Skip to content

පටුනට යන්න

වගකීම් ලබාගන්න වෑයම් කරන්න

වගකීම් ලබාගන්න වෑයම් කරන්න

වැඩිමහල්ලෝ දෙන්නෙක්ට එයාත් එක්ක කතා කරන්න ඕනෙ කියපු වෙලාවේ ඉඳන් ෆනෑන්ඩො * ඉන්නේ චකිතයකින්. පහුගිය වතා කීපයකම චාරිකා සේවක ඇවිත් ගියාට පස්සේ වැඩිමහල්ලෝ එයාත් එක්ක මේ විදිහට කතා කළා. ඒ හැම වෙලාවකදීම සභාවේ වගකීම් දරන්න එයා දියුණු කරගන්න ඕනෙ මොන වගේ දේවල්ද කියලා වැඩිමහල්ලෝ කිව්වා. කාලේ ගත වෙනවත් එක්කම ‘පේන විදිහට මට නම් කවදාවත් වැඩිමහල්ලෙක් වෙන්න බැරි වෙයි වගේ’ කියලා ෆනෑන්ඩො හිතුවා. මේ ළඟදීත් චාරිකා සේවක ඇවිත් ගියා. වැඩිමහල්ලෝ මේ වතාවේ මොනවා කියයිද?

වැඩිමහල්ලෝ දෙන්නා ඇවිත් 1 තිමෝති 3:1 මතක් කරලා දීලා ෆනෑන්ඩොට මෙහෙම කිව්වා. “ඔයාව වැඩිමහල්ලෙක් විදිහට පත් කරලා තියෙනවා කියලා ලිපියකින් අපිට දන්වලා තියෙනවා.” ඒක අහලා ගැස්සුණු ෆනෑන්ඩො “මොකක්ද බ්‍රදර් කිව්වේ” කියලා පුදුමෙන් ඇහුවා. වැඩිමහල්ලා විස්තරේ ආයෙත් කියද්දී ෆනෑන්ඩොගේ මූණේ හිනාවක් ඇඳුනා. ඊටපස්සේ ඒ ගැන සභාවේ නිවේදනය කළාම හැමෝම සතුටු වුණා.

වගකීම් දරන්න කැමැත්තෙන් ඉන්න එක වැරදි දෙයක්ද? 1 තිමෝති 3:1 කියන්නේ “යමෙක් සභාව රැකබලා ගන්නෙකු ලෙස වගකීම් දැරීමට වෑයම් කරනවා නම් ඔහු කැමැත්තෙන් සිටින්නේ යහපත් සේවයක් ඉටු කිරීම සඳහාය” කියලයි. හුඟක් සහෝදරයන් ඒ උපදෙස අදාළ කරගෙන වගකීම් දරන්න අවශ්‍ය සුදුසුකම් දියුණු කරගෙන තියෙනවා. ඒත් දවසින් දවස ලෝකෙ පුරාම තියෙන සභා ගාණ වැඩි වෙන නිසා සභාවල වගකීම් භාර අරගෙන කරන්න තව සහෝදරයන් ඕනේ. ඒ වගකීම් දරන්න හරි ආකල්පයකින් වෑයම් කරන්න ඕනෙ කොහොමද? ඒ වගකීම් ලබාගන්න ආසාවෙන් ඉන්න අය ෆනෑන්ඩො වගේ ‘කවදා මට මේක ලැබෙයිද’ කියලා හිතහිතා ඉන්න ඕනෙද?

වගකීම් දරන්න වෑයම් කරනවා කියන්නේ මොකක්ද?

“වෑයම් කරනවා” කියන ග්‍රීක ක්‍රියා පදයේ අදහස උනන්දුවෙන්, ඕනකමින් යමක් ලබාගන්න උත්සාහ කරනවා කියන එකයි. හිතන්න, ගහක ටිකක් උස අත්තක පලතුරක් තියෙනවා කියලා. කෙනෙක් පුළුවන් තරම් ඉස්සිලා, අත දික් කරලා ඒක කඩාගන්න දරන උත්සාහය ඒ වගෙයි. ඒත් එහෙම කියලා කෑදරකමින් මම කොහොමහරි වැඩිමහල්ලෙක් වෙනවා කියන අදහසින් වැඩ කරන එක නම් වැරදියි. මොකද කෙනෙක් වැඩිමහල්ලෙක් වෙන්න උත්සාහ කරන්න ඕනෙ තනතුරක් දරන්න තියෙන ආසාවට නෙමෙයි. සහෝදරයන් වෙනුවෙන් “යහපත් සේවයක්” කරන්න තියෙන ආසාව නිසයි.

වැඩිහමල්ලෙක් වෙන්න අවශ්‍ය සුදුසුකම්වලින් වැඩි හරියක් 1 තිමෝති 3:2-7 සහ තීතස් 1:5-9 සඳහන් වෙනවා. කාලයක් පුරා වැඩිමහල්ලෙක් විදිහට සේවය කරන රේමන් ඒ සුදුසුකම් ගැන මෙහෙම කියනවා. “කතා දෙන එක, උගන්වන එක වැදගත් තමයි. ඒත් ඒ හැකියාවන්ට වඩා නිදොස්ව ඉන්න එක, සීමාව දැනගෙන වැඩ කරන එක, සිහිකල්පනාවෙන්, පිළිවෙළකට වැඩ කරන එක, ආගන්තුක සත්කාරය, සාධාරණකම වගේ දේවල් ඊට වඩා හුඟක් වටිනවා.”

වගකීම් දරන්න ඇත්තටම වෑයම් කරන කෙනෙක් සභාවේ විවිධ වැඩවලට හවුල් වෙනවා

වැඩිපුර සේවයක් කරන්න වෑයම් කරන කෙනෙක් වංක, අපවිත්‍ර දේවලට හවුල් වෙන්නේ නැතුව තමාගේ සීමාව දැනගෙන, සිහිකල්පනාවෙන්, පිළිවෙළකට, සාධාරණව වැඩ කරනවා. එතකොට සභාවේ අයට එයා ගැන විශ්වාසයක් ඇති වෙනවා. ආගන්තුක සත්කාරයට ළැදි කෙනෙක් විදිහට එයා අනිත් අය වෙනුවෙන් දේවල් කරන නිසාත් ඒ අයට කාලේ දෙන නිසාත් තරුණ අයට, අලුත් අයට එයා ලොකු දිරිගැන්වීමක්. එයා යහපත්කමට ඇලුම් කරන කෙනෙක් නිසා අසනීප අයට, මහලු අයට එයා ලොකු සහනයක් වෙනවා. අනිත් අයට ප්‍රයොජනවත් වෙන ඒ වගේ ගතිලක්ෂණ එයා වර්ධනය කරගන්නේ වැඩිමහල්ලෙක් වෙන්න තියෙන උවමනාව නිසා නෙමෙයි. අනිත් අයට උදව් කරන්න තියෙන කැමැත්ත නිසයි. *

කෙනෙක්ට හදාගන්න ඕනෙ පැති පෙන්නලා දීලා එයාව දිරිගන්වන එක වැඩිමහල්ලන් කරන්නේ සතුටින්. ඒත් බයිබලේ තියෙන සුදුසුකම් අත් කරගන්න වැඩ කරන්න ඕනෙ ඒ පුද්ගලයාමයි. හෙන්රි අද්දැකීම් තියෙන වැඩිමහල්ලෙක්. එයා මෙහෙම කියනවා. “සභාවේ වගකීම් දරන්න වෑයම් කරන කෙනෙක් හැම වෙලාවෙම ඒකට තමන් සුදුසුයි කියලා ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. දේශනාකාරයා 9:10 කියන්නේ ‘ඔබට කළ හැකි සෑම දෙයක්ම ඔබේ මුළු උත්සාහයෙන්ම කරන්න’ කියලයි. වැඩිමහල්ලෝ ඔයාට දෙන්නේ මොන වගකීමද ඒක උපරිමයෙන්, අසාවෙන් කරන්න. ඔයාට භාර දීලා තියෙන්නේ අතුපතු ගාන්නද ඒකත් ආසාවෙන් කරන්න. කාලයක් යද්දී සභාවේ වැඩ කරන්න ඔයා ඇත්තටම ආසයි කියලා අනිත් අය දකියි.” වැඩිමහල්ලෙක් වෙන්න ඔයා ආසාවෙන් ඉන්නවා නම් දෙවිගේ වැඩ මහන්සි වෙලා, අවංකව කරන්න. තනතුරු ලබාගන්න ආසාවෙන් ඉන්නවට වඩා ඔයාගේ ඉලක්කය වෙන්න ඕනෙ නිහතමානීව සහෝදරයන්ට සේවය කරන එකයි.මතෙ. 23:8-12.

වැරදි චේතනාවෙන් වැඩ කරන්න එපා

සමහරුන් තමන් වගකීම් දරන්න කැමැත්තෙන් ඉන්නවා කියලා වැඩිමහල්ලන්ට අඟවන්න නැත්නම් ඒගොල්ලන්ව තමන්ගේ පැත්තට නම්මගන්න දේවල් කරන්න ඉඩ තියෙනවා. දියුණු කරගන්න ඕනෙ පැත්තක් වැඩිමහල්ලන් පෙන්නද්දී ඒක පිළිගන්න අකමැති කට්ටියකුත් ඉන්නවා. ඒ වගේ අය තමන්ගෙන්ම මෙහෙම අහලා බලන්න. ‘මට ඕනෙ යෙහෝවා දෙවිගේ බැටළුවන්ව ආදරෙන් බලාගන්නද නැත්නම් මං ගැන හිතලා විතරක් වැඩ කරන්නද?’

ඒ අය මතක තියාගන්න ඕනෙ තව වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි “රැළට ආදර්ශයක්” වෙන එක වැඩිමහල්ලෙක්ට තියෙන්න ඕන තවත් සුදුසුකමක් කියන දේ. (1 පේතෘ. 5:1-3) එහෙමනම් වැඩිමහල්ලෙක් වෙන්න කපටි විදිහට වැඩ කරන කෙනෙක් රැළට ආදර්ශයක් කියන්න පුළුවන්ද? බැහැ. රැළට ආදර්ශයක් වෙන කෙනෙක් තමන් බලාපොරොත්තු වෙන වෙලාවේ වැඩිමහල්ලෙක් විදිහට පත් කළත් නැතත් ඉවසීමෙන්, විඳදරාගෙන වැඩ කරනවා. එයා ඒ ගුණාංග දිගටම දියුණු කරගන්න එක අත්‍යවශ්‍යයි. මොකද කෙනෙක් වැඩිමහල්ලෙක් වුණා කියලා එයා අතින් කිසි වරදක්, අඩුපාඩුක් වෙන්නේ නැහැ කියලා කියන්න බැහැ. (ගණන්. 12:3; ගීතා. 106:32, 33) ඒ වගේම කෙනෙකුට හිතෙන්න පුළුවන් ‘මගේ අතින් කිසි වරදක් වෙලා නැහැ’ කියලා. ඒත් එයා දියුණු කරගන්න ඕනෙ පැති තව තියෙනවා කියලා අනිත් අයට පේන්න පුළුවන්. (1 කොරි. 4:4) ඒ නිසා වැඩිමහල්ලන් ඔයාට බයිබලෙන් මොනවා හරි උපදෙසක් දුන්නම කේන්ති ගන්නේ නැතුව ඒක පිළිගන්න. ඒ උපදෙස් අදාළ කරගන්න.

බලාගෙන හිටපු කාලේ දිග වැඩියි කියලා හිතෙනවද?

හුඟක් අයට හිතෙන්නේ වගකීම් ලැබෙනකල් තමන්ට සෑහෙන කාලයක් බලාගෙන ඉන්න වෙලා තියෙනවා කියලයි. ඔයාත් අවුරුදු ගාණක් තිස්සේ වගකීම් දරන්න වෑයම් කරන කෙනෙක් නම් ඔයාටත් ඒ ගැන කනස්සල්ලක් දැනිලා තියෙනවද? ඒ ගැන බයිබලේ කියනදේ බලන්න. “බලාපොරොත්තු වන දේ ප්‍රමාද වූ විට සිත කලකිරෙන්නේය. නමුත් ආශා වන දේ ලැබෙන විට එය ජීවන වෘක්ෂයකි.”හිතෝ. 13:12.

ලබාගන්න බලාගෙන ඉන්න දේ අත් කරගන්න බැහැ කියලා දැනෙද්දී ඒක හිතට ලොකු දුකක්. ආබ්‍රහම්ටත් එහෙම හිතුණා. යෙහෝවා දෙවි පුතෙක් දෙනවා කියලා ආබ්‍රහම්ට පොරොන්දු වුණත් අවුරුදු ගාණක් යනකල් සාරාට දරුවෙක් ලැබුණේ නැහැ. (උත්. 12:1-3, 7) වයසට යනවා කියලා දැනෙද්දී ආබ්‍රහම් මෙහෙම කිව්වා. “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, මට තවමත් දරුවෙක් නැහැ. ඔබ දෙන ආශීර්වාද උරුම වෙන්නේ කාටද?” ඒ පොරොන්දුව අනිවාර්යයෙන්ම ඉටු කරනවා කියලා දෙවි ආයෙත් ආබ්‍රහම්ට කිව්වා. ඒත් ඒක ඉටු වෙනකල් තවත් අවුරුදු 14ක් විතර බලාගෙන ඉන්න ආබ්‍රහම්ට සිද්ධ වුණා.උත්. 15:2-4; 16:16; 21:5.

එහෙම බලාගෙන ඉන්න අතරේ ආබ්‍රහම් දෙවිට සේවය කරලා ලබන සතුට නැති කරගත්තද? නැහැ. දෙවිගේ පොරොන්දු ගැන එයාට සැකයක් තිබුණේ නැහැ. එයා දිගටම දෙවි ගැන විශ්වාසය තියලා වැඩ කළා. “ආබ්‍රහම් ඉවසීමෙන් කටයුතු කළ පසු ඔහුට ඒ පොරොන්දුව ලැබිණ” කියලා පාවුල් කිව්වේ ඒ නිසයි. (හෙබ්‍රෙ. 6:15) අන්තිමට බලාපොරොත්තු වුණාටත් වඩා යෙහෝවා දෙවි ආබ්‍රහම්ට ආශීර්වාද කළා. ඔයාට මොනවද ආබ්‍රහම්ගෙන් ඉගෙනගන්න පුළුවන්?

වැඩිමහල්ලෙක් විදිහට සේවය කරන්න ඔයාත් ආසාවෙන් ඇති. ඒත් අවුරුදු ගාණක් බලාගෙන හිටියත් ඒක ලැබෙන පාටක් නැහැ කියලා හිතුණොත් දෙවි ගැන තියෙන විශ්වාසය නැති කරගන්න එපා. දෙවිට සේවය කරලා ලබන සතුට නැති කරගන්නත් එපා. වොරන් මෙහෙම කියනවා. “වැඩිමහල්ලෙක් වෙන්න අවශ්‍ය සුදුසුකම් කෙනෙක්ට තියෙනවද කියලා පැහැදිලි වෙන්න කාලයක් යනවා. කෙනෙක් සභාවේ අය එක්ක වැඩ කරන විදිහ, භාර දෙන පැවරුම් කරන විදිහ අනුව තමයි එයාට තියෙන ආකල්ප, හැකියාවන් පේන්න ගන්නේ. ඒකට කාලයක් යනවා. සමහරු හිතන්නේ වැඩිමහල්ලෙක් වුණොත් විතරයි යෙහෝවා දෙවිට හොඳ සේවයක් කරන්න පුළුවන් වෙන්නේ කියලා. ඒක වැරදියි. ඒ ගැනම හිතලා හිතලා සමහරු මානසිකව වැටෙනවා. දෙවිට වටින්නේ අපි කොහේ හිටියත් මොන වගේ සේවයක් කළත් ඒක විශ්වාසවන්තව කරන එකයි.”

එක සහෝදරයෙක්ට වැඩිමහල්ලෙක් වෙන්න අවුරුදු 10කටත් වඩා බලන් ඉන්න සිද්ධ වුණා. එසකියෙල් පළවෙනි පරිච්ඡේදයේ සඳහන් දර්ශනයෙන් ඉගෙනගත්ත දෙයක් ගැන එයා මෙහෙම කියනවා. “යෙහෝවා දෙවි ඔහුට ඕන කරන වේගයෙන් ඔහුගේ සංවිධානය ඉදිරියට ගෙනි යනවා. දේවල් වෙන්න ඕනෙ දෙවිට ඕනෙ කාලෙට මිසක් අපිට ඕනෙ කාලෙට නෙමෙයි. වැඩිමහල්ලෙක් හැටියට සේවය කරන්න ආසාවෙන් හිටියත් ඒ වෙලාවෙදී මට ඇත්තටම මොනවද ඕන කරන්නේ කියලා යෙහෝවා දෙවි දන්නවා. දෙවි බලාපොරොත්තු වෙන ඒ දේ කරන එක තමයි හොඳම දේ.”

වැඩිමහල්ලෙක් විදිහට කවදා හරි සේවය කරන්න නම් සභාවේ අය වෙනුවෙන් ඔයාට පුළුවන් උපරිමය කරන්න. හිතුවට වඩා කාලයක් ගත වෙනවා කියලා දැනුණොත් කනස්සල්ලට හිතේ ඉඩක් දෙන්න එපා. ඉවසීම නැති කරගන්නත් එපා. රේමන් මෙහෙම කියනවා. “වගකීම් ගන්න එක ගැනම හිතහිතා ඒ අරමුණින් දේවල් කරනවා නම් දැන් තියෙන දේවල්වලින් ඔයාට කවදාවත් සතුටක් ලබන්න බැහැ. හැම වෙලාවෙම කනස්සල්ලෙන් ඉන්න අය දෙවිට සේවය කරලා සතුටක් අද්දකින්නේ නැහැ.” දුක් වෙනවා වෙනුවට දෙවිගේ බලය ක්‍රියාත්මක වෙද්දී ඇති වෙන ගුණාංග තව තවත් දියුණු කරගන්න. විශේෂයෙන්ම ඉවසීම. බයිබලය අධ්‍යයනය කරලා ඒ ගැන ඔයාට තියෙන අවබෝධය තවත් වැඩි කරගන්න. දේවසේවය තව වැඩියෙන් කරන්නත් බයිබල් පාඩම් කරන්නත් උත්සාහ කරන්න. නමස්කාරයට සම්බන්ධ වැඩවලදී පවුලේ අයට ආදර්ශයක් වෙන්න. පවුලේ නමස්කාරය අතපසු කරන්න එපා. සහෝදර සහෝදරියන්ව ආශ්‍රය කරන්න ලැබෙන හැම අවස්ථාවක්ම අගය කරන්න. එහෙම කරනවා නම් වැඩිමහල්ලෙක් වෙන්න ඉලක්කයක් තියාගෙන ඉන්න අතරේ ඒ ගත වෙන කාලෙදී දෙවිට කරන සේවයෙන් ලොකු සතුටක් ලබන්න ඔයාට පුළුවන් වෙයි.

සභාවේ වගකීම් දරන්න අවශ්‍ය සුදුසුකම් අත් කරගන්න කෙනෙක්ට තියෙන අවස්ථාව දෙවිගෙන් ලැබෙන ආශීර්වාදයක්. ඒත් ඒ වෑයම දරන අය කලකිරිලා ඉන්නවා දකින්න යෙහෝවා දෙවිවත් ඔහුගේ සංවිධානයවත් කැමති නැහැ. හරි චේතනාවෙන් දෙවිට සේවය කරන අයට දෙවිගේ උදව් ලැබෙනවා. දෙවි ඒ අයට ආශීර්වාද කරනවා. ඔහු ඒ ආශීර්වාදයට ‘කිසි වේදනාවක් එක් කරන්නේ නැහැ.’හිතෝ. 10:22.

ඔයාත් කාලයක් තිස්සේ වැඩිමහල්ලෙක් විදිහට සේවය කරන්න වෑයම් කරන කෙනෙක් නම් දෙවිත් එක්ක තියෙන බැඳීම වැඩි කරගන්න තව දේවල් ඔයාට කරන්න පුළුවන්. සුදුසුකම් අත් කරගන්න වෑයම් කරන අතරේ සභාවේ මහන්සි වෙලා වැඩ කරන්න. පවුලේ අයව ආදරෙන් රැකබලා ගන්න. එහෙම කරන්න ඔයා දරන වෙහෙස දෙවි කවදාවත් අමතක කරන්නේ නැහැ. මොන පැවරුම ලැබුණත් යෙහෝවා දෙවිට සේවය කරන එක ඔයාගේ ජීවිතේ සතුට කරගන්න.

^ 2 ඡේ. නම් වෙනස් කර ඇත.

^ 8 ඡේ. මේ ලිපියේ කතා කරන ප්‍රතිපත්ති සහායක සේවකයෙක් විදිහට සේවය කරන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ටත් අදාළයි. සහායක සේවකයෙක් වෙන්න අවශ්‍ය සුදුසුකම් 1 තිමෝති 3:8-10, 12, 13 තියෙනවා.