Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවි එක්ක හවුලේ කරන සේවය අගයමු

යෙහෝවා දෙවි එක්ක හවුලේ කරන සේවය අගයමු

“අප දෙවිගේ හවුල් වැඩකරුවන්.”1 කොරි. 3:9.

1. වැඩ කරන එක ගැන යෙහෝවා දෙවිට හැඟෙන්නේ කොහොමද? ඒ නිසා ඔහු කරලා තියෙන්නේ මොකක්ද?

යෙහෝවා දෙවිට තමන් කරන වැඩ ගැන දැනෙන්නේ ලොකු සතුටක්. (ගීතා. 135:6; යොහ. 5:17) තමන් වගේම දේවදූතයනුත් මිනිස්සුත් වැඩ කරලා සතුටු වෙනවා දකින්නයි ඔහු කැමති. ඒ නිසා ඒ අයටත් තෘප්තියක් ලබන්න පුළුවන් වැඩ ඔහු භාර දීලා තියෙනවා. හැම දේම නිර්මාණය කරන්න ඔහු තමන්ගේ කුලුඳුල් පුත්‍රයාව හවුල් කරගත්ත එක ඒකට හොඳ උදාහරණයක්. (කොලොස්සි 1:15, 16 කියවන්න.) බයිබලේ යේසුස්ව හඳුන්වන්නේ දෙවිගේ “ප්‍රධාන සේවකයා” විදිහටයි.හිතෝ. 8:30.

2. අතීතයේ ඉඳන්ම දේවදූතයන්ට කරන්න වැදගත් කාර්යයන් දෙවි භාර දුන්නා කියලා අපි දන්නේ කොහොමද?

2 යෙහෝවා දෙවි දේවදූතයන්ට වැදගත් කාර්යයන් භාර දුන්නා කියලා බයිබලේ මුල ඉඳන් අගටම දකින්න තියෙනවා. දෙවි ආදම් සහ ඒවව ඒදන් උයනෙන් පිටමං කළාට පස්සේ දේවදූතයන්ට දුන්න වගකීමක් ගැන උත්පත්ති පොතේ මෙහෙම කියනවා. “දෙවි ජීවන වෘක්ෂයට යන මඟ මුර කරන පිණිස ඒදන් උයනේ නැඟෙනහිර පැත්තට වෙන්න කෙරුබ්වරුන්වද දැවෙමින් නොනැවතී කරකැවෙන කඩුවක්ද තැබුවේය.” (උත්. 3:24) ඔවුන්ට භාර දුන්න තවත් කාර්යයක් ගැන එළිදරව් පොතේ සඳහන් වෙන්නේ මෙහෙමයි. දෙවි “කෙටි කලකින් සිදු විය යුතු දේවල් තම දාසයන්ට පෙන්වීම සඳහා තම දූතයාව එව්වේය.”එළි. 22:6.

 මිනිසුන්ටත් වැඩ කොටසක්

3. පොළොවේ ඉද්දී යේසුස් තම පියාව ආදර්ශයට ගත්තේ කොහොමද?

3 පොළොවේ ඉන්න කාලෙදී කරන්න යෙහෝවා දෙවි යේසුස්ටත් වැඩ කොටසක් භාර දීලා තිබුණා. යේසුස් ඒක කළේ හරිම සතුටෙන්. තමන්ගේ පියා වගේම යේසුත් තම ගෝලයන්ට වැදගත් වැඩක් භාර දුන්නා. ඒ වැඩේ සතුටෙන්, උද්‍යෝගයෙන් කරන්න යේසුස් කියපු මේ වචන ඔවුන්ට උදව් වෙන්න ඇති. “ඇත්තෙන්ම මම ඔබට කියන්නේ, මා කෙරෙහි විශ්වාසය තබන තැනැත්තාත් මා කරන ක්‍රියා කරන බවයි. දැන් මම පියාණන් ළඟට යන නිසා ඒ තැනැත්තා මීටත් වඩා මහත් ක්‍රියා කරයි.” (යොහ. 14:12) ඔවුන්ට දුන්න වැඩේ කල් දාන්නේ නැතුව කරන්න ඕනෙ කියලා පෙන්නන්න ඔහු මෙහෙමත් කිව්වා. “තවමත් පවතින්නේ දිවා කාලයයි. ඒ කාලයේදී මාව එවූ තැනැත්තා පැවරූ වැඩ කොටස අප කළ යුතුයි. මන්ද කිසිවෙකුට වැඩ කළ නොහැකි රාත්‍රිය පැමිණෙයි.”යොහ. 9:4.

4-6. (අ) නෝවා සහ මෝසෙස් යෙහෝවා දෙවි දුන්න කාර්යයන් ඒ විදිහටම කරපු එක අපි අගය කරන්න ඕනෙ ඇයි? (ආ) දෙවි මිනිසුන්ට යම් කාර්යයන් භාර දෙන නිසා ලැබෙන ප්‍රතිඵල මොනවද?

4 අතීතයේ ඉඳන්ම යෙහෝවා දෙවි මිනිසුන්ට යම් කාර්යයන් භාර දීලා තිබුණා. තමන්ට භාර දීපු වැඩේ හරියට කරන්න ආදම්ටයි ඒවටයි බැරි වුණත් ඊටපස්සේ හිටපු හුඟක් අය දෙවි දීපු වැඩ කොටස හරියට කළා. (උත්. 1:28) නෝවා ඒ වගේ කෙනෙක්. ඔහුටත් ඔහුගේ පවුලේ අයටත් ළඟ එන විනාශයෙන් බේරෙන්න නැවක් හදන්න කියලා දෙවි නෝවාට කිව්වා. ඒක හදන විදහ ගැන එකින් එක කියලා දුන්නා. දෙවි කියපු විදිහටම නෝවා කරපු නිසයි අද අපිත් ජීවත් වෙන්නේ.උත්. 6:14-16, 22; 2 පේතෘ. 2:5.

5 ශුද්ධ කූඩාරම හදන්නත් පූජකයන්ගේ කාර්යයන් සංවිධානය කරන්නත් අවශ්‍ය හැම පුංචි විස්තරයක්ම දෙවි මෝසෙස්ට දුන්නා. ඔහුත් දෙවි කියපු විදිහටම කළා. (නික්. 39:32; 40:12-16) මෝසෙස් එහෙම කරපු එකෙන් අපිත් ප්‍රයෝජන ලබනවා. ඒ කොහොමද? පාවුල් කියපු විදිහට ශුද්ධ කූඩාරමෙන් සහ පූජකයන්ගේ කාර්යයෙන් ඉදිරියේදී සිද්ධ වෙන්න නියමිත දේවල් සංකේතවත් වුණා. දෙවි අනාගතයේදී අපි වෙනුවෙන් කරන්න යන දේවල් තේරුම්ගන්න ඒ හැම දෙයක්ම අපිට උදව් වෙනවා.හෙබ්‍රෙ. 9:1-5, 9; 10:1.

6 දෙවිගේ අරමුණ ක්‍රමානුකූලව ඉටු වෙද්දී ඔහුගේ සේවකයන්ට භාර දෙන වගකීම්ද ඒ අනුව වෙනස් වෙනවා. ඒත් තමන්ට මොන වගකීම භාර දුන්නත් ඒ දේ හරියට කරපු එකෙන් ඔවුන් දෙවිට ප්‍රශංසාවක් ගෙනාවා. මිනිසුන්ටත් ප්‍රයෝජන ලැබුණා. යේසුස් ගැන හිතන්න. ඔහු ස්වර්ගයේ හිටපු කාලෙදීත් පොළොවේ හිටපු කාලෙදීත් ඔහුට භාර දීලා තිබුණු කාර්යයන් තම උපරිමයෙන් කරපු නිසා දෙවිට ප්‍රශංසාව ලැබුණා වගේම මිනිසුන්ටත් හුඟක් ප්‍රයෝජන ලැබුණා. (යොහ. 4:34; 17:4) දෙවි අද අපිට භාර දීලා තියෙන වැඩේ මොකක් වුණත් ඒ දේ උපරිමයෙන් කරනවා නම් ඒකෙන් ප්‍රශංසාව ලැබෙන්නේ දෙවිටයි.මතෙ. 5:16; 1 කොරින්ති 15:58 කියවන්න.

භාර දෙන වැඩේ සතුටින් කරන්න

7, 8. (අ) අද අපිට තියෙන්නේ මොන වගේ වරප්‍රසාදයක්ද? (ආ) දෙවිගෙන් ලැබෙන මඟ පෙන්වීම් ගැන අපිට හැඟෙන්න ඕනෙ කොහොමද?

7 දෙවි එක්ක එකට වැඩ කරන්න අපි වගේ අසම්පූර්ණ මිනිසුන්ට අවස්ථාව ලැබිලා තියෙන එක ඇත්තටම වරප්‍රසාදයක්. (1 කොරි. 3:9) අදත් සමහරුන් නෝවා, මෝසෙස් කළා වගේ ඉදි කිරීම් වැඩවලට හවුල් වෙනවා. ඒ අය සමුළු ශාලා, නමස්කාර මධ්‍යස්ථාන, ශාඛා කාර්යාල හදන්න උදව් වෙනවා. ඔයා නමස්කාර මධ්‍යස්ථානය අලුත්වැඩියා කරන්න හවුල් වුණත් වෝර්වික්වල හදන සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ වැඩවලට හවුල් වුණත් ඒ දෙකම දෙවිට කරන පරිශුද්ධ සේවයක් කියලා මතක තියාගන්න. ඒක අගය කරන්න. (ලිපියේ මුල් පින්තූරය බලන්න. ඒක චිත්‍රයක් විතරයි.) ඒ වගේ ඉදි කිරීම් වැඩවලට හවුල් වෙන්න අවස්ථාව ලැබෙන්නේ අපෙන් සමහරුන්ට විතරයි. ඒත් වෙනත් විදිහේ ඉදි කිරීම් වැඩකට හවුල් වෙන්න අපි හැමෝටම අවස්ථාව තියෙනවා. ඒ තමයි දෙවි ගැන මිනිසුන්ගේ හිතේ විශ්වාසයක් ගොඩනඟන දේශනා කිරීමේ කාර්යය. ඒකෙන් දෙවිට ප්‍රශංසාවක් වගේම මිනිසුන්ට ප්‍රයෝජනත් ලැබෙනවා. (ක්‍රියා 13:47-49) අද ලෝකෙ පුරාම සිදු වෙන ඒ කාර්යයට අවශ්‍ය මඟ පෙන්වීම් දෙන්නේ දෙවිගේ සංවිධානයයි.

 8 දෙවිගේ සංවිධානයෙන් ලැබෙන ඒ මඟ පෙන්වීම් පිළිගන්න දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් හැම වෙලේම ආසාවෙන් ඉන්නවා. (හෙබ්‍රෙව් 13:7, 17 කියවන්න.) සමහරවිට අපිට භාර දීලා තිබුණු දේට වඩා වෙනස් දෙයක් නැත්නම් අලුත් දෙයක් කරන්න අපිට මඟ පෙන්වීමක් ලැබෙන්න පුළුවන්. ඒ ගැන හැම තොරතුරක්ම අපි දන්නේ නැති වුණත් ඒ මඟ පෙන්වීම් ලැබෙන්නේ යෙහෝවා දෙවිගෙන් නිසාත් ඒකෙන් හොඳ ප්‍රතිඵල ලැබෙනවා කියලා අපි දන්න නිසාත් අපි ඒවා ආසාවෙන් අදාළ කරගන්නවා.

9. වැඩිමහල්ලන් සභාවට තියන්නේ මොන වගේ ආදර්ශයක්ද?

9 සභාවේ පෙරමුණ අරගෙන වැඩ කරන විදිහෙන් තමන් දෙවිගේ මඟ පෙන්වීම් පිළිගන්න කොයි තරම් ආසද කියලා වැඩිමහල්ලන් පෙන්නනවා. (2 කොරි. 1:24; 1 තෙස. 5:12, 13) දේශනා සේවය කරන අලුත් විදි ඒගොල්ලෝ ඉක්මනින් අනුගමනය කරනවා. දුරකථනයෙන් සාක්ෂි දැරීම, වරායන්වල සාක්ෂි දැරීම, මහජනයා ගැවසෙන තැන්වල සාක්ෂි දැරීම වගේ ක්‍රම සංවිධානය කරන්න සමහර වැඩිමහල්ලන් මුලින් ටිකක් අදිමදි කළත් ලැබුණු මඟ පෙන්වීම් අදාළ කරගෙන ඒ ක්‍රම අත්හදලා බලපු නිසා හොඳ ප්‍රතිඵල ලැබිලා තියෙනවා. මේ අද්දැකීම බලන්න. වැඩිමහල්ලන්ගේ මඟ පෙන්වීමට අනුව ජර්මනියේ පුරෝගාමීන් හතරදෙනෙක් ව්‍යාපාර ස්ථාන තිබුණු ප්‍රදේශයක සේවය කරන්න තීරණය කළා. ඒ අය අතරේ හිටපු මයිකල් මෙහෙම කියනවා. “අවුරුදු ගාණකින් ව්‍යාපාර ස්ථානවල සේවය කරලා තිබුණේ නැති නිසා මුලින් පොඩි බයක් දැනුණා. ඒත් දෙවි අපිට උදව් කළා. එදා උදේ කරපු සේවයෙන් අපිට ලොකු සතුටක් දැනුණා. දෙවිව විශ්වාස කරලා ‘රාජ්‍ය සේවාවේ’ තිබුණු මඟ පෙන්වීම් අදාළ කරගත්ත එක කොච්චර වටිනවද!” දේශනා කරන්න සංවිධානයෙන් දෙන අලුත් මඟ පෙන්වීම් ඔයාත් අත්හදා බලනවද?

10. සංවිධානය පහුගිය අවුරුදු කීපයේදී කරලා තියෙන්නේ මොන වගේ වෙනස්කම්ද?

10 සමහර කාලවලදී බෙතෙල් නිවාසවලත් යම් වෙනස්කම් කරනවා. උදාහරණෙකට පහුගිය අවුරුදු කීපයේදී සමහර ශාඛා කාර්යාල වහලා ඒවායේ වැඩ වෙනත් රටවල තියෙන ශාඛා කාර්යාලවලට භාර දුන්නා. ඒ වගේ ශාඛා කාර්යාලවල සේවය කරපු අයට හුඟක් වෙනස්කම් කරගන්න සිද්ධ වුණා. ඒත් ඒකෙන් හොඳ ප්‍රතිඵල ලැබෙනවා කියලා ඔවුන් අද්දැක්කා.දේශ. 7:8.

11-13. සමහරුන්ට මුහුණ දෙන්න වුණේ මොන වගේ වෙනස්කම්වලටද?

11 ඒ වගේ වෙනස්කම්වලට මුහුණ දීපු අයගෙන් වැඩිදෙනෙක් තමන්ගේ රටේ ශාඛා කාර්යාලයේ දශක ගාණක් සේවය කරපු අයයි. තමන්ගේ ශාඛා කාර්යාලයේ වැඩ මෙක්සිකෝවේ ශාඛා කාර්යාලයට භාර දුන්නට පස්සේ එහේ සේවය කරන්න රොජෙලියෝටත් එයාගේ බිරිඳටත් පැවරුමක් ලැබුණා. මෙක්සිකෝවේ බෙතෙල් පවුල කලින් හිටපු බෙතෙල් පවුලට වඩා 30 ගුණයක් විතර ලොකුයි. “පවුලේ අයවයි යාළුවන්වයි දාලා යන එක අපිට හරි අමාරු වුණා” කියලා රොජෙලියෝ කියනවා. මෙක්සිකෝවේ බෙතෙල් එකට මාරු කරපු ක්වාන්ට දැනුණේ ජීවිතේ අලුතෙන් පටන්ගන්න වුණා වගේ හැඟීමක්. “මෙහෙට ආවට පස්සේ අලුත් යාළුවෝ හොයාගන්න වුණා. අලුත් සිරිත් විරිත්වලට හුරු වෙන්න විතරක් නෙමෙයි හිතන විදිහත් වෙනස් කරගන්න වුණා” කියලා ඔහු කියනවා.

12 යුරෝපයේ තිබුණු සමහර ශාඛා කාර්යාලවල වැඩ ජර්මනියේ ශාඛා කාර්යාලය යටතට ගෙනාවම ඒ රටවල හිටපු හුඟක් බෙතෙල් සාමාජිකයන්ට එහෙට යන්න වුණා. තමන්ට හුරුපුරුදු රට අත්හැරලා යන එක ලේසි දෙයක් නෙමෙයි. ස්විට්සර්ලන්තය වගේ ලස්සන පරිසරයක හැදුණු වැඩුණු අයට ඒ රට දාලා යන එක අමාරු වුණා. පුංචි බෙතෙල් පවුලක ඉන්න හැමෝම වගේ එකිනෙකාට කිට්ටුයි. ඒ වගේ පවුලක් අත්හැරලා ලොකු බෙතෙල් පවුලකට යන්න වුණු එක ඔස්ට්‍රියාවේ අයට ලොකු අභියෝගයක් වුණා.

13 ඒ අයට ඉන්න වෙන්නේ අලුත් තැනක. වැඩ කරන්න වෙන්නෙත් අලුත් අය එක්ක. ඒ වගේම බෙතෙල් එකේ කරන්න වෙන පැවරුමත් වෙනස්. යන්න වෙන්නේ අලුත් සභාවකට. සේවය කරන්න වෙන්නෙත් අලුත් ප්‍රදේශයක. සමහරවිට අලුත් භාෂාවක් ඉගෙනගන්නත් වෙනවා. ඒවාට හුරු වෙන එක ලේසි නැහැ. ඒත් හුඟක් අය ඒ වෙනස්කම්වලට හුරු වෙලා දිගටම  සේවය කරනවා. ඒ ඇයි කියලා ඒගොල්ලන්ගෙන්ම අහලා බලමු.

14, 15. (අ) වැඩේ මොකක් වුණත් දෙවි එක්ක හවුලේ වැඩ කරන්න ලැබිලා තියෙන අවස්ථාව අගය කරනවා කියලා හුඟදෙනෙක් පෙන්නලා තියෙන්නේ කොහොමද? (ආ) ඒ අය අපිට ආදර්ශයක් වෙන්නේ කොහොමද?

14 ග්‍රේට්ල් මෙහෙම කියනවා. “මට වැඩියෙන් වටින්නේ සේවය කරන රටවත්, තැනවත් නෙමෙයි. මං සේවය කරන්නේ යෙහෝවාට ආදරේ නිසයි. වෙන රටකට ගිහින් සේවය කරන්න ලැබුණු පැවරුම ඒක ඔප්පු කරන්න මට හොඳ අවස්ථාවක් වුණා.” “මට මේ පැවරුම ලැබුණේ යෙහෝවා දෙවිගෙන් කියලා මං මතක් කරගත්තා. ඒක මට උදව් වුණා පැවරුම සතුටින් භාරගන්න” කියලා ඩේස්කා කියනවා. ඔන්ඩ්‍රේ සහ ගාබ්‍රියෙලා කියන්නේ මෙහෙමයි. “අපේ ආසාවන් පැත්තකට දාලා දෙවිට සේවය කරන්න අපිට ලැබුණු තවත් හොඳ අවස්ථාවක් හැටියටයි අපි අලුත් පැවරුම දැක්කේ.” දෙවිගේ සංවිධානය යම් වෙනස්කම් කරද්දී ඒවා පිළිගන්න අදිමදි කරනවා වෙනුවට ඒ වෙනස්කම්වලට අනුව හැඩගැහෙන එක තමයි හොඳම දේ කියලා ඔවුන් විශ්වාස කරනවා.

යෙහෝවා දෙවි භාර දීලා තියෙන කාර්යය කරන එක අපිට ලැබිලා තියෙන ලොකුම වරප්‍රසාදයයි!

15 ශාඛා කාර්යාල කීපයක වැඩ එක තැනකට ගද්දී සමහර බෙතෙල් සේවකයන්ට පුරෝගාමි සේවය කරන්න පැවරුම් ලැබුණා. ඩෙන්මාර්කයේ, නෝර්වේවල සහ ස්වීඩනයේ හිටපු හුඟක් බෙතෙල් සේවකයන්ව ඒ විදිහට පුරෝගාමි සේවය කරන්න යැව්වා. ඒ අය අතර හිටපු ෆ්ලෝරියන් සහ ආන්යා මෙහෙම කියනවා. “අලුත් පැවරුම අපි දකින්නේ අභියෝගයක් හැටියට නෙමෙයි ජීවිතේට අලුත් අද්දැකීමක් හැටියටයි. අපි කොහේ සේවය කළත් දෙවි එක්ක හවුලේ වැඩ කරන්න අපිට අවස්ථාව තියෙනවා කියන හැඟීමම අපිට ඇති.” ඇත්ත, අපෙන් හුඟදෙනෙකුට ඒ වගේ වෙනස්කම්වලට මුහුණ දෙන්න වෙලා නැතුව ඇති. ඒත් ඒ සහෝදර සහෝදරියන්ව ආදර්ශයට අරන් දේවරාජ්‍යයට මුල් තැන දෙන්න අපිටත් පුළුවන්. (යෙසා. 6:8) කොහේ සේවය කළත් යෙහෝවා දෙවි එක්ක හවුලේ වැඩ කරන්න ලැබිලා තියෙන අවස්ථාව අගය කරන හැමෝටම දෙවි ආශීර්වාද කරනවා.

දෙවි එක්ක වැඩ කරන්න තියෙන අවස්ථාව අගය කරන්න

16. (අ) ගලාති 6:4 අපිට කරන්න කියන්නේ මොකක්ද? (ආ) අපිට ලැබිලා තියෙන ලොකුම වරප්‍රසාදය මොකක්ද?

16 අසම්පූර්ණ පුද්ගලයන් විදිහට අපි හැම තිස්සෙම පෙලඹෙන්නේ අපිව අනිත් අයත් එක්ක සසඳන්නයි. ඒත් බයිබලේ කියන්නේ  අපිට පුද්ගලිකව කරන්න පුළුවන් දේ ගැන හිතන්න කියලයි. (ගලාති 6:4 කියවන්න.) අපි හැමෝටම වැඩිමහල්ලන්, පුරෝගාමීන්, මිෂනාරිවරුන්, බෙතෙල් සේවකයන් වෙන්න බැහැ. ඒවා ගොඩක් වටින වරප්‍රසාදයන් තමයි. ඒ වුණත් අපි හැමෝටම මේ ලෝකෙ තියෙන ලොකුම වරප්‍රසාදය ලැබිලා තියෙනවා. ඒ තමයි යෙහෝවා දෙවිත් එක්ක හවුලේ වැඩ කරමින් දේශනා කරන්න ලැබිලා තියෙන වරප්‍රසාදය. ඒක අපි අගය කරමු.

17. අවසාන කාලෙදී අපිට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ මොනවටද? ඒත් අපි අධෛර්යය වෙන්න හොඳ නැත්තේ ඇයි?

17 මේ අවසාන කාලෙදී අපිට තියෙන පවුල් වගකීම්, අසනීප වගේ දේවල් නිසා අපි කැමති විදිහටම දෙවිට සේවය කරන්න අපිට බැරිවෙයි. ඒ වුණත් අපි අධෛර්යය වෙන්න හොඳ නැහැ. මොන ප්‍රශ්න ගැටලු තිබුණත් යෙහෝවා දෙවි ගැනත් ඔහුගේ රාජ්‍යය ගැනත් දේශනා කරන්න අපිට පුළුවන්. වැදගත් වෙන්නේ අපිට පුළුවන් උපරිමයෙන් ඒ දේ කරන අතරේ අපිට වඩා වැඩි සේවයක් කරන්න පුළුවන් අයට උදව් කරන්න කියලා දෙවිට යාච්ඤා කරන එකයි. දෙවිගේ නමට ප්‍රසංශා කරන හැමෝම දෙවිට හුඟක් වටිනවා.

18. අනාගතයේදී අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද? අපිට ලැබිලා තියෙන්නේ මොන වරප්‍රසාදයද?

18 අපි පව්කාරයන් වුණත් තමන් එක්ක හවුලේ වැඩ කරන්න දෙවි අපිව තෝරගෙන තියෙනවා. මේ අවසාන දවස්වල දෙවි එක්ක වැඩ කරන්න ලැබුණු ඒ අවස්ථාව කොයි තරම් වටිනවද! අපේ බලාපොරොත්තුව අනාගතයේදී අපිට ලැබෙන “සැබෑ ජීවිතය” සතුටින් ගත කරන්නයි. ඒ කාලෙදී අපි හැමෝටම සතුටින්, සදාකාලයටම ජීවත් වෙන්න දෙවි ආශීර්වාද කරනවා.1 තිමෝ. 6:18, 19.

ඔයා ඒ වරප්‍රසාදය අගය කරනවද? (16-18 ඡේද බලන්න)

19. දෙවි අපිට පොරොන්දු වෙලා තියෙන්නේ මොන වගේ අනාගතයක්ද?

19 එදා ඊශ්‍රායෙල්වරුන් පොරොන්දු දේශයට ඇතුල් වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී මෝසෙස් කියපු මේ වචන පාරාදීසය පේන මානයේ ඉන්න අපිටත් ලොකු දිරිගැන්වීමක්. “යෙහෝවා දෙවිගේ ආශීර්වාද ඔබට ලැබෙන නිසා ඔබ කරන සෑම දෙයක්ම ඔබ සිතනවාටත් වඩා සාර්ථක වෙයි.” (ද්වි. 30:9) හර්–මගෙදොන් යුද්ධයෙන් පස්සේ දෙවි ඔහුත් එක්ක හවුලේ වැඩ කරන අයට මේ පොළොව උරුමයක් හැටියට දෙනවා. එතකොට අපි හැමෝටම තියෙන පැවරුම මේ පොළොව ලස්සන පාරාදීසයක් කරන එකයි.