Skip to content

පටුනට යන්න

ඇයි අපි ශුද්ධව ඉන්න ඕනේ?

ඇයි අපි ශුද්ධව ඉන්න ඕනේ?

“ඔබ ශුද්ධව සිටිය යුතුයි.”—ලෙවී. 11:45.

1. ලෙවී කතාව පොතේ තියෙන තොරතුරු අපිට වැදගත් වෙන්නේ ඇයි?

යෙහෝවා දෙවි ඔහුට සේවය කරන හැම කෙනෙක්ගෙන්ම ශුද්ධව ඉන්න එක බලාපොරොත්තු වෙනවා. ශුද්ධව ඉන්න එක ගැන බයිබලේ හැම පොතකම කතා කරලා තිබුණත් ඒ ගැන වැඩිපුරම සඳහන් වෙන්නේ ලෙවී කතාව පොතේ. ඒ පොතේ තියෙන දේවල් හොඳට තේරුම් අරන් ඒවා ගැන අපේ හිතේ අගයක් ඇති කරගන්නවා නම් දෙවි බලාපොරොත්තු වෙන විදිහට ශුද්ධව ඉන්න අපිටත් පුළුවන්.

2. ලෙවී කතාව පොතේ තියෙන්නේ මොන වගේ තොරතුරුද?

2 ලෙවී කතාව පොත ලිව්වේ මෝසෙස්. ඒක ‘ඉගැන්වීමට ප්‍රයෝජනවත් මුළු ශුද්ධ ලියවිල්ලටම’ අයිති පොතක්. (2 තිමෝ. 3:16) මේ පොතේ හැම පරිච්ඡේදයකම දෙවිගේ නම දහ වතාවක් විතර සඳහන් වෙනවා. අපි ලෙවී කතාව පොත හොඳට අධ්‍යයනය කරනවා නම් දෙවිගේ නමට අගෞරවයක් වෙන කිසිම දෙයක් නොකරන්න අපි තුළ තියෙන අධිෂ්ඨානය තවත් වැඩි වෙයි. (ලෙවී. 22:32) “මා යෙහෝවා දෙවිය” කියන යෙදුම මේ පොතේ නිතර නිතර සඳහන් වෙනවා. ඒක දෙවිට කීකරුව ඉන්න අපිට කරන මතක් කිරීමක් වගේ. මේ ලිපියෙත් ඊළඟ ලිපියෙත් අපි ලෙවී කතාව පොතේ තියෙන වටිනා අදහස් කීපයක් හොයලා බලමු. දෙවි බලාපොරොත්තු වෙන විදිහේ පවිත්‍ර නමස්කාරයක් කරන්න ඒක අපිට උදව් වෙයි.

ශුද්ධව ඉන්න එක අත්‍යවශ්‍යයි

3, 4. ආරොන්ව සහ ඔහුගේ පුත්‍රයන්ව පවිත්‍ර කරපු එකෙන් නියෝජනය කළේ මොකක්ද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

3 ලෙවී කතාව 8:5, 6 කියවන්න. යෙහෝවා දෙවි ආරොන්ව උත්තම පූජකයා විදිහටත් ආරොන්ගේ පුත්‍රයන්ව පූජකයන් විදිහටත් පත් කළා. ආරොන්ගෙන් නියෝජනය වුණේ යේසුස්වයි. ඔහුගේ පුත්‍රයන්ගෙන් නියෝජනය වුණේ අභිෂේක ලත් අයවයි. ආරොන්ව සෝදා පවිත්‍ර කරපු එකෙන් අදහස් කළේ යේසුස්වත් පවිත්‍ර කරන්න ඕන වුණා කියන එකද? නැහැ. යේසුස්ට පාපය උරුම වෙලා තිබුණේ නැහැ. ඔහු කිසිම “කැළැලක් රහිත” කෙනෙක්. (හෙබ්‍රෙ. 7:26; 9:14) ඒ නිසා ආරොන්ව සෝදා පවිත්‍ර කරපු එක යේසුස්ට අදාළ වෙන්නේ නැහැ. ආරොන්ගෙන් පවිත්‍ර, ධර්මිෂ්ඨ යේසුස්ව නියෝජන වුණේ ඔහුව සෝදා පවිත්‍ර කළාට පස්සෙයි.

4 ආරොන්ගේ පුත්‍රයන්ව සෝදා පවිත්‍ර කරපු එකෙන් නියෝජනය කරන්නේ ස්වර්ගයේ පූජකයන් විදිහට සේවය කරන්න තෝරගත්ත අයව පවිත්‍ර කිරීමයි. ඒක සිද්ධ වුණේ ඔවුන් බව්තීස්ම වුණු වෙලාවේදීද? නැහැ. මොකද කෙනෙක් බව්තීස්ම වෙද්දී ඒකෙන් සංකේතවත් කරන්නේ ඒ කෙනා දෙවිට කැප වෙලා කියන එක මිසක් ඔහුට උරුම වෙලා තියෙන පාපය අයින් වෙනවා කියන එක නෙමෙයි. ඒ වෙනුවට අභිෂේක ලත් අයව පවිත්‍ර කරන්නේ “දේවවචනය නමැති වතුරෙන්.” (එෆී. 5:25-27) දේවචනයේ ඇතුළත් වෙන යේසුස්ගේ ඉගැන්වීම් ඔවුන් තමන්ගේ ජීවිතවලට අදාළ කරගන්න එක අත්‍යවශ්‍යයි. එතකොට ශුද්ධව ඉන්න ඔවුන්ට පුළුවන් වෙනවා. ‘වෙනත් බැටළුවන්ටත්’ ඒ පවිත්‍ර වීම අදාළ වෙනවද?—යොහ. 10:16.

5. දේවවචනයෙන් වෙනත් බැටළුවන්වත් පවිත්‍ර කරනවා කියලා කියන්නේ ඇයි?

5 ආරොන්ගේ පුත්‍රයන්ගෙන් “මහත් සමූහය” නියෝජනය කළේ නැහැ. (එළි. 7:9) ඒත් දේවවචනය නිසා ඔවුන්ටත් පවිත්‍ර, ශුද්ධ අය වෙන්න පුළුවන්. යේසුස්ගේ ජීවිත පූජාවේ වටිනාකම ගැන ශුද්ධ ලියවිල්ලෙන් ඉගෙනගද්දී ඒ ගැන ඔවුන් තුළ ලොකු විශ්වාසයක් ඇති වෙනවා. ඒ විශ්වාසය නිසා යෙහෝවා දෙවිට “දිවා රෑ දෙකෙහි” සේවය කරන්න ඔවුන් පෙලඹෙනවා. (එළි. 7:13-15) දේවවචනයෙන් අභිෂේක ලත් අයවත් වෙනත් බැටළුවන්වත් පවිත්‍ර කිරීම දිගටම සිද්ධ වෙනවා. ඔවුන්ගේ හැසිරීම දිගටම පවිත්‍රව තියෙන එක ඒකට කදිම සාක්ෂියක්. (1 පේතෘ. 2:12) තමන්ගේ සෙනඟ ඔවුන්ගේ එඬේරා වන යේසුස්ට කීකරු වෙමින් ශුද්ධව, එක්සත්ව ජීවත් වෙනවා දකිද්දී යෙහෝවා දෙවි හුඟක් සතුටු වෙනවා.

6. අපි නිතරම අපිවම සෝදිසි කරලා බලන්න ඕනෙ ඇයි?

6 ඊශ්‍රායෙලයේ හිටපු පූජකයන් තමන්ව සෝදා පවිත්‍ර කරගත්ත එකෙන් අපිට ගන්න පුළුවන් පාඩම මොකක්ද? අපි එක්ක බයිබලේ පාඩම් කරන හුඟක් අය අපි පවිත්‍රව, පිළිවෙළකට දේවල් කරන හැටිත් අපේ නමස්කාර මධ්‍යස්ථාන පිරිසිදුව තියෙන හැටිත් දැකලා ඒ ගැන අගය කරනවා. ඒ දේවලට අමතරව දෙවිට සේවය කරන අය විදිහට අපිට “පිරිසිදු සිතක්” තියෙන්නත් ඕනේ. (ගීතාවලිය 24:3, 4 කියවන්න; යෙසා. 2:2, 3.) ඒ කියන්නේ අපේ ශරීර පිරිසිදුව තියෙන්න ඕන වගේම අපේ සිතුවිලි, චේතනා පවිත්‍ර වෙන්න ඕනෙ කියන එකයි. ඒවා පවිත්‍රද කියලා අපි නිතරම හොයලා බලන්න ඕනේ. ශුද්ධව ඉන්න නම් ජීවිතේ ලොකු වෙනස්කම් කරගන්න ඕනෙ කියලා එහෙම හොයලා බලද්දී සමහරුන්ට තේරෙයි. (2 කොරි. 13:5) උදාහරණෙකට බව්තීස්ම වුණු කෙනෙක් කාමුක දර්ශන බලන්න පුරුදු වෙලා ඉන්නවා කියලා හිතන්න. ‘මං ඇත්තටම ශුද්ධව ඉන්නවද’ කියලා ඒ කෙනා තමන්ගෙන්ම අහලා බලන්න ඕනේ. ඊටපස්සේ ඒ පිළිකුල් පුරුද්ද අත්හරින්න උදව් ගන්න ඕනේ.—යාකො. 5:14.

ශුද්ධව ඉන්න කීකරුකම උදව්වක්

7. ලෙවී කතාව 8:22-24 සඳහන් දේට සමාන දෙයක් යේසුස් කළේ කොහොමද?

7 ආරොන්වත් ඔහුගේ පුත්‍රයන්වත් පූජකයන් හැටියට පත් කරපු වෙලාවේ පිරිමි බැටළුවෙකුගේ ලේ අරන් ඔවුන්ගේ දකුණු කන් පෙත්තෙත් දකුණතේ මාපටැඟිල්ලෙත් දකුණු කකුලේ මාපටැඟිල්ලෙත් ගෑවා. (ලෙවී කතාව 8:22-24 කියවන්න.) ඒ අවස්ථාවේ ලේ යොදාගත්ත විදිහෙන් යමක් පෙන්නුම් කළා. ඒ තමයි පූජකයන් විදිහට ඔවුන්ට භාර දුන්න වගකීම ඔවුන් දිගටම කීකරුව කරනවා කියන එක. උත්තම පූජකයා වන යේසුත් ඒ දේ කළා. ඒ කොහොමද? ඔහු දෙවිගේ මඟ පෙන්වීම්වලට ඇහුම්කන් දුන්නා. දෙවිගේ කැමැත්ත කළා. ශුද්ධ මාර්ගයේ ගමන් කළා. ඒ විදිහට අභිෂේක ලත් අයටත් වෙනත් බැටළුවන්ටත් ඔහු ආදර්ශයක් වුණා.—යොහ. 4:31-34.

8. අපි හැමෝම කරන්න ඕනෙ මොනවද?

8 දෙවිගේ සේවකයන් විදිහට අපිත් යේසුස්ව ආදර්ශයට ගන්න ඕනේ. බයිබලේ තියෙන දෙවිගේ හැම මඟ පෙන්වීමකටම කීකරු වෙන්න ඕනේ. එහෙම කළොත් “දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය දැක දැකත් ඊට විරුද්ධව ක්‍රියා කරමින් දෙවිට දුක් නොදෙන්න” අපිට පුළුවන්. (එෆී. 4:30) අපේ පාද දෙවිගේ මාවතෙන් ඉවතට නොගන්න අධිෂ්ඨාන කරගමු.—හෙබ්‍රෙ. 12:13.

9. සහෝදරයන් 3දෙනෙක් කිව්වේ මොන වගේ අදහස්ද? ඒ දේවල් ශුද්ධව ඉන්න ඔයාට උදව් වෙන්නේ කොහොමද?

9 පාලක මණ්ඩලයේ සහෝදරයන් එක්ක අවුරුදු ගාණක් කිට්ටුවෙන් වැඩ කරන සහෝදරයන් 3දෙනෙක් කියපු දේවල් දැන් අපි බලමු. එක සහෝදරයෙක් මෙහෙම කියනවා. “ඒ අය එක්ක කිට්ටුවෙන් වැඩ කරන්න ලැබිලා තියෙන පැවරුම මට හුඟක් වටිනවා. අභිෂේක ලත් අය වුණත් අසම්පූර්ණ අය නිසා ඒගොල්ලෝ අතිනුත් සමහර වෙලාවට අඩුපාඩු වෙනවා. ඒත් ගත වුණු අවුරුදු ගාණ පුරාම මට ඕන වුණේ මූලිකත්වය අරන් වැඩ කරන ඒ අයට කීකරුව ඉන්නයි.” දෙවෙනි සහෝදරයා මෙහෙම කියනවා. “මූලිකත්වය අරන් වැඩ කරන සහෝදරයන්ට හදවතින්ම කීකරුව ඉන්න 2 කොරින්ති 10:5 වගේ පද මට උදව් වුණා.” තුන්වෙනි සහෝදරයා කියන්නේ මෙහෙමයි. “දෙවි ප්‍රිය කරන දේවලට ප්‍රිය කරන්නත් පිළිකුල් කරන දේවලට පිළිකුල් කරන්නත් දිගටම ඔහුගේ මඟ පෙන්වීම් පතන්නත් ඔහු සතුටු වෙන විදිහට ජීවත් වෙන්නත් මං හුඟක් කැමතියි. ඒක කරන්න මට පුළුවන් ප්‍රධානම විදිහ තමයි දෙවිගේ සංවිධානයටත් මූලිකත්වය ගන්න දෙවි පත් කරලා තියෙන අයටත් කීකරු වෙන එක.” ඔහු පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වුණු සහෝදර නේතන් නෝර්ගේ ආදර්ශය ගැන නිතරම මතක් කරගන්නවා. 1925 ‘මුරටැඹ’ සඟරාවේ පළ වුණු “ජාතියක උපත” කියන ලිපියේ තිබුණු අදහස් පිළිගන්න සහෝදරයන් හුඟදෙනෙක් අකමැති වුණත් සහෝදර නෝර් ඒ අදහස් පිළිගත්තා. එදා ඔහු පෙන්නපු ඒ කීකරුකම තමන්ට ලොකු ආදර්ශයක් වුණා කියලා ඒ සහෝදරයා කියනවා. ඔවුන් තුන්දෙනා කියපු අදහස් ගැන හොඳට හිතලා බැලුවොත් දෙවිට කීකරුව, දිගටම ශුද්ධව ඉන්න අපිටත් පුළුවන්.

ලේ ගැන දෙවිගේ නීතියට මුළු හිතින්ම කීකරු වෙමු

10. ලේ ගැන දෙවිගේ නීතියට කීකරු වෙන එක කොච්චර වැදගත්ද?

10 ලෙවී කතාව 17:10 කියවන්න. “මොනම ආකාරයකින් හෝ ලේ” කෑමට ගන්න එපා කියලා යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට අණ කරලා තිබුණා. මිනිසුන්ගෙත් සතුන්ගෙත් ලේවලින් වළකින්න කියලා දෙවි ක්‍රිස්තියානීන්ටත් අණ කරලා තියෙනවා. (ක්‍රියා 15:28, 29) යෙහෝවා දෙවි අපිව ප්‍රතික්ෂේප කරන්න, ඔහුගේ සභාවෙන් අපිව ඈත් කරලා දාන්න හේතු වෙන දෙයක් කරන එක තරම් වේදනාකාරී අද්දැකීමක් තවත් නැහැ. අපි යෙහෝවා දෙවිට හුඟක් ආදරේ කරන නිසා අපිට ඕනෙ ඔහුට කීකරු වෙන්නයි. දෙවිව දන්නේ නැති, දෙවිට ආදරේ නැති අය ලේ ගැන දෙවිගේ නීතියට අකීකරු වෙන්න කියලා අපිට හුඟක් බලපෑම් කරයි. අපේ ජීවිතේ අනතුරේ තිබුණත් දෙවිට අකීකරු වෙන්න අපි කොහොමටවත් කැමති නැහැ. ලේ ගන්නේ නැහැ කියලා සමහරු අපිට සමච්චල් කරයි. ඒත් දෙවිට කීකරු වෙන එකයි අපිට වැදගත්. (යූද් 17, 18) ලේවලින් වළකින්න අපිට තියෙන අධිෂ්ඨානය තවත් ශක්තිමත් කරගන්න අපිට උදව් වෙන්නේ මොනවද?—ද්වි. 12:23.

11. සමඟි වීමේ දවසේදී කරපු දේවල් නිකම්ම වත්පිළිවෙත් නෙමෙයි කියලා කියන්නේ ඇයි?

11 යෙහෝවා දෙවි රුධිරය ගැන සලකන විදිහ තේරුම්ගන්න අවුරුද්දකට වතාවක් සමඟි වීමේ දවසේදී උත්තම පූජකයා කරපු දෙයක් අපිට උදව් වෙනවා. ඒ කාලේ ලේ යොදාගත්තේ යම් විශේෂ දේකට විතරයි. ඒ ඊශ්‍රායෙල්වරුන් කරපු පව්වලට සමාව ලබාගෙන දෙවි එක්ක දිගටම කිට්ටු බැඳීමක් තියාගන්නයි. උත්තම පූජකයා වස්සෙක්ගේ සහ එළුවෙක්ගේ ලේ ගිවිසුම් පෙට්ටියේ ආවරණය ඉදිරියේ ඉස්සා. (ලෙවී. 16:14, 15, 19) ඒ රුධිරය නිසා ඊශ්‍රායෙල්වරු කරපු පව්වලට යෙහෝවා දෙවි සමාව දුන්නා. ඒ වගේම කෙනෙක් කෑමට ගන්න සතෙක්ව මරනවා නම් උගේ ලේ පොළොවට වත් කරලා ඒක පස්වලින් වහන්න කියලා දෙවි කිව්වා. මොකද “පණ ඇති සියල්ලන්ගේ ජීවය රැඳී තිබෙන්නේ ලේවලය.” (ලෙවී. 17:11-14) ඒ ආඥා කිසි වැදගැම්මකට නැති වත්පිළිවෙත් නෙමෙයි. ඊට අවුරුදු සිය ගාණකට කලින් ලේ කන්න එපා කියලා දෙවි නෝවාටත් ඔහුගෙන් පැවතෙන්නන්ටත් කිව්වා.—උත්. 9:3-6.

12. සමාව ලබාගැනීම සහ ලේ අතර තියෙන සම්බන්ධය ගැන පාවුල් කිව්වේ මොනවද?

12 පවිත්‍ර කිරීම සහ ලේ අතර තියෙන සම්බන්ධය ගැන පාවුල් කිව්වේ මෙහෙමයි. “නීතියට අනුව සෑම දෙයක්ම පාහේ පවිත්‍ර කරනු ලබන්නේ ලේ මාර්ගයෙනි. ඒ අනුව ලේ වැගිරීමක් සිදු වන්නේ නැත්නම් පව්වලට සමාවක් ලැබෙන්නේද නැත.” (හෙබ්‍රෙ. 9:22) සත්ව පූජා නිසා ඊශ්‍රායෙල්වරුන්ගේ පව්වලට සමාව ලැබුණත් ඔවුන් අතින් වරදක් සිද්ධ වුණු හැම අවස්ථාවකම පූජාවක් ඔප්පු කරන්න සිද්ධ වුණා. ඒ නිසා තමන් පව්කාරයන් කියලත් තමන්ගේ පව්වලට සදහටම සමාව ලබාගන්න නම් ඊට වඩා වටින පූජාවක් අවශ්‍යයි කියලත් සත්ව පූජා ඔප්පු කරන හැම වතාවකම ඊශ්‍රායෙල්වරුන්ට සිහිගැන්වුවා. “නීතිය සැබෑ දේ බව කිව නොහැක. එය සැබෑ දෙයෙහි ඡායාවක් පමණි. එය අපට දෙනු ලැබුවේ ඉදිරියේදී පැමිණෙන වඩාත් හොඳ දේවල් පිළිබඳ යම් අදහසක් අපට ලබා දීම සඳහාය” කියලා පාවුල් කිව්වේ ඒ නිසයි. (හෙබ්‍රෙ. 10:1-4) එහෙමනම් පව්වලට සම්පූර්ණ සමාවක් ලැබෙන්නේ කොහොමද?

13. නැවත නැඟිටීමෙන් පස්සේ යේසුස් ස්වර්ගයට ගිහින් දෙවි ඉදිරියේ පෙනී හිටිපු එක ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද?

13 එෆීස 1:7 කියවන්න. යේසුස් ඔහුගේ ජීවිතේ පූජා කළේ සියලුම මිනිසුන් වෙනුවෙන්. ඒ පූජාව නිසා යේසුස්ටත් ඔහුගේ පියාටත් ආදරේ කරන අයගේ ජීවිතවලට ලොකු බලාපොරොත්තුවක් ලැබුණා. (ගලා. 2:20) ඒ වුණත් අපේ පව්වලට සමාව ලබාගන්න පුළුවන් වුණේ යේසුස්ව නැවත නැඟිටෙව්වට පස්සේ ඔහු කරපු දේ නිසයි. ඒ දේ සමඟි වීමේ දවසේ සිද්ධ වුණු දේට සමානයි. එදා උත්තම පූජකයා ලේ අරන් අතිශුද්ධස්ථානයට ඇතුල් වුණා. ඒක හරියට දෙවි ඉදිරියට ගියා වගේ. ඊටපස්සේ ඔහු ඒ ලේ දෙවිට ඔප්පු කළා. (ලෙවී. 16:11-15) යේසුස් කළෙත් ඒ දේමයි. නැවත නැඟිටීමෙන් පස්සේ ඔහු ස්වර්ගයට ගිහින් දෙවි ඉදිරියේ පෙනී හිටියා. ඔහුගේ පරිපූර්ණ මිනිස් ජීවිතය පූජා කරලා වගුරවපු රුධිරයේ වටිනාකම මිනිසුන් වෙනුවෙන් යොදාගන්න දෙවිට පුළුවන් වුණේ එතකොටයි. (හෙබ්‍රෙ. 9:6, 7, 11-14, 24-28) යේසුස් වගුරපු රුධිරය ගැන විශ්වාසය තියද්දී අපේ පව්වලට සමාව ලැබෙනවා. ඒ වගේම නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව ඉන්නත් අපිට පුළුවන්. ඒක මොන තරම් වටින වරප්‍රසාදයක්ද!

14, 15. ලේ ගැන දෙවි දීලා තියෙන නීතිය තේරුම් අරන් ඒකට කීකරු වෙන එක වැදගත් ඇයි?

14 කිසිම ආකාරයකින් ලේ ආහාරයට ගන්න එපා කියලා යෙහෝවා දෙවි ආඥාවක් දුන්නේ ඇයි කියලා දැන් ඔයාට පැහැදිලි ඇති. (ලෙවී. 17:10) දෙවි රුධිරය හුඟක් පරිශුද්ධ දෙයක් විදිහට සලකන්නේ ඇයි කියලා ඔයාට තේරුණාද? ඒකට හේතුව ලේවලින් ජීවිතය නියෝජනය කරන නිසයි. (උත්. 9:4) දෙවි රුධිරය අනර්ඝ දෙයක් විදිහ සලකනවා වගේ අපිත් ඒක අනර්ඝ දෙයක් විදිහට සලකන්න ඕනේ. ලේ කොහොමටවත් ශරීරගත කරගන්න එපා කියලා ඔහු දීලා තියෙන නීතියට අපි කීකරු වෙන්න ඕනේ. යේසුස්ගේ ජීවිත පූජාව ගැන විශ්වාසය තියෙන එකත් අපේ නිර්මාතෘ වන දෙවිට රුධිරය හුඟක් වටිනවා කියන දේ තේරුම් අරන් වැඩ කරන එකත් අත්‍යවශ්‍යයි. එහෙම කරනවා නම් විතරයි අපිට දෙවිගේ අනුමැතිය ලබාගන්න පුළුවන් වෙන්නේ.—කොලො. 1:19, 20.

15 අපි නොහිතන වෙලාවක ලේ සම්බන්ධ ප්‍රශ්නෙකට මුහුණ දෙන්න අපිට සිද්ධ වෙන්න පුළුවන්. සමහරවිට අපේ පවුලේ කෙනෙක්ට නැත්නම් කිට්ටු යාළුවෙක්ට ඒ තත්වයට මුහුණ දෙන්න සිද්ධ වෙයි. ඒ වගේ වෙලාවකදී ලේ, ලේවල අනුකොටස්, ලේ භාවිත කරලා කරන ප්‍රතිකාර පිළිගන්නවද නැද්ද කියන තීරණය ගන්න අපිට සිද්ධ වෙනවා. ඒ නිසා හදිසි අවස්ථාවක් ඇති වෙන්න කලින් ඒ ගැන හොඳට යාච්ඤා කරලා, තොරතුරු හොඳට හොයලා බලලා තීරණයක් අරගෙන ඉන්න එක හුඟක් වැදගත්. එතකොට ලේවලින් වළකින්න කියන දෙවිගේ ආඥාවට කීකරු වෙන්න හොඳ අධිෂ්ඨානයකින් ඉන්න ඔයාට පුළුවන් වෙයි. දෙවි පිළිකුල් කරන දෙයක් කරලා දෙවිට දුකක් දෙන්න අපිට කොහොමටවත් ඕනෙ නැහැ. තව කෙනෙක්ගේ ජීවිතයක් බේරගන්න ලේ පරිත්‍යාග කරන්න කියලා අද ඉන්න වෛද්‍යවරු ඇතුළු හුඟදෙනෙක් කියනවා. ඒත් ලේ පාවිච්චි කරන්න ඕන කොහොමද කියලා කියන්න අයිතිය තියෙන්නේ යෙහෝවා දෙවිට විතරයි කියන දේ දෙවිගේ ශුද්ධ සෙනඟ විදිහට අපි දන්නවා. දෙවිට ලේ පරිශුද්ධයි. ලේ ගැන දෙවි දුන්න නීතියට කීකරු වෙන්න අපි අධිෂ්ඨාන කරගන්න ඕනේ. ඒ වගේම යේසුස් වගුරවපු ලේ ගැන අපේ හිතේ තියෙන අගය අපි පෙන්නන්ත ඕනේ. අපි පවිත්‍ර ජීවිතයක් ගත කරනවා නම් ඒක කරන්න පුළුවන්. අපේ පව්වලට සමාව ලැබෙන්නෙත් සදාකල් ජීවිතය කියන තෑග්ග අපිට ලැබෙන්නෙත් යේසුස් වගුරවපු රුධිරය නිසයි.—යොහ. 3:16.

ලේ ගැන දෙවි දීලා තියෙන නීතියට කීකරු වෙන්න ඔයා අධිෂ්ඨාන කරගෙන ඉන්නවද? (14 සහ 15 ඡේද බලන්න)

යෙහෝවා දෙවි අපෙන් ශුද්ධකම බලාපොරොත්තු වෙනවා

16. යෙහෝවා දෙවිගේ සෙනඟ ශුද්ධව ඉන්න ඕන ඇයි?

16 ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් බේරගත්තට පස්සේ දෙවි ඔවුන්ට මෙහෙම කිව්වා. “මා ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනා යෙහෝවා දෙවිය. මා ඔබේ දෙවි බව ඔබට ඔප්පු කර පෙන්වන පිණිස එසේ කළෙමි. මා ශුද්ධව සිටින නිසා ඔබද ශුද්ධව සිටිය යුතුයි.” (ලෙවී. 11:45) යෙහෝවා දෙවි ශුද්ධ කෙනෙක් නිසා ඊශ්‍රායෙල්වරුනුත් ශුද්ධව ඉඳියි කියලා ඔහු බලාපොරොත්තු වුණා. දෙවිගේ සෙනඟ හැටියට අපෙනුත් ඔහු ශුද්ධකම බලාපොරොත්තු වෙනවා. ලෙවී කතාව පොත ඒ කාරණය තවත් හොඳින් තහවුරු කරනවා.

17. ලෙවී කතාව පොත ගැන දැන් ඔයාට හැඟෙන්නේ කොහොමද?

17 අපි ලෙවී කතාව පොතෙන් කතා කරපු දේවල් ඔයාට ප්‍රයෝජනවත් වෙන්න ඇති. ඒ පොත ගැන ඔයාට තියෙන අගය තව වැඩි වෙන්නත් ඇති. අපි ශුද්ධව ඉන්න ඕන ඇයි කියලා ඔයා හොඳට තේරුම්ගන්නත් ඇති. ලෙවී කතාව පොතෙන් අපිට ඉගෙනගන්න තවත් දේවල් තියෙනවා. පිරිසිදු හදවතකින් දෙවිට සේවය කරන්න ඒ පොත අපිට උදව් කරන්නේ කොහොමද? ඒ ගැන ඊළඟ ලිපියෙන් බලමු.