින්ම ආදරේ කරන එක, ජීවිතයම ඔහුට කැප කරන එක වටිනවා කියලා ඔබට හිතෙන්නේ නැද්ද?—ලූක් 10:27.

14. දෙවිගෙන් අපිට ලැබිලා තියෙන වරප්‍රසාදය මොකක්ද?

14 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෙන්න ලැබීම මිල කරන්න බැරි වරප්‍රසාදයක්. (යෙසා. 43:10-12) දෙවිගේ පාලනයට සහයෝගය දෙන්නත් මිනිසුන්ට තියෙන එකම බලාපොරොත්තුව ගැන ඔවුන්ට කියන්නත් අපිට අවස්ථාව ලබා දීම ගැන අපි දෙවිට ණයගැතියි. දෙවි දෙන එක පොරොන්දුවක්වත් ඔහු ඉෂ්ට නොකර ඉන්නේ නැහැ. අපි දේශනා කරන්නේ බයිබලේ සඳහන් දෙවිගේ ඒ පොරොන්දු ගැන නිසා අපිට ලොකු විශ්වාසයකින් අනිත් අයට ඒ ගැන කියන්න පුළුවන්. (යොෂුවා 21:45; 23:14 කියවන්න.) දෙවිට ආදරේ කරන්න අපිට තියෙන හේතුවල කෙළවරක් නැහැ. ඒත් ඒ ආදරේ අපි පෙන්නන්නේ කොහොමද?

හිතේ ආදරේ පෙන්නන විදි

15. දේවවචනය අධ්‍යයනය කරලා ඒවා අදාළ කරගද්දී අපිට ප්‍රයෝජන ලැබෙන්නේ කොහොමද?

15 දේවවචනය ගැඹුරින් අධ්‍යයනය කරලා ඒවා ජීවිතේට අදාළ කරගන්න. එහෙම කරනවා නම් අපි දෙවිට ආදරේ කරනවා කියලත් ඔහුගේ වවනය අපේ “මාවතට එළියක්” කරගන්න අපිට ඕනෙ කියලත් අපි පෙන්නනවා. (ගීතා. 119:105) අපි දුකෙන්, කනස්සල්ලෙන් ඉන්න වෙලාවට බයිබලේ තියෙන මේ වගේ වදන්වලින් සහනයක් ලබන්න පුළුවන්. “තැළුණාවූ බිඳුණාවූ හදවතක් ඔබ හෙළා නොදකින්නෙහිය.” “යෙහෝවා දෙවියනි, ඔබේ ඉමහත් ප්‍රේමය නිසා ඔබ මට වැටෙන්න ඉඩ නොදුන්නෙහිය. මාගේ සිත නොසන්සුන් වූ විට ඔබේ ඉමහත් ප්‍රේමය මට සැනසීමක් විය.” (ගීතා. 51:17; 94:18, 19) දුක් විඳින සෙනඟට දෙවි දයාව පෙන්නනවා. යේසුත් ඒ වගේමයි. (යෙසා. 49:13; මතෙ. 15:32) බයිබලය ගැඹුරින් අධ්‍යයනය කරනවා නම් දෙවිගේ හිතේ අපි ගැන තියෙන ආදරේ, සැලකිල්ල අපි තේරුම්ගන්නවා. එතකොට අපිත් යෙහෝවා දෙවිට ආදරේ කරන්න පෙලඹෙනවා.

16. නිතරම දෙවිට යාච්ඤා කරද්දී දෙවි ගැන අපිට තියෙන ආදරේ වැඩි වෙන්නේ කොහොමද?

16 නිතරම දෙවිට යාච්ඤා කරන්න. අපේ යාච්ඤාවලට දෙවි උත්තර දෙනවා කියලා දැනෙද්දී අපේ ආදරේ තවත් වැඩි වෙනවා. (ගීතා. 65:2) වැරදි පෙලඹීම්වලට හසු වෙලා ඒවායින් සම්පූර්ණයෙන්ම යටපත් වෙලා යන්න දෙවි ඉඩ දෙන්න නැහැ කියලා ඔබ අද්දැකලා ඇති. (1 කොරි. 10:13) කනස්සල්ලෙන් ඉද්දී ඒ ගැන දෙවිට කිව්වට පස්සේ “දෙවි ලබා දෙන සමාදානය” ඔබ අද්දැකලා ඇති. (ෆිලි. 4:6, 7) නෙහෙමියා වගේ ඔබ කරපු නිහඬ, කෙටි යාච්ඤාවකට දෙවි උත්තර දීලා ඇති. (නෙහෙ. 2:1-6) අපි ‘නොකඩවාම යාච්ඤා කරද්දී,’ අපේ ඉල්ලීම්වලට දෙවි සවන් දෙනවා කියලා දැනෙද්දී අපේ හිතේ දෙවි ගැන තියෙන ආදරේ තවත් වැඩි වෙනවා. පීඩා, පරීක්ෂා එද්දී දෙවි අපි ළඟින්ම ඉන්නවා කියන විශ්වාසයත් තව වැඩි වෙනවා.රෝම 12:12.

17. අපි දෙවිට ආදරේ නම් රැස්වීම්වලට යන එක ගැන අපිට හැඟෙන්නේ කොහොමද?

17 රැස්වීම්වලට, සමුළුවලට යන එක පුරුද්දක් කරගන්න. (හෙබ්‍රෙ. 10:24, 25) දෙවිට ගරුබිය දක්වන්නත් දෙවිගේ නීතියට කීකරු වෙන්නත් ඊශ්‍රායෙල්වරුන්ට තිබුණු වුවමනාව නිසා ඔවුන් එකට රැස් වෙලා දෙවිගේ නීතියට සවන් දුන්නා. දෙවිගෙන් ඉගෙනගත්තා. (ද්වි. 31:12) දෙවිට ආදරේ නම් දෙවි කැමති දේවල් කරන එක අපිට බරක් නෙමෙයි. (1 යොහන් 5:3 කියවන්න.) ඒ නිසා රැස්වීම්වල තියෙන වටිනාකම, අගය අපේ හිතෙන් අයින් කරන්න කිසිම දේකට ඉඩ නොදෙමු. යෙහෝවා දෙවි වෙනුවෙන් අපේ හිතේ මුලින් ඇති වුණු ප්‍රේමය හැමදාටම තියාගමු.එළි. 2:4.

18. දෙවි ගැන අපේ හිතේ ඇති ආදරේ නිසා අපි පෙලඹෙන්නේ මොකක් කරන්නද?

18 උද්‍යෝගයෙන් දේශනා කරන්න. (ගලා. 2:5) දෙවිට තියෙන ආදරේ නිසා දේවරාජ්‍යය ගැනත් එහි රජු වන යේසුස් හර්–මගෙදොන් යුද්ධයේදී ‘සත්‍යය වෙනුවෙන් සටන් කරන’ විදිහ ගැනත් මිනිසුන්ට කියන්න අපි පෙලඹෙන්නේ නිතැතින්මයි. (ගීතා. 45:4; එළි. 16:14, 16) දෙවි මිනිසුන්ට පෙන්නන ආදරේ ගැනත් පාරාදීසය ගැනත් මිනිසුන්ට කියලා දීලා යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න ඔවුන්ට උදව් කරන්න ලැබීම අපි ලබලා තියෙන වරප්‍රසාදයක්.—මතෙ. 28:19, 20.

19. තම රැළ රැකබලා ගන්න දෙවි පත් කරලා තියෙන අයව අපි අගය කරන්න ඕනෙ ඇයි?

19 තම රැළ රැකබලා ගන්න දෙවි පත් කරලා තියෙන අයව අගය කරන්න. (ක්‍රියා 20:28) අපි ගැන හිතන, ප්‍රේමණීය වැඩිමහල්ලන් දෙවි අපිට දුන්න තෑග්ගක්. ඒ අය ගැන බයිබලේ මෙහෙම කියනවා. “ඒ සෑම කෙනෙක්ම සුළඟින් මුවා වීමට ස්ථානයක් මෙන්ද කුණාටුවෙන් සැඟවීමට රක්ෂස්ථානයක් මෙන්ද වන්නෝය. ඔවුහු වියළි දේශයක ගලා බසින දිය පහරවල් මෙන්ද කාන්තාර ප්‍රදේශයක මහා පර්වතයකින් ලැබෙන සෙවණක් මෙන්ද වන්නෝය.” (යෙසා. 32:1, 2) තද කුණාටුවකින් බේරෙන්න ආරක්ෂිත ස්ථානයක් තිබුණොත් අපිට කොයි තරම් සහනයක්ද! ගිනි ගහන අව්වේ ඉද්දී පර්වතයක සෙවණ ගෙන දෙන්නේ මොන තරම් සිසිලසක්ද! ඒ අලංකාර සමාන කිරීම් දෙවිත් එක්ක අපිට තියෙන බැඳීම ශක්තිමත් කරගන්න වැඩිමහල්ලන්ගෙන් ලැබෙන උදව්වලට, ඔවුන්ගෙන් ලැබෙන සහනයට කොයි තරම් කදිමට ගැලපෙනවද! ඒ අයට කීකරු වෙන එකෙන් අපි පෙන්නන්නේ “තෑගි වශයෙන්” දෙවි අපිට දීලා තියෙන ඔවුන්ව අපි අගය කරනවා කියන එකයි. ඒ අයව දුන්න යෙහෝවා දෙවිටත් සභාවේ හිස වන යේසුස්ටත් අපි ආදරේ කරනවා කියන එකයි.එෆී. 4:8; 5:23; හෙබ්‍රෙ. 13:17.

අපි ගැන සැලකිලිමත් වැඩිමහල්ලන්ව දෙවි අපිට දීලා තියෙනවා (19 ඡේදය බලන්න)

දෙවිට තියෙන ආදරේ තවත් වැඩි කරගන්න

20. ඔබ දෙවිට ආදරේ නම් යාකොබ් 1:22-25 ඇති වදන් ඔබේ ජීවිතේට අදාළ කරගන්නේ කොහොමද?

20 දෙවි එක්ක කිට්ටු බැඳීමක් තියෙනවා නම් ‘සවන් දෙන්නෙක් පමණක් නොවී දෙවිගේ වදන් පිළිපදින්නත්’ ඔබ උත්සාහ කරනවා. (යාකොබ් 1:22-25 කියවන්න.) දෙවිගේ වදන් පිළිපදින කෙනෙක්ට දෙවි ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසය නිසා දේශනා සේවයේ උද්‍යෝගයෙන් හවුල් වෙනවා. නිතිපතා රැස්වීම්වලට සහභාගි වෙනවා. දෙවිට තියෙන ආදරේ නිසා දෙවි බලාපොරොත්තු වෙන හැම දෙයක්ම සඳහන් වෙන ‘පරිපූර්ණ නීතියට’ කීකරු වෙනවා.ගීතා. 19:7-11.

21. ඔබේ යාච්ඤා ගැන දෙවිට හැඟෙන්නේ කොහොමද?

21 දෙවිට ආදරේ කරන කෙනෙක් හිතේ තියෙන ආදරේ දෙවිට කියන්නත් අමතක කරන්නේ නැහැ. දාවිත් දෙවිට මෙහෙම කිව්වා. “ඔබ ඉදිරියේ ඔප්පු කිරීම සඳහා පිළියෙල කළ සුවඳ ද්‍රව්‍ය ඔබ පිළිගන්නාක් මෙන් මා කරන යාච්ඤාවත් පිළිගන්න. සන්ධ්‍යාවේ ඔප්පු කරන ධාන්‍ය පූජාව පිළිගන්නාක් මෙන් දෑත් ඔසවා මා කරන කන්නලව්වත් පිළිගන්න.” (ගීතා. 141:2; නික්. 30:7, 8) ඔබ නිහතමානීව යෙහෝවා දෙවිගෙන් දේවල් ඉල්ලද්දී, හිතේ තියෙන හැම දෙයක්ම දෙවිට කියද්දී, අවංකවම දෙවිට ස්තුති ප්‍රශංසා කරද්දී ඔබේ වචන හරියට දෙවිට ඔප්පු කරන සුවඳ ද්‍රව්‍ය හා සමානයි. ඔහු ඒවා සතුටින් පිළිගන්නවා.එළි. 5:8.

22. අපි ඊළඟ ලිපියෙන් බලන්නේ මොකක් ගැනද?

22 යෙහෝවා දෙවිට වගේම අසල්වැසියන්ටත් අපි ප්‍රේම කරන්න ඕනෙ කියලා යේසුස් කිව්වා. (මතෙ. 22:37-39) දෙවිටත් ඔහුගේ ප්‍රතිපත්තිවලටත් තියෙන ආදරේ අපේ අසල්වැසියන්ට ප්‍රේම කරන්නත් අපිට උදව් වෙනවා. ඒ ගැන අපි ඊළඟ ලිපියෙන් බලමු.